සතර සතිපට්ඨානය

නිවන් මගේ හික්මෙන ආර්ය ශ්‍රාවකයාට සතර සතිපට්ඨානය යනු පිය උරුමයෙන් ලැබුණු ආරක්ෂිත ස්ථානය යි. එනම් මාරයාට කැමති සේ අරමුණුවලින් ග්‍රහණය කර ගැනීමට නො හැකි වන සේ ආරක්ෂිතව සැඟවී සිටිය හැකි ස්ථානය යි.

යමෙක් සතර සතිපට්ඨානයෙන් යුතුව වාසය කරන විට ඔහු තුළ අකුසල් ඉපදීමට ඇති අවකාශ ඇහිරී යනවා. ඔහුට අකුසල් සිතුවිලි උපන්නත් සැණෙකින් ඒ අකුසල් හඳුනාගෙන එය බැහැර කිරීමට ඔහු වීර්යය ගන්නා නිසා ඒ අකුසල්වලට ඇති පැවැත්ම හීන වෙලා යනවා.

උදාහරණයක් ලෙස කෙනෙක් මනා සිහි නුවණින් යුතුව කායානුපස්සනාවෙන් නිතර වාසය කිරීමට උත්සාහ කරන්නේ යැයි සිතමු. මෙලෙස වාසය කරන ඔහු කායික ස්වභාවයේ හටගැනීමත් නැතිවීමත් අවබෝධයෙන් දකිමින් වාසය කරනවා. මෙලෙස වාසය කරන ඔහුට රාග සිතුවිල්ලක් උපන්නොත් එය හොඳින් ප්‍රකටව පෙනෙන්නට පටන් ගන්නවා. කායානුපස්සනාවෙන් තොරව වාසය කරන කෙනා ඒ අකුසලයට යට වෙනවා. නමුත් කායානුපස්සනාව වඩන කෙනා ඒ අකුසලය අකුසලයක් විදියට දකින්නට සමත් වෙනවා. ඉන් පසු ඔහු ඒ අකුසලය ඇති වූ ආකාරය හොඳින් විමසනවා. ඒ කියන්නේ සුභ නිමිත්තත්, අයෝනිසෝ මනසිකාරයත් මුල් වෙලා රාගය ඇති වූ හැටි හොඳින් දකිනවා. ඉන් පසු කායානුපස්සනාව අනුව ඔහු අසුභය පුරුදු කරන්නට උත්සාහ කරනවා. අසුභ නිමිත්තත්, යෝනිසෝ මනසිකාරයත් මුල් වෙලා රාගයට ඇති ආහාර නැති වීමෙන් විරාගය ඔහුගේ සිතේ උපදිනවා. අකුසලය ප්‍රහාණයට අවශ්‍ය හේතු සකස් වීම නිසාත්, කුසලය දියුණු කිරීමට අවශ්‍ය පසුබිම සකස් වීම නිසාත් අකුසලය ප්‍රහාණය වී කුසලය උපදිනවා. මේ ආකාරයට අකුසලයෙන් මිදී සිත කුසලයේ පිහිටුවා ගන්නට ඔහුට උපකාර කළේ වඩන ලද කායානුපස්සනාව යි.

ඒ ආකාරයෙන් ම යි වේදනාව ගැනත්, සිත ගැනත්, ධර්මයන් ගැනත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට සිහියෙන් යුතුව නුවණින් වාසය කරන කෙනාට අකුසල් උපදින්නට තියෙන සියලු මාවත් ඇහිරී යනවා. කුසල් උපදින්නට පටන් ගන්නවා. ඒ නිසා සතර සතිපට්ඨානයෙන් යුතුව වාසය කිරීම ම යි අපට ඇති ආරක්ෂාව වන්නේ.

සොරෙක් තවත් සොරෙකුට කරන අනතුරකට වඩා අනතුරක් අකුසලයට යට වූ සිතෙන් අපට සිදු කරනවා. අප දීර්ඝ කලක් මේ සසරේ ඇවිද ආවේ මේ සිතට හසු වූ නිසා ම යි. නොයෙක් වර සතර අපායට වැටෙමින් බොහෝ දුක් විඳින්නට සිදු වුණේ මේ සිත නිසා ම යි. සසර ගමනේ අපේ ලොකු ම හතුරා මේ සිත යි. අපට සසරින් එතෙර වන්නට තියෙන්නේත් මේ සිත දියුණු කරලා ම යි. ඒ දුකින් මිදෙන මාවත කරා සිත පුහුණු කරන මාර්ගය සතිපට්ඨානය යි.

භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ තමයි විමුක්තිය පිණිස ඇති ඒකායන මාර්ගය කියා. (ඒකායනෝ අයං භික්ඛවේ, මග්ගෝ සත්තානං විසුද්ධියා, සෝකපරිද්දවානං සමතික්කමාය, දුක්ඛදෝමනස්සානං අත්ථංගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්ඡිකිරියාය. යදිදං චත්තාරෝ සතිපට්ඨානා)

“පින්වත් මහණෙනි, සතර සතිපට්ඨාන යනුවෙන් යම් මේ ධර්මයක් ඇද්ද මෙය වනාහී සත්වයන්ගේ පිරිසිදු බව පිණිස ද, සෝක වැලපීම් ඉක්මවා යාම පිණිස ද, කායික මානසික දුක් දොම්නස් නැතිවීම පිණිස ද, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස ද, අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස ද පවතින්නා වූ ඒකායන විමුක්ති මාර්ගය යි.”

(මහා සතිපට්ඨාන සූත්‍රය – දී. නි. 2)

ඒ වගේ ම අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ විසින් මේ සතර සතිපට්ඨායන් පුරුදු කිරීමෙන් කෙනෙකුට සිදුවන යහපත ගැනත් මේ ආකාරයෙන් පෙන්වා දෙන සේක.

“මහණෙනි, යම් කෙනෙකුට අනුකම්පා කරව් ද යම් කෙනෙක් ඔබට ඇහුම්කන් දිය යුතු යැයි සිතත් ද මිත්‍රයෙකු වේවා, යහළුවෙකු වෙත්වා, ඥාතීහු වෙත්වා, ලේ ඥාතීහු වෙත්වා මහණෙනි, ඔබ විසින් ඔවුන් සතර සතිපට්ඨානය වැඩීම පිණිස සමාදන් කරවිය යුත්තාහු ය. වාසය කරවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය.”

(මිත්ත සූත්‍රය – සං. නි. 5)

බුදු සසුනේ පිහිට පතාගෙන එන පැවිදි නවක භික්ෂූන් වහන්සේලා ව සතර සතිපට්ඨානය වැඩීමෙහි සමාදන් කරවන ලෙස භාග්‍යවතුන් වහන්සේ නිතර භික්ෂූන් වහන්සේලාට අවවාද කළ සේක. තවද නිවන් මගෙහි හික්මෙන භික්ෂූන් වහන්සේලාත් නිවන් මග හික්මී අවසන් කළ රහතන් වහන්සේලාත් නිතර සතර සතිපට්ඨානයෙන් යුතුව කාලය ගත කරන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක. මෙසේ බුදු සසුනේ පිළිසරණ පතාගෙන එන ශ්‍රාවකයාට පිය උරුමයෙන් ලැබෙන ආරක්ෂිත ස්ථානය බවට සතර සතිපට්ඨානය පත් වෙනවා.

සතිපට්ඨාන සංයුත්තයේ කුසලරාසි සූත්‍රයේ සතර සතිපට්ඨානය ගැන අසිරිමත් විග්‍රහයක් අපට මුණගැසෙනවා. එහිදී භාග්‍යවතුන් වහන්සේ අකුසල රාශිය 

ගැනත්, කුසල රාශිය ගැනත් පෙන්වා දෙන සේක. අකුසල රාශිය නම් පංච නීවරණ යි. කුසල රාශිය නම් සතර සතිපට්ඨානය යි. එසේ නම් යම් කෙනෙක් කුසල් රැසක් තම ජීවිතයට එකතු කර ගනු කැමති නම් වැඩිය යුත්තේ මේ සතිපට්ඨානය ම යි.

තවත් වරෙක භද්ද ස්වාමීන් වහන්සේ බුදු සසුනේ චිර පැවැත්ම ගැන පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසා සිටියා. ඒ අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළේ බුදු සසුනේ චිර පැවැත්ම ර`දා පවතින්නේ ශ්‍රාවකයා සතර සතිපට්ඨානයෙන් යුතුව වාසය කරනවා ද නොකරනවා ද යන්න මත බවයි. භාග්‍යවතුන් වහන්සේගේ දායාදය වූ සතර සතිපට්ඨානයෙන් යුතුව ශ්‍රාවකයින් වාසය කරන්නේ නම් ශාසනය චිරාත් කාලයක් පවතින බවත්, එසේ නොවන්නේ නම් මේ ශාසනය ඉක්මනින් අතුරුදහන් වන බවත් පෙන්වා වදාළා.

“සති” යනු සිහියට නමකි. පට්ඨාන යන්නෙන් පිහිටීම පිහිටුවීම ගම්‍යවේ. නිවන් මගෙහි නිවැරැදි සිහිය හඳුන්වා දෙනු ලබන සූත්‍ර දේශනාව සතිපට්ඨාන සූත්‍රයයි. මජ්ක්‍ධිම නිකායට අයත් මෙම දේශනාව සතර සතිපට්ඨාන ය. එනම් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මැනවින් විස්තර කරනු ලබන අවස්ථාවකි. සත්තිස් බෝධිපාක්ෂික ධර්මතාවයන් ගේ පළමු කරුණු හතර වනුයේද මෙම සතර සතිපට්ඨානයයි. මෙම දේශනාව ආරම්භයේදීම මෙහි ඇති වැදගත්කම පිළිබඳ බුදුරදුන් තම ශ්‍රී මුඛයෙන් මෙසේ වදාළහ. “ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තා නං විසුද්ධියා…” “සත්වයන්ගේ පිරිසුදු බව පිණිස දුක් දොම්නස් දුරුවීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස නිවන් සාක්ෂාත් කරගැනීම පිණිස ඒකායන මාර්ගයක් වේ එය සතර සතිපට්ඨානයයි”

ඉහත අරුතින් ගත්කළ සතර සතිපට්ඨානය නිවන සඳහා කෙරෙන අනුබලය කෙතරම්ද යන්න අවබෝධ කරගැනීම පහසුය. රූපය නිත්‍ය සුබ නොවෙනස් දෙයක් ලෙස නොසලකා ආශ්වාස ප්‍රශ්වාසාදී ලෙස අනිත්‍යාකාරයෙන් බැලීම ඒ සඳහා ඇතිවන ප්‍රඥාව කායානුපස්සනා සතිපට්ඨානයයි. විටින්විට ඇතිවන්නා වූ වේදනා නිත්‍ය සුඛ නොවෙනස් දෙයක් ලෙස නොදැක එය අනිත්‍යාදී වශයෙන් ග්‍රහණය කරගැනීම වේදනානුපස්සනා සතිපට්ඨානය වේ. පහළවන සිතිවිලි ආත්මය ලෙස වරදවා තේරුම් නොගෙන වෙනස් වන අරමුණු ලෙස දැකීම චිත්තානු පස්සනාවයි. පංච නීවරණ ධර්ම ආත්ම වශයෙන් නොගෙන කැඩෙන බිඳෙන වෙනස්වන සුළු ස්වභාවයෙන් ප්‍රඥාව මූලිකකොට දැකීම ධම්මානුපස්සනා සතිපට්ඨානයයි.

කායානුපස්සනා සතිපට්ඨානය

හුස්ම ගැනීම පහත හෙළීම, දීර්ඝ හුස්ම කෙටි හුස්ම යමෙකු සිහියෙන් දනීද ඒ මත හික්මීම ඇති කර ගනී. “කය ආත්මකොට නොසලකයි. හුස්ම පිළිබඳ සිහිය පිහිටුවා ඒ මත කය සන්හිඳුවයිද? කය පිළිබඳ යථාවත් අවබෝධය ලබයිද? 

අනෙකා පිළිබඳවද එම ඥානය ලබාගනී. ඒ තුළ රූපාදී කිසිවක් ආත්ම වශයෙන් බලන තෘෂ්ණා දැකීම සන්සිඳේ. එය කායානුපස්සනා සතිපට්ඨානයයි. කයෙහි චලනය ක්‍රියාකාරිත්වය දැනගැනීම එය අනෙකාටද පොදු වූවක් බව හඳුනාගැනීම මෙන්ම හටගැනීම , විනාශය දැනගැනීම නුවණින් සිදුවෙයි. ඒ තුළ මමය, මගේය ලෙස නොගනී. කෙස්, දත්, නිය ආදී සියලු දෑ එලෙස දකීද එහි ක්‍රියාකාරිත්වය යථාර්ථවත් හඳුනාගනීද ශරීර කෘත්‍යයේ සිට කෑම්.බීම් ඉදුම් හිටුම්, නිදාගැනීම පිබිදීම දැන ගනීද එය කායානුපස්සනාවයි.

කායානුපස්සනාව පැහැදිළි කිරීම සඳහා සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත. එනම් මුව බැඳ ඇති මල්ලක් ලිහන බුද්ධිමත් පුද්ගලයා එහි ඇති මුං’, මෑ, තල, සහල් යන දෑ වෙන වෙනම නිවැරැදිව හඳුනගන්නා සේ දෙතිස් කුණුප මනාව හඳුනාගෙන කටයුතු කිරීම කය පිළිබඳ සිහියයි. එමෙන්ම තමාගේ මෙන්ම අනෙකාගේ කයෙහි ධාතුකොටස් එකතුව මනාව හැඳිනගැනීමත් සත්වයා යනු , පඨවි, ආපෝ, තේජෝ වායෝ යන්නෙහි එකතුවක් බව දැනීම කායානුපස්සනා සතිපට්ඨානයයි.

මියයාමෙන් දවස දෙකගත වීමේදී ශරීරයේ ස්වභාවය වෙනස්වීම දනීද? සතුන් විසින් කා දමන මිණිය, මස් නැති ඇටසැකිල්ල හදුනාගනීද? විසුරුණු අස්ථී කොටස් දනීද? සෑම කෙනෙකුගේම ශරීරය මේසා බව හැදින නුවණින් දැනගැනීම කය පිළිබඳ මනා සිහියයි. වෙනස්වන කයෙහි ස්වභාවය තමාටද පොදු වූවක්ය. එය ලෝකයෙහි යථාර්ථය බව හඳුනාගැනීම ඒ මත සිහිය පිහිටුවීම කායානුපස්සනාසති පට්ඨානයයි.

වේදනානුපස්සනා සතිපට්ඨානය

සැප දුක හෝ අතරමැදි ස්වභාවයේ වේදනාවන් හෙවත් දැනීම නුවණින් දැන ගැනීම ඒ මත ප්‍රඥාව ඇතිවීම වේදනානුපස්සනා සතිපට්ඨානයයි. ආමිස සාමිස දුක, ප්‍රඥාවෙන් හැඳිනීම අතරමැදි ස්වභාවයේ තත්වයන් යථාර්ථස්වභාවයෙන් දැනගත යුතුය.

සත්වයා මෙම වේදනාවන් විඳීම සඳහා බොහෝ පාපකර්ම සිදුකරති. එය ඥානාන්විත නොවේ. වේදනාව වේදනාවක් මිස පුද්ගලයෙක් හෝ ආත්මයක් ලෙස නොසැලකිය යුතුය. වේදනාව යනු? හේතූන්ගේ සම්භවයකි. එයට ස්ථීර පදනමක් නැත. ඇති වූ වහ වහා බිදීයයි. පැවතීමට ශක්තියක් නැත. වේදනාව හුදු වේදනාවක්ම පමණක් බව දැනීම, එය අනිත්‍යය ස්වභාවකොට ඇති බව හැඳින ගැනීම වේදනානුපස්සනාවයි.

මෙසේ අනුන් පිළිබඳව සොයා අවබෝධ කරගැනීමේ හැකියාව ඇතිකරගත යුතුය. වේදනාවන්ගේ හටගැනීම පැවතීම විනාශය හඳුනාගනිමින් ඒ මත සිහිය පිහිටුවා ගත යුතුය. මමය මාගේය, ලෙස ගැනීමේ තෘෂ්ණාධික භවෙන් ඉවත්ව කිසිවක් නිත්‍ය නොමැති තැන වේදනාවද එසේම බව සිතීම වැදගත්ය. එවිට තම සිත තම නුවණින් බැලීම වන්නේය.

චිත්තානුපස්සනා සතිපට්ඨානය

රාග සහිත සිත රාග සහිත ලෙසද මෝහ සහිත සිත මෝහ සහිත සිත ලෙසද මෝහ රහිත සිත එසේ දනීද? අනෙක් ක්ලේෂයන් සිතිවිලිද එසේම අවබෝධ වීම මනා සිහියයි. පඤ්චනීවරණ ධර්මයන්ගෙන් යුතු සිත එහි බලපෑම නුවණින් දැනීම ප්‍රඥාවෙන් බැලීම එයින් මිදුන ස්වභාවය අවබෝධ වීම සිතිවිලිවල යථාස්වභාවය නුවණින් දැනීම චිත්තානුපස්සනා සතිපට්ඨානයයි.

ධම්මානුපස්සනා සතිපට්ඨානය

පඤ්චනීවරතා ධර්ම නුවණින් බලා වාසය කරන ස්වභාවය ධම්මානුපස්සනාවයි. තමා තුළ පවතින කාමච්ඡන්ද ආදි ධර්ම “ඇත” හෝ “නැත” යන බව ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නා ස්වභාවය නිවන්මග සඳහා අත්‍යවශ්‍යය. අනෙක් නීවරණතා ධර්මයන්ගේ ස්වභාවයද ඒ හා සමානය. ව්‍යාපාදය ඉපදේද, එය ප්‍රහාණයවන්නේද ප්‍රහාණය වු ව්‍යාපාදය නැවත මතු නොවන්නේද එම ස්වභාවය නුවණින් දනීද? එය යහපත්ය.

පඤ්ච උපාදානස්කන්ධය යමෙකු නුවණින් දනීද? යහපත් සිහියයි. රූපය මෙසේය . එහි ස්වභාවය මෙසේය වේදනාව මෙසේය සඤ්ඤා, සංඛාර යන මෙවැනි ස්වරූපයෙන් යුතුය. හටගැන්ම පැවැතීම පිළිබඳ ඇති අවබෝධය ඇත්තේද තමා මෙන්ම අනෙකාටද මෙය පොදු වූවේද යනු බව නුවණින් දැනීම ධම්මානුපස්සනා සතිපට්ඨානයයි. ආධ්‍යාත්මික ෂඩායතන මෙන්ම බාහිර ෂඩායතන පිළිබඳ දැනීමද එසේමය. සප්ත බොජ්ඣංග ධර්මතාවයන් පිළිබඳ නුවණින් දැනීම මනා සිහියයි. මෙලෙස තමා තුළ පවතින සියලු ධර්මතාවයන් පිළිබඳ ඇතිවන නිරවුල් අවබෝධය ඒ මත සිහිය පිහිටුවා ප්‍රඥාව ඇති කරගැනීම ධම්මානුපස්සනා සතිපට්ඨානයයි. කෙටියෙන් ම පවසන්නේ නම් චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ ධර්මානුපස්සී වීමද අයත් වන්නේ ඉහත ගුණයටය.

වේදනාව පිළිබඳ වැරදි හැඟීම් දුරුවීමෙන් වේදනානු- පස්සනා සතිපට්ඨානය ඇතිවේ. චිත්තය සම්බන්ධ වැරැදි හැඟීම් දුරුවීම තුළ චිත්තානුපස්සනා සතිපට්ඨානය ඇතිවේ. අනෙක් කාරණාවෝද එසේමය. බුදු සසුන බොහෝ කාලයක් පැවැතීමට හේතු ලෙසද බුදුරදුන් සතිපට්ඨානය දක්වනුයේද මෙම ගුණ ලොකෝත්තර සුඛය සඳහා හේතුවන බැවිනි. එහෙයින් තම විමුක්තිය මෙන්ම සමාජ සුබසිද්ධි විෂයෙහි සතිපට්ඨානය වැඩීම යහපත්ය.

සූත්‍රයෙහි අවසානයේදි පවා මෙහි වටිනාකම අවධාරණය වී ඇත. එනම් යමෙකු සත් දවසේ සිට වසර හතක් දක්වා කාලයක් මෙය වඩන්නේ නම් ක්‍රමිකව සංයෝජන නැති කරගනිමින් ඊළඟ භවයකදී නිවන ලද හැකි බවයි. සත්වයන්ගේ පිරිසුදු බව සඳහා දුක් දෝමනස්සයන් ගෙන් අත්මිදීම පිණිස නිවැරැදි මග ආර්යමාර්ගයේ අවබෝධය සඳහා මෙන්ම නිවන් ලැබීම පිණිස 

ඒකායන මාර්ගය සතිපට්ඨානයයි. මෙය මෙසේ වඩන්න යැයි බුදුරදුන් දේශනා කර ඇත්තේ නිවන සඳහා නොවරදින මග නිසා බව තමන් වහන්සේ දැක පසක් කොට ඇති බැවින් බව උන්වහන්සේ දේශනා කළහ. සසර උපදන වාරගණන අඩු කරමින් භව නිරෝධය ලැබීමට සත්වයා මෙම කරුණු හතර එක්කර ගැනීම දෙලොව සැපතට මහඟු පිටිවහලකි.

සතිපට්ඨාන-භාවනාව

සතිපට්ඨාන සහ සතිපට්ඨාන-භාවනාව කියා කොටස් දෙකක් ගැන බුදුරජාණන් වහන්සේ වදාරමින් ඒ දෙක උන්වහන්සේ විස්තර කර ඇත්තේ මේ විදිියට ;

“සතිපට්ඨාන ධර්ම කියන්නේ කායානුපස්සනා-වේදනානුපස්සනා- චිත්තානුපස්සනා-ධම්මානුපස්සනා කියන කොටස් හතරට.

සතිපට්ඨාන භාවනාව කියන්නේ ඒ ඒ සතිපට්ඨාන ධර්මයන් ගේ 

(1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම – නැතිවිම කියන කොටස් දෙකම දැකීමත් 

(2) කාය-වේදනා-චිත්ත-ධර්ම කියන ධර්මයන් ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත්, 

(3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත්,

(4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්, 

(5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත්, 

(6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) 

කියන කරුණු ප්‍රත්‍යක්‍ෂ ලෙස දැක අවබෝධ කිරීමට. මෙය සතිපට්ඨාන භාවනා සෑම කොටසක් අවසානයේ දී ම බුදුරජාණන් වහන්සේ විසින් වදාරා තිබෙනවා. එම නිසා, කායානුපස්සනාවේ දැක්වෙන සෑම කොටසක් අවසානයේදීත්, වේදනානුපස්සනාව අවසානයේදීත්, චිත්තානුපස්සනාව අවසානයේදීත්, ධම්මානුපස්සනාවේ එකිනෙක සෑම කොටසක් අවසානයේදීත් එය කළ යුතු යි.

කායානුපස්සනාවට භාවනා ක්‍රම 14ක් ඇතුළත්. 

(1) ආනාපාන සති භාවනාව 

(2) සක්මන් භාවනාව වැනි ඉරියව් පවත්වාගෙන යාමේ භාවනාව 

(3) සිහිනුවණින් යුතුව කටයුතු කිරීමේ භාවනාව 

(4) අසුභ භාවනාව 

(5) පඨවි-ආපෝ-තේජෝ-වායෝ කියන ධාතු කොටස් 4 අරමුණු කර ගනිමින් කරනු ලබන ධාතුමනසිකාර භාවනාව සහ 

(6) – (14) මැරුණාට පසුව ශරීරයට සිදුවන අවස්ථා 9ක් අරමුණු කරමින් කරනු ලබන නවසීවථික භාවනාව කියන්නේ ඒ 14ට.

මේ සෑම කොටසක්ම භාවනා කරන විට, මේවා හේතූන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්,පුද්ගලයෙක්, ආත්මයක්, මමෙක් නො වන , අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් 

වන හුදු සංස්කාර ධර්ම පමණක් බව ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ වී යා යුතු යි .

ඒ වගේම, කයේ 

(1) ඉපැදීමේ හේතු දැකීමත් , නැතිවීම දැකීමත් , ඇතිවීම – නැතිවිම කියන කොටස් දෙකම දැකීමත් 

(2) කයේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත්, (

3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත්,

(4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්, 

(5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත්, 

(6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) 

කියන කරුණු ප්‍රත්‍යක්‍ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා.

වේදනානුපස්සනාවට අන්තර්ගත වන්නේ සැප, දුක්, මැදහත් (උපෙක්ඛා) කියන වේදනා 3 ත් , එම වේදනාවන් සාමිස සුඛ වේදනා සහ නිරාමිස සුඛ වේදනා , සාමිස දුක්ඛ වේදනා සහ නිරාමිස දුක්ඛ වේදනා, සාමිස උපෙක්ඛා වේදනා සහ නිරාමිස උපෙක්ඛා වේදනා කියන වේදනා කොටස් 6 ත්. මෙම වේදනාවන් අරමුණු කරමින් කරනු ලබන භාවනාව තමයි වේදනානුපස්සනාව.

සාමිස වේදනා වශයෙන් දැක්වෙන්නේ ඇස කන නාසය දිව ශරීරය හා මනස කියන ඉන්ද්‍රියයන්ට රූප ශබ්ද ආදී අරමුණු හමුවූ පසු පංචකාම වස්‍තූන් ඇසුරු කර ගෙන ඇතිවන වේදනාවන්ට. නිරාමිස වේදනා වශයෙන් දැක්වෙන්නේ පංචකාම වස්‍තූ වලින් තොරව ඇතිවන වෙදනාවන්ට.

භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල නො ලැබෙන විට, කවදා නම් ප්‍රථිඵලයක් ලැබේදැ යි සිතන විට, ධ්‍යාන සමවත්, ඵල සමවත් සුව විඳින විට මේ ආදී විවිධ අවස්ථාවන්හි දී ඇතිවන වේදනාවන් නිරාමිස වේදනාවන්ට උදාහරණ වශයෙන් දක්වන්නට පුළුවන්.

මේ සෑම කොටසක්ම භාවනා කරන විට, මේ වේදනා හේතූන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක්, මමෙක් නො වන , අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම පමණක් බව ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ වී යා යුතු යි .

ඒ වගේම, මේ ආකාර විවිධ වේදනාවන්ගේ 

(1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම – නැතිවිම කියන කොටස් දෙකම දැකීමත් 

(2) වේදනාවන්ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත්, 

(3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත්,

(4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්, 

(5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත්, 

(6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්‍ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා.

චිත්තානුපස්සනාව කියන්නේ සිතේ ඇතිවිය හැකි 16 ආකාර විවිධ සිත් වර්ග දකිමින් කරනු ලබන භාවනාවට.

1-2-3-රාගයෙන් යුතු සිත්, ද්වේෂයෙන් යුතු සිත්, මෝහයෙන් යුතු සිත් (සරාගී සිත්, සදෝස සිත්, සමෝහ සිත්)

4-5-6 රාගය ප්‍රහීණ කළ සිත්, ද්වේෂය ප්‍රහීණ කළ සිත්, මෝහය ප්‍රහීණ කළ සිත් (වීතරාග-වීත දෝස-වීත මෝහ සිත්)

7. නිදිමතින්, ථීනමිද්ධයෙන් හැකිලී ගිය සිත් (සඞ්ඛිත්ත සිත්)

8. භාවනා අරමුණින් පිට යන සිත් (වික්ඛිත්ත සිත්)

9. ධ්‍යාන සිත් (මහග්ගත සිත්)

10 ධ්‍යාන වලට පත් නොවූ සිත් (අමහග්ගත සිත්)

11 සෝවාන්, සකදාගාමී, අනාගාමී මාර්ග හා එම ඵල සිත් (සඋත්තර සිත්). පොත්වල දැක්වෙන්නේ සඋත්තර සිත් කියන්නේ අරූපාවචර ධ්‍යාන සිත් බව යි.

12 අනුත්තර සිත් (රහත් මාර්ග හා රහත් ඵල සිත්)

13 ධ්‍යාන වලට පෙර ඇතිවන, සිත නො විසිරී පවත්නා උපචාර සමාධි සිත් (සමාහිත සිත්)

14 සමාහිත බවක් නැති අසමාහිත සිත්

15 වෙනත් සිතුවිලි නො සිතන විට රහත් වූ අයට ඇතිවන විමුක්ත සිත් (විමුත්ත සිත්)

16 විමුක්ත භාවයට පත් නොවූ අවිමුත්ත සිත්

නිවන් දැකීමට නම්, මේ සිතුවිලි හේතූන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්,පුද්ගලයෙක්, ආත්මයක්, මමෙක් නො වන , අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම බව චිත්තානුපස්සනා භාවනාව කරන විට ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ වී යා යුතු යි .

ඒ වගේම, මේ ආකාර විවිධ චිත්ත ධර්මයන්ගේ (1) ඉපැදීමේ හේතු දැකීමත් , නැතිවීම දැකීමත් , ඇතිවීම – නැතිවිම කියන කොටස් දෙකම දැකීමත් (2) චිත්ත ධර්මයන්ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත්, (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත්, (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්, (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත්, (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්‍ෂ ලෙස දැක අවබෝධ කර ගන්නට ඕනෑ..

ධම්මානුපස්සනා

ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම 5ක් තිබෙනවා.

1 කාමච්ඡන් ද -ව්‍යාපාද-ථීනමිද්ධ-උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන නීවරණ ධර්ම අරමුණු කර ගෙන කරනු ලබන භාවනාව

2 රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන පංචස්කන්ධ පිළිබඳ භාවනාව

3 ඇස කන නාසය දිව ශරීරය හා මනස කියන ඉන්ද්‍රියයන් ද, ඒවාට අරමුණු වන රූප ශබ්ද ආදී අරමුණු ද නිසා ඇතිවන සංයෝජන ධර්මයන් ද අළලා කරන භාවනාව

4 සත්ත බොජ්ඣංග භාවනාව

5 දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය සහ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්ය සත්‍යය යන චතුරාර්ය සත්‍යයන් පිළිබඳ භාවනාව

නීවරණ භාවනාව : 

කාමච්ඡන්දය කියා කියන්නේ රූප-ශබ්ද-ගන්ධ රස-ඵොට්ඨබ්බ (කායික ස්පර්ශයන්ට අරමුණු වන දේවල්) කියන අරමුණු වලටත්, ඒවා නිසා ඇතිවන ආශ්වාදයන් විඳීමටත් ඇති කැමැත්තට. තමාගේ සිතේ කාමච්ඡන්දය ඇතිනම් ඒ බවත්, කාමච්ඡන්දය සිතේ නැත්නම් ඒ බවත්, නූපන් කාමච්ඡන්දය ඉපදුණු කල ඒ බවත්, උපන් කාමච්ඡන්දය නැතිවූ විට ඒ බවත්, නැතිවූ කාමච්ඡන්දය නැවත නූපදින ආකාරයෙන් ම නිරුද්ධ වූ කල ඒ බවත් දැන ගැනීම කියන ඒ කරුණුවල යථා තත්ත්වය අවබෝධ කර ගනිමින් භාවනා කිරීම යි මෙයින් අදහස් කරන්නේ. මේවා මොනවාද, මේවා ඇතිවන හේතු මොනවාද , මේවා නිසා ඇතිවන ආදීනව මොනවාද, මේවා නිරුද්ධ කරන්නේ කොහොම ද, මේවා අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, දුක්ඛ සත්‍යක් හා සමුදය සත්‍යයක් බව, මේවා කෙරෙහි කලකිරිය යුතු බව, නො ඇලිය යුතු බව ආදී කරුණු තමා විසින්ම දැක අවබෝධ කර ගැනීම යි ‘යථා පරිදි දකිනවා’ කියන්නේ.

ව්‍යාපාදය: තරහව, ක්‍රෝධය‍ , නුරුස්නා ගතිය, අමනාපය, නො සතුට ආදිය ව්‍යාපාද නීවරණයට ඇතුළත්. තමාගේ සිතේ ව්‍යාපාදය ඇතිනම් ඒ බවත්, සිතේ ව්‍යාපාදය නැත්නම් ඒ බවත්, නූපන් ව්‍යාපාදය ඉපදුණු කල ඒ බවත්, උපන් ව්‍යාපාදය නැතිවූ විට ඒ බවත්, නැතිවූ ව්‍යාපාදය නැවත නූපදින ආකාරයෙන් ම නිරුද්ධ වූ කල ඒ බවත් දැන ගැනීම පිළිබඳව ඒ ඒ කරුණුවල යථා තත්ත්වය අවබෝධ කර ගනිමින් භාවනා කිරීම යි මෙයින් අදහස් කරන්නේ.

ථීන මිද්ධය: ථීන මිද්ධය කියන්නේ සිතේ මැලි බව, අලස බව, නිදිමත ගතිය ආදියට. මේවා සිතේ ඇති බව , නැති බව, ඇතිවූ විට ඒ බව, ඉපදුණු ථීනමිද්ධය නැතිවූ විට ඒ බව, නැති වූ ථීනමිද්ධය නැවත නූපදින ආකාරයෙන් ම නිරුද්ධ වූ විට ඒ බව යථා පරිදි දකිමින් හා අවබෝධ කරමින් භාවනා කළ යුතු වනවා.

උද්ධච්ච කුක්කුච්ච: සිත නොයෙක් අරමුණු කරා දුවමින් විසිරෙන ගතිය උද්ධච්චය යි, තමා විසින් මේ දක්වා කර ඇති අකුශලශ හා කර නො මැති කුශල් ගැන සිත-සිතා පසුතැවීම කුක්කුච්චය යි. මේවා සිතේ ඇති විට ඒ බවත්, නැති විට ඒ බවත්, සිතේ නො තිබුණු මේවා ඇති වූ විට ඒ බවත්, ඇති වූ මේවා නැති වී ගිය විට ඒ බවත්, නැති වූ මේවා නැවත නූපදින ලෙසම නිරුද්ධ වී ගිය විට ඒ බවත් යථා පරිදි දැකීම මින් අදහස් කරනු ලබන භාවනාව යි.

විචිකිච්ඡා : බුද්ධ, ධර්ම, සංඝ ත්‍රිවිධ රත්නය, පෙර පැවැති භව, පසුව ඇතිවන භව, පෙර සහ පසු භව, (සම්මුති වශයෙන් භව කියා කියන වචනයට අප කියන්නේ පෙර ආත්මය ආදී වශයෙන් ආත්මය කියලා.) පටිච්චසමුප්පාද ධර්ම, සහ ශීල-සමාධි-ප්‍රඥා කියන ත්‍රිශික්‍ෂාව ගැන ඇතිවන සැක 8මෙයට ඇතුළත්. මෙවැනි සැක කිසිදා නැවත නූපදින ලෙස සම්පූර්ණයෙන් ම දුරුවන්නේ සෝවාන් 

වූවාට පසුව පමණ යි. මේවා ගැනත් ඇති බව , නැති බව ආදී කරුණු කලින් නීවරණ වලට කියා ඇති කරුණු ආකාරයෙන් ම අවබෝධ කර ගත යුතු වනවා.

පංචස්කන්ධ භාවනාව : රූප-වේදනා-සංඥා-සංස්කාර- විඥාන කියන පංචස්කන්ධ මොනවාදැයි ඒවායේ නියම යථා තත්ත්වය දැකීමත්, ඒ ස්කන්ධ ඇතිවීමේ හේතු දැකීමත්, ඒ ස්කන්ධ නිරුද්ධ වී යාම දැකීමත් පංචස්කන්ධ භාවනාවට ඇතුළත්.

ආයතන භාවනාව : ඇසත්- ඇසට අරමුණු වන රූපත්, කණත්- කණට අරමුණු වන ශබ්දත්, නාසයත්- නාසයට අරමුණු වන ගන්ධයත්, දිවත්- දිවට අරමුණු වන රසත්, ශරීරයත්- ශරීරයට අරමුණු වන ස්පර්ශයනුත්, මනසත්- මනසට අරමුණු වන දේවලුත් (ධම්මාරම්මණත්) යථා පරිදි දැකීමත්, මේවා නිසා යම් සංයෝජන ධර්මයක් ඇතිවූයේ නම් (සංයෝජන කියන්නේ සසරෙහි බැඳ තැබීමට හේතුවන කාමච්ඡන්ද ව්‍යාපාද ආදියට.) ඒ බවත්, උපන් සංයෝජන නැතිවූ විට ඒ බවත්, නැති වූ සංයෝජන නැවත ඇති නො වන ආකාරයෙන් ම නැති වූ විට ඒ බවත් යථා පරිදි දකිමින් හා අවබෝධ කරමින් කරනු ලබන භාවනාව යි මින් අදහස් කරනු ලබන්නේ.