10 ආනාපානසති

ආන යනු ආශ්වාසයට (නාසයෙන් ශරීරය තුළට ඇද ගන්නා වාතයට) නමෙකි. අපාන යනු ප්‍ර‍ශ්වාසයට (නාසයෙන් පිට කරන වාතයට) නමෙකි. ආන අපාන යන වචන දෙක සන්ධි වීමෙන් ආනාපාන කියා වේ. ආශ්වාස ප්‍ර‍ශ්වාස දෙක අරමුණු කොට පවත්නා සිහිය ආනාපානසති නම් වේ. නැවත නැවත පැවැත්වීම් වශයෙන් ඒ සිහිය දියුණු කිරීම ආනාපානසති භාවනාව ය. සියලු ම ලොව්තුරා බුදුවරයන් බුදුබවට පැමිණෙන්නේ ආනාපානසති භාවනාව පදනම කරගෙන ය. ආනාපාන සතියේ මාර්ගයෙන් ලොව්තුරා බුදුබවට හා පසේ බුදුබවට ද රහත් බවට ද පැමිණියා වූ උත්තම පුද්ගලයන්ගේ ප්‍ර‍මාණයක් නැත්තේ ය. මේ ආනාපාන සති සමාධිය බුදුන් වහන්සේ විසින් වර්ණනා කර තිබෙන්නේ මෙසේ ය.

අයම්පි ඛො භික්ඛවෙ, ආනාපානසතිසමාධි භාවිතො බහුලීකතො සන්තො චෙව පණිතො ච අසෙචනකො ච සුඛරො ච විහාරො උප්පන්නුප්පන්නෙ ච පාපකෙ අකුසලෙ ධම්මේ ඨානසො අන්තරධාපෙති වූපසමෙති.

මහණෙනි, වඩනා ලද්දා වූ නැවත නැවත පුරුදු කරන ලද්දා වූ මේ ආනාපාන සති සමාධිය ශාන්ත ද වේ. ප්‍ර‍ණීත ද වේ. ස්වභාවයෙන් ම මිහිරි ද වේ. කායික චෛතසික සුඛයට හේතු ද වේ. උපනුපන් ලාමක වූ අකුශල ධර්මයන් සැණෙකින් අතුරුදහන් කෙරේය සන්සිඳුවාය යනු එහි තේරුම යි.

මේ භාවනාව කරන්නට බලාපොරොත්තු වන සත්පුරුෂයා විසින් පළමු කොට ආශ්වාස ප්‍ර‍ශ්වාස දෙක ගැන දැන ගත යුතු ය. නාසයේ අග මහත් ය. ඒ මහත් කොටස අඟලකුත් ඇති නැති තරම් ය. ඊට උඩින් ඇත්තේ කුඩා සිදුරෙකි. ඒ සිදුරෙන් පිටතට එන වායු ධාරාව වතුර පිරුණු බඳුනක කුඩා සිදුරකින් පිටතට විදින ජලධාරාවක් වැනි ය. ඒ වායුධාරාව දික් නාසය ඇතියවුන්ගේ නාසයේ අග ඇතුළු පැත්තේ සැපෙමින් පිට වන්නේ ය. නාසගේ අග පහතට නැමී ඇති අයට එය වඩාත් ප්‍ර‍කට ය. එසේ පහතට නො නැමුණු නාස්වල එය සැපෙන්නේ ඉතා ස්වල්ප වශයෙනි. එ බැවින් නො නැමුණු නාස් ඇතියවුන් විසින් එය බොහෝ පරීක්ෂාකාරීව සිට තේරුම් ගත යුතු ය. පුඩු මහත් වූ කෙටි නාස් ඇතියවුන් ගේ නාස් අග්වල ඒ වායුධාරාව නො සැපේ. එය ඔවුන්ගේ උඩුතොලේ අග සැපේ. එය ද තොල්වල හා නාසයේ පිහිටීමේ සැටියෙන් සමහරුන්ගේ තොල් අග තදින් ද සමහරුන්ගේ තොල් අග තේරුම් ගන්නට බැරි පුළුවන් තරමට ද සැපේ.

භාවනාවට පටන් ගන්නා සෑම දෙනා විසින් ම පළමුකොට තදින් හුස්ම ඉහළ පහළ ගෙන වායුධාරාව සැපෙන තැන සොයා ගත යුතු ය. තේරුම් ගත යුතු ය. ආනාපාන භාවනාව පුරුදු කර නැතියවුන්ට වායුධාරාව සැපෙන තැන දත හැකි වන්නේ තදින් හුස්ම හෙළන විට ය. තදින් හුස්ම හෙළා එය සැපෙන තැන දැන ගත් පසු සිහි කල්පනාවෙන් සිටියාම සෙමින් එන වායුධාරාව ද සැපෙනු දත හැකි ය. සැපෙන තැන දැන ගැනීමට නිතර ම තදින් හුස්ම හෙළමින් භාවනා කරන්නට ගිය හොත් ඉක්මනින් වෙහෙසට පත් වී භාවනා නො කළ හැකි තැනට පත් වන නිසා නියම භාවනාවට බසින්නට මත්තෙන් ම ප්‍ර‍කෘති ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව තේරුම් ගත හැකි වන තැනට පුරුදු කරගත යුතු ය. වෙහෙස නැති ව භාවනාවෙහි යෙදිය හැකි වන්නේ ප්‍ර‍කෘති ආශ්වාස ප්‍ර‍ශ්වාස දෙක සිතට හසු කර ගැනීමට සමර්ථ වූ විට ය.

නාසයෙන් ඇතුළු වන වායුව එක් නළයක් දිගේ ගොස් දෙකට බෙදී පෙණහලුවලට ඇතුළු වන නමුත් යෝගාවචරයන්ට වැටහෙන්නේ එක ම ධාරාවක් වශයෙන් පෙකණිය දක්වා බැස ගොස් නැවත ඉහළ එන සේ ය. භාවනාවේ පරමාර්ථය ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව ගමන් කිරීමේ ආකාරය සත්‍ය වශයෙන් සෙවීම නොව සිත එකඟ කිරීම ය.

එ බැවින් සිතට වැටහෙන පරිදි එක ධාරාවක් වශයෙන් පෙකණිය දක්වා බැස යන්නක් සැටියට ම සැලකිය යුතු ය. නාස් සිදුරු දෙකින් නිරතුරු ව ම එක ගණනට ම වායුව එහා මෙහා ගමන් කරන්නේ ද නො වේ. ඒ දෙකින් එකක් නිතරම වාගේ වැසී පවතී. එකකින් වායුව එහා මෙහා ගමන් කරයි. සමහර අවස්ථාවලදී දෙකින් ම සමව ද වායුව ගමන් කරයි. එබඳු අවස්ථා අඩු ය. ඒ ගැන වැඩි විස්තර දැන ගනු කැමති නම් නළ ශාස්ත්‍ර‍ පොත්වලින් දත යුතු ය. භාවනා කිරීමේදී වායුධාරා දෙකක් නාස් පුඬු දෙකින් වෙන වෙන ම නික්මෙන ඇතුළු වන සැටියට වැටහේ නම් එසේ මෙනෙහි කරනු. එක ම වායුධාරාවක් සැටියට වැටහේ නම් එසේ එක් ධාරාවක් සැටියට මෙනෙහි කරනු.

ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව සැපෙන තැන තේරුම් ගත්තා වූ තැනැත්තා විසින් භාවනාවට යෝග්‍ය තැනකට ගොස් භාවනාවට පටන් ගත යුතු ය. ශබ්ද නො ඇසෙන්නා වූ මැසි මදුරුවන් නැත්තා වූ පවිත්‍ර‍ වාතය ඇත්තා වූ ස්ථානය භාවනාවට සුදුසු තැන ය. ශබ්දය සමාධියට බාධක ය. එබැවින් ශබ්දය ඇති තැන භාවනාවට නුසුදුසු ය. ලෝකයෙහි සර්වාකාරයෙන් ශබ්දයක් නො ඇසෙන තැනක් නම් නො ලැබිය හැකි ය. එ බැවින් සමාධියට බාධක ශබ්ද අඩු තැන සුදුසු තැන සැටියට සැලකිය යුතු ය. මැසි මදුරුවෝ ශබ්දයට ද වඩා සමාධියට බාධකයෝ ය. මැසි මදුරුවන් එළවමින් භාවනා කොට සමාධියක් නො ලැබිය හැකිය. එබැවින් භාවනා කරන තැන මැසි මදුරුවන් බහුල තැනක් නම් දුම් ගැස්වීම් ආදී යම්කිසි ක්‍ර‍මයකින් උන් පලවා හැර භාවනාවට පටන් ගත යුතු ය. තමන් සමීපයට උන්ට නො පැමිණෙන ලෙස මදුරුදැල් ආදියෙන් ආවරණයක් හෝ ඇති කර ගත යුතු ය.

අපවිත්‍ර‍ වාතය යයි කියන ලද්දේ දුර්ගන්ධ වාතයට ය. නිකම්ම සිටීමේ දී නොදැනෙන ඉතා මඳ ගන්ධය පවා ආනාපාන භාවනාව කරන කල්හි තදින් දැනෙන්නට වන්නේ ය. පවිත්‍ර‍ වාතය ඇති තැනක් සොයා ගත යුතු වන්නේ ඒ කරදරය ද සමාධියට බාධාවක් නිසා ය. නගරවල ගෙවල් බහුල තැන්වල ආනාපාන භාවනාව කිරීමේ දී ගද දුර්ගන්ධයක් දැනේ. ඒ ප්‍රදේශවල නිතර ම පවත්නේ ගන්ධය ය. එහෙත් භාවනා නො කරන්නවුන්ට එය නො දැනේ. ගෙවල් අඩු ප්‍රදේශවල වාතය පවිත්‍ර‍ ය. ඒ ප්‍රදේශවල දී එ බඳු ගඳ නො දැනෙන්නේ ය. තමා ගේ ශරීරය හා වස්තු ද පිරිසිදු ව තබා ගත යුතු ය. භාවනා නො කරන කල නො දැනෙන භාවනාවට පටන් ගත් කල දැනෙන්න ට පටන් ගන්නා ගන්ධයන් සමහර විට තමා ගේ ශරීරයේ වස්ත්‍ර‍වල තිබිය හැකි ය. භාවනා කරන ස්ථාන සමීපයේ සුවඳ වර්ග තිබීම හොඳ ය.

මේ භාවනාව සඳහා වාඩිවීමට සම්කඩ ඉතා හොඳ බව යෝගාවචරයෝ කියති. සම්වලින් ද දිවිසම හා මුව සම වඩා යහපත් බව කියති. පෙර යෝගාවචරයන් ද සම්කඩක් පාවිච්චි කර තිබෙන බව පොත පතේ නොයෙක් තැන්වල සඳහන් වේ. බුදුන් වහන්සේ පවා සම්කඩක් පාවිච්චි කළ බව ඇතැම් කරුණුවලින් පෙනේ. “එවං අනුපහට්ඨන්තෙන පන තස්මිං න තෙන භික්ඛුනා උට්ඨායාසනා චම්මක්ඛණ්ඩං පප්ඵොටෙත්වා ගන්තබ්බා” යන විශුද්ධි මාර්ග පාඨයෙන් ද පෙර යෝගාවචර භික්ෂූන් වහන්සේලා සම්කඩක් පාවිච්චි කළ බව පෙනේ. එය පාවිච්චි කර තිබෙන්නේ එහි යම් කිසි ගුණ විශේෂයක් ඇති නිසා විය හැකිය. එහෙත් සම්කඩක මිස අනිකක හිඳ භාවනා නො කළ යුතු ය යන නියමක් නැත. සම්කඩෙහි යම් කිසි ගුණ විශේෂයක් ඇතද නැත ද යන බව ස්ථිරව ම කියන්නට අපි නො දනිමු. සම්කඩක හිඳ ද අනෙකක හිඳ ද භාවනා කොට එය යෝගාවචරයන් විසින් විමසිය යුතු ය. උස් අසුනකට වඩා භාවනාවට පොළොව සුදුසු බව ද කියති. එය ද විමසිය යුත්තකි.

සුදුසු තැනට එළඹ පර්‍ය්‍යංකය බැඳ වාඩි වී ශරීරය ඉදිරියට හෝ පස්සට බර නො වන සැටියට කෙළින් තබා ගෙන, රත්නත්‍රයේ ගුණ මෙනෙහි කිරීම් ආදි පූර්ව කෘත්‍යය කොට භාවනාවට පටන් ගත යුතු ය. භාවනාවේ පූර්වකෘත්‍යය විදර්ශනා භාවනා ක්‍ර‍මය නමැති පොතෙන් උගත යුතු ය. පර්‍ය්‍යංකය බැඳ වාඩිවීම දෙ පරිද්දෙකින් කළ හැකි ය. බුදුපිළිම තනා තිබෙන ක්‍ර‍මයට දෙපතුල් කලවා දෙක මත සිටින සේ වාඩිවීම එක් ක්‍ර‍මයෙකි. එයට පද්මාසනය යි ද කියති. යෝගයට වාඩිවීමේ ක්‍ර‍මවලින් උසස් ම ක්‍ර‍මය එය ය. එහෙත් හැම දෙන ම පද්මාසනයෙන් හිඳීමට සමත් නො වෙති. එසේ හිඳීම අපහසු පින්වතුන් විසින් පතුල් දෙක කලවා දෙකට යටවන පරිදි වාඩි විය යුතු ය. මේ ක්‍ර‍ම දෙකින් එකකටවත් වාඩි වීමට අසමත් අය වඩා උස් නො වන, වාඩි වූ කල දෙපතුල් බිම සිටින තරමේ අස්නක පා බිම තබා වාඩි වී ශරීරය කෙළින් තබා ගෙන භාවනා කළ යුතු ය. ස්ත්‍රීන්ට ද මේ ක්‍ර‍මය සුදුසු ය. ඉහත කී වාඩි වීමේ ක්‍ර‍ම දෙක ස්ත්‍රීන් ට අයෝග්‍ය ය. අර්ධ පර්‍ය්‍යංකය යි කියනු ලබන දෙපතුල් පිටිපසට නමා වාඩිවීමේ ක්‍ර‍මය ද ස්ත්‍රීන් ට යෝග්‍ය ය.

දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව යටතේ ඇති මුල්ම භාවනා ක්‍රමය ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග අටම වැඩෙන ආකාරය පැහැදිලිව දක්වා ඇත. මේ සම්බන්ධව පහත කරුණු තේරුම් ගෙන ආධුනිකයන්ට ද මෙම භාවනාව පුරුදු කළ හැකවෙි.

  • කය සෘජුව තබා ගෙන බිම හෝ කුඩා පුටුවක වාඩිවීමෙන් භාවනාවට සූදානම් විය හැක.
  • ඉන්පසුව ඇස් දෙක පියාගෙන තමාගේ හුස්ම පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ.
  • මෙසේ අවධානය යොමු කරණු ලබන්නේ තමාගේ නාසාආග්‍රයෙන්, තොල ආදී ස්ථානවල ආශ්වාසය හා ප්‍රාශ්වාසය එම කායික කොටස්වල ස්පර්ශ වන ආකාරය පිළිබඳව දැනුවත් වීමෙනි.
  • කිසිම අවස්ථාවක තමාගේ උත්සාහයෙන් වේගයෙන් හුස්ම ගැනීම හෝ හෙලීම සිදු නොකළ යුතු වේ.
  • නාසාආග්‍රයෙන් හෝ තොලේන් හුස්ම ස්පර්ශය ගැන අවධානයක් සොයා ගැනීමට නොහැකි අය තම උදරය මගින් මෙම භාවනාව ආරම්භ කළ හැකි වේ.
  • හුස්ම ගැනීම හා හෙලීම සම්බන්ධව අවධානය හොඳින් පවත්වා ගැනීමට හුස්ම ගන්නා අවස්ථාව “ආශ්වාසය” ලෙස මනසින් මෙනෙහි කිරීම වැදගත් වේ. මේ ආකාරයටම ප්‍රාශ්වාසය සඳහා ද “ප්‍රාශ්වාසය” ලෙස මනසින් මෙනෙහි කළ හැකි වේ.

පුහුණුව මනාකොට පවත්වාගෙන යාමට පහතින් පෙන්නුම් කරන කරුණු ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගතන්න.

  • කන් මගින් ඇසෙන ශබ්දවල යෙදෙන අවධානය ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමට උත්සාහ කිරීම.
  • මනස මගින් ඇති කරන වෙනත් අරමුණුවලට අවධානය නොයොදා සිටීම.
  • හුස්ම ස්පර්ශවන කායික ස්ථානය (තොල, නාසාආග්‍රය) හැර වෙනත් කායික කොටස්වලින් අවධානය ඉවත් කර ගැනීම.
  • පිටත ශබ්ද, මනසට මතක් වන අරමුණු, කයේ එක් එක් කොටසකට දැනෙනා වේදනා ආදියට තමන් විසින් දක්වන ප්‍රතිචාර අඩු කිරීමෙන් අවධානය පිටතට යෑම අඩු කර ගත හැකි වේ.
  • ඉහත කරුණු 4 සැලකිල්ලට ගෙන දින කිහිපයක් (දිනකට මිනිත්තු 30 පමණ) පුහුණු වීමෙන් අඛණ්ඩව ආශ්වාසයේ හා ප්‍රාශ්වාසයේ අවධානය පවත්වාගෙන යෑමට හැකියාව ලැබේ.

මේ ආනාපාන භාවනාව සිහි නුවණින් යුක්තව කියන ලද පරිදි ක්‍ර‍මය නොඉක්මවා කර ගෙන යන්නා වූ යෝගාවචරයා ගේ සන්තානයෙහි ක්‍ර‍මයෙන් සමාධිය හා ඥානය වැඩෙන්නේ ය. කාමච්ඡන්දාදි නීවරණයෝ තුනී වන්නාහ. සමාධි ප්‍ර‍ඥාවන්ගේ වැඩීම හා නීවරණයන්ගේ තුනීවීම නිසා ඒ යෝගාවචරයා හට යම් කිසි දිනකදී ආනාපාන ප්‍ර‍තිභාග නිමිත්ත වැටහෙන්නේ ය. අනුබන්ධන ක්‍ර‍මයෙන් ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව අනුව සිත ගමන් කරමින් සිටින්නා වූ යෝගාවචරයා හට ඒ වායුව පළමු වැටහෙමින් තිබූ ආකාරයට වෙනස් වූ දීප්තිමත් වූ අතිශයින් ප්‍රියංකර වූ ආකාරයකට වැටහෙන්නේ ය. ප්‍ර‍තිභාග නිමිත්තය යි කියනුයේ ඒ වැටහෙන දෙයට ය. එය ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව නො වේ. ඒ වායුව නිසා යෝගාවචරයා ගේ සිතට ඇති සැටියට දැනෙන සත්‍ය වශයෙන් නැති දෙයකි. එය යෝගාවචරයා විසින් කලින් ලෝකයෙහි දැක තිබෙන සෑම වර්ණයකට ම වඩා ශෝභන අතිශයින් ප්‍රියංකර වර්ණයෙකි. එහි ඇති අධික ප්‍රියංකරත්වය නිසා යෝගාවචරයාට බලවත් ප්‍රීතිය ඇති වේ. අධික ප්‍රීතිය හේතු කොට ඇති වන කම්පනය නිසා සමහර විට එකෙණෙහි ම ඒ නිමිත්ත යෝගාවචරයා ගෙන් අතුරුදහන් වෙයි.

ආනාපාන ප්‍ර‍තිභාග නිමිත්ත කසිණ ප්‍ර‍තිභාග නිමිති සේ සෑම දෙනාට ම සමාන ව වැටහෙන්නක් නො වේ. ශරීරවල පිහිටීම අනුව ද අදහස් අනුව ද යෝගාවචරයනට ආනාපාන ප්‍ර‍තිභාග නිමිත්ත අනේකාකාරයෙන් වැටහේ. එය ඒ ඒ පුද්ගලයන්ට තාරකාවක් සේ ද, මැණිකක් සේ ද, මුතු ගුලියක් සේ ද, ක්‍රෑර ස්පර්ශයෙන් යුක්ත ව කපු ඇට පෙළක් සේ ද, ලී කූරක් සේ ද, නූලක් සේ ද, මල්දමක් සේ ද, දුමක් සේ ද, මකුළු දැලක් සේ ද, වළාකුලක් සේ ද, නෙළුම් මලක් සේ ද, රෝදයක් සේ ද, හිරුමඬල සේ ද, සඳමඬල සේ ද, වැටහෙන බව විශුඬි මාර්ගයේ දක්වා තිබේ. තාරකාදියට සමාන ව නිමිත්ත වැටහෙන බව කියා තිබෙන බැවින් සර්වාකාරයෙන් ම තාරකාදියට සමාන නිමිති බලාපොරොත්තු නො විය යුතු ය. මේ නිමිති පිළිබඳ නිශ්චිත විස්තරයක් දීමට අපි සමත් නො වෙමු. ඒවා භාවනාවෙහි යෙදී තම තමන් විසින් ම සොයා ගත යුතු ය. යෝගාවචරයා හට කවර ආකාරයක් හෝ ඇති ප්‍ර‍තිභාග නිමිත්තක් පහළ වූයේ නම් එයින් තමා කෙරෙහි තිබූ නීවරණයන් යටපත් වූ බව ද, ක්ලේශයන් සන්සිඳුණු බව ද, සිහිය දියුණු වූ බව ද, උපචාර සමාධිය ලැබූ බව ද දත යුතු ය.

මේ ප්‍ර‍තිභාග නිමිත්ත ලෙහෙසියෙන් ලැබිය හැක්කක් නොවේ. එහෙත් මනා කොට රැක නො ගත හොත් වහා නැති වන්නකි. වරක් ලැබ නැති වූ කල්හි ද එය නැවත පහසුවෙන් නො ලැබිය හැකි ය. එ බැවින් එය ලැබූ තැනැත්තා විසින් උන් තැනින් නැඟී නො ගොස් එතැන ම හිඳ ගෙන, ඒ ආරම්මණයෙහි ධ්‍යාන උපදවා ගැනීමට වීර්‍ය්‍ය කළ යුතු ය. ඒ අවස්ථාවේදී ධ්‍යාන නො ලැබිය හැකි වී නම් අගනා මැණික් පොට්ටනියක් ලත් කෙනකු එය රක්නාක් මෙන් නිමිත්ත ආදරයෙන් ආරක්ෂා කර ගත යුතු ය. අන් වැඩවලට කාලය යෙදුව හොත් නිමිත්ත නැති විය හැකි ය. එ බැවින් අන් සියල්ල ම හැර හැකි තාක් භාවනාවෙහි ම යෙදිය යුතු ය. අසත්ප්‍රාය ස්ථාන පුද්ගලාදීන් හැර සත්ප්‍රාය ස්ථාන පුද්ගලාදීන් සේවනය කළ යුතු ය.

ආනාපාන භාවනාව පිළිබඳ වූ වායුවෙහි අනේකාකාර ඇත්තේ ය. ආශ්වාසයේ ආකාරය අනෙකකි. ප්‍ර‍ශ්වාසයේ ආකාරය අනෙකකි. ඒ එක එකක ද දික් බව කෙටි බව ඖදාරික බව සියුම් බව ආදී තවත් ආකාර ඇත්තේ ය. බොහෝ ඇති බව ධ්‍යානය ඇති වීමට බාධාවෙකි. එ බැවින් ආශ්වාස ප්‍ර‍ශ්වාසයෙහි ධ්‍යානය නූපදී. ප්‍ර‍තිභාග නිමිත්තෙහි අනේකාකාර නැත්තේ ය. එක් පුද්ගලයකු ලබන නිමිත්තෙහි ඇත්තේ එක ම ආකාරයෙකි. අනේකාකාර නැති බැවින් එහි ධ්‍යානය ලැබිය හැකි ය. එ බැවින් ධ්‍යාන ලැබීමට ප්‍ර‍තිභාග නිමිත්ත ලැබිය යුතු ම ය. ප්‍ර‍තිභාග නිමිත්ත ලත් යෝගාවචරයා විසින් ආශ්වාස ප්‍ර‍ශ්වාසයන් මෙනෙහි කරන්නට නො යා යුතු ය. ඒ යෝගාවචරයා විසින් පියවි ඇසින් යම් කිසිවක් දෙස බලා සිටින්නාක් මෙන් ස්වකීය චිත්තය නිමිත්තට යොමු කර ගෙන නිමිත්තෙහි පිහිටුවා ගෙන විසිය යුතු ය. එය ඔහු විසින් කළ යුතු භාවනාව ය.

නිමිත්ත අතුරුදහන් වුව හොත් සිත ආශ්වාස ප්‍ර‍ශ්වාසයන්ට යොමු කළ යුතු ය. ආශ්වාස ප්‍ර‍ශ්වාසයන් අනුව සිත පවත්වා ගෙන සිටින කල්හි නැවත නිමිත්ත පෙනෙන්නට වන්නේ ය. එය ඇසට පෙනීමක් නො වන බව ද සැලකිය යුතු ය. ප්‍ර‍තිභාග නිමිත්තෙහි සිත තබා ගෙන සිටින කල්හි ධ්‍යානය නො ලැබේ නම් දශ වැදෑරුම් වූ අර්පණා කෞශල්‍යය සම්පාදනය කරනු. ප්‍ර‍තිභාග නිමිත්ත ලැබීමෙන් පසු පිළිපැදිය යුතු ක්‍ර‍මය පිළිබඳ දත යුතු කරුණු බොහෝ ය. ඒවා විශුද්ධිමාර්ගාදි පොත්වලින් හෝ ගුරුවරයන්ගෙන් හෝ උගත යුතු ය. ප්‍ර‍තිභාග නිමිත්තෙහි සිත පිහිටුවා ගෙන සිටින කල්හි ඉන්ද්‍රිය සමත්වාදි එයට වුවමනා අන්‍ය කරුණු ද සම්පූර්ණ වූ අවස්ථාවකදී යෝගාවචරයා හට ඒ ආරම්මණයෙහි විතර්කාදි පඤ්චාංගයෙන් යුක්ත වූ ප්‍ර‍ථම ධ්‍යානය උපදින්නේ ය. ඉන්පසු යෝගාවචරයාගේ උත්සාහයේ සැටියට ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යානයෝ ද ඔහුට උපදනාහ. චතුර්ථධ්‍යානය දක්වා ධ්‍යාන උපදවා ගැනීම ආනාපාන භාවනාව පිළිබඳ සමථ ක්‍ර‍මයේ මස්තකප්ප්‍රාප්තියය, හෙවත් අවසානය ය.

ධ්‍යානයක් උපදවා ගත් තැනැත්තාට එයින් නො පිරිහී වාසය කළ හොත් ඒ රූපාවචර කුශල බලයෙන් මරණින් මතු බ්‍ර‍හ්මලෝකයට යා හැකි වන්නේ ය. ධ්‍යාන ලබා බ්‍ර‍හ්මලෝකයෙහි ඉපදීම ද නිවන් දැකීමට ඇති එක් ම‍ගෙකි. බ්‍ර‍හ්මලෝකවල ආයුෂය ඉතා දීර්ඝ ය. ඒවායේ ආයුඃ ප්‍ර‍මාණය පිරිසිදෙන්නේ වර්ෂ වලින් නොව කල්ප වලිනි. අති දීර්ඝ බැවින් ඒවායේ ආයුෂය වර්ෂවලින් නො පිරිසිඳිය හැකි ය. අප බුදුන් වහන්සේගේ ප්‍ර‍ථම ධර්ම දේශනය ඇසීමෙන් ම අටළොස් කෝටියක් බ්‍ර‍හ්මයින් සෝවාන් මගට පැමිණ නිවන් දුටු බව ධර්මචක්‍ර‍ සූත්‍ර‍ අටුවාවේ දක්වා තිබේ. තවත් තැන්වලදී බොහෝ බ්‍ර‍හ්මයන් මඟ ඵල ලබා නිවන් දුටු බව සඳහන් කොට තිබේ. බ්‍ර‍හ්මයන්ගේ ආයුෂයේ සැටියට බුදුන් වහන්සේ පිරිනිවීමෙන් පසු ගත වී තිබෙන වර්ෂ දෙදහස් ගණන ඉතා කෙටි කාලයෙකි. එදා මඟ පල ලැබූ බ්‍ර‍හ්මයන්ගෙන් ඉතා වැඩි ගණනක් බ්‍ර‍හ්මයෝ අදත් එහි වාසය කෙරෙති.

බ්‍ර‍හ්මයෝ වනාහි කාමලෝකයේ දෙව් මිනිසුන් මෙන් කෑමෙන් බීමෙන් නැටුමෙන් ගැයුමෙන් ප්‍රීතිවෙමින් කල් යවන කොටසක් නොව ධ්‍යාන සුවයෙන් කල් යවන කොටසෙකි. සමාධිය, නුවණ ඇති වීමට නුවණ දියුණු තියුණු වීමට හේතුවෙකි. ධ්‍යාන සමාධිය ඇත්තා වූ ඒ බ්‍ර‍හ්මයනට තියුණු නුවණ ඇත්තේ ය. එ බැවින් ධර්මය අසන්නට ලද හොත් ඔවුනට එය වහා අවබෝධ වන්නේ ය. බුදුන් වහන්සේ සියැසින් දැක උන් වහන්සේගෙන් දහම් අසා මඟ පල ලබා සිටින බ්‍ර‍හ්මයන්ගෙන් ශුද්ධ වූ ධර්මය බ්‍ර‍හ්ම ලෝකයෙහි උපනුවන්ට අසා ගත හැකි ය. එ බැවින් ධ්‍යාන ලබා බ්‍ර‍හ්ම ලෝකයෙහි උපන හොත් බුදුන් දැක දහම් අසා මඟ පල ලබා නිවන් පසක් කර ගෙන සිටින බ්‍ර‍හ්මයන්ගෙන් දහම් අසා ඔවුන් ඇසුරු කොට විදසුන් වඩා මඟ පල ලබා නිවන් දැකිය හැකිය.

මේ කාලයේ මිනිස් ලොව බුදුන් දුටු බුදුන්ගෙන් දහම් ඇසූ කෙනෙක් නැත. ධර්මයට අනුව පිළිපැද මඟ පල ලබා සිටින කෙනකු සොයා ගැනීම ද පහසු නැත. අපට තිබෙන්නේ පරම්පරා ගණනක් අතින් අතට ආ ධර්මයෙකි. සියැසින් බුදුන් දැක දහම් අසා ඒ ධර්මය අවබෝධ කරගෙන සිටින අය අතර තිබෙන ධර්මය අතිශයින් පරිශුද්ධ ය. එ බැවින් බ්‍ර‍හ්මලෝකයෙහි ඉපද බ්‍ර‍හ්මයන් අතර තිබෙන ධර්මය ඔවුන් ගෙන් අසා ගැනීම නිවන් දැකීමට මේ කාලයේ තිබෙන ඉතා ම හොඳ ක්‍ර‍මය බව ද නො වරදින ක්‍ර‍මය බව ද කිය යුතු ය.

මෙතේ බුදුන් දැක නිවන් දැකීමට බලාපොරොත්තු වන පින්වතුන්ට එය සිදු කර ගැනීමට ඇති නො වරදින මාර්ගය ධ්‍යාන වඩා බ්‍ර‍හ්මලෝකයෙහි ඉපදීම ය. එහි උපන හොත් මෙතේ බුදුන් ලෝ පහළ වන තුරු ම ජීවත්විය හැකි ය. මෙතේ බුදුන් පහළ වීම දක්වා ඉදිරියට ඇති කාලය ඉතා දීර්ඝ ය. එහි ප්‍ර‍මාණය වර්ෂවලින් නො පිරිසිඳිය හැකි ය. කාමස්වර්ගයෙහි ඉතා දීර්ඝ ආයුෂය ඇති තැන වූ පරනිර්මිත වශවර්ති දිව්‍ය ලෝකයෙහි වුව ද දහස් වරක් දස දහස් වරක් නියම ආයුෂය ගෙව ගෙවා මැරි මැරී උපනත් මෛත්‍රෙය බුදුන් උපදනා කාලය නො පැමිණේ. ඒ කාලය තවත් ඉදිරියේ ය.

අද මෙතේ බුදුන් පතන්නෝ කාමලෝකයෙහි උපදින්නාහු නම් ඒ අත ඔවුනට උපදින්නට මැරෙන්නට සිදු වන වාර ගණන සමහර විට ලක්ෂ ගණන ද ඉක්මවන ගණනක් විය හැකි ය. ඒ කාලයේ ඔවුනට කුමක් සිදු වේ දැ යි කාට කිව හැකි ද? සමහර විට සසර පව්කම් කොට මෙතේ බුදුන් පහළ වන කාලයේ දී ඔවුන්ගෙන් බොහෝ දෙනකු අපායවලට වී සිටිනුවන් විය හැකි ය. මෙතේ බුදුන් උපදනා කාලයේ අපායට වැටී සිටින්නට වුවහොත් උන් වහන්සේ නො දැකිය හැකි ය. දැකිය හැකි වූයේ ද නිවන් නො දැකිය හැකි ය. එ බැවින් ඒ බුදුසස්න ද ඔවුනට පලක් නැතිව ඉක්මෙන්නේ ය. බ්‍ර‍හ්ම ලෝකයෙහි උපන හොත් ඒ වැරදීම නො වන්නේ ය. එ බැවින් මෙතේ බුදුන් දැක නිවන් දැකීමට ඇති නො වරදින මාර්ගයත් ධ්‍යාන වඩා බ්‍ර‍හ්මලෝකයෙහි ඉපදීම බව කිය යුතු ය.

ධ්‍යාන ලැබීමෙන් බ්‍ර‍හ්මලෝකයේ ඉපදිය හැකි වෙනවා මිස නිවන් නො දැකිය හැකි ය. සසර දුකින් මිදී නිවන් දැකිය හැකි වන්නේ ලෝකෝත්තර මාර්ග ඵලයන් ලබා ගැනීමෙනි. ඒවා ලැබිය හැක්කේ විදර්ශනා භාවනාවෙනි. ආනාපාන භාවනාව සමථ භාවනාවෙකි. ආනාපාන භාවනාවෙන් ම හෝ වේවා අන් ක්‍ර‍මයකින් හෝ වේවා, කවර ක්‍ර‍මයකින් වුවත් සමාධිය ඇති කර ගතහොත් ඒ සමාධිය විදර්ශනා භාවනාවට අත්තිවාරමක් වේ. එ බැවින් බොහෝ යෝගාවචරයෝ පළමු කොට සමාධිය ඇති කරගෙන පසු ව විදර්ශනා වඩති. ආනාපාන භාවනාව කොට සමාධිය ඇති කර ගත් තැනැත්තා එයින් විදර්ශනා භාවනාවට අඩිතාලම ඇති කර ගත්තේ වේ. එය කර ගත් යෝගාවචරයා විසින් එ පමණින් නො නැවතී ලෝකෝත්තර මාර්ග ඵලයන්ට පැමිණෙනු පිණිස භාවනාව විදර්ශනාවට හරවා ගත යුතු ය. ආනාපාන භාවනාව දෙයාකාරයකින් විදර්ශනාවට ගෙන යා හැකි ය. එයින් එක් ආකාරයක් ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව මුල් කර ගෙන විදසුන් වැඩීම ය. දෙවන ආකාරය ආනාපාන ධ්‍යානය මුල් කර ගෙන විදසුන් වැඩීම ය.

ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව මුල් කොට විදර්ශනා වැඩිය යුත්තේ මෙසේ ය. එය කරනු කැමති සත්පුරුෂයා විසින් සමාධියෙන් නැගිට මේ ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව කුමක් ඇසුරු කොට පවත්නේදැ යි එහි නිශ්‍ර‍ය ය සෙවිය යුතු ය. විමසන්නා වූ යෝගාවචරයා හට ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව ශරීරය ඇසුරු කොට පවත්නා බව පෙනෙන්නේ ය. ඉක්බිති ශරීරය කුමක් ද? කුමකින් නිර්මිත වී තිබෙන දෙයක් ද? යන බව විමසිය යුතු ය. විමසන්නා වූ යෝගාවචරයා හට ශරීරය රූප ධාතු ගොඩක් බව වැටහෙන්නේ ය. රූප ධාතු සමූහය හොඳින් තේරුම් ගත් පසු යෝගාවචරයා විසින් මේ රූපයන් සොයන්නේ රූපයන් පිරිසිදෙන්නේ රූපයන් දැනෙන්නේ හැඳින ගන්නේ කවරෙක් ද? කෙසේද? යන බව සෙවිය යුතු ය. සොයන්නා වූ යෝගාවචරයා හට රූපයන් දැන ගන්නා වූ හැඳින ගන්නා වූ විඥානයන් පහළ වනු මිස ඒවා දැන හැඳින ගන්නා වූ සත්ත්වයකු පුද්ගලයකු නැති බව දැනෙන්නේ ය.

ඉක්බිති යෝගාවචරයා විසින් ශරීරය වූ පෘථිවි ධාත්වාදි සමූහය රූපය යි ද, ඒවා දැන ගන්නා වූ දක්නා වූ අරමුණු කොට උපදින්නා වූ චිත්ත ස්පර්ශ වේචනා සංඥා චේතනාදි ධර්ම සමූහය නාමය යි ද, වෙන් වෙන් වශයෙන් සිතට ගත යුතු ය. නාම රූප දෙකින් අන්‍ය වූ මම ය කියා කිසිවකු සත්‍ය වශයෙන් නැති බව තේරුම් ගත යුතු ය. එසේ තේරුම් ගැනීම දෘෂ්ටි විශුද්ධිය ය. ඉක්බිති ඒ නාමරූප ධර්ම සමූහය කෙසේ ඇති වූවක් දැ යි ඒවායේ ඇති වීමේ හේතු සෙවිය යුතු ය. කිසි හේතුවක් ප්‍ර‍ත්‍යයක් නැති ව ඉබේට ම මේ නාමරූප ධර්ම රාශියට ඇති විය නොහෙන බව ඔහුට අවබෝධ වන්නේ ය. දිව්‍ය බ්‍ර‍හ්මාදීන් ද නාම රූප ධර්ම රාශීන් ම වන බැවින් ඔවුන් මේ නාම රූපයන් ගේ උත්පාදකයන් නො වන බව ඔහුට වැටහෙන්නේ ය. නාම රූපයන් ඇති වූ සැටි ඇති වන සැටි තේරුම් ගැනීම පිණිස පටිච්චසමුප්පාදය මෙනෙහි කළ යුතු ය.

පටිච්චසමුප්පාදය මෙනෙහි කරන්නා වූ යෝගාවචරයා හට මේ නාම රූප ධර්ම සමූහය, ප්‍ර‍ත්‍යය වූ ද ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නා වූ ද ධර්ම සමූහයක් බව වැටහෙන්නේ ය. ඔහුට මේ නාම රූප ධර්ම රාශිය අතීතයේ දී ද අවිද්‍යාදි ප්‍ර‍ත්‍යයන්ගෙන් හට ගැනුණු බව ද දැනුදු හටගන්නා බව ද අනාගතයේදීත් එසේ ම හට ගන්නා බවත් පෙනී කාලත්‍ර‍යට අයත් සකල සංස්කාරයන් ගේ ම උත්පත්ති හේතූන් පිළිබඳ වූ මම අතීතයේත් සිටියෙම් ද, අනාගතයෙහිත් සිටින්නෙම් ද, යනාදීන් පවත්නා වූ සියලු සැක දුරු වන්නේ ය. එය කඞ්ඛා විතරණ විසුද්ධිය ය. ඉක්බිති ඒ සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කරමින් බලමින් සිටීමෙන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන සතර මාර්ග සතර ඵලයන්ට පිළිවෙලින් පැමිණ ඒ යෝගාවචරයා හට සියලු දුක් නසා නිවනට පැමිණිය හැකි වන්නේ ය. මේ ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව මුල් කොට විදසුන් වඩා රහත් වන ආකාරය යි.

ධ්‍යානය මුල් කොට විදසුන් වඩන ආකාරය මෙසේ ය. ධ්‍යාන ලාභී යෝගාවචරයා විසින් ධ්‍යානයට සමවැදී ඉන් නැගිට ධ්‍යානාංගයන් මෙනෙහි කොට මේ ධ්‍යානාංග කුමක් ඇසුරු කොට පවත්නේ දැ යි විමසිය යුතු ය. විමසන්නා වූ ඔහුට ශරීරය ධ්‍යානාංගයන් පවත්නා ස්ථානය සැටියට පෙනෙන්නේ ය. ඉක්බිති ශරීරයට අයත් රූපයන් හැඳින ගෙන, නාම රූප දෙක වෙන් කර ගෙන, ඒවායේ ප්‍ර‍ත්‍යයන් සොයා ගෙන නාම රූප ධර්ම සමූහය අනිත්‍යාදි වශයෙන් බලන්නට පටන් ගත යුතු ය. එසේ කිරීමෙන් පිළිවෙලින් සතර මාර්ග සතර ඵලයට පැමිණ නිවන් දක්නේ ය.

ධ්‍යාන සැම දෙනාට ම නො ලැබිය හැකි ය. ධ්‍යාන ලබා ම විදර්ශනා වඩන්නට සිටිය හොත් මේ ජීවිතයේ එය කරන්නට නො ලැබී යා හැකි ය. ධ්‍යාන ලැබීමය මඟ පල ලැබීමය යන දෙකින් ප්‍ර‍ධාන දෙය මඟ පල ලැබීම ය. ධ්‍යාන නො ලබා එය ලැබිය හැකි ය. එ බැවින් ධ්‍යාන ලැබෙන තුරු නො සිට ශමථ විදර්ශනා දෙක ම එකට ම කර ගෙන යාම වඩා සුදුසු ය. ශමථය නැති ව ශුද්ධ විදර්ශනාව ම වුව ද කර ගෙන යාම හොඳ ය. පටන් ගැනීමේ දී තරමක් දුරට ශමථය පුරුදු කොට විදර්ශනාවට පටන් ගැනුම ද සුදුසු ය.