සතර සම්‍යප්‍රධාන වීර්යය

  • නූපන් අකුසල් නූපදනු පිණිස කරන වීර්‍ය්‍ය ය.
  • උපන් අකුසල් ප්‍ර‍හාණය පිණිස කරන වීර්‍ය්‍ය ය.
  • නූපන් කුසල් ඉපදීම සඳහා කරන වීයර්‍ය ය.
  • උපන් කුසල්වල දියුණුව සඳහා කරන වීර්‍ය්‍ය ය

තීක්ෂණ ඤාණ කෞෂල්‍යය ඇති නාගසේන මහරහතන් වහන්සේ සමීපයේ මිළිඳු රජ මෙබඳු පැනයක් විමසුවේ ය.

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, වීර්යයෙහි ස්වභාවය කුමක් ද?”

“මහරජාණෙනි, වීරිය යනු තම ඉලක්කය සපුරා ගැනීමට උපකාර කරන ස්වභාවයයි. වීරියෙන් ලබන උපකාරය හේතුවෙනුයි සියලු කුසල් දහම් නොපිරිහෙන්නේ.”

“ස්වාමීනී, උපමාවකින් වදාළ මැනව.”

“මහරජාණෙනි, එය මෙවැනි දෙයකි. නිවසක බිත්තියක් කඩාගෙන වැටෙන්නට යද්දී ලීයෙන් කරුවක් ගසයි. කරුවෙන් ලැබෙන උපකාරය හේතුවෙන් බිත්තිය කඩා නොවැටෙයි. මහරජාණෙනි, ඒ ආකාරයෙන් ම උපකාර කිරීමේ ස්වභාවය වීරියයි. වීරියෙන් ලද උපකාරය හේතුවෙනුයි සියලු කුසල් නොපිරිහී පවතින්නේ.”

“ස්වාමීනී, තව උපමාවක් වදාළ මැනව.”

“මහරජාණෙනි, එය මෙවැනි දෙයකි. කුඩා සේනාවක් සිටී. මහත් සේනාවක් විසින් ඒ කුඩා සේනාව යටපත් කරනු ලබයි. එහෙත් ඒ සේනා පිරිසේ රජු ඒ සේනා පිරිසට අන්‍යෝන්‍ය අනුග්‍රහය දක්වයි. සහාය දක්වයි. තමන්ගේ කුඩා සේනාවට අවශ්‍ය යුධ උපකරණ ආදිය සපයා දෙයි.

එසේ නිරතුරුව ලබන අනුග්‍රහය හේතුවෙන් එම කුඩා සේනාව අර මහා සේනාව මැඬ පවත්වයි. මහරජාණෙනි, කුසල් දහම්වලට උපකාර ලැබීමේ වීරියත් එබඳුය.

වීරියෙන් ලැබෙනා උපකාරය නිසා ය කුසල් දහම් නොපිරිහෙන්නේ. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ ඔය කරුණ මැනැවින් වදාරා තිබේ.

“පින්වත් මහණෙනි, වීරියවන්ත වූ ආර්ය ශ්‍රාවකයා අකුසල් දුරු කරයි. කුසල් වඩයි. වැරදි දේ අත් හරියි. නිවැරදි දේ වඩයි. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරයි.” යනුවෙනි.

මෙසේ පැන විසඳූ කල්හී මිළිඳු රාජ තෙමේ එය සතුටින් අනුමෝදන් විය. වීර්යය යනු මේ බුදුසසුනේ ශ්‍රාවකයා විසින් උපදවා ගත යුතු අනිවාර්ය අංගයකි. විරිය ඉන්ද්‍රිය, විරිය බලය, විරිය ඉර්ධිපාදය, විරිය සම්බොජ්ඣංගය ලෙසත් සතර සතිපට්ඨානයේදී ‘ආතාපී’ ලෙසත් වීරිය යෙදී තිබීමෙන් පෙනී යන්නේ බුදුසුනක ඵල ලබනු පිණිස වීරිය නම් අංගයේ ඇති වැදගත්කමයි. සම්බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මය තිබෙන්නේ වීරියවන්තයන් හට මිසක් කුසීතයන් හට නොවන බවයි.

වීරිය බොහෝ දෙනෙක් වරදවා ගත් අවස්ථා ද නැත්තේ ම නොවේ. එසේ වන්නේ ශ්‍රාවකත්වය තුළ පිහිටා කටයුතු නොකිරීමෙනි. ශ්‍රාවකයා යනු ශාස්තෘන් වහන්සේ දේශනා කළ මඟ අනුව යන්නා ය. එසේ නම් බුදු සසුනක ඵල ලබනු කැමතිව වීර්ය ඇති කර ගැනු කැමති ශ්‍රාවකයා උගත යුත්තේ වීරිය ගැන අනෙකෙකුගේ නිර්වචනය නොව බුදුරජාණන් වහන්සේගේ දේශනාව යි.

බුදුසසුන තුළ වීරිය හඳුන්වාදෙන්නේ ‘සම්මප්පධාන’ යනුවෙනි. එබඳු සම්මප්පධානයෝ සතරකි.

1. (අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.) නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි.

2. (උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.) උපන් පාපී අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි.

3. (අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.) නූපන් කුසල් දහම් ඉපිදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය ආරම්භ කරයි. සිත දැඩිකොට ගනියි. බලවත්ව වීරිය ගනියි.

4. (උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භිය්‍යෝභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.) උපන් කුසල් දහම් දිගටම පැවැත්වීම පිණිස, එහි නොමුළා බව පිණිස, බොහෝසෙයින් දියුණු වීම පිණිස, විපුල බව පිණිස, නැවත නැවත දියුණු කොට පිරිපුන් බවට පත් කර ගැනීම පිණිස, කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය ආරම්භ කරයි. සිත දැඩිකොට ගනියි. බලවත්ව වීරිය ගනියි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ යමෙක් තුළ මේ සම්මප්පධානයන් පිහිටා ඇත්නම් ඔහු නිවනට ම නැඹුරු වී සිටිනා බවයි. නිවන පිණිස පවතින වැඩපිළිවෙළෙහි යෙදෙන ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතය රථයකට උපමා කළ අප භාග්‍යවතුන් වහන්සේ එම රථයේ රෝද මෙන් ‘වීරිය’ පවතිනා බව පෙන්වා දුන් සේක. මේ සසර නම් වූ සැඩ පහරෙන් එතෙර වන්නේ වීරිය නම් වූ අංගයෙනි. වීරියවන්තයා ම කෙලෙස් වසඟයට නොපැමිණ මේ ක්ලේශසංග්‍රාමයේ ජය ලබන්නේ ය.

ඒ වීරියවන්තයෝ වනාහී මේ බුදුසසුනේ ම පහළ වූවෝ ය. සම්බුදු සසුනෙන් බැහැර ලොව කිසිම තැනෙක සතර සම්‍යක් පධාන වීරිය සහිත වීරියවන්තයෝ පහළ නොවෙති. ඒ වීරිය උසුලා ගත නොහැකි ආකාරයේ වෙහෙසකර දෙයක් නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ශ්‍රාවකයා තුළ පවතින වීරිය කිසි විටෙකත් පසු නොබසිනා වීර්යයක් බවයි. එබඳු වීරියවන්තයෝ අපමණ ප්‍රමාණයක් මේ බුදුසසුනේ පහළ වූහ. භික්ෂු භික්ෂුණී පැවිදි ශ්‍රාවක පිරිසේ වීරිය ගැන කියනු කිම, බුදුසසුනේ උපාසක උපාසිකා පිරිස ද අසිරිමත් වීරියවන්තයෝ වූහ.

දර කැපීමෙන් ජීවිකාව ගත කළ බුදුරජුන්ගේ උපාසකයෙක් දිනක් කෙටේරිය ද රැගෙන වනයට පිවිසියේ ය. ජීවිකාවෙන් දුප්පතෙකු වුවද මේ සොඳුරු සසුන තුළ ශ්‍රද්ධා වීරිය ආදී ගුණයෙන් සුපෝෂිත මේ උපාසකයා අතරමඟදී අනපේක්ෂිත අනතුරකට පත් විය. බොහෝ දිනක් නිරාහාරව සිටි විශාල පිඹුරෙක් මේ උපාසකයාගේ දෙකකුල් වෙළාගෙන කිටි කිටියේ තද කිරීමට පටන් ගත්තේ ය. මහත් වේදනා හට ගනිද්දී අත ඇති කෙටේරියෙන් පිඹුරාගේ සිරුර දෙපළු වෙන පරිදි කෙටීමට උපාසකයාට සිත් විය. එහෙත් ඒ විටම උපාසකයා තමාටම ගරහා ගති.

“චී…. සම්බුදු රජුන් සරණ ගිය තෝ මේ මොන සිතුවිල්ලක් ද හිතන්නේ…? මේ බුදුසසුන ප්‍රාණඝාතයෙන් වෙන් වූ අවිහිංසාවාදී ශ්‍රේෂ්ඨ පුරුෂයන්ගේ භූමිය බව තොට අමතක වුනා ද? ඒ ආර්ය ශ්‍රාවක මහරහතන් වහන්සේලා දිවි තිබෙන තුරා ප්‍රාණඝාතයෙන් වෙන්ව වාසය කළ බව තොට අමතක වුනා ද? උඹේ මේ ජීවිතයට වඩා සීලයයි උතුම්. ඒ උතුම් සීලය ඉක්මවා යාමට ආපු ඔය ලාමක සිතුවිල්ලට නින්දා වේවා!”

මෙසේ කල්පනා කළ උපාසකයා “මට මේ පිඹුරාට හානි කරන්ට හිතෙන්නේ මේ කෙටේරිය අතේ තිබෙද්දීනේ… මේ කෙටේරිය මම වීසි කරනවා…” සිතා පිඹුරා තම කය වෙලා සිටියදී ම සුළු හෝ ආරක්ෂාවක් පිණිස තමා සතුව තිබූ කෙටේරිය හැකි උපරිම වෙර යොදා ඈතට විසි කළේය. ඒ මොහොතේම සිල් තෙදේ අසිරියෙන් ඒ උපාසකයාව පිඹුරා විසින් අත් හළේය.

බුදුසසුනක් යනු එබඳු අකුසල්වලට එරෙහිව අසාමාන්‍ය වීර්යයක් ඇතිව සිටි වීරියවන්ත උතුමන්ගෙන් පිරී පැවතුනකි. වීරියවන්ත පුරුෂයන්ට සතර සම්‍යක් පධාන වීර්යය යනු සම්බුදු සසුන නම් වූ මහා සයුරේ තිබෙනා අනර්ඝ මාණක්‍ය වැනි යැයි අප සම්බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඒ අනර්ඝ මාණක්‍යයන් තමා සතු කර ගන්නා යමෙක් වේද ඔහු ඒකාන්තයෙන් ම පරම සැපයට පත්වනු නිසැකය.

තමා තුළ ධර්ම රාජ්‍යයක් ගොඩනඟා ගනු කැමැති ආර්ය ශ්‍රාවකයෙකු හට ඒ ධර්මරාජ්‍ය ආරක්ෂා කරගැනීම පිණිස සිටිනා මහා බලසෙනඟක් මෙන් අකුසල් දුරු කිරීම පිණිසත් කුසල් ඉපිදවීම පිණිසත් මේ සම්මප්පධාන වීරිය උපකාරී වන්නේය. එනිසා කලාතුරකින් ලද මේ බුදුසසුනේ විපුල ඵල ලබනු කැමති සියල්ලෝ ම තම ජීවිතය තුළ කිසි විටෙකත් නොපසුබස්නා අයුරින් සතර සම්‍යක් පධාන වීර්යය ඇති කර ගැනීමට උත්සාහවත් වෙත්වා!