යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ ශක්රදේවේන්ද්රව උපන්සේක. එසමයෙහි එක් තාපසකෙණෙක් හිමාලය වනයෙහි වාසය කෙරෙති. උන් වසන්නාවූ පන්සලට දෙමව්පියන්ගෙන් වෙන්වූ මුව පැටිටෙක් වන, ඒ තාපසයෝ මුව පැටියාට තමන්ට දරුකොට වඩන්නාහ. ඒ මුවා වැඩිවිය පැමිණ විශිෂ්ටවූ රූ ඇතිවිය. නොබෝ කලකින් එක් දවසක් බඩ පුරා තණ කා අජීර්ණව දිරවා ගත නොහි මළේය. ඒ තාපසයෝත් මුවා කෙරෙහි සෝකයෙන් අඬා දොඩා බොහෝ දුක් විඳිනාහ. ශක්‍රයෝ තමන්ගේ නුවණැසින් දහසක් නෙත්ලා මනුෂ්‍ය ලෝකය බලා තාපසයන් විඳිනා දුක් දැක ඒ තාපසයන් ලඟට ගොස් උන්ගේ සෝක සන්හිඳූවා එමි සිතා තාපසයන් සමීපයට අවුත් විචාරන්නාහූ ඇයි තාපසයන් වහන්ස, නුඹ වහන්සේ වික්‍ෂේපව ඉඳිනේ ඇයිදැයි විචාළාහ. එවිට තාපසයෝ කියන්නාහූ ශක්‍රදේවේන්ද්‍රයෙනි මා දරුකොට වැඩු මුව පෝතකයෙක් මළේය. එසේ හෙයින් පුත්රසෝකයෙන් ඉවසාගත නොහි අඬා දොඩා ඇවිදිමි කීය. එවිට ශක්‍රයෝත් කියන්නාහූ නටනටා යම්දෙයක් නස්නා සුළුමය. මළවුන්ට සෝක කිරීමෙන් කාරිය කිම්ද, තමාගේ කයට හිතට දුක්වෙන පමණක් විනා මළවුන්ට සෝක කිරීමෙන් කාර්ය කිම්දැයි කීහ. එවිට තාපසයෝත් තොප මනාකොට කියන්නාහූ වචනය ඉතා යහපත, මෙවක් පටන් ශෝක නොකරවයි කීයා එවක් පටන් සෝකනොකොට උන්නාහ. ශක්‍රයෝත් තාපසයන්ට අවවාද කියා දිව්‍යලෝකයටම ගියාහයි වදාරා මුවපොතක ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි මුව පැටවා නම් දැන් මේ සාමණේරය. තාපසයෝ නම් මේ භික්ෂූහුය. ශක්රදේවේන්ද්රව උපන්නෙම් බුදුවූ මම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළසෙක්. |