01 බුද්ධානුස්සති භාවනාව

බුද්ධානුස්සති භාවනාව වඩන්නේ කෙසේ ද? යන්න ගැන නොදන්නා බොහෝ දෙනෙක් නව අරහාදී බුදු ගුණ පාඨ කියනවා විනා, භාවනාවක් වශයෙන් සිතේ සමාධියක් හෝ අඩු තරමෙන් සන්සුන් බවක් වත් ඇතිකර ගැනීමට නොහැකි අවුල්සහගත තත්ත්ව වලට මුහුණ පා සිටිති. කිසියම් භාවනා කමටහනකට අනුව භාවනා කරන්නකු තුළ ප්‍රඥාව වැඩෙයි. එසේම බුද්ධානුස්සති වැනි සෑම අනුස්සති භාවනාවක් තුළින් ද ප්‍රඥාව වැඩෙයි. අනුස්සති භාවනා වඩන්නේ කෙසේ ද යන මූලික දැනීමක් නැතිව එය කිරීමෙන් නම් ප්‍රඥාව නොවැඩෙයි. 

පිරිසක් එකතු වී සාමූහිකව භාවනා කරන බොහෝ තැන්වල සිදු වන්නේ, දේශකයෙක් බුදු ගුණ පාඨ කියවන අතර, අසා සිටින පිරිස ඒ අනුව එම තාලයෙන්ම එම පාඨ උච්චාරණය කරමින් කාලය ගත කිරීමයි. එය අපේ පැරැණි ජන ගායනා වල එන ‘අත්වැල් ගායනා’ හා සමාන ස්වරූපයකි. පුරාණ කාලයේ වන්දනා ගමන් යන විට නඩේ ගුරා ‘තුන් සරණේ කවි’ කියයි. ඒ අනුව නඩය සැවොම නැවත එය ගායනා කරයි. එසේ වන්දනා ගමන් යන විට තුන් සරණේ කවි කියවන්නාක් මෙන් අනුස්සති භාවනා කිරීමෙන් ප්‍රඥාව වැඩෙන්නේ නැත. එනිසා, ප්‍රඥාව වැඩෙන විදියට අනුස්සති භාවනාව මෙනෙහි කළ යුතු ය.

බුද්ධානුස්සති භාවනාව වඩම්යි, සිතමින්, මාගේ සම්බුදුරජාණන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ නැති කළ නිසා අරහං නම් වන සේක.’ යැයි දස දහස් වරක් කීවත්, ඒ තුළින් එම බුදු ගුණය කටපාඩම් වනවා විනා ප්‍රඥාව නොවැඩෙයි. ප්‍රඥාව වැඩෙන විදියට, ‘අරහං’ බුදු ගුණය සිහිපත් කිරීමයි කළ යුතු වන්නේ අනුස්සතිය යනු, බුදු ගුණ අනුව සිහිය තබා ගෙන ස්මරණය කිරීම ය. බුදු රජාණන් වහන්සේගේ සිත තුළ කිසිම ආශාවක් නොවී ය. රාගය (සියලු ආශා නැති කළ සිතකි) බුදුරජාණන් වහන්සේගේ සිත තුළ ද්වේෂය (තරහව, කෝපය, වෛරය, වැළපීම, දුක, කනගාටුව) ආදී ද්වේෂ මූල සහමුලින්ම නැති කළ සිතකි. බුදුන් වහන්සේගේ සිත, මෝහය (මුලාව, සැකය, විචිකිච්ඡාව ආදී) නොපැහැදිලි කිසිවක් නැති පරම පවිත්‍ර වූ ආලෝකවත් සිතකි. බුදුපියාණන් වහන්සේගේ සිත හා සසඳා බලන විට, මාගේ සිත රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල මුලවලින් බර වී ඇත. රාග, ද්වේෂ, මෝහ වලින් සහමුලින්ම වෙන් වූ බුදු සිතකට දැනෙන සුවය නිදහස කෙතරම් උතුම් ද? ඒ අනුව මාගේ සිත තුළ පවතින රාග ද්වේෂ මෝහාදී අකුසල් සිත් හඳුනාගෙන එම සිතිවිලි වෙනුවට වීතරාගී, සතදෝෂී, වීතමෝහී සිතිවිලි පහළ කර ගනිමි. රාග, ද්වේෂ මෝහ යන ත්‍රිහේතුක අකුසල් සිත් පලවා හැර, රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර ත්‍රිහේතුක කුසල සිත් පහළ කර ගනිමි. ඒ පිළිබඳ නිරතුරු සතිය පවත්වාගනිමි. මෙසේ බුදුන් වහන්සේගේ සිත අනුව මෙනෙහි කරමින් බුද්ධානුස්සතිය වඩන විට, තම සිතේ අඩුපාඩු හා අකුසල් පිළිබඳ හඳුනා ගැනීමට හැකි වන අතර, ඒ අනුව කෙමෙන් කෙමෙන් ප්‍රඥාව හා සිහිය වැඩීම හේතුකොටගෙන, රාග, ද්වේෂ, මෝහාදී අකුසල් දුරු කර ගැනීමට හැකියාව ලැබෙයි. 

චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක යන පාඨය ද කියවූ පමණින් ඵලයක් නොලැබෙයි. බුදුරජාණන් වහන්සේ කිසිම ගුරු උපදේශයකින් තොරව අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය වන දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මාර්ගය යන කාරණා සතර, බුදුරජාණන් වහන්සේ කියා දී ඇති ආකාරයටම මමත් තේරුම් ගෙන සිටිම්ද, නැද්ද? තේරුම් ගෙන නැතිනම්, තේරුම් ගත නොහැකි මන්ද? මෙසේ චතුරාර්ය සත්‍ය තේරුම්ගන්නට සිත් පහළ වන විට නුවණැස පෑදී ප්‍රඥාව වැඩෙයි. මෙතෙක් සැප යැයි සිතා සිටි සෑම දෙයක් තුළම ඇති දුක ගැන පැහැදිලි දැනීමක් ඇති වෙයි. එසේම දුක ඇතිවීමට හේතු වන්නේ අවිද්‍යාව හා තෘෂ්ණාව බව පැහැදිලි වෙයි. දුක නැති කර ගැනීමට නම් අවිද්‍යාව හා තෘෂ්ණාව සහමුලින්ම පලවා හැරිය යුතු බව මැනවින් වැටහෙයි. තමන් දුක නැති කිරීමේ මාර්ගය වන ආර්ය මාර්ගයේ ගමන් කරන අයෙක් ද නොකරන අයෙක් ද? යන්න ගැන දැනීමක් ඇති වෙයි. එසේම තමන් තුළ නැති මාර්ග අංග මොනවාද යන්නත්, දැන ගැනීමයි. මෙලෙස සම්මා සම්බුද්ධ ගුණය ගැන මෙනෙහි කරන විට ප්‍රඥාව වැඩෙයි. ආර්ය මාර්ගය ගමන් කිරීමට ඕනෑකම හා වීර්යය ඇති වෙයි. 

තෙවනුව, සියලු විද්‍යා සාක්ෂාත් කළ නිසා විජ්ජා චරණසම්පන්න නම් වන සේක. යන පාඨය සමග බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළ ත්‍රි විද්‍යා වලට සම කළ හැකි අන් කිසි විද්‍යාවක් මෙතෙක් බිහිව නැති බවත් අනාගතයේ ද එවන් විද්‍යාවක් බිහි කළ හැකි වේද යන්නත් විමසා බලමින් මෙනෙහි කළ යුතු ය. පුබ්බේනිවාසානුස්මෘති ඤාණය, ආසවක්ඛාය ඤාණය, චුතුප්පාද ඤාණය යන විද්‍යා ත්‍රිත්වය නවීන විද්‍යාවන්ට කෙසේවත් සමකළ නොහැකි ය. සත්වයෙකුගේ පූර්ව ජාතිය පිළිබඳ සැකහැර දැන ගැනීම සිත තුළ පහළ වන ආශ්‍රවත් අතහැර දමන ආසවක්ෂය ඤාණය, සත්වයකුගේ මරණයෙන් පසුව නැවත උප්පතිය ලබන හැටි දැනගන්නා චුතුප්පාත ඤාණය නමැති මේ ත්‍රිවිද්‍යාව ලොවට පසක් කළ බුදු දහම තුළින්ම මිස නවීන විද්‍යාව මගින් මේවා අවබෝධ කළ නොහැකි ය. එසේ බුදුන්වහන්සේ තුළ පැවැති විද්‍යා චරණ ගුණය විචාර බුද්ධියෙන් යුක්තව මෙනෙහි කරන විට, ප්‍රඥාව වැඩෙයි. එසේම බුදුන් වහන්සේගේ උත්තරීතර ප්‍රඥාවේ මහිමය අවබෝධ වී උන්වහන්සේ කෙරෙහි පවතින ශ්‍රද්ධාවත් වැඩිදියුණු වී, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න අයෙකු බවට පත් වෙයි. 

සුන්දර නිවන් මඟට පැමිණි නිසා සුගත නම් වන සේක’. යන බුදු ගුණය ද සවිස්තරව මෙනෙහි කළ යුතු ය. සුගති දුගති යනුවෙන් පැවැතුම් දෙකකි. ගත සිත දවන, කලක පෙළන ගති බහුලව ඇත්තේ, දුගති වල ය. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී සුගති වල වෙසෙන සත්වයන්ට පවා කිසියම් කාලයකදී ඒවායින් චුත වීමට සිදුවෙයි. නැතිනම් මරණයට පත්වන්නට සිදුවෙයි. මෙසේ සුගති වල වෙසෙන දිව්‍ය, බ්‍රහ්ම ආදීන්ටත් කිසියම් මොහොතක අනිත්‍ය ස්වභාවයන්ට ලක්වන්නට සිදුවේ නම් ඉන් පහළ තල වල වෙසෙන මනුෂ්‍ය, තිරිසන්, ප්‍රේත සතර අපාය ආදී දුගති වල සිටින සත්වයන්ට ඇතිවන චිත්ත පීඩා මෙන්ම කායිකවද වේදනා අනන්ත ය. එනිසා සියලු දුගතීන්ගෙන් හා සුගතීන්ගෙන්ද මිදුණු සත්වයන් සුවපත් භාවයට පත් කරන්නාවූ සුගත තථාගත බුදු ගුණය හා බලය මා තුළ ද ඇති කර ගනිමියි ප්‍රඥාවෙන් යුක්තව මෙනෙහි කරන විට, ප්‍රඥාව වැඩෙයි. ආර්ය මාර්ගයේ ගමන් කිරීමට පොළඹවන වීර්යය ඇතිවෙයි. 

සියලු ලෝක පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගත් නිසා ලෝක විදූ නම් වන සේක’ යන බුදු ගුණය මෙනෙහි කරන විට, නාම ලෝක, රූප ලෝක, අරූපලෝක ආදී සකල විධ ලෝක ධාතු වල යථා ස්වරූපය අවබෝධ කරගනිමින් එම ලෝක ධාතූන්ගෙන් එතර වූ මිදුණු ලෝකෝත්තර තත්ත්වයට පත් යන අර්ථය මෙනෙහි කළ යුතු වෙයි. ප්‍රඥාව වැඩෙන්නේ එවිටයි. 

පුද්ගලයන් දමනය කිරීමේ කුසලතාවෙන් අගතැන්පත් බුදුරදුන් නිසා අංගුලිමාල, ආලවක, නාලාගිරි වැනි දරුණු සිත් ඇති ඇත්තන් මෙන්ම සච්චක වැනි පණ්ඩිත මානයෙන් උදම් වූ අයත් බුදුදහමේ පරම සත්‍යය අවබෝධ වී නිවී සැනසීමට පත් වූ ආකාරයෙන් මම ද එම පරම සත්‍ය අවබෝධ කර ගනිමි. ආදි වශයෙන් නා නා විධ පුරුෂයන් ධර්මයට නැඹුරු කර ගත් ආකාරය මෙනෙහි කරන විට ප්‍රඥාව වැඩෙයි. මිනිසුන්ගේත් දෙවියන්ගේත් ශාස්තෘන් වහන්සේ වන නිසා සත්ථා දේව මනුස්සානං වන සේක, යන බුදු ගුණය මෙනෙහි කරන විට දී, බුදුරජාණන් වහන්සේට ද පෙර වෙනත් කිසිම ශාස්තෘන් වහන්සේ කෙනෙකු හෝ දෙවියෙකු බ්‍රහ්මයෙකුවත් නොදැන විට චතුරාර්ය සත්‍ය ධර්මය වෙනත් කිසිවකුගේ ගුරු උපදේශ රහිතව තමා විසින්ම අවබෝධ කර ගෙන දේශනා කළ බැවින් සත්තා දේව මනුස්සානම් විය. උන්වහන්සේට සම කළ හැකි වෙනත් කිසිම ශාස්තෘවරයකු මනුෂ්‍යයන් අතර පමණක් නොව දෙවියන් අතර පවා නැත. උන්වහන්සේ අවබෝධ කර ගත් ධර්මය කිසිම අඩුවක් නැතිවම දේශනා කළ නිසා බුද්ධ වන සේක. යනුවෙන් මෙනෙහි කළ යුතු ය. බුදු දහම පරිපූර්ණ දහමකි. එයට අලුතින් කිසිවක් එකතු කිරීමට හෝ බැහැර කිරීමට කිසිවකුටත් ඉඩක් නැත. බුදු දහම ප්‍රඥාවන්තයන්ගේ දහමකි. 

මෙසේ නව අරහාදී බුදු ගුණ නිසිලෙස මෙනෙහි කරමින් භාවනා කරන විට ප්‍රඥාව වැඩිදියුණු වෙයි. අවබෝධ නොවී පැවැති දහම් කරුණු අවබෝධ වන්නට වෙයි. රාග, ද්වේෂ, මෝහාදී ක්ලේශ ධර්ම තුනීවී ටිකෙන් ටික පහවී යයි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී අරහත් මාර්ග ඵලයන්ට පමුණුවයි. සියලු ක්ලේශ සන්සිඳී විද්‍යාව පහළ වී යථා භූත ඤාණ දර්ශනය පහළ වෙයි. එබැවින් සෑම බෞද්ධයෙක්ම නව අරහාදී බුදු ගුණ, මන්ත්‍ර මෙන්ම ජප කරන්නේ නැතිව නිසි ලෙස මෙනෙහි කිරීම මඟින්, ධර්මය දැක ගැනීම තුළින්ම අමාමෑණි බුදුරදුන් දැකගත යුතු ය.

බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස

සතර අපායට පත් නොවීම

නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම

සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම

නිහතමානී ගති පැවතුම් ඇතිවීම

ලෝකයාට ප්‍රියමනාප වීම

බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම

දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම

අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම

තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම

භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම

පාපයට ලැජ්ජ භය වීම

අධි කුසලයට සිත නැඹුරු වීම

අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම

ගුණ, නුවණින් පිරිපුන් වීම

පිටසක්වල නූපදීම

අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම

උන්මන්තක නොවීම

මිසිදිටු නොගැන්වීම

මරණයට නොබියව මුහුණදීම

මුහුණෙ වර්ණය පැහැපත්වීම

වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම

බුදුබව පවා පැතීමට සිත නැමීම

තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම

යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම

එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම

තම සිතුම් පැතුම් එලෙසම ඉටු වීම

ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම

සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම

සම්මා දිට්ඨියෙහි පිහිටීම

යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම

ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම

ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම

මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම

සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම

නපුරු සිහින නොපෙනීම

භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම