05 චාගානුස්සති භාවනාව

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මසුරු මල අත්හැරලා දන් දීමෙන් සතුටු වෙන කෙනෙක් වෙන්න කියලයි (දාන සංවිභාග රතෝ)…….

අනිත් අයට උදව් උපකාර කරලා සතුටු වෙන්න කියලයි (වොස්සග්ග රතෝ)…….

ආර්ය ශ්‍රාවකයා පරිත්‍යාගය පිණිස දෑත් සෝදගෙන සූදානමින් ඉන්න කෙනෙක් (පයත පාණී)……

තමාගේ බෝග සම්පත්වලින් කොටසක් පරිත්‍යාගය පිණිස වෙන් කරනවා (මුත්ත චාගෝ)……..

යමක් ඉල්ලා ගැනීම පිණිස තමන් කරා එන්නට සුදුසු කෙනෙක් වෙනවා (යාචයෝගෝ)…….

ඒ වගේ ම ආර්ය ශ්‍රාවකයන් සත්පුරුෂ අංගවලින් යුක්තව යි පරිත්‍යාගය පුරුදු කරන්නේ. එයා සිය අතින් ම දන් දෙනවා (සහත්තා දානං දේති)……

පිළිවෙළකට සකස් කොට දන් දෙනවා (සක්කච්චං දානං දේති)…….

ගෞරවයෙන් සිත පහදවාගෙන දන් දෙනවා (චිත්තීකත්වා දානං දේති)…….

බැහැර නො කරන, භාවිතයට සුදුසු දේවල් දන් දෙනවා (අනපවිත්තං දානං දේති)…..

කර්ම – කර්ම ඵල විශ්වාසයෙන් දන් දෙනවා (ආගමන දිට්ඨිකෝ දානං දේති)…..

මේ විදියට පරිත්‍යාගය පුරුදු කරන ශ්‍රාවකයා ඒ ගැන මෙනෙහි කරද්දි සිත එකඟ වෙනවා. ප්‍රමුදිත භාවය ඇති වෙනවා. නිරාමිස ප්‍රීතිය හටගන්නවා. ඒ කෙනාගෙ සිිතත්, කයත් සැහැල්ලූ වෙනවා. චාගානුස්සති අරමුණ තුළ සිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් සිතින් විදර්ශනා වඩන ශ්‍රාවකයාට ධර්මාවබෝධය ලැබිය හැකි බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

චාගානුස්සති භාවනාව ගැන මහානාම රජු හට භාග්‍යවතුන් වහන්සේ වරක් මෙසේ වදාළා.

‘‘මහානාමයෙනි ආර්ය ශ්‍රාවකයා තමාගේ ත්‍යාගී ගුණය සිහි කරනවා. එනම්, ‘ඒකාන්තයෙන් ම මට ලාභයකි. ඒකාන්තයෙන් ම මට මනා වූ ලැබීමකි. මසුරු මලින් යුක්ත ජනතාව අතර මම මසුරු මළ බැහැර වූ සිතින් ගිහිගෙයි වසමි. දන් දීම පිණිස පරිත්‍යාගශීලි සිතින් වසමි. දන් දීම පිණිස සේදූ අත් ඇතිව වසමි. දන් දීමෙහි ඇලී සිටිමි. අනුන්ගේ ඉල්ලීමට සුදුස්සෙක් වෙමි. දන් බෙදීමෙහි ඇලී සිටිමි’ යි කියා තම ත්‍යාගී ගුණය සිහි කරයි. එවිට ඔහු තුළ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ත්‍යාගය අරබයා ඍජු බවට පත් වෙයි. ඔහු අරුත් මෙනෙහි කිරීමෙන් සතුට ලබන්නේ ය. ධර්මය තුළින් සතුට ලබන්නේ ය. ධර්මයෙන් හටගත් ප්‍රමුදිත බව ලබන්නේ ය. ප්‍රමුදිත වූ කෙනාට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත ඇති කෙනාගේ කය සන්සිඳෙයි. සන්සිඳුනු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙයි. මහානාමයෙනි මේ ආර්ය ශ්‍රාවකයා කෙලෙස්වලින් විෂම බවට ගිය ජනතාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද දුක් සහිත ජනතාව අතර නිදුක්ව වාසය කරයි කියා ද දහම් සැඩ පහරට පැමිණියේ චාගානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.”

එම නිසා අපගේ ජීවිතයට යහපත පිණිස පවතින, පරලොව සුගතිගාමී කරන, උතුම් ධර්මාවබෝධයට උපකාරී වන චාගානුස්සති භාවනාව අපි මෙලෙසින් ප්‍රගුණ කර ගනිමු.

චාගානුස්සති භාවනාව

‘‘මම අවබෝධයෙන් යුතුව ම බුදුරජාණන් වහන්සේ සරණ ගියෙමි. උතුම් ශ්‍රී සද්ධර්මය සරණ ගියෙමි. ආර්ය මහා සංඝරත්නය සරණ ගියෙමි. අවබෝධයෙන් යුතුව ම තෙරුවන් සරණ ගිය මම සංසාර දුකින් මිදීම පිණිස ම අත්හැරීම (ත්‍යාගය) පුරුදු කරමි. මම දුක් මහන්සියෙන්, උත්සාහයෙන්, වීරියෙන්, ධාර්මිකව උපයාගත් ධනයෙන් සිල්වතුන්ට ගුණවතුන්ට නිතර දන් පැන් පුදමි.

දුක් මහන්සියෙන් මා උපයා ගත් ධනය අන් අය ප්‍රයෝජනයට ගැනීම දැක සතුටු වීම ඉතා අපහසු දෙයකි. මම ඉතා සතුටින් මගේ ධනය වියදම් කර සිල්වත් ගුණවත් උතුමන්ට දන් පැන් පුදමි. ඒ දැක මම ඉතා සතුටට පත් වෙමි.

සංසාර දුකින් මිදීමට වෙර දරනා සිල්වත් ගුණවත් උතුමෝ මගේ දන් පැන් වළඳා කාය ශක්තිය ඇති කරගෙන, චිත්ත ශක්තිය ඇති කරගෙන සුව සේ සිත දියුණු කරනු දැක මම සතුටු වෙමි.
ඒ උතුමන් වහන්සේලා යම් තාක් දිනයක උතුම් මාර්ග-ඵලයන්ට පත් වේ ද ඒ පිණිස මමත් උපකාර කළ අයෙක් කියා සිතමින් මම සතුටු වෙමි.
බුදුරජාණන් වහන්සේගේ උතුම් පින්කෙත වශයෙන් හඳුන්වා ඇති සිල්වත් ගුණවත් උතුමන්ට මම නිතර දන් පැන් පුදා පින් රැස් කරමි. සතුටට පත් වෙමි.
මම මසුරු මල දුරු කොට දන් පැන් පූජා කරන කෙනෙක් වෙමි. තුන් සිත පහදවා ගෙන දන් පැන් පූජා කර මම සතුටක් ලබමි. මා සතු ඉතා වටිනා අගනා ම දේ පූජා කර මම ඉතා සතුටට පත් වෙමි.
මම නිතර දන් දීම පිණිස ම සූදානම් වූ කෙනෙක් වෙමි. මම නිතර දන් පැන් පූජා කිරීමෙහි ඇලූන කෙනෙක් වශයෙන් කටයුතු කරමි.
මම පිරිසිදුවට පිළිවෙළට සකස් කර දන් පැන් පූජා කරමින් සතුටු වෙමි. මම දන් පැන් ලබා ගන්නා උතුමන්ට ගැළපෙන ආකාරයට හොඳින් විමසා බලා දන් පැන් පූජා කර සතුටු වෙමි.
මම දන් පැන් පූජා කිරීමෙන් මෙලොව සැප සම්පත් බලාපොරොත්තු නො වෙමි. මම දන් පැන් පූජා කිරීමෙන් ශරීර වර්ණය ඇති කර ගැනීම බලාපොරොත්තු නො වෙමි. ආයුෂ වැඩිකර ගැනීමට බලාපොරොත්තු නො වෙමි. අන් අයගේ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු නො වෙමි. මම දන් පැන් පූජා කිරීමෙන් සමාජයේ උසස් තනතුරු බලාපොරොත්තු නො වෙමි. පරලොව දිව්‍ය සම්පත් ද බලාපොරොත්තු නො වෙමි. මම චිත්තාලංකාරය පිණිස ම දන් පැන් පූජා කරමි. මම සංසාර දුකින් නිදහස් වීම පිණිස ම, ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස ම දන් පැන් පූජා කරමි.
ඒ සතුට මාගේ ප්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප්‍රමෝදය නිසා මගේ සිත කය සැහැල්ලූ වේ. එය මට සමාධිය පිණිසත්, උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.
ආර්ය මාර්ගයේ පුරුදු පුහුණු වෙන කෙනා (සේඛ) අත්හැරීම බලයක් වශයෙන් දියුණු කළ යුතු බව මම දනිමි. මම ද සංසාර දුකින් නිදහස් වන උතුම් ආර්ය මාර්ගයේ පුරුදු පුහුණු වන කෙනෙකි. මම අත්හැරීම බලයක් වශයෙන් දියුණු කරමි. එය මට ආර්ය මාර්ගය දියුණු කර ගැනීම පිණිස ම උපකාර වේවා!

මම රාග, ද්වේෂ, මෝහ යන කෙලෙස් අතහැරීම දියුණු කර ගනිමි. ත්‍යාගය නම් වූ සේඛ බලය දියුණු කොට අසේඛ නම් වූ උතුම් තත්ත්වයට පත් වෙමි.
එය මට සතුටකි. ඒ සතුට මාගේ ප්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප්‍රමෝදය නිසා මගේ සිත කය සැහැල්ලූ වේ. එය මට සමාධිය පිණිසත්, උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.
ආර්ය ශ්‍රීවකයාට ත්‍යාගය ධනයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. මම මේ පුරුදු පුහුණු කරන අත් හැරීම (ත්‍යාගය) මට ආර්ය ධනයකි. මම ආර්ය ධනයකට හිමිකම් කියන ආර්ය ශ්‍රීවකයෙකු බව සිතමින් සතුටු වෙමි.
ආර්ය ධනයට හිමිකම් කියන කෙනා දිළින්දෙක් නො වන බව මම දනිමි. එබැවින් මා සතු කොපමණ ධනය හෝ වියදම් කර මම ත්‍යාගය පුරුදු පුහුණු කරමි. ඒ නිසා මම දිළින්දෙක් නො වෙමි. මම ආර්ය ධනයෙන් යුතු ආර්ය ශ්‍රාවකයෙක් වෙමි.
මම ශ්‍රේෂ්ඨ ආර්ය භාවය වන උතුම් අරහත්වය දක්වා ම ත්‍යාගය පුරුදු කරමි. මම ආර්ය ධනය දියුණු කරමි. එය මට සතුටකි. ඒ සතුට මාගේ ප්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප්‍රමෝදය නිසා මගේ සිත කය සැහැල්ලූ වේ. එය මට සමාධිය පිණිසත්, උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.
අත්හැරීම (ත්‍යාගය) සම්පත්තියක් වශයෙන් මම දනිමි. ත්‍යාග සම්පත්තිය මම නිරතුරුව ම පුරුදු කරමි. ත්‍යාග සම්පත්තිය මාගේ ජීවිතයට රැකවරණය සලසා දෙයි. ත්‍යාග සම්පත්තිය ජීවිතයට ආරක්ෂාව ලබා දෙයි. ත්‍යාගය විපත්තියක් නොව සම්පත්තියක් ම ලෙස සලකා මම දියුණු කරමි.
ආරක්ෂාව, රැකවරණය ලබා දෙන ත්‍යාගය මට මහා සම්පත්තියකි. මම විවිධ අයුරින් අත්හැරීම දියුණු කර ත්‍යාග සම්පත්තිය දියුණු කරමි. මාගේ අත්හැරීම සම්පත්තියක් වශයෙන් සිහිකරන මා හට සතුටක් ඇති වේ. ඒ සතුට මාගේ ප්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප්‍රමෝදය නිසා මගේ සිත කය සැහැල්ලූ වේ. එය මට සමාධිය පිණිසත්, උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.”