අම්බපාලි තෙරණිය

අම්බපාලි තෙරණිය වශයෙන් ප්‍රාසිද්ධ වූ මෙම තෙරණිය ඵුස්ස බුදුන් වහන්සේගේ කාලයෙහි උන් වහන්සේගේ සහෝදරියකව ඉපිද සිටියාය. ඇය එම බුදුන් වහන්සේගෙන් බණ අසා පැහැදී මහ දන් පවත්වා මතු භවයන්හි රූපත්ව උපදිම්වායි ප්‍රාර්ථනා කළාය. පසුව මීට කල්ප තිහකට පෙර පහළ වූ සිඛී බුදු හිමියන්ගේ සමයෙහි අරුණ නම් නගරයෙහි බමුණූ කුල කාන්තාවක ව උපන්නාය. පසුව එම සසුනේ පැවිදිව දිනක් භික්‍ෂූණීන් සමග චෛත්‍ය වැඳ පැදකුණු කරමින් සිටියාය. මෙසේ පැදකුණු කරමින් ඉදිරියේ වඩින රහත් මෙහෙණින් වහන්සේ නමක් කිවිසුමක් පිට කළ විට කෙළ පිඬක් සෑ මළුවේ වැටිණි. රහත් තෙරණින් වහන්සේ එය නො දැක්ම නික්මී ගියහ. පසුපසින් ගිය මැය එම කෙළ පිඬ දැක කිපී “ බුදුන් වහන්සේගේ ශාසනය දූෂණය කරන අනාචාරයේ හැසිරෙන කවර වෛශ්‍යාවක විසින් මෙම කෙළ පිඬ දමන ලදදැ’යි බැණ වැදී ඕපපාතිකව ඉපදීමට පැතුවාය.

ඈ රහත් මෙහෙණකට බැණ වැදීම නිසා නිරයෙහි දුක් විඳි අතර මිනිස් ලොවේ භව දස දහසක්ම ගණිකාවක වූවාය. අනතුරුව කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයෙහි බඹසර වැස එම පිනෙන් දෙව් ලොව ඉපදුණාය. පෙර භවයකදී ඕපපාතික ව ඉපදීමට ප්‍රාර්ථනා කළ හෙයින් අවසාන ආත්ම භාවයෙහි එනම් ගෞතම බුදුහිමියන්ගේ සමයෙහි විසාලා මහනුවර රාජ උද්‍යානයෙහි අඹ ගසක් මුල ඕපපාතික ව උපන්නා ය. (මිනිස්සු වනාහි ඕපපාතික ව උපදින සත්වයෝ නොවෙති. ජලාබුජ වශයෙන් වැදෑමහෙන් උපදින සත්වයෝය. ප්‍රාර්ථනා බලයෙන් ඕපපාතික ව උපන් හෙයින් ප්‍රාර්ථනා වශයෙන් සියලු දේම ලබාගත හැකි බව මින් කියැ වේ. මේ ගැන විමසිය යුතුය.)

ඇය රූමත් නිසා ඇය ලබාගැනීමට රජකුමාරවරුන් යුද කිරීමට සූදානම් වූ හෙයින් විනිසුරුවරු ඇය නගර සෝභිනී තනතුරෙහි පිහිටුවා සටන විසඳූහ. ශ්‍රද්ධාවන්තියක වූ ඇය, උයනේ විහාරයක් ද කරවා බුදුහිමියන්ට පිදුවාය. තමාගේ පුතකු වූ විමල කොණ්ඩඤ්ඤ තෙරුන්ගෙන් බණ අසා පැවිදි ව විදසුන් වඩා රහත් වූවාය. පසුව ශරීරයේ අනිත්‍යතාව ප්‍රකාශ කරමින් පහත දැක්වෙන ගාථා ප්‍රාකාශ කළාය.

“ කාළකා භමරවණ්ණසාදිසා

වෙල්ලි තග්ගා මම මුද්ධජා අහූ

තෙ ජරාය සාණවාකසාදිසා

සච්චවාදී වචනං අනඤ්ඤතා”

පෙර ගණිකාවක සිටි සමයෙහි බඹරුන්ගේ පැහැයට සමාන කෙස් පැහැ ඇත්තේ කෙළවර දක්වා රැළි ගැසුණේ මනහර විය . දැන් මහලු වීම හේතු කොටගෙන හණවැහැරී හා සමාන වේ. සත්‍යවාදී වූ බුදුන් වහන්සේ ගේ වචනය වෙනස් නොවේම ය.

“ වාසිතොව සුරභි කරණ්ඩකො

පුප්ඵපූරො මම උත්තමඩ්ගජො

තං ජරාය සසලොම ගන්ධිකං

සච්චවාදීවචනං අනඤ්ඤතා “

පෙර මලින් ගවසන ලද මගේ කෙස් කලබ සුවඳ කවන ලද සුවඳැති කුඩා පෙට්ටියක් මෙනි. දැන් එම කෙස් වැටිය මහලු බව හේතුවෙන් සාවුන්ගේ ලොම් ගඳින් යුක්තය. සත්‍යවාදී වු බුදු හිමියන්ගේ වචනය වෙනස් නොවේ.

“කානනං ව සහිතං සුරොපිතං

කොච්ඡසුචිවිචිතග්ගසොභිතං

තං ජරාය විරලං තභිං තහිං

සච්චවාදීවචනං අනඤ්ඤතා”

මැනවින් වවන ලද ගස්වලින් යුක්ත වූ උයනක් බදු වූ පනාවෙන් හා රන් කූරෙන් අවුල් ලිහා වෙන් කරන ලද අග් ඇති මනහර ඒ කෙස් කලබ, මහලු බව හේතුවෙන් තැන තැන් කෙස් අඩු වී ඇත. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේම ය.

“ කණ්හඛන්ධක සුවණ්ණ මණ්ඩිතං

සොභතෙ නං සුවෙණීහි ලබ්කතං

තං ජරාය ඛලිතං සිරං කතං

සච්චවාදීවචනං අනඤ්ඤතා “

රන් වීදුරු ආදියෙන් සරසන ලද, කළු පැහැති , මනා ගෙතීම් වලින් යුතු මගේ කෙස් කලඹ පෙර බැබැළිණි. දැන් මහලු වීම නිසා එම කෙස් කැඩී තට්ටය පෑදුණේ වෙයි. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේ.

“චිත්තකාර සුකතාව ලෙඛිකා

සොභරෙ සුභමුකා පුරෙ මම

තා ජරාය වලීහි පලම්බිතා

සච්චවාදීවචනං අනඤ්ඤතා”

පෙර මගේ ඇස් බැමි දෙක සිත්තරකු විසින් මැනවින් අඳින ලද රේඛා දෙකක් මෙන්විය. දැන් මහලු හෙයින් අග රැළි වලින් යුතුව එම බැමි දෙක එල්ලා වැටේ. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේ මය.

“ භස්සරා සුරුචිරා යථා මණි

නෙත්තාහෙසුං අභිනීලමායතා

තෙ ජරාය’භිහතාන සොභරෙ

සච්චවාදී වචනං අනඤ්ඤතා”

පෙර නිල් වූ දික් වූ ඇස් මැණික් මෙන් ඉතා බැබළීමෙන්, යුක්තය. ඉතා මනහර ද විය. දැන් මහලු නිසා ඒ ඇස් නොබබළයි. සත්‍යවාදී වූ බුදුහිමියෝ වචනය වෙනස් නොවේ.

“සණ්නතුඛ්ග ගසදීසීව නාසිකා

සොභතෙසු අභියොබ්බනං පති

සා ජරාය උපකූලිතා විය

සච්චවාදීවචනං අනඤ්ඤතා”

නව යොවුන් වියේ දී මගේ නාසය මොළොක් ව, උස්ව සෙසු අවයව වලට ගැළපෙන පරිදි මනහර විය.

මහලු වීම හේතුවෙන් එම නාසය හැකිළී ගියාක් මෙනි. සත්‍යවාදී බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේම ය.

“ කඩ්කණට ව සුකතං සුනිට්ඨිතං

සොභරෙසු මම කණ්ණපාලියො

තා ජරාය වලීහි පලම්බිතා

සච්චවාදීවචනං අනඤ්ඤතා “

පෙර මගේ කන්පෙති මැනවින් සකස් කරන ලද මැනවින් ආලේප කරන ලද රන් වළලු දෙකක් මෙන් මනහරය. දැන් මා මහලු බැවින් එම කන්පෙති දෙක රැළි ගැසී ඇත. එසේම එල්ලා වැටේ . සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේම ය.

“පත්තලී මකුලවණ්ණසාදිසා

සොභරෙ සුදන්තා පුරෙ මම

තෙ ජරාය ඛණ්ඩිතාච පීතකා

සච්චවාදී වචනං අනඤ්ඤතා”

පෙර මගේ මනහර වූ දත් මූණමල් පැහැයට සමානව මනහර විය. දැන් මහලුබව හේතුවෙන් එම දත් කැඩුණේද කහ පැහැ වූයේ ද වේ. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේමය.

“කානනම්හි වනසණ්ඩචාරිණී

කොකිලාව මධුරං නිකූජිහං

තං ජරාය ඛලිතං නහිං නහිං

සච්චවාදීවචනං අනඤ්ඤතා”

පෙර මම මහකැලයක වන රොදවල හැසිරෙමින් නද දෙන කෙවිලියක මෙන් මිහිරි ලෙස හඬ නැගුවෙමි. දැන් මහලුවීම හේතුවෙන් එම හඬ තැන තැන පැටලෙන්නකි. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නො වේමය.

“ඝණ්හකම්බුරිව සුප්පමජ්ජිතා

සොභතෙව සුගීවා පුරෙ මම

සා ජරායභග්ගා විනාමිතා

සච්චවාදීවචනං අනඤ්ඤතා”

පෙර මගේ මනහර බෙල්ල මැනවින් පිරිමදින ලද මොළොක් වූ රන් හක්ගෙඩියක් මෙන් මනහරම විය. නමුදු දැන් මහලුවීම හේතුවෙන් එම ගෙල බිඳී ගියේය. එසේම බොහෝ සෙයින් පහළට නැමී ගියේය. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේ ම ය.

“වට්ට පළිඝ සදිසොපමා උභො

සොභරෙ සුබාහා පුරෙ මම

තා ජරාය යථා පාටලිප්පලිතා

සච්චවාදීවචනං අනඤ්ඤතා”

පෙර මගේ බාහු දෙක රවුම් දොරපොල්ලක් හා සමානව මනහර විය. නමුදු දැන් මහලු බැවින් එම බාහු දෙක පැළුණු පළොල් පත්තක් බඳුය. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය මෙසේ නොවේමය.

“සණ්හමුද්දික සුවණ්ණ මණ්ඩිතා

සොභරෙ සුභත්ථා පුරෙ මම

තෙ ජරාය යථා මූලමූලිකා

සච්චවාදීවචනං අනඤ්ඤතා “

පෙර මගේ මනා වූ අත්දෙක ඔපමට්ටම් කළ රන් මුදු වලින් සරසන ලද්දේ බැබළිණි. දැන් මහලුවීම හේතුවෙන් එම දෙඅත් මුල් කෑලි මෙනි. නොහොත් රාබු අල කෑලි මෙනි. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේමය.

“ පීනවට්ටසහිතුග්ගතා උභො

සොහරෙ සුථනකාපුරෙ මම

ථෙවිකීව ලම්බන්තෙ නොදකා

සච්චවාදීවචනං අනඤ්ඤතා”

පෙර මගේ මනා පියයුරු දෙක පිරී රවුම් ව උස්ව පැවතිණි. එහෙයින් ඉතා මනහර විය. දැන් එම පියයුරු දිය නැති පෙරහන්කඩ මෙන් හැකිලී ඇත. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේමය.

“කඤ්චනස්ස ඵලකංව සුමට්ටං

සොභතෙ සුකායො පුරෙ මම

සොවලීහි සුඛුමාහි ඔතතො

සච්චවාදීවචනං අනඤ්ඤතා”

පෙර මගේ මනහර කය බොහෝ සෙයින් පිරිමදින ලද රන් ලෑල්ලක් මෙන් මනහර විය. දැන් එම කය සියුම් රැලිවලින් පැතිරුණේ වෙයි. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේම ය.

“නාගභොගසදිසොපමා උභො

සොභරෙසු ඌරු පුරෙ මම

තෙ ජරාය යථා වෙළුනාළියො

සච්චවාදීවචනං අනඤ්ඤතා”

පෙර මගේ ඉතා මනහර වූ කළවා දෙක ඇත් සොඬ මෙන් මනහර විය.දැන් මහලු වීම නිසා එම කලවා දෙක උණපුරුක් මෙනි. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේ මය.

“ සණ්හනූපුර සුවණ්ණ මණ්ඩිතා

සොභරෙ සුජඬ්ගා පුරෙ මම

තා ජරාය තිලදණ්ඩකාරීව

ච්චවාදී වචනං අනඤ්ඤතා””

පෙර මගේ මනහර කෙණ්ඩයෝ මොළොක් නුරුවලාවලින් සරසන ලද්දාහු බබළත්. දැන් මහලුවීම හේතුවෙන් එම කෙණ්ඩා තලදඬු මෙනි. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නො වේමය.

“තූලපුණ්ණ සදිසො පමා උභො

සොභරෙ සුපාදා පුරෙ මම

තෙ ජරාය ඵුටිතා වලීමතා

සච්චවාදීවචනං අනඤ්ඤතා”

පෙර මගේ මනහර දෙපා පුළුන් පුරවන ලද්දාක් මෙන් බැබැළිණි. දැන් මහලුවීම හේතුවෙන් එම දෙපා පැළී ගොසිනි. රැලිවැටී ද ඇත. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේ මය.

“ඊදිසො අහු අයං සමුස්සයො

ජජ්ජරො බහුදුක්ඛනමාලයො

සොපලෙපපතිතො ජරාඝරො

සච්ච වාදීවචනං අනඤ්ඤතා”

මෙතෙක් දැක්වූයේ දැන් මගේ මේ සිරුර පවත්නා ස්වභාවයයි. මගේ මේ සිරුර දිරා ගොසිනි. නොයෙක් දුක් වේදනාවන්ට වාසස්ථානයකි. මගේ මේ සිරුර කඩා වැටීමට ආසන්න වූ ගෙයක් මෙනි. මහලු කමෙහි සියලු ලක්ෂණ එක තැනකට එක් වී ඇති තැනකි. සත්‍යවාදී වූ බුදුන් වහන්සේගේ වචනය වෙනස් නොවේම ය.

යථෝක්ත අම්බපාලී තෙරණියගේ වදන්වලින් සිරුරේ අනිත්‍යාතාව මැනවින් ප‍්‍රකට කැරේ. ඇය වනාහි පෙර වෙසඟනක වූ බැවින් ශරීරය මනා ව අලංකාර කොට රාජ කුමාරවරුන්ගෙන් පමණක් නොව වෙනත් පුරුෂයන්ගේද පහස ලැබුවාය. එබඳු වූ ඇයට මහලු වියේදී සිරුරේ අනිත්‍ය ස්වභාවය විනිවිද දැකීමට හැකි විය.

ඇය පමණක් නොව අපි ද ජරාවට, එනම් මහලු වියට පැමිණෙමු. ඇයට උරුම වූ ධර්මතාවට අපි ද එකාන්තයෙන් ගොදුරු වෙමු.

සිරුර සැරසීමට වඩා සිරුරේ අනිත්‍යතාව පසක් කර ගනිමින් සිත නිවා නිවනට පැමිණීමට උත්සාහ කළ යුත්තේ එබැවිනි. එතුළින් සැමට ධර්මාවබෝධය ලැබේවා! නිවනින් දුක් දුරු වේවා! සැමට තිසරණ සරණයි!