ලක්ඛණ මහරහතන් විසින් දක්නාලද ප්‍රේතයන්

ප්‍රේතයෝ වනාහි තිරිසනුන් විඳිනා දුකට වඩා අතිශයින් මහත් වූ දුකට පත්ව සිටින සත්ත්ව වර්ගයෙකි. බොහෝ සෙයින් ඔවුන්ගේ උත්පත්තිය සිදුවනුයේ ඕපපාතික වශයෙනි. අහසෙහි විදුලියක් පහළ වන්නාක් මෙන් ද, කැඩපතක ඡායාරූපයක් පහළ වන්නාක් මෙන් ද, මවකු පියකු නො මැතිව, කර්ම බලයෙන් සර්වාංග ප්‍ර‍ත්‍යංග සම්පූර්ණව පහළවීම් වශයෙන් සිදුවන උත්පත්තියට ඕපපාතික උත්පත්තියයි කියනු ලැබේ. මව්පියන් නිසා උපදනා වූ සත්ත්වයන්ගේ ශරීර විෂයෙහි මව්පියන්ගේ ශරීර ස්වභාවය ම බලපවත්වන්නේය. එබැවින් එසේ උපදනා වූ සත්ත්වයෝ මව්පියන්ට සමාන වූ ශරීර ඇත්තෝ වන්නාහ.ඕපපාතික වශයෙන් උපදනා වූ සත්ත්වයන්ගේ ශරීර කෙරෙහි කර්මය බල පවත්වන්නේය. එබැවින් ඕපපාතිකව උපදනා වූ ප්‍රේතයෝ ඔවුන්ගේ පාපකර්මයට අනුරූප පරිදි කුඩා වූ ද මහත් වූ ද නොයෙක් ආකාර වූ ද ශරීර ඇත්තෝ වෙති. ජාතියක් වශයෙන් ප්‍රේතයන්ගේ සැටි මෙසේය කියා දැක්විය නොහේ. කුඩා වූ ද මහත් වූ ද නොයෙක් ආකාර රූප ඇති නොයෙක් ආකාර දුක් ඇති ප්‍රේතයන් ඇති බව ප්‍රේතවස්තු ප්‍ර‍කරණාදියෙන් දත හැකිය. ඔවුන්ගේ තත්ත්වය ගැන මඳ අවබෝධයක් ඇති කර ගත හැකි වීමට “ලක්ෂණ සංයුක්තකයෙහි” එන ප්‍රේතයන් ගැන මෙහි සඳහන් කරනු ලැබේ. ප්‍රේතයන් දැකිය හැකි වන්නේ දිවැස් ඇත්තවුන්ට පමණකි. දිවැස් ඇත්තා වූ “ලක්ඛණ මහරහතන්” වහන්සේ විසින් ගිජුකුළු පව්ව සමීපයෙහි දී දක්නා ලද ප්‍රේතයන් එක්විසි දෙනකුන් ලක්ඛණ සංයුක්තයෙහි දී දක්වා තිබේ.

(1) ඔවුන්ගෙන් එකෙක් ලේ මස් නැති ඇටසැකිළි ප්‍රේතයෙකි. ප්‍රේතවර්ගයට ම අයත් වූ කවුඩන් විසින් ද ගිජුලිහිණියන් විසින් ද උකුස්සන් විසින් ද ලුහුබැඳ ඉලඇට අතුරින් කොටනු ලබමින් හෙතෙමේ බැගෑපත් හඬින් හඬ හඬා අහස්හි ගමන් කරන්නීය.

(2) කවුඩු ආදීන් විසින් ලුහුබැඳ කොටා කනු ලබන ඇට නැති මස් වැදැල්ලක් බඳු වූ ශරීරය ඇති එක් ප්‍රේතයෙකි.

(3) එබඳු ම මස් පිඩක් වැනි ශරීරයක් ඇති එක් ප්‍රේතයෙකි.

(4) මුළු ශරීරයෙහි කොතැනක වත් සම නැත්තා වූ එක් ප්‍රේතයෙකි.

(5) තමාගේ ශරීරය ම නැවත නැවත කැපෙන කඩුවකට බඳු ලොම් ඇඟ පුරා ඇති එක් ප්‍රේතයෙකි.

(6) තමන්ගේ ශරීරය ම නැවත නැවත කැපෙන සැත් බඳු ලොම් ඇති එක් ප්‍රේතයෙකි.

(7) තමාගේ ශරීරයෙහි ම නැවත නැවත ඇනෙන හී බඳු ලොම් ඇති එක් ප්‍රේතයෙකි.

(8) ශරීරයෙන් ගැලවී අහසට නැඟ නැවත ඔහුගේ ශරීරයට වැටී ඇනෙන ඉදිකටු බඳු ලොම් ඇති තවත් ප්‍රේතයෙකි.

ඒ ඉදිකටු ඔහුගේ හිසෙහි ඇනී මුඛයෙන් නික්මෙයි. මුඛයෙන් පිවිස ළයෙන් නික්මෙයි. ළයෙන් පිවිස බඩෙන් නික්මෙයි. බඩින් පිවිස දෙකලවායෙන් නික්මෙයි. කලවා දෙකින් පිවිස හිසින් කකුලින් නික්මෙයි. හිසින් කකුලෙන් පිවිස පත්ලෙන් නික්මෙයි. ඒ ප්‍රේතයා වේදනාවෙන් නිතර ම අඬයි.

(9) මහ කළයක් පමණ විශාල අණ්ඩයක් ඇත්තා වූ එක් ප්‍රේතයෙකි. ඌ යන කල්හි එය කර තබාගෙන යයි. හිඳිනා කල්හි එය මතුපිට හිඳ ගනී.

(10) හිසත් සමඟ ම අසූචි වළෙක එරී සිටින එක් ප්‍රේතයෙකි.

(11) අසූචි වළෙක එරී සිට දෑතින් අසූචි අනුභව කරන එක් ප්‍රේතයෙකි.

(12) කවුඩු ගිජු ලිහිණි ආදීන් විසින් කොටා කනු ලබන සම නැති එක් ප්‍රේතයෙකි.

(13) කවුඩු ගිජු ලිහිණි ආදීන් විසින් කොටා කනු ලබන දුර්ගන්ධ වූ විරූප වූ එක් ප්‍රේතයෙකි.

(14) ගිනි අඟුරු මැද දැවෙමින් හඬන එක් ප්‍රේතයෙකි.

(15) කවුඩු ගිජු ලිහිණි ආදීන් විසින් ලුහුබැඳ කොටනු ලබන හිස නැති ළයෙහි ම කට හා ඇස් ඇති ප්‍රේතයෙකි.

(16) ගිනිගෙන දිලිසෙන පා සිවුරු දරා සිටින එක් භික්ෂු ප්‍රේතයෙකි.

(17) එබඳු ම වූ භික්ෂුණී ප්‍රේතියකි.

(18) එබඳු ම ශික්ෂමානා ප්‍රේතියකි.

(19) සාමණේර ප්‍රේතයෙකි.

(20) සාමණේරී ප්‍රේතියකි.

මේ ලක්ඛණ තෙරුන් වහන්සේ විසින් දක්නා ලද ප්‍රේතයෝ ය. තවත් නොයෙක් ආකාර දුක් ඇති නොයෙක් ආකාර ශරීර ඇති බොහෝ ප්‍රේතයෝ වෙති. ආහාර පාන නොලැබීම, ඇඳුම් – පැළඳුම් නොලැබීම, වාසය කිරීමට ගෙවල් නැති බව, ගින්නේ දැවීම, දිවි හිමියෙන් ම කිසි තැනකට යා නො හෙන පරිදි අසූචි වළවල් ආදියෙහි එරී සිටීම, ආයුධ වලින් කැපීම, සතුන් විසින් කනු ලැබීම යනාදිය ප්‍රේත විෂයෙහි ඇත්තා වූ සන්තාප දුඃඛයෝ ය. කියන ලද දුඃඛයන්ගෙන් දිවි හිමියෙන් පෙළනු ලබන බැවින් ප්‍රේතස්කන්ධ පඤ්චකය දුක්ඛ සත්‍යය වන්නේය.