සික පදවල තේරුම්

“පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි”

ප්‍රාණඝාතයෙන් වැළකීම නමැති සිකපදය සමාදන් වෙමි.

ප්‍රාණය යනු ජීවිතය ය. මනුෂ්‍යයකුගේ හෝ තිරිසන් සතකුගේ හෝ ඇසට නොපෙනෙන භූතයකුගේ හෝ අන්තිම වශයෙන් උකුණකු මකුණකු මදුරුවකුගේ ද, මව් කුස සිටින සත්ත්වයකුගේ ද, බිත්තරයක පිළිසිඳ සිටින සත්ත්වයකුගේ ද ජීවිතය ස්වභාව ධර්මය අනුව පවත්නා තාක් පවතින්නට නොදී වෙඩි තැබීම, බෝම්බ ගැසීම, ඇසිඩ් ගැසීම, දියේ ගිල්වීම, විෂදුම් ගැස්වීම, හුස්ම හිර කිරීම, අතින් පයින් පොලුවලින් ගැසීම, උගුල්වට අසු කිරීම, රථවාහනවලට යට කිරීම, ගින්නෙන් දැවීම, වස කැවීම, බිය ගැන්වීම, වරදවා බෙහෙත් දීම, ගප්සා බෙහෙත් දීම යනාදි යම් කිසි උපක්‍ර‍මයකින් තමා විසින් හෝ අනුන් ලවා හෝ නැති කිරීම හෙවත් සතකු මැරවීම යන මෙයින් මේ සිකපදය බිඳේ.

ප්‍රාණඝාතයට අංග පසක් ඇත්තේ ය. එනම් :- පණ ඇති සතකු වීම ය, පණ ඇති සතකු යන හැඟීම තිබීම ය, මරමිය යන සිත ඇතිවීම ය, මරන්නට යම්කිසි උපක්‍ර‍මයක් කිරීම ය, ඒ උපක්‍ර‍මයෙන් සත්ත්වයා ගේ මරණය වීම ය යනු ප්‍රාණඝාතයේ අංග පස ය.

සිකපදය කැඩෙන්නේ පඤ්චාංගය සම්පූර්ණ වූ ප්‍රාණඝාතයෙනි. යන එන විට කුඩා සතුන් පෑගී මළ ද මරණ සිත නැති බැවින් සික පදය නො කැඩේ. එහෙත් සිල් සමාදන් වන උපාසකවරුන් විසින් තමන් නිසා කුඩා සතකුදු නො මැරෙන ලෙස පරෙස්සම් විය යුතු ය. සමහරවිට ජලයෙහි කුඩා සතුන් සිටිය හැකිය. වතුර බිව් කල්හි හුණු කළ කල්හි එහි සතුන් සිටිය හොත් උන් නැසෙන්නාහ. එසේ නොවීම පිණිස සිල්වත්හු පැන් පෙරා පරිභෝග කරති.

“අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.”

හිමියන් විසින් කැමැත්තෙන් නුදුන් දෙයක් සොර සිතින් ගැනීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.

තණපතක් නූල්පටක් පමණ වූ ද, අන්සතු වස්තුවක් සොර සිතින් තුබූ තැනින් කෙස් ගසක් පමණ වුව ද එසවුව හොත් සික පදය බිඳේ. යම් කිසි අන්සතු දෙයක් සොර සිතින් අතට ගෙන, ගෙන යාමට බියෙන් හෝ සිල් සමාදන්ව ඉන්නා මා හට මෙවැනි නීච වැඩ නුසුදුසු යයි සිතා හෝ අතට ගත් බඩුව තුබූ තැන නැවත තැබූයේ ද සිකපදය නො රැකේ. බඩුව එසවූ කෙණෙහි ම සිකපදය බිඳුණේ ය.

“අයිතිකරුට නො පෙනෙන සේ නො දැනෙන සේ යමක් ගැනීම ම අදත්තාදාන ය” යි බොහෝ දෙනා සිතති. අදත්තාදනය සිදුවන ක්‍ර‍ම බොහෝ ගණනක් ඇත්තේ ය. හිමියාගෙන් උදුරා ගැනීම, හිමියා බිය ගන්වා ගැනීම, ‘මේ බඩුව නුඹේ නොවේය මගේය’ කියා රවටා ගැනීම, ‘මේ ඉඩම නුඹට අයිති නැත. මෙය අයිති මට ය’ කියා රවටා ගැනීම, බොරු අයිතිකම් ඉදිරිපත් කොට නඩු කියා ඉඩම් අයිතිකර ගැනීම, හොර ඔප්පු හොර නෝට්ටු ලියා ඉඩම් ආදිය අයිතිකර ගැනීම, කිරීම් මැණීම් වලදී අඩු වැඩි කොට ගැනීම, නරක බඩු හොඳ බඩුය යි දී මුදල් ගැනීම, රන් රිදී මුතු මැණික් ය කියා වෙන දේවල් දී මුදල් ගැනීම, පරණ බඩු අලුත් බඩු ය කියා විකිණීම, කිරිවලට වතුර මිශ්‍ර‍ කොට විකිණීම, ගිතෙල් ආදියට වෙනත් දේ මිශ්‍ර‍ කොට විකිණීම, බොරු බෙහෙත් විකිණීම, බොරු යන්ත්‍ර‍ මන්ත්‍ර‍ කොට මුදල් ගැනීම, බොරු ශාස්ත්‍ර‍ කියා මුදල් ගැනීම, සම්මාදන් කර ගැනීම, ණයට ය කියා ගැනීම යනාදී නොයෙක් ක්‍ර‍මවලින් අදත්තාදාන සිකපදය කැඩේ.

අදත්තාදානයේ අංග පස

අන්සතු වස්තුවක් වීම ය, අන්සතු වස්තුවක් බව දැනීමය, සොර සිත ය, ගැනීමට යම්කිසි උපක්‍ර‍මයක් කිරීම ය, ඒ උපක්‍ර‍මයෙන් අන්සතු වස්තුව තුබූ තැනින් ඉවත් කිරීම ය යන මේ අංග පස සම්පූර්ණ වීමෙන් ම අදත්තාදන සිකපදය බිඳේ.

අන්සතු වස්තුවක් තමාගේ යයි සිතා වැරදීමකින් ගැනීමෙන් සිකපදය නො බිඳේ. සොර සිතෙන් තොරව පසුව තුබූ තැන තබමිය යන අදහසින් අන් සතු වස්තුවක් ගැනීමෙන් ද සිකපදය නො බිඳේ. වස්තු හිමියාගේ මිත්‍ර‍ත්වය සලකාගෙන ගැනීමෙන් ද සිකපදය නො බිඳේ.

“අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.”

ගිහියාගේ සිරිත වන මෛථුන සේවනයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

මේ සිකපදය සම්බන්ධයෙන් දතයුතු කරුණු බොහෝ ඇත්තේ ය. ඒවා ග්‍රාම්‍ය ය, දරු දැරියන් විසින් ද කියවන මෙබඳු පොතකට ඒවා ඇතුළු කිරීම නුසුදුසු බැවින් මෙයට ඒවා ඇතුළු නො කරන ලදි. මේ සිකපදය ගැන දතයුතු විස්තර ඇත්තේ විනය පිටකයට අයත් පොත්වල ය. පාරාජිකාපාලිය, සමන්තපාසාදිකාව යන පොත්වල එහි විස්තර ඇත.

සප්ත මෛථුනය

බ්‍ර‍හ්මචර්‍ය්‍යශීලය කිලිටි කරන සප්ත මෛථුනයක් ඇත්තේ ය. ඒ මෙසේ ය.

  1. ස්ත්‍රීන් විසින් කරන නෑවීම ඇඟ ඉලීම අත් පා පිරිමැදීම යනාදිය පිළිගැනීම හා ඒවායේ මිහිර විඳීම ඒවාට කැමති වීම,
  2. ස්ත්‍රීන් හා කවටකම් කිරීම ක්‍රීඩා කිරීම ඔවුන්ගේ ඇඟේ හැපීම ඔවුන්ගේ ශරීරය පිරිමැදීම ඔවුන් හා සිනාසීම යන මේවායේ රස විඳීම, සතුටු වීම.
  3. ස්ත්‍රීන්ගේ රූපශෝභාව බලමින් මේ මේ තැන මෙසේ මෙසේ ලස්සනය හොඳය යි සිතමින් රස විඳීම.
  4. ස්ත්‍රීන්ගේ හඬ අසමින් රස විඳීම,
  5. පෙර ස්ත්‍රීන් හා කළ කෙළි සිනා ආදිය සිහි කරමින් ඒවායේ රස විඳීම.
  6. පස්කම් සැප විඳින අන්‍යයන්ගේ සම්පත් බලා සතුටු වීම.
  7. රක්නා වූ මේ ශීලයේ බලයෙන් දෙවියෙක් වේම්වායි අනාගතයෙහි ලබන්නට ඇති ඒ දිව්‍ය සම්පත්තිය සිතින් විඳීම, ඒ ගැන සතුටු වීම.

නියම ලෙස මෛථුන සේවනය නො කළ ද දහම් හල්වල සිල් සමාදන්ව සිටින ස්ත්‍රීපුරුෂයන් අතර මේ සප්ත මෛථුනයට අයත් කරුණු සිදු වී ඔවුන්ගේ බ්‍ර‍හ්මචර්‍ය්‍ය ශීලය කිලිටි වන්නට ඉඩ ඇත. එසේ නොවන ලෙස පරෙස්සම් විය යුතු ය.

“මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.”

බොරු කීමෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

මුසාවාදයේ අංග සතර 

කියන කරුණ අසත්‍යයක් වීම ය, අනුන් රවටන අදහස ය. අනුන් රැවටීමේ උත්සාහ ය, අනෙකා කී දේ තේරුම් ගැනීම ය යන මේ අංග සතර සම්පූර්ණ වන බොරුවෙන් මුසාවාද සික පදය බිඳේ.

රැවටීමේ අදහසින් තොරව අනිකකුට යමක් දෙමිය කියා එය දෙන්නට නුපුළුවන් වුවහොත්, කීම බොරු වුවද රැවටීමේ අදහසින් තොරව කී බැවින් සිකපදය නො බිඳේ. රැවටීමේ අදහසින් අනිකකුට යමක් දෙමිය කියා පසුව මා වැන්නකුට අනුන් රැවටීම නුසුදුසු යයි සිතා කී පරිදි ම දුන ද කියන අවස්ථාවේදී රැවටීමේ අදහසින් කී නිසා සිකපදය බිඳේ. බොරුවක් කියන කල්හි අසන්නාට නොතේරුණේ නම් සිකපදය නො බිඳේ. කටින් කීමෙන් පමණක් නොව බොරුවක් හිසින් හෝ අත්වලින් හෝ ඇඟවීමෙන් ද සික පදය බිඳේ. බොරු ලියා තැබීම්, ලියා යැවීම් වලින් ද සිකපදය බිඳේ.

හොඳ මිනිස්සුය ශීලාචාර මිනිස්සුය උසස් මිනිස්සුය උගත්තු ය කියන මිනිසුන් අතර ද බොරු කියන්නෝ බොහෝ සිටිති. සාමාන්‍ය ජනයා අතර බොරු කීමේ පුරුද්ද ඇතියෝ බොහෝ ය. ඔවුහු කිසි ප්‍රයෝජනයක් නැතිව විනෝදය පිණිස ද බොරු කියති. සිල් සමාදන් වන්නවුන් අතර ද ඒ පුරුද්ද ඇත්තෝ ඇත. බොහෝ දෙනා සිල් බිඳ ගන්නේ බොරු කීමෙනි. සිල් සමාදන් වූ තැනැත්තා විසින් කවටකමටවත් බොරුවක් නො කිය යුතු. එදින කතා අඩු කරගෙන සිටීම යහපති. කතා කළ ද සිහියෙන් කතා කළ යුතු ය.

“සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි”

මදයට හා ප්‍ර‍මාදයට හේතුවන සුරාමේරය පානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

සුරාපානයේ අංග සතර

මත්වන දෙයක් වීම, පානය කිරීමට කැමැත්ත, බීමට උත්සාහ කිරීම, මත්ද්‍ර‍ව්‍යය උගුරෙන් ඔබ්බට ඇතුළුවීම යන මේ අංග සතරින් සුරාපාන සිකපදය බිඳේ.

මෙහි මදය යි කියනුයේ ක්ලාන්තය නොව සිතේ ප්‍ර‍කෘතිය වෙනස්වීම ය. දුම්කොළ, පුවක් ආදිය නිසා වන මතක් ද ඇත. එය ශරීරය දුබල වීමකි. එයින් සිතෙහි විපර්‍ය්‍යාශයක් නොවේ. ඒ දුබලකම ඇතිකරන දුම්කොළ පුවක් ආදිය පාවිච්චි කිරීමෙන් මේ සිකපදය නො බිඳේ. මෙය බිඳෙන්නේ මිනිසාගේ සිතේ ප්‍ර‍කෘතිය වෙනස් කරන රා අරක්කු කසිප්පු අබිං කංසා ආදිය පාවිච්චි කිරීමෙනි. ඇතැම් බෙහෙත්වලට මද්‍යවර්ග ගන්නේ ය. ඒ බෙහෙත් පමණට වඩා ගත හොත් මත් වේ. මද්‍ය රසය මද්‍යගන්ධය නැති එබඳු බෙහෙත් පමණට ගැනීමෙන් සිකපදය නො බිඳේ.

“විකාලභෝජනා වෙරමණී සික්ඛාපදං සමාදියාමි”

විකාලයෙහි (නො කල්හි) ආහාර වැළඳීමෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

අරුණෝදයේ පටන් ඉර මුදුනට පැමිණීම දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර වළඳන කාලය ය. ඉර මුදුනට පැමිණීම පටන් පසුදින අරුණෝදය තෙක් කාලය බුද්ධාදීන් විසින් අහර නො වළඳනා කාලය ය. එය විකාල නම් වේ. විකාල යන වචනයේ තේරුම නුසුදුසු කාලය යනු යි. ඉර මුදුන්වන වේලාව සාමාන්‍යයෙන් දවල් 12 ලෙස සලකනු ලැබේ. එබැවින් සිල් සමාදන් වූවන් විසින් දවල් 12 ට කලින් ආහාර ගැනීම අවසන් කළ යුතු ය.

ගිලන්පස

විකාලයෙහි පිපාසය හෝ උගුර කට වියළීම හෝ බඩේ පපුවේ දැවිල්ලක් හෝ ඇඟ පණ නැති කමක් හෝ යම්කිසි අන් රෝගයක් හෝ ඇතිවී නම් ඒවා දුරු කර ගැනීම සඳහා සිල් රක්නා අයට ගිලන්පස වැළඳීම සුදුසු ය. පෙර පටන් පවත්නා රෝගයක් වේ නම් ඒ සඳහා ගන්නා බෙහෙත් වැළඳීම ද සුදුසු ය. ඇල්දිය හා උණුදිය කැමැති වේලාවක ගැනීම වරද නැත.

අෂ්ටපානය

“අම්බපානය, ජම්බුපානය, චෝචපානය, මෝචපානය, මධුපානය, මුද්දිකපානය, සාලුකපානය, ඵාරුසකපානය” යි බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන්ට විකාලයෙහි වැළඳීමට අනුදැන වදාළ පාන අටක් ඇත්තේ ය. ඒවාට ගිලන්පස යයි කියති. සිල් සමාදන් වූ අයට ද ඒවා විකාලයේ වැළඳීම කැප ය.

1. අම්බපානය, අඹවලින් සාදන පානය.

2. ජම්බුපානය, ජම්බුගෙඩිවලින් සාදන පානය.

3. චෝචපානය, ඉදුණු ඇටි කෙසෙල් ගෙඩිවලින් සාදන පානය.

4. මෝචපානය, අන් කෙසෙල් ගෙඩිවලින් සාදන පානය.

5. මධුපානය, අමු මුද්‍ර‍ප්පලම්වලින් සාදන පානය.

6. මුද්දිකපානය, වියළි මුද්‍ර‍ප්පලම්වලින් සාදන පානය.

7. සාලුකපානය, ඕලු ගෙඩිවලින් සාදන පානය.

8. ඵාරුසකපානය, කටු (උගුරැස්ස) ගෙඩිවලින් සාදන පානය.

දෙහි, දොඩම්, නාරන්, බෙලි ආදි කුඩා පලතුරුවලින් සාදන ගිලන්පස ද කැපය. පැපොල් කොස් ආදි මහ පලතුරුවලින් සෑදූ පානය ගිලන්පස වශයෙන් අකැප ය.

ගිලන්පස සෑදීම

ඉදුණු අඹ පොතු හැර භාජනයකට කපා දමා හොඳින් පොඩි කර උවමනා පමණට ඇල්වතුර දමා නැවත ද පොඩිකර පෙරහනකින් හොඳින් පෙරා සීනි හෝ පැණි සකුරු හෝ දමා දිය කර ලුණු ද ස්වල්පයක් මිශ්‍ර‍කර අම්බපානය සාදා ගත යුතුය. කෙසෙල් ගෙඩි ආදියෙන් ගිලන්පස සාදන්නේ ද එසේම ය.

වියළි මුද්‍ර‍ප්පලම් තද බැවින් පොඩි කිරීම අපහසුය. ඒවායින් ගිලන්පස සාදනවා නම් :- උදයේ ම සෝදා දියේ ලා තැබිය යුතුය. සවස් කාලයේ දියෙන් ගෙන සීනි සමඟ පොඩි කරනු. හොඳින් පොඩි වේ. අනතුරුව වුවමනා පමණට ඇල්දිය ලා තවත් පොඩිකර පෙරා ගත යුතු ය. පලතුරු ගිලන්පස කෝවාටත් ලුණු ස්වල්පයක් මිශ්‍ර‍ කිරීම හොඳ ය. 

දෙහි ගිලන්පස සෑදීමේදී වතුර කෝප්පයකට දෙහි බෑයක ඇඹුල් ගැනීම ප්‍ර‍මාණවත් ය. ඇඹුල් වැඩි වුවහොත් ම අපහසු වේ. දොඩම් ගිලන්පසට නම් ඇඹුල් වැඩියෙන් ගැනීම හොඳ ය. එහෙත් ඇල්දිය නොමුසු දොඩම් යුෂ ගිලන්පසට නොගත යුතු ය.

අමු නෙල්ලි යුෂ ඇල්දිය හා මිශ්‍රකොට හොඳ ගිලන්පසක් සාදාගත හැකි ය. එක් ගිලන්පස කෝප්පයකට නෙල්ලි ගෙඩි දෙක තුනක යුෂ ඇත. නෙල්ලි වැඩිවුවහොත් බීමට අප්‍රිය වේ. වියළි නෙල්ලි දියේ ලා පොඟවා යුෂ ගෙන ද ගිලන්පස සෑදිය හැකි ය. නෙල්ලි වැඩි වුවහොත් අප්‍රිය වේ. එක් ගිලන්පස කෝප්පයකට නෙල්ලි කලඳක් ප්‍රමාණවත් ය. වියළි නෙල්ලි තැම්බූ දිය ද රසවත් ගිලන්පසකි. නෙල්ලි ස්වල්පයක් දමා රන්වන් පාට වනතුරු තම්බා ගිලන්පස සාදාගත යුතු ය. නෙල්ලි වැඩි වුවහොත් බීමට අපහසු වේ.

ඉඟුරු කොත්තමල්ලි සුදුලූනු රණවරා පොල්පලා ඉරමුසු ආදි බෙහෙත් වර්ග තම්බා ගත් දිය ගිලන්පස වශයෙන් විකාලයෙහි වැළඳිය හැකි ය. ඉඟුරු කොත්තමල්ලි සුදුලූනු යන මේවා තම්බා සෑදූ ගිලන්පස රාත්‍රී කාලයට ඉතා හොඳ ය. සුදුලූනු පමණක් තම්බා සාදන ගිලන්පස ද රාත්‍රියට හොඳ ය. තේ කෝපි ද ගිලන්පසට ගැනීම වරද නැත. එහෙත් පිටි මිශ්‍ර‍ තේ කෝපි විකාලයෙහි අකැප ය.

රෝගයක් ඇතහොත් කසාය ගුලි කල්ක අරිෂ්ට ආශව සෘත ලේහ චූර්ණ තෙල් යන මේ බෙහෙත් විකාලයෙහි ගත හැකිය. සීනි හා සකුරු ද පැණි ද පිටි මිශ්‍ර‍ නැති ලොසින්ජර ද කරුණක් ඇතිනම් විකාලයෙහි ගැනීම සුදුසු ය.

චතුමධුර දුබලකම දුරුකර ගැනීමට හොඳ බෙහෙතකි. ගිතෙල් වෙඬරු සකුරු මීපැණි යන මේ සතර වර්ගය මිශ්‍රකොට සාදන ලේහය චතුමධුර නම් වේ. එය හොඳ ගිලන්පසකි. සකුරු වෙනුවට සීනි හෝ පැණි යෙදීම ද සුදුසු ය. චතුමධුර බොහෝ වැළඳීම අගුණ ය, සැන්දක් දෙකක් වළඳා උණු ගිලන් පසක් වළඳනු. බල වැඩේ. වරක් සාදාගත් චතුමධුර බොහෝ කල් තබාගත හැකි ය. නියම ගිතෙල් හා මී පැණි නොගතහොත් වැඩිකල් තැබීමට නො හැකි විය හැකි ය. ගුණ ද අඩුවිය හැකි ය. සමහර විට අගුණ ද විය හැකි ය. මෙහි නොදැක් වූ ගිලන්පසට සුදුසු තවත් ජාති ද ඇත්තේ ය. ඒවා ද දැන වැළඳීම සුදුසු ය.

“නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.”

නැටීම ගී කීම බෙර ආදිය වැයීම හා විසුළු දැකීමෙන් ද මල් සුවඳ ද්‍ර‍ව්‍ය විලවුන් දැරීමෙන් ද ඒවායින් සිරුරේ අඩුතැන් (කැලල්) පිරවීමෙන් ද සම පැහැපත් කිරීමෙන් ද වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

මේ සිකපදය ඇත්තේ ඉතා කොටිනි. එයට අයත් කරුණු බොහෝ ය. සිල් සමාදන් වූවහු විසින් නැටීම ගී කීම බෙර ආදිය වැයීම නො කළ යුතු ය. අනුන් ලවා නොකර විය යුතු ය. අනුන් කරන කල්හි නොබැලිය යුතු ය. නො ඇසිය යුතු ය. “විසූක” යන වචනය ඉහත තේරුම් කර ඇත්තේ “විසුළු” කියා ය. ඒ වචනයෙන් අදහස් කරන්නේ කෙලෙස් ඉපදීමට හේතුවන්නා වූ කුශලයට බාධක වූ නොයෙක් කරුණ ය. කුකුල් පොර, ගව පොර, ඇත් පොර, මිනිසුන්ගේ තරඟ දිවුම්, සතුන්ගේ තරඟ දිවුම්, වාහනවල තරඟ ගමන්, විජ්ජා, සරඹ, යුද පෙලපාලි, මල්ලව පොර, පන්දු ක්‍රීඩා යනාදිය විසූක නම් වේ. ඒවා බැලීමෙන් වැළකිය යුතු ය. ගස් වැල්වල හටගන්නා වූ ද රන් රිදී ආදි ද්‍ර‍ව්‍යයකින් කරන ලද්දා වූ ද මල් පැළඳීම නො කළ යුතු ය සැන්ට්, සඳුන් ආදි සුවඳ වර්ග ශරීරයේ හෝ හඳනා පොරෝනා වස්ත්‍ර‍වල හෝ නොගැල්විය යුතුය. ලස්සන කිරීම සඳහා කිසිවක් ශරීරයෙහි නො ගැල්විය යුතුය.

බොහෝ උපාසකෝපාසිකාවන් පොහෝ දිනවල පවත්වන පෙරහැරවල නැටුම් බලා ගැයුම් වැයුම් අසා සිල් බිඳ ගනිති. තමා යන කල්හි පෙරමඟට එන පෙරහැරක නැටුම් දුටුව ද ගැයුම් වැයුම් ඇසුණ ද සිකපදය නො බිඳේ. තමා සිටින තැනට පෙනෙන හරියේ පවත්වන නැටුම් ගැයුම් වැයුම් දැකීමෙන් ඇසීමෙන් සිල් නො බිඳේ. එක පියවරකුදු ගොස් ඇසීම බැලීම කළහොත් සිල් බිඳේ. බොහෝ උපාසකෝපාසිකාවෝ පෙරහැරක් එතොත් දුවගොස් බලති. එසින් ඔවුන්ගේ සිල් පලුදු වේ.

කනේ කරේ හිසේ අතේ අබරණ ඉවත් කොට සිල් සමාදන් විය යුත්තේ ද මේ සිකපදය නිසා ය. සුදුරෙදි හැඳ පොරවා සිල්සමාදන් විය යුත්තේ ද මේ සිකපදය නිසා ය. සාමාන්‍ය ජනයා වස්ත්‍ර‍ හඳින්නේ ශරීරය සැරසීමක් ද වශයෙනි. වස්ත්‍ර‍වල නොයෙක් සිත්තම් කර තිබෙන්නේ නොයෙක් පාට ඉරි කොටු පිහිටවා තිබෙන්නේ ඒ වස්ත්‍ර‍වලින් ශරීරය සැරසීම පිණිස ය. මේ සිකපදය රක්නහුට ශරීරය සැරසීම නුසුදුසු ය. සුදු රෙද්දෙහි කිසි සැරසිල්ලක් නැත. එහි ඇත්තේ නූල්වල ප්‍ර‍කෘති වර්ණය ම ය. එබැවින් ඒවා ඇඳීම කය සැරසිල්ලක් නොවේ. සුදුරෙද්ද ශීලයට යෝග්‍ය වන්නේ ඒ නිසා ය. හැඳීමට පෙරවීමට සුදුරෙදි නැති විටෙක සැරසීමේ අදහසින් තොරව “විලි වසා ගැනීම සඳහා මෙය හඳිමි” යි සිතා ගෙන තමාට ඇති වස්ත්‍ර‍යක් හැඳ සිල් සමාදන්වීම වරද නැත.

“උච්චාසයන මහාසයනා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.”

උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

මධ්‍යම පුරුෂයකුගේ රියනට වඩා උස් පා ඇති ඇඳ පුටු උච්චාසයන නම් වේ. පමණට වඩා උස් පා ඇති අසුන් අතීතයේ තුබූ නමුත් දැන් දක්නට නැත. මේ කාලයේ පාවිච්චි කරන ඇඳ පුටු උච්චාසයනයට අයත් නැත. අධික සැපය සඳහාත් අලංකාරය සඳහාත් තනා ඇති විශේෂ ආසන මහාසයන නම් වේ. මහා සයන බොහෝ ගණනක් විනයෙහි හා සූත්‍ර‍වල සඳහන් වී ඇතත් අද ඒවායින් බොහෝවක් අභාවයට ගොස් ය. පුළුන් ගුදිරි පුළුන් පුරවා කුෂන් කළ ඇඳ පුටු සතරඟුල් ලොම් ඇති පලස් මහාසයනවලට අයත් ය. අතීතයෙහි නො තිබූ නිසා පොත්වල කියා නැත ද අධික සැපය පිණිස මෙකල තනා ඇති රබර් කුෂන් හා ස්ප්‍රීන් යොදා ඇති අසුන් මහාසයනවලට අයත් ලෙස සැලකිය යුතු ය. පුළුන් කොට්ටය හිස තැබීමට සුදුසු ය. වාඩිවීමට නුසුදුසු ය. කොහු ගුදිරි මෙට්ට පරිභෝගයට සුදුසු ය.

තවත් දත යුතු බොහෝ කරුණු ඇත්තේ ය. ඒවා ද දනු කැමති අය “බෞද්ධයාගේ අත්පොත” කියවත්වා.