මෛත්‍රී භාවනාව

අන්‍යයන්ට දුක් නො වෙනවාට සැප ඇති වෙනවාට යහපතක් වෙනවාට අනුන්ගේ යහපත් අදහස් ඉටු වෙනවාට අනුන් දියුණු වෙනවාට උසස් වෙනවාට කැමති බව මෛත්‍රිය ය. අන්‍යයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යනාදීන් මෛත්‍රිය අන්‍යයන් කෙරෙහි නැවත නැවත පැතිරවීම: තවත් ක්‍ර‍මයකින් කියත හොත් ස්වකීය චිත්තයෙන් අන්‍යයන්ට සෙත් කිරීම මෛත්‍රී භාවනාව නම් වේ. එය නොබෝ කලකින් ම ඵල දැකිය හැකි වන්නා වූ චතුර්ථ ධ්‍යානය තෙක් ගෙන යා හැක්කා වූ භාවනාවෙකි.

අන්‍යයන්ගේ සැපතට දියුණුවට විරුද්ධ ස්වභාවය වූ ඊර්ෂ්‍යාව උත්පත්තියෙන් ම පිහිටා තිබෙන්නා වූ මේ සත්ත්වයෝ ස්වභාවයෙන් ම අනුන්ගේ යහපතට නො කැමැත්තෝ ය. එබැවින් සත්‍ය වූ මෛත්‍රිය ඇති කර ගැනීම පහසු නො වේ. තමන්ගේ අඹුදරු ආදීන්ගේ සැපයට යහපතට කැමති බවක් මිනිසුන් කෙරෙහි ඇත්තේ ය. එය මෛත්‍රිය නොව මෛත්‍රියේ මුහුණුවර ඇති රාගය ය. එය මෛත්‍රියට සතුරු ධර්මයෙකි. වැඩිය යුත්තක් නො ව දුරු කළ යුත්තකි. “අපේ කෙනෙක අපට හොඳ කෙනෙක” යන ඇල්ම වූ හිතවත් බව රාගය ය. අල්පමාත්‍ර‍ ඇල්මකුදු නැති ව අනුන්ගේ යහපත කැමති බව ම සැබෑ මෛත්‍රිය ය. මෛත්‍රිය යි වරදවා ගෙන තමාගේ අඹු දරු ආදීන් පිළිබඳ වූ රාගය දියුණු කරන්නට නො යනු. සත්‍ය වශයෙන් අනුන් සුවපත් කරවීමේ කැමැත්ත නැති ව “සත්ත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා” යි කොතෙක් කීව්ත සිතුවත් එයින් ඵලයක් නො දැකිය හැකිය. මෛත්‍රිය වනාහි වඩන තැනැත්තා ය, මෙත් කරනු ලබන සත්ත්වයෝ ය, යන දෙපක්ෂයට ම ලැබෙන ඵල ඇති භාවනාවෙකි. දෙපක්ෂයට ම ඒ ඵල ලැබෙන්නේ සත්‍ය වූ මෛත්‍රියෙනි. සත්‍ය වූ මෛත්‍රිය වැඩිය යුතු සැටි:

“මාතා යථා නියං පුත්තං

ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ

එවම්පි සබ්බ භූතේසු

මානසං භාවයේ අපරිමාණං”

යනුවෙන් මෛත්‍රී සූත්‍රයෙහි වදාරා තිබේ. “දරුවාගේ යහපත පිණිස තමාගේ ජීවිතය වුව ද පරිත්‍යාග කරන්නා වූ එක් දරුවකු ඇති මවක ඒ දරුවාට ඇති හිතවත් බව බඳු වූ මෛත්‍රිය සකල සත්ත්වයන් කෙරෙහි පැවැත්විය යුතු බව එයින් දක්වන ලදි. එක දරුවකු ඇති මවකගේ ඒ දරුවාට හිතවත් බව ඇත්ත වශයෙන් ම ඇති අවංක හිතවත් බවෙකි. එසේ අවංක වූ මෛත්‍රිය වඩතහොත් එයට ලක් වන සත්ත්වයෝ සුවපත් වෙති. එය තමාගෙන් අන්‍යයන්ට ලැබෙන මෛත්‍රී ඵලය ය. “සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා”යි කීමෙන් හා සිතීමෙන් අන්‍යයන්ට සුවයක් නොවේ නම් එය හිස් වැඩකි. හිස් නොවන්නට නම් ඇත්ත වශයෙන් ම එයින් අන්‍යයන්ට සුවයක් ලැබිය යුතු ම ය. සත්‍ය වශයෙන් මෛත්‍රිය කරත හොත් එයින් අන්‍යයන්ට සුවයක් ලැබේ. බොහෝ සතුන් ලක් කොට කරන මෛත්‍රියෙන් ඒ සත්ත්වයනට ලැබෙන සුවය අත්‍යල්ප බැවින් එය නො දත හැකි ය. එක් පුද්ගලයකුට පමණක් වැඩි වේලාවක් මෙත් වැඩුව හොත් ඒ පුද්ගලයාට ප්‍ර‍කට වන තරමට සුවයක් ලැබේ. හොඳට ම ප්‍ර‍කට ව සුවය ලැබෙන්නේ රෝගාතුරයන්ට ය. යම් කිසි රෝගියකුට වැඩි වේලාවක් මෙත් වැඩුව හොත් එයින් ඔහුට ගුණ ලැබේ. සමහර රෝගියෝ එයින් ම සුව වෙති. එක් සත්ත්වයකුට මෙත් වැඩූ කල්හි එයින් සුවයක් ලැබෙනු දැකීමෙන් බොහෝ සත්ත්වයන්ට මෙත් කිරීමෙන් ද මෛත්‍රී චිත්ත ශක්තියේ සැටියට මඳ වූ සුවයක් නමුත් ලැබෙන බව පිළිගත යුතු ය. එය එසේ ම පිළිගනෙ සත්ත්වයනට යහපතක් කිරීමේ අදහසින් යහපතක් කිරීමක් වශයෙන් මෙත් වැඩීම කළ යුතු ය.

මෙත් වැඩීම සඳහා භාවිතයට සුදුසු වචන බොහෝ ය. ඒවායින් එක් වචනයක් හෝ කීපයක් හෝ බොහෝ ගණනක් හෝ ගෙන තමාගේ කැමැත්තේ සැටියට මෙත් වැඩීම කළ හැකිය. එහෙත් තමාට නො තේරෙන වචන එයට සුදුසු නැත.

වෛර නැත්තෝ වෙත් වා!

දොම්නස් නැත්තෝ වෙත් වා!

නිදුක් වෙත් වා!

සුවපත් වෙත් වා!

යන වචනවලින් මෙහි භාවනා ක්‍ර‍මය දක්වනු ලැබේ. පියදාස නමැත්තා හට මෙත් කරනවා නම් “පියදාස වෛර නැත්තේ වේවා. දොම්නස් නැත්තේ වේවා. නිදුක් වේවා. සුවපත් වේවා” යි මෙත් කරනු. “පියදාස වෛර නැත්තේ වේවා” යන්නෙන් අදහස් කළ යුත්තේ අන්‍යයන් නිසා පියදාසගේ සිත්හි හටගත් වෛර ඇත්නම් ඒවා ද පියදාස ගැන අන්‍යයන්ගේ සිත්හි හටගත් වෛර ඇත්නම් ඒවා ද, පියදාස ගැන අන්‍යයන්ගේ සිත්හි හටගත් වෛර ඇත්නම් ඒවා ද නැති වී, අලුත් වෛර ද ඇති නො වී පියදාස සම්පූර්ණයෙන් වෛරයන් ගෙන් මිදුනෙක් වේවා කියා ය.

පියදාසගේ සිත්හි අන්‍යයන් ගැන වෛර ඇති නම් ඒ අය දකින සිහි වන අවස්ථාවල පියදාසට ඇති වන්නේ දොම්නසකි. නො සතුටකි. එසේ ම පියදාසට වෛර කරන අන්‍යයන් නිසා ද ඔහුට ඇති වන්නේ දොම්නස් ය. “පියදාස දොම්නස් නැත්තේ වේවා” යනුවෙන් අදහස් කළ යුත්තේ තමාගේ හා අන්‍යයන්ගේ වෛර නිසා ඇති විය හැකි වූ ද අන් කරුණු නිසා ඇති විය හැකි වූ ද දොම්නස්වලින් මිදී පියදාස සතුටින් වාසය කරන්නෙක් වේවා කියා ය.

සමූහයකට මෙත් කිරීමේ දී වෛර නැත්තෝ වෙත් වා යනුනේ අදහස් කරනුයේ ඒ සමූහයට අයත් එක් එක් පුද්ගලයකුගේ සිත්හි අන්‍යයන් ගැන ඇති වූ ද ඇති වන්නා වූ ද ඒ එක් එක් අයකු ගැන අන්‍යයන්ගේ සිත්වල ඇති වූ ද ඇති වන්නා වූ ද වෛරවලින් ඒ සෑම දෙනාම මිදෙත් වා කියා ය.

මෙසේ මෙත් පැතිරවීම සඳහා භාවිත කරන වචන වල වගන්තිවල අර්ථය හොඳින් තේරුම් ගෙන සිය බසින් ම භාවනා කළ යුතු ය. මේ මෛත්‍රී භාවනාව සතර ඉරියව්වෙන් ම පහසුවෙන් කළ හැකි භාවනාවෙකි. එය කරන කල්හි ද්වේෂයේ හා නො ඉවසීමේ ද වෛරයේ ද ආදීනව හා මෛත්‍රියෙහි අනුසස් ද සලකා පළමු කොට තමාට ම මෛත්‍රිය කරගත යුතු ය. සෑම දෙන ම තමන්ගේ සැපයට තමන්ගේ යහපතට කැමතියන් වන බැවින් පහසුවෙන් තමාට මෛත්‍රිය කරගත හැකිය.

“මම වෛර නැත්තේ වෙම්වා!

දොම්නස් නැත්තේ වෙම් වා!

නිදුක් වෙම්වා!

සුවපත් වෙම්වා!” යි

කීප වාරයක් තමාට ම මෛත්‍රිය කර ගෙන, තමා මෙන් ම අන්‍යයන් ද සැපයට කැමති බව හා දුකට නො කැමති බව ද තමා කෙරෙහි මෙන් ම අන්‍ය සත්ත්වයන් කෙරෙහි ද මෛත්‍රී පතුරුවන්නට පටන් ගත යුතු ය. ධ්‍යාන ලැබීමේ බලාපොරොත්තුව ඇතිව මෙත් වඩන්නවුන් විසින් පටන් ගැන්මේ දී හැමට ම මෙත් වඩන්නට නො ගොස් පහසුවෙන් මෛත්‍රිය කළ හැකලි එක් යහපත් පුද්ගලයකු තෝරා ගෙන ඒ තැනැත්තාට ම මෛත්‍රිය කළ යුතු ය. සාමාන්‍යයෙන් මෙත් වඩන්නවුන් විසින් ද එක්වරට ම සැම සතුන්ට මෙත් කරන්නට නො ගොස් සත්ත්වයන් කොටස් වලට බෙදා ගෙන මතු දැක්වෙන පරිදි මෙත් වැඩිය යුතුය.

භාවනා වාක්‍යය

  • මම වෛර නැත්තේ වෙම් වා, දොම්නස් නැත්තේ වෙම් වා, නිදුක් වෙම් වා, සුවපත් වෙම්වා.
  • මාගේ හිතවත්හු වෛර නැත්තෝ වෙත්වා, දොම්නස් නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා.
  • මාගේ සතුරෝ වෛර නැත්තෝ වෙත්වා, දොම්නස් නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා.
  • මා හට මධ්‍යස්ථ සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, දොම්නස් නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා.
  • සකල සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, දොම්නස් නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා.

ප්‍රදේශ වශයෙන් මෙත් වැඩීම

(වෛර නැත්තෝ වෙත්වා යනාදිය යොදාගත යුතු)

  • මේ ගෙයි වසන සකල සත්ත්වයෝ……
  • මේ වත්තේ (ආරාමයේ) සකල සත්ත්වයෝ…..
  • මේ ගමේ (නගරයේ) සකල සත්ත්වයෝ……
  • මේ දිවයිනේ සකල සත්ත්වයෝ…….
  • මේ දිවයිනෙන් ඔබ වෙසෙන සකල සත්ත්වයෝ…..
  • සැම තැන ම වෙසෙන සකල සත්ත්වයෝ…….
  • පොළොවෙහි වෙසෙන සත්ත්වයෝ…..
  • ජලයේ වෙසෙන සත්ත්වයෝ……
  • අහසේ වෙසෙන සත්ත්වයෝ…….
  • සකල සත්ත්වයෝ……

දිසා වශයෙන් මෙත් වැඩීම.

  • නැගෙනහිර දිග සකල සත්ත්වයෝ…..
  • දකුණු දිග සකල සත්ත්වයෝ….
  • බස්නාහිර දිග සකල සත්ත්වයෝ….
  • උතුරු දිග සකල සත්ත්වයෝ….
  • ගිනිකොන දිග සකල සත්ත්වයෝ….
  • නිරිත දිග සකල සත්ත්වයෝ….
  • වයඹ දිග සකල සත්ත්වයෝ….
  • ඊසාන දිග සකල සත්ත්වයෝ….
  • යට සිටින සකල සත්ත්වයෝ….
  • උඩ සිටින සකල සත්ත්වයෝ….
  • දශ දිශාවේ සිටින සකල සත්ත්වයෝ….

වෛර නැත්තෝ වෙත්වා, දොම්නස් නැත්තෝ වෙත්වා, නිදුක් වෙත් වා, සුවපත් වෙත් වා.

තම තමන්ගේ කැමැත්තේ සැටියට මෙසේ නැවත නොයෙක් ක්‍ර‍මවලට සත්ත්වයන් කොටස් කොට මෙත් වැඩිය හැකි ය. කෙසේ කළත් වරදක් නැත. නිදුක් වෙත් වා, නීරෝගී වෙත් වා, සුවපත් වෙත් වා යන වගන්ති තුනෙන් මෙත් වැඩීම ද යහපති.

මෙත් වැඩීමේ අනුසස්

මෙත් වැඩීමේ අනුසස් එකොළොසක් ඇති බව අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයේ මෛත්‍රී සූත්‍රයේ දක්වා තිබේ. ඒ මෙසේ ය.

  1. ගෙරවීම් දත් සැපීම් කෙඳිරීම් නන්දෙඩවීම් ඒ මේ අත පෙරළීම් ආදියෙන් තොර ව සැපසේ නින්ද යාම.
  2. කෙඳිරීම් ඈනුම් ඇරීම් ඇඟ මැලි කැඩීම් ආදියෙන් තොර ව පද්මයක් පුබුදු වන්නාක් මෙන් සැපසේ නින්දෙන් පිබිදීම.
  3. සර්පයන්ට ඇතුන්ට සොරුන්ට සතුරන්ට හසුවීම් ආදි නපුරු ස්වප්න නො දැකීම.
  4. ගෙලපැළඳි මුතු හරක් මෙන් පද්මයක් මෙන් සෑම මිනිසුන්ට ම ප්‍රියයකු වීම.
  5. විශාක ස්ථවිරයන් මෙන් දෙවියන්ට ප්‍රියයකු වීම.
  6. දෙවියන් විසින් ආදරයෙන් ආරක්ෂා කරනු ලැබීම.
  7. ගින්නෙන් හා විෂයෙන් ද ආයුධවලින් ද අනතුරු නො ලැබීම.
  8. වහා සිත සමාධියට (එකඟ බවට) පැමිණීම.
  9. මුහුණේ පැහැය බැබළීම.
  10. නුමුළා ව කාලක්‍රියා කරන්නට ලැබීම.
  11. මෛත්‍රී ධ්‍යානය උපදවා ගත් තැනැත්තා හට ඒ ජාතියේ දී ම රහත් නොවිය හැකි නම් මරණින් මතු බඹලොවට යා හැකි වීම යන මේ එකොළොස මෛත්‍රියේ ආනිසංසයෝ ය.

මෙත් වඩන්නා වූ විශාඛ ස්ථවිරයන් වහන්සේ සිතුල් පව්වේ විහාරයක සාර මසක් වැස, පසු දින අන් තැනකට වන්නට සිතා රාත්‍රියේ සැතපුණු කල්හි එහි ගසක වෙසෙන දෙවියෙන් උන්වහන්සේගෙන් වෙන්වීම ගැන ශෝකයෙන් විහාරයේ පඩි පෙළ උඩ සිට හැඬුවේ ය.

මෙත් වඩමින් වනයේ විසූ සාම කුමාරයාණන් හා ඒ වනයෙහි විසූ සිංහ ව්‍යාඝ්‍රාදි චණ්ඩ මෘගයෝ ද මිතුරු ව වාසය කළෝය.

සිරිමා නමැති ගණිකාව විසින් හිස මත හෙලූ උණු තෙලින් මෙත් සිතින් විසූ උත්තරා උපාසිකාවගේ හිස නො දැවුණේ ය.

උදේන රජු විසින් සාමාවතී දේවිය ප්‍ර‍ධාන කොට ඇති පන්සියයක් ස්ත්‍රීන් පෙළට සිටුවා එක ඊ පහරින් ම මරණු පිණිස විද යැවූ ඊය ඔවුන්ගේ මෛත්‍රී බලයෙන් පොල් කොළයක් සේ ම බිම වැටුණේ ය.

අප මහා බෝසතාණන් වහන්සේ එක් ජාතියක දී සත් වසක් මෙත් වඩා ඒ පිනෙන් සත් කපක් මිනිස් ලොවට නො පැමිණ බඹලොව විසූහ. සතිස් වරෙක සක් දෙව් රජ වූහ. වාර සියගණනක සක්විති රජ වූහ. බොහෝ ජාතිවල දඹදිව අග රජ වූහ.

“ස්‍යෙථාපි භික්ඛවේ රත්තියා පච්චූස සමයං ඔසධි තාරකා භාසතො ච තපතෙ ච විරොචති ච, එවමෙව ඛො භික්ඛයෙනි කානිචි ඔපයිකානි පඤ්ඤකිරිය වත්ථූනි සබ්බානි තානි මෙත්තාය චෙතො විමුත්තියා කලං නාග්ඝති සෝළසිං. මෙත්තායෙව තානි චෙතොවිමුත්ති භාසතෙ ච තපතෙ ච විරොචති ච”

මහ‍ණෙනි, රාත්‍රියේ අවසාන කාලය වූ බලවත් උදෑසන කාලයේ ඕෂධී තාරකාව යම් සේ ආලෝකවත් ව බබළා ද, මහණෙනි; එ පරිද්දෙන් (මෙත්තා චේතෝ විමුක්තිය බබළා) භවභෝග සම්පත් ගෙන දෙන්නා වූ යම් කිසි පුණ්‍ය ක්‍රියා වස්තූහු වෙත් ද ඒ සියල්ලෝ ම මෙත්තා චේතෝ විමුත්තියේ සොළොස්වන කලාව පමණට නො අගනාහ. මේ චේතෝ විමුත්තිය ම ඒවා ඉක්මවා ආලෝකවත් ව බබළාය යනු එහි තේරුම යි.

තව ද මෙත් වඩන භික්ෂුවට දෙන්නා වූ දානය දායකයාට විශේෂයෙන් ම මහත්ඵල වන බව ද, මෙත් වඩන භික්ෂුවට සිව් පසයෙන් උවටැන් කරන දායකයා මහා සාගරයේ ජලස්කන්ධය සේ මහත් වූ පුණ්‍යස්කන්ධයක් ලබන බව ද මෙත් වඩන භික්ෂුව, සිව්පසය සපයන දායකයන්ට ණය කාරයකු නො වී රහතන් වහන්සේ කෙනකු මෙන් ස්වාමිත්වයෙන් සිව්පසය වළඳන බව ද,

“අච්ඡරා සඞ්ඝාත මත්තම්පි චේ භික්ඛවෙ භික්ඛු මෙත්තං චිත්තං ආසෙවති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අරිත්තජ්ඣානො විහරති සත්ථු සාසනකරො ඔවාද පටිකරො අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති කො පන වාදො යෙ නං බහුලීකරොන්ති”

යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් ප්‍ර‍කාශිත ය. “මහණෙනි, යම් මහණෙක් අසුරු සැණක් පමණ කාලයෙහි මුත් මෛත්‍රී චිත්තය සේවනය කෙරේ ද, මහණෙනි, ඒ මහණ ධ්‍යානයෙන් නො හිස් ව වාසය කරන්නේ ය යි ද, ශාස්තෘන් වහන්සේගේ අවවාදය පිළිපදින්නේ යයි ද, රටුන් දෙන ආහාර නොසිස් කොට වළඳන්නේ යයි ද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ මෛත්‍රිය බොහෝ කොට කෙරෙත් නම් ඔවුන් ගැන කියනු ම කවරේ ද? යනු එහි තේරුම යි.

“ඒකම්පි චෙ පාණ මදුට්ඨචිත්තො

මෙත්තායති කුසලී තෙන හොති,

සබ්බේ ච පාණෙ මනසානුකම්පි

පහුතමයයෝ පකරොති පුඤ්ඤං

ඉදින් අදුෂ්ට චිත්තයෙන් එක් සත්ත්වයකු හට ද මෙත් කෙරේ නම් එයින් පින් ඇත්තේ වේ. සකල සත්ත්වයන්ට සිතින් අනුකම්පා කරන්නා වූ (මෙත් කරන්නා වූ) ආර්‍ය්‍ය තෙමේ බොහෝ පින් කෙරේ ය යනු එහි තේරුමයි.