පිඹුරු ප්‍රේතයා

එක් දිනක් මුගලන් මහරහතන් වහන්සේ හා ලක්ඛණ මහ රහතන් වහන්සේ ගිජුකුළු පව්වෙන් බසිනා කල මුගලන් මහරහතන් වහන්සේ යම් කාරණයක් නිසා සිනහ පහළ කොට බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩි කල ලක්ඛණ තෙරුන් වහන්සේ විසින් සිනහ පහළ කිරීමට හේතු විමසූ විට තමන් වහන්සේ ගිජුකුළු පව්ව පා මුල දී දුටු දර්ශනය මෙසේ විස්තර කළහ.

ලක්ඛණ ආයුෂ්මතුනි, ගිජුකුළු පව්ව පා මුලදි මා විසින් අරුම පුදුම පේ‍්‍රතයෙක් දක්නා ලදිමි. ඔහුගේ උස තුන් ගව්වක් පමණ වෙයි. ගිනිගෙන දිලිසෙන විශාල ප්‍රමාණයේ ගල් ගිනිබෝල සැට දහසක් පමණ හිස මත පතිත වෙයි. එයින් ඔහුගේ හිස සුනු විසුනු වී යන අතර නැවතත් කර්ම බලයෙන් හිස හට ගනියි. මෙසේ නිතරම හිස පැලී කුඩු වී ගොස් නැවතත් එක් වීමෙන් අතිශය කටුක වු දුක් වේදනාවකට ඔහු පත්වෙයි. මෙවැනි සංසාර දෝෂයක් තමන් වහන්සේට කිසි කලෙකත් නැති බැවින් තමන් වහන්සේ සිනහ පහළ කළ බව පැවසූහ. 

මේ සිද්ධිය මුල් කොට ගනිමින් මේ පේ‍්‍රතයා මෙපමණ මහත් වු දුකක් විඳීමට හේතුව බුදුරජාණන් වහස්සේ මෙසේ වදාළහ. 

පෙර බරණැස් නුවර අතකුරු ගැසීමෙහි දක්ෂ (අතින් ගල්කැට විදීමෙහි දක්ෂ) එහෙත් ඇවිදීමට නොහැකි පිළෙක් විය. දිනක් ඔහු කුඩා ළමයින් පිරිසක් විසින් මෙහෙයවනු ලදුව වාසල් දොර සමීපයෙහි නුග ගස යටදී අතකුරු ගසා නුගපත්වල විවිධ රූ සටහන් මවා ළමා පිරිස සතුටට පත් කළේය. ඒ ස්ථානයට හදිසියේම රජතුමාගේ පැමිණීමත් සමඟ ඒ පිළා නුග ගස සමීපයෙහි සඟවා ළමා පිරිස පලා ගියහ. ගස යටට ගිය රජු උඩ බැලූ කල නුගපත්වල වු අපූරු රූ සටහන් දැක ඒවා කවුරුන් විසින් කරන ලද්දක් දැයි සොයනුයේ පිළා විසින් කරන ලද බව දැන සතුටුව ඔහු රැගෙන රජ වාසලට ගොස් තමාට මහත් කරදරයක්ව පවතින පුරෝහිතයාට පාඩමක් උගැන්වීමට සිතීය.

පුරෝහිතයාගෙන් රජුට වන කරදරය නම් රාජ සභාවට ගිය තැන් පටන් කෙළවරක් නැති දේශනාවක් ඇසීමට සිදුවීමය. මෙය රජුට මහත් කරදරයක් විය. එබැවින් රජු පුරෝහිතයා සමඟ කතාවෙහි යෙදී සිටින විට ඔහු කට අරින අරින වාරයක් පාසා එක එළුබෙටිය බැගින් එවීමට පිළා සමඟ කතිකා කොට ඔහුට එළුබෙටි, නැළියක් දී රාජ සභාවට නුදුරු පරිසරයේ ඔහුට අවශ්‍ය පසුබිම සකසා දෙන ලදී. පසුදින රාජ සභාවට රජු පැමිණි කල සිරිත් පරිදි පුරෝහිතයා කෙළවරක් නැති තම දේශනාව ආරම්භ කළේය. කට අරින වාරයක් පාසා පිළාද එක එක එළුබෙටිය බැගින් පුරෝහිතයාගේ කටට එවන්නට විය. කටට ආ එළුබෙටිය අහක දැමීමට අවස්ථාවක් නොවු හෙයින් කිසිවෙකුට නොදැනෙන පරිදි පුරෝහිතයා විසින් එළුබෙටි නැළියම ගිල දමන ලදී. එළුබෙටි නැළිය අවසන් වු බව පිළා විසින් කරන ලද සංඥාවෙන් දැනගත් රජු විසින් පුරෝහිතයාට මෙසේ දන්වන ලදී. පුරෝහිතය, ඔබගේ කතාව අසා සිටීමෙන් නැඟිට ගැනීමට නොහැකිව මාගේ පාද රිදෙයි. එහෙත් එළුබෙටි නැළියක් ගිල දැමූ ඔබගේ කතාවෙහි අඩුවක් නොවීම පුදුමයකැයි පැවසීය. මෙයින් ලජ්ජාවට පත් පුරෝහිතයා වහා රාජ සභාවෙන් පලාගිය අතර ඉන් පසු රජුට ඔහුගෙන් පෙර පරිදි කරදර නොවීය.

පිළාගේ දක්ෂතාවන් ගැන සතුටට පත් රජු ඔහුට ගම්වර සතරක්ද වස්තුව ද දී සතුටු කළේය. පිළා රජුගේ ගෞරවයට පත් වූයේ ඔහු උගත් අතකුරු ගැසීමේ ශිල්පයෙන් බව දැනගත් එක් පුරුෂයෙක් එම ශිල්පය ඉගෙනීමට ඔහු වෙත පැමිණියේය. පිළා විසින් ඔහුට ඉගැන්වීම ප්‍රතික්ෂේප කළත් ඔහු, පිළාට කීකරුව බොහෝ කාලයක් සිට කෙසේ හෝ ශිල්පය ඉගැන්මට පිළා කැමැති කරවා ගත්තේය. පිළා විසින් තමා දත් අතකුරු ශිල්පයේ සියල්ල ඔහුට ඉගැන්වීය. අවසානයේදි පිළා විසින් තම අතවැසියා උගත් ශිල්පය පරික්ෂා කරන්නේ කෙසේ දැයි විමසීය. එවිට ඔහු පවසනුයේ පාරේ දී හමවුවන හරකෙක් හට හෝ මිනිසෙක් හට හෝ විදීමෙන් පරීක්ෂා කිරීමට කැමැති බවය. එවිට පිළා පවසනුයේ හරකෙක් මැරුව හොත් සීයක් දඩ වන්නේය. මිනිසෙක් මැරුවහොත් දහසක් දඩ වන්නේය. එබැවින් දුප්පත් වූ තොප විසින් එම දඩ ගෙවීමට නොහැකිව හිරේ ළඟින්නේය. එබැවින් යමෙක් මළ කල දඩ ගෙවීමක් නොවන්නේද එබඳු කෙනෙක් පරීක්ෂා කරවයි කීය.

සිය ගුරුවරයාගේ කීමට අවනත වූ ඔහු ද තමා උගත් ශිල්පය අත්හදා බැලීමට කෙනෙකු සොයමින් යන්නේය. පිණ්ඩපාතයේ වඩින සුනෙත්ත නම් පසේ බුදුරජාණන් වහන්සේ දැක මොහුට මවක් හෝ පියෙක් හෝ වෙනයම් ඥාතියෙක් හෝ නැත. මොහුගේ මරණයෙන් දඩ ගැසීමක්ද වන්නේ නැතැයි සිතා උන්වහන්සේගේ කනට ඉලක්කය ගෙන මේ අඥාන පුද්ගලයා අතකුරු ගැසීය. උන්වහන්සේගේ දකුණු කන් බිලයෙන් ඇතුළු වු එම ගල් කැටය වම් කන් බිලයෙන් පිටත් වී මහත් වූ මාරාන්තික දුකක් දෙන්නට විය. පිණ්ඩපාතයේ වැඩීමට නොහැකි වු පසේ බුදුරජාණන් වහන්සේ ඍද්ධියෙන් තමන් වහන්සේගේ සෙනසුනට වැඩම කොට එහිදී පිරිනිවන් පෑහ.

පසේ බුදුරජාණන් වහන්සේ එදින පිණ්ඩපාතයේ නොවැඩී නියාව දැන සැදැහැති දායක පිරිස උන්වහන්සේගේ සෙනසුන වෙත පැමිණියහ. පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා ඇති බව දැන ඒ සැදැහැති පිරිස දුක් ශෝකය දරා ගත නොහැකි ව හඬා වැලපෙන්නට වූහ. පසේ බුදුරජාණන් වහන්සේට අතකුරු ගැසු අර අඥාන පුද්ගලයා ද තමාගේ ඉලක්කයට කුමක් වේ දැයි විමසනු පිණිස සියල්ලට පසුව පසේ බුදුරජාණන් වහන්සේගේ සෙනසුන වෙත ගියේය. පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා ඇති නියාව දැන ඒ තමා විසින් ගැසු අතකුරෙන්ම සිදු වූ බව නිසැකවම දැන තමාගේ දක්ෂතාව පිරිසට ඒත්තු ගන්වනු පිණිස පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑයේ තමා ගැසු අතකුරෙන් බව උජාරුවෙන් පැවසීය. මේ අඥාන පුද්ගලයාගේ නොමනා ක්‍රියාවෙන් කෝපයට පත් එහි රැස් වූ පිරිස ඔහු අල්වා තළා පෙළා මරණයට පත් කළහ.

තමා උගත් ශිල්පය වැරැදි ලෙස භාවිතා කළ, ඒ අඥාන පුද්ගලයා මරණයෙන් පසු කල්ප ගණනක් අවීචි මහා නරකයෙහි ඉපිද අනන්ත වු දුක් විඳ ඒ කර්ම විපාකය ක්ෂය නොවුයේ මෙසේ පිඹුරු පේ‍්‍රතයෙක්ව ඉපිද අනන්ත වු දුක් විඳිමින් තවත් කල්ප ගණනාවක් ඉපදෙමින් මැරෙමින් සංසාරයේ සැරිසරන්නට සිදුවනු ඇත.

උපුටාගෙන පලකලේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මහරැඹෑවැවේ පාලිත හිමියන්ගේ ලිිපියක් ඇසුරිණි