සුනීත තෙරුන්

අතීතයේ පසේබුදුරජාණන් වහන්සේලාගේ යුගයක් ලොව පහළ වී තිබුණි. දඹදිව ගන්ධමාන පව්ව ඇසුරු කරගෙන මේ පසේබුදුරජාණන් වහන්සේලා මිනිසුන් හට අනුකම්පා පිණිස පිඬු සිඟා හැසිරෙමින්, යහපත අයහපත ගැන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් වැඩ විසූ සේක.

මේ කාලයේ එක්තරා සිටු කුලයක මහා යස ඉසුරු මැද හැදී වැඞී ධන බලයෙන් මත්වූ සිතක් ඇති, යෞවන මදයෙන් මත් වූ සිතක් ඇති තරුණයෙක් විය. ඔහු සිය මිතුරන් හා එක්ව ජනපදයේ සැරිසරමින් කෙළි සෙල්ලමෙන් කල් ගත කරන්නෙකි. දිනක් තම යහළු පිරිස සමඟ යමින් සිටි මොහු සංසිඳුණු ඉරියව් ඇති, බිමට යොමු කරගත් නෙත් ඇති, හොඳින් සිරුර වසා පොරවා ගත් සිවුරු ඇති ඈතින් පිඬු පිණිස වැඩම කරනා පසේ බුදු රජාණන් වහන්සේ නමක් දුටුවේය.

එ් සිත් පහන් කරවන දසුන දැක මොහුගේ සිත පහන් වූයේ නැත. උන් වහන්සේව පහත් කොට හෙළා දකිනා ලාමක සිතුවිලි හට ගත්තේය. ඔහු තම යහළුවන්ට සිනාසෙමින් මෙසේ පැවසීය.

“එ්යි! හ්! අර බලාපල්ලකෝ! අපි වගේම වයසේ කෙනෙක්නේ, හොඳට අතපය තියෙන කෙනෙක්නේ අර ගෙවල් ගානේ ඉල්ලගෙන යන්නේ, යසයි වැඩේ… අපි මහන්සිවෙලා හම්බ කරන්ට ඕන. නිකං ඉල්ලගෙන එන මේ පිරිසට දෙන්ටත් ඕන… අද බලාපල්ලකෝ! මං හොඳ පාඩමක් උගන්වන්නං”

“එපා! එපා! මේ ආර්යයන් වහන්සේලා හරී ගුණවත් කියලයි මං අහලා තියෙන්නේ, උන්වහන්සේලා ශ්‍රේෂ්ඨ පිරිසක්, මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් ම යි පිඬු පිණිස වැඩම කරන්නේ! උන්වහන්සේලාට යමක් පූජා කළොත් එ්කෙන් පින් රැස්වෙනවා. අනාගතයේ බොහෝ සැප ලැබෙනවා! එ් හින්දා උන්වහන්සේට මොකුත් කියන්ට නං එපා!”

“අනේ මේ! උඹේ පණ්ඩිතකං, බලාපං උන්වහන්සේගේ ඇති විශේෂයක් නෑ. රැස් විහිදෙනවද? ගුණවත් බවක් අනුකම්පාවක් තියේ නං මිනිස්සු මහන්සියෙන් හම්බ කරපු දේ ඔහොම ඉල්ලාගන්ට එනව ද නිකම්ම… උන්වහන්සේට යමක් දුන්නාම වෙන්නේ රැස්වෙන එක නෙවෙයි බොල! ගෙදර මනුස්සයෙකුට දෙන්නෙකුට කන්ට තිබ්බ දේ නැතිවෙන එක… තේරුණාද?”

ඔවුන්ගේ මේ කතාබහ අතරේ පසේබුදුරජාණන් වහන්සේ ඔවුන් සමීපයට වැඩම කලේය. උගුර පෑදූ මේ තරුණයා සාඩම්බර ලීලාවෙන් පසේබුදුරජාණන් වහන්සේට මෙසේ කීවේය.

“ඈ ශ්‍රමණය… මොකක්ද මේ වැඩේ තේරුම? මුළු ශරීරයේම රෝගයක් ඇත්තෙක් වගේ මුළු සිරුරම වස්ත‍්‍රයකින් වසාගෙන අන් අයගේ නිවෙස් වලට පිඬු සිඟා යෑමේ ප්‍රයෝජනය මොකක් ද? අතේ පයේ සවිය ඇති ඔබ කෘෂිකර්මය හෝ වෙළඳාමක් කොට අනුභව කළා නම් අකැපද? හ්ම්… එහෙම බැරි නම් කුලීනයන්ගේ නිවෙස්වල කසල ශෝධකයා ලෙස කටයුතු කරලාවත් තමන් හම්බකරං අනුභව කළා නම් නරක ද?”

පසේබුදුරජාණන් වහන්සේ ඔහුගේ වදන් අසාගෙන සිට “පින්වත, ඔබ සුවපත් වේවා!” යයි පවසා සංසුන් ඉරියව්වෙන් ම වැඩම කළ සේක.

උතුම් ගුණ ඇති පසේබුදුරජාණන් වහන්සේ නමක් කෙරෙහි තම වචනය වරද්දාගත් පාප කර්මය කරත්තයේ බැඳි ගොනා පසුපස පැමිණෙන රෝදය මෙන් ඔහු පසුපස පැමිණෙන්නට විය. එ් ජීවිතයෙන් පසු නිරයේ උපන් හෙතෙමේ බොහෝ කාලයක් ලෝකුඹු නිරයේ පෙණපිඬක් ලෙස ලෝ දියෙන් තැම්බී ගිය සිරුරක් ඇතිව දුක් වින්දේය. පිපාසයක් දැනෙන විට නිරිපල්ලන් විසින් බලහත්කාරයෙන් මුව තුළට වත් කරන ලෝ දියෙන් දැවෙමින් බොහෝ කලක් ගත කළේය.”

බොහෝ ආත්මභාව සිය ගණන් දහස් ගණන් කසල ශෝධක නීච කුලවල ඉපිද අනන්ත දුකට පත්විය. මේ මහා භද්‍ර කල්පයේ මිනිසුන්ගේ ආයුෂය අවුරුදු 120 ක් වූ යුගයේ සැවැත් නුවර සැඩොල් කුලයේ මව් කුසක ඔහු පිළිසිඳ ගත්තේ ය. උපතින්ම අන්ත දුප්පත්, නීච සිතින් වාසය කළ යුතු, සමාජයේ ගර්හාවට ලක්වන කුලයක ‘සුනීත’ නමින් ඔහු හැදී වැඩුණි. සුනීත හට මව්පිය පරපුරෙන් පැමිණි රැකියාව කුලීනයන්ගේ නිවෙස්වලට ගොස් දිනපතාම ඔවුන්ගේ නිවෙස්වල පිළිණු වූ ඉඳුල් හා අසූචි කදක තබාගෙන නගරයෙන් බැහැරට ගෙනගොස් දැමීමයි.

කුලීනයන් ඉවතලන ඉඳුල් පිඬක් වත් ඔහුට එම නිවසකින් ලැබී නැත. ‘සුනීතය, දරුව’ කියා කාරුණික වදනක් අසන්නට ලැබී නැත. සුනීත වෙනදා මෙන් කද කරතබාගෙන කුඩා සීනුව සොළවමින් පාර දිගේ යන්නට පටන් ගත්තේ ය. එ් සීනු හඬ අසන කුලීනයන් හට ඔහුව මඟහැර වෙනත් මාවතකින් යනු පිණිසය. එ් අතරේම අසල නිවසකින් ”තූ! මේ මූසලයාවනේ අද උදේම දැක්කේ” කියා කාරා කෙළ ගසනු ඔහුට ඇසුණි. මෙය සුනීත හට අලුත් දෙයක් නොවේ. එවැනි වදන් ඔහුගේ සිතට දුකක් ඇති නොකරවන තරම්ය. මන්ද දවසක් ඇතුළත ඊට වඩා කර්කශ වදන් නියත වශයෙන්ම ඔහු හට අසන්නට ලැබෙන බැවිණි.

“එ්යි! වසලය… මෙහාට වර! අද සිටුතුමාගේ නිවසේ තොට ගෙනයාමට බොහෝ දේ ඇත… මෙහෙට වර!” එ් සිටුමැදුරක මුරකාරයෙකි. සුනීත ඔහුටත් හිස නමා ගෞරව දක්වා පසුපස ඇති දොරටුවෙන් සිටුමැදුරේ කසල දමන තැනට පැමිණියේ ය. කුඩා වෙලාවකින් අසූචි සහ කසල එක්කරගත් ඔහු බොහෝ වේලාවක් හිස නමාගෙන සිටියේ තම මුදල ලැබෙන තුරුය. ‘ආ!… අරගෙන පල!” කියමින් ඔහුට ලැබෙන සොච්චං කාසිය ඔහුගේ දෙපා මුලට නිවසේ යමෙක් වීසි කළේය.”

එයත් යටහත් ලෙස අහුලාගත් සුනීත අසූචි කද රැගෙන එක් අතකින් සීනුව නාද කරමින් නගරයේ වීදියට පිළිපන්නේ ය.

තිලොව දිනූ මහා කරුණික ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් මහා වෙහෙරේ සමවත් සුවයෙන් වැඩ සිටිනා සේක. උන්වහන්සේ සමවැදී සිටියේ මහා කරුණා සමවතට ය. සම්බුදු රජාණෝ දිනපතාම සමවදින සමවතයි. සමවත් සුවයෙන් සම්බුදු රජුන් හට සුනීතයන් දැක ගන්නට ලැබිණි. සුනීතයන් ගේ දිවියේ පරම සුවය අත්විඳිය හැකි පුණ්‍ය පහන් සිළුවක් දැල්වී තිබේ. සම්බුදු රජාණන් වහන්සේ සුනීතයන් සොයා වැඩම කිරීමට අදිටන් කර ගත් සේක.

අසූචි කද රැගෙන සුනීතයන් පැමිණෙන මාවත එකවරම කළබලකාරී ස්වරූපයක් ගත්තේ ය. “ඒයි! වසලයා, ඔය අසූචි කද රැුගෙන අහකට පල! ශ්‍රමණ ගෞතමයාණෝ සහ ශ්‍රාවක පිරිස වැඩම කරනවා! ඔය මාවතෙන් ඉවත් වෙයං…!” ඇතැම් මිනිසුන් මහ හඬින් සුනීතයන් හට පවසන්නට විය. එහෙත් දැන් ඉවත් වෙන්නට තැනක් නැත. සම්බුදු රජාණන් වහන්සේ සමීපයටම වැඩම කර ඇති බව රන්වන් සිරිපා කමල් දකිනා සුනීතට වැටහිණි. ‘අහෝ! මා වැනි පව්කාරයෙක්, මේ උතුමාණන් පැමිණෙනු මට යාන්තමටවත් දැනුණේ නැහැ නෙව! දැන් කුලීනයන්ගෙන් පහර කන්නටයි මට සිදු වන්නේ’ යි සිතමින් සුනීත මාවතෙන් හැකිතාක් ඉවත්ව අසූචි කද බිම තබා, තාප්පයට හේත්තු වී බිම බලාගෙන සිටියේ ය. වෙව්ලමින් ඇඳිලි බැඳගෙන වන්දනා කරගෙන සිටියේ ය.

මහා කාරුණිකයාණෝ ගාම්භීර බ‍්‍රහ්මස්වරයෙන් සුනීතයන් හට මෙසේ පැවසූ සේක.

“පින්වත් සුනීත, ඔය අසූචි කද කර තබාගත් ජීවිතයෙන් ඔබ අත්මිදෙනු කැමති නොවේ ද? ඔබ පැවිදි වීමට අකමැති ද?”

අහෝ! අසිරිමත්ය! කුලවන්තයෙකු ගෙන් මෙවැනි වදන් ජීවිතයේ ප්‍රථම වරටය ඇසුණේ. සුනීතගේ හදවත ගැහෙන්නට විය.

“අනේ! ස්වාමීනි, හීන කුලයක උපන් මා හට ඔබවහන්සේ සමීපයේ පැවිදි විය හැකිද? එසේ සුදුසු නම් මා පැවිදි නොවී සිටීමට වෙනත් හේතුවක් නැත. මා පැවිදි වීමට බොහෝ කැමති වෙමි.”

ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ”පින්වත් භික්ෂුව, මෙහි එන්න, මනාකොට දේශනා කළ මේ ධර්ම විනයේ හැසිරෙන්න” එසේ පවසනවාත් සමඟම සුනීතයන්ගේ ගිහිවේශය අතුරුදහන් විය. කෙස් රැවුල් ඉවත් වී, සිවුරු පෙරවී භික්ෂු ස්වරූපයෙන් පෙනී සිටියේ ය. එයම සුනීත තෙරුන් හට උතුම් වූ උපසම්පදාව විය.

සුනීත තෙරණුවෝ සුළු කලෙකින් ධර්මවිනය ඉගෙන ගත්තේ ය. ඒ දහම් මගේ හැසිරීමට අරණ්‍යයට වැඩම කළේය. සම්බුදු රජාණන් වහන්සේ පැවසූ අවවාද යළි යළිත් මෙනෙහි කළේය. ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනේ භයානක බව ප්‍රකට වෙද්දී බලවත් වීරියයක් හට ගත්තේය. සියළු කම්මැලිකම් දුරු වී ගියේය. සම්බුදු සමිඳුන් වදාළ ලෙසම කටයුතු කළ සුනීත තෙරණුවෝ රාත්‍රී පළමු යාමයේ පුබ්බේනිවාසානුස්සති ඤාණය ලැබූ සේක. මධ්‍යම යාමයේ චුතූපපාත ඤාණය උපදවා ගත් සේක. අළුයම වන විට සියළු කෙලෙසුන් නසා අවිද්‍යාව දුරුකොට ආසවක්ඛය ඤාණය ලැබූ සේක.

උදෑසන හිරු නැඟ එද්දී සුනීත මහරහතන් වහන්සේ වැඩසිටි කුටිය ඒකාලෝක කරගෙන මහා බ‍්‍රහ්මයාත්, දෙදෙව් ලෝකාධිපති ශ්‍රක්‍ර දේවේන්ද්‍රයාත් පිරිවර සමඟ පැමිණ නමස්කාර කරගෙන මෙසේ ප්‍රිති වාක්‍යයන් පවසන්නට විය.

“ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ පුරුෂයෙකි! ඔබට නමස්කාර වේවා! උතුම් පුරුෂෝත්තමයාණෙනි, ඔබට නමස්කාර වේවා! දුක් රහිත මුනිඳුනි, ඔබගේ සිත තුළ කිසිදු අශ්‍රවයක් නැත්තේ ය. ඔබ වහන්සේ ලෝකයාගේ පුද පූජාවන් ලැබුමට අතිශයින්ම සුදුසු වන සේක.”

දෙව්රම් වෙහෙරේ වැඩසිටි අපගේ ගෞතම මුනිරජාණන් වහන්සේ සුනීත මහරහතන් වහන්සේ ඉදිරියේ සාදරයෙන් වන්දනා කරන මේ දෙව්පිරිස දැක බ‍්‍රහ්මස්වර විහිදුවා

මෙසේ වදාළ සේක.

“තපේන බ‍්‍රහ්චරියේන – සංයමේන දමේන ච

එ්තේන බ‍්‍රාහ්මණෝ හෝති – එ්තං බ‍්‍රාහ්මණමුත්තමං”

“කෙලෙස් තැවීමෙනුත්, බඹසර ජීවිතයෙනුත්, සංවර කමෙනුත්, දමනයෙනුත් තමයි බ‍්‍රාහ්මණ බවට පත් වන්නේ. සැබැවින්ම මේ සිටින්නේ උතුම් වූ බ‍්‍රාහ්මණයෙකි.”