දුම්මෙධ ජාතකය

තවද එක් සමයෙක්හි දිව්‍යබ්‍රහ්මයන්ගේ මස්තකයෙහි කෙලෙනා ශ්‍රී පාද ඇති බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරණ සේක් ලෝකාර්ථ චර්යාවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

[මෙහි වර්ථමාන කථාව දොළොස් වැනි නිපාතයෙහි වූ මහා කණහ ජාතකයයෙහි මතු ප්‍රකාශ වන්නේය.]

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහ බෝධිසත්වයන් වහන්සේ ඒ රජ්ජුරුහුගේ අග්‍රමෙහෙසිකාවන්ගේ කුක්‍ෂියෙහි පිළිසිඳ ගත්සේක. මව් කුසින් නික්මුනා වූ අප මහ බෝධිසත්වයන් වහන්සේට නම් තබන්නා වූ දිනයෙහි බ්‍රහ්මදත්ත කුමාරයයි කියා නම් කළාහුය.

ඒ බ්‍රහ්මදත්ත නම් කුමාර තෙම සොළොස් ඇවිරිදි වයසට පැමිණ තක්ෂලා නුවරට ගොස් ශිල්පය ඉගෙණ වෙදත්‍රයාගේ පරතෙර පැමිණ අටළොස් විද්‍යාස්ථානයන්ගේත් නිස්පත්තියට පැමිණිසේක.

ඉක්බිත්තෙන් අප මහබෝසතානන් වහන්සේට පියමහරජ්ජුරුවෝ යුවරජ තනතුරු දුන් සේක. එසමයෙහි බරණැස්නුවර වාසිහූ දේවතාවන් මගුල්කොට පවත්නාහ. දෙවියන්ට නමස්කාර කරන්නාහ. බොහෝ තිරළු පලෙළුවන් කුකුලන් ඌරන් ආදී වූ ප්‍රාණීන් ඝාතනය කොට අනේකප්‍රකාර වූ පුෂ්පයෙන් හා සුගන්ධයෙන්ද මාංශයෙන් හා රුධිරයෙන්ද බිලිපූජා කරන්නාහුය.

බෝධිසත්වයන් වහන්සේ සිතනසේක් “දැන් සත්වයෝ දෙවියන් මගුල්කොට පවත්වන්නාහූ බොහෝ ප්‍රාණවධ කෙරෙති. මහජනතෙම බොහෝ සේ අධර්මයෙහි පිහිටියේය. මම පියරජහුගේ ඇවෑමෙන් රාජ්‍යය ලැබ එකකුදු කලාන්ත නොකොට උපායෙන්ම ප්‍රාණවධ කරන්ට නො දෙන්නෙමි”යි සිතූසේක.

මෙසේ සිතා අප මහබෝසතානන් වහන්සේ එක් දවසක් රථයට නැගී නුවරින් නික්මුනුසේක් එක් මහත් නුගවෘක්ෂ මූලයෙක්හි මහජනයා රැස්ව නුගවෘක්ෂයෙහි අධිගෘහිත වූ දිව්‍ය පුත්‍රයාගේ සමීපයෙන් පුත්‍රයන් හා දුහිතෘ යසස් ධනාදීන් යමක් යමක් නැමතිද ඒ ඒ කැමති දෙය ප්‍රාර්ථනා කරන්නාවුන් දුටු සේක.

ඒ අප මහාබෝසතානන් වහන්සේ රථයෙන් බැස ඒ නුග වෘක්ෂය කරා එළඹ සුගන්ධ පුෂ්පයෙන් පූජා කොට ජලයෙන් අභිෂේක කොට වෘක්ෂය ප්‍රදක්ෂිණා කොට දෙවතාමංගලික යක්හුමෙන් දෙවතාවට නමක්කාර කොට රථයට නැගී නුවරට ම වැඩි සේක. එතැන්පටන් මෙම ක්‍රමයෙන් අතරතුරෙහි එතනට ගොස් දෙවතා මංගලියක් හුමෙන් පූජා කරණසේක් ඒ අප මහාබෝසතානන් වහන්සේ විසින් මෑතභාගයෙහි පියරජ්ජුරුහුගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා සතර අගති දුරුකොට දශ රාජ ධර්මයෙන් කොප්‍ය නො කෙරමින් දැහැමෙන් රාජ්‍ය කෙරෙමින් මෙසේ සිතූ සේක.

මාගේ මනෝරථය මස්තකප්‍රාප්ත වූයේය. රාජ්‍යයෙහි පිහිටියෙමි එබඳූ වූ මම පූර්වයෙහි යම් එක් කාරණයක් සිතූයෙම් ද දැන් ඒ කාරණාව මස්තක ප්‍රාප්ත කරන්නෙමි සිතා අමාත්‍යයන්ද බ්‍රහ්මණ ගෘහපති ආදීන් රැස්කරවා මෙසේ ආමන්ත්‍රණය කළසේක.

“පින්වත්නි! මා විසින් කවර කාරණයකින් රාජ්‍යයට පැමිණෙන ලදදැයි දන්නාහු දැ?”යි විචාළසේක.
“මහ රජ්ජුරුවන් වහන්ස! නොදනුම්හ”යි කීවාහුය.
“වැලිදු වනාහි මා අසවල් නම් නුගවෘක්ෂයට සුගන්ධාදීන් පූජා කොට බංඤජලීව සිට නමස්කාර කිරීම දුටු විරීදැ?”යි වදාළ සේක,
“එසේය මහරජ”යි කීවාහුය.
“එකල්හි මම ප්‍රාර්ථනාවක් කෙළෙමි ඉදින් මම රාජ්‍යයට පැමිණියෙන් නම් නුඹ වහන්සේට බිලිපූජාකරන්නෙමියි කියෙමි. එසේ හෙයින් මා විසින් ඒ දෙවතාවාගේ ආනුභාවයෙන් මේ රාජ්‍යය ලබන ලද්දේය දැන් ඒ දේවතාවාට බිලි පූජා කරන්නෙමි තෙපි ප්‍රමාද නො කොට සීඝ්‍රව දේවතාවාට බිලිපූජා සදව!”යි කීසේක.

“මහරජ! කවර කවර දෙයක් ගණුමෝදැ?”යි කිවාහුය.
“පින්වත්නි. මම දේවතාවාට යාඥාකරන්නේ යමෙක් මා ගේ රාජ්‍යයෙහි ප්‍රාණඝාතාදී පංච දුස්සීල කර්මයන්ද දශ අකුශල කම්පනයන්ද සමාදන්ව පවතිද්ද ඔවුන් ඝාතනය කොට අතුනු බහන් මාංශ රුධිරාදීයෙන් බිලිපූජා කෙරෙමැ”යි කියා ආරාධනා කෙළෙමි. තෙපි මෙසේ බෙර හසුවරවව!

“අපගේ රජ්ජුරුවෝ යුවරජ කල්හි මෙසේ යාඥාවක් කළසේක. ඉදින් මම රාජ්‍යයට පැමිණියෙන් වීනම් යමෙක් මාගේ රාජ්‍යයෙහි දුස්සීලව වෙසේ ද ඒ සියල්ලවුන් ඝාතනය කොට බිලිපූජා කරන්නෙමි” කියාය.

“දැන් ඒ රජතෙම පංච පාපයන්ද දශ අකුශල් දැයි කියන ලද දුස්සීල කර්මය සමාදන්ව පවත්නා වූ දුස්සීලයන් දහසක් නසා ඔවුන්ගේ හෘදයමාංශාදිය ගෙණ දේවතාවට බිලි පූජා කරනු කැමතිසේක. මෙලෙස නුවරවාසීහු දැනගණිත්ව”යි කීසේක.

මෙසේ ද කියා, “යමෙක් දැන් මෙතැන්පටන් දුස්සීල ක්‍රියාවෙහි පවතිද්ද ඔවුන් දහසක් නසා යාගකොට ආරාධනාවෙන් මිදෙමි”යි කියා මේ කාරණය ප්‍රකාශ කරණු පිණිස මෙසේ කීසේක.

“මේ ක්‍රියාව කරන්නට සුදුසුයයි මෙය නොකරන්නට සුදුසුය යි කියා නොදන්නා වූ දුමේමධයන් ප්‍රාණඝාතාදී කරන්නාවූ අඥන පුද්ගලයන් දහසකින් යාගකරන්නට යාඥ කරණ ලද්දේය. ඒ මම දැන් ඒ ආරාධනාවෙන් රාජ්‍යය ලදිමි. දැන් යාගකරන්නෙමි කාරණා කවරේද?. දැන් අධර්මික ජනයෝ බොහෝය. ඔවුන් ගෙණ බිලිපූජා කරන්නෙමි” කී සේක.

අමාත්‍යයෝ බෝධිසත්වයන් වහන්සේගේ වචනය අසා මහරජ යහපැතැයි කියා දොළොස් යොදුන් බරණැස්නුවර බෙරලෑවුවාහුය. ආඥහෙරිය අසා එකද දුස්සීල ක්‍රියාවක් සමාදන්ව සිටියාහූ එකපුරුෂයෙකුදු නුවූයේය.

මෙසේ බෝධි සත්වයන් වහන්සේ යම්තාක්කල් රාජ්‍යය කළසේක් ද එතාක්කල් එක පුද්ගලයකුදු පංචපාප දශ අකුශලය යන කර්මයන් කෙරෙන් එක ද අකුශල ක්‍රියාවක් කරන්නෙකු නො පෙනුනේය. මෙසේ බෝධිසත්වයන් වහන්සේ එක පුද්ගලයකු කලාන්ත නො කරවා සියලු රටවැස්සන් ලවා සිල් රක්ෂා කරවා තමන් වහන්සේද දානාදී වූ පින්කම් කොට ජීවිතාගේ කෙළවර තමාගේ පර්ෂිද්ගෙණ දිව්‍ය ලෝකය පුරමින් වැඩි සේක.

ශාස්තෘන් වහන්සේද, “මහණෙනි! තථාගතත්වාද් කාරණයෙන් යුක්ත සර්වඥයන් වහ්නසේ ලෝකයාහට වැඩෙහි හැසුරුනේ දැන්මතු නොවෙයි පෙරත් හැසුරුනුසේක්මය”යි කියා මේ දම් දෙසුම ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා මේ දුමේමධ ජාතකය නිමවා වදාළ සේක.

එකල්හි පර්ෂිද්තොම දැන් බුදු පිරිස්වූවාය. බරණැස් රජුව උපන්නෙම් දැන් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම් ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.