පංචශීලය

අපේ බෞද්ධයන් බොහෝ දෙනෙකු අතර භික්ෂූන් වහන්සේ කෝටියක් සංවර ශීලය පිළිපැදිය යුතු යැයි මතයක් පවතී. මෙයින් අදහස් කරන්නේ භික්ෂූන් වහන්සේ කෝටියක විනය නීති වලින් යුතු ශීලයක් ආරක්ෂා කර ගත යුතු බවයි. නමුත් බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට ආරක්ෂා කර ගත යුතු විනය නීති කෝටියක් දේශනා කර නැත. උන්වහන්සේ භික්ෂූන් උදෙසා දේශනා කර ඇත්තේ විනය නීති 227 ක් පමණකි. එය ප්‍රාතිමෝක්ෂයෙහි සඳහන්ය.

එහෙත් බුදුරජාණන් වහන්සේ ගිහියන් සඳහා පනවා ඇති නීති පහකි. එය හඳුන්වන්නේ පන්සිල් නමින්ය. මේවා නීති වශයෙන් දක්වා ඇතත් ඒවා කඩ කළායැයි කියා බුදු සසුනේ් දෙන දඬුවමක් නැත එම වැරැදි කිරීමෙන් මෙලොවත් පරලොවත් දුක් විඳින්නට සිදුවන බව බුදු තේරුම් ගෙන ඒවායින් වැළකී සිටීමට උනන්දු විය යුතුයි. අධිෂ්ඨාන කරගත යුතුයි. පන්සිල් සමාදන්වීමෙන් සිදු කරන්නේ පොරොන්දුවීමකි. එසේ පොරොන්දුවීම සමාදන්වීම නම් වෙයි.

වැළකීම යනු විරතිය යි. විරතිය දෙයාකාර ය. එනම්,

  1. සම්පත්ත විරතිය
  2. සමාදාන විරතිය යනුයි

* සම්පත්ත විරතිය නම්, වරදක් කරන්නට සිදු වූ විට එය වරදක් බව දැනගෙන එයින් වැළකී සිටීමට උත්සාහ කිරීම යි.

* සමාදාන විරතිය යනු තමන් ඒ වරද නො කරන බවට පොරොන්දු වී ඇති හෙයින් එම පොරොන්දුව කඩ කිරීමට බියෙන් එයින් වැළකී සිටීම යි.

පන්සිල් සමාදන් වීමට සුදුසු ස්ථාන කිහිපයකි. ඒවානම්, බුදු මැදුර, චෛත්‍යය, බෝධිය සහ තමන් විසින් පිළියෙළ කරගත් ස්ථානයකි.

ආරම්භය

පන්සිල් සමාදන් වීමට පෙර සිත, කය, වචනය යන තුන්දොර ආරක්ෂා කරගෙන බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි ගෞරවය වඩාගත යුතුයි.

පන්සිල් සමාදන්වීමේ පිළිවෙළක් ඇත. එය දැනගැනීම බෞද්ධ අබෞද්ධ සියලු දෙනාටම වැදගත්ය.

පන්සිල් සමාදන් වීමට තමන්ටම හැකි ය. එසේ නොමැති නම්, තමන් පංචශීලයෙහි පිහිටුවන්නැයි භික්ෂූන් වහන්සේට ආරාධනා කිරීමට හැකිය.

අප විසින් පළමුව සිදුකළ යුත්තේ දෙ අත් නලල්ල තලයෙහි පිහිටුවා ගෙන තෙවරක්

සාදු! සාදු! සාදු!!

ඒ සමග නමස්කාර පාඨය තෙවරක් මෙසේ ප්‍රකාශ කළ යුතුයි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

තේරුම

ඒ භාග්‍යවත් අරහත් වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

මෙය ඒකඤ්ඡපික ස්ථවිරයන් වහන්සේ රහත්වීමෙන් පසු දේශනා කරන ලද ප්‍රකාශකයකි.

“එක නවුතෙ ඉතො කප්පෙ, යමඤ්ජලිං කරිං තදා, දුග්ගතිං නාභිජානාමි, අඤ්ජලිස්ස ඉමං ඵලං”

ඒකඤජලිය ස්ථවිරයන් වහන්සේ විපස්සි බුදුරජාණන් වහන්සේට එක්වරක් දොහොත් මුදුනේ තබා නමස්කාර කළහ. මෙය මේ මහා භද්‍ර කල්පයෙන් අනූඑක් කල්පයකින් යට දී කරන ලද්දකි. ඒ එකම ඇදිලි බැඳීමේ කුසල කර්මයෙන් අනූඑක් කපක් තිස්සේ අගතියක නො ඉපිද දෙව් මිනිස් ලොව සැරිසරා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මහණදම් පුරා රහත් වූහ. මෙයින් අඤ්ජලි කර්මයෙහි හෙවත් තෙරුවන් වැදීමේ ආනිසංසය ගැන සලකා ගත හැකිය. ඒ බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීමෙන් ලැබුණු කුසලය වැනිම කුසල් අදත් උපදවා ගත හැකිය.

සරණාගමනය

නමස්කාරයට පසු සරණාගමනයෙහි පිහිටිය යුතුයි. මෙය තෙරුවන් සරණ යෑම, තිසරණයෙහි පිහිටීම යනුවෙන්ද හැඳින්වෙයි. බුද්ධ, ධම්ම, සංඝ මෙම තෙරුවනයි. තෙරුවන් සරණ යෑමෙහි දී පිළිවෙළක් ඇත.එය මෙසේ ය.

බුද්ධං සරණං ගච්ඡාමි

ධම්මං සරණං ගච්ඡාමි

සංඝං සරණං ගච්ඡාමි

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි

දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි

දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි

තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි

තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

තේරුම

මම බුදුන් සරණ යමි, මම දහම් සරණ යමි, මම සඟුන් සරණ යමි

මම දෙවනුව ද බුදුන් සරණ යමි, මම දෙවනුව ද දහම් සරණ යමි, මම දෙවනුව ද සඟුන් සරණ යමි

මම තෙවනුව ද බුදුන් සරණ යමි, මම තෙවනුව ද දහම් සරණ යමි, මම තෙවනුව ද සඟුන් සරණ යමි

පන්සිල්

තෙරුවන් සරණ යෑමෙන් පසු කළ යුතුවන්නේ පන්සිල් සමාදන් වීමයි. තෙරුවන් සරණ යෑමෙන් කෙනෙකුට බුදු සසුනට ඇතුළත් විය හැකිය. එහෙත් බෞද්ධයකු වන්නේ බෞද්ධ ප්‍රතිපත්ති පිළිපැදීමෙනි. මෙම ප්‍රතිපත්ති නොපුරා තෙරුවන් ඇදහීමෙන් පමණක් බුදු දහමේ පරාමර්ථය වූ නිවනට පැමිණිය නො හැකි ය. ඒ නිසා දෙවනුව වැරැදි පහකින් වැළකී සිටීමට පොරොන්දු විය යුතුය. එය පන්සිල් නම් වේ.

පන්සිල් සමාදන්වීම ප්‍රතිපත්තියකි. පන්සිල්හි පිහිටීමට නම් තමන් එම ප්‍රතිපත්තියෙහි පිහිටා අන් අය ද එම වැරැදි වලින් මුදවා ගැනීමට ක්‍රියාකළ යුතුය. උදාහරණයක් දක්වන්නේ නම්, යම් කෙනෙක් මත්පැන් පානය නොකරන්නේ නම්, ඔහු එයින් මුදවා ගැනීමට ක්‍රියාකිරීම වැනි ය. එසේ යම් කෙනෙකු පස් පවින් වැළකී අන් අයද එයින් වළක්වා ගැනීමට කටයුතු දක්වන්නේ නම්, ඔහු පංචශීලයෙහි පිහිටියා වෙයි.

පන්සිල් පද

පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි

සිංහල අර්ථය

මම සතුන් මැරීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන් වෙමි
මම සොරකම් කිරීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන්වෙමි
මම කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි
මම බොරුකීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන් වෙමි
මම මද්‍යපානයෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන්වෙමි

මෙම දුශ්චරිත පසෙන් වැළකීම පඤ්චශීලය යි. පන්සිල් හොඳින් රැකීම ට නම්, මෙම දුශ්චරිත සිදුවන අයුරු ද වටහා ගත යුතු ය. ඒ මෙසේ ය.

ප්‍රාණඝාතය (පරපණ නැසීම)

විස්තරය:-

ප්‍රාණය යනු ජීවිතය ය. මනුෂ්‍යයකුගේ හෝ තිරිසන් සතකුගේ හෝ ඇසට නොපෙනෙන භූතයකුගේ හෝ අන්තිම වශයෙන් උකුණකු මකුණකු මදුරුවකුගේ ද, මව් කුස සිටින සත්ත්වයකුගේ ද, බිත්තරයක පිළිසිඳ සිටින සත්ත්වයකුගේ ද ජීවිතය ස්වභාව ධර්මය අනුව පවත්නා තාක් පවතින්නට නොදී වෙඩි තැබීම, බෝම්බ ගැසීම, ඇසිඩ් ගැසීම, දියේ ගිල්වීම, විෂදුම් ගැස්වීම, හුස්ම හිර කිරීම, අතින් පයින් පොලුවලින් ගැසීම, උගුල්වට අසු කිරීම, රථවාහනවලට යට කිරීම, ගින්නෙන් දැවීම, වස කැවීම, බිය ගැන්වීම, වරදවා බෙහෙත් දීම, ගප්සා බෙහෙත් දීම යනාදි යම් කිසි උපක්‍ර‍මයකින් තමා විසින් හෝ අනුන් ලවා හෝ නැති කිරීම හෙවත් සතකු මැරවීම යන මෙයින් මේ සිකපදය බිඳේ.

ප්‍රාණඝාතයට අංග පසක් ඇත්තේ ය. එනම් :- පණ ඇති සතකු වීම ය, පණ ඇති සතකු යන හැඟීම තිබීම ය, මරමිය යන සිත ඇතිවීම ය, මරන්නට යම්කිසි උපක්‍ර‍මයක් කිරීම ය, ඒ උපක්‍ර‍මයෙන් සත්ත්වයා ගේ මරණය වීම ය යනු ප්‍රාණඝාතයේ අංග පස ය.

සිකපදය කැඩෙන්නේ පඤ්චාංගය සම්පූර්ණ වූ ප්‍රාණඝාතයෙනි. යන එන විට කුඩා සතුන් පෑගී මළ ද මරණ සිත නැති බැවින් සික පදය නො කැඩේ. එහෙත් සිල් සමාදන් වන උපාසකවරුන් විසින් තමන් නිසා කුඩා සතකුදු නො මැරෙන ලෙස පරෙස්සම් විය යුතු ය. සමහරවිට ජලයෙහි කුඩා සතුන් සිටිය හැකිය. වතුර බිව් කල්හි හුණු කළ කල්හි එහි සතුන් සිටිය හොත් උන් නැසෙන්නාහ. එසේ නොවීම පිණිස සිල්වත්හු පැන් පෙරා පරිභෝග කරති.

අදත්තාදානය (සොරකම)හිමියන් විසින් කැමැත්තෙන් නුදුන් දෙයක් සොර සිතින් ගැනීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.

විස්තරය:-

තණපතක් නූල්පටක් පමණ වූ ද, අන්සතු වස්තුවක් සොර සිතින් තුබූ තැනින් කෙස් ගසක් පමණ වුව ද එසවුව හොත් සික පදය බිඳේ. යම් කිසි අන්සතු දෙයක් සොර සිතින් අතට ගෙන, ගෙන යාමට බියෙන් හෝ සිල් සමාදන්ව ඉන්නා මා හට මෙවැනි නීච වැඩ නුසුදුසු යයි සිතා හෝ අතට ගත් බඩුව තුබූ තැන නැවත තැබූයේ ද සිකපදය නොරැකේ. බඩුව එසවූ කෙණෙහි ම සිකපදය බිඳුණේ ය.

“අයිතිකරුට නො පෙනෙන සේ නො දැනෙන සේ යමක් ගැනීමම අදත්තාදාන ය” යි බොහෝ දෙනා සිතති. අදත්තාදනය සිදුවන ක්‍ර‍ම බොහෝ ගණනක් ඇත්තේ ය.

හිමියාගෙන් උදුරා ගැනීම, හිමියා බිය ගන්වා ගැනීම, ‘මේ බඩුව නුඹේ නොවේය මගේය’ කියා රවටා ගැනීම, ‘මේ ඉඩම නුඹට අයිති නැත. මෙය අයිති මට ය’ කියා රවටා ගැනීම, බොරු අයිතිකම් ඉදිරිපත් කොට නඩු කියා ඉඩම් අයිතිකර ගැනීම, හොර ඔප්පු හොර නෝට්ටු ලියා ඉඩම් ආදිය අයිතිකර ගැනීම, කිරීම් මැණීම් වලදී අඩු වැඩි කොට ගැනීම, නරක බඩු හොඳ බඩුය යි දී මුදල් ගැනීම, රන් රිදී මුතු මැණික් ය කියා වෙන දේවල් දී මුදල් ගැනීම, පරණ බඩු අලුත් බඩු ය කියා විකිණීම, කිරිවලට වතුර මිශ්‍ර‍ කොට විකිණීම, ගිතෙල් ආදියට වෙනත් දේ මිශ්‍ර‍ කොට විකිණීම, බොරු බෙහෙත් විකිණීම, බොරු යන්ත්‍ර‍ මන්ත්‍ර‍ කොට මුදල් ගැනීම, බොරු ශාස්ත්‍ර‍ කියා මුදල් ගැනීම, සම්මාදන් කර ගැනීම, ණයට ය කියා ගැනීම යනාදී නොයෙක් ක්‍ර‍මවලින් අදත්තාදාන සිකපදය කැඩේ.

අදත්තාදානයේ අංග පස

අන්සතු වස්තුවක් වීම ය, අන්සතු වස්තුවක් බව දැනීමය, සොර සිත ය, ගැනීමට යම්කිසි උපක්‍ර‍මයක් කිරීම ය, ඒ උපක්‍ර‍මයෙන් අන්සතු වස්තුව තුබූ තැනින් ඉවත් කිරීම යන මේ අංග පස සම්පූර්ණ වීමෙන් ම අදත්තාදන සිකපදය බිඳේ.

අන්සතු වස්තුවක් තමාගේ යයි සිතා වැරදීමකින් ගැනීමෙන් සිකපදය නො බිඳේ. සොර සිතෙන් තොරව පසුව තුබූ තැන තබමිය යන අදහසින් අන් සතු වස්තුවක් ගැනීමෙන් ද සිකපදය නො බිඳේ. වස්තු හිමියාගේ මිත්‍ර‍ත්වය සලකාගෙන ගැනීමෙන් ද සිකපදය නො බිඳේ.

කාම මිථ්‍යාචාරය, (කාමයන්හි වරදවා හැසිරීම)

  • සේවනය නො කළ යුතු පුද්ගලයෙකු වීම (ස්ත්‍රී /පුරුෂ)
  • වරදවා හැසිරීමේ චේතනාව
  • වරදවා හැසිරීමේ උත්සාහය
  • ආස්වාදය ඉවසීම හෙවත් සේවනය

කාමයන් හි වරදවා හැසිරීම ට මෙම කරුණු සම්පූර්ණ විය යුතු ය.

මුසාවාදය (බොරු කීම)

විස්තරය:-

කියන කරුණ අසත්‍යයක් වීම ය, අනුන් රවටන අදහස ය. අනුන් රැවටීමේ උත්සාහ ය, අනෙකා කී දේ තේරුම් ගැනීම යන මේ අංග සතර සම්පූර්ණ වන බොරුවෙන් මුසාවාද සික පදය බිඳේ.

රැවටීමේ අදහසින් තොරව අනිකකුට යමක් දෙමිය කියා එය දෙන්නට නුපුළුවන් වුවහොත්, කීම බොරු වුවද රැවටීමේ අදහසින් තොරව කී බැවින් සිකපදය නො බිඳේ. රැවටීමේ අදහසින් අනිකකුට යමක් දෙමිය කියා පසුව මා වැන්නකුට අනුන් රැවටීම නුසුදුසු යයි සිතා කී පරිදි ම දුන ද කියන අවස්ථාවේදී රැවටීමේ අදහසින් කී නිසා සිකපදය බිඳේ. බොරුවක් කියන කල්හි අසන්නාට නොතේරුණේ නම් සිකපදය නො බිඳේ. කටින් කීමෙන් පමණක් නොව බොරුවක් හිසින් හෝ අත්වලින් හෝ ඇඟවීමෙන් ද සික පදය බිඳේ. බොරු ලියා තැබීම්, ලියා යැවීම් වලින් ද සිකපදය බිඳේ.

හොඳ මිනිස්සුය ශීලාචාර මිනිස්සුය උසස් මිනිස්සුය උගත්තු ය කියන මිනිසුන් අතර ද බොරු කියන්නෝ බොහෝ සිටිති. සාමාන්‍ය ජනයා අතර බොරු කීමේ පුරුද්ද ඇතියෝ බොහෝ ය. ඔවුහු කිසි ප්‍රයෝජනයක් නැතිව විනෝදය පිණිස ද බොරු කියති. සිල් සමාදන් වන්නවුන් අතර ද ඒ පුරුද්ද ඇත්තෝ ඇත. බොහෝ දෙනා සිල් බිඳ ගන්නේ බොරු කීමෙනි. සිල් සමාදන් වූ තැනැත්තා විසින් කවටකමටවත් බොරුවක් නොකිය යුතුය. එදින කතා අඩු කරගෙන සිටීම යහපති. කතා කළ ද සිහියෙන් කතා කළයුතු ය.

සුරා පානය සිදු වන අයුරු.(මදයට හා ප්‍ර‍මාදයට හේතුවන සුරාමේරය පානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.)

විස්තරය:-

මෙහි මදය යි කියනුයේ ක්ලාන්තය නොව සිතේ ප්‍ර‍කෘතිය වෙනස්වීම ය. දුම්කොළ, පුවක් ආදිය නිසා වන මතක් ද ඇත. එය ශරීරය දුබල වීමකි. එයින් සිතෙහි විපර්‍ය්‍යාශයක් නොවේ. ඒ දුබලකම ඇතිකරන දුම්කොළ පුවක් ආදිය පාවිච්චි කිරීමෙන් මේ සිකපදය නො බිඳේ. මෙය බිඳෙන්නේ මිනිසාගේ සිතේ ප්‍ර‍කෘතිය වෙනස් කරන රා අරක්කු කසිප්පු අබිං කංසා ආදිය පාවිච්චි කිරීමෙනි. ඇතැම් බෙහෙත්වලට මද්‍යවර්ග ගන්නේ ය. ඒ බෙහෙත් පමණට වඩා ගත හොත් මත් වේ. මද්‍ය රසය මද්‍යගන්ධය නැති එබඳු බෙහෙත් පමණට ගැනීමෙන් සිකපදය නො බිඳේ.

සුරාපානයේ අංග සතර

මත්වන දෙයක් වීම, පානය කිරීමට කැමැත්ත, බීමට උත්සාහ කිරීම, මත්ද්‍ර‍ව්‍යය උගුරෙන් ඔබ්බට ඇතුළුවීම යන මේ අංග සතරින් සුරාපාන සිකපදය බිඳේ.

පන්සිල් රැකීමේ අනුසස්

මෙම දුශ්චරිතයන්ගෙන් වැළකුණු තෙරුවන් සරණ ගිය උපාසකයා/උපාසිකාව සිල්වතෙකු/සිල්වතියක වේ. බොහෝ දෙනෙකු යහපත් දෙයක් හෝ අයහපත් දෙයක් කිරීම ට උත්සාහවත් වන්නේ ඉන් තමා ට ලැබෙන ප්‍රයොජන සලකාගෙන ය. සිල්වත් ජීවිතයක් ගත කරන්නෙකු ට එයින් බොහෝ ආනිසංස ලබා ගත හැකි වෙතත් වැඩිදෙනෙක් එ ම ආනිසංස නො දන්නා බැවින් සිල්වත් ජීවිතයක් ගත කිරීම ට උනන්දු නො වෙති. සිල්වත් ජීවිතයක් ගත කරන්නෙකුට පහත සඳහන් ආනිසංස ලැබෙන බව දීඝනිකායේ මහාපරිනිබ්බාණ සූත්‍රයෙහි සඳහන් වේ.

  1. සිල්වත් ශ්‍රාවකයා නො පමා බව නිසා බොහෝ භෝග ලබයි.
  2. සිල්වත් ශ්‍රාවකයා පිළිබඳ වූ කීර්තිරාවයක් උස්ව නැගේ.
  3. සිල්වත් ශ්‍රාවකයා යම් පිරිසක් වෙත එළඹෙ ද හෙතෙම විශාරද වම එළඹෙයි.
  4. සිල්වත් ශ්‍රාවකයා සිහි මුළා නො වී කලුරිය කරයි
  5. සිල්වත් ශ්‍රාවකයා මරණින් මතු සුගතිගාමී වෙයි.

තව ද පන්සිල් රකින්නා වූ ශ්‍රාවකයා ට වෙන වෙනම ලැබෙන ආනිසංස පිළිබඳ ව පරමත්‍ථජෝතිකා නම් වූ ඛුද්දකපාඨ අට්ඨකථාවෙ හි මෙ සේ සඳහන් වේ.

ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා මනා අඟපසඟින් යුතු ව ඉපදීම ආරෝහපරිනාහයෙන් (මනා උස මහතින්) යුක්ත වීම, ජවයෙන් (ශක්තියෙන්) යුතු වීම,පොළොවෙහි මැනවින් පිහිටන යටිපතුල් ඇති බව, මනෝඥ බව, මෘදු බව, පිරිසුදු බව, ශුරභාවය, මහාබල ඇති බව, ඇදහිය හැකි වචන ඇති බව, ලෝකයාට ප්‍රිය වන බව, නිදොස් බව, නො බිඳිය හැකි පිරිස් ඇති බව, තැති නො ගන්නා බව, විනාශ කළ නො හැකි බව, අන්‍යයන්ගේ උපක්‍රමයකින් නො මැරෙන බව, බොහෝ පිරිවර ඇති බව සුරූපී බව, මනා සටහන් (හැඩ) ඇති බව, අල්පාබාධ බව, ශෝක නො කරන බව, ප්‍රිය මනාප වූවන්ගෙන් වෙන් නො වන බව, දීර්ඝායුෂ්ක බව යනා දී ආනිසංස ලැබේ.

නුදුන් දේ සොරා ගැනීමෙන් වැළකීම නිසා මහාධනවතෙකු වීම, බොහෝ භවභෝග සම්පත් ලැබීම, ප්‍රමාණ කළ නො හැකි තරම් සම්පත් ලැබීම, නො ලද සම්පත් ලැබීම, ලද සම්පත් විනාශ නො වීම, කැමති වන සම්පත් වහා ලැබීම, තමා ගේ සම්පත් රජුන්, සොරුන්, අප්‍රියයන් විසින් පැහැර ගත නො හැකි වීම මෙන් ම ගින්නෙන් ජලයෙන් විනාශ නො වී, අන්‍යයන් ට සාධාරණ නො වන ධනය ලැබීම, ලොව උතුම් කෙනෙකු වීම, තමා ට අසවල් දෙය නැතැ යි කියන බව නො දැනීම, සැප සේ විසීම යනා දි ආනිසංස ලැබේ.

කාමයන් හි වරදවා හැසිරීමෙන් වැළකීම නිසා සතුරුබිය නැතිවීම, බොහෝ දෙනාට ප්‍රියමනාප වීම, අපායභය සන්සිඳීම, ස්ත්‍රිභාවය හෝ නපුංසකභාවයට පත් නොවීම, සමාජයෙ හි නො පසු බෑම, පිරිපුන් ඉන්ද්‍රියයන් ඇතිවීම ස්ත්‍රී පුරුෂයන් ට ඔවුනොවුන් ප්‍රිය වීම යනා දි ආනිසංස ලැබිය හැකි බව පෙනේ.

බොරුකීමෙන් වැළකීම නිසා ප්‍රසන්න ඉන්ද්‍රියයන් ඇති බව, මිහිරි වදන් ඇති බව, මනා සුදුවන් දත් ඇති බව, තරබාරු නො වීම, වඩාත් කෘශ නොවීම. වඩාත් උස් නො වීම, වඩාත් මිටි නොවීම, සැප පහස ඇති බව, මානෙල්මල් සුවඳ හමන මුඛයක් ඇති වීම, කීකරු පරිවාර පිරිසක් ඇති බව, ඇදහිය යුතු වචන ඇති බව, නෙළුම්පතක් මෙන් මෘදු තුනි රතුවන් දිවක් ඇති වීම, නො සන්සුන් නොවීම, චපල (ස්ථිර වචන නැති) නො වීම යනාදි ආනිසංස ලැබේ.

රහමෙර (මත්ද්‍රව්‍ය ) භාවිතයෙන් වැළකීමෙන් අතීත අනාගත වර්තමාන යන තුන්කල්හිම කළ යුතු කටයුතුවල දී වහා වැටහෙන සුලු බව, සෑම කල් හි මනා සිහියෙන් යුතු වීම, උමතු නොවීම , ඥානවන්ත වීම, අලස නොවීම, අඥාන නො වීම, කෙලතොලු නො වීම, මත් නොවීම, ප්‍රමාද නො වීම, මුළා නො වීම, තැති නොගැනීම, එකටෙක නො කිරීම, ඊර්ෂා නො කිරීම, සත්‍යවාදි බව, කේලාම් නො කීම, පරුෂවචන නො කීම, නිරර්ථකවචන නො කීම, දිවාරාත්‍රී මැලි නොවීම, කෘතඥ වීම, මසුරු නො වීම, ත්‍යාගශීලි වීම, සිල්වත් වීම, ඍජු වීම, ක්‍රෝධ නො කිරීම, පාපයට ලජ්ජා වීම, පාපයට බිය වීම, ඍජු වූ (නිවැරදි ) දෘෂ්ටියෙන් යුතු වීම, මහාප්‍රාඥයෙකු වීම, නුවණැත්තෙකු වීම, පණ්ඩිතයෙකු වීම, අර්ථානර්ථ දැනගැනීමෙහි දක්‍ෂ වීම යනාදි බොහෝ ආනිසංස ලැබේ.

මෙවැනි මහත් වූ ආනිසංසයක් පන්සිල් සුරැකීම නිසා අත්වන්නේ ය. එ මෙන් ම මේ ශික්ෂා පද සියල්ල එකිනෙක බැඳී ඇති අයුරු ද තේරුම් ගෙන පන්සිල් ආරක්ෂා කළ යුතු වේ. මෙයින් එක් සිකපදයක් හෝ කැඩෙන්නේ නම් අනෙක් සිකපද ද කැඩීම ඉතා ඉක්මනින් සිදුවන බව මනසින් කල්පනා කළ හැකි ඕනෑ ම අයකු ට තේරුම් ගැනීම අපහසු නො වේ.

සැම දා පන්සිල් සමාදන් විය යුතු ද?

බෞද්ධයන් ලෙස කුමන වැදගත් කටයුත්තක් ආරම්භ කළ ත් ත්‍රිවිධරත්නයේ ගුණ සිහි කර පන්සිල් සමාදන් ව ආරම්භ කිරීම සිරිත ය. වරක් පන්සිල් සමාදන් වූවකු ගේ ශීලය සිකපදයක් කැඩෙනතුරු කොතෙක් කල් හෝ පවත්නේ ය. ඒ නිසා නැවත පන්සිල් සමාදන් වුවත් නො වුවත් සිකපද බිදෙනතුරු ඔහු සිල්වතෙකි. ඉහත සඳහන් කළ පන්සිල් රැකීමෙන් ඇතිවන කුසලයන් නිරන්තරයෙන් ඇති නො වේ. ශීලය තුළින් කුසල් වැඩෙන අවස්ථා දෙකක් ඇත. එකක් නම් සිකපද සමාදන් වන අවස්ථාව යි. අනෙක් අවස්ථාව තමන් ට ප්‍රාණඝාතාදී අකුසල කිරීම සඳහා අවකාශ සැලසුණු විට එය නො කර හැරීම යි. “වරක් සමාදන් වූ ශීලය ඇතිනම් නැවත නැවත නැවත සමාදන් වන්න ට වුවමනා නැත. එයින් ප්‍රයෝජනයක් නැත ය” යි කියන්නේ කුසලාකුසල පිළිබඳ නිවැරදි ව නො දන්නා බැවිනි. දිනකට කිහිප වරක් පන්සිල් සමාදන් වුවත් එයින් වැඩක් මිස අවැඩක් සිදු නො වේ.

පෙර දඹදිව පැවැති වෛදික සහ උපනිෂද් යුගවල ද පංචශීල ප්‍රතිපත්තිය පැවතිණි. ලෝක ධර්මය, දේව ධර්මය යනුවෙන් එය හැඳින්විණි. සමාජ ආචාර ධර්මයක් වශයෙන් පැවැති පංචශීල ප්‍රතිපත්තිය, බුදුරජාණන් වහන්සේ ගිහි බෞද්ධ ජනතාවගේ නිත්‍ය ශීලය බවට පත් කළහ.