සමථ භාවනාව

නිතර – නිතර ‘භාවනා – භාවනා’යි කියවුණත්, ප්‍රායෝගිකව ගැඹුරින් එහි නියැලෙන අය හැරුණු කොට බහුතර පුහුදුන් මිනිසුන්ට හුදු නාම මාත්‍රයක් විනා ඒ ගැන හරි වැටහීමක් ඇති බවක් නොපෙනේ. ‘සමථ’ – ‘විපස්සනා’ දෙ – වදන ගැන කියනුම කවරේද! මේ ලිපිය භාවනාව පිළිබඳ මූලික, අත්‍යවශ්‍ය දැනුම නිරවුල්ව සම්පිණ්ඩනය කිරීමකි.

ක්‍රියාකාරිත්වය අනුව භාවනා වර්ග දෙකකි. සමථ භාවනා, විදර්ශනා භාවනා යනුවෙනි. සමථය මුල් කොට භාවනා වඩන්නා සමථයානිකයා යනුවෙන්ද විදර්ශනාව පමණක් වඩන්නා විදර්ශනායානිකයා (විපස්සනායානික) යනුවෙන්ද හැඳින්වේ. භාවනා පිළිබඳ වැටහීමක් ඇති කරගැනීමට පළමුව ඒ ඒ භාවනාවන් විමසා බැලීම අවශ්‍ය වෙයි.

සමථ භාවනාව

සමථ භාවනාව යනු යහපත් අරමුණක සිත පිහිටුවා, සිත සන්සුන් කරගැනීමේ අභ්‍යාස ක්‍රමයකි. මේ සම්බන්ධව විවිධ ක්‍රම ධර්ම ග්‍රන්ථයන්හි විස්තර කර තිබේ. ‘චිත්තං සමේතීති සමථෝ.’ සිත සන්සුන් කරන්නේ සමථයයි. සමථ භාවනා කරන විට සිතේ සමාධියක් උපදී. සමාධිය යනු තැන්පත් වූ සිතයි. සත්‍යය දකින්නා වූ ප්‍රඥාවට ඉතා ළඟින්ම උපකාරි වනුයේ චිත්ත සමාධියයි. ‘සමාහිතෝ යථා භූතං පජානාති.’ තැන්පත් සිත් ඇත්තේ ඇති සැටියෙන් දැනගනී. එබැවින් සමාධිය බොහෝ ප්‍රයෝජනවත්ය.

සමථ භාවනාවට යොදාගත හැකි අරමුණු හතළිහක් දක්වා තිබේ. ඒවාට කමටහන් (කර්මස්ථාන) යි කියනු ලැබේ. භාවනා කර්මයට ස්ථානය හෙවත් අරමුණ යන්න එහි අදහසයි. කමටහන් සියල්ල වර්ග තුනකට බෙදා දැක්විය හැකිය:

1. ස්වාභාවික ද්‍රව්‍යයක් හෝ වර්ණයක් අරමුණු කිරීම

2. ශාරීරික ද්‍රව්‍යයක් අරමුණු කිරීම

3. යහපත් හෝ සංවේගීය සිතුවිල්ලක් අරමුණු කිරීම, වශයෙනි.

පළමුවැන්න සඳහා මැටි, ජලය, ගින්න, සුළඟ ආදියත් නිල්, රතු, කහ, සුදු ආදි වර්ණයනුත්, ආලෝකයත්, ආකාශයත් යන දසය යොදාගැනේ. මේවා දස කසිණ නමින් හැඳින්වේ.

දෙවැන්න සඳහා හුස්ම ගැනීමේ සංසිද්ධිය, මළ මිනී, ඇටසැකිලි, හිසකෙස් වැනි දෑ යොදාගත හැකිය. මැටි, ජලය, මළමිනී, ඇට සැකිලි ආදි දේ ආගමික දෙයක් නොවතුදු ඒ ඇසුරෙන් සිත පුහුණු කිරීම අගනා බෞද්ධ භාවනාවෝය. හුස්ම ගැනීමේ ක්‍රියාවලියද ශරීරයේ පවත්නා වූ ස්වාභාවික ක්‍රියාවලියකි. ඒ ඔස්සේ සිත පුහුණු කිරීම කවුරුත් දන්නා ආනාපාන සති භාවනාවයි.

තුන්වැන්න සඳහා යහපත් සිතිවිලි වශයෙන් බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ, තම ශීලයේ ගුණ, තම ත්‍යාගි බවේ ගුණ, දේවතා ගුණ (මේවා අනුස්සති භාවනා වශයෙන් ගැනේ) සහ මෛත්‍රිය, කරුණාව, මුදිතාව (අනුන්ගේ සැපතට සතුටු වීම) ආදිය යොදාගත හැකිය.

සංවේගීය සිතුවිල්ලක් වශයෙන් මරණය, ශරීරයේ පිළිකුල් බව, ආහාරයේ පිළිකුල් බව යනාදිය පිළිබඳව සිතීම ගැනේ. මෙම සංවේගීය සිතුවිලි සිහි කිරීම බැලූ බැල්මට තමාට අහිතකරයැයිද නපුරකැයිද සිතුණද එය එසේ නොවේ. ඇත්ත වශයෙන් මෙය බුද්ධිමතුන් සඳහා යහපත් ප්‍රතිඵල ගෙනදේ. බුද්ධි චරිතයාට (බුද්ධිමත් අය) සප්පාය වශයෙන් එය විසුද්ධි මාර්ගයේද දැක්වේ. ‘සංවිග්ගෝ යෝනිසෝ පදහති.’ සංවේගවත් තැනැත්තේ නුවණින් උත්සාහ කෙරේ.

බාහිර දැයක් බලා කරන නොයෙකුත් භාවනා ක්‍රම හින්දු යෝගීන්ද පුහුණු කොට තිබේ. හුස්ම ගැනීම සම්බන්ධව ප්‍රාණායම වශයෙන් භාවනා ක්‍රමයක් පාතාංජලි ඍෂීන් විසින්ද භාවිත කර ඇති බවට සාධක තිබේ. කසිණ භාවනාවලට හෛන්දව යෝග පොත්වල ‘ත්‍රාටක’ යි ව්‍යවහාර වේ. එබැවින් ඔවුන්ද සමාධි ලබා තිබේ.

එසේ වුවද නිවැරදි වූත්, ක්‍රමානුකූල වූත් භාවනා ක්‍රම දැක්වෙන්නේ බෞද්ධ දර්ශනයෙහිය. එම සියලු සමථ භාවනාවෝ මෙසේය.

දස කසිණ:

1. පඨවි (මැටි අරමුණු කරගත්) කසිණ

2. ආපෝ (ජලය අරමුණු කරගත්) කසිණ

3. තේජෝ (ගින්න අරමුණු කරගත්) කසිණ

4. වායෝ (සුළඟ අරමුණු කරගත්) කසිණ

5. නීල (නිල් පාට අරමුණු කරගත්) කසිණ

6. පීත (කහ පාට අරමුණු කරගත්) කසිණ

7. ලෝහිත (රතු පාට අරමුණු කරගත්) කසිණ

8. ඕදාත (සුදු පාට අරමුණු කරගත්) කසිණ

9. ආලෝක (ආලෝකය අරමුණු කරගත්) කසිණ

10. ආකාශ (ආකාශය අරමුණු කරගත්) කසිණ

දස අසුබ:

01. උද්ධුමාතක (ඉදිමී ගිය මළ සිරුර)

02. විනීලක (නිල් වී මළ සිරුර)

03. විපුබ්බක (සැරව වැගිරෙන මළ සිරුර)

04. විච්ජිද්දක (දෙකට මැදින් කපාදැමූ මළ සිරුර)

05. වික්ඛායිතක (සතුන් විසින් කන ලද මළ සිරුර)

06. වික්චිත්තක (ශරීරය කැබලිවලට කැඩුණු මළ සිරුර)

07. හත වික්ඛිත්තක (කපා කැබලි කැබලි කරන ලද මළ සිරුර)

08. ලෝහිතක (ලේ වැගිරෙන මළ සිරුර)

09. පුලවක (පණුවන් වැගිරෙන මළ සිරුර)

10. අට්ඨීක (ඇටසැකිල්ලක් බවට පත් වූ මළ සිරුර)

දස අනුස්සති:

01. බුද්ධානුස්සති (බුදු ගුණ සිතීම)

02. ධම්මානුස්සති (දහම් ගුණ සිතීම)

03. සංඝානුස්සති (සඟ ගුණ සිතීම)

04. ශීලානුස්සති (තම ශීලයේ ගුණ සිතීම)

05. චාගානුස්සති (තම ත්‍යාගයේ ගුණ සිතීම)

06. දේවතානුස්සති (දෙවියන්ගේ ගුණ සිතීම)

07. උපසමානුස්සති (නිවන ගැන සිතීම)

08. මරණානුස්සති (මරණය ගැන සිතීම)

09. කායගතාසති (කයේ පිළිකුල් බව සිතීම)

10. ආනාපානසති (හුස්ම පිළිබඳ සිතීම)

 බ්‍රහ්ම විහාර:

01. මෙත්තා (මෛත්‍රිය)

02. කරුණා (කරුණාව)

03. මුදිතා (අනුන්ගේ සැප කෙරෙහි සතුටු වීම)

04. උපේක්ඛා (සත්ත්වයන් කෙරෙහි මැදහත් බව)

චතුරාරූප්ප:

01. ආකාසානඤ්චායතනය

02. විඤ්ඤාණඤ්චායතනය

03. ආකිඤ්චඤ්ඤායතනය

04.නේවසඤ්ඤානාසඤ්ඤායතනය

මේවා අරූප ධ්‍යාන නමින් හැඳින්වෙන අතර, එම ‘අරමුණු’ ගත හැක්කේ ධ්‍යාන ලාභීන්ට පමණි.

ආහාරේ පටිකුල සඤ්ඤා (ආහාර පිළිකුල් බව මෙනෙහි කිරීම)

චතුධාතු වවත්තාන (ශරීරය ඝන, දියර, වාතය, උණුසුම යන දැයින් නිර්මිත බව මෙනෙහි කිරීම)

කසිණ භාවනා සහ අසුබ භාවනා සඳහා යොදාගෙන තිබෙන අරමුණු (කමටහන්) ආගමික (බෞද්ධකමක් ඇති) දේ නොවන බව යට දැක්වුණි.

ඔබ අසා ඇති ආනාපාන සති භාවනාව ගැන මොහොතක් සිතන්න. හුස්ම ගැනීම නිසා නාසයේ ඇති වන සුළං රැල්ලේ ස්පර්ශය ආගමික දෙයක් නොවන බව කාටත් වැටහෙනවා ඇත. එම ස්පර්ශය ඔස්සේ දිගට සිත පවත්වාගෙන යෑම සිත පුහුණු කිරීමේ එක්තරා ශිල්පීය ක්‍රමයකි. මෙසේ සිත පුහුණු කිරීමට ස්වාභාවික අරමුණු මහත් රාශියක් බුදුරදුන් පෙන්වා තිබූ බව ඔබට දැකගන්නට ලැබුණි.

කසිණ භාවනා දහය ඇස හා සම්බන්ධය. එනම්: ඇසින් බලා භාවනාව ආරම්භ කළ යුතුයි. එම කමටහන (අරමුණු) දහයම ප්‍රිය වස්තූන් හෝ අප්‍රිය වස්තූන් හෝ නොවේ. ඒවා මනා ලෙස පිළියෙල කරගත් විට ඇසට මඳක් ප්‍රිය වීමට පුළුවන. වැඩි වශයෙන් ඒවා මධ්‍යස්ථ අරමුණුය.

අසුබ භාවනා දහයද ඇසින් බලා භාවනාව ආරම්භ කළ යුතුය. එහෙත් එය කසිණ භාවනාවෙහි මෙන් මධ්‍යස්ථ අරමුණු නොවේ. බිය හෝ පිළිකුල හෝ සංවේගය හෝ උපදවන්නකි. සුබ නැති බැවින් ඒවාට අසුබයැයි නම් කර තිබේ. ජීවිතය ගැන යථා තත්ත්වය සිතේ තදින් කාවදින නියමිතය.

දස කසිණ හා දස අසුබ පළමු කොට ඇසින් බලා පසුව මෙනෙහි කිරීමෙනුත් ආනාපාන සතිය දිගටම ‘ස්පර්ශය’ අරමුණු කොටත් ඉතිරි භාවනා 19, සංඥාවක් දිගටම සිතේ පවත්වාගැනීමෙනුත් සිත දියුණු කිරීමට යොදාගැනේ.

සමථ භාවනාවක් ඉක්මනින් දියුණු කරගැනීමට කැමැත්තන් විසින් තමන්ගේ සිතුම් – පැතුම් ගැන විමසා බලා තමන් කෙබඳු ‘චරියාවක්’ ඇත්තෙක්දැයි සොයා ඊට සුදුසු භාවනාවක් තෝරාගත යුතුයි. තම චරිතයට යෝග්‍ය නැති භාවනාවක් සාර මසක් මුළුල්ලේ කොට ප්‍රතිඵලයක් නොදුටු ස්වර්ණකාර නම් සැරියුත් හිමියන්ගේ ගෝල නමක් අවසානයේ බුදුරදුන් ළඟට පැමිණවීමෙන් චරිතයට සුදුසු කමටහනක් ලබා එක වරුවකදී රහත් බව සාක්ෂාත් කළ කථාපුවතක් ඇත. මේ අනුව තම චරිතය සොයාගැනීම බොහෝ ප්‍රයෝජනවත්ය.

සැරියුත් හාමුදුරුවන්ගේ ගෝල හිමි නමකට බුදුන් වහන්සේ මලක් දෙස බලා හිඳීමට සැලැස්වූයේත්, චූල පන්තක හිමියන්ට රෙදි කඩක් පිරිමදිමින් බලා හිඳීමට සැලැස්වූයේත් පළමු කොට මේමගින් සිතේ එකඟවීමක් ඇතිවන බව බුදුන් වහන්සේ දත් බැවිනි. සමථ භාවනා ගැන විස්තර දැන ගැනීමට කැමැත්තන් විසින් “විසුද්ධිමාර්ගයම” නම් පොත් කියවීම හොඳයි.