නන්ද ජාතකය

තවද එක්සමයෙක්හි බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනසේක් සැරියුත් මහතෙරුන් වහන්සේගේ සෘද්ධි විහාරික භික්ෂූ කෙණෙකුන් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ භික්ෂූන් වහන්සේ වනාහි කීකරුය වචනයෙන් ඉවසන සේක, සැරියුත් මහතෙරුන් වහන්සේට මහත් ව්‍යායාමයෙන් උපකාර කරණ සේක. ඉක්බිත්තෙන් එක්සමයෙක්හි සැරියුත් මහතෙරුන් වහන්සේ බුදුරජානන් වහන්සේට සැළකොට දනව් සැරිසරා වඩනනාසේක් දක්ෂිණගිරි ජනපනදයට වැඩිසේක.

කීකරු ඒ භික්ෂූන් වහන්සේ ඒ ජනපදයට වැඩි කල්හි දැඩි මන් ඇතිව තෙරුන් වහන්සේගේ වචනය නොකරණ සේක. ඇවැත්නි. මෙනම් දෙයකරවයි කී කල්හි වනාහි තෙරුන්වහන්සේට ප්‍රතිපක්‍ෂ වූයේය. ස්ථවිරයන් වහන්සේ ඔහුගේ අදහස් නොදන්නා සේක. තෙරුන් වහන්සේ ඒ ජනපදයෙහි සැරිසරා නැවත ජේතවනාරාමයට වැඩිසේක. ඒ භික්ෂූන් වහන්සේ තෙරුන් වහන්සේට ජේතවනා විහාරයට ආකල් තැන් පටන් නැවත එබදු ගුණයෙන් යුක්තවූසේක.

තෙරුන්වහන්සේ සර්වඥයන් වහන්සේට මෙබැව් දෑන් වූ සේක.
“ස්වාමීන්වහන්ස! මාගේ එක් සෘද්ධිවිහාරික භික්ෂූ කෙණෙක් එක් තැනෙක්හි සියයක් දී ගත් දාසයෙකු මෙන් වන්නේය. එක් තැනෙක්හි දැඩි මන් ඇතිව මෙනම් දෙයක් කරවයි කියනු ලබන්නේ ප්‍රතිපක්‍ෂ වන්නේ ය”යි දැන්වූසේක.

සර්වඥයන් වහන්සේ වදාරණසේක්, “ශාරිපුත්‍රස්ථවිරයෙනි! මේ මහණතෙම මෙබදු ශිලීවූයේ දැන්මතු නොවෙයි. පෙරත් මෙ තෙම එක් තෙනකට ගියේ සියයක්දී ගත් දාසයකු මෙන් වන්නේය. එක් තෙනකට ගියේ ප්‍රතිපක්‍ෂව පිළිසතුරු වන්නේය”යි වදාරා තෙරුන්වහන්සේ විසින් යාඥාකරණ ලදුව ඉකුත්වත් ගෙණහැර දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහා බෝධිසත්වයන් වහන්සේ එක් කෙළෙඹිකුලයෙක්හි පිළිසිඳ ගත්සේක. අප මහාබෝසතානන් වහන්සේගේ යහළු වූ එක් කෙළඹි පුත්‍රයෙක් ඇත්තේය. හෙතම වෘද්ධය ඔහුගේ භාර්යාව වනාහි ලදරුය ඒ තරුණ ස්ත්‍රී තොමෝ වෘද්ධ පුරුෂයා නිසා පුත්‍රයකු ලද්දේය.

ඒ පුරුෂ තෙම සිතනුයේ “මේ ස්ත්‍රී තරුණ බැවින් මාගේ ඇවෑමෙන් කිසියම් පුරුෂයකු ගෙණ මේ වස්තුව නසන්නීය. මාගේ පුත්‍රයාහට නොදන්නීය. මම මේ ධනය පෘථිවිගත කෙලෙම්නම් යෙහකැ”යි සිතා ගෙයි නන්ද නම් දාසයා කැඳවාගෙණ වනයට ගොස් එක් තැනෙක්හි ඒ වස්තුව නිධානගත කොට ඕහට කියා “පින්වත් නන්ද!  මේ වස්තුව මාගේ ඇවෑමෙන් මාගේ පුත්‍රයා හට කියව! ඒ වස්තුව පරිත්‍යාග නොකරව”යි කියා ඕහට අවවාද දී කාලක්‍රියා කෙළේය.

ඔහුගේ පුත්‍රද අනුක්‍රමයෙන් වැඩිවිය පැමිණියේය. ඉක්බිත්තෙන් ඕහට මෑනියෝ මෙසේ කිවුය. “පුත්‍රය! තොපගේ පියානෝ නන්ද නම් දාසයා කැඳවාගෙණ වස්තුව නිධාන කෙළේය.ඒ වස්තුව ගෙන්වා ගෙණ කුටුඹ සංඨාපනය කරව”යි කිවුය.

ඒ පත්‍රතෙම එක් දවසක් නන්ද නම් දාසයහට කියනුයේ “මලනුවෙනි මාගේ පියානන් විසින් කිසි වස්තුවක් නිධාන කරණලද්දේ ඇද්ද?”යි කියේය.
“එසේය ස්වාමීන් වහන්සේයැ”යි කීයේය.
“ඒ වස්තුව කොතැන්හි නිධානකරණ ලද්දේදැ?”යි විචාාළේය.
“ස්වාමින් වහන්ස! වනයෙහි ය”යි කීයේය.
“එසේවීනම් යම්හ”යි කියා උදැල්ලක් හා කූඩයක් ගෙණ නිධාන තිබෙන තැනට ගොස් “මයිල වස්තූව කොතැන්හිදැ?”යි කීයේය.

නන්ද නම් දාසයා නැගී වස්තුව මත්තෙහි සිට වස්තු නිසා මානය උපදවා,
“කොල දාසි පුත්‍රය! මෙහෙකරුව! තොපට මෙතැන්හි වස්තු කොයින්දැ?”යි කුමාරයාහට ආක්‍රෝශ කෙළේය.
කුමාරතෙම ඔහුගේ පරුෂවචන අසා නො ඇසුනාක් මෙන්ම “එසේවී නම් යම්හ”යි කියා ඔශු කැඳවාගෙණ ආපසු අවුත් නැවත දෙතුන් දවසක් ඉක්මවා ගියේය.

යලිත් වරක් නන්ද දාසයා ගෙන් අසන්නේ ” මලනුවෙනි මාගේ පියානන් විසින් නිධාන කරණලද වස්තුව කොතැනක   ඇද්ද?”යි කියේය.  කලින් සේම වනයට ගොස් “කිතැනක ඇත්දැයි අසු කල නන්ද නම් දාසතෙම එලෙසම ආක්‍රෝශ කරන්නේය. කුමාරයා ඔහු හා සමඟ පරුෂවචන නොකියාම ආපසු අවුත් මේ දාසතෙම මෙතැන් පටන් වස්තුව කියන්නෙම් කිය කියා යන්නේය. ගොස් වනාහි ආක්‍රොශ කරන්නේය. එහි කාරණා නොදන්නෙම් මාගේ පියානන්ගේ යහළු වූ කෙළඹි පුත්‍රයෙක් ඇත්තේය. ඔහු අතින් විචාරා දැන ගනිමි කියා බෝධිසත්වයන් වහන්සේගේ සමීපයට ගොස් ඒ සියලු ප්‍රවෘත්තිය කියා
“පියානෙනි, කවර කාරණාවක් දැ?”යි විචාලේය.
බෝධිසත්වයන් වහන්සේ කියනසේක්,  “පුත්‍රය! යම් තැනෙක්හි සිට නන්ද නම් දාස තෙම ආක්‍රොශ කරන්නේද තොපගේ පියානන් සන්තක වස්තුව එතැන්හිමය. ඒ කාරණයෙන් යම් තැනෙක්හිදී තොපට නන්ද නම් දාසතෙම ආක්‍රෝශ කරන්නේද එතැන්හි දීම ඔහු කොල දාසය වරෙවයි කියා ඇද දමා උදැල්ලක් ගෙන එතැන බිඳ කුල සන්තක වස්තුව නිකුත්කොට දාසයා ලවා ඔසවා වස්තුව ගනුව”යි කියා මෙසේ කීසේක.
“කුලජාත දාසියගේ පුත්‍ර වූ නන්ද නම් දාසතෙම යම් තෙනෙක්හි සිටියේ පරුෂකොට ගර්භාකෙරේද බෙණෙ ද සොහනවර්ණ සාමාන්‍යයෙන් ස්වර්ණ මාලාද යම් තැනෙක්හි ඔහු සිටී ද එතැන්හියයි සිතමි” යි කියා බෝධිසත්වයන් වහන්සේ කුමායාහට වස්තු ගන්නා උපාස වදාළසේක.

කුමාරතෙම බෝධිසත්වයන් වහන්සේට වැඳ ගෙට ගොස් නන්ද නම් දාසයා කැඳවා ගෙණ නිධානතිබෙන තැනට ගොස් අවවාද කී පරිද්දෙන් පිළිපැද ඒ වස්තුව ගෙණ කුටුඹ සංඨාපනය කොට බෝධිසත්වයන් වහන්සේගේ අවවාදයෙහි සිටියෙහි සිටියේ දාන ශිලාදී පින්කම් කොට ජීවිතයාගේ කෙළවර කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියසේක.

ශාස්තෘ වූ බුදු රජානන් වහන්සේ වදාරණසේක් මේ මහණ පෙරත් මෙබදු ශිලීවූයේ යයි වදාරා මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා මේ නන්ද ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි නන්ද නම් දාසතෙම මේ සැරියුත් මහතෙරුන් වහන්සේගේ සෘද්ධි විහාරික වූ භික්ෂූහුය. නුවනැත්තා වූ කෙළඹි පුත්‍රව උපන්නෙම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජවූ මමම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.