බුදුගුණ නොදත් දෙව්දුව

අනේපිඬු සිටාණෝ දෙව්රම් වෙහෙර සඳහාම කෝටි පනස් හතරක් ධනය පරිත්‍යාග කළේය. ඔහු දිනපතාම තුන් විටක් විහාරයට යන්නේය.

සිටු නිවසේ පන්සියයක් භික්ෂූන් වහන්සේ සඳහා දිනපතා දන් පිළිගැන්වේ. එහි අවසානයක් නැත. ඒ සිටාණන්ගේ ගෙය පන්සියයක් භික්ෂූ සංඝයාට සතරමං සන්ධියක කරන ලද පොකුණක් මෙන් විය. එබැවින් ඒ නිවසට සර්වඥයන් වහන්සේද අසූ මහ සගරුවනද, වඩිති.

ඒ සිටු ගෙයි මහල් සතකි. දොරටු සතකි. සතරවන දොරටුවේ මිසදිටු දෙව්දුවක් වසන්නීය.

” මේ සිටු නිවසේ මහරහතන් වහන්සේලා වඩින අවස්ථාවේ දී මා නිතරම බිමට බැසිය යුතුය. එය මට දුකක්ය. කරදරයක්ය. එබැවින් උන්වහන්සේලාගේ මේ ගමන වළකමි ”යි දෙවිදුව සිතුවා ය. මාළිගයෙහි ප්‍රධාන සේවකයා සමීපයට ගොස් දන් දීම් ආදියෙන් මහ සිටාණන් පිරිහෙන බැවින් රහතන් වහන්සේලාගේ ගමන වළක්වන ලෙස ඔහුට අවවාද කළාය.

පසු කලෙක අනේපිඬු සිටාණන්ගේ ධනය අඩු විය. ක්‍රමයෙන් පිරිහුණේ ය. එහෙත් සිටුතුමා දන් දෙයි. එහෙත් ප්‍රණීත කොට ආහාර පානාදිය දෙන්නට නොහැකි වෙයි. දිනක් ශාස්තෘන් වහන්සේ සිටාණන් අමතා, සිටාණෙනි! තවම ඔබ දන් දෙන්නෙහිදැයි ” විචාළ සේක.

“ ස්වාමිනි, මේ තාක් පුලුවන් විදිහට දෙමි. මධුරව දිය නොහැකියි. නිවුඩු හාලේ බත් දෙමි ” කීය. එවිට භාග්‍යවතුන් වහන්සේ ” ගෘහපතිය, සිත ප්‍රසන්න වූ කල්හි බුදු, පසේබුදු, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දෙන ලද දානය කර්කශ නොවේ” යැයි වදාළ සේක.

දිනක් ඒ මිසදුටු දෙව්දුව රෑ මැදියම අනේපිඬු සිටාණන්ගේ මැදුරට පැමිණ, ආලෝකය පතුරුවා අහසේ සිට…

“ සිටාණෙනි, ඔබ මතු කාලය නොබලන්නෙහිය. දරුවන්ගේ දියුණුව නොසලකා සර්වඥ ශාසනය උදෙසා බොහෝ ධනය වියදම් කිරීමෙන්ද, කර්මාන්ත නොකිරීමෙන් ද, ශ්‍රමණ ගෞතමයන් නිසා ඔබ දුප්පත් වූයෙහි ය. එම නිසා මෙතැන් පටන් ගෞතමයන් වහන්සේටද, එම ශ්‍රාවකයන්ටද දන් නොදෙන්නැයි ” කීවා ය. ” පාපී දෙව්දුව, මගේ ශ්‍රද්ධාව අචලය. තී විසින් ශාසනයට පහරක් දෙන ලද්දීය. වහා මගේ ගෙයින් පිටව අන් තැනකට යව “ සිටාණෝ කී ය.

දෙව්දූව සිටුතුමාගේ වචනය අසා නික්ම යා හැකි අන් තැනක් නැතිව සිටාණන් ක්ෂමා කරගෙන එහි ම වසන්නෙමි’ යි සිතා සක් දෙවිඳු වෙත ගොස්, “ස්වාමිනි, මම නොසැලකිලිමත් ලෙස අනේපිඬු සිටාණන් හා අයුතු කතාවක් කළෙමි. ඔහු මා නෙරපීය. දැන් මට ඉන්නට තැනක් නැත. සිටාණන් ක්ෂමා කරවා මට එහිම වසන්නට ඉඩ ලබා දෙන්නයි” කීවා ය. ඒ අසා සක් දෙවිඳු ඇයට මෙසේ කී ය.

” නුඹ විසින් අයුක්තියක් කරන ලද්දීය. මමද තී නිසා සිටාණන් හා කතා කරන්නට අසමර්ථ වෙමි. එක් උපායක් කියමි. සිටාණන් විසින් මහජනයාට දුන් ණය දහඅට කෝටියක් පමණ ඇත. නුඹගේ ආනුභාවයෙන් ඒ ණයකරුවන් බිය ගන්වා සිටාණන්ගේ මුදල් නැවත ලබා දී ඔහු සමාකර ගනුව “ යැයි කීවේය. දෙව් දුව එය පිළිගෙන එසේ කොට සිටුතුමා වෙත ගොස්….

” මහ සිටාණෙනි, මා බුදුගුණ නොදැන ඔබට යම් කරුණක් කීවෙමි. මට එයට සමාවනු මැන. සක් දෙවිඳුන්ගේ වචනයෙන්, ඔබට නැති වී තිබු සියලු ධනය එක්රැස් කර දෙමි ’යි කීවා ය. අනේපිඬු සිටුතුමා පසුදින උදෑසනම දෙව් දුව කැඳවාගෙන සර්වඥයන් වහන්සේ වෙතට ගොස් ඈ කළ සියලු කාර්ය දැන්වීය. එවිට බුදුරජාණන් වහන්සේ,

” යම් කෙනෙක් තමන් කළ පාප කර්මයක් විපාක නොදෙනතාක්, සැප විපාකයන් විඳින්නේය. යම් කලෙක ඔහුට පාපකර්මය විපාක විඳින්නට සිදුවේද, එතැන් පටන් දුක් විපාක විඳින්නේය. කුසල් කළා වූ පුද්ගලයාත්, යම්තාක් කුසල කර්මය විපාක නොදේද, ඒ තාක් යහපත නො දකින්නේ ය. යම් කලෙක කුසල් කළා වූ පුද්ගලයාට කුසල කර්මයේ විපාක දේ නම්, එවිට ඒ පුද්ගයා සැප විපාක විඳින්නේයැයි ” වදාළ සේක. ඒ දේශනාව අවසානයේ දී ඒ දෙව්දුව සෝවාන් විය. ඇය, බුදුරදුන් පා මුල වැඳ වැටී,

” ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස! රාගයෙන් රත් වූ, ද්වේෂයෙන් දුෂ්ඨ වූ, මෝහයෙන් අන්ධ වූ, ඔබ වහනසේගේ ගුණ නො දත් මා විසින් පවිටු වචනයක් කියන ලද්දෙමි. මට සමා කරනු මැන’යි කීවා ය. එවිට භාග්‍යවතුන් වහන්සේ පෙර කතාවක් මෙසේ වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයේ මහා බෝසතාණන් වහන්සේ බරණැස සිටු කුමරෙක්ව උපන. බොහෝ සැප සම්පත් ඇතිව හැදී වැඩුණු ඔහු සොළොස් හැවිරිදි වියේ දී සියලු ශිල්පයන් හි කෙළ පැමිණියේ ය. පසු කලෙක බෝසතාණෝ වාසල් දොර දන්හල් සතරෙක් ද, නුවර මැද එකක් ද, තමා ගේදොර අසල දන් හල් කරවා දන් දෙති. පන්සිල් රකිති.

එක් දිනක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් සිටාණන්ගේ නිවසට පිඬු පිණිස වැඩියහ. සිටාණෝ වහා උන්වහන්සේට දානය පූජා කිරීමට පාත්‍රය අතට ගත්තේ ය. එවිට මාරයා සිටාණන්ගේ දනට අන්තරාවක් කරමි ” සිතා මිදුලට පැමිණ ඇවිලෙන ගිනිදැල් ඇති අසූ රියනක් පමණ ගිනි ගොඩක් මවා අහසෙහි සිටියේ ය. සිටාණෝ එය මාරයාගේ වැඩක් බව දැන අහස දෙස බලා,

” මාරය, අද මම නුඹේ අදහස මුදුන් පත් වන්නට ඉඩ නොදෙමි ”. කියා දානය සමඟ ගිනි ගොඩට පැන්නේය. එකෙනෙහිම ගිනි අඟුරු තටු හතක් ඇති මහා පියුමක්ව උඩට නැගී බෝසතාණන්ගේ දෙ පතුළ පිළි ගත්තේ ය. බෝසතාණෝ පියුම මතින් ගොස් අග්‍ර රස භෝජනය පසේ බුදුරදුන්ගේ පාත්‍රයට පිළිගැන්වූහ. ඉන්පසු බෝධි සත්ත්වයො ඒ පියුම් මත සිටම රැස්ව සිටි පිරිසට දන්දීම හා සිල් රැකීමේ ගුණ වර්ණනා කොට ධර්මය දේශනා කළහ. එ සමයෙහි බරණැස් සිටාණෝ තමන් වහන්සේ බව භාග්‍යවතුන් වහන්සේ ඛදිරංගාර ජාතක කතාව අවසන වදාළ සේක.