රංගන ශිල්පියෙකු මියගිය පසු

බහුතරයකගේ මතය නම් මෙම නළු නිළියන් මරණින් මතු දෙව්ලොව ලස්සන කරන්නට එහි යන බවය. මෙම මතයෙහි ලා පුදුම වන්නට දෙයක් නැත. අද මෙන්ම එදත් මෙම මතය හිස දරාගත්තවුන් සිට ඇත. එසේ නම් ඇත්තටම නළු නිළියනට මරණින් මතු සිදුවන්නේ කුමක්ද? සංයුක්ත නිකායේ, සළායතන වර්ගයේ, ගාමණී සංයුක්තයේ, තාලපුට සූත්‍රයේ භාග්‍යවතුන්වහන්සේ මෙය මැනවින් පැහැදිලි කර ඇත. 

වරක් භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වෙළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයේ තාලපුට නටගාමිණී නම් නාට්‍ය ශිල්පියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ අසනුයේ

“ස්වාමීනි යම් නළුවෙක් රඟ මැද, නෘත්‍ය මැද, ඇත්තෙන්ද, බොරුවෙන්ද, ජනයා සතුටු කරයිද, ඇලුම් කරවයිද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහභාවයට යන්නේයයි පුරාණ නාටක ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසනලදී. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයේදී කුමක් කියන්නේද” යනුවෙනුයි. 

එවිට භාග්‍යවතුන් වහන්සේ පවසනුයේ  “ගාමිණිය, කම් නැත. මෙය තිබේවා. මෙය මගෙන් නොඅසවයි” ලෙසයි. 

දෙවනුවද නටගාමිණී භාග්‍යවතුන් වහන්සේගෙන් පෙර ප්‍රශ්නයම අසන ලද අතර උන්වහන්සේගේ පිළිතුර වුයේද පෙර පිලිතුරමයි. 

තෙවනුවද නටගාමිණී විසින් එම ප්‍රශ්නයම විචාල කල්හි භාග්‍යවතුන් වහන්සේ පවසනුයේ “ගාමණිය, ගාමණිය කම් නැත. මෙය තිබේවා. මෙය මගෙන් නොවිචාරවයි” යන මෙය ඒකාන්තයෙන් නොලබමි. එනිසා මම තොපට ප්‍රකාශ කරන්නෙමි’ යන්නයි.

ගාමණිය, පූර්වයෙහි රාගය පහනොකළ රාගයෙන් බැඳුණ සත්වයෝ වෙත්ද, ඔවුන්හට නළුවා රඟ මැද නෘත්‍ය මැද ඇලීම පිණිස පවත්නාවූ යමක් වෙයි නම් එය බොහෝ සෙයින් දක්වත්. ගාමිණිය පූර්වයෙහි පහනොකළ ද්වේෂ ඇත්තාවූ ද්වේෂයෙන් බැඳුණාවූ සත්වයෝ වෙත්ද, ඔවුන්ට නළුවා රඟ මැද නෘත්‍ය මැද ද්වේෂය පිණිස පවත්නා යමක් වෙත් නම් ඒ දේ බොහෝ සෙයින් පෙන්වයි. ගාමිණිය පෙර මෝහය පහ නොකළාවූ මෝහයෙන් බැඳුණ සත්වයෝ වෙත්ද, ඔවුන්ට නළුවා රඟ මැද නෘත්‍ය මැද මෝහය පිණිස පවත්නා යමක් වෙයි නම් එය බොහෝ සෙයින් පෙන්වයි. හෙතෙම තමන් මත් ප්‍රමාදව අන්‍යයන් මත්කොට ප්‍රමාදකොට ශරීරයේ බිඳීමෙන් මරණින් මතු පහාස නම් නිරයක් වේද, එහි උපදියි. ඉදින් වනාහි යමෙකුට යම් ඒ නළුවෙක් රඟමැද නෘත්‍ය මැද බොරු සැබෑ දෙකින් ජනයා සතුටු කරවයි නම්, ඇලුම් කරවයි නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහවාසයට පැමිණෙයි යන මෙවැනි දෘෂ්ටියක් වේද ඒ ඔහුගේ මිථ්‍යාදෘෂ්ටියක්වේ. ගාමණිය, මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයාට නිරය තිරිසන් අපාය යන දෙගතීන් අතුරින් එක්තරා ගතියක්යයි’ මම කියමි.”

මෙය වදාළ කල්හි නටගාමිණි හඬන්නට ගත් අතර භාග්‍යවතුන් වහන්සේ පවසනුයේ ‘ගාමණිය, කම් නැත. මෙය තිබේවා. මෙය මගෙන් නොඅසවයි’ කියන ලද්දේ මෙහෙයිනි ලෙසයි. පසුව මිසදිටු අදහස් දුරු කල ගාමිණි තෙම පැවිදිව වීර්යය වඩා නොබෝ කලෙකින්ම අරහත් බව සාක්ෂාත් කර ගත්තේය.

වසර දෙදහස් ගණනකට පෙර සිටි නාට්‍ය කරුවන්ද රංගනයෙන් නර්තනයෙන් අන් අයවලුන් තුළ රාග, ද්වේශ, මෝහ බලවත් කිරීමේ විපාක ලෙස ඒකාන්තයෙන්ම පහාස නිරයෙහි හෝ තිරිසන් අපායේ උපතක් ලබන්නේ නම් වත්මනෙහි චිත්‍රපට, ටෙලි නාට්‍ය, නිරූපණ, රියැලිටි, සමාජ මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය ආදී වූ නානාප්‍රකාර අයුරින් තම රංගන, නර්තන ඉදිරිපත් කරමින් අන් අයවලුන් තුළ රාග, ද්වේශ, මෝහ ඇති කරන්නා වූ නළු නිළියන් ගැන කවර කතාද. මෙහිලා කෙනෙකුට ඇතිවිය හැකි පැනය නම් “ඇයි බලන්නවුන්ට නැතිව රඟන්නවුන්ට පමණද නිරය උරුම” යන්නයි. රැඟුම්, නාට්‍ය වැනි දෑ නැරඹීම තුළ ඇතිවන කුසල සිතක්නම් නැත්තේමය, ඇති වන්නේම රාග, ද්වේශ. මෝහ මූල කරගත් අකුසල චිත්තයෝමය. ඒ සඳහා නිල් චිත්‍රපටම විය යුතු නැත. ළමා නාට්‍යයක් තුළ පවා අඩු වැඩි වශයෙන් ඇති කරනුයේ රාග ද්වේශ මෝහම ය. නරඹන්නාට නිරයම හිමි නොවුවත් නැරඹීම තුළ ඇතිවන කුසලයක් නැති අතරම වෙන්නෙම දුගතියට මග පාදා ගැන්මය. අටසිල් තුළද නාට්‍ය, ගීත, විසූක දස්සන තහනම්ව ඇත. ( කෙසේ වුවද කුඩු ගැසූ එකාට වඩා රාජ දඬුවමක් කුඩු විකුණු, බෙදා හැරි උන්ට ලැබෙන්නේය. තමා ප්‍රමාදයට මුලාවට පත් වීමටත් වඩා අකුසලයක් තමාද ප්‍රමාදයට මුලාවට පත්ව අනුන්ද ප්‍රමාදයට මුලාවට පත් කිරීම තුළ වේ.)