නච්ච ජාතකය

තවද එක්සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් බහුභාණ්ඩික එක් භික්ෂු කෙණෙකුන් අරභයා මේ ජාතකය වදාළ සේක.

(මෙහි වර්තමාන කථාව යට කියන ලද දේවධර්ම ජාතකයෙහි කියනලද්ද හා සදෘශය.
සැවැත්නුවර වාසීහු එක් කෙළඹි පුත්‍රයෙක් තමාගේ භාර්යාව මිය පරලොව ගිය කල්හි ශාසනයෙහි මහණ වූයේය. එතෙම මහණවන්නට පූර්ව භාගයෙහිම තමා වසනු පිණිස පන්සලකුත් ගිනිහල් ගෙයකුත් බඩු හල්ගෙයකුත් කරවා බඩුගල්ගෙය ගිතෙල් තලතෙල් ආදීයෙන් පුරා මහණ වූ යේය. මහණ වූ පසු තමාසන්තක කෙල්ලන් කොල්ලන් කැඳවා ගෙන්වා ගෙණ රුචිවූ පරිද්දෙන් බත් මාළු පිසවාගෙණ අනුභවකරන්නේය. සිවුරු ආදීවූ බොහෝ පිරිකර ඇත්තේය. රාත්‍රියෙහි එක් අඳනයක් හා පොරවනයක් පොරෝණේය. දිවාභාගයෙහි අනික් අඳනය හා අනික් පොරෝණයක් වළදීන්නේය. විහාර කෙළවර වාසය කරන්නේය. ඉක්බිත්තෙන් එක් දවසක් මේ භික්ෂූන් වහන්සේ සිවුරු හා ඇතිරි ආදිය ගෙන් පිටත්කොට මළුවේ වනා අවුගස්වන කලට බොහෝ දනව්වාසී වූ භික්ෂූන් වහන්සේ සෙනාසන චාරිකාවේහි ඇවිදිනාසේක් ඒ බහු භාණ්ඩික භික්ෂූන්ගේ මළුවට ගොස් සිවුරු ආදිය දැක මේ කාගේදැයි විචාළසේක. ඒ බහුභාණ්ඩික මහණ ඇවැත්නි මාගේ යයි කී සේක. ඇවැත්නි මේ සිවුරත් මේ අඳනයත් මේ අඳනයක් මේ ඇතිරියත් මේ ඇතිරියත් සියල්ලම තොපගේ දැයි විචාළසේක. එසේය ඇවැත්නි කී කල්හි භික්‍ෂූන් වහන්සේ කියනසේක ඇවැත්නි, බුදුරජානන් වහන්සේ විසින් තුන්සිවුරු අනුදන්නා ලදහ මෙසේ අපෙලච්ඡ වූ සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි තොපි මහණ වී මෙසේ බොහෝ පිරිකර ඇති කල වරෝ යම්හ තොප සර්වඥයන් වහන්සේ සමීපයට ගෙණයම්හ යි කියා ඒ භික්‍ෂූහූ කැඳවාගෙණ බුදුන් සමීපයට ගියසේක. බුදුහු දැකලාම කිමෙක්ද මහණෙනි, මේ භික්ෂූහූ නොකමැති පරිද්දෙන්ම කැඳවාගෙණ අවුදැයි වදාළසේක. එකල්හි භික්ෂූන් වහන්සේ කියනසේක් ස්වාමීනි මේ මහණ බහු භාණ්ඩිකය බහු පරිෂ්කාර ඇත්තේයයි දැන්වූසේක. )

සර්වඡයන් වහන්සේ ඒ මහණට වදාරණසේක්
“මහණ! තෝ බහුභාණ්ඩික වූයේ සැබෑද කිම් දැ?”යි වදාළ සේක.
“ස්වාමීන් වහන්ස! එසේය”යි දැන්වූ කල්හි
“කවර කාරණයකින් තෝ බහුභාණ්ඩික වූයෙහි දැ”යි වදාළ සේක,
ඒ මහණතෙම මෙපමණක් අසාම කිපුනේ අඳනා පොරෝනා සිවුරු දමා
“දැන් මේ ආකාරයෙන් ම හැසිරෙමි” යි  කියා  අඳනා පොරෝනා සිවුරු දමා සර්වඥයන් වහන්සේ අභිමුඛයෙහි නග්නව සිටියේය.
මනුෂ්‍යයෝ ඕහට නින්දාවේවයි කීවාහුය,
එතෙම එයින් දිවගොස් ගිහිවූයේය.

භික්ෂුහූ දම්සභායෙහි රැස්ව උන්නාහු බුදුරජානන් වහන්සේගේ ඉදිරියෙහි මෙබන්දක් කෙළේ යයි කියා ඔහුගේ නුගුණ කථා කීවාහුය බුදුරජානන් වහන්සේ එතනට වැඩ වදාරා “මහණෙනි! මේ දම්සභාවෙහි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උන්නාහුදැ?”යි භික්ෂූන්ගෙන් විචාරා වදාළසේක.
ස්වාමීන් වහන්ස “ඒ භික්ෂූන් වහන්සේ නම් නුඹ වහන්සේගේ ඉදිරියෙහි සිව්වනක් පර්ෂිත් මධ්‍යයෙහි හිරිඔතප් දෙක හැර ගම් ලදරුවෙකු මෙන් නග්නව සිට මනුෂ්‍යයන් විසින් පිළිකුල් කරණු ලබන්නේ ගිහිව ශාසනයෙන් පිරිහුනේ යයි කියා ඔහුගේ නුගුණ කථාව කිය කියා උනුම්හ:යි දැන්වුහ.

සර්වඥයන් වහන්සේ “මහණෙනි! ඒ මහණ හිරි ඔතප් නැතිව සර්වඥ ශාසනයෙන් පිරිහුනේ දැන් මතු නොවෙයි පූර්වෙහි ස්ත්‍රීරත්න ප්‍රතිලාභයෙන්ද පිරිහුණෝමය”යි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස ප්‍රථම කල්පයෙහි සිව්පාවෝ සිංහයකු උන්ගේ  රජ කළාහුය. මත්ස්‍යයෝ ආනන්ද නම් මත්ස්‍යයා රජ කළාහුය. පක්ෂිහූ ස්වර්ණාහංසයා රජකළාහුය. ඒ ස්වර්ණ හංසයාගේ වනාහි ධීතෘවූ හංසපොතිකාව විශිෂ්ට රූ ඇත්තීය. හංසරාජතෙම ඒ හංසධෙනුවට වරයක් දුන්නේය. ඕතොමෝ තමාගේ සිතට රුචි වූ ස්වාමියකු ප්‍රාර්ථනා කළාහුය. හංසරාජතෙම තමාගේ දුවනියන්ට වරය දී හිමාලය වනයෙහි සියලු පක්ෂින් රැස්කරවුයේය. අනේකප්‍රකාරවූ හංස, මයුරාදී පක්ෂි සමූහයෝ රැස්ව එක් මහත් වූ පහණතෙලෙක්හි රැස්වූවහුය. හංසරාජතෙම තමහට සිත්කළු වූ ස්වාමියෙකු අවුත් ගන්වයි කියා දුවනියන් කැඳවූයේය. හංසධේනුතොම පක්ෂි සමුහයා බලන්නී මැණික්වන් ශ්‍රීවය ඇති විසිතුරු පත් ඇති මයුරයකු දැක මේ තෙම මට ස්වාමි වේවායි කැමතිවුවාහුය.

පක්ෂි සමූහයෝ මයුරයා කරා එළඹ මෙසේ කීයාහුය. “යහළු මයුරය මේ හංසරාජයාගේ දුවනියෝ මෙපමණ පක්ෂීන්ගේ මධ්‍යයෙහි ස්වාමියෙකු කැමතිවන්නී තොප කැමතිවූවාය”යි කිවාහුය.

එවෙලෙහි මයුර තෙම “දැන්ම වනාහි මාගේ බලය නුදුටුයෙහි දැ”යි කියා ඉතා සතුටුව හිරි ඔතප් දෙක බිඳ පළමුකොට මහත්වූ පක්ෂි සමූහයාගේ මැද පක්ෂපත්‍රටන් දිගුකොට නටන්නට පටන් ගත්තේය නෘත්‍ය කරණුයේ නොසැඟවුනා වූ වර්ඡස්මාර්ගය ඇතිවූයේය.

ස්වර්ණහංසරාජතෙම ලජ්ජාවට පැමිණියේ “මොහුට අධ්‍යාත්මිකව පහළ වන්නා වූ හිරිද නැත්තේය. ඛාභ්‍යව පවත්නා වූ භයද නැත්තේය. හිර ඔතප් දෙක බිඳුනා වූ මොහුට මාගේ දුවනියන් නොදෙමි” කියා පක්ෂි සමූහයා මධ්‍යයෙහි මෙසේ කීසේක.

“මයුරය තාගේ ශබ්දය මනොඥය, පිටත සිත්කළුය, ශ්‍රී වයද වෛඩුර්යය මාණික්‍යයෙහි වර්ණ හා සදෘශය, තාගේ පිංජහාරයෝද ව්‍යාම මාත්‍රයහ, මෙසේ රූපීවූවද හිරි ඔතප් දෙක බිඳ නෘත්‍ය කළ හෙයින් මෙබදූ ලජ්ජා නැත්තා වූ තොපට මාගේ දුව නෙදෙමි” කියා හංසරජ එම පර්ෂිත් මධ්‍යයෙහිම තමාගේ බෑනා වූ හංසපොතකයාහට තමාගේ දුවනි වූ හංසධේනුව දුන්සේක. මයුරතෙම හංසපෝතිකාව නොලැබ ලජ්ජාව එයින් පැන නැගී ගියේය, හංසරජ ද තමා වසන තැනටම ගියේය.

ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ “මහණෙනි, මේ මහණ හිරිඔතප් දෙක බිඳ රත්න ශාසනයෙන් පිරිහුනේ දැන් මතු නොවෙයි පෙරත් ස්ත්‍රීරත්නය ලැබීමෙන්ද පිරිහුනේමය”යි වදාරා මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ නච්ච ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි මයුරතෙස දැන් මේ බහුභාණ්ඩික මහණවූයේය. හංසරාජව උපන්නෙම් වනාහී තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවූ මම්ම වේම්දැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.