පටිච්ච සමුප්පාදය

බුද්ධත්වයෙන් පළමු සතිය විමුක්ති සුවයෙන් ගත කළ බුදුරජාණන් වහන්සේ සත්වන දින රාත්‍රියේ පටිච්ච සමුප්පාදය මුල සිට අගටත් (අනුලෝම වශයෙන්) අගසිට මුලටත් (ප්‍රතිලෝම වශයෙන්) මෙනෙහි කළහ. එය බෞද්ද හේතුඵලවාදය ලෙසද හදුන්වනු ලැබේ. දුක ඇති වීම හා නැති වීම පිළිබද බෞද්ද විග්‍රහයේදී පැහැදිලි කරන්නේ පටිච්ච සමුප්පාදයෙනි. 

යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්‌මං පස්‌සති; යො ධම්‌මං පස්‌සති සො පටිච්‌චසමුප්‌පාදං පස්‌සතී

යමෙක් පටිච්ච සමුප්පාදය නුවණින් දකියි ද, හෙතෙම ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි. යමෙක් ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි ද, හෙතෙම පටිච්ච සමුප්පාදය නුවණින් දකියි. 

පටිච්චසමුප්පාදය තමන්ට ඉතා පහසුවෙන් වැටහෙන්නේ යැයි ආනන්ද හිමියන් සදහන් කළ විට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.“ ආනන්ද, එසේ නොකියන්න. මෙම පටිච්චසමුප්පාදය ඉතා ගැඹුරුය. එය තේරුම් නොගැනීම හේතුවෙන් සත්වයෝ විවිධ ගැටළු තුළ පැටලි අතරමංව අවසානයේ අපායේ උපත ලබයි.”

පටිච්චසමුප්පාදය යනු සහේතුක බවයි, සප්‍රත්‍ය බවයි, අහේතුක ප්‍රත්‍ය නොවන බවයි. එනම් ලෝකයේ පවතින සියළුම පුද්ගල සිද්ධි යන සියල්ලටම හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවයකට අනුව ක්‍රියාත්මක වන බවයි. මෙහි හේතු යනුවෙන් අදහස් කරන්නේ යම්කිසි ප්‍රතිපලයක් ඇති වීමට බලපාන ප්‍රධානතම හේතුවයි. උදාහරණයක් වශයෙන් ගසක් ගතහොත් අංකුරයක් ඇති වීමට ප්‍රධාන වන්නේ බීජයයි. එනම් එය හේතුවයි. ඒ සදහා (ශාකය වර්ධනයට) බලපාන අනෙක් සාධක ප්‍රතය යනුවෙන් හදුන්වනු ලබයි. එනම්, පස, ජලය, වාතය ආදියයි. 

ඉමස්මිං සති ඉදං හොති           – මෙය ඇති කල්හි මෙය වෙයි

ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති       – මෙය ඉපදීමෙන් මෙය උපදී

ඉමස්මිං අසති ඉදං න හොති        – මෙය නැති කල්හි මෙය නොවේ

ඉමස්ස නාරෝධා ඉදං නිරුජ්ජති    – මෙය නැති වී යාමෙන් මෙය නැති වී යයි

බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ උන්වහන්සේ මෙනෙහි කළේ ක්‍රමානුකූලව දුක ඇතිවන අයුරුත් දුක නැතිවන අයුරුත්ය. අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා-මරණ යන මේවා එකිනෙක සම්බන්ධ වීම නිසා දුක හටගන්නා බව උන්වහන්සේ 

මෙනෙහි කළහ. පටිච්ච සමුප්පාදය යනු අවිද්‍යා සහගත වීම නිසා, හේතු-ඵල පැවැත්මෙන් සත්වයන් නැවත නැවත උපදිමින් සංසාරයෙන් මිදීමට නොහැකිව අනවරත භවගමනට පැමිණෙන ආකාරය යි.

  • අවිද්‍යාව අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබොධතා ඥානයක් නොමැති කමයි. අවිජ්ජාව නිසා පටිච්ව සමුප්පාදය තුළ සකස්වන හේතු ඵල සම්බන්දතාව පටිච්ව සමුප්පන්න ධර්මයන් ය. ඒවා නම්,
  • සංස්කාර – කාය සංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස), වචී සංස්කාර (විතක්ක විචාර) සහ චිත්ත සංස්කාර (සංඥා වේදනා) යන ධර්මයන් ය සංකාර – පුන්ඥාබි සංකාර සහ අපුන්ඥාබිසංකාර වසයෙන් කොටස් දෙකක්ද ඇතැම් තැනෙක දැකිය හැක.
  • විඤ්ඤාණ – ඇස, කණ, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතනයකට අරමුණක් පැමිණි විට එහි හටගන්නා සිතයි; විශේෂයෙන් දැන ගන්නේ යන අරුතින් විඤ්ඤාණය නම් වේ
  • නාම රූප – නාම ධර්මයන් (වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර) සහ සතර මහා භූතයන්ගෙන් සකස් වූ(උපාදාය) රූපය; ආයතන සියල්ලෙහිම තැනුම් ඒකකය මෙය යි
  • සළායතන – ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියන් සය ම භව පැවැත්ම ඇති කරන ලෙස සැකසී ඇති බැවින් ආයතන නම් වේ; මෙම සය ආධ්‍යාත්මික (අභ්‍යන්තර) ආයතන යි; ඒවාට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු (මනසට අරමුණු වන දේ; ධම්මබාහිර ආයතන නම් වේ.
  • ඵස්ස (පස්සෝ)ස්පර්ශය – ආයතනයකට අරමුණක් ලැබුණ විට එහි හටගන්නා සිත ඒ සමඟ එක් වීම යි; එවිට අරමුණ නිසා ඇතිවන

සැප සොම්නස්, දුක් දොම්නස් හෝ මැදහත් බවක් ඇත් ද ඒ පිළිබඳ දැනීමක් ඇතිවේ; එකල සැප, දුක සහ නොදුක් නොසැප (අදුක්ඛමසුඛ) යන විඳීම් ඇති වේ

යම් විඳීමක් ඇත්ද, එයම හඳුනා ගනී; එනම් සංඥා උපදී

යමක් හඳූනා ගනී ද ඒ ගැන චේතනා පහළ වේ; අවිද්‍යා සහගත පුද්ගලයා ගේ එම චේතනාවම විපාක දීමට සකස් වේ

බුදු දහමේ එන ස්පර්ශය (ඵස්ස) සිංහල බසෙහි පහස යන අර්ථයෙන් නොයෙදේ

  • වේදනාව – ස්පර්ශය නිසා හට ගැනෙන සැප, දුක සහ නොදුක් නොසැප (අදුක්ඛමසුඛ) විඳීම යි
  • තණ්හාව – සැප, දුක සහ නොදුක් නොසැප යන සියළු විඳීම් ගැන නොනුවණින්(අයෝනිසෝමනසිකාරයෙන් යුතුව) සිතීම නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ අරමුණු යන්නෙහි යම් ආස්වාදයක් ඇත් ද ඒ කෙරෙහි සිත ඇලී යයි (නන්දිරාග); මෙය ම තණ්හාව වේ. එනම් කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා යනාදිය යි.
  • උපාදාන – තණ්හාවෙන් යුතුව අරමුණු සොයන්නා එය ලැබුණු විට අගය කරන්නට ගනී (විනිච්ඡයෝ); එකල විඤ්ඤාණය එම අරමුණු ම ඇසුරු කරමින් ම පවතී; එනිසාම රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයට ගැන කැමැත්තෙන් ම ඇලී යයි (ඡන්දරාග); මෙසේ කෙළෙසුන් ට බැඳී යාම උපාදානය යි.
  • භවය – බැඳී ගිය සිතින් චේතනා පහළ කරන විට කර්ම සකස් වනුයේ යම් ධාතුවක (කාම, රූප, අරූප යන) විඳවීම (වේදනීයං) පිණිස විපාක දෙන ආකාරයෙනි. මෙය භවය යි.
  • ජාති – සත්වයකු (එනම් තණ්හාව නොඇල්මෙන් ඉතිරි නැතිව නිරුද්‍ධ වී නොමැති අයෙක්) මරණයට පත් වන විට සකස් වී ඇති භවයට අනුකූලව ඉපදීම ජාතියයි. විපාක දුන් කර්මයට අනුකූලව පංච උපාදානස්කන්ධ පහළ වීමත් (ඛන්ධානං පාතුභූතෝ), ආයතන සයක් ලැබීමත් (ආයතනං පටිලාභෝ) සිදු වන්නේ ජාතිය සමඟ යි.
  • ජරා-මරණ – උපත ලද සත්වයා ක්‍රමයෙන් දිරාපත් වෙමින් මරණයට පත්වීම යි; එනම් සියළු දුක් සමූහය යි.

අනුලෝම පටිච්චසමුප්පාදය

1.අවිජ්ජා        පච්චයා     සංකාරා

2.සංකාරා       පච්චයා     විඤ්ඤාණං

3.විඤ්ඤාණ පච්චයා      නාමරූපං

4.නාමරූප     පච්චයා      සළායතනං

5.සළායතන  පච්චයා      ඵස්සෝ

6.ඵස්ස           පච්චයා      වේදනා

7.වේදනා        පච්චයා      තණ්හා

8.තණ්හා       පච්චයා      උපාදානං

9.උපාදාන      පච්චයා      භවෝ

10.භව           පච්චයා       ජාති

11.ජාති          පච්චයා       ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස   

                                             උපායාසා සම්භවන්ති ඒවමේතස්ස කේවලස්ස දුක්ඛ

                                             ස්කන්ධස්ස   සමුදයෝ හෝති

පටිලෝම පටිච්චසමුප්පාදය

අවිද්‍ය සම්පූර්ණයෙන් ම නැතිවීමෙන් සංස්කාර නැතිවෙයි

සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වෙයි

විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වෙයි

නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වෙයි

සළායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය වෙයි

ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි

වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වෙයි

තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි

උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි

භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි

ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වෙයි

අවිද්‍යාව

අගක්, මුලක් නොපෙනෙන, සසර සැරිසරන සත්වයාගේ අවිද්‍යාව හා තණ්හාව නිසා ජාති, ජරා, මරණාදී අනන්ත දුක්දොම්නස් වේදනා කෙළවරක් නැත.

අවිද්‍යාව හෙවත් නොදැනීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

ඉන්ද්‍රිය ගෝචර නොදැනීම

බුද්ධිගෝචර නොදැනීම

උපන්දා පටන් සංසාරික පුරුද්ද හා චින්තනය අනුව හැඟීම් රැස්කරන්නේ පවතින පරිසරය ආශ්‍රය කරගෙන ය. එහි දී ප්‍රධාන වශයෙන් අවිද්‍යාවත්, තණ්හාවත් ක්‍රියාත්මක වන්නේ ය.අවිද්‍යාව නිසා ඉන්ද්‍රිය ගෝචර ධර්මයන් යථා පරිදි හැඳින නොගැනීමත්, තණ්හාවෙන් අරමුණට වහල්වීමත් සිදුවීම ස්වභාවික සිද්ධාන්තයකි.

සත්ව සන්තතියේ පැවැත්මට මෙම අවිද්‍යාව මෙන්ම, තණ්හාව ද, අවශ්‍යවන අතර එයින් සංස්කාර ධර්මයන් රැස්කර ගන්නේ ය.

බුදු සමයෙහි අවිද්‍යාව වශයෙන් දක්වන ප්‍රධාන අදහස නම් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නොදැනීමයි. තව ද එයටම පුබ්බන්ත අපරන්ත, පුබ්බන්තාපරන්ත, පටිච්ච සමුප්පන්න නොදැනීමද එක් කළ විට මෙම අටතැන්හි නොදැනීම අවිද්‍යාව හෙවත් මෝහය වශයෙන් දක්වන්නේ ය.

මේ මහා විශ්වය තුළ සත්ව පරම්පරාවේ දීර්ඝ ඉතිහාසය නිරීක්ෂණය කරන විට අනාවරණය වන ප්‍රධාන කාරණය නම්, සත්වයන් තම තමන් ගත් තීරණය තුළ හිරවී එයින් මිදෙන්නට නොහැකිව මහා දුක්ගිනි ජාලාවක තැවි තැවී සිටින වගයි. අන්ධකාරයේ ගමනේ යනවිට කිසිම දිනෙක, කිසිම අවස්ථාවක නියම ස්ථානයක් හෝ නැවැත්මක් හෝ නැත්තේ මැයි.

අප බුදුරජාණන් වහන්සේ පමණක් ඒ යන ගමන පිළිබඳ ව යථාර්ථයෙන් ම පැහැදිලි කර දුන් වග දම්සක් පැවතුම් සූත්‍රයේ විස්තර වන්නේ ය. තද අන්ධකාරයේ බිංගෙයක් තුළින් එළියට එන්නට ප්‍රයත්න දරමින්, එකිනෙකාට ගැටෙමින්, තැලෙමින්, වේදනා විඳිමින් යන ගමනේ ආලෝකයක් දල්වා ගැනීමට නම් දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්‍යං දුක්ඛ හෙවත් දුක නමැති ආර්ය සත්‍ය ආර්ය ඤාණයෙන් ම දැනගත යුතු වන්නේ ය. ඉපදීම දුකක් වන අතර, යළි ජීවත් වන මොහොතක් පාසා දුක් වේදනා ඇති වන්නේ ය.

විද්‍යා ඤාණය මෙතරම් දියුණු සමයක අප බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ජාති දුක ඉතා පැහැදිලිව අවබෝධ කරගන්නට හැකිවන්නේ ය. ඉපදෙන සත්වයාට, උපදවන සත්වයාට, ආධාර උපකාර කරන සත්වයාට ඇතිවන වේදනාව මෙපමණයයි නිගමනය කරන්නට හැකියාවක් නැත්තේ ම ය.

සත්වයෙකු උපන් විගසම ඇතිවන වේදනාව පිට කරන්නේ ඇඬීමෙන් හා වැළපීමෙනි. මෙම සංසිද්ධිය භවයෙන් භවයට කල්ප ගණන් සිදුවන්නේ ය.

ඇසට නොපෙනෙන ඇමීබා සත්වයාගේ පටන් ඉතා මහත් ඇතුන්, තල්මසුන් දක්වා සෑම සත්වයා ම අවිජ්ජා – තණ්හා මානසික අනුවලින් හා ප්‍රජනන ධාතු අනුවලින් ඉතා කුඩාවට හටගෙන ශාරිරික වශයෙන් මොහොතක් පාසා වර්ධනය වන අතර, ඉදිරියේ දී තව තවත් ජරා, ව්‍යාධි ආදි වේදනාත්මක අවස්ථාවන්ට මුහුණ දෙන්නේ ය.

හේතුඵල ධර්මය අවිද්‍යාවෙන් ආරම්භ වුව ද, විශ්වයේ ප්‍රථම සත්වයා අවිද්‍යාවෙන් හටගත් බවක් ප්‍රකාශ නොවේ. විද්‍යමාන සත්වයෙකුගේ ස්වභාවය හේතුඵල ධර්මයෙන් හෙවත් පටිච්චසමුප්පාද ධර්මතා විග්‍රහ කිරීමේ දී අවිජ්ජා තණ්හා දෙක මුලින් දැක්වීම ශාස්ත්‍රීය වන්නේ ය.

මිනිසුන් අතර හොඳ නරක දෙකම සමාන්තරව දක්නට ඇති අතර ක්ෂණ 

මාත්‍රයක් පාසා ඉන්ද්‍රිය ගෝචර වන තණ්හාව කර්ම රැස්කිරීමට ඉඳුරන් මෙහෙය වන්නේ ය. එය සත්වයාගේ වර්තමාන පැවැත්මට මෙන්ම, අනාගත පැවැත්මට ද හේතු වන්නේ ය.

සත්වයා අකුසල් රැස් කිරීමට ප්‍රධාන හේතු දෙකක් ඇත.

අවිද්‍යාව හෙවත් නොදැනීමෙන් අකුසල් රැස් කිරීම, චිත්ත ආවේග නිසා අකුසල් රැස් කිරීම

මේ කාරණා දෙකට අවිද්‍යාවම මූලික වන්නේ ය. අවිද්‍යාවේ සීමාවක් නැති නිසා සත්වයා අතීත අවිද්‍යාව හේතුවෙන් වර්තමාන අවිද්‍යාව ද, ඉන් අනාගතයට නොනවත්වා බලපවත්නේ ය. චිත්තාවේග ඇතිවන්නේ ද අවිද්‍යාවේ වරද නිසාම ය.

මෙසේ අග මුල සීමා නැති සත්වයෙකුගේ සංසාර පැවැත්ම සිදුවන නමුත් අවිද්‍යාවෙන් අවිද්‍යාව නැති කළ නොහැකි අතර විද්‍යාවෙන් අවිද්‍යාව නැති කළ හැකි වන්නේ ය.

අප බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රයෙන් චතුරාර්ය සත්‍යධර්මය පිළිබඳව විජ්ජා උදපාදි යන වචනය දොළහක් දේශනා කළ සේක.

අප බුදුරජාණන් වහන්සේ මනුලොව පහළ වීමට පෙර ලෝකය අවිද්‍යාන්ධකාරයෙන් සත්‍යාර්ථ ලෝකය වැසී තිබුණ බව එම සූත්‍රයෙන් ගම්‍ය මාන වන්නේ ය.චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව විජ්ජා උදපාදි ආදි නයින් දොළොස් තැනෙක දක්වා ඇති එම විද්‍යාව පහළ නොවන්නට මෙම මානව පරපුරම විනාශවන්නට අවකාශ තිබුණි. එයට හේතුව අවිද්‍යාව නිසා තණ්හාවත්, එයින් අන්‍යෝන්‍ය වෛරයත් වර්ධනය වී විනාශවන බැවිනි.

මිනිස් චින්තනය ස්වභාවයෙන් සකස්වන්නේ අවිද්‍යාවත්, තණ්හාවත් පදනම් කරගෙන ය. නීතියෙන්, දර්ශනයෙන්, දඬුවමෙන් යටපත් කරන මෙම චින්තනයන් කෙදිනක හෝ නැති කරනවා නම්, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ලෝකයේ පහළ විය යුතු ය.

මෙම ගෞතම බුද්ධ ශාසනය කෙදිනක හෝ මනුලොවින් නැතිවන්නේ ද මෙම අවිද්‍යා තණ්හා දෙකෙන් මානව පරපුරම ආවේගශීලි ව ඔවුනොවුන් අමනුෂ්‍යයන් මෙන් ක්‍රියා කිරීම නිසා ය. මිනිසා ලබාගත් උතුම් ආත්මභාවයෙන් අල්පමාත්‍ර වූ ද ප්‍රයෝජනයක් ගන්නේ නම්, අවිද්‍යා තණ්හා දෙක බැහැර කළ යුතු වන්නේ ය.

මානව ධර්මයන් වශයෙන් අප වෙන් කරන සෑම කාරණයක් ම ක්‍රියාත්මක කරන 

විට මෙම අවිද්‍යා තණ්හා දෙක සිතේ සරලත්වයට පත්විය යුතු අතර සසර දුකින් මිඳීමට නම්, චිත්ත සන්තානයෙන් සම්පූර්ණයෙන් නැති කළ යුතු වන්නේ ය.

තණ්හක්ඛයො, දොසක්ඛයෝ මොහක්ඛයො නිබ්බාණං යන දේශනාව අනුව තණ්හාව,ද්වේෂය, මෝහය යන අකුසල මූලයන් සමුච්ඡේද වශයෙන් නැති කළ විට සසර දුක් කෙළවර කළ හැකි වන්නේ ය.

සංස්කාර

පින්වත් මහණෙනි, සංස්කාර යනු මොනවාද? පින්වත් මහණෙනි, සංස්කාර තුනක් තිබේ. එනම් කාය සංස්කාර, වචි සංස්කාර, චිත්ත සංස්කාර වශයෙනි.

කාය සංස්කාර කියා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙකටයි. මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකට කාය සංස්කාර කියල කියන්නේ කය හා බැඳිල තිබෙන නිසා.

අප වචන කතා කරන විට වචන හා බැඳී තිබෙන දෙයට කියනවා වචී සංස්කාර කියා. වචනයක් කතා කරන්න කලින් ඒ වචනය අපේ මනස ඇතුළේ හැදෙන්න ඕන. එහෙම හැදුනේ නැත්තම් අපට කතා කරන්න බැහැ. අප මෙහෙම හිතමු. අප ළඟ ඉන්නවා හින්දි කතා කරන කෙනෙක්, අපට හින්දි කතා කරන්න බැහැ. කෙනෙක් සිංහලෙන් කතා කරනවා. අන්න ඒ වෙලාවට අපට සිංහල වචන එනවා. වචි සංස්කාර ගොනු කරලා තියෙන හැටියට තමයි සකස් වෙන්නේ.

චිත්ත සංස්කාර කියා කියන්නේ සංඥා, වේදනා දෙකට, මේ ඔක්කොම අවිද්‍යා සහගතයි. කය පිළිබඳව අපට අවිද්‍යාවක් තියෙනවා. කය පිළිබඳ අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ කායානුපස්සනාවෙන්. කායානුපස්සනා භාවනාව නො කළොත් කය පිළිබඳව තිබෙන අවිද්‍යාව ප්‍රහාණය වෙන්නෙ නැහැ. එවිට කය පිළිබඳව අපිට අවිද්‍යාවක් තියෙනව නම්, අවිද්‍යාව සහිතව, අවිද්‍යා සහගත කයක් පවත්වන කෙනෙකුට ආශ්වාස, ප්‍රශ්වාසවලට විතරක් විද්‍යාව පහළ වෙනවද? අවිද්‍යා සහගත කයක් පවත්වන කෙනෙකුට ආශ්වාස ප්‍රශ්වාසයත් ඒ කය හා ප්‍රතිබද්ධයි. ඒ නිසා ඔහුට ඒ ආශ්වාස ප්‍රශ්වාස තියෙන්නෙත් අවිද්‍යා සහගතවම යි.

වචන කතා කරන කෙනෙකුට ඒ වචනයේ අවිද්‍යාව නැත්නම්, වචී සංස්කාරවල අවිද්‍යාව නැත්නම් බොරු කියන්නෙ නැහැ. රහතන් වහන්සේ බොරුව, කේළම, පරුෂ වචනය, හිස් වචනය කියන්නේ නැහැ. හේතුව තමාගේ වචී සංස්කාරවල අවිද්‍යාව නැහැ. වචි සංස්කාර වල අවිද්‍යාව තිබෙන එක්කෙනා අවිද්‍යා සහගතව නම් ඔහුගේ ජීවිතය පවත්වන්නේ ඔහු සිතන විදිහ තුළ බොරුව, කේලම, පරුෂ වචන, හිස් වචන කියැවෙනවා. මේ සිද්ධ වෙන්නේ, සකස් වෙන්නේ අවිද්‍යාවෙන්ම යි.

චිත්ත සංඛාර කෙළින්ම අවිද්‍යාව එක්ක සම්බන්ධයි. සඤ්ඤා විපල්ලාස කියා වචනයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ විපරීත වූ හඳුනා ගැනීම. අසුබ දේ අප හඳුනාගන්නේ සුබ වශයෙන්. ඒ වගේම දුක් දේ හඳුනාගෙන ඉන්නේ සැප වශයෙන්. අනිත්‍ය දේ නිත්‍ය විදිහටයි හඳුනා ගන්නේ. ඒ වගේම තමාගේ වසඟයෙහි පැවැත්විය නොහැකි අනාත්ම දේ අපි හඳුනාගෙන ඉන්නේ මම, මගේ, මගේ ආත්මය වශයෙන් ඒක තමයි අවිද්‍යාව. එබඳු මුලා වූ හඳුනා ගැනීමක් සමඟ යමක් විඳිනවා නම් එතැන මුලා වූ විඳීමක් තමා තිබෙන්නේ.

ආශ්වාස– ප්‍රශ්වාස කියන කාය සංඛාරත්, විතක්ක – විචාර කියන වචී සංඛාරත්, සඤ්ඤා –වේදනා කියන චිත්ත සංඛාරත් යන මේ සංස්කාරයන් පෘථග්ජන සත්වයා තුළ ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාවෙන් යුක්තවයි. නමුත් කෙනෙක් භාවනා කිරීමේ දී මේ සංස්කාරයන්ගේ යම් යම් සංසිඳීම් ඇතිවෙනවා. එපමණකින් අවිද්‍යාව නැති වෙන්නෙ නැහැ.

අප සිතමු කෙනෙක් සමාධිය දියුණු කරලා පළවෙනි ධ්‍යානය ඇති කර ගන්නවා. එතකොට පංචනීවරණ නැතිවෙන ආකාරයට විතක්ක විචාර පවත්වනවා. ඒ ආකාරයට සඤ්ඤාවක් පුරුදු කරනවා. එවිට ඔහු ඊට අදාළ පිළිවෙළට තමයි විතක්ක විචාරය හසුරුවන්නේ. ඊට ගැළපෙන වචන තමයි මනසිකාර කරන්නේ.

ඒ පුද්ගලයා අර වචන ඇසුරෙන් තමා අරමුණු ගන්නේ. එතකොට විතක්ක විචාර තිබෙනවා. ඒ නිසාම හිත යම් යම් අවස්ථාවලදී බාහිර අරමුණු වල හැසිරෙන්න පුළුවන්. එතකොට විතක්ක විචාරවල ආදීනව සලකලා දෙවන ධ්‍යානය දියුණු කරනවා. දෙවන ධ්‍යානය දියුණු කරන විට ඒ දෙවන ධ්‍යානය තුළ විතක්ක විචාර සංසිඳුවාගෙන ඉන්න පුළුවන්. නමුත් අවිද්‍යාව නැතිවෙන්නෙ නෑහැ. තුන් වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය දියුණු කරනවා. සතරවෙනි ධ්‍යානයේ දී ආශ්වාස ප්‍රශ්වාස සංසිඳෙනවා. ඒත් අවිද්‍යාව නැති වෙන්නේ නැහැ.

ඊට පස්සේ අරූප ධ්‍යාන දියුණු කරල විදර්ශනා ප්‍රඥාව දියුණු කරන අයට පුළුවන්කම තියෙනවා. සඤ්ඤා වේදනා දෙක නිරුද්ධ කර නිරෝධ සමාපත්තියට සමවදින්න. මේ නිරෝධ සමාපත්තියට සමවදින්නෙ චතුරාර්ය සත්‍යය අවබෝධ කළ උත්තමයින්. මේ නිසා මේ අවිද්‍යාව ප්‍රහාණය කිරීමෙන් තමයි ඒ සංස්කාර සහමුලින්ම නැති වෙන්නේ.

ඒ නිසා චතුරාර්ය සත්‍යාවබෝධයකින් තොරව තමයි කෙනෙක් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් තොරව කයත් පවත්වනවා කියන එක තමයි එහි තේරුම. චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් තොරව වචන පාවිච්චි කරන කෙනා තුළත්, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව හඳුනා ගැනීම, විඳීම සිදුකරන එක්කෙනා තුළත් අවිද්‍යා සහගත විඤ්ඤාණයක්මයි හටගන්නේ.

එවිට ඇසෙන් රූපයක් බලන විට අවිද්‍යා සහගත විඤ්ඤාණයක් තමා මේ ඇසේ හටගන්නේ. කනෙන් ශබ්දයක් අහනකොට අවිද්‍යා සහගත විඤ්ඤාණයක් තමා කණේ හටගන්නේ. නාසයෙන් ආඝ්‍රාහණය කරනකොට අවිද්‍යා සහගත විඤ්ඤාණයක් හට ගන්නේ. දිවෙන් රස විඳිනකොට, කයෙන් පහස ලබන කොට අවිද්‍යා සහගත විඤ්ඤාණයක් තමා හටගන්නේ. එහෙම නම් අවිද්‍යා සහගත විඤ්ඤාණයක් අවිද්‍යා සහගත විඤ්ඤාණයක් හටගත්ත ගමන් එතැන ඇතිවෙන ස්පර්ශය, අවිද්‍යා සහගතයි. ඇසයි, රූපයයි, විඤ්ඤාණයයි එකතුවීම අවිද්‍යා සහගතයි. කණයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතුවීම අවිද්‍යා සහගතයි. නාසයයි, ගඳ සුවඳයි, විඤ්ඤාණයයි එකතු වීම අවිද්‍යා සහගතයි. දිවය, රසයයි, විඤ්ඤාණයයි එකතුවීම අවිද්‍යා සහගතයි, කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතු වීම අවිද්‍යා සහගතයි. මනසයි, අරමුණුයි, විඤ්ඤාණයයි එකතු වීම අවිද්‍යා සහගතයි.

අප දන්නවා මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හැදී තියෙන්නෙ නාමරූපවලින්. මේ විඤ්ඤාණය අවිද්‍යා සහගතවීම නිසාම විඤ්ඤාණය එකතු වෙලා හටගන්න නාමරූප සියල්ල අවිද්‍යා සහගතයි. එතකොට අවිද්‍යා සහගත සංස්කාර, අවිද්‍යා සහගත විඤ්ඤාණ, අවිද්‍යාවෙන් යුක්ත ආයතන හයක්, අවිද්‍යා සහගත ස්පර්ශයක් තිබෙනවා. අවිද්‍යා සහගත විඳීමක් හටගන්න කොට අවබෝධයක් නැති නිසා ඇලෙනවා. ඇලුන ගමන් බැඳෙනවා. කාමයන්ට බැඳෙනවා. දෘෂ්ටිවලට, මතවාද වලට බැඳෙනවා. මම, මාගේ, මාගේ ආත්මය කියන හැඟීමකට බැදෙනවා.ඒ තණ්හාවෙන් යුක්ත බැඳීම තුළ යම් චේතනාවක් පහළ කරනවද, චේතනාවක් පහළ කරල යම් කර්මයක් කරනවාද? එතකොට විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඒකට තමයි භවය කියලා කියන්නේ.

භවය හැදුන විට එක්කෝ ඔහුට කාම භවය තුළ විපාක විඳින්න තියෙන්නෙ නිරයේ නම්, තිරිසන් ලෝකයේ නම්, මිනිස් ලෝකයේ නම් ඒ විදිහට හැදෙනවා. රූප භවය තුළ ඒ ඒ ලෝකවල විඳින්න නම් විපාක තියෙන්නේ ඒ විදිහට හැදෙනවා. අරූප භවය තුළ විපාක විඳින්න තියෙන්නේ ඒ විදිහට නම් ඒ විදිහටත් හැදෙනවා. ආයෙත් උපතක් කරා යනවා.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා. සංස්කාර නිසා විඤ්ඤාණය හටගන්නවා. විඤ්ඤාණය නිසා නාමරූප හටගන්නවා, නාමරූප නිසා සළායතන හටගන්නවා, සළායතන නිසා ස්පර්ශය හටගන්නවා, ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා, වේදනාව නියා තණ්හාව හටගන්නවා, තණ්හාව නිසා උපාදාන හටගන්නවා, උපාදාන නිසා භවය හටගන්නවා, භවය නිසා ඉපදෙනවා. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක වැළපීම්, දුක, දොම්නස් හට ගන්නවා කියා.

මේ නිසා සංස්කාර කියන වචනය යෙදෙන ඕනෑම තැනක් ගත්තොත් ඒවා 

පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභි සංඛාර, හෝ අනෙඤ්ජාභි සංඛාර වේවා අවිද්‍යා සහගතයි. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර, අවිද්‍යා සහගතයි, රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ද සංචේතනා, රස සංචේතනා, පොට්ඨබ්බ සංචේතනා, ධම්ම සංචේතනා ගත්තත් අවිද්‍යා සහගතයි. එහෙම නම් අවිද්‍යා සහගත බව නැතිවෙන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නම ඕන.

රහතන් වහන්සේ නමක් ආශ්වාස ප්‍රශ්වාස කරනවා නමුත් අවිද්‍යාව නැති නිසා අවිද්‍යාව සහගත කාය සංස්කාරයක් නැහැ. උන්වහන්සේ විතක්ක විචාර කරනවා. නමුත් අවිද්‍යාව නැති නිසා වචනයෙන් කිසිම කර්මයක් රැස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ නමකට සඤ්ඤා. වේදනා. චිත්ත සංඛාර ඇතිවෙනවා. අවිද්‍යා සහගත සඤ්ඤාව කෙරෙහි මුලාවෙලත් නැහැ. විඳීම කෙරෙහි මුලාවෙලත් නැහැ. ඒ කියන්නේ කාය ප්‍රතිබද්ධ වූ අවිද්‍යාවක් නැහැ රහතන් වහන්සේට පටිච්ච සමුප්පාදය නිරුද්ධයි.

ඒ නිසා අපට වුවමනා කරන්නේ අවිද්‍යාවෙන් තොර වූ කයක් පවත්වන්න නම් එදාට අපේ ආශ්වාස ප්‍රශ්වාසයෙන් අවිද්‍යාව නැහැ. අපට ඕනෙ අවිද්‍යාවෙන් තොර වචන පවත්වන්න නම් එදාට අපේ විතක්ක විචාර වල අවිද්‍යාව ඇතිවෙන්නෙ නැහැ. අපිට වුවමනා වෙන්නෙ අවිද්‍යාවෙන් තොර සිතක් පවත්වන්න නම් එදාට අපිට අවිද්‍යා සහගත සඤ්ඤා, වේදනා ඇති වෙන්නේ නැහැ. අවිද්‍යා සහගත සිතක් නැතිනම් මොකද වෙන්නේ? ඒ සිත සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. අවිද්‍යාව දුරු වූ ගමන් ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා.

පැහැදිලිව තේරුම් ගත්තොත් ඔබට තේරුම් යාවි නියම විදිහට ධර්මයේ හැසිරෙද්දී මේ අවිද්‍යාව වචී සංස්කාරවල ක්‍රියාත්මක වෙන හැටි. ඔබට ධර්මයේ හැසිරෙද්දී තේරුම් යාවි කය කෙරෙහි කොච්චර අවිද්‍යාව තියෙනවද කියල. ඊළඟට ඔබ තේරුම් ගනීවි මේ ආශ්වාස ප්‍රශ්වාස අවිද්‍යාව හා සම්බන්ධයි කියල ආශ්වාස ප්‍රශ්වාස අවිද්‍යා සහගතයි. ඒ වගේම විතක්ක විචාර අවිද්‍යා සහගතයි.

මේ චතුරාර්ය සත්‍යය අවබෝධ වෙනකොට මේ කය පිළිබඳව අවිද්‍යාවෙන් නිදහස් වෙනකොට ඔබේ විඤ්ඤාණය අවිද්‍යා සහගත වෙන්නෙ නැහැ කියා ඔබ තේරුම් ගනීවි. එවිට විඤ්ඤාණය උපතක් කරා සකස් වෙන්නේ නැතිව පිරිනිවන් පානවා

විඤ්ඤාණය

පටිච්ච සමුප්පාදයේ උගන්වන තුන්වන අංගය යන විඤ්ඤාණය ගැන මෙතැන් සිට කියා දෙනවා. මුලින් ම විඤ්ඤාණයේ සාමාන්‍ය ස්වභාවය අපි තේරුම් ගනිමු. ඒත් පටිච්ච සමුප්පාදයේ දී විස්තර කරන විඤ්ඤාණය ක්‍රියාවලිය ඊට වඩා 

වෙනස්. ඒක පටලවා ගන්න එපා, සාමාන්‍යයෙන් විඤ්ඤාණය කියන්නේ අපගේ සිතට. ඒත් සිතේ මනසේ, විඤ්ඤාණයේ සුළු වෙනස්කම් තියෙනවා. නමුත් සිත කියා ගත්තොත් මේක ලෙහෙසියි. කන්න ඕනෑ, නිදන්න ඕනෑ, වැඩපල කරන්න ඕනෑ, ධනය රැස්කරන්න ඕනෑ, ආදී වශයෙන් සිතන්නේ විඤ්ඤාණයයි.

අප ළඟ තිබෙන ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ගන්නා වූ වේදනා, සංඥා, සංඛාර ආදි වූ අරමුණුවල පටලවන්නේ මේ සිතයි. අප මුලාවට පත් කරලා සසර ඇවිද්දවන්නේ මේ සිතයි. මොහොතින් මොහොත වෙනස් වෙමින් යන දේවල් එහෙම වෙන්නේ නැහැ කියා සිතන්නේත් මේ සිතයි. ඒකයි මේකට මායුපමාඤච විඤ්ඤාණං කියා කියන්නේ, ඇත්තටම මේක මායාවක්, සත්‍යදේ අසත්‍ය ලෙසත්” අසත්‍ය දේ සත්‍ය ලෙසත් සිත අරමුණු කරගන්නවා. මේක විස්තර කරන කොට මෙහි තිබෙන මායාකාරී ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වේවි. ඒ වගේ ම විඤ්ඤාණය සහ නාම රූප අනෝන්‍යය ප්‍රත්‍යය වන නිසා නාමරූප පිළිබඳවත් කිසියම් පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.

සාමාන්‍යයෙන් කතා කරන විඤ්ඤාණයට වඩා පටිච්ච සමුප්පාදය ඉගැන්වෙන විඤ්ඤාණ ක්‍රියාවලිය වෙනස්ය. මේ විඤ්ඤාණයට හේතු ප්‍රත්‍ය හැටියට දක්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ – නාමරූපයයි. නාමරූපය යන්න මේ කාරණය පිළිබඳව බොහෝ දෙනා තුළ වැරදි අදහසක් තියෙනවා. දැන් මේ සියල්ලම නැතත් ඇතැම් පින්වතුන් දන්නවා ඇති පටිච්චසමුප්පාද ධර්මයේ අංග දොළහක් තිබෙන බව. අවිජ්ජාවෙන් පටන් ගෙන දුක දක්වා අංග දොළහක් තිබෙනවා. මේ අංග අතර විඤ්ඤාණයත් නාමරූපයත් අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍යය සම්බන්ධතාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ ‘විඤ්ඤාණ පච්චයා නාමරූපං’ විඤ්ඤාණය නිසා නාමරූපය පවතිනවා. නාමරූපය නිසා විඤ්ඤාණය පවතිනවා කියලා. පටිච්ච සමුප්පාද විග්‍රහයේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය වශයෙන් තිබෙනවා එතන පැහැදිලිවම. නමුත් ඇතැම් කෙනෙක් පංච උපාදානස්කන්ධය විග්‍රහ කිරීමේ දී ඒක පටලවා ගන්නවා මේ නාම රූපයත් එක්ක. දැන් උගතුන් කියනවා නාම රූපය තේරුම් කරන්න ගිහිල්ලා නාමරූපයේ රූපය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධයයි. නාම කියලා කියන්නේ අර අනිත් වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ හතරම ගන්නවා නාමය හැටියට. නමුත් ඒක අවුල්කර ගැනිල්ලක්. පංච උපාදාන ස්කන්ධ විග්‍රහයත්, පටිච්චසමුප්පාද විග්‍රහයත් පටලවා ගැනීමෙනිනුයි. ඒ විධියට කෙනෙක් කල්පනා කරන්නේ.

මොකද, බුද්ධ දේශනාවේ පැහැදිලිවම තිබෙනවා විඤ්ඤාණයට ප්‍රත්‍යයවන්නේ නාමරූපය. අන්න එතන තමා ගැඹුරුම එක. ඒ නාමරූපය පටිච්චසමුප්පාද ධර්මයට අනුව – නාමරූපය තුළින් තමයි ඊළඟට සළායතනය හැටියට බෙදිලා යන්නේ. සළායතන කියා ධර්මයේ දක්වලා තිබෙන්නේ – කොටින්ම විඤ්ඤාණ හයක් හැටියට. නිකම් විඤ්ඤාණයක් නැහැ. චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ 

විඤ්ඤාණ කියලා විඤ්ඤාණ හයක් තිබෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මන කියන අප ඉන්ද්‍රිය කියලා ගන්න ඒවා. ඒවායේ විඤ්ඤාණය තැන්පත් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පටිච්චසමුප්පාද ධර්මයට අනුව විඤ්ඤාණයත් හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇතිවන එකක්. ‘අඤ්ඤත්‍ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්භවො’ ප්‍රත්‍යයන්ගෙන් තොරව විඤ්ඤාණයක් හටගන්නේ නැහැ කියනවා. එතන තමා ගැඹුරුම දේ. එතකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ‘ද්වයං භික්ඛවේ පටිච්ච විඤ්ඤාණං සමේහාති’ දෙකක් නිසයි විඤ්ඤාණය ඇති වන්නේ. මොකද්ද දෙක, ඇසයි රූපයයි. ඇසයි රූපයයි නිසා චක්ඛු විඤ්ඤාණය ඇතිවෙනවා. කනයි ,ශබ්දයයි නිසා සෝත විඤ්ඤාණය ඇතිවෙනවා. දැන් මේ වචනයකට කන් දෙන්නේ ඒ අවස්ථාවේ ශබ්දය ඇහෙන්නේ නැත්නම් සෝත විඤ්ඤාණයක් නැහැ ඒ අවස්ථාවේ. නමුත් අප සිතනවා කන තිබෙන නිසා සෝත විඤ්ඤාණයක් තිබෙනවා කියලා. ඒක වැරදි අදහසක්. ගිනි පෙට්ටියේ ගින්දර තියෙනවා කියලා සිතීම වගේ. ගිනිකූර ගැහුවට පස්සෙ නේ ගින්දර එන්නේ. මේක සවිඤ්ඤාණක කය බව ඇත්ත. විඤ්ඤාණය සහිත කය. නමුත් විඤ්ඤාණය මතුවන්නේ හය ආකාරයකට ඒකට ප්‍රත්‍යය එකතු වුනාමයි. අන්න එහෙම සිතාගන්න. එතකොට ඇසත් රූපයත් නිසයි. එතනයි බොහෝ දෙනාට වරදින්නේ. ඇසත්, රූ පයත් නිසයි චක්ඛු විඤ්ඤාණය. කනත් ශබ්දයත් නිසයි සෝත විඤ්ඤාණය. ඒ විදියට අන්තිමට ම එන්නේ මනසත් මනසට අරමුණු වන ‘ධම්ම’ කියන ‘දෙයත්’ මනසට අරමුණු වුණ කාරණයත්, ඒ දෙක එකතු වුණ තැනයි මනෝ විඤ්ඤාණය පවා ඇති වන්නේ, ඔන්න ඔය විදිහේ මහා ගැඹුරු කාරණයක්.

විඤ්ඤාණය නිසා නාමරූපය පවතිනවා. නාමරූපය නිසා විඤ්ඤාණය පවතිනවා. දැන් විදර්ශනා භාවනා යෝගියා ඒ ඒ සිතට එන අරමුණු හැම එකක් ම නාම රූප හැටියටයි සළකන්නේ. ඇසට එන රූපය හෝ වේවා කනට එන ශබ්දය හෝ වේවා එතන තියෙන්නේ නාමරූප කියලා. මොකක් ද මේ ‘නාමරූප’ ඔන්න එතකොට තේරුම් ගන්න බලනවා. නාමය කියන්නේ අප කවුරුත් පාවිච්චි කරනවා නම කියලා. නමුත් මෙතන මේ සම්මුති නාමයක් නොවේ. මෙතන කියන්නේ ‘කුමක්ද මහණෙනි නාමය? වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර මේවා නාම ධර්ම. එතකොට රූප හැටියට දක්වන්නේ අර කලින් කිව්වා නේ මහා භූත හතර දෙනා එකට අල්ලාගෙන උපාදානය කරගෙන ඇති කර ගන්නා රූප සංඥාවයි මේ රූප කියලා කියන්නේ. එතකොට නාම රූපය කියල කියන්නේ එතනම තියෙනවා අර කෘත්‍රිම ස්වභාවයක්. රැවටිලි ස්වභාවයක්. විඤ්ඤාණයට එන අරමුණේ රැවටිලි ස්වභාවය එතන නාමරූප කියන වචනයෙන් පෙන්නුම් කරන්නේ. නාමය තනිව සිට ගන්නේ නැහැ. නාමය උපකාර කරගෙන රූපය පවතිනව. රූපය උපකාර කරගෙන නාමය පවතිනව. මෙතනත් කියනව හේතු ප්‍රත්‍ය සම්බන්ධයක්. යමක් අප හඳුනා ගන්නේ වේදනාව සංඥාව ඒ පිළිබඳව ඇතිවන චේතනාව ඊළඟට ඒකට මනසිකාරය යොමු කරන තැනක් තියනවා ස්පර්ශය. ඒ කාරනා ආශ්‍රයෙන් තමා අප රූප ධර්ම පවා හඳුනාගන්නේ. ඒවායේ ඝන බව ඒවායේ තද බව, බුරුල් බව, උෂ්ණ බව, සීතල 

බව ආදි වශයෙන් අප අඳුනා ගන්නේ ඔන්න ඔය කියාපු වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර කියන නාම ධර්ම ආශ්‍රයෙන්. ඊළඟට ඒ අඳුනා ගැනීම තුළින් අප මේක ‘රූපයක්’ කියලා ගන්නවා. හරියට අන්ධයෙක් ගිහිල්ලා මොකක් හරි හැපුනාම ඒ හැපුන දෙය දෙයක් කියල ගන්නවා වගෙයි. සාමාන්‍ය ලෝකයා අර සක්කාය දිට්ඨිය තුළින් මේක දෙයක් හැටියට ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මෙතන තියෙන්නේ මේ ඡායාවක් පමණයි. අප අර කොතෙකුත් උපමා පෙන්නුවා.

බුදුරජාණන් වහන්සේත්, පුණ්ණ මන්තානි පුත්ත ස්වාමීන් වහන්සේත්, ආනන්ද ස්වාමීන් වහන්සේත් ප්‍රකාශ කරලා තියෙනවා අර කන්නාඩියක් අල්ලාගෙන බලන කොටයි මේ මමය කියල කියන්න පුළුවන් වන්නේ. ඒ වගේ රූපය අල්ලාගෙනයි ‘අස්මි’ ‘වෙමි’ කියන අදහස ඇතිකරගන්නේ. ඒවගේ ම වේදනා. යම්කිසි දෙයක් අල්ලා ගැනීමෙනුයි. ඒකටයි උපාදාන කියලා කියන්නෙත් ඒකයි. ඒ අල්ලා ගැනීම තුළ තියෙනවා දෙකක් පිළිබඳ හැඟීම. එතකොට ඒක සිතට වැටහෙන්නේ අර අල්ලාගැනීම තුළින්. අත්හැරිය අවස්ථාවේ දී ඒක නැහැ. නමුත් අත්හරින්න කැමති නැහැ. එතකොට ඒ අල්ලා ගැනීම තුළින් ‘වෙමි’ කියන අදහසක් එනවා. ඕකයි ලෝකයාට තියන ලොකුම ප්‍රශ්නය. අර ඒ දණ්ඩ උඩ සුනඛයාගේ උපමාව සමහර අවස්ථාවල දක්වන්නේ ඒකයි. සුනඛයෙක් ඒ දණ්ඩ උඩින් යනකොට උගේ ම රූප යට රැවටෙනවා. තවත් සුනඛයෙක් කියලා ගොරවනවා එහෙම නැත්නම් වල්ගය වනනවා. එහෙම නැත්නම් විටින් විට සැරෙන් සැරේ බලනවා. මේ වතුරේ තියෙන පිළිබිඹු කරන ස්වභාවය නොදන්නා නිසා. ඒ වගේ ම තමා විඤ්ඤාණයෙත් තියෙනවා පිළිබිඹු කරන ස්වභාවයක්. ප්‍රත්‍යවේක්ෂා නමින් හඳුන්වන්නේ. අන්න ඒ තත්ත්වය ගැන නොදන්නා නිසා තමා ලෝකයා තමන්ට පෙනෙන දේවල් ඒ ඒ හැටියට ම තියෙනවා කියලා සිතන්නේ. නමුත් විදර්ශකයාට ක්‍රම ක්‍රමයෙන් පෙනෙනවා අන්න අර ඒවා තුළ තියෙන්නේ නාමධර්ම සමූහයකුත් රූප ධර්ම සමූහයකුත් පමණයි කියලා.

නාම රූප

සත්ත්ව ජීවිත තුළ විද්‍යමාන යථා ස්වරූපය අවබෝධ කිරීම අතිශයින්ම දුෂ්කර වන්නේ සම්මුති ස්වභාවයෙන් පරමාර්ථ ලක්‍ෂණයන් වැසී පවත්නා හෙයිනි. සත්ත්ව යනු නාම-රූප ධර්ම පරම්පරාවකි. නාම-රූප හටගැනීමේ හේතු වශයෙන් පටිච්චසමුප්පාද විග්‍රහයෙහි දැක්වෙන්නේ විඤ්ඤාණයයි. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාම-රූපවල පහළ වීම වේ. එසේ ම විඤ්ඤාණ සහ නාම-රූප යන කරුණු ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන බව ද දත යුතු ය. මෙහි දී විග්‍රහ කරනුයේ විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාම-රූප ධර්මවල පහළ වීම සහ නාම-රූප පිළිබඳ දීර්ඝ වූ විග්‍රහයකි. නාම-රූප ධර්ම ස්වභාවය බුදුරදුන් විසින් විග්‍රහ කරන ලද්දේ පහත අයුරිනි:

“ඇවැත්නි කොට්ඨීතයෙනි, නාම-රූප තමා විසින් කරන ලද්දේ නො වේ. නාම-රූප 

අනුන් විසින් කරන ලද්දේ නො වේ. නාම-රූප තමා විසින් කරන ලද්දේත් අනුන් විසින් කරන ලද්දේත් නොවේ. නාම-රූප තමා විසිනුත් නොකරන ලද්දේ මෙරමා විසිනුත් නොකරන ලද්දේ ඉබේ හටගත්තේත් නොවේ. එහෙත් විඥාන ප්‍රත්‍යයෙන් නාම-රූප වෙයි.”

ජීවිතය තමාට අයත් දෙයක් හෝ තමා විසින් උපදවාගත්තක් ලෙස චින්තනය මෙහෙයවමින් කටයුතු කරන බව පෙනේ. එය මුළාබවක් බව දත යුතුය. ඇතැම් විට දෘෂ්ටිගත වූවන් කල්පනා කරනුයේ මේ ජීවිතය කවර වූ හෝ සර්වබලධාරි දෙවියකු විසින් මවනු ලැබ ඇති බවය. තවත් වරක මේ ජීවිතය කිසිදු හේතු ප්‍රත්‍යයකින් තොරව ඉබේ හටගෙන ඇති බවක් දක්වයි. මේ සියලු දෘෂ්ටි බැහැර කොට පටිච්චසමුප්පාද න්‍යායයෙන් ජීවිත පැවැත්ම විග්‍රහ කිරීමෙන් එහි හටගැනීමේ සැබෑ හේතු අවබෝධ කරගැනීමේ හැකියාව පවතී. නාම-රූප ස්වභාවය විවිධ ස්වරූපයෙන් දත හැකිය. ‘නාම’ වශයෙන් මෙහි විග්‍රහ කොට ඇත්තේ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ හතරයි. ‘රූප’ යනු අටවිසි රූපයි. නාම-රූප ධර්ම පිළිබඳ සිදු කළ විග්‍රහයන් කොතෙකුත් දත හැකිය.

“නාමඤ්ච-රූපඤ්ච ඉධත්‍ථි සච්චතො

න හෙත්‍ථ සත්තො මනුජොව විජ්ජති

සුඤ්ඤං ඉදං යන්ත මිචාභිසංඛතං

දුක්ඛස්ස පුඤ්ජො තිණකඪ්ඪ සාදිසො”  – විසුද්ධිමග්ගය

(මෙහි සත්‍යය වශයෙන් පවතිනුයේ නාම-රූප යුගලය පමණකි. සත්ත්වයකු පුද්ගලයකු දක්නට නොලැබේ. සත්ත්ව පුද්ගල භාවයෙන් හිස්ය. නොයෙක් අංගයන්ගේ සංයෝගයෙන් නිපන් යන්ත්‍රයක් මෙනි; දුක් ගොඩකි)

‘‘යමකං නාමරූපඤ්ච – උභො අඤ්ඤොඤ්ඤ නිස්සිතා

එකස්මිං භිජ්ජමානස්මිං – උභො භිජ්ජන්ති පච්චයා’’

– විසුද්ධිමග්ගය, දිට්ඨිවිසුද්ධි නිද්දේසය, 884 පිටු.

නාම-රූපයන්ගේ සබඳතාව ඔවුනොවුන් පිහිට කොට පවතින්නකි. ඉන් එකක් බිඳී යන කල්හි ප්‍රත්‍ය නැතිව අනෙකද බිඳී යන්නේය. ජීවිතය නාම-රූප ධර්මයන්ගේ එකතුවෙන් පවතින්නකි; මනුෂ්‍ය ලෝකය වැනි පඤ්චවෝකාර භවයන්හි නාමරූපයන් ඔවුනොවුන් ප්‍රත්‍ය කොට පවතී. නාමරූපයන්ගේ මේ සබඳතාව නලකලාප සූත්‍රයෙහි බටමිටි දෙකක් උපමා කොට දක්වා ඇත. බටමිටි දෙකක් එකිනෙකට හේත්තු කොට සමබරව තබා ඇති විට යම් හෙයකින් එකක් වැටුණු කළ අනෙකද වැටෙන්නා සේ නාමය බිඳී ගිය කල්හි රූපයද බිඳී යයි. යම් විටෙක රූපය බිඳි යන කළ ප්‍රත්‍යය නොමැතිව නාමයද බිඳී යයි. සැම විටෙකම ඔවුනොවුන් ප්‍රත්‍ය කොට පවතී. රූපයට දැඩි ලෙස හානි පැමිණි විට තවදුරටත් නාමධර්මයන්ට ඒ කය ඇසුරු කොට පැවතීමට රූපයේ උපකාරයක් නැති වේ. 

එවිට නාමධර්මය හෙවත් ප්‍රධාන වශයෙන්ම විඤ්ඤාණය එයින් ඉවත් වේ. එවිට සත්ත්වයා මිය ගියේයැයි කියනු ලැබේ. නාමධර්මයන්ගේ උපකාරයකින් තොරව රූපයේ පැවැත්මක් නොවේ. විඤ්ඤාණය ශරීරයෙන් ඉවත් වූ කළ ශරීරයෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත. එහි එතැන් සිට වැඩීමක් නොවේ. මොහොතින් මොහොත අභාවයටම පැමිණේ.

නාම ධර්ම

මානසික පැවැත්ම හෙවත් නාමධර්මයන්ද රූපයට මහත් බලපෑමක් සිදු කරයි. ද්වේෂය, කෝපය වැනි මානසික ධර්ම සිත තුළ පවත්නා අවධියෙහි රූපය අතිශයින් ම පීඩාවට පත් වේ. අධික ද්වේෂය හේතුවෙන් පුද්ගලයෝ සියදිවි හානි කරගැනීමට පවා පෙලඹෙති. නාමධර්මයන් මෙසේ මහත් බලවත් බව දත යුතුය. සතර මහා ධාතූන්ගෙන් හටගත් රූපය යම් විටෙක දුබල වී නම් නාමධර්මයද බලවත් නොවේ. ශරීරයේ යම් රෝගයන් හටගැනීමෙන් මානසික ස්වභාවයද වෙනස් වේ. ඇතැම් විට ශරීරයට අයෝග්‍ය ආහාර අනුභවයෙන් ශරීරයේ නීරෝගි භාවය වෙනස් වේ. එනම් සතර මහා ධාතු සමව නොපවතී. එවන් අවස්ථාවන්හි මානසිකව ශක්තිමත්ව කටයුතු කිරීමට අපහසු වේ. ථීනමිද්ධාදි අකුසල චෛතසික ධර්මයන්ගෙන් සිත මැඬපවත්වයි. භාවනා කර්මස්ථානයන් වඩන යෝගාවචරයන්ට සැමවිටම ශරීරයට ප්‍රත්‍යය වූ ආහාර අනුභවයට උපදෙස් දෙනු ලබයි. එයට හේතුව කායිකව දුබල වූ කල්හි සිත වැඩීමට එයින් බාධා පැමිණේ. ඇතැම් විට ධ්‍යාන උපදවා සිටි අය පවා ශරීරයේ පවත්නා රෝගාබාධ හේතු කොටගෙන එයින් පිරිහී ඇත. සංයුත්ත නිකායේ මාර සංයුත්තයේ ගෝධික සූත්‍රය මේ සඳහා නිදසුන් සපයයි. ගෝධික තෙරුන් කිහිප විටෙකදීම ධ්‍යාන උපදවාගත් නමුදු ශරීරයේ පවත්නා රෝග හේතුවෙන් එයින් පිරිහුණු බව දක්වා ඇත. පසුව ධ්‍යානය ඇති අවස්ථාවේ සියදිවි හානි කරගැනීමට ගොස් එයින් හටගත් වේදනාව අරමුණු කොට රහත් වූ බව දැක්වේ. මේ අනුව නාම ධර්මයන්ගේ ශක්තිමත් පැවැත්ම සඳහා පඤ්චවෝකාර භවයන්හි රූපයේ උපනිඃශ්‍රයද පැවැතිය යුතු බව තේරුම්ගත යුතුය.

විදර්ශනා ඥානය

අරූප ලෝකයන්හි රූපයේ උපනිශ්‍රයක් නැති හෙයින් සිත රූපයෙන් තොරව පවතී. එහි විද්‍යමාන වන්නේ නාම ධර්මයන් පමණි. මනුෂ්‍ය ලෝකයන් තුළ ජීවත් වන මිනිසුන් නිරන්තරයෙන් ම කායික පැවැත්මක් දක්නා හෙයින් ඔවුන්ගේ චින්තනය සකස් වී පවත්නේ රූපය ‘මම’ වශයෙන් ගැනීමෙනි. රූපයෙන් තොරව පවත්නා ජීවිතයක් පිළිබඳ ඇතමුන්ට තේරුම් ගත නොහැකිය. රූපයෙන් තොරව නාම ධර්මයන් පමණක් පවතින්නේ කෙසේද යන ගැටලුව මතු කරයි. මෙහි දී තේරුම්ගත යුතු කරුණ නම් අප අපගේ ජීවිතය මේ ආකාරයෙන් යුක්තයැයි ප්‍රපඤ්ච ගොඩනඟා සිටියද එහි යථාර්ථවත් පැවැත්ම නම් නාමරූප පමණි. එහි සත්ත්ව පුද්ගල ස්වභාවයක් නැත. වටහාගැනීමට අපහසු කරුණ නිත්‍ය 

වශයෙන් පවත්නා සත්ත්වයකු හෝ පුද්ගලයකු නොපවත්නා බවය. මේ සඳහා කළ යුතු වැදගත්ම කරුණ නම් විදර්ශනා ඥානයකින් යුක්තව පවත්නා ස්වභාවය නුවණින් දැකීමට කර්මස්ථාන උපයෝගි කොටගෙන උත්සාහ කිරීමය. නාම-රූප පැවැත්ම කිසියම් දෙවියකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් ඔවුන්ගේ බලයකින් සිදු කරන ලද්දක් නොව, හේතු ප්‍රත්‍යයන්ගේ උපකාරයකින් පවතින්නකි. සසර පුරා කර්ම, විඥාන ආදියෙහි උපකාරයෙන් මේ ධර්ම දිගින් දිගට පවතී. යම් හෙයකින් නාම-රූපයන්ගේ හටගැනීමට උපකාරි වන හේතු නිරුද්ධ කළේ නම් නැවත නැවත නාම-රූපයන් කිසිදු භවයක පහළ නොවේ. එයට හේතු නම් ඒ ධර්ම හටගැනීමේ හේතු නිරුද්ධ කළ හෙයිනි. එවිට සත්ත්වයකු හෝ ජීවියකු කිසිදු භවයක් තුළ විද්‍යමාන නොවේ. භවය යන කරුණ විද්‍යමාන වන්නේ නාමරූපයන් පවත්නා හෙයිනි.

සත්ත්ව පුද්ගල ජීව ස්වභාවයන් විද්‍යමාන වන්නේ නාමරූපයන්ගේ පැවත්ම පවත්නා කළ පමණි. නාම-රූප නිරෝධයෙන් ජීවිත පැවැත්මද නිරුද්ධ වේ. දීර්ඝ කාලයක් පුරා සත්ත්ව පුද්ගල යන ස්වභාවයක් පවතී යන චින්තනයෙන් යුක්තව කටයුතු කළ පුද්ගල තෙමේ පවත්නේ නාම රූපයක් පමණි යන කරුණ පිළිගැනීමට මැළිකමක් දක්වයි. අවිද්‍යාවෙන් යුක්තව පිළිගන්නා මේ කරුණ හේතුවෙන් පවත්නා දෘෂ්ටිය දුරු කිරීම අතිශයින් දුෂ්කරය.

පූර්ව කර්ම

කරුණු මෙසේ හෙයින් විවිධ පර්යායන් උපනිඃශ්‍රය කොටගෙන මේ කරුණ තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු ය. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් හටගත්තේ නාම-රූපයක් පමණි යන්න නුවණින්ම දත යුතුය. එහෙත් එවන් අවස්ථා තුළ මේ මොහොතේ ජීවත් වන්නේ කවුරුන්ද යන ගැටලූව පැන නගී. එය නාම-රූපයක් වශයෙන් පමණක් දැකීමට උත්සහ ගත යුතුය. පූර්වකර්ම ප්‍රත්‍යයෙන් හටගත් නාමරූපයන් බොහෝ විට එයට අනුරූපී හේතු පවත්නා තාක් පමණක් පමණි. තමා කෙතරම් උත්සහ කළද ඇතැම් විට පවත්නා ස්වභාවයන් වෙනස් කිරීමට අපහසු වේ.

කොතරම් දුක් වින්දද ජීවිතය පිළිබඳ නුවණින් කලකිරීමට පත් නොවේ. නැවත කවරදා නමුදු සැපයක් ලැබේය යන අදහසින් යුක්තව කටයුතු කරයි. එහෙත් මෙහි යථා ස්වභාවය නම් සසරේ ඒ ඒ භවයන් තුළ පහළ වූ නාම-රූපයන් ඒ ඒ භවයන් තුළම නිරුද්ධ වී ඇත.

පටිච්චසමුප්පාදය

පූර්ව භවයෙන් කිසිවක් මේ ජීවිතයට පැමිණ නැත. පරම්පරා වශයෙන් පවත්නා නාම-රූප පමණක් පවතී. ඒවාද මේ භවයට පූර්වයෙන් පැමිණි දෙයක් නොව, පූර්වකර්මයන්ට අනුව මේ භවයෙහිම පහළ වූ ධර්මයි. පටිච්චසමුප්පාදය 

විමසීමෙන් මේ පාදය දැකිය යුතුය යන්නෙන් දක්වා ඇත්තේ මේ කරුණ පාදක කොටගෙනය. නාම-රූපයන්ගේ යථා ස්වභාවය දැන ඒ සඳහා ප්‍රත්‍ය වන කරුණු මනාව අවබෝධ කොට ජීවිතයේ යථා පැවැත්ම මේ කරුණු පාදක කොට පවත්නා අකාරය නුවණින් දැක නැවත කිසිදු භවයක නාම-රූප පහළ නොවන ආකාරයට සන්තානය හසුරුවාගැනීමට උත්සාහ ගත යුතුය

සළායතන

මේ කියන කාරණා හතර හොඳින් අවබෝධ කරගත්ත නම් සළායතන මුල් කරගෙන චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න පුළුවන් වෙනවා.

චක්ඛායතන, සෝතායතන, ඝාණායතන, ජිව්හායතන, කායායතන, මනායතන කියන ආයතන හයක් මුල් කරගෙන සළායතන හටගන්නවා. ඒ වගේම යුගල වශයෙන් එකට බැඳුනු දෙකක් එක් ආයතනයක් වශයෙන් අරගෙන තවත් විදිහකටත් ආයතන හයක් පෙන්වනවා.

චක්ඛායතන – රූපායතන

සෝතායතන – ශබ්දායතන

ඝාණායතන – ගන්ධායතන

ජිව්හායතන – රසායතන

කායායතන – පොට්ඨබ්බායතන

මනායතන – ධම්මායතන

ඇස, කන, නාසය, දිව, කය, මන ආයතන වශයෙන් ගත්තොත් සළායතන තෝර ගන්න බැරි වෙනවා. යමකප්‍රකරණයේ මේ විදිහට විග්‍රහ වෙනවා.

චක්ඛු චක්ඛායතන වේද? චක්ඛායතන චක්ඛු වේද ?

චක්ඛු චක්ඛු වේ. චක්ඛායතන නොවේ.

චක්ඛායතන චක්ඛායතන වේ. චක්ඛු නොවේ.

සෝත සෝතායතන වේද? සෝතායතන සෝත වේද ?

සෝත සෝත වේ. සෝතායතන නොවේ.

සෝතායතන සෝතායතන වේ. සෝත නොවේ.

ඝාණ ඝාණායතන වේද? ඝාණායතන ඝාණ වේද ?

ඝාණ ඝාණ වේ. ඝාණායතන නොවේ.

ඝාණායතන ඝාණායතන වේ. ඝාණ නොවේ.

ජිව්හා ජිව්හායතන වේද? ජිව්හායතන ජිව්හා වේද ?

ජිව්හා ජිව්හා වේ. ජිව්හායතන නොවේ.

ජිව්හායතන ජිව්හායතන වේ. ජිව්හා නොවේ.

එහෙම නම් ඇස, කන, නාසය, දිව, කය, මන කියන ඉන්ද්‍රියන්ගේත් චක්ඛායතන, සෝතායතන, ඝාණායතන, ජිව්හායතන, කායායතන, මනායතන, කියන ආයතනයන්ගේත් වෙනස මොකක්ද ? ඇස, කන, නාසය, දිව, කය  කියන ඒවා රූප ධාතූන්ට අයිතියි. ඒවා සතර මහා භූතයන්ගෙන් උපන් දේවල්. එහෙනම් මේ කියන්නා වු ආයතන මොනවද ? හිත හා සම්බන්ධව අභ්‍යන්තරයෙන් උපදින සසර ගමනට හේතු වන සළායතන.

” නාම රූප පච්චයා සළායතනං

නාම රූප නිරෝධා සළායතන නිරෝධෝ ”

නාම රූප ප්‍රත්‍යයෙන් සළායතන හැදෙනවා. නාම රූප නිරෝධයෙන් සළායතන නිරෝධ වෙනවා. අපි දැනගන්න ඕන, හැදෙන සළායතන මොනවද, නිරෝධ වෙන සළායතන මොනවද කියල. අරිහත්වයට පත්වුනාම සළායතන නිරෝධයි. ඇස, කන, නාසය කියන දේවල් පේන්න තියෙනවා. සළායතන කිව්වෙ ඇස, කන, නාසය, දිව, කය, මන නෙවෙයි. එහෙනම් ආයතන කියන එක තේරුම් ගන්න ඕන.

අපේ පැරණි අය මේ ඇස, කන, නාසය, දිව, කය, මන ආදියෙන් හැදුන ශරීරයට ශරීර කූඩුව කියල කිව්වා. ඇයි මේකට ශරීර කූඩුව කියල කිව්වෙ ? සළායතන නිරෝධ කළොත් මේක කූඩුවක් විතරයි. වෙළඳපොලෙන් කූඩුවක් ගෙනැවිත් අපි ඒකට දානවා හා පැටියෙක්. දැන් මේකට කියනවා හා කූඩුවක් කියල. ඌ ඉවත් කරල ගිරවෙක් දැම්මම ගිරා කූඩුව කියනවා. මේ අනුව ඇතුලට දාල ඉන්න සතා අනුව කූඩුවේ නම වෙනස් වෙනවා.

ආයතන තෝරාගන්න තවත් නිදසුනක් බලමු. ගමේ නිවසක යම් කිසි ග්‍රාමීය බැංකුවක් පටන් ගන්නවා. ඒකෙ කෙරෙන වැඩ පිළිවෙල අනුව ඒකට කියනවා ග්‍රාමීය බැංකු ආයතනයක් කියල. ඒ නිවසෙම ඒ මුදල් කටයුතු ඉවත් කරල පශු වෛද්‍ය වැඩපිළිවෙලක් පටන් ගන්නවා. දැන් ඒක පශු වෛද්‍ය ආයතනයක්. නිවස තුළ කෙරුන වැඩපිළිවෙලේ වෙනස නිසයි මෙහෙම වුනේ.

එහෙම නම් ඇසක ආයතන හැදෙන්නෙ කොහොමද ? ඇස රාග සහගත වැඩපිළිවෙලකට යොදා ගත්තොත්, රාගයට මුල් වුන චක්ඛායතනයක් වෙනවා. බැඳීම අත් හරවන්න බෑ. ද්වේශයට පත්වෙලා ගැටෙන දේකට යොදා ගත්තොත්, ද්වේශය මුල් කරගත් අදහස් ඇස තුල බැස ගන්නවා. ඒ විදිහට කැමැත්තෙන් ලෝකයේ පැවැත්මට බැඳිල ඒ සඳහා ඇස ක්‍රියාත්මක කරන්න හිතුවොත්, ඇස ඒ කටයුතු සඳහා ආයතනයක් බවට පත්වෙනවා. මේ විදිහට ලෝකයේ පැවැත්මට අවශ්‍ය කටයුතු සඳහා ලෝකය වටිනවා කියල හිතුවෙ අවිද්‍යාවේ නිගමනයකින්. මේ විදිහට පංචකාම සම්පත්ති හොඳයි කියල ඒ පසු පස හඹා යන්න මේ ඇස, කන නාසය, දිව, කය, මන යොදා ගත්ත නම්, ඒවාට ඉන්ද්‍රිය වශයෙන් පවතින්න 

නිදහස නෑ. ඒවා යම් වැඩකට යොමු කරල යමක් එකතු කරගන්න අවශ්‍ය ස්ථාන බවට පත් කර ගත්ත නම් අයස්ථාන හෙවත් ආයතන බවට පත් වෙනවා.

ඒ විදිහට පංචකාම සම්පත්ති විඳින කොට ඒ ඉන්ද්‍රිය හය තුළ වැඩසටහන් හයක් ක්‍රියාත්මක වෙනවා. බලන වැඩසටහනක් ඇස තුල, අහන වැඩසටහනක් කන තුල, ආඝ්‍රාන කරන වැඩසටහනක් නාසය තුල, රස විඳීමේ වැඩසටහනක් දිව තුල, පහස විඳීමේ වැඩසටහනක් කය තුල, හිතන වැඩසටහනක් මන තුල. . . මේ ආකාරයෙන් වැඩසටහන් හයකට ස්ථාන හය ක්‍රියාත්මක කරවන කොට ආයතන හයක් ගොඩනැගෙනවා. ඉන්ද්‍රිය, ඉන්ද්‍රියන් හැටියට තියන්නෙ නැතුව ආයතන බවට පත් කර ගත්තා. මොකක් නිසාද ? අවිද්‍යාව නිසා ඡන්ද රාගයෙන් වෙලිල අත් ඇරල ඉන්න බෑ. නොඇලී මිදිල ඉන්න බෑ. මේ අනුව ඇස කියන මස් ගුලියවත්, කන කියන මස් ගුලියවත්, නෙවෙයි ආයතන කියන්නෙ. ඡන්ද රාගයෙන් බැඳිල හැදිල සකස් කර ගත්ත වැඩ පිළිවෙලටයි ආයතන කියන්නෙ. මේ අනුව අපට පේනවා, සළායතන නම් නිරෝධ කරන්න පුළුවන් කියල. මේ අනුව මොහොතක් මොහොතක් පාසා සළායතන නිරෝධ කරගෙන ගිහින් අරිහත්වයේදි සියලුම සළායතන නිරෝධ කරනවා.

ඇලෙන ගැටෙන දේවල් පිළිබඳ ආසාවෙන් පැවැත්ම හොඳයි කියල, අනිච්ච වු දුක්ඛ වු අනත්ත වු ඒ පැවැත්මට තිත තිව්වොත් ඒ බලාපොරොත්තු වන සැනසීම මායාවක් විතරයි. ඒක ඇසුරු කරන්න ගිහින් විඳින්නෙ දුකක්, ගින්නක්. කැඩෙන බිඳෙන විනාස වෙන දේ, කඩන බිඳින විනාස කරන දේ ඇසුරු කරගෙන ඒවායින් යහපතක් බලාපොරොත්තු වුනා නම්, ඒ වෙනුවට ලැබෙන්නෙ දුකක්, නැත්තම් අසහනයක්මයි. ආස්වාදයකින් මේ තත්ත්වය වැහෙන නිසා ඇස පේන්නෙ නැතුව යනවා. සත්‍යය වැටහෙන්නෙ නැතුව යනවා. ඒ අනුව සළායතන වැටහෙන්නෙ නැතුව යනවා. ඒවා පසුපස හඹා යන මානසිකත්වයක් ගොඩනැගෙනවා. අවිද්‍යාව මුල් කරගෙන සළායතන හට ගන්නේ මේ විදිහට.

” අවිද්‍යා පච්චයා සංඛාරා          – අවිද්‍යා සම්පයුක්තා

සංඛාර පච්චයා විඤ්ඤාණං   – සංඛාර සම්පයුක්තා

විඤ්ඤාණ පච්චයා නාමරූපං – විඤ්ඤාණ සම්පයුක්තා

නාමරූප පච්චයා සළායතනං – නාම රූප සම්පයුක්තා”

මේ අනුව සළායතනවල අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප කියන හතරම සමව යෙදිල තියෙනවා. යම් විදිහකින් අවිද්‍යාව නිරෝධ කරගත්ත නම් සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන සියල්ල නිරෝධයි.

සළායතන නිරෝධ කරන්න නම්, සළායතන කියන්නෙ මොනවද කියල මේ විදිහට දකින්න ඕන. සළායතනවලට හේතුව යථාර්ථය නොදැන ඒවා පිළිබඳ ඡන්ද රාගයෙන් බැඳීම බව දකින්න ඕන. සළායතනවල නිරෝධය දකින්න ඕන. සළායතන නිරෝධ කිරීමේ මාර්ගය වශයෙන්, ඒකෙන් අත්හැරී නොඇලී මිදීම 

සඳහා ඒකෙ ආදීනව දැකල අසාරත්වය වටහාගෙන ඒකෙන් මිදෙන්න ඕන.

ඒ අනුව සළායතන නිරෝධ කිරීමෙන් අත්වන නිවන ශාන්තයි ප්‍රණීතයි කියල දැකගත්ත නම් ඒ සඳහා අවශ්‍ය මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියල දැනගෙන ඒ මාර්ගය වඩන්න ඕන.

කිසිම අවස්ථාවක සළායතන කෙරෙහි බැඳීමේ රැඳීමේ අවශ්‍යතාවයක් නැත්නම්, මේ ආකාරයෙන් ඡන්ද රාගය දුරු වුනාද, සළායතනයන්ගේ බැඳීම එයින් කෙළවර වෙනවා. ඒ බැඳීම කෙළවර කරන්න නම් සළායතනයන්ගේ අසාර බව දකින්න ඕන. සළායතන සාරයි කියල හිතාගෙන හිටියොත් ඇස, කන, නාසය, දිව, කය, මන සහ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම කියන දේ තුල හිත හසුරවන්න හිතෙනවා. එතකොට විවේක නිශ්‍රිත තත්ත්වයක් නෑ රාගිකව ඉන්නෙ. ඒ වගේම සැරිසරමින් ඉන්නෙ. නැත්නම් සංසර්ගයේ ඉන්නෙ. නිරෝධයක් හෙවත් වොස්සග්ග පරිණාමයක් නෑ.

බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිණාම කියන සතර ආකාරයෙන් මේ ආර්ය මග වඩන්න කියල.

ස්පර්ශය

සසර දුකට හේතු වෙන යම් ස්පර්ශයක් ගොඩනැගෙනව නම්, ඒ කෙබඳු ස්පර්ශයක්ද කියල ධර්මානුකූලව තේරුම් ගත්ත දාට, මේ පටිච්ච සමුප්පාදය තුලින් දුක හට ගන්න ආකාරය දැකල නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා.

ලීයකට ලීයක් ගෑවෙන එකත් ස්පර්ශයක්. ඒ වගේ ඇහැකට රූපයක් පෙනෙන එකත් එක්තරා ස්පර්ශයක්. අපි දැන ගන්න ඕන, අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න ස්පර්ශය මොකක්ද කියල. අවිද්‍යාව මුල් කරගෙන සසර ගමනට හේතු වෙන ස්පර්ශයක් ලැබෙනවා නම් ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා භව. . . ආදී වශයෙන් ඒක මතු ජාතියකට හෙවත් සසර ගමනට හේතුකාරක වෙනවා. ඒකට කියනවා සංඵස්ස කියල.

හේතු, ප්‍රත්‍ය, අඤ්ඤ මඤ්ඤ, සම්පයුක්ත කියන සතර ආකාර පට්ච්ච සමුප්පාද ක්‍රම රටාව තුලින් මේ ස්පර්ශය අවිද්‍යාව සමග සම්බන්ධ වෙන හැටි දකින්න පුළුවන්. ඇහැට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක් වශයෙන් ස්පර්ශ වෙනකොට ඊට අනුකූලව අපි මනසේ ස්පර්ශයක් ගොඩනගා ගන්නවා. ඒ විදිහට ගොඩ නගාගන්න සංස්පර්ශය අපි භුක්ති විඳිනවා.

යම් කිසි කෙනෙකුට දරුවෙක් ඉන්නව නම්, ඒ මගේ පුතා කියල ස්පර්ශයක් හටගන්න පුළුවන්. මේ ආකාරයෙන් දියණියක්, ස්වාමිපුරුෂයෙක්, භාර්යාවක්. . . ආදී වශයෙන් පුද්ගලත්වය තුල තිබුණ මනුස්ස ස්වභාවය ඉක්මවල වෙනත් සංකල්පනාවකින් ඒක ස්පර්ශ කරනවා. බාහිරව පේන රූප මනුස්සයා හැටියට එක විදිහකටත්, ඔහු මෙබඳු කෙනෙක්, මෙබඳු නම් ගොත් ඇති කෙනෙක් හැටියට තවත් විදිහක ස්පර්ශයකිනුත් ඒ රූපය හදුනාගන්න පුළුවන්. මෙතනදි අපි ඇති කරගන්නවා මිත්‍ර ස්පර්ශය කියල එකක්. නැත්නම් මගේ ඥාතියෙක්, හිතවතෙක්, සතුරෙක්. . . ආදී වශයෙන් දෘෂ්ටියක් තුලින් ඇති වන්නා වු ස්පර්ශය නිසයි පුද්ගලයන් එසේ බැඳෙන්නෙ. එබඳු ස්පර්ශයකින් හට ගන්න වින්දනයක් නිසා ඒක මුල් කරගෙන අපි සසර ගමනට බැඳෙනවා. පැවැත්ම කරා ඇඳී බැඳී සිටින වින්දනයක් ඇති කරන්නෙ යම් ස්පර්ශයකින්ද ඒක අවිද්‍යා සහගත සංස්පර්ශයක්.

මේ කරුණ පුංචි උපමාවක් තුලින් විග්‍රහ කරල බලමු. පුංචි කාලෙ තමන්ගෙ දරුව දාල විදේශ ගත වෙච්ච අම්ම කෙනෙක් අවුරුදු අටක්, දහයක් පමණ ගත කරල ගමට එනවා. කලකින් තමන්ගෙ පුතාගෙ ස්වරූපය දැකගන්න පුළුවන්කමක් තිබුණෙ නැති නිසා, පුතාගෙ හැඩරුව හිතේ මවාගෙන යන අතරෙ දකිනවා පාසැලක් ඇරිල ළමයි දුවනවා පනිනවා දඟලනවා. මතකයේ ඉන්න පුතා දැක්කට ඇයට අඳුනගන්න බෑ. මෙතනදි එක ළමයෙක් අර අම්මගෙ ඇඟේ හැපිල වැටෙනවා. එතකොට ඒ ළමයට අර අම්ම බැන වදිනවා. මේ වෙලාවෙ කවුරුහරි ඇහුවොත්, ඔය තමන්ගෙ පුතා බව දන්නෙ නැත්ද කියල “ඒ මගේ පුතා” කියන හැඟීම ආපු ගමන් අර තරහ නැතිවෙලා විසාල සෙනෙහසක් ඇතිවෙනවා. ඒක ඇති වෙන්නෙ, මගේ පුතා කියන දෘෂ්ටියත් එක්ක. මේ තමයි දෘෂ්ටි ස්පර්ශයක් හට ගන්න හැටි. මේ ස්පර්ශය අවිද්‍යා සහගතයි. අවිද්‍යා සම්පයුක්තයි. මේ ස්පර්ශය තමයි සසර ගමනට හේතු වෙන්නෙ. ඇසට රූපයක් දැක්ක පළියට හරි, කනට ශබ්දයක් දිවට රසයක් වශයෙන් දැනුන පළියට හරි, ඒක සසර ගමනට හේතු වෙන්නෙ නෑ.

අවිද්‍යා සහගත ස්පර්ශවලට හේතුව මොකක්ද? අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා හට ගන්න ඡන්ද රාගයෙන් බැඳිල ඒවා හරි වටිනවා කියන දෘෂ්ටියට බැසීම තමයි මෙබඳු ස්පර්ශයක් යළි යළිත් පවත්වන්න හේතුව. ස්පර්ශයට හේතු වෙන ඡන්ද රාගය ඇයි පවතින්නෙ? ඒක අනිච්ච දෙයක්, දුක්ඛ දෙයක්, අනත්ත දෙයක් කියල නොවැටහීම නිසා. ඒක හරියාකාරව වැටහුනා නම් තේරෙනවා, අනිච්ච වු දුක්ඛ වු අනත්ත වු මෙබඳු දේ ස්පර්ශ කරගෙන යනව නම් ඒකෙන් දුකක් දාහයක් අසහනයක් මිසක් හරයක් ලැබෙන්නෙ නෑ කියල. ඒකෙන් අත් හැරී නොඇලී මිදී ගියාම සැනසීමක් ලැබෙනව කියල දැක්ක නම්, එදාට දැනගන්නවා ඒ සංස්පර්ශ නිරෝධය ශාන්තයි ප්‍රණීතයි කියල. දුකෙන් නිදහස් බව දැකල ඒක යළි යළි සිහි කරනකොට දුක් සහිත ආදීනව පැත්තෙන් තව තවත් වෙන් වෙනවා. ආනිසංස වශයෙන් දැකපු නිවනට හිත පිහිටනවා. නැත්නම් අකම්ප්‍යභාවයට පත්වෙනවා.

ඒ වගේම වැඩිය යුතු ස්පර්ශයක් තියෙනවා. කුසල මුල පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා විඤ්ඤාණ ආකාරයට ඇවිත්, සළායතන පච්චයා ඵස්සො කියන ස්පර්ශය වැඩිය යුතුයි. ධර්මානුකූලව ඒ ස්පර්ශය වටහාගෙන ඒ අනුව කටයුතු කරගෙන ගියාම ආර්ය අෂ්ටාංගික මාර්ගය පුර්ණත්වයට පත්වෙනවා.

මේ ආකාරයට යම් මගක් ඇසුරු කරනකොට රාගක්ඛයට, ද්වේශක්ඛයට, මෝහක්ඛයට හේතුවෙනව නම්, ඒ සංස්පර්ශය නිරෝධ කරල නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා.

වේදනා

වේදනා කියන වචනය ගත්තම “ඵස්ස පච්චයා වේදනා” කියනකොට එතැන තියෙන්නෙ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වෙනවා කියන එක. විභංගප්‍රකරණයේ මේ වේදනා කොහොමද පෙන්වන්නෙ,

තත්ථ කතමා ඵස්ස පච්චයා වේදනා

චක්ඛු සංඵස්සජා වේදනා

සෝත සංඵස්සජා වේදනා

ඝාණ සංඵස්සජා වේදනා

ජිව්හා සංඵස්සජා වේදනා

කාය සංඵස්සජා වේදනා

මනෝ සංඵස්සජා වේදනා

අයං වුච්චති ඵස්ස පච්චයා වේදනා

මේ දැක්වෙන්නෙ සංස්පර්ශයෙන් හටගන්නා වේදනාවක්. අද අපි තේරුම් අරගෙන තියෙන වේදනා කියන වචනයත්, පටිච්ච සමුප්පාදයේ වේදනා කියල පෙන්වපු අර්ථයත් අතර ලොකු වෙනසක් තියෙනවා.

අවිද්‍යාව මුල් කරගෙන ඇති වෙන මුළා සහගත මානසිකත්වය තුලින් නිච්චයි, සැපයි, අත්තයි කියන දෘෂ්ටියෙන් ලෝකය වෙත බැඳිල යම් ස්පර්ශයක් කරනවද, ඒකෙන් ලබන වින්දනය සීමාව ඉක්මවා ගිය විශේෂ වින්දනයක් බවට පත්වෙනවා. ඇහැට රූපයක් පේන කොට ඒක මන වඩන රූපයක්, හරි වටින රූපයක්, මට අයිති එකක්. . . ආදී නොයෙක් අදහස්වලින් දෘෂ්ටි ගත වෙලා තමයි ඒක දකින්නෙ. ඒකෙ යථා ස්වභාවය දකින්න දෘෂ්ටිගත මනසකින් බෑ. ඒ වගේම කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක්, කයට ස්පර්ශයක් වගේ අරමුණක් ආවමත් ඒවා කෙරෙහි ඡන්ද රාගයෙන් බැඳිල ඒවා මමය, මාගේය, මගේ ආත්මය කියලා ඇසුරු කරන්න ගත්තම ඒකට කියන්නෙ ආත්ම දෘෂ්ටිය කියල.

උදාහරණයක් අරගෙන බලමු. රුපියල් දාහක නෝට්ටුවක් තියෙනවා. ඒක අපේ නෙවෙයි කියල අපි දන්නව නම්, ඒක සුළඟෙ ගියත් කවුරු හරි ඉරල දැම්මත් අපට ප්‍රශ්නයක් වෙනවද? නෑ. ඒත් මේ නෝට්ටුව මගේ කියල සම්බන්ධයක් තිබුණ නම්, ඒකට විශේෂ සැළකිල්ලක් දක්වනවා. ඒක දකින කොට දැකීමේ සීමාව ඉක්මවා ගිහින් ඒකත් එක්ක ඇලෙන හෝ ගැටෙන ස්වභාවයක් ඇතිවෙනවා. ඒ පසුපස හඹා යන මානසිකත්වයක් ඇතිවෙනවා. මේ නිසා ඇතිවන්නා වු වින්දනය, නැත්නම් දැනෙන ස්වභාවය හේතුවෙන් අපට ඇති වෙන්නෙ එක්කො ප්‍රියමනාපයක්, නැත්නම් අප්‍රිය අමනාපයක්.

මේ සංඵස්සජා වේදනාව තුන් ආකාරයකින් හට ගන්නවා. ඒ සැප වේදනා, දුක් වේදනා, උපේක්ඛා වේදනා වශයෙන්. සංස්පර්ශයෙන් හට ගන්න වේදනාවයි, ශරීරයේ ඇතිවෙන කැක්කුමක් ගෙඩියක් වගේ දෙයක් නිසා ඇති වෙන වේදනාවයි කියන්නෙ වේදනා දෙකක්. මේ සංඵස්සජා වේදනාව නිරෝධ කරන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේත් රහතුන් වහන්සේලාත් මේ වේදනාව නිරෝධ කළ උත්තමයන් වෙනවා. ඔළුවෙ කැක්කුම, ඇඟේ පතේ අමාරු, බඩේ කැක්කුම බුදු පියාණන් වහන්සේටත් තිබිල තියෙනවා. බොජ්ඣංග පිරිත්වල විග්‍රහ වෙලා තියෙනවා, රහතන් වහන්සේලා පවා තමන්ගේ වේදනාව ගැන කියපු ආකාරය.

” බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති”

” මේ වේදනාව හරි බලවත්. වැඩි වෙනව මිසක් අඩුවෙන බවක් පේන්නෙ නෑ.”

අවිද්‍යාවෙන් යුක්ත වෙලා ඇත්ත පේන්නෙ නැතුව, මේ ලෝකෙ නිච්චයි සැපයි අත්තයි කියන මුළා දෘෂ්ටියට පත්වෙලා ඒවා හරි වටිනවයි කියලා හිතාගත්ත පුද්ගලයා, යම් රූපයක් දැකල ඒක මන වඩන එකක් නම් ඒක මා සතු දෙයක් මගේ දෙයක් කියල ප්‍රියමනාපයක් ඇති කරගන්නවා.

මමය මගේය කියන ආත්ම දෘෂ්ටියෙන් යුක්තව වටිනා දෙයක් කියල ගත්තම ඒකෙ ඇලෙන ස්වභාවයක් තියෙනවා. සංස්පර්ශයන්ගෙන් ජනිත වන්නා වු වේදනාව සසර ගමනට හේතු වෙන්නෙ මේ නිසා. මේ අනුව පසුපස හඹා යන්න හිතෙනවා. ඒක අත් හරින්න හිතෙන්නෙ නෑ. මෙබඳු දේවල් මට තව තවත් ඕන කියල හිතෙනවා. මේ විදිහට මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස ආදිය අරමුණු කරනකොට ඒවායේ මධුර ස්වභාවයක් ප්‍රිය ස්වභාවයක් තියෙනව නම්, ඒක තමා විෂයෙහි පවත්වා ගන්න උත්සාහ කරනවා. මේ මානසිකත්වය නිසයි සසර ගමනට හේතුවන පසුතලය ගොඩ නැගෙන්නෙ. සංඵස්සජා වේදනාව දුරු කළාම ඒ වේදනාව නිසා ඇති වෙන සසර ගමනට හේතුවෙන සම්බන්ධතාවය දුරුවෙලා යනවා.

මේ අනුව අපි දකින්න ඕන වේදනාව කියන්නෙ මොකක්ද, ඒ වේදනාවට හේතුව මොකක්ද, ඒ වේදනා නිරෝධය කෙතරම් ශාන්තද ප්‍රණීතද, ඒකට මාර්ගය 

මොකක්ද කියල. මේ කාරණා හතර දැනගත්තම ඒ තැනැත්තාට පටිච්ච සමුප්පාදයේ ඥාන හතරක් පහළ වෙලා, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් වේදනා කියන්නෙ මොකක්ද? ඇලීමෙන් බැඳීමෙන් හරි වටිනවයි කියන දෘෂ්ටියෙන් අවිද්‍යා සහගතව ඇතිවන්නා වු සම්ඵස්සජා වේදනාවටයි වේදනා කිව්වෙ. ඒ වේදනාවට හේතුව මොකක්ද? අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් යුක්තව වටිනවයි කියල ඒ තුල හඹා යන මානසිකත්වයක් ඇති කරගත්තම, ඒ ඇලෙන බැඳෙන ස්වභාවය තමයි මේ වේදනාව යළි යළිත් පවත්වන්න හේතුව. යම් දවසක මම, මගේ, මගේ ආත්මය වශයෙන් අල්ලගන්න හරයක් නෑ කියල දැක්කම ඇස, කන, නාසය, දිව, කය, මන සමග බැඳුනු සම්ඵස්සජා වේදනාව නැතුව යනවා. ඇහැට රූප පේනවා. සංස්පර්ශයක් නෑ. කනට ශබ්ද ඇහෙනවා, සංස්පර්ශයක් නෑ. දිවට රස දැනෙනවා, වටිනවයි කියල හටගන්න සංස්පර්ශයක් නෑ. නාසයට ගන්ධය දැනෙනවා. ඒ සමග බැඳුනු සංස්පර්ශයක් නෑ. මේ අනුව මේ හේතු නිරෝධ කළාම සංස්පර්ශය නිරෝධ වෙනවා කියල දකිනවා.

මොකක්ද ඒ හේතුව ? වටිනවයි කියල ගත්තෙ අනිච්ච දෙයක්, දුක්ඛ දෙයක්, අනත්ත දෙයක්. කැමති සේ පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ආස්වාද මාත්‍රය විඳින්න ගියොත් උත්සාහයෙන් වීර්යයෙන් ඒවා පෝෂණය කරන්න ඕන. අපි කැමති සේ පවත්වන්න බැරි, නොයෙක් ආකාරයෙන් විපරිනාමයට පත්වන ඒ වේදනා භුක්තිය ලබා ගන්න දහසක් කම්කටොලු මැද්දෙ ඒ සඳහා අවශ්‍ය පරිසරය ගොඩ නගාගන්න වෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මන මේ ආකාරයට පෝෂණය කරගන්න වෙනවා. තමන් කැමති සේ පවත්වන්න කොච්චර උත්සාහ කළත් ඒ විදිහට පවත්වන්න බැරි දෙයක්. ඒ විදිහට පවත්වන්න හදනව නම් ඒක මුළා සහගත උත්සාහයක් පමණක් වෙනවා. ඒක තේරුම් ගත්තෙ නැත්නම්, “මම මගේ” කියන දෘෂ්ටිය නිසා ඒකට කිසිම බාධකයක් කරදරයක් වෙන්න දෙන්නෙ නෑ. විශාල මානසික වික්ෂිප්ත භාවය්කින් යුක්තව ඒවා රැක ගන්න, පෝෂණය කරන්න කෙළවරක් නැති දුක් විඳිනවා. ආස්වාදයෙන් ඒ සියල්ල වැහෙනවා.

ඒක අසාර දෙයක් කියල වැටහුනා නම්, නැත්නම් ඒක අනිච්ච හැටියට, දුක්ඛ හැටියට, අනත්ත හැටියට, දැක්ක නම් ඒ පිළිබඳ ඇතිවෙලා තිබුණ ප්‍රියමනාප බව හිතෙන් බැහැර වෙලා යනවා. ඒක ධර්මතාවයක්. එහෙම වුනාම එතෙක් කල් ඒ තත්ත්වය ගොඩනගා ගන්න අපි කරපු උත්සාහය වීර්ය හරයක් නැති දෙයක් කියල දකින කොට තව දුරටත් ඒක රැක ගන්න කරන උත්සාහය නතර කරනවා. ප්‍රියයි මනාපයි කියල අල්ල ගත්ත දේ දුකට මුල් වුනා කියන යථාවබෝධය ලැබිල, ඒ හේතුව අත්හැරල දැම්ම නම් ඒ වේදනාව ගොඩනැගීමට හේතු නැතිවෙලා යනවා. ඒ අනුව නිදහස් වුනාම කොච්චර ශාන්තද ප්‍රණීතද කියන එක අවබෝධ වෙනවා. මේ යථාර්ථය දැකල වේදනාවේ ආදීනවත්, එයින් වෙන්වීමෙන් මිදීමෙන් ලබන නිවනේ ආනිසංසයත් නිතර මෙනෙහි කිරිම තමයි ආර්ය මාර්ගය කියන්නෙ. වේදනාව පිළිබඳව මේ සතර ආකාරයෙන් දැනගත්තම 

ඒ පිළිබඳ ඥාන හතරක් පහළ වෙලා චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් නිවන් අවබෝධ කර ගන්න පුළුවන් වෙනවා.

තණ්හා

“තත්ථ කත්මෝ වේදනා පච්චයා තණ්හා” කියන තැන වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වෙනව කියන්නෙ මොකක්ද ? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා අයං වුච්චති වේදනා පච්චයා තණ්හා කියන ආකාරයන් විභංගප්‍රකරණයේ පටිච්ච සමුප්පාද විභංගයේ විස්තර වෙනවා.

මේ ලෝකය නිච්චයි, සැපයි, අත්තයි කියන දෘෂ්ටියේ පිහිටල, මේ කෝකෙ තියෙන දේවල් හරි වටිනව කියල වින්දනයක් ලබන තැනැත්තාට යළි යළිත් ඒ වින්දනය ගොඩනගා ගන්න ඒවා පසුපස හඹා යන්න අවශ්‍ය වෙනවා. මේ අනුව මෙබඳු රූප යළි යළිත් මට බලන්න ඇත්නම්, මෙබඳු වටිනා ශබ්ද යළි යළිත් අහන්න ඇත්නම්, මේ වටිනා ගන්ධයන් යළි යළිත් ඇසුරු කරන්න ඇත්නම්, මෙබඳු වටිනා රස යළි යළිත් විඳින්න ඇත්නම්. . . ආදී වශයෙන් බලාපොරොත්තුවක් ඇලීමක් ඇති කර ගන්නවා. ඒ ඒ තැන් මේ ආකාරයෙන් අල්ල ගන්න ලක්ෂණයට තමයි කිව්වෙ තණ්හා කියල.

“යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී” සෙයියතිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා” ආදී වශයෙනුත් මේ තණ්හාව විග්‍රහ වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම කියන මේ තන්හි තන්හි හා වීම හෙවත් ඒ ඒ තැන හා වීම කියන ලක්ෂණය තමයි මේ තණ්හා කියන වචනයෙන් පෙන්නුවෙ. ඇයි මෙහෙම හා වෙන්නෙ? ඒ ඒ තැන හොඳයි කියන මුළාව නිසා. නිච්චයි, සැපයි, අත්තයි කියල හිතාගෙන ඉන්නෙ අනිච්ච වු දුක්ඛ වු අනත්ත වු දෙයක්. මේ ටික තේරුම් ගන්න බැරිව අවිද්‍යාවෙන් යුක්තව ඒවා හරි වටිනවයි කියල යළි යළිත් ඇසුරු කරන්න ඕන කියල ඇතිවෙන මානසිකත්වය නිසයි මේ තණ්හාව සසර ගමන ගොඩනගන්න හේතු වෙන්නෙ. මෙතනදි එක්තරා ශක්තියක්, නැත්නම් ධර්මතාවයක් ගොඩනැගෙනවා. චිත්ත ශක්තිය කිව්වෙත් කර්ම ශක්තිය කිව්වෙත් ඒකයි.

ඒ ඒ තැන හා වෙනවා කිව්වෙ මොකක්ද ? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම කියන මේවා බාහිර ලෝකයට අයිතියි. ඒවා ඇසුරු කරන්න ඇස,කන, නාසය, දිව, කය, මන ඕන වෙනවා. ඇස,කන, නාසය, දිව, කය, මන කියන මේ ටික එකතු කරල ” මම” කියන ගොඩක් ගහගෙන රූප, ශබ්ද, ගන්ධ, රස කියන ඒවා හරි වටිනවා ඒවා ඇසුරු කළ යුතුයි කියල “මගේ” කියන ලෝකයට එකතු කරගෙන “මමයි, මගෙයි, මගේ ආත්මය්යි” කියල දෘෂ්ටියක් හදාගන්නවා. එහෙම වුනාම ඒ තුල ජීවත් වෙන්න තව තවත් ගොඩගහ ගැනීම 

නිසා තව තවත් ඉදිරියට පැවැත්ම ගෙනියන්න ඕන කියල හැඟීමක් ඇති වෙනවා. මේ හැඟීම නිසා ඇසෙන් ඉවත් වෙන්න බෑ. යලි යළි ඇස ගොඩනගන්නා වු මානසිකත්වයක් ඇතිවෙනවා. රූපයන්ගෙන් ඉවත්වෙන්න බෑ. ඒ රූපයන් කරා හඹා ගොසින් ඒවා අල්ලගෙන හිටින මානසිකත්වයක් ගොඩ නැගෙනවා. ඒ ඇස, කන, නාසය, දිව, කය, මන කියන ඉන්ද්‍රියන් පවත්වන්න ඕන මානසිකත්වයක්මයි ඇති වෙන්නෙ. තව තවත් ඉදිරියට ජීවත් විය යුතුයි, ඒ ඒ තැන හරි වටිනවා, ඒ තැන් අත්හැරල යන්න බෑ. ඒ ඒ තැන්වලට හාවෙලා ඉන්න ඕන කියන හැඟීමක් ඇතිවෙනවා. මේක තමයි අවිද්‍යාව නිසා ඇතිවන්නාවු ඒ ඒ තන්හි හාවීම හෙවත් තණ්හාව.

සංඵස්සජා වේදනාවෙන් හට ගන්නා වු දෙයක් තමයි ඒක. අත්හරින්න බැරුව ඒකෙ ඇලෙන මානසිකත්වය. මේක එක්තරා ශක්ති විශේෂයක්. තණ්හාව දුරු කළොත් මතු මතුත් ඒවායේ ඇලිල බැඳිල ඉන්නා වු මානසිකත්වය දුරුවෙනවා.ඒ තුලින් ගොඩ නැගෙන්නා වු නොපෙනෙන ඒ ශක්ති විශේෂය ගොඩනැගීම නතර වෙනවා.

මේ තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුන් ආකාරයකින් විග්‍රහ වෙලා තියෙනවා. පංචකාම සම්පත්ති භුක්ති විඳීමේ ආස්වාදය මුල් කරගෙන ඒ ඒ තැන රැඳී බැඳී සිටීමේ ගති ලක්ෂණයක් හිතේ හට ගත්ත නම්, කාම යම් තැනකද, එතැන ඉක්මවන්න බැරි ස්වභාවයකට පත්වෙනවා. මේකට කියනවා කාම තන්හි හාවෙලා කාම තණ්හා වෙලා කියල.

ඒ කාම අත් ඇරල හිටියත් භව ඉක්මවන්න බෑ. කාමය සඳහා පමණක් නෙවෙයි ලෝක සත්ත්වයා ජීවත් වෙන්නෙ, කාමයන් අත්හැරලත් ජීවත් වෙන්න හිතනවා. ඒත් මොන මොනවා හරි දැනගන්න තේරුම් ගන්න තියෙනව නම් හොඳයි, පිරිසක් ඇසුරෙ ඉන්න තියෙනව නම් හොඳයි, කියන මෙබඳු වන්නා වු භව හේතුකොට ගෙන මේ වගේ ඉන්න තියෙනව නම්, හොඳයි, බ්‍රහ්මයෙක් වෙලා හරි දෙවියෙක් වෙලා හරි ඉන්න තියෙනව නම් හොඳයි, මෙබඳු තත්ව තානාන්තර වලින් වැජඹෙන්න තියෙනව නම් හොඳයි කියල මේ ආදී වන්නා වු භව තණ්හා කොටසක් තියෙනවා. රූප බලන්නවත්, ශබ්ද අහන්නවත්, ගඳ සුවඳ බලන්නවත්, රස බලන්නවත් ආදී කරුණුවලට නෙවෙයි. නමුත් හිත කහට ගන්වන්නා වු එක්තරා දෙයක් තමයි තමන් උසස් ලෙස ජීවත් වෙන්න ඕන, යම් යම් තත්ව තානාන්තර ඇතුව ජීවත් වෙන්න ඕන, මහේශාක්‍ය ලීලාවෙන් ජීවත් වෙන්න ඕන කියන මේ ආදී ගති ලක්ෂණ. මෙබඳු භවයන්ට එකතු වෙලා ඉන්න හිතුවම ඇති වෙන මානසිකත්වයෙන් භව තණ්හාව ගොඩ නැගෙනවා.

සසර ගමනක් නෑ, පින් පව් කියල දෙයක් නෑ, කියන මෙබඳු ගති ලක්ෂණයන් නිසා පුද්ගලයා තුල ඇති කරන්නා වු තණ්හාව විභව තණ්හාව හැටියටයි අද විග්‍රහ වෙලා තියෙන්නෙ. තමන් බලාපොරොත්තු වන්නා වු ස්වභාවයක් ඇත්නම් ඒ ස්වභාවය තමන්ට නැති නිසා ඇතිවන්නා වු දාහයෙන් කොහොම හරි මම මේ 

තත්ත්වය ගොඩනගා ගත යුතුයි කියන අදහස හටගන්නවා. අන්න ඒ වගේ නොලැබුන විවිධාකාර ස්වභාවයන් ලබාගැනීමේ තණ්හාවක් ඇතිවෙනවා. එබඳු අවස්ථාවන් මේ විභව තණ්හාව කියන කොටසට ගැනෙනවා.

මේ ආකාරයෙන් මෙබඳු තණ්හා මානසිකත්වය ගොඩනැගුනම වටිනා දෙයක් නිසා මට ඒක දාල යන්න බෑ, ඒකෙ බැඳිල රැඳිල ඉන්න ඕන කියන මානසිකත්වය තුලින් තමයි ලෝක සත්ත්වයාට පැවැත්මේ බලාපොරොත්තුව ඇති වෙන්නෙ. මේ නිසා ලෝක සත්ත්වයා කාමයන් අත්හැරල ගියත් භවයේ රැඳිල ඉන්නවා.

මෙතනදි අප දකින්න ඕන, තණ්හාව මොකක්ද, තණ්හාවට හේතුව මොකක්ද, තණ්හා නිරෝධය මොකක්ද, තණ්හා නිරෝධ මාර්ගය මොකක්ද කියලා. මේ කාරණා හතර තේරුම් ගත්ත නම් ඒ පුද්ගලයට යථාවබෝධය තුලින් ඥාණ හතරක් පහළ වෙනවා. මේ ඥාණ දර්ශන හතර පහළ වුනා නම්, තණ්හාව මුල් කරගෙන හටගත් මේ ඥාණ දර්ශනය තුලින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරල නිවන අවබෝධ කරගන්න හේතු වෙනවා.

” යෝ තස්සා යේව තණ්හාය

අසේස විරාග නිරෝධෝ

චාගෝ පටිනිස්සග්ගෝ

මුක්ති අනාලයෝ ”

මේ තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරය. ඒ ඒ තැන ඇලෙන බැඳෙන මානසිකත්වය උදාවෙන්නෙ මේ ලෝකෙ නිච්චයි, සැපයි, අත්තයි කියන මේ මුළා දෘෂ්ටිය නිසා. ඒ මුලා දෘෂ්ටිය අත්හරින්න නම්, ඒ තණ්හාවෙන් අල්ලගන්න හේතු වුන දේ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියල ධර්මානුකූලව දකින්න ඕන.

හරි වටිනා දේවල් කියල හිතාගෙන හිටිය ඇස, කන, නාසය, දිව, කය, මන සහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ ලෝකයට අයත් දේවල් කැමති විදිහට පවත්වන්න පුළුවන් දේවල් නොවන නිසා ඒකාන්තයෙන්ම දුකක් ඇතිවෙනවා. තණ්හාවෙන් බැඳුන නිසාමයි ඒ වගේ දුකක් හට ගන්නෙ කියල දැක්කා නම්, අපට තේරුම්ගන්න පුළුවන් වෙනවා එබඳු දේ වැඩක් නෑ කියල. යම් දවසක මේ ආකාරයෙන් වැටහෙන්න පටන්ගත්ත නම්, ඒ දේවල් කෙරෙහි බැඳිල තිබිච්ච මානසිකත්වය නැවත නැවතත් උදා නොවන තත්ත්වයට පත්වෙන්න පටන් ගත්තම තණ්හාව නිරෝධ වෙන්න පටන් ගත්තා කියල කියනවා. මේ නිසා සිද්ධ වෙන්නෙ සසර ගමනට හේතුවන බැඳිම් සිඳී යාම. මේ අනුව තණ්හාවඛය කිරීමෙන් සියලු දුක් නිවෙනවා. නිවන අවබෝධ වෙනවා.

” තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති ”

” යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනන්තා ” යමක් අනිච්ච නම් ඒක දුකයි. යමක් අනිච්ච නම් දුක්ඛ නම් ඒක අනත්තයි කියල දකින්න ඕන. මොකක්ද අනත්ත කියන්නෙ ? “අසාරත්තේන අනත්තා ” යමක සාරත්වයක් නැත්තම් අනත්තා කියල විග්‍රහ වෙනවා. යමක් අල්ලගෙන හිටියට අපිට ලැබෙන සැපක් නෑ, ඒවා දුක, පෙලීම, වෙහෙස ගෙන දීල ගෙවිල යනවා, කෙළවර වෙනවා. මන වඩන රූපයක් අල්ලගෙන හිටියට ඒක එකාකාර පවතින එකක් නෙවෙයි. විපරිනාමයට, නැත්තම් කැමති සේ නැති ස්වභාවයට පත්වෙනවා. එහෙනම් මොකක්ද වෙන්නෙ ? අකමැති දේවල් එනවා, එනවට කැමති නෑ. කැමති දේවල් යනවා, යනවට කැමති නෑ. මේ විදිහට කැමති සේ පවත්වන්න බැරි බව හරි හැටි දැනගත්ත නම් අපි ඇත්ත දැක්ක වෙනවා. මේ යථාර්ථය දැක්ක නම් එතෙක් කරපු මුළා සහගත වැඩපිළිවෙල අත්හැරිල යනවා. මේ ආකාරයෙන් මානසික සුද්ධතාවයක් ඇති වෙන කොට රූප තණ්හාවට තිබුණු අවස්ථාවත්, ශබ්ද තණ්හාවට තිබුණු අවස්ථාවත්. . . මේ ආදී හය පොලක තණ්හාවන් ඇති වීමට තිබු අවස්ථාවන් පහ වෙනවා.

මේ ආකාරයෙන් තණ්හාව නිරෝධ වුනාම, ” ඒතං සංතං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බුපදි පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ” කියන ශාන්ත වු ප්‍රණීත වු නිවන දකිනවා. මේ අනුව තණ්හාවේ ආදීනවත් තණ්හාවෙන් නික්මීම හෙවත් නිරෝධය කෙතරම් ශාන්තද ප්‍රණීතද කියල නිවනේ ආනිසංස බලන්නත් පුරුදු වුනාම ආර්ය මාර්ගය වැඩිල උතුම් වු නිවන් සාක්ෂාත් කරන්න හැකි වෙනවා.

ආනිසංස කියන්නෙ නිශ්‍රය නොකරන, ඇසුරු නොකරන කියන ලෝකෝත්තර අදහස. මම කියල තණ්හාවෙන් අල්ල ගත්ත සියල්ල ඇසුරු නොකරන තත්ත්වයට පත්වුනාම ඒ තමයි නිවන. තණ්හාව නිරෝධ කරල ඒ උතුම් නිවනට පත්වීමට ලෝකෝත්තර වු අරි අටඟි මගම වැඩිය යුතුයි.

උපාදාන

ලෝක සත්ත්වයා මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන දේවල් වටිනවා කියල ඒවායේ ඇලිලා ඉන්න එකටයි උපාදාන කිව්වේ.

මේ පංචකාම වස්තු හරි ප්‍රියයි මනාපයි කියන හැඟීම නිසා ඒවා පරිහරණයට අවශ්‍ය දේවල් ළඟා කරගෙන ඒවායේ බැඳෙන්න පටන් ගන්නවා. ඒවා තුළින් ඉවත් වෙලා යන්න බෑ. ඒකට තමයි කාම උපාදානයෙන් බැඳෙනවා කියන්නෙ.

මේ ස්වභාවය මට කොයි තරම් හොඳද ? මේ තත්ත්ව තානාන්තර කොයි තරම් හොඳද ? දෙවියෙක් වෙන්න ඇත්නම්, බ්‍රහ්මයෙක් වෙන්න ඇත්නම්, කොච්චර හොඳද. . . .ආදී වශයෙන් ලෝකයේ පැවැත්මට අවශ්‍ය වන රූප, ශබ්ද, ගන්ධ, 

රස, ස්පර්ශ, ධම්ම අතර සැරිසරන්න අවශ්‍ය ඇස, කන, නාසය, දිව, කය, මන කියන මේවා නිච්චයි, සැපයි, අත්තයි, මේවා කොයි තරම් වටිනවද කියන දෘෂ්ටිය නිසා සත්ත්වයා ලෝක පැවැත්මට බැඳෙනවා. දිට්ඨි උපාදානයෙන් බැඳෙනවා කියන්නෙ ඒකට. මේ ලෝක පැවැත්ම තුලම නොයෙක් වැඩ පිළිවෙලවල් අනුගමනය කරල උසස් තත්ත්වයට පත්වෙන්න ඕන කියන මුළා දෘෂ්ටිය නිසා සිල් වෘතවලට බැඳෙනවා. මේකට කියනවා සීලබ්බත උපාදානයෙන් බැඳෙනවා කියල.

ඒවා “මම” කියල “මගේ” කියල ” මගේ ආත්මය” කියල ආත්ම දෘෂ්ටියෙන් ඒවාට බැඳුනම අක්තවාද උපාදානය කියනවා. මේ සසර ගමනට හේතු වෙන සතර ආකාරයක උපාදානයන්.

උපාදානය කියන වචනය තවත් ආකාරයකට විග්‍රහ වෙනවා. වච්චගොත්ත පරිබ්‍රාජකයා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි, ඇවිලෙන ගින්නට උපාදානය මොකක්ද කියල. බුදු පියාණන් වහන්සේ පෙන්වනවා, ඇවිලෙන ගින්නට දර උපාදාන වෙනව කියල. ඉන්පසුව ඔහු අහනවා, උඩ යන ගින්නට උපාදාන වෙන්නෙ මොනවද කියල. වච්චගොත්ත, උඩ යන ගින්නට සුළඟ උපාදාන වෙනවා කියල බුදු පියාණන් වහන්සේ පෙන්වනවා. හිත සම්බන්ධ වෙන්නෙ නැතුව උපාදාන වන අවස්ථා දෙකක් ගැනයි මේ පෙන්වල තියෙන්නෙ.

පටිච්ච සමුප්පාදය තුල පෙන්වන මේ පදවල නිරුක්ති අර්ථයක් තියෙනවා. උපාදාන වෙනව කියන්නෙ මොකක්ද? උප කියනවා ආසන්නයේ කියන අදහසට. ආදාන වෙනවා කියන්නෙ ඇදෙනවා කියන කියන එකට. මේ අනුව උප ආදාන කියන්නෙ ආසන්නයට ඇදී සිටිනවා කියන අදහස. යමක් සිද්ධ වෙන කොට, ඒ ක්‍රියාවලියට ආසන්නම වශයෙන් ඇදී සිටිනවට කියනවා උපාදාන කියල. ඒ ආකාරයට මේ තණ්හාව මුල් කරගෙන යම් තැනක ඇලුනම තණ්හා පච්චයා උපාදානං කියන දේ සිද්ධ වෙනවා. මේ අනුව සසර ගමනට හේතුවන අත්‍යවශ්‍ය කාරණය සිද්ධ වෙන්නෙ මේ ආකාරයෙන් යම් තැනකට ආසන්නව ඇලිල බැඳිල සිටීම කියන උපාදානය නිසා. මේ විදිහට කාමය මුල් කරගෙන, භවය මුල් කරගෙන, සිල්වෘත මුල් කරගෙන සහ ආත්ම දෘෂ්ටිය මුල් කරගෙන ලෝක සත්ත්වයා සසර ගමනට හේතුවන්නා වු තැන්වල ආසන්නව බැඳෙනවා. නැත්තම් උපාදාන වෙනවා.

මේ උපාදානය තවත් විග්‍රහ කරල තේරුම් ගන්න ඕන. පංචස්කන්ධයත්, පංච උපාදානස්කන්ධයත් කියන්නෙ එකක්ද, නැත්තම් දෙකක්ද කියන කාරණය පිළිබඳ එක්තරා අවස්ථාවක බුදු පියාණන් වහන්සේ වැඩ සිටි කාලයේම භික්ෂුන් වහන්සේලා අතර ප්‍රශ්නයක් මතුවුනා. ඇතැම් භික්ෂුන් වහන්සේලා කියනවා පංචස්කන්ධයමයි පංච උපාදානස්කන්ධය වෙන්නෙත් කියලා. ධර්මය පිළිබඳ හසල දැනුමක් තිබුණ චිත්ත නමැති අනාගාමීව සිටි උපාසකතුමා විහාරයට පැමිණි අවස්ථාවක මේ කාරණය පිළිබඳව භික්ෂුන් වහන්සේලා ඔහුගෙන් 

විමසුවා. ඒ වෙලාවෙ චිත්ත ගෘහපතිතුමා මෙහෙම අහනවා. කලු ගොනෙකුයි සුදු ගොනෙකුයි ඉන්නවා. රැහැනක් අරගෙන මේ දෙන්නා ගැට ගැහුවම කියනවා ගොන්බාන කියල.

ඒ විදිහට පංචස්කන්ධයට ඡන්ද රාගයෙන් බැඳෙන කොට උපාදානය හට ගන්නෙ මොකක් අල්ලගෙනද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ස්කන්ධ පහට බැඳිල ඒවා අල්ලගෙන. මේ ස්කන්ධ පහට ප්‍රිය මනාප වෙලා ඒවා නිච්චයි සැපයි අත්තයි කියන දෘෂ්ටියකින් බැඳුනම , ඒවා අත්හැරල යන්න බැරි මානසිකත්වයක් ගොඩ නැගෙනවා. රූප ඇසුරු කිරීමෙන් ඉවත්වෙන්න හිතෙන්නෙ නෑ. ලැබෙන වේදනාවෙන් ඈත්වෙලා ඉන්න හිතෙන්නෙ නෑ. සංඥාවන් පසුපස හඹායන්න හිතෙනවා. එබඳු සංඛාර ගොඩ නගමින් ඊට අනුකූලව කටයුතු කරනවා. එබඳු දේවල් ගොනු කරගත් මානසිකත්වයක් විඤ්ඤාණ වශයෙන් ගොඩනගා ගෙන ඒ තුල ඇලිල බැඳිල ඒ පැවැත්ම ගෙනියනවා. මේ ආකාරයෙන් ඉවත්වෙන්න බැරි විදිහට අල්ල ගන්නෙ නැත්නම් බැඳෙන ස්වභාවයට පත්වුනාම උපාදානයට පත්වුනා කියල කියනවා. මේ උපාදානය තමයි සසර ගමනට හේතුවෙන්නෙ. මේ ආකාරයට මේ ධර්ම මාර්ගය තේරුම් ගත්තා නම් උපාදානය උපාදානය හැටියට වටහ ගන්නවා. උපාදානයට හේතුව වටහ ගන්නවා. උපාදාන නිරෝධය නිසා ඇති වන්නා වු ශාන්ත වු ප්‍රණීත වු නිවන තේරුම් ගන්නවා. උපාදාන නිරෝධය කරන මාර්ගය වටහ ගන්නවා. මේ කරුණු හතර පිළිබඳ අවබෝධය පහළ වුනා නම් උපාදානය පිළිබඳ ඥාන හතරක් පහළ වුනා කියනවා.

රූප උපාදානස්කන්ධය කියන්නෙ මොකක්ද? රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ඨබ්බ රූප, ධම්ම රූප හෙවත් මනෝ රූප කියන මේ රූපස්කන්ධය නැත්නම් ගොඩවල්, යම් ආකාරයකින් ඔපවත් වෙලා වර්ණවත් වෙලා විවිධ හැඩතල සහිතව මනසේ විද්‍යමාන වෙනකොට, ඒවා ප්‍රියයි මනාපයි කියල ඇති වෙන හැඟීම නිසා රූපස්කන්ධය රූප උපාදානස්කන්ධයක් කරගන්නවා.

වේදනා උපාදානස්කන්ධය කියන්නෙ මොකක්ද? මේ රූපයෝ නිච්චයි සැපයි අත්තයි කියන දෘෂ්ටියෙන් අල්ලගෙන ඒවා ඇසුරු කරන්න ගියාම ඒ තුලින් වින්දනයක් ඇතිවෙනවා. ඒවා ප්‍රියයි මනාපයි යහපත් කියල ආස්වාද සහගත හැඟීමක් ගත්තොත් ඒක සැප වේදනාවක් වශයෙන් සිටිනවා. කටුක හැඟීමක් මතුවෙනව කියල දැනගත්තොත් දුක් වේදනාවක් ඇතිවෙනවා. ඒ දෙකටම මධ්‍යස්ථ දෙයක් කියල ගත්තොත් උපේක්ඛා වේදනාවක් වෙනවා. මේ ආකාරයෙන් සැපයි කියල ඒකට ඇලෙන්නෙත්, විරුද්ධ දෙයක් නම් ගැටෙන්නෙත් උපාදානය නිසාමයි, ඒ නිසා ඒ පසුපස හඹා ගිහින් ඒවා අත්හරින්න බැරුව එබඳු වේදනාවල ඇලීමක් හරි ගැටීමක් හරි වෙනව නම් ඒක තමයි වේදනා උපාදානස්කන්ධය කියන්නෙ.

මේ ආකාරයෙන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ අවස්ථාවන්ට බැඳිල රැඳිල ඉන්න මානසිකත්වය ගොඩ නැගෙන්නෙ, ඇත්ත ඇති ආකාරයෙන් නොපෙනී ඒවා නිච්චයි සැපයි අත්තයි කියන දෘෂ්ටියෙන් බැඳිල ඒවා පිළිබඳ කල්පනා කරන නිසා. ඒ අනුව උපාදානයට හේතු වුනේ වටිනවයි කියන හැඟීම. ඒකෙ වටිනාකමක් නෑ කියල අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් ධර්මානුකූලව දැක්ක නම්, ඔහු තේරුම් ගන්නවා ඇලෙන්න බැඳෙන්න තරම් හරයක් මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණවල නෑ කියල. මේ යථාවබෝධය ලැබුනම උපාදාන නිරෝධ වෙනවා. මේ තත්ත්වයට පත් වුනාම ඒ තැනැත්තා තුල සසර ගමනට හේතුවන බැඳීමක් තිබුණ නම් ඒක නැතුව යනවා. එහෙම උපාදාන නිරෝධ වුනාම භව නිරෝධයි. භව නිරෝධ වුනාම ජාති නිරෝධයි. ජාති නිරෝධ වුනාම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සියල්ල නිරෝධ වෙලා නිවන ශාන්තයි ප්‍රණීතයි කියල දකිනවා.

භවය

අත්ථි කම්ම භවෝ අත්ථි උප්පත්ති භවෝ . . . ආදී වශයෙන් කර්ම භවයක් හා උප්පත්ති භවයක් තියෙනවා කියල ධර්මයේ විග්‍රහ වෙනවා. කර්ම භවය කියන්නෙ මොකක්ද? සත්ත්වයෙක් ජීවත් වෙලා ඉන්න කාලෙදි නොයෙක් පුණ්‍ය කර්ම කරනවා. ඒ වගේම පාප කර්ම කරනවා. පුණ්‍ය කර්ම නිසා පුණ්‍ය භවයන්ටත්, පාප කර්ම නිසා පාප භවයන්ටත් අවශ්‍ය ශක්තිය මනස තුල සම්පාදනය වෙනවා. මෙතනදි භව කියන වචනයෙන් පෙන්වන්නෙ නිර්මාණාත්මක ශක්තියක් බිහි වෙනවා කියන එක. නැත්නම් ජාතියක් බිහි කරන්න අවශ්‍ය මුල ශක්තියක් නිපදවනවා කියන එක. ජාති විවිධාකාරයි. විවිධාකාර ජාති නිෂ්පාදනය වෙන්නෙ ඊට අනුකූලව වු විවිධාකාර භව හේතු කරගෙන.

එහෙනම් කර්ම භවයෙන් සිද්ධ කරන්නෙ මොකක්ද? යම් පුද්ගලයෙක් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුක්තව කිසියම් පාප ධර්මයක් ඇසුරු කළාද, ඔහුට බලාපොරොත්තුවක් ඇති වෙනවා මතු මතුත් මේ තුල රැඳිය යුතුයි කියල. මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. . . ආදිය ආවට ඒ එකක්වත් රැඳිල ඉන්න ඒවා නෙවෙයි. ඒ සියල්ල හේතුවත් සමග ඇති වෙන ඵල ධර්ම . ආස්වාදයෙන් ඒවාට ඇලිල බැඳෙනවා. නමුත් ඒවා බැඳිල ඉන්න පුළුවන් දේවල් නෙවෙයි. අපි බැඳෙන්න හදන කොට මොහොතක ආස්වාදයක් දීල ඒ අවස්ථාව ඉක්ම යනවා. ඒවා කැමති සේ පවත්වන්න බෑ. ගෙවිල යනවා. එහෙම ගෙවී ගියාම යළි යළිත් එබඳු අවස්ථාවන් ගොඩනගාගත යුතුයි කියන මානසිකත්වය ඉතුරු වෙනවා. මේ බලාපොරොත්තුව නිසා අපි නොදැනුවත්වම එක්තරා දෙයක් සිද්ධ වෙනවා. මතු මතුත් එබඳු දේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය ශක්ති විශේෂයක් ඒ මානසිකත්වය තුලින් නිදහස් වෙනවා.

ජාති

යනු සංසාරයේ නැවත උපත ලැබීමයි.

උපත ලැබීමේ ක්‍රම

උපත විවිධ ක්‍රම වලට අනුව සිදුවිය හැකිය . බුදුදහමට අනුව උපත ලැබිය හැකි ආකාර 4 කි.

  • බිත්තරයෙන් උපත ලැබීම. (අණ්ඩජ) – කුරුල්ලන්, මාළුන් හා උරගයන්.
  • මව්කුසකින් උපත ලැබීම. (ජලාබුජ) – ක්ෂීරපායීන්.
  • තෙතමනයෙන් උපත ලැබීම. (සංසේදජ) – ඇසට නොපෙනන කුඩා බිත්තර සහිත සතුන් ඇතිවීම.
  • ඕපපාතික – කිසියම් ක්‍රමයකින් තොරව ඉබේ පහළ වීම. (දෙවිවරුන් බොහෝමයක් මේ ඝනයට අයත්වේ.)

දුක් විඳීමේ චක්‍රය

පටිච්ච සමුප්පාදයේ එකොළොස්වන අංගය ජාති වේ. එය භවය නිසා හටගන්නා අතර එමඟින් ජරා, මරණ ඇති වේ. එනම් උපත ලැබූ සෑම කෙනෙක්ම මහළු වියට පැමිණ අවසානයේ මරණයට පත්වේ.