ලොවට උතුම් ස්ත්‍රී රත්නය ඕ යශෝදරා

මින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර දීපංකර නම් බුදු කෙනෙකුන් මනුලොව පහළ විය. ඒ උතුමන් වහන්සේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක අභිභවා සියලු ලෝක අවබෝධ කොට ඒ සියල්ලෙන් නිදහස් ව වැඩ සිටි සේක. ලෝ සත කෙරෙහි පතල මහත් කරුණාවෙන් දම් දෙසමින් වැඩි උන්වහන්සේ හමුවට එක්තරා වීර්යවන්ත පුරුෂයෙකුගේ ආගමනය සිදු විය. ඔහු වනාහි සුමේධ නම් මහා ඍද්ධිමත්, අෂ්ට සමාපත්තිලාභී තවුසෙකි. සුමේධ තවුසාණන් හට මේ දිනය උදා වූයේ දාසය අසංඛ්‍යය කල්ප ලක්ෂයක් මුළුල්ලේ මනෝ පණිධානමය (මනසින් බුදු බව පැතීම) වශයෙන් ද, වාක් පණිධානමය (වචනයෙන් බුදු බව පැතීම) වශයෙන් ද කළ අනියත විවරණ පූරණය වීමෙන් අනතුරුව ය. ඒ අවස්ථාව පිළිබඳව යශෝදරා රහත් උත්තමාවිය පිරිනිවන් පෑමට අවසර පතා භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණ කරන අපදානයේ මේ ලෙසින් පවසන්නී ය.

“සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් පෙර ලෝකනායක වූ දිවකුරු බුදුරජතෙම ලොව පහළ විය. පසල් දනව්වෙහි සොම්නස් වූ මිනිස්සු බුදුරජුන් පවරා, උන්වහන්සේ වැඩමවන මග පිරිසිදු කෙරෙත්. එකල්හි හෙතෙම සුමේධ නම් බමුණෙක් විය. සියල්ල දක්නා වූ බුදුරජුන් හට දීර්ඝ මාර්ගය ද පිළියෙළ කළේ ය. එසමයෙහි මම බමුණු කුලයෙහි උපන්, නමින් සුමිත්තා නම් වූ කන්‍යාවක් වීමි. (මෙම) රැස්වීමට(ද) එළඹියෙමි. ශාස්තෘන් වහන්සේට පිදීම පිණිස උපුල් මල් අට මිටක් ගෙන (එද්දී) ජන සමූහයා මැදෙහි වැහැරි සිවුර මත හුන්නා වූ, අතිශයින් සිත්කළු වූ, මනහර වූ, ඔදවැඩුනු සිත් ඇති ඍෂිවරයා දුටිමි. දැක එකල්හි මාගේ ජීවිතය සඵලයයි සිතීමි. එකල්හි ඍෂිහුගේ ඒ උත්සාහය සඵලයයි දුටිමි. මාගේ පූර්ව කර්ම (බල)යෙන් සම්බුදුරජුන් කෙරෙහි සිත ද පැහැදුනේය. ඔදවැඩි සිත් ඇති ඍෂිවරයා කෙරෙහි බෙහෙවින් සිත පැහැදවීමී.”

ඉනික්බිති මහත් පැහැදුණු සිතින් යුත් ඕ තමා ගෙන ආ උපුල් මල් මිටි අටෙන් මල් මිටි තුනක් එක් අතකටත්, ඉතිරි මල් මිටි පස අනිත් අතටත් ගෙන දීපංකර බුදුරදුන් හට මෙසේ පැවසුවා ය.

“මහර්ෂී බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට දිය යුතු අනිකක් නොදකිමි. (උපුල්) මල් දෙමි. (මින් මල්) පස් මිටක් ඔබවහන්සේට වේවා. මාගේ ඍෂිවරයා කෙරෙහි තෙමිටක් වේවා. බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේ (ප්‍රත්‍යක්ෂ කළ ධර්මය) අවබෝධය පිණිස එම ඍෂිවරයා සමග (මාගේ අදහස්) සම වේවා.”

අනතුරුව සිදු වූ දෑ යශෝදරා උත්තමාවිය වදාළේ මේ අයුරිනි. “එම ඍෂිතෙම මල් (තෙමිට) ගෙන වඩින්නා වූ මහත් යසස් ඇති බුදුරජුන්ට ජන සමූහයා මැදදී සර්වඥතාඥානාවබෝධය පිණිස පිදීය. මහාවීර වූ දීපංකර බුදුරජතෙමේ ජන සමූහයා මැදදී ඔද වැඩි සිත් ඇති තවුසා දැක (මෙසේ) පැවැසූහ. මින් අපරිමෙය්‍ය කල්පයෙහි හෙවත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතුයෙහි මහාමුනි වූ දීපංකර බුදුරජතෙමේ මාගේ කර්මය ද ඍජු බව ද පැවසූහ. ‘මහා ඍෂිවරය, ඔබ පිණිස (කළ) මෙම කර්මය කරණ කොටගෙන (ඇය ඔබ හා) සම කර්ම ඇති, සමව කටයුතු කරනසුලු තැනැත්තියක් වන්නී ය. ප්‍රිය වූ තැනැත්තියක් ද වන්නී ය. ඔහුගේ ධර්මයෙහි කොටස්කාරියක් වූ, මනා දැකුම් ඇති, ඉතා ප්‍රිය වූ, මන වඩන්නා වූ, ප්‍රිය වචන කියන්නා වූ, ප්‍රිය ගති ඇති ස්ත්‍රියක් ද වන්නී ය. ස්වාමියාගේ බඩු පෙට්ටියක් යම්සේ රකිත් ද එසේම මෝතොමෝ කුසල් දහම් රකින්නේ ය.”

අනතුරුව ඒ භාග්‍යවත් අරහත් දීපංකර බුදුරදුන් සුමේධ තවුසාණන් හට මේ අයුරින් නියත විවරණ දුන් සේක. “ඒ (අනුගාමික) ජනයෝද ඔහුට අනුකම්පා කෙරෙත්. (හෙතෙම) පෙරුම් පුරන්නේය. මැදිරිය (කූඩුව) බිඳ (නිදහස් වූ) සිංහයෙකු මෙන් සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නේ ය.”

ඉනික්බිති ඕ තොමෝ මෙසේ පවසන්නී ය. “එහිදී මැනවින් කරන ලද එම කර්මයට සිත පැහැදවීමි. දෙවි මිනිස් දෙගතියෙහි අපමණ (සැප) අනුභව කොට, මම දෙවියන් අතුරෙහි ද මිනිසුන් අතුරෙහි ද (මෙසේ) සැප දුක් අනුභවකොට අන්තිම භවය පැමිණි කල්හි ශාක්‍ය කුලයෙහි උපනිමි. මනා රූ ඇති, භෝග සම්පත් ඇති, කීර්තියෙන් හා සීලයෙන් යුක්ත වූ, යළි සියලු (පිරිපුන්) අඟපසඟ සම්පත් ඇති කුලයන්හි අතිශයින් සත්කාර කරන ලද තැනැත්තියක් වෙමි.” ඈ වනාහී තුන් ලොවට උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වන යශෝදරාවයි. ඒ උත්තමාවියට අපගේ නමස්කාරය වේවා!!!

මුදිතා ගුණයෙන් බැබළී ගිය යශෝදරාවෝ..

නියත විවරණ ලැබීමෙන් බොහෝ ජීවිත සිය ගණන්, දහස් ගණන් ගෙවී ගියේ ය. එනමුත් ඕ බෝසතුන් පසුපසම වූවා ය. අප බෝසතාණන් වහන්සේ කුමන ආකාරයේ ජීවිතයක් ලැබුව ද ඕතොමෝ අනන්ත අප්‍රමාණ ජීවිතවල ප්‍රිය බිරිඳ වී සිටියා ය. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් පෙරුම් පුරමින් අප්‍රමාණ පුණ්‍ය තේජස් ඇතිව සසරේ සැරිසරා යන බෝසතුන් අසලින් නිරන්තරයෙන්ම රැඳෙන්නට තරම් යශෝදරාව තුළ වූ විශේෂ වාසනා ගුණය කුමක්ද? ඒ ඈ තුළ වූ මුදිතා ගුණයයි. ඈ තුළ වූයේ සසරේ සැරිසරා යන අඳබාල ස්ත්‍රීන් තුළ ඇති ළාමක වූ ඊර්ෂ්‍යාකාර ස්වභාවය නොව මුදිතා ගුණයෙන් යුතු පුණ්‍යානුමෝදනාත්මක උතුම් හදමඬලකි. යශෝදරා අපදාන පාලියේ ඒ පිළිබඳ ව සඳහන් වන්නේ මෙලෙසිනි.

“වීරයන් වහන්ස, නුසුදුසු තැන් අත්හැර, අනාචාරයෙන් වැළකී, ඔබ වහන්සේ පිණිස මාගේ ජීවිතය පරිත්‍යාග කරන ලදී. කෙළ දහස් ගණන් අයට මා (පරිවාර) ස්ත්‍රිය පිණිස දුන්නේ ය. එහිලා මම නොසතුටු නොවෙමි. මහා මුනීන් වහන්ස, (එය) ඔබ වහන්සේ සඳහා ය. නොයෙක් කෙළ දහස් ගණන් අයට මා උපකාර පිණිස දුන්නේ ය. එහිලා මම නොසතුටු නොවෙමි. මහා මුනීන් වහන්ස, (එය) ඔබ වහන්සේ සඳහා ය. නොයෙක් කෙළ දහස් ගණන් අයට මා භෝජනය (සැපයීම) පිණිස දුන්නේ ය. එහිලා මම නොසතුටු නොවෙමි. මහා මුනීන් වහන්ස, (එය) ඔබ වහන්සේ සඳහා ය. නොයෙක් කෙළ දහස් ගණන් ජීවිත පරිත්‍යාග කෙළෙමි. භයින් මිදීම ඇත්තියක් කරන්නෙමැයි (සිතා) මාගේ ජීවිතය හැරියෙමි. ශරීරාවයන්හි වූ නානාවිධ අලංකාර වස්ත්‍ර ද බොහෝ ස්ත්‍රී ආභරණ ද මහා මුනීන් වහන්ස! ඔබ වහන්සේ සඳහා නොසඟවමි. මහා මුනීන් වහන්ස, ධන ධාන්‍ය පරිත්‍යාගය ද ගම්, නියම් ගම්, කෙත්, පුත් හා දූවරුන් ද පරිත්‍යාග කරන ලදී. මහා වීරයන් වහන්ස, අනන්ත වූ ඇත්, අස්, ගව යන මොවුහු ද පිරිවර දාසියෝ ද ඔබ වහන්සේ සඳහා පරිත්‍යාග කරන ලදී. යාචකයනට දනක් දෙමැ’ යි යමක් මා සමග මන්ත්‍රණය කළේ ද උතුම් දනක් දෙන්නහුට මාගේ දොම්නසක් නොදකිමි. මහා වීරයන් වහන්ස, බහුවිධ වූ සසරෙහි නන් වැදෑරුම් වූ බොහෝ දුක අපමණව ඔබ වහන්සේ උදෙසා අනුභව කරන ලදී. සැපයට පැමිණියා සතුටු නොවෙමි. දුක් පැමිණි කල්හි දොම්නස් ඇත්තී ද නොවෙමි. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ පිණිස හැම තන්හි සැප දුක් ද දෙකෙහි සමව උපේක්ෂක වෙමි. මහා මුනීන් වහන්ස, ඔබ පිණිස මාගේ බොහෝ පින්කම් (විය.) මම බුදු දහම සොයන්නා වූ ඔබගේ පරිචාරිකාව (වීමි.)” මුදිතා ගුණයෙන් බැබළී ගිය යශෝදරා උත්තමාවියට අපගේ නමස්කාර වේවා…!

මෙත් කරුණා ගුණයෙන් බැබළී ගිය යශෝදරාවෝ..

සඳකිඳුරන් වශයෙන් උපත ලද ජීවිතයේ තම ස්වාමියා නපුරු රජෙකුගේ විෂ ඊතලයකින් පහර කනු ලදුව මරණාසන්නව වැටී සිටි මොහොතේ සක් දෙවිඳුගේ පඬුපුල් අසුන සොලවන්නට තරම් පින්බර යශෝදරාවගේ සිතේ ස්වාමියා උදෙසා උපන් කරුණාව ප්‍රබල විය. මන්ද්‍රී බිසව වී සිටි ජීවිතයේ දී ද ඈ තපසට යන ස්වාමියා අත් නොහැර සිටියා ය. වංකගිරියේ වාසයට යෑමෙන් ඇගේ අත්‍යන්තයෙන්ම ශෝභාවත් වූ රූප ස්වභාවය අතිශයින්ම වෙනස්ව ගියේ ය. පෙරදිනයක, මෘදු ගුණයෙන් යුතු සොඳුරු පියුමක් මෙන් බොහෝ සම්පත් ඇතිව රජමැදුරේ වාසය කළ ඇගේ සිතේ ඒ පිළිබඳ ව සෝක මාත්‍රයක් හටගත්තේ නැත. ඇගේ සිතෙහි තම දරුවන් පිළිබඳ වූ අප්‍රමාණ මෙත් කරුණා සිත කෙතරම් වී ද යත් ඈ දිනකට තුන්වරක් ම දරුවන් ව ස්නානය කරවූවා ය. කවා පොවා මැනවින් සන්තර්පණය කරවූවා ය. එසේම වනයට වැද, තපස් රකිනා ස්වාමියා උදෙසාත්, ප්‍රිය දරුවන් උදෙසාත් ඵලවැල රැගෙන ආවා ය. හැකි සෑම අයුරකින්ම උපස්ථාන කළා ය. ඔවුන් උදෙසා කැපවූවා ය. දරුවන් දන් දුන් මොහොතේ ඒ බව නොදත් ඈ සිහිවිකලෙන් මෙන් දරුවන් සොයමින් රෑ තුන් යාමයේ වනය පුරා (තුන්වරක්) දිව ගොස් අවසන තාපසාරාමය අසල සිහිසුන්ව ඇද වැටුනා ය. උතුම් යශෝදරාවන්ගේ සිතෙහි දරුවන් කෙරෙහි වූ දයාව කෙතරම් ද? ඒ උතුම් යශෝදරාවන් පිළිබඳව ශාස්තෘන් වහන්සේ විසින්ම සම්බුදු මුව මඬලින් වදාරණ ලද්දේ රාහුල මාතාව තරම් ස්ත්‍රී රත්නයක් තුන්ලොව තවත් නොමැති බවයි. මෙසේ අනේකප්‍රකාර වූ ජීවිතවල තම මෙත් කරුණා ගුණයෙන් ශෝභමාන ව බැබළුණු උතුම් යශෝදරා උත්තමාවියට අපගේ නමස්කාරය වේවා..!

නිකෙලෙස්ව පිරිනිවන් පෑ යශෝදරාවෝ බෝසතාණන් වහන්සේ සමග සසරේ බොහෝ පින් රැස් කරමින් බොහෝ කොට සැප දුක් අනුභව කරමින් පැමිණි ගමනේ නිමාව දකින්නට කල් එළඹිණි. ඒ වනාහී ඈ අන්තිම සිරුරු දැරූ ජීවිතයයි. යොවුන් වියේ දී විවාපත් ව සිදුහත් කුමරුන් සමග සෙනෙහසින් වාසය කළ ගෘහ ජීවිතයේ දහතුන්වන වසර එළඹිණි. එකල්හී සිදුහත් කුමරුන්ගේ මහභිනිෂ්ක්‍රමණය සිදු විය. එයින්ද වසර හතකට පසු රාහුල කුමරුගේ පැවිද්ද සිදු විය. තම ප්‍රාණසම ප්‍රිය ස්වාමියාත්, එකම දරුවාත් අහිමි වීමෙන් වියෝ දුකින් පෙරලී ගිය සිත් ඇති ඕ බුදුරදුන් විසින් දේශනා කරන්නට යෙදුණු මනාකොට දුක් ක්ෂය කරවන ප්‍රතිපදාව ගැන කියවෙන සදහම් ඇසීමට තම සවන්පත් යොමු කළා ය. බොහෝ දෙනා අනගාරික සසුනේ පැවිදිව ජීවිත අර්ථය සාක්ෂාත් කරනු දුටු යශෝදරාව, මහා ප්‍රජාපතී දේවිය ප්‍රමුඛ ශාක්‍ය කුමාරිකාවෝ ද ඒ පැවිද්ද ලබා ගනු වස් අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කළහ. ඔවුනගේ ඒ පැතුම සඵල විය. අපරිමිත මෙත් කරුණා ගුණැති අපගේ ශාස්තෘන් වහන්සේ අෂ්ට ගරුධර්ම පැනවීමෙන් අනතුරුව ස්ත්‍රී පැවිද්ද අනුමත කළ සේක. නොබෝ කලකින්ම ඒ මහා අමෘත පදය වන නිවන අවබෝධ කිරීමට ඕ තොමෝ සමත් වූවා ය. දීපංකර පාද මූලයේ පටන් සෙවණැල්ලක් මෙන් හිඳිමින් බෝසතුන්ට කළ උපකාරයත්, නොයෙක් ජීවිතවල පුරන ලද අසහාය පුණ්‍යධර්මයනුත්, ගුණධර්මයනුත් හිමි ඈ කෙසේ නම් ඊට අසමර්ථ වන්න ද?

මෙසේ පැවිදිව උපසම්පදාව ලද ඕ ශාස්තෘන් වහන්සේගෙන් සදහම් අසන්නට යන්නී කිසිදිනක දම්සභා මණ්ඩපයේ ඉදිරියෙන් නොසිටින්නී ය. ඈ දහම් අසන්නේ දම්සභා මණ්ඩපයේ ඈත කෙළවරකින් අසුන් ගනිමිනි. ශාස්තෘන් වහන්සේගෙන් බොහෝ ප්‍රශංසා ලැබූ, සසරේ ගත කළ ජීවිතවල පවා අප්‍රමාණ ගුණයන් ප්‍රකට කළ පින්බර යශෝදරාවන්ගේ බොහෝ ගුණයන් දෙව්මිනිසුන් පවා දැනගත්තේ ඒ උත්තමාවිය පිරිනිවන් පා වදාළ දිනයේ ය. ඕ තොමෝ තම ගුණයන් සඟවාගෙන වාසය කළා ය. සත්කාරයට අකමැති වූ ඈ වාසය කළේ අනතිමානී සිතිනි.

සැත්තෑ අට වැනි වයස් පිරුණු ඈ තම ආයු සංස්කාර ගෙවී ඇති බව දැක ශාස්තෘන් වහන්සේ සුජීවත්ව සිටින කාලයේ දී ම තමාත් පිරිනිවන් පාන්නට ඉටා ගත්තා ය. පා සිවුරු ගෙන පන්සියයක් වූ භික්ෂුණීන් ද කැටුව ශාස්තෘන් වහන්සේ වෙත එළඹියා ය. ශාස්තෘන් වහන්සේගේ පාකමල් වන්දනා කොට එකත්පස් ව හුන්නී මෙසේ කීවා ය.

“අට සැත්තෑ හැවිරිදි වයස් ඇත්තී වෙමි. අන්තිම වයස පවතී. සිරුර කුදු ගැසෙන පබ්භාර නම් අවස්ථාවට පැමිණියා වෙමි.

මහා මුනීන් වහන්ස, (මෙය ඔබ වහන්සේට) සැළ කරමි. මාගේ වයස මුහුකුරා ගියේ ය. මාගේ ජීවිතය ස්වල්ප ය. ඔබ හැර දමා යන්නෙමි. මාගේ පිහිට මා විසින්ම කරන ලදී. අන්තිම කාලයෙහි ආයුෂ වනාහි මරණය තෙමේ වළක්වයි. මහා වීරයන් වහන්ස, අද රාත්‍රියෙහි පරිනිර්වාණයට පැමිණෙන්නෙමි. මුනීන්ද්‍රයන් වහන්ස, ජාති-ජරා-ව්‍යාධි-මරණ යම් තැනෙක්හි නැද්ද, ඒ අජරාමර වූ, අසංඛත වූ, ශාන්ති පුරයට යන්නෙමි. යම්තාක් පිරිස වෙත් නම් ශාස්තෘන් වහන්සේගේ සමීපයට එළඹෙත්. ඉදින් මාගේ වරදක් ඇත්නම්, මුනීන්ද්‍රයන් වහන්ස, සම්මුඛයෙහි ක්ෂමා කරන සේක්වා. ඉදින් සසරෙහි සැරිසරා ද ඔබ කෙරෙහි මාගේ වරදක් වේ නම් මහා වීරයන් වහන්ස, එය ආරෝචනය කරමි. මාගේ වරදට ක්ෂමා වේවා.”

මෙසේ ඕ තොමෝ ශාස්තෘන් වහන්සේ සමා කොටගෙන ශාස්තෘන් වහන්සේගේ නියමයෙන් බොහෝ ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වූවා ය. පෙර ජීවිතවල විස්තර ද පවසා අවසානයේ මෙසේ ද පැවසුවා ය.

“සසරෙහි කලකිරී, අනගාර්ය නම් වූ සසුනෙහි පැවිදි වීමි. දහසක් පිරිවර සහිතව පැවිදිව කිසිත් (වස්තුවක්) නැති තැනැත්තියක් වූවා ය. මෙසේ ගිහිගෙය අතහැර දමා අනගාර්ය නම් වූ සසුනෙහි පැවිදි වීමි. (පැවිදිව) අඩමසක් නොපැමිණි කල්හිම චතුස්සත්‍යාවබෝධයට පැමිණියෙමි. චීවර ද පිණ්ඩපාත ද ගිලානප්‍රත්‍යය ද සේනාසන ද (යන මේ සිව්පසය) සයුරට රැළ (පමුණුවන්නාක්) මෙන් බොහෝ දෙන නානාවිධව පමුණුවත්. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇතින්නක මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි. ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. (මා විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී. සිව් පිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද ශාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී. මෙසේ නන්වැදෑරුම් වූ දුක් ද නන්වැදෑරුම් වූ සම්පත් ද (විඳ) රහත් බවට පැමිණියා සියලු සම්පත් ලබමි. යම් ස්ත්‍රියක් තොමෝ බුදුරජුන්ට පින් පිණිස ස්වකීය ආත්මය දේ ද (ඔහුට) සහාය සම්පත්තිහු වෙත්. අසංස්කෘත වූ නිර්වාණපදය ද වේ. අතීත වූ ද වර්තමාන වූ ද අනාගත වූ ද මාගේ සියලු කර්මය ක්ෂය විය. බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ සිරිපා වඳිමි.”

අපගේ ශාස්තෘන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට ශක්තිය වූ, අපමණ ගුණයෙන් බැබළුණු, භික්ෂුණී සංඝයා ශෝභමාන කළ, ඉතා මනහර රූ ඇති ඒ උතුම් යශෝදරා අරහත් උත්තමාවියට මේ කළ ගුණ වැයුම උන්වහන්සේගේ දෙපා අබියස පිදූ සුවඳැති කුසුමක් වේවා!