සිරි කාලකණ්නි ජාතකය

මහණෙනි, ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමැති රජ්ජුරු කෙනෙක් රාජ්‍ය විචාරමින් සිටියා. ඔය කාලේ මහා බෝධි සත්වයෝ බරණැස සිටුවරයා වෙලා සිටියා. මේ බරණැස් සිටුතුමා නිතර දන් දෙනවා. සිල් රකිනවා. උපෝසථය රකිනවා. සිටු බිරිඳත් පන්සිල් රකිනවා දරුවොත්දැ සිදස් කම්කරුවොත් පන්සිල් රකිනවා. දවසක් සිටුතුමා මෙහෙම කල්පණා කලා. ‘ඉඳින් මාත් මාගේ පිරිවරත් පිරිසිදු සිල් ඇති අය. මෙහෙට කව්රුහරි අමුත්තෙක් ආවොත් ඔවුන්ට මං වාඩිවෙන පුටුව දීම හෝ සැතපෙන සයනාසනය දීම හෝ ගැලපේනේ නෑ. අපි පරිහරණය නොකරන දෙයක් තමා දෙන්ට වටින්නේ.’ එහෙම කල්පනා කොට තමන් පරිහරණය කරන ආසනය ළඟම පැත්තකට වෙන්ට කව්රුත් පාවිච්චි නොකළ පුටුවකුත්, ඇඳකුත් පණවා තිබ්බා. ඔයකාලේ චාතුම්මහාරාජික දෙව්ලොව විරූපාක්ෂ දෙව් මහරජුගේ කාලකණ්ණි නමැති නාගකුලේ දියණියකුයි, ධ්‍රැතරාෂ්ඨ දෙව්මහරජුගේ ශ්‍රීයා නමැති ගාන්දර්ව කුලේ දියණියකුයි ගොඩාක් සුවඳ මල් ආදිය අරගෙන හිමාලයේ අනොතත්ත විල්තෙරට විනොද වෙන්න ආවා. ඔය අනෝතත්ත විල්තෙරේ බොහෝ තොටුපලවල් තියෙනවා. බුදුවරුන්ගේ තොටුපලේ බුදුවරු විතරයි පැන් පහසු වෙන්නේ. පසේබුදුවරුන්ගේ තොටුපලේ පසේබුදුවරු විතරයි පැන් පහසුවෙන්නේ. භික්ෂූන්ගේ තොටුපලේ භික්ෂුන් විතරයි පැන් පහසු වෙන්නේ. තාපසයින්ගේ තොටුපලේ තාපසයින් විතරයි පැන් පහසුවෙන්නේ. ඒ වගේම චාතුම්මහාරාජික දෙවියන්ට වෙනම තොටක් තියෙනවා. අනික් දිව්‍ය ලෝක වලටත් වෙනම පැන් තොටවල් තියෙනවා. ඒවායින් බැස ඒ ඒ දෙවිවරු ඇවිත් ස්නානය කරනවා. ඉතින් මේ දෙන්නා තොටුපලට ආවා. ”හා… පොඞ්ඩක් ඉන්න. මමයි ඉස්සර වෙලා තොටුපලින් බැස නාන්නේ….’ නෑ… ඔයා කොහොමෙයි එහෙම කරන්නේ… ? මමයි ඉස්සෙල්ලාම නාන්නේ.’ කියලා මේ දෙන්නා සණ්ඩු අල්ලන්ට පටන් ගත්තා. එතකොට කාලි මෙහෙම කිව්වා. ‘නෑ… ඔහේ කොහොමෙයි මට ඉස්සරියෙන් දියට බසින්නේ. මං නොවැ ලෝක සත්වයාව පාලනය කරන්නේ. මං නොවැ සොයා බලන්නේ. ඒ නිසා මමයි මුලින්ම නාන්ට සුදුසු.’ ‘නෑ…. කාලි …. ඔයා වැරදියි…. මං නොවැ මිනිසුන්ට ඉසුරු සම්පත් දෙන්නේ. මං නොවැ යහපත් ප්‍රතිපදාවේ ඉන්නේ. ඒ නිසා මං තමයි මුලින්ම නාන්ට ඕනි. ’ මේ දෙන්නට මේ කෝලහාලය සංසිඳුවාගන්ට බැරි වුණා. එතකොට ශ්‍රීයා දෙව් මෙහෙම කිව්වා. ‘හරි… එහෙනම් අපි අතරින් විල් දියට බසින්ට වඩාත් ම කව්ද සුදුසු කියා දැනගන්ට සතරවරම් මහදෙව්රජුන් ළඟට යමු. උන්නාන්සේලා මේ ගැන දන්නවා නොවැ’’ කියා සතර වරම් දෙව්රජුන් ළඟට ගියා. අනෝතත්ත විලෙන් මුලින්ම දිය නාන්ට සුදුසුකම් තියෙන්නේ දෙන්නාගෙන් කාටද කියා අසුවා.” එතකොට ධ්‍රැතරාෂ්ඨ – විරූපාක්ෂ දෙව්මහරජවරු මෙහෙම කිව්වා. ”ම්ම්… අපට මේ ගැන විනිශ්චයක් දෙන්ට බැහැ. අපි මේ ගැන තීන්දුවක් දෙන්ට කියා විරූඪක, වෛශ්‍රීවණ දෙව්රජවරුන්ට භාර දෙනව.”

”අනේ…. මේ… අපටත් මේ දෙන්නාගේ කෝලහලයට අතගහන්න පුළුවන් කමක් නැහැ. අපි මේ දෙන්නාව සක්දෙව් මහරජුගේ පාමුලට යවමු.” කියලා කාලියත්, ශ්‍රීයාවත් සක්දෙව්රජු ලඟට පිටත් කළා. සක්දෙවිඳු දෙන්නාගේම පැමිණිලි වලට හොඳින් සවන් දුන්නා. මෙහෙම සිතුවා. ‘මේ දෙන්නාම මගේ පුරුෂයන්ගේ වරු නොවැ. ඒ නිසා මෙයාලගේ නඩුවට මං මැදිහත්වෙලා විසඳන එක හරි මදි. ’ කියා සිතා මෙහෙම කිව්වා. ”දියණිවැරනි, දඹදිව බරණැස්පුරේ බරණැස් සිටාණෝ ඉන්නවා. උන්නැහැගේ නම පිරිසිදු පිරිවර ඇත්තා යන අරුත් ඇති ‘සුචිපරිවාර’ යන්නයි. ආං ඒ සිටු උන්නැහැගේ ගෙදර නොඉඳුල් කවිච්චියකුයි, නොඉඳුල් ඇඳකුයි පණවා තියෙනවා. ඇහැකිනම් එය දෙන්නාගෙන් කෙනෙක් ගොහින් පළමුවෙන් ම වාඩිවෙන්ට හෝ සැතපෙන්ට අවස්ථාවක් ගන්න. එයාට අනෝතත්ත විලෙන් ඉස්සෙල්ලාම නාන්ට පුළුවනි.” කියලයි මං කියන්නේ. සක් දෙවිඳුගෙන් මේ වචනය ඇසූ ගමන් කාලකණ්ණි සැණෙකින්ම නිල්වතින් සැරසුණා. නිල්පාට වත්සුණු තවරා ගත්තා. නිල් මැනික් අබරණවලින් සැරසුණා. යන්ත‍්‍ර ගලකින් බසිනවා වගේ දෙව්ලොවින් බැස්සා. ? මැදියමේ සිටුතුමාගේ නිවසේ සිටුතුමාගේ සයනට නුදුරින් නිල් රශ්මි ධාරා විහිදුවමින් අහසේ පෙනී සිටියා. සිටුතුමා හිස ඔසවා බැලූවා. ඇයගේ දැක්ම දුටු පමණින්ම සිටුතුමාට මහත් අප්‍රසන්න අපුලක් ඇතිවුණා. ඈ සමඟ කතාකරමින් සිටුතුමා මේ පළමු ගාථාව පැවසුවා.

හපොයි හපොයි මොකදෑ මේ කලූවත් හැඳගෙන – බලන්ට ආසාවක් ඇතිවෙන්නෑ කවුෙදෝ මේ තැනැත්තී, කාගේ දුවක් දෝ තී – කොහොමෙයි අපි එය දැනගන්නේ. එතකොට කාලකණ්ණිය මේ ගාථාවෙන් පිළිතුරු දුන්නා. විරූපාක්ෂ දෙව්මහරජුගේ දියණිය වූ මට – ක්‍රෝධය නිසාම චණ්ඞී කියා කියයි මම කාලී වෙමි, වාසනාව නැති මා ගැන – කාලකන්ණිය කියා කියයි එම්බා සිටුවර, තොප පණවා ඇති – මේ නොඉඳුල් අසුනේ එක් රැයක් ඉන්ට අවසරය දෙනු මැන – එවිට අපි වසනෙමු තොප ළඟ කාලකණ්ණිගේ කථාව ඇසූ සිටුවරයා මේ ගාථාව පැවසුවා. එම්බා කාලී, එහෙනම් කියන්ට මා හට – මොනවද සිල් ගුණ තොපගේ කුමන ගතිගුණ තිබෙන පුරුෂයෙකුගේ – ළඟ ද තී වසන්නේ මා විසින් අසන මෙය – දැනගන්නේ කොහොමෙයි එතකොට කාලකණ්ණිය තමන්ගේ ගතිගුණ මේ අයුරින් පවසා සිටියා. යම් කෙනෙක් ලොවේ ගුණ මකයි ද අනුන්ගේ – ගරහා දොස් කියයි ද අනුන්ට කරයි ද එකටෙක, සිටී ද ඉරිසියාවෙන් – අනුන්ට යමක් ලැබෙනවාට නොඉවසයි ද මසුරුව මායාවෙන් කරයි ද කපටිකම් – අනාචාරයේ යෙදී නසා ගනී නම් වස්තුව අන්න එබඳු පුරුෂයාට මං හරි ආසයි පොඩි දේටත් වහා කිපෙනවා නම් – වෛර බැඳගෙන පළිගන්නවා නම් කේළාම් කියා සමඟිය නසනවා නම් – පහත් වචන කියනවා නම් සිතේ සතුට නසන වචන කියයි නම් – එබඳු කෙනාටයි මං හරි ආසා තමන්ගෙ දියුණුව උදෙසා – අද කළයුතු හෙට කළයුතු දේ නොදනී නම් උවවාද කළ විට – ඒ ඔවදන් දුන් කෙනාට වෛර බඳී නම් හැමට උඩින් සිටිය යුත්තේ තමා කියා – උඩඟු සිතින් සිටී නම් කම් සැපයට ගිජු වී එයටම වසඟ වෙලා නම් – හැම මිතුරන්ගෙන් ඔහු පිරිහී යයි නම් මේ අයටයි මං නම් හරි ආසා – මේ අය ළඟ මං සතුටින් දුකක් නැතිව ඉන්නේ.

කාළකණ්ණිගේ කතාව ඇසූ සිටුවරයාට ඈ ගැන මහා පිළිකුලක් හටගත්තා. ඇයට ගරහමින් බෝධිසත්වයෝ මේ ගාථාව පැවසුවා. එම්බා කාලී… චී… චී… – ඉතා ඉක්මනින් පලයං මෙතැනින් තී ආසා කරන ඔවැනි පහත් දේ – අපි ළඟ නම් දකින්ට නැත්තේ ත්‍වන ජනපදයකට හෝ නියම් ගමකට හෝ – රටකට පලයාං එතකොට උඩඟු සිතින් යුතු කාලි මේ ගාථාවෙන් පිළිතුරු දුන්නා. ඔව් මං එය දන්නවා තමා සිටුවර – තොප ළඟ මේ ගතිගුණ නෑ තමා ලෝකේ පව්කාරයෝ ඕනතරම් ඉන්නවා – ඒකුන් මහ ධනය සොයනවා ඹගේ සොයුරු තව දෙවියෙක් ඉන්නවා – එයයි මමයි ඒ හැම දෙන නසනවා හනේ… මට මේ ඔහෙගේ යහන් ඕන නෑ. මට ඕනෑ තරම් දිව්‍ය යහන් තියෙනවා. ඔහෙගේ ආසන මට දුන්නත් එකයි. නැතත් එකයි. ඕවායින් මට ඇති වැඩක් නැහැ.” කියා කාලී නොපෙනී ගියා. සුළු මොහොතකින් ඒ සිටු ගබඩාවේ ශ්‍රීයා දේවි පෙනී සිටියා. ඈ රන්වන් වතක් හැඳගෙන, මල් ගවසාගෙන, රන් ආබරණ පැළඳ රන්වන් රැස් විහිදුවමින් සිටුවරයා ඉදිරියේ පොළොවේ පාද සමව තබාගෙන සිටගත්තා. ඇය දුටු බෝධි සත්වයෝ ඇගෙන් මෙහෙම ඇහුවා. අලංකාර දෙව් සිරියෙන් බැබළී – පොළොවේ පා තබා සිටිනා සොඳසේ කව්දෝ තී, කාගේ දුවක් දෝ තී – ඒ ගැන අපි දැනගන්නේ කොහොමෙයි බෝධිසත්වයන්ගේ වචනයට ශ්‍රී දෙව්දුව මේ පිළිතුර දුන්නා. පින් සිරියෙන් හොබනා ධ්‍රැතරාෂ්ඨ දෙව්මහරජුගේ – දියණිය වෙමි මම මට ශ්‍රී දේවි කියයි ලක්ෂ්මී ද කියයි – මං මහ නැණවතියකී කියයි පින්වත් සුටුවර ඔබ පණවා ඇති – මේ නොඉඳුල් අසුනේ එක් රැයක් ඉන්ට අවසරය දෙනු මැන – එවිට අපි වසනෙමු ඔබ ළඟ

ශ්‍රී කාන්තාවගේ ගාථාව ඇසූ සිටුතුමා මේ ගාථාව පැවසුවා. ඔම්බා ලක්ෂ්මි, එහෙවම් කියන්ට මා හට – මොනවාද සිල්ගුණ තොපගේ කුමන ගතිගුණ තිබෙන පුරුෂයකුගේ – ළඟද තී වසන්නේ මා විසින් අසන මෙය – දැනගන්නේ කොහොමෙයි එතකොට ශ්‍රී කාන්තාව බෝධිසත්වයන්ට මේ ගාථාවෙන් පිළිතුරු දුන්නා. යමෙක් සීතල රස්නෙ මැඩගෙන – අවු සුළං මැසි මදුරුවන් මැද සර්ප පීඩා බඩගිනි පිපාසා – මෙහෙම දේ ගණනකට නොමගෙන දවල් ? නිරතුරුව වෙහෙසී – තමන් කරනා වැඩට කැප වී යමක් කළ යුතු නිසි කාලයෙහි – ඒ වැඩය මැනවින්ම කරනා තම යහපත අත් නොහරිනා කෙනා – ඔහුටමයි මං ආසා ඔහු ළඟයි මං නැවතිලා ඉන්නේ යමෙක් තරහා නොගනී නම් – මිතුරන් හට සලකයි නම් ලෝභ නැතිව දන්දෙයි නම් – සිල් ගුණයෙන් යුතු වෙයි නම් කපටි වැඩක් නොකරයි නම් – සෘජු ගුණයෙන් යුතු වෙයි නම් හැමදෙනාට සළකයි නම් – මොලොක් මිහිරි බස් ඇත්නම් බලවත් වුණත් යසඉසුරින් තනතුරින් – නිහතමානී වෙයි නම් සුවිසල් දියරැළි නැගී එනවිට – මුහුදේ ලස්සන පෙනෙනා සේ එවැනි පුරුෂයා ළඟ මං – විශාල වෙමින් පෙනී සිටිමි තමන්ට මිතුරුව සිටිනා අයටත් – තමන්ගේ සතුරන්ටත් තමාට වඩා උසස් අයටත් – සමාන වූ හෝ පහත් අයටත් තමාට යහපත කළ අයටත් – වරදක් කළ අයටත් එළිපිටදීත් පුද්ගලකවත් – දන්, සිල්, ප්‍රිය වදනින්, අඞ්ථචරියාවෙන් හොඳින් සංග්‍රහ කරයි නම් – කිසිදා නපුරු වදනක් නොකියයි නම් උන්නත් මළත් ඒ කෙනා – ඔහු ළඟයි මං ඉන්නේ සදා යම් අනුවණයෙක් මේ කියූ සම්පත් වලින් – කිසිවකින් සැප ලබාගෙන ඒවා නැවත ලබා ගන්නට – යහපතේ නොහැසිරේ නම් ලැබූ දෙයෙහි අගය නොදකින – උඩඟුව පවෙහි හැසිරෙන කෙනා වැසිකිළි වලක් සේ පෙනේ මට – මං ඔහුගෙන් ඈතටම යමි තමන්ගේ වාසනාව තමාමයි උදාකරගන්නේ තමන්ගේ අවාසනාවත් තමන්මයි උදාකරගන්නේ වාසනාවත් අවාසනාවත් – කෙනෙක් තවකෙකුට නෑ කරන්නේ ශ්‍රී කාන්තාවගේ මේ වදන් ඇසූ බෝධි සත්වයෝ ගොඩාක් සතුටු වූණා. ඇගේ අදහස් ඉතා යහපත් බව පිළිගත්තා. ”භවතී,… ශ්‍රී දේවී… මහා ලක්ෂ්මී…, තිට මේ නොඉඳුල් සයනයත්, කවිච්චියත්, ඒකාන්තයෙන්ම සුදුසුයි. පින්වතී… මෙහි ඈඳීගන්ට. මේ සයනේ සැතපෙන්ට” කියා සිටුතුමා ඇයට ආගන්තුක සංග්‍රහ පැවැත්තුවා. එතකොට ශ්‍රී දේවිය සිටු නිවසේ නොඉඳුල් යහනේ එදා රාත‍්‍රිය ගතකොට හිමිදිරියේ නොපෙනී ගියා. චාතුම්මහාරාජික දෙව්ලොව ගිහින් අනෝතත්ත විලෙන් ඈ තමයි ඉස්සෙල්ලාම ස්නානය කලේ. ඇය සැතපුන යහනට සිරි දෙව් පරිහරණය කළ නිසා ‘සිරියහන’ යන නම ලැබුනා. ‘සිරියහන’ යන නම මේ විදිහටයි අද දක්වා ව්‍යවහාර වෙන්නේ. මහණෙනි, එදා ධ්‍රැතරාෂ්ඨ දෙව්රජුගේ දියණියව සිටි ශ්‍රී කාන්තාව වී සිටියේ අපගේ උප්පලවණ්ණාවෝ. සුචිපරිවාර සිටුවරයාව සිටියේ මම”යි කියා භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය නිමවා වදාළා. මේ සිරි කාලකණ්නි ජාතකයයි