09 කායගතාසති

තච පංචක භාවනාව

කායගතා සති භාවනාව යනු කය අනුව සිහිය පිහිටුවා බැලීමයි. බුදුරජාණන් වහන්සේ කායගතා සති භාවනාව පිළිබඳව දීර්ඝව සූත්‍ර ගණනාවකම දේශනා කර වදාළා.

යෞවන වයසේ විකසිත වන්නෙක් කෙස් , ලොම්, නිය , දත් , සම් පිරිසුදු කර වර්ණවත් කර, දර්ශනීයත්වයට පත් කිරීම ස්වභාවිකයි. කෙනෙකුට නිරෝගී දිවියක්, ලස්සන රුවක් සරසවන්නේ කෙස් , ලොම් නිය, දත් ,සම් නිසයි. ඒවා වෙනස්නම්, අපිරිසුදුනම්, ඇලීමක් ගැටීමක් ඇති වන්නේ නැහැ. වෙනස්වන මේවායෙහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණත්‍රය නුවණින් වටහා ගත යුතුය.

බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මහා තණ්හාව, මහා පටිඝය දුරුකර ගැනීම සඳහා මාන්නය , උඩඟුකම අඩුකර ගැනීම සඳහා කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ යනුවෙන් කායගතාසති භාවනාව නිබඳවම මෙනෙහි කරන ලෙසයි.

මෙය අනුන් ගැන නෙවෙයි. තමන් ගැනමයි. කේසා, ලෝමා, නඛා, දන්තා , තචෝ , යන කරුණු පහ සති දෙක තුනක් දිගටම මෙනෙහි කරන්න. එයයි ඉගැන්වීමේ ක්‍රමය.

ගිහි ගෙදර සිටම මෙනෙහි කළ හැකි මෙම භාවනාව කුමන ඉරියව්වකින් හෝ මෙනෙහි කළ හැකියි. සිටගෙන සිටියදී , ඇවිදිමින් සිටියදී, නිදන ඉරියව්වෙන් හෝ නින්දට යන තුරා සිහියෙන් මෙය මෙනෙහි කළ හැකි භාවනාවකි.

බුදු දහමේ දාන, ශීල, භාවනා, වශයෙන් පින්කම් තුනක් සඳහන් වෙයි. කෙනෙක් දානමය පින්කමකින් පමණක් සෑහීමට පත් නොවී සීලයත්, භාවනාවත් සම්පූර්ණ කළ යුතුයි. එය සර්ව සම්පූර්ණව පිරිසුදු සිතකින් වැඩිය යුතුයි. දානයෙන්, තණ්හාව නැති කරයි. ශීලයෙන් තරහව නැති කරයි, භාවනාවෙන් මෝහය නැති කරයි. එසේනම් මේ කායගතා සති භාවනාව බොහොම උනන්දුවකින් , ගෞරවයකින් සිදු කළ යුතුයි.

තමන්ගේ සිහිකල්පනාව දියුණුවෙන යෝනිසෝ මනසිකාරයත් හොඳට දියුණුවෙන භාවනා පිළිබඳ වැටහීම උනන්දුවෙන් හොඳට ශක්තිමත් කළ යුතුයි. කායගතා සති භාවනාව මෙනෙහි කිරීමෙන් ශීල, සමාධි, ප්‍රඥා තුන හොඳින් වැඩී සද්ධා, වීර්ය, සති, සමාධි, ඥාන ධර්මයෝ දියුණු වෙයි. මෙම ආනිසංසයෝ හොඳට දැන කියාගෙන සම්බුද්ධ ශාසනයේ පමණක් ඉගෙන ගත හැකි මේ භාවනාව තමනුත් පුළුවන්තාක් මෙනෙහි කරමින් අන් අයටත් කියා දීම ඉමහත් කුසලයකි.

කරුණු පහක් නිසා මෙය තච පංචක භාවනාව යැයි හඳුන්වනවා. එය කායගතාසතියටම ඇතුළත් වෙයි. එසේනම් කේසා, ලෝමා, නඛා, දන්තා , තචෝ යන පංචකය පුළුවන් තරමින් මෙනෙහි කරන්න. සිත ගත දියුණු කරන භාවනා ක්‍රමයක් වන මෙය මාර්ග ඵල අවස්ථාව දක්වා සමීප කරවයි. එසේනම් තච පංචකය අඩුම තරමින් දවසකට වාර තිහ හතළිහක් මෙනෙහි කරන්න. එයින් තමන්ගේ සිහි නුවණ හොඳින් දියුණුවී භාවනාව තවත් ඉදිරියට දියුණු කළ හැකියි.

මේ කරුණු පහ මුලින්ම මෙනෙහි කිරීමෙන් පසුව පිළිකුල මෙනෙහි කරන්න. කේසයෝ වර්ණයෙන් පිළිකුල්ය, සටහනින් පිළිකුල්ය, ගන්ධයෙන් පිළිකුල්ය, ආශ්‍රිත කුණුපයන්ගෙන් පිළිකුල්ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය, යනුවෙන් ඉතිරි කොටස් වූ ලොම්, නිය , දත්, සම්, මස් … ආදියටත් පිළිකුල යොදාගෙන නිබඳවම මෙනෙහි කරන්න. එසේ නැත්නම් කේසයෝ පිළිකුල්ය යනුවෙන් සිතුවත් ප්‍රමාණවත් වෙයි. ගැඹුරින් මෙනෙහි කළ හැකි අයට මේ භාවනාව ගැඹුරටම මෙනෙහි කළ හැකියි.

කායගතාසති භාවනාවෙන් බොහෝ අනුසස් ලැබෙයි. මතක ශක්තිය වැඩිවී කටපාඩම් හිටියි. කුමක්දැයි වටහා ගන්නට පුළුවන් වෙයි. නොඇලී , නොගැටී වාසය කරන්නත් සමත් වෙයි. ප්‍රඥාව වැඩෙන, සිත පිවිතුරු කරන , සිහිකල්පනාව වැඩෙන මේ භාවනාව පාපී සිතිවිලි අඩුකරන්නට සමත් වෙයි. අකුසල කර්ම සන්සිඳුවාගෙන , දස කුසල කර්ම දියුණු කර ගන්නට එය මහෝපකාරී වෙයි. ලෝභ, ද්වේශ, මෝහ අකුසල මූලයන් යටපත් කර අලෝභ, අදෝශ, අමෝහ කුසල මූලයන් මතුකර ගැනීමට කායගතා සති භාවනාව ඉතා ප්‍රයෝජනවත් වෙයි.

දෙතිස් කුණුප භාවනාව

සිරුරෙහි තිබෙන කොටස් තිස් දෙක කායගතාසති භාවනාවට ඇතුළත් වේ. එය දෙතිස් කුණුප භාවනාව යි. අසුභ වශයෙන් සැලකීම අසුභ භාවනාව යි. කය අනුව බැලීම කායානුපස්සනා සතිපට්ඨානය යි.

කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මංසං, නහාරු, අට්ඨී, අට්ඨි මිජ්ජා, වක්කං, හදයං, යකනං, කිලෝමකං, පිහකං, පප්පාසං, අන්තං, අන්ත ගුණං, උදරියං, කරීසං, මත්තලුංගං, පිත්තං, සෙම්හං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු , වසා, කේලෝ, සිංඝානිකා, ලසිකා, මුත්තං

ආදී කොටස් තිස්දෙක කායගතාසති භාවනාවට ඇතුළත් වේ.

සතිපට්ඨාන සූත්‍රය, කායගතාසති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, ආදී බොහෝ සූත්‍රවල කායගතාසති භාවනාව සඳහන් වෙයි. විශුද්ධි මාර්ග අට්ඨ කථාවේ එය ඉතාමත් ම හොඳින් පැහැදිලි කරයි. පාඨක ඔබ සියලු දෙනා ම මෙම කොටස් තිස්දෙක කටපාඩම් කර ගන්න.

තච පංචක භාවනාව ඉහත සඳහන් කළා සේ ම මංසං(මස් පිඬු), නහාරු(නහර) අට්ඨි(ඇටකටු) , අට්ඨි මිජ්ජා(ඇට මිඳුළු), වක්කං(වකුගඩු) කරුණු පහ පිළිකුල් වශයෙන් මෙනෙහි කරන්න.

මස් පිඬු වර්ණයෙන් පිළිකුල් ය, සටහනින් පිළිකුල් ය, ගන්ධයෙන් පිළිකුල් ය, ආශ්‍රිත කුණුපයන්ගෙන් පිළිකුල් ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල් ය. මෙසේ අනෙක් කොටස් ද මෙනෙහි කරන්න. ඉන්පසුව මේ ශරීරයෙහි මස් පිඬු සත්ත්වයෙක් නොවෙයි, පුද්ගලයෙක් නොවෙයි, ආත්මයක් නොවෙයි, නිසත්ත්ව වූ, නිජීවි වූ, ශූන්‍ය වූ, අචේතනික වූ, අව්‍යාකෘත වූ, පඨවි , ආපෝ, තේජෝ, වායෝ ධාතු මාත්‍රයකි. එමනිසා මේ ශරීරයෙහි මස් පිඬු අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. යනුවෙන් ඉහත සඳහන් කළ අනෙකුත් කොටස් ද දිගටම (නහර, ඇටකටු, ඇට මිදුළු, වකුගඩුව) මෙනෙහි කරන්න. මේ දහය මෙනෙහි කිරීම හඳුන්වන්නේ වක්ඛ පංචකය යනුවෙනි. පෙර සඳහන් කළේ තච පංචකය යි. සම කෙළවර කොට ඇත්තේ තච පංචකය යි. වකුගඩුව කෙළවර කොට ඇත්තේ වක්ක පංචකය යි. මේ පාඩම හොඳින් ඉගෙන ගන්න. හොඳට කියවා දැනුම ලබා ගන්න, හොඳින් භාවිත කරන්න, හොඳින් සිතින් මෙනෙහි කරන්නට පුරුදු වෙන්න. සිහි නුවණින් මෙම අරමුණු මෙනෙහි කළොත් බොහොම සාර්ථකව ඉදිරියට යන්නට පුළුවන්.

තාපසාරාමවල ඇතැම් සතුන්ට පවා මේ භාවනාව මෙනෙහි කරන්න කියා දී තිබෙනවා. එක්තරා තිරිසන් සත්ත්වයෙක් අට්ඨි යනුවෙන් මෙනෙහි කළ කමටහන නිසා මතු භවයක දී ස්වාමීන් වහන්සේ නමක් රහත් මඟ ඵල ලැබුවා.

මේ භාවනාව සිය දහස්වර මෙනෙහි කිරීමෙන් තමන්ට ඇත්ත ඇති සැටියෙන් වැටහෙනවා. කෙනෙක් මිය ගිය විට ඒ මෘත ශරීරය බෙහෙත් නොගල්වා තබාගන්නට පුළුවන් වන්නේ දිනයයි, දෙකයි. ඉන්පසු දුගඳ හමනවා. ඒ ශරීරය අසුභ වාදී නිසයි. සිරුර ශුභ වශයෙන් බලන්නේ අනුවණයා පමණ යි. මේ ශරීරය අශුභ වශයෙන් ම බැලිය යුතුයි. එය නුවණැත්තාගේ ස්වභාවය යි.

එක්තරා කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ නමක් තම ගුරු ස්වාමීන් වහන්සේ සමඟ ගමනක් වඩිද්දී වෙනත් මාවතක් වෙත වැඩම කළා. එහ ිදී මේ සාමණේර ස්වාමීන් වහන්සේට මෘත ශරීරයක් හමු වුණා. එය ඕජස් ගලන, පණුවන්ගෙන් පිරුණු, ඉදිමුණු මෘත ශරීරයක්. මේ මෘත ශරීරය දෙස බලා මා ද මේ තත්ත්වයට පත් වෙන බව සිතා තමන්ගේ ශරීරයට එය සන්සන්දනය කළා. මේ මෘත ශරීරය අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි, මගේ ශරීරය ද අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්මයි, යනුවෙන් පිළිකුල් වශයෙන් විවිධාකාර ක්‍රම වලට මෙනෙහි කළ කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ සෝවාන්, සකෘදාගාමී , අනාගාමී මාර්ග ඵල ලැබුවා. ඒ මොහොතේ ලොකු ස්වාමීන් වහන්සේ ද කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ ප්‍රමාද වීමට හේතුව විමසුවා. එවිට කුඩා සාමණේර නම ගුරු ස්වාමීනි, මේ මාවත දෙසට ඔබ වහන්සේ ත් වඩින්නැ’යි වදාළා. එහි දී ගුරු හාමුදුරුවන් ද මේ මෘත ශරීරය දැක මෙනෙහි කිරීමෙන් අශුභය වටහා ගත්තා. ජීවිතය අනියත යි, මරණය නියත යි යනුවෙන් වටහා ගෙන මෘත ශරීරයත් තමන්ගේ ශරීරයත් අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන් මෙනෙහි කළා. ගුරු ස්වාමීන් වහන්සේ ත් කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ සේ ම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී මාර්ගත්‍රය ලැබුවා.

එසේනම්, ඔබ ත් ශරීරයේ පිළිකුල් බව මෙනෙහි කර ජීවිතය අස්ථිරය , මරණය ස්ථිරය යනුවෙන් වටහා ගන්න. මේ ශරීරයෙන් ගත යුතු කිසිම දෙයක් නැති බව හොඳින් තේරුම් ගෙන ශරීරය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන් මෙනෙහි කරන්න. එය අනන්ත වාරයක් මෙනෙහි කරමින් භාවනාව ඉදිරියට දියුණු කළ යුතුයි.

පිලිකුලෙන් බැලීම කියන්නේ ගැටීමක් ,.ඔරිස්සුනු ස්භාවයක්.සියුම් ද්වේශක් .ඒ නිසා .අසුභ කියන්නේ සුභ වශයෙන් නොබැලිය යුතුයි .නොබැඳිය යුතුයි .කොයි වෙලාවේ මේවා විනාශයට පත්වෙයිද ලෙඩරෝග වලට පත්වෙයිද ,කැමැති ලෙස පවත්වනනට පුළුවන්ද යන්න නුවනින් බැලීමක් .මේ සතර මහා භූතයන් ගෙන් නොහොත් ධාතූන්ගේන් එකතූන්ගේන් සෑදුණු දේවල් .මේවාට ඇලුනොත් ,තංහාකොලොත් එකලොස් ගින්නකින් පිච්චෙනවා මයි.

ගල්දූව ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමි