පංච ඉන්ද්‍රිය ධර්ම

ඉන්ද්‍රිය යනු මොනවාද?

ඉන්ද්‍රිය යනුවෙන් හඳුන්වන්නේ ජීවිතය හා ප්‍රතිබද්ධව පවතින දෙයටයි. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා මෙම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රිය ධර්ම තුළ පිහිටා සිටිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.

ශ්‍රද්ධා ඉන්ද්‍රිය

ශ්‍රද්ධා ඉන්ද්‍රිය යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ සංයුක්ත නිකායේ ඉන්ද්‍රිය සංයුක්තයේ විභංග සූත්‍රයේදී පෙන්වා දී ඇත්තේ මෙලෙසිනි. “මහණෙනි, ශ්‍රද්ධා ඉන්ද්‍රිය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධා ඇත්තේ වෙයි. (සද්දහති තථාගතස්ස බෝධිං. ඉතිපි සෝ භගවා අරහං….) තථාගතයන්ගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම්, භාග්‍යවතුන් වහන්සේ පරම නික්ලේශී බවට පත් වූ සේක (අරහං), ගුරු උපදේශ රහිතව මෙලොවේ සියල්ල ම අවබෝධ කළ සේක (සම්මා සම්බුද්ධෝ), උපදවාගත් ඤාණයන්ට අනුව ම ජීවිතය ගත කළ සේක (විජ්ජාචරණ සම්පන්නෝ), සොඳුරු නිවනට වැඩම කළ සේක (සුගතෝ), සියලු ලෝක අවබෝධ කරගත් සේක (ලෝකවිදූ), දෙව්මිනිසුන් දමනය කිරීමෙහි අතිශයින්ම දක්ෂ වන සේක (අනුත්තරෝ පුරිසදම්ම සාරථි), නුවණැති දෙව්මිනිසුන්ගේ එක ම ශාස්තෘන් වහන්සේ වන සේක (සත්ථා දේවමනුස්සානං), අවබෝධ කළ ශ්‍රී සද්ධර්මය මහා කරුණාවෙන් දේශනා කළ සේක (බුද්ධෝ), මේ සියලු ගුණ දැරීමට තරම් භාග්‍යවන්ත වූ සේක (භගවා).” මේ අයුරින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය නිරන්තරයෙන් ඉගෙන ගනිමින් බුදුගුණ නිතර මෙනෙහි කරමින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු කරගැනීමට උත්සාහවත් විය යුතුය.

විරිය ඉන්ද්‍රිය

වීරිය අප කා තුළත් තිබෙනවා. මේ ලෝකේ ඉපදිලා ඉන්න සෑම දෙනා ම යම් යම් දේවල් ලබාගැනීමට වීරිය කරනවා. මේ නොයෙක් දේවල් ලබා ගැනීමට වීරිය කරන අය අතරේ කලාතුරකින් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්න වීරිය කරනවා. විරිය ඉන්ද්‍රිය ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙයයි. “මහණෙනි, වීරිය ඉන්ද්‍රිය යනු කුමක් ද? මෙහිලා ආර්ය ශ්‍රාවකයා (ආරද්ධවිරියෝ විහරති) පටන් ගත් වීරිය ඇතිව වාසය කරයි. (අකුසලානං ධම්මානං පහානාය) අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා (කුසලානං ධම්මානං උපසම්පදාය) කුසල් දහම් උපදවා ගැනීමට (ථාමවා) දැඩි වීරියෙන් යුතු වූයේ, (දළ්හපරක්කමෝ) දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, (අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු) කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි. මහණෙනි, මෙය වීරිය ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මේ ආකාරයට වීරිය ඇතිකර ගැනීම සඳහා ශ්‍රාවකයා උත්සහ කළ යුතුය. නිතරම මරණය ගැන මෙනෙහි කළ යුතුය. සතර අපා භය සිහිකළ යුතුය. අපගේ භාග්‍යවතුන් වහන්සේ සක්කාර ගරුකාර සූත්‍ර දේශනයේ වදාළේ ශාස්තෘන් වහන්සේට සත්කාර ගරු බුහුමන් දක්වන ශ්‍රාවකයා අකුසල් ප්‍රහාණය කොට කුසල් වඩන බවයි.

සති ඉන්ද්‍රිය

සතිය යනු සිහියයි. සිහිය එක් එක් පුද්ගලයන් තුළ අඩුවැඩි වශයෙන් පිහිටයි. සතර සතිපට්ඨානය තුළ සිහිය ඉන්ද්‍රියයක් වශයෙන් බලපැවැත්වීමයි සති ඉන්ද්‍රිය වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ.

“මහණෙනි, සති ඉන්ද්‍රිය යනු කුමක් ද? මෙහිලා ආර්ය ශ්‍රාවකයා (සතිමා හෝති) සිහි ඇත්තේ වෙයි. (පරමේන සතිනේපක්කේන සමන්නාගතෝ) උතුම් සිහියෙන් හා අවස්ථාවෝචිත නුවණින් යුක්ත වූයේ වෙයි. (චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා) බොහෝ කලකට පෙර කළ දෑ ත්, බොහෝ කලකට පෙර කියූ දෑ ත් සිහි කරයි. නැවත නැවත සිහි කරයි. මහණෙනි, මෙය සති ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

යම් කෙනෙකුගේ ජීවිතයට මේ කියූ සතර සතිපට්ඨානය බද්ධ වුවහොත් එය සති ඉන්ද්‍රියයි. අපට එදිනෙදා කටයුතු කරන අවස්ථා වලදී ද මේ සිහිය දියුණු කරගැනීමට පුළුවනි. එදිනෙදා කටයුතු කරන අවස්ථාවලදී කායානුපස්සනා භාවනාවක් පුරුදු කරගැනීමට උත්සහවත් විය යුතුය. අප තුළ ඇතිවන සැප, දුක්, උපේක්ෂා විදීම් ගැන සිහිය පැවැත්වීමට පුරුදු විය යුතුය. සිතේ ඇතිවන වෙනස්කම් ගැන සිහිය පැවැත්වීමට පුරුදු විය යුතුය. පංච නීවරණ ගැන, පංච උපාදානස්කන්ධය ගැන, ආයතන පිළිබඳ, චතුරාර්ය සත්‍ය පිළිබඳ සිහිය පැවැත්වීමට උත්සාහවත් විය යුතුය. එවිට අප තුළ සති ඉන්ද්‍රිය ටිකෙන් ටික දියුණු වී යයි.

සමාධි ඉන්ද්‍රිය

සාමාන්‍ය ලෝකයේ වෙසෙන මිනිසුන් බොහෝ දෙනෙකුගේ සිත්වල ස්වභාවය නම් නිරන්තරයෙන් පංච නීවරණවලින් පීඩා විඳීමයි. සාමාන්‍ය සිතක ස්වභාවය නම් නිරන්තරයෙන් අරමුණෙන් අරමුණට විසිර පැවතීමයි. සමාධි ඉන්ද්‍රිය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා වදාළ සේක “මහණෙනි, සමාධි ඉන්ද්‍රිය යනු කුමක් ද? මෙහිලා ආර්ය ශ්‍රාවකයා (වොස්සග්ගාරම්මණං කරිත්වා) නිවන අරමුණු කොට (ලභති සමාධිං) සමාධිය ලබයි. (ලභති චිත්තස්සේකග්ගතං) සිතෙහි එකඟ බව ලබයි. මහණෙනි, මෙය සමාධි ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

ආර්ය ශ්‍රාවකයා සතර සතිපට්ඨානය තුළ සිහිය පැවැත්වීම දිගින් දිගටම සිදුකරන විට ඔහුගේ සමාධිය පළමුවන ධ්‍යානය, දෙවන ධ්‍යානය, තුන්වන ධ්‍යානය, සතරවන ධ්‍යානය ලෙස දියුණු වී යයි. සමාධිය ඇති කරගැනීම සඳහා ශ්‍රාවකයා පළමුව ශ්‍රද්ධාව ඇති කරගත යුතුය. ඉන්පසු ඇස් කන් ආදී ඉඳුරන් සංවර කරගැනීමට පුරුදු විය යුතුය. භාවනා අරමුණු තුළ නිතර සිහිනුවණ පැවැත්විය යුතුයි. එවිට ටිකෙන් ටික සිත සමාධිගත වීමට පටන් ගනියි.

ප්‍රඥා ඉන්ද්‍රිය

ඉන්ද්‍රිය ධර්මයන් අතරින් අග්‍ර වන්නේ, ශ්‍රේෂ්ඨ වන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක. ප්‍රඥාවන්ත ශ්‍රාවකයා තුළ ඒ අනුව යන ශ්‍රද්ධාව පිහිටයි, වීරිය පිහිටයි, සිහිය පිහිටයි, සමාධිය පිහිටයි. ප්‍රඥා ඉන්ද්‍රිය පිළිබඳව අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙලෙසයි.

“මහණෙනි, ප්‍රඥා ඉන්ද්‍රිය යනු කුමක් ද? මෙහිලා ආර්ය ශ්‍රාවකයා (පඤ්ඤවා හෝති) ප්‍රඥාවන්ත වෙයි. (උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ) හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. (අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා) ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙය ප්‍රඥා ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.”

ඔහු මෙය වනාහී දුක නම් වූ ආර්ය සත්‍යය යැයි යථාභූත ඤාණය ඇති කරගනියි. මෙය වනාහී දුක හටගැනීම… දුක නැති වීම… දුක් නිරුද්ධ වීමේ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යැයි යථාභූත ඤාණය ඇතිකර ගනියි. යම් කෙනෙකුගේ ජීවිතය තුළ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය බද්ධ වී නිවන අවබෝධ වීම සඳහා ඒ ප්‍රඥාව තමන්ට උපකාර කරයි නම් ඒ ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රිය බවට පත් වේ. මේ ලෝකයේ තිබෙන සෑම දෙයක ම යථාර්ථය නම් හටගැනීම හා වැනසී යාමයි. පංච උපාදානස්කන්ධය, ආයතන හය, ධාතු පිළිබඳව හටගැනීම වැනසීම ඒ අයුරින්ම දැකිය යුතුය. ඒ සෑම දෙයක් ම අනිත්‍ය බව නුවණින් වටහා ගත යුතුය. චතුරාර්ය සත්‍යය මෙනෙහි කළ යුතුය.

මේ ආකාරයට පංච ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ ලෙස පිහිටා ඇත්තේ උතුම් රහතන් වහන්සේ තුළ ය. ඊටත් වඩා මෘදු ලෙස අනාගාමී උතුමන් තුළ, සකදාගාමී, සෝතාපන්න ශ්‍රාවකයින් තුළ මෙම ඉන්ද්‍රිය ධර්ම පිහිටයි. ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රවකයින් තුළ ද මෙම ඉන්ද්‍රිය ධර්ම ඉතා මෘදු ලෙස පිහිටා ඇති බවත් යම් කෙනෙකු තුළ මෙම ඉන්ද්‍රිය ධර්ම මොනම ආකාරයකින්වත් නැතිනම් ඔහු මේ ශාසනයට අයිති නැති බාහිර පෘථග්ජන පක්ෂයට අයත් කෙනෙකු බවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක.