භද්‍රා කුණ්ඩලකේසී තෙරණිය

නවවැන්නෙහි ඛිප්පාභිඤ්ඤාණං යන්නෙන් වහා වැටහෙන අභිඥා ඇති භික්‍ෂුණීන් අතුරෙන් භද්දා කුණ්ඩලකේසා තෙරණිය අග්‍රයයි දැක්වෙයි.

මෝතොමොත් පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසා එක් භික්‍ෂුණියක වහා වැටහෙන අභිඥා ඇති භික්‍ෂුණීන් අතුරෙන් අගතන්හි තබන්නාවූ ශාස්තාන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඒ තොමෝ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි කිකී කාසි රජුගේ ගෙහි සොහොයුරියන් සත්දෙනාට ඇතුළත්ව අවුරුදු විසිදහසක් දසසිලු සමාදන්වී කුමරි බඹසරෙහි හැසිරෙන්නී සංඝයාට විසීමට පිරිවෙණක් කරවා එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි රජගහ නුවර සිටු කුලයක පිළිසිඳ ගත්තාය.

ඇයට ‘භද්දා’යි නම් කළාහුය. එදිනයෙහිම එනුවර පුරෝහිත පුත්‍රයෙක්ද උපන්නේය. ඔහු උපන් වේලාවෙහි රජගෙදර ආදිකොට ඇති සියලු නගරයෙහි අවි දිළිසුනේය පුරෝහිත තෙමේ උදෑසනින්ම රජමාලිගයට ගොස් රජුගේ සුවින්ද විමසීය. රජතෙමේ, ‘ආචාර්‍ය්‍යය, සුවනින්දක් කොයින්ද? අද සියලු රැය රජ නිවහනෙහි දිලිසෙන ආවුධ දැක බියට පත් වූවාහු වෙමුයි කීවේය. මහරජතුමනි, එය හේතුකොටගෙන නොසිතනු මැනවි. නුඹවහන්සේගේ ගෙහි පමණක් ආවුධ නොදිලිසුණේය. සියලු නුවරෙහිම එසේ වීය’යි පුරෝහිතතෙමේ කීවේය. ‘ආචාර්‍ය්‍යයෙනි, කුමක් හෙයින්ද?’ ‘අපගේ ගෙදර සොර නැකතින් දරුවෙක් උපන්නේය. හෙතෙම සියලු නුවරට සතුරෙක්වී උපන්නේය. මෙය එයට පෙරනිමිත්තකි. නුඹවහන්සේට උවදුරක් නැත. ඉදින් ඔබවහන්සේ කැමැත්තහු නම් ඔහු භාර කරමු.’ ‘අපට පීඩාවක් නොමැති කල්හි ගෙන ඒමෙන් වැඩක් නැතැයි රජතුමා කීවේය. පුරෝහිත තෙමේ මගේ පුතා තම නම රැගෙන පැමිණියේයයි ඔහුට සත්තුකයයි නමක් කළේය.

සිටුගෙහි භද්දා වැඩෙන්නීය. පුරෝහතිගෙහි සත්තුක වැඩෙයි. හෙතෙම තමන්ගේ දුව පැන ඇවිදිමින් ලෙස්සම් කිරීමට හැකි කල පටන් තමන් හැසිරෙන තන්හි යමක් දකීද? ඒ සියල්ල ගෙනවුත් මවුපියන්ගේ ගෙය පුරවයි. පියා ඔහුට කරුණු දහසක් කියාද වළක්වන්නට නොහැකි වූයේය. මෑතකාලයෙහි වියපත් ඔහුව සියලු ආකාරයෙන්ම වැළැක්වීමට නොහැකි වන බව දැන නිල් සළු දෙකක් හන්දවා ගෙවල් බිඳින උපකරණද සිඞ්ඝාටක යන්ත්‍රයක්ද අතටදී ඔබ මේ වැඩෙන්ම ජීවත්වෙව’යි (පවසා) ඔහු මුදා හැරියේය. හෙතෙම එදින පටන් සිඞ්ඝාටක යන්ත්‍රය දමා ගසා (එමගින්) කුලගෙවලට නැග බිත්ති සිඳ වෙනත් කුලයන්හි බහා තැබූ බඩු තමා විසින් තබන ලද්දක් මෙන් ගෙනයයි. සියලු නුවරෙහි ඔහු විසින් සොරකම් නොකරනලද ගෙයක් නම් නොවීය. එක් දිනක් රජතුමා රියෙන් නුවර හැසිරෙන්නේ රියදුරාගෙන්, ‘මේ නුවරෙහි ඒ ඒ ගෙහි සිදුරක්ම පෙනෙන්නේ කිමෙක්දැ’යි ඇසුවේය. දේවයන්වහන්ස, මේ නගරයෙහි සත්තුක නම් සොරෙක් බිත්ති බිඳ කුලයන්ට අයත් දේ ගෙනයන්නේ’යයි (රියදුරා) කීවේය. රජතෙමේ නගරාරක්‍ෂකයා කැඳවා මේ නුවරෙහි මෙබඳු වූ සොරෙක් වෙයි. කුමක්හෙයින් ඔහු අල්ලා නොගත්තේහිදැයි ඇසුවේය. ‘දේවහන්වහන්ස, අපි ‍සොරබඩු සහිතවූ මේසොරු දක්නට නොහැක්මෙු’යි හෙතෙම කීය. අද ඒ සොරු අලවා ගන්නෙහි නම් ජීවත් වන්නෙහි, ඉදින් අල්ලා නොගන්නෙහි නම් ඔබට රාජඥාව කරන්නෙමි’යි රජතෙමේ කීවේය. එසේය, දේවයන්වහන්සැයි නගරාරක්ෂක තෙමේ මුළු නගරයෙහි මිනිසුන් හසුරුවා ඒ භික්ති බිඳ අනුන්ගේ බඩු පැහැර ගන්නාහු බඩුසහිතවුයේම අල්ලාගෙන රජුට දැක්වූයේය. රජතෙමේ මේ සොරු දකුණු දොරටුවෙන් පිට කොට නසව’යි පැවසීය. නගරාරක්‍ෂක තෙමේ රජුට පොරොන්දුවී ඒ සොරුට සිවුවර බැගින්වූ පහර දහසකින් තලා අල්වාගෙන දකුණු දොරටුවට යයි. එකල්හි මේ භද්දා සිටුදියණිය මහජනයාගේ කෝලාහල ශබ්දයෙන් සිවුමැඳුරුකවුළුව හරවා බලන්නී සත්තුක සොරු එසේ ගෙනයනු ලබනු දැක දෙඅතින් ළෙහි හොවා ගෙන ගොස් සිරියහනෙහි යටිකරුව වැදහොත්තාය. ඒතොමෝත් ඒ කුලයට එකම දුවයි. එබැවින් ඇයගේ ඥාතීහු සුළුවූද මුඛවිකාරයක් උසුලන්නට නොහැක්කාහ. ඉක්බිති යහනෙහි හොත් ඇය දැක දරුව කුමක් කරහිදැයි ඇසූහ. මේ නැසිය යුත්තකු කොට ගෙනයනුලබන සොරු දැක්කහුද’යි ඇසුවාය. එසේය දරුව දටුවෙමුයි ඔවුහු කීහ. ඔහු ලබන මම ජීවත්වන්නෙමි. නොලබන්නාහු මගේ මරණයම වේයයි ඒ කීවාය. ඔවුහු ඇයට නොයෙක් අයුරින්ද හඟවන්නට නොහැක්කාහු මරණයට වඩා ජීවිතය යෙහෙකැයි සිතුවාහුය. ඉක්බිති ඇයගේ පියා නගරාරක්ෂකයා වෙතට ගොස් දහසක අල්ලසක්දී මගේ දුව සොරු කෙරෙහි පිළිබඳ සිතැත්තීය. යම්කිසි උපායකින් මොහු මුදවයි කීය. හෙතෙම මැනවැයි සිටාණන්ට පිළිණදී සොරුගෙන හිරු අවරට යනතුරු ඔබිමොබ ලතවී හිරු අවරට යනකල්හි සිරගෙයින් එක් මිනිසකු ගෙන්වා ගෙන සත්තුකගේ බැඳුම් ලිහා ඔහු සිටු ගෙදරට යවා ඒ බැඳුමෙන් අනෙකා බැඳ දකුණු දොරටුවෙන් ගෙන ගොස් නැසුවේය. සිදුදාසයෝද සත්තුක රැගෙන සිටු නිවසට ගියාහුය. ඔහු දැක සිටු තෙමේ දියණිය‍ගේ සිත සතුටු කරන්නෙමැයි සත්තුකව සුවඳ දියෙන් නහවා සියලු අබරණින් සැරසුනකු කොට පහයට යැව්වේය. භද්දාතොමෝ මගේ අදහස සපිරිණැයි අතිරේකවූ අලංකරණයන්ගෙන් සරසී ඔහුට සේවය කරමින් හැසිරෙයි. සත්තුකතෙමේ කිහිපදිනක් ගෙවා (මෙසේ) සිතුවේය. ‘මැය‍ගේ පළඳනාබඩු මගේ වන්නේය. කිසියම් උපායකින් මේ අබරණ ගැනීමට වටනේය.’ මෙසේ සිතා සමීපයෙහි සුවයෙන් හුන් කල්හි, කිවයුතු එක්වචනයක් මට ඇතැයි භද්දාට කීවේය. සිටුදුවණිය දහසක්ලාභ ලබා මෙන් සතුටු සිතැත්තී ආර්‍ය්‍යය, විශ්වාස ඇතිව කියන්නැයි කීවාය. ‘මා නිසා මොහුවිසින් ජීවිතය ලබනලදැයි ඔබ සිතන්නෙහිය. මම අල්ලාගත් කෙණෙහිම චොරපපාත පර්‍වතයට අධිගෘහිත දෙවියන්ට ඉදින් මම ජීවිතය ලබන්නෙම් නම් ඔබට බිලිපූජාවක් දෙන්නෙමියි ආයාචනය කෙළෙමි. ඔහු නිසා මවිසින් ජීවිතය ලබනලදී. ඉක්මණින් බලිකර්‍මය පිළියෙළ කරවයි (සත්තුකක) කීවේය. භද්දාතොමෝ ඔහුගේ සිත සතුටින් පුරවන්නෙමැයි බලිකර්‍මය පිළියෙළ කොට සියලු අබරණ පැළඳ එක් යානයක නැඟී හිමියා සමඟ සොරුන් හෙළන පර්‍වතයට ගොස් පර්‍වතදෙවියාට බලිකර්මය කරන්නෙමැයි නැඟීමට පටන්ගත්තාය. සත්තුක සිතීය: සියල්ලන් නඟිනකල්හි මට මැයගේ අබරණ ගැනීමට ඉඩක් නොවන්නේය.’ මෙසේ සිතා ඒ බලිභාජනයද ගෙන්වා ගෙන පර්‍වතයට නැංගේය. හෙතෙම භද්දා සමඟ කථා කරන්නේ ප්‍රිය කථාවක් නොකරයි. ඒ තොමෝ ඉඟියෙන්ම ඔහුගේ අදහස දැන ගත්තාය. ඉක්බිති ඇයට ඔහු (මෙසේ) කීවේය. ‘භද්දාවනි, ඔබේ සළුගලවා කය පැළඳි අබරණ මෙහි පොට්ටනියක් කරව.’ ‘ස්වාමීනි, මගේ කවර අපරාධයක්ද?’ (ඇය කීවාය.) ‘කිමෙක්ද? මම බලිකර්‍මය සඳහා ආයෙමියයි කල්පනා කෙළෙහිද? මම වනාහි මේ දේවතාවාගේ අක්මාව උගුළුවා කන්නෙමි. බලිකර්‍මයෙහි ව්‍යාජයෙන් නුඹගේ අබරණ ගනු කැමැත්තෙම්වී ආයේ වෙමි’යි (හෙතෙම කීවේය). ‘ස්වාමීනි, අබරණ කවරෙකුගේද මම කවරකුගේ වෙම්ද? එකක් ඔබ අයත්ය අනෙකක් මට අයත්යයි මෙබඳුවූ දෙයක් අපි නොදනිමු. මැනවි ආර්‍ය්‍යයෙනි, මගේ එකම කැමැත්තක් ඉටු කරන්න. සැරසුණු අයුරින් මට ඉදිරියෙන්ද පිටුපසින්ද වැළඳ ගන්නට දෙනුමැනව’යි ඕ තොමෝ කීවාය. හෙතෙම මැනවැයි පිළිගත්තේය. ඕතොමෝ ඔහුවිසින් පිළිගත්බව දැන ඉදිරියෙහි සිට වැළඳගෙන පිටුපසින්ද වැළඳගන්නී මෙන් වී පර්‍වත ප්‍රපාතයෙහි හෙළුවාය. හෙතෙම වැටෙන්නේ අහසෙහිදීම සුණුවිසුණු වුයේය. ඇය විසින් කරනලද විසිතුරුබව දැන පර්‍වතයෙහි අධිගෘහීත දේවතාවා ගුණ ප්‍රකාශ කිරීම් වශයෙන් මේ ගාථාව කීවේය.

“සියලුතන්හි ඒ පුරුෂතෙමේ පණ්ඩිතයෙක් නොවේ. ඒ ඒ තන්හි විචක්‍ෂණවූ ස්ත්‍රියද පණ්ඩිතවූවා වෙයි.”

‘සියලුතන්හි ඒ පුරුෂතෙම් පණ්ඩිතයෙක් නොවේ. මොහොතක් වුවද චින්තනය කරන්නාවූ ස්ත්‍රියද පණ්ඩිත වූවා වෙයි.”

ඉක්බිති භද්දාතොමෝ මෙසේ සිතුවාය: මවිසින් මේ අයුරින් යළි ගෙදර යාමට නොහැක. මෙයින්ම ගොස් එක් පැවිද්දක පැවිදි වන්නෙමි’යි (සිතා) නිගණ්ඨාරාමයකට ගොස් නිගණ්ඨයන්ගෙන් පැවිද්ද ඉල්ලූවාය. ඉක්බිති ඔවුහු ඇයට ‘කවර අයුරින් පැවිද්ද වේවාදැ’යි කීහ. නුඹවහන්සේලාගේ පැවිද්ද සඳහා යමක් උතුම් වේද එයම කරනුමැනවැයි ඕ තොමෝ කීවාය. ඔවුහු මැනවැයි තල් ඇටයෙන් ඇයගේ කෙස් ගලවා පැවිදි කළාහුය. කෙස් යළි වැඩෙන්නේ කැරලි කැරලි වශයෙන් බොකුටුව වැඩුනේය. ඕතොමෝ එකරුණින්ම ‘කුණ්ඩලකෙසා’යි නම් වූවා. ඕ ‍තමන් පැවිදිවූ තන්හි සියලු ශිල්ප උගෙන මෙයින් මතු ඔවුන්ගේ විශේෂයක් නැත’යි දැන ගම්නියම්ගම්හි රාජධානීන්හි හැසිරෙන්නී යම් යම් තැනක පණ්ඩිතයෝ වෙත්ද ඒ ඒ තන්හි ගොස් ඔවුන් දන්නා සිල්ප සියල්ලම ගන්නීය. ඉක්බිති බොහෝ තන්හි උගත් බවින් ඇයට ප්‍රතිවාද දෙන්නට සමත්තු නොවෙත්. ඕ තොමෝ තමන් සමඟ කථාකිරීමට සමතකු නොදැක යම් ගමකට හෝ නියම්ගමකට පිවිසෙන්නීද එගම දොරටුවෙහි වැළිගොඩක් කොට එහි දඹ අත්තක් තබයි. යමෙක් මට වාද නගන්නට හැකි වෙයිද හෙතෙම මේ අත්ත මඬීවායි සමීපයෙහි සිටි දරුවන්ට සළකුණක් දෙයි. සත්දිනකිනුදු එය මඬින අයෙක් නොවෙත්, ඉක්බිති එය ගෙන යයි. එකල්හි අපගේ භාග්‍යවතුන්වහන්සේ ලොව පහළව සැවත ඇසුරුකොට දෙව්රම්හි වසනසේක. කුණ්ඩලකේසාද පිළිවෙළින් සැවතට පැමිණ ඇතුල්නුවරට පිවිසෙමින් පැරණි අයුරින්ම වැලි ගොඩෙහි අතත තබා දරුවන්ට සළකුණක් කොට ගියාය. එසමයෙහි දම්සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ බික්සඟන පිවිසි කල්හි හුදෙකලාව නුවරට පිවිසෙන සේක් වැළි සෑයෙහි දඹ අත්ත දැක කුමක් නිසා මෙය තබන ලද්දේදැයි ඇසූසේක. දරුවෝ එකරුණ නොඅඩුව කීහ. ‘දරුවනි, එසේ ඇති කල්හි මෙය ගෙන මඩවයි කීසේක. ඔවුනතුරෙන් තෙරුන් වහන්සේගේ වචනය අසා ඇතමෙක් මැඩීමට අසමත් වූහ. ඇතමෙක් එකෙණෙහිම එය මැඩ සුණුවිසුණු කළාහුය. කුණ්ඩලකේසා තොමෝ බත්කිස කොට නික්මෙන්නී අත්ත මැඬූ බව දැන මෙය කවරකුගේ වැඩක්දැයි ඇසුවාය. ඉක්බිති ඇයට දම්සෙනෙවි තෙරුන්වහන්සේ විසින් කරවනලද බව කීවාහුය. ඕතොමෝ ‘තම ශක්තිය නොදන්නේ මේ අත්ත මඬවන්නට නොහැකිවන්නේය. ඒකානතයෙන් මහත්වූ යමෙක් වන්නේය. මමද කුඩා වන්නී නොහොබනේ වෙන්නෙමි. ඇතුල්ගමටම පිවිස පිරිසට දැනුම්දීමට වටීයයි සිතා එසේ කළාය. කුල අසූදහසක් නිවසන නගරයෙහි සභාගීය සභාගීය වශයෙන් සියල්ලෝම දැනගත්තාහුයයි දතයුතුය. තෙරුන්වහන්සේ‍ද බත්කිසකොට එක් ගසක්යට වැඩහුන්සේක. ඉක්බිති මේ කුණ්ඩලකේසා තොමෝ මහජනයා විසින් පිරිවරන ලද්දී තෙරුන් සමීපයට ගොස් පිළිසඳර කොට එකත්පසෙක සිට ස්වාමීනි, නුඹවහන්සේ විසින් අත්ත මඬවන ලද්දේදැයි ඇසුවාය. ‘එසේය ම විසින් මඬවන ලදී.’ ‘එසේ ඇතිකල්හි ස්වාමීනි, නුඹවහන්සේ සමඟ අපගේ වාදයක් වන්නේය.’ (එසේ) වේවා පිනැත්තිය,’ ‘ඇසීම කාට වේද? විමසීම කාට වේද?’ ‘විමසීම නම් අපට පැමිණියේයි. නුඹවනාහි නුඹ දන්නා දෙය විමසුව’ ඕ තොමෝ තෙරුන් දුන් අනුමතියෙන් තමන් දන්නා සියලුම වාද විමසුවාය. තෙරහු සියල්ල විසඳූහ. ඕ තොමෝ සියල්ල විමසා නිහඬ වූවාය. ඉක්බිති ඇයට තෙරුන්වහන්සේ නුඹවිසින් බොහෝවක් විමසනලදී. අපිද එක් ප්‍රශ්නයක් අසමුයි කීහ. ස්වාමීනි විමසනු මැනවැයි ඕ කීවාය. ‘එක නම් කුමක්ද?’ කුණ්ඩලකෙසා, නොදනිමි ස්වාමීනියි කිවුය. ‘නුඹ පෙමණවත් නොදන්නෙහි, වෙන කුමක් දන්නෙහිදැයි තෙරණුවෝ ඇසූහ. ඕ තොමෝ එහිම තෙරුන්ගේ පාලඟ වැටී ‘ස්වාමීනි. නුඹවහන්සේ පිහිටයමැ’යි කීවාය. මා සරණයාමෙන් වැඩක් නැත. දෙවියන් සහිත ලෝකයෙහි ශ්‍රේෂ්ඨ පුද්ගලයා අසළ විහාරයෙහි වාසය කරයි. ඔහු සරණ යවයි තෙරණුවෝ කීහ. ඕතොමෝ ‘ස්වාමීනි, එසේ කරන්නෙමැයි සවස්කාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනා කාලයෙහි සමීපයට ගොස් පසඟ පිහිටුවා වැඳ එකත්පසෙක සිටියාය. ශාස්තෘන්වහන්සේ මඬනාලද සංස්කාර ඇති ඇයගේ චරිතවශයෙන් ධම්මපදයෙහි මේ ගාථාව වදාළසේක.

‘අනත්‍ථ‍ර්‍‍දායක පදයන්ගෙන් යුක්තවූ ගාථා දහසකටද වඩා යමක් අසා සංසි‍ඳෙයිද එබඳුවූ එකගාථා පදය ශ්‍රේෂ්ඨය.’

ඕ ගාථා අවසානයෙහි සිටි අයුරින්ම පිළිසිඹියා සමඟ රහත්බවට පැමිණ පැවිද්ද ඉල්ලූවාය. ශාස්තෘන්වහන්සේ ඇයගේ පැවිද්ද පිළිගත්සේක. ඕතොමෝ භික්‍ෂූනී ආරාමයට ගොස් පැවිදිවූවාය. මෑතකාලයෙහි, සිවුපද ගාථාවක් අවසන්හි රහත්බවට පත් කුණ්ඩලකේසා ඒකාන්තයෙන්ම උත්තමාවකැයි සිවුපිරිසමැද කථාවක් හටගත්තේය. ශාස්තෘන්වහන්සේ ඒකාරණය අ‍ෙත්‍ථ‍ර්‍‍ාත්පත්ති කොට තෙරණිය වහා වැටහෙන අභිඥ ඇති භික්‍ෂුණීන් අතුරෙන් අගතැන්හි තැබූසේක.