සතර සෘද්ධිපාද

සතර සෘද්ධිපාද කියලා කියන්නේ බොහෝ දෙනෙක් කථා නොකරන මාතෘකාවක්. බුදු සසුනෙහි මහානීය වස්තු තිස් හත වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් වූ මෙම සතර ඉර්ධිපාද ගැන අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අවස්ථාවලදී වදාළ දේශනා එකතුවක් සංයුක්ත නිකායෙහි පස්වන පොත් වහන්සේ තුළ ඇතුළත් වෙනවා. එම දේශනා එකතුව හඳුන්වන්නේ ‘ඉර්ධිපාද සංයුත්තය’ නමින්.

ඡන්ද, වීරිය, චිත්ත, වීමංසා 

“චත්තාරෝ මේ භික්ඛවේ ඉද්ධිපාදා. කතමේ චත්තාරෝ. ඉධ භික්ඛවේ භික්ඛු ඡන්දසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති. විරියසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති. චිත්තසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති. වීමංසාසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති. 

ඡන්දසමාධිපධාන සංකාරයන්ගෙන් සමන්විත සෘද්ධිපාදය.

වීරියසමාධිපධාන සංකාරයන්ගෙන් යුක්ත වූ සෘද්ධිපාදය, 

චිත්තසමාධිපධාන සංකාරයන්ගෙන් සමන්විත වූ සෘද්ධිපාදය වීමංසාසමාධිපධාන සංස්කාරයෙන් යුක්ත වූ සෘද්ධිපාදය.

සමාධි = විසිරුණු සිත ශාන්ත කරගැනීම

පධාන = විරියට කියන තවත් නමක් 

සංස්කාරක = හේතුවක් නිසා සකස්වීම 

සමන්නාගත = සකස්කරගත් සහිත 

ඉර්දිපාද  = විශේෂ හැකියාව

දැන් අපි සෘද්ධිපාද කියන්නේ මොකක්ද කියල එහි අර්ථය තෝර ගන්න බලමු. ඊට පස්සේ අපි බලමු ඒ ධර්මයන් කොහොමද පුරුදු කර ගන්නේ කියල. සංයුක්ත නිකායේ පස්වෙනි ග්‍රන්ථයේ තියෙනවා ඡන්ද සූත්‍රය කියල දේශනාවක්. ඒ දේශනාවෙදි භාග්‍යවතුන් වහන්සේ අපට මේ විදිහට කියා දෙනවා. 

ඡන්ද

“ පින්වත් මහණෙනි, භික්ෂුවක් ඡන්දය නිසා සමාධිය ලබනවා. එහෙම නැත්නම් චිත්ත ඒකාග්‍රතාව ලබනවා නම් අන්න ඒක තමයි ඡන්ද සමාධිය කියන්නේ. ඒ භික්ෂුව නූපන් පාපී අකුසලයන් නූපදවා ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා. වෑයම් කරනවා. වීරිය ආරම්භ කරනවා. සිත දැඩිකර ගන්නවා. බලවත් බවට පත්කර ගන්නවා. උපන්නා වූ යම් පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කර ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා. වෑයම් කරනවා. වීරිය ආරම්භ

කරනවා. සිත දැඩිකර ගන්නවා. බලවත් බවට පත්කර ගන්නවා. නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා. වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා සිත දැඩිකර ගන්නවා, බලවත් බවට පත් කර ගන්නවා. උපන්නාවූ යම් කුසල ධර්මයන් තියනවා නම් අන්න ඒව පවත්ව ගන්ට, නොනැසී තියා ගන්න, වැඩි දියුණු කර ගන්ට, විපුල බවට පත් කර ගන්ට, භාවනා කිරීම මගින් ඒ කුසල් දහම් පරිපූර්ණ බවට පත්කර ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා. වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩිකර ගන්නවා, බලවත් බවට පත් කර ගන්නවා. අන්න ඒ ටික තමයි ප්‍රධාන සංකාර කියල කියන්නේ.

වීරිය

සතර ආකාරයකින් ප්‍රධං වීරිය පැවැත්වීම තමයි එතකොට ඒ කරන්නෙ. ඒ විදිහට එයා සතර ආකාරයට වීරිය පවත්වන්නේ කුමක් සහිතවද? ඡන්දසමාධිය සහිතව. ඒකට කියනවා ඡන්ද සමාධිපධාන සංකාර සමන්නාගත සෘද්ධිපාදය කියල. දැන් අප ඒ ඉගෙන ගත්තේ ඡන්ද සමාධිපධාන සමන්නාගත සෘද්ධිපාදය ගැන. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා වීරිය නිසා සමාධිය ඇති වෙනවා. ඒ වගේම සිතේ එකඟතාවයක් ඇති වෙනවා නම් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා නම් ඒකට කියනව වීරිය සමාධිය කියල. ඒ වීරිය සමාධියෙන් යුක්ත කෙනත් ඉහත විස්තර කළ ආකාරයටම හතර ආකාරයකින් කටයුතු කරනවා. එසේ කටයුතු කරනකොට එයාට තියනවා වීරිය නිසා ඇතිවුණ සමාධිය. ඊළඟට සතර ආකාරයකින් එයා කටයුතු කරනවා. එවිට වීරිය තියනවා ඒ නිසා උපන් සමාධිය තියනවා. ඒකට කියනවා වීරිය සමාධිය කියල. ඊළඟට අකුසල් දුරු කරන්ටත්, කුසල් උපදවා ගන්ටත් ඒ කරන වෑයමට කියනව ප්‍රධාන සංකාර කියල. ඒ අංග තුනෙන් ම යුක්ත බවට කියනව වීරියසමාධිපධාන සංකාර සමන්නාගත සෘද්ධිපාදය කියල. එවිට යම් කෙනෙක් ඒ අංග තුනෙන්ම යුක්තව කටයුතු කරනවාට තමයි කියන්නේ ‘විරියසමාධිපධාන සංකාර සමන්නාගත සෘද්ධිපාදය’ වඩනවා කියල.

චිත්ත

ඊළඟ සෘද්ධිපාදය මොකක්ද ? චිත්තසමාධිපධාන සංකාර සමන්නාගත සෘද්ධිපාදය, භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා යමෙකුට සිත නිසා සමාධියක් ඇතිවෙනවා නම් ඒකට කියනවා චිත්ත සමාධිය කියල. අන්න ඒ කෙනාට චිත්ත සමාධිය කියනවා. එතකොට එයා උපන් පාපී අකුසල ධර්මයන් දුරු කරන්ට කැමැත්ත උපදවා ගන්නවා. වෑයම් කරනවා. වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා, නූපන් අකුසල් උපදවා නොගන්ට කැමැත්ත ඇති කර ගන්නවා, වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා, ඊට පස්සේ නූපන් කුසල ධර්මයන් උපදවා ගන්ට කැමැත්ත උපදවා ගන්නවා, වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩිකර ගන්නවා බලවත් සේ කටයුතු කරනවා. ඊළඟට එයා උපන් කුසල ධර්මයන් නොනැසී පවත්වන්ටත්, බලවත් කර ගන්නටත්, විපුල බවට 

පත්කර ගන්නටත්, භාවනාවෙන් පරිපූර්ණ බවට පත්කර ගන්ටත් කැමැත්ත උපදවා ගන්නවා. වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා, එතකොට බලන්න ඒ විදිහට කටයුතු කරන කොට එයාට සිත නිසා උපන් සමාධිය කියනවා. සතර ආකාරයකින් එයා අකුසල් දුරු කරන්ටත් කුසල් උපදවාගෙන පවත්වා ගන්නටත් කටයුතු කරනවා. ඒ සිත නිසා උපන් සමාධිය චිත්ත සමාධියයි. අකුසල් දුරු කරන්ටත් කුසල් උපදවාගන්ටත් කරන වෑයමට ප්‍රධාන සංකාර කියල කියනවා. එතකොට ඒ තුනටම කියනව චිත්ත සමාධි ප්‍රධාන සංකාර කියල. එතකොට අන්න ඒ ධර්මයන් තුනම යම් කෙනෙක් පුරුදු කරනවට කියනව චිත්ත සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත සෘද්ධිපාදය වඩනවා කියල.

වීමංසා

ඊළඟ සෘද්ධිපාදය තමයි වීමංසාසමාධිපධාන සංකාර සමන්නාගත සෘද්ධිපාදය. ඒ කියන්නේ යම් විමංසාවක් තියනවා නම් ඒ නිසා සිතේ සමාධියක් ඇති වෙනවා. ඒකට කියනව වීමංසා සමාධිය කියල. අන්න ඒ වීමංසා සමාධියෙන් යුක්ත කෙනා නූපන් අකුසලයන් නූපදවා ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා. වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා, උපන් පාපී අකුසල ධර්මයන් දුරුකර ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා. වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා, නූපන් කුසල ධර්මයන් ඇතිකර ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා. වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා, උපන් කුසල ධර්මයී නොනැසී පවත්වා ගන්ට. රැක ගන්ට, බලවත් බවට පත්කර ගන්ට, කැමැත්ත උපදවා ගන්නවා, වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා. එසේ කටයුතු කිරීමට කියනවා ප්‍රධාන සංස්කාර කියල. එතකොට බලන්න දැන් එයා ළඟ තියනවා විමංසාව. ඒ කියන්නේ විමසා බැලීම තියනවා. එතකොට ඒ විමසා බැලීම නිසා සමාධියක් ඇති වෙනවා. එතකොට ඒ සමාධියට කියනවා විමංසා සමාධිය කියල. මේ විමංසා සමාධියෙන් යුක්ත කෙනා සතර ආකාරයෙන් කටයුතු කරනවා අකුසල් ප්‍රහාණය කරන්ටත්, කුසල් උපදවාගෙන සම්පූර්ණ කර ගන්ටත්, එයා ළඟ විමංසාව තියනවා. ඒ කටයුතු ඔක්කොටම කියනවා විමංසා සමාධි ප්‍රධාන සංකාර කියල. එතකොට ඒ කටයුතු තුනම ඒ ආකාරයෙන් කරන කෙනාට ඒ පුරුදු කිරීමට කියනවා විමංසා සමාධිපධාන සංකාර සමන්නාගත සෘද්ධිපාදය වඩනවා කියල.

අපි මේ පින්වතුන්ට සතර සෘද්ධිපාද ධර්මයන් ගැන කෙටි හැඳින්වීමක් කළෙමු. ඡන්ද සමාධිප්‍රධාන සමන්නාගත සෘද්ධිපාදය වැඩීම ගැන තවදුරටත් අපි ඉගෙන ගනිමු. ඡන්දය නිසා යම් සමාධියක් ඇති වෙනවා නම් චිත්ත ඒකාග්‍රතාවයක් ඇතිවෙනවා නම් ඒකට කියනවා ඡන්ද සමාධිය කියල. දැන් බලන්න ඡන්දය නිසා සමාධියක් ඇති වෙන්ට නම් මුලින්ම මොකක්ද තියෙන්ට ඕන. ඡන්දය තියෙන්ට ඕන. ඡන්දය කියන්නෙ කැමැත්තට. එහෙනම් එයාට දැන් ඡන්දය තියනවා. ඒ ඡන්දය නිසා උපන් සමාධිය තියනවා. දැන් එසේ අංග දෙකක් තියනවා. අන්න එයා තමයි අකුසල ධර්මයන් මුළුමනින්ම ප්‍රහාණය කරන්ටත්, කුසල් 

උපදවාගෙන සම්පූර්ණ කරන්ටත් කටයුතු කරන්නේ. එහෙනම් දැන් ඡන්දය නැති කෙනාට ඡන්ද සමාධිය ඉපදෙනවද ? නෑ. එහෙනම් ඡන්දයත් නැති ඡන්ද සමාධියත් නැති කෙනාට පධාන සංකාර උපදවා ගන්ට පුළුවන්ද බෑ. දැන් තේරුම් ගන්න යමෙකුට ඡන්දය තියනවා නම් එයාට ඒ ඡන්දය නිසා සමාධිය ඉපදෙනවා. එවිට එයාට ඡන්දය තියනවා ඡන්ද සමාධිය තියනවා. අන්න එයා පධාන සංකාරයන් පුරුදු කරනවා. දැන් පධාන සංකාර කියන්නේ මොනවද කියල අප දන්නවා. ඒ කියන්නේ මුළුමනින් ම අකුසල් ප්‍රහාණයටත් කුසල් උපදවාගෙන පරිපූර්ණ කර ගන්ටත් හතර ආකාරයකින් එයා වෑයම් කරනවා. එයටයි ප්‍රධාන සංස්කාර කියල ඉගෙන ගත්තේ. එතකොට අන්න ඒ විදිහට කටයුතු කරන කොට එයා තුªළ කාරණා තුනක් තියනවා. ඒ කාරණා තුන එයා පුරුදු කරනවා. අන්න ඒ කාරණා තුන පුරුදු කරනවට කියනව ඡන්ද සමාධි පධාන සංකාර සමන්නාගත සෘද්ධිපාදය වඩනවා.

ඊළඟට යමෙකුට වීරිය තියනවා නම්, ඒ වීරිය නිසා සමාධිය උපදිනවා. අන්න ඒ වීරිය නිසා උපදින සමාධියට කියනව වීරිය සමාධිය කියල. ඒ වීරිය සමාධියෙන් යුක්ත කෙනා හතර ආකාරයකින් අකුසල් බැහැර කරන්ටත් කුසල් උපදවාගෙන පරිපූර්ණ කර ගන්ටත් කටයුතු කරනවා. අන්න එයාට වීරියසමාධිපධාන සංකාරවලින් යුක්ත වූ සෘද්ධිපාදය කියනවා. ඒ කරුණු පුරුදු කරන කොට ඒ සෘද්ධිපාදය එයා වඩනවා.

ඊළඟට චිත්ත යම් සිතක් තියනවා නම් එයාට ඒ සිත නිසා සමාධිය උපදිනවා. එතකොට එයාට චිත්ත සමාධිය තියනවා. අන්න ඒ විදිහට චිත්ත සමාධියෙන් යුක්ත කෙනා සතර ආකාරයකින් කටයුතු කරනවා අකුසල් බැහැර කරන්ටත් කුසල් උපදවාගෙන පරිපූර්ණ කර ගන්ටත්. ඒකට කියනවා ප්‍රධාන සංකාර කියල. එතකොට ඒ කරුණු තුනෙන් යුක්තවීමට කියනවා චිත්තසමාධිපධාන සංකාරයන්ගෙන් සමන්විත වූ සෘද්ධිපාදය වඩනවා කියල.

ඊළඟට විමංසාව. ඒ කියන්නෙ විමසා බැලීම. යම් කෙනෙක් තුළ විමසීම තියනවා නම්, ඒ විමසීම මුල්වෙලා සමාධිය ඉපදෙනවා. ඒකට විමංසා සමාධිය කියනවා. එතකොට ඒ විමංසා සමාධියෙන් යුක්ත කෙනා අකුසල් බැහැර කරන්ටත් කුසල් උපදවාගෙන පරිපූර්ණ කර ගන්ටත් සතර ආකාරයකින් කටයුතු කරනවා. ඒකට කියනවා පධාන සංකාර කියල. එතකොට එයා තුළ විමංසාව තියනවා. විමංසා සමාධිය තියනවා. පධාන සංකාර තියනවා. එවිට ඒ අංග තුනෙන් යුක්තව කටයුතු කරනවාට කියනවා ‘ විමංසා සමාධි පධාන සංකාර සමන්නාගත සෘද්ධිපාදය’ වඩනවා කියල