දුක්ඛ සත්‍යය

ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛ අරියසච්චං, ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පිදුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤචුපාදානක්ඛන්ධා දුක්ඛා.

මහණෙනි, මෙය වනාහි දුක නම් වූ ආර්ය සත්‍යය යි. 

ජාතිපි දුක්ඛා -: ඉපදීම දුකයි බුදුරජාණන් වහන්සේ ඉපදීම කියලා දේශනා කෙරේ ආයතන හයක පහළවීම ඇස කන නාසය දිව කය මනස 

ජරාපි දුක්ඛා -:   ආයතන හය ජරාවට පත්වීම

ව්‍යාධිපි දුක්ඛෝ -: ඉපදුණු ආයතන හය ලෙඩ වීමට

මරණම්පිදුක්ඛං  -: ඉපදුණු ආයතන හය ජීවත් වෙලා ඉන්නදි නැතිවෙලා යන දුක

ශෝක -: ශෝක කිරීම 

පරිදේව -: නම් කිය කියා දුක් වීම 

දුක්ඛ -: ශරීරයෙහි හට ගන්නා වූ අනේකප්‍ර‍කාර වූ රිදුම් දැවීම් ආදි වූ දුඃඛයෝ දුඃඛ දුඃඛ නම් වෙති

දොමනස්ස -: සිතෙහි හටගන්නා දුක දෞර්මනස්‍ය නම් වේ

උපායාස -: ඥාති ව්‍යසනාදිය හේතු කොට සිතට වන්නා වූ බලවත් වෙහෙස උපායාස නමි 

අප්පියේහි සම්පයෝගෝ -: අකමැති දේවල් අකමැති අය සමග ඉන්න ලැබීමේ දුක  

පියේහි විප්පයෝගෝ දුක්ඛෝ -:   ප්‍රිය අයගෙන් ප්‍රිය දේවල් ගෙන් වෙන් වීමෙන් ලැබෙන දුක 

යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං -: යමක් කැමති දේ නොලැබීමේ දුක 

සංඛිත්තේන පඤචුපාදානක්ඛන්ධා දුක්ඛා -:  සංෂිප්ත කරල බුදුරජාණන් වහන්සේ සියලු දුක් දේශනා කරනවා පංච උපාදානස්කන්ධය දුකයි කියලා

“තත්ථ කතමං දුක්ඛං අරියසච්චං? ජාති පි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොක පරිදෙව දුක්ඛ දෝමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.”

මෙය අභිධර්ම පිටකයෙහි විභඞ්ග ප්‍ර‍කරණයෙහි සච්ච විභංග සුත්තන්ත භාජනීයයෙහි දුඃඛාර්‍ය්‍ය සත්‍යය දැක්වෙන පාඨයයි. (1) ජාතිය, (2) ජරාව, (3) මරණය (4) ශෝකය, (5) පරිදේවය, (6) දුක්ඛය (7) දෞර්මනස්‍යය (8) උපායාසය (9) අප්‍රිය සම්ප්‍රයෝගය, (10) ප්‍රිය විප්‍රයෝගය(11) කැමැති දෑ නොලැබීම, (12) පඤ්චෝපාදානස්කන්ධයෝ ය යන මේ දොළස දුඃඛාර්‍ය්‍ය සත්‍යය බව මෙයින් දක්වනු ලැබේ.

1. ජාති දුක්ඛය

‘ජාති’ යන මේ වචනය අර්ථ රාශියක් දෙන වචනයෙකි. මේ ආර්‍ය්‍ය සත්‍ය කථාවෙහි එයින් අදහස් කරනු ලබන්නේ භවයෙහි පළමු කොට ඉපදීම යන අර්ථය යි. එයින් ද කියැවෙනුයේ, මව්කුස පිළිසිඳ ගන්නා වූ සත්ත්වයන්ගේ පිළිසිඳීමේ පටන් බිහිවීම දක්වා ඇත්තා වූ ද අවශේෂ සත්ත්වයන්ගේ ප්‍ර‍තිසන්ධික්ෂණයෙහි පහළවන්නා වූ ද ස්කන්ධයෝ ය. ඒ ජාතිය දුක් වනුයේ නොයෙක් දුක් වලට හේතු වන බැවිනි. 

දුඃඛය වනාහි දුඃඛ දුඃඛය, විපරිණාම දුඃඛය, සංස්කාර දුඃඛය, ප්‍ර‍තිච්ඡන්න දුඃඛය, අප්‍ර‍තිච්ඡන්න දුඃඛය, පර්‍ය්‍යාය දුඃඛය, නිෂ්පර්‍ය්‍යාය දුඃඛය යි අනේකාකාර වේ.

එහි හිසරදය, කන් කැක්කුම, දත් කැක්කුම යනාදි ශරීරයෙහි හටගන්නා වූ වේදනාවෝ ද ප්‍රිය වස්තු විනාශාදියෙන් සිත්හි හට ගන්නා වේදනාවෝ ද දුඃඛ දුඃඛ නමි. සුඛ වේදනාව හෙවත් සිත කය දෙක්හි හට ගන්නා සුවය නැති වී යාමෙන් දුක් වන බැවින් විපරිණාම දුඃඛ නමි. උපේක්ෂා වේදනාව හා අවශේෂ ත්‍රෛභූමික සංස්කාරයන් උදයව්‍යය දෙකින් (ඉපදීම බිඳීම දෙකින්) පීඩිත වන බැවින් සංස්කාර දුඃඛ නමි. කන් කැක්කුම, දත් කැක්කුම, රාගය නිසා වන තැවීම්, ද්වේෂය නිසා වන සිත් තැවීම් ආදිය නො කියා නො දත හැකි බැවින් උපක්‍ර‍මයක් ද නො පෙනෙන බැවින් ප්‍ර‍තිච්ඡන්න දුඃඛ නමි. වැසී පවත්නා දුකය යනු එහි තේරුමයි. දඬු මුගුරු වලින් ගැසීම්, පිහියෙන් ඇනීම්, කඩුවෙන් ගැසීම් ආදියෙන් වන්නා වූ දුඃඛය නො කියා ම දත හැකි බැවින් ද, උපක්‍ර‍මය ප්‍ර‍කට බැවින් ද අප්‍ර‍තිච්ඡන්ද දුඃඛ නමි. ප්‍ර‍කට දුකය යනු එහි තේරුමයි. දුඃඛ දුඃඛය හැර සත්‍යය විභංගයෙහි දැක්වෙන ජාත්‍යාදි සියල්ල ඒ ඒ දුක්වලට වස්තු වන බැවින් පර්‍ය්‍යාය දුඃඛ නමි. දුඃඛ දුඃඛය නිෂ්පර්‍ය්‍යාය දුඃඛ නමි.

ජාතිය දුකය යි කියන ලදනමුත් හුදු ඉපදීම් මාත්‍ර‍ය ම දුකෙක් නො වේ. නරකාදි සතර අපායෙහි ඇත්තා වූ යම් මහත් වූ දුකෙක් වේ නම් ඒ දුක ද සුගතියෙහි ගර්භාවක්‍රාන්ති මූලක දුඃඛාදි යම් දුකෙක් වේ නම් ඒ දුක ද නූපන්න හොත් නො වන්නේය. ඉපදීමෙන් ම වන්නේය. එබැවින් ජාතිය ද ස්වභාවයෙන් දුක නුවූයේ ද දුකට වස්තු භාවයෙන් දුකකැයි කියනු ලැබේ. අපායෙහි දුඃඛය යට කියන ලදි. සුගතියෙහි ගර්භාවක්‍රාන්ති මූලකාදී දුඃඛය මෙසේ දත යුතු.

මව්කුස උපන්නා වූ සත්ත්වයා උපදිනුයේ, පියුම් ගැබෙක හෝ රන් කරඬුවක නො වේ. ඔහු පක්වාශය මතුයෙහි ආමාශය යට අතුණු වැටි, පිටිකටු දෙකට අතරෙහි වූ අතිශයින් අවහිර වූ ලෝකාන්තරික නරකයක සේ අඳුරු වූ ගූථනරකය සේ පිළිකුල් වූ පරම දුර්ගන්ධ වාතයෙන් පිරුණා වූ මවු කුස වැසිකිළි වළෙක උපදනා පණුවකු සේ උපදින්නේය, ඉක්බිති ඔහු දස මසක මුළුල්ලෙහි මව් කුස තුළ ම උෂ්ණයෙන් පැසෙමින් අත් පා සැකිළීම් දිගු කිරීම් වලින් තොරව මහත් දුකක් විඳින්නේ ය. මෙය ගර්භාවක්‍රාන්ති මූලක දුඃඛය යි.

ඔහු මව හිඳගන්නා වූ ද නැගිටින්නා වූ ද යන්නා වූ ද නොයෙක් වැඩ කරන්නා වූ ද කාලයන්හි රා සො‍‍ඩෙකු අතට අසු වූ එළු පැටවකු මෙන් ද, අහිකුණ්ඩිකයකු අතට ගත් සර්පයකු මෙන් ද පොඩි වන්නේය. තැළෙන්නේය. ඔහු මව ඇල් දිය බී කල්හි ලෝකාන්තරික නරකයට වැටුණකු මෙන් ද, මව ලුණු ඇඹුල් කෑ කල්හි කැපෙන ලුණු දිය ඇති වේතරණී නරකයට දමනු ලැබුවකු මෙන් ද වන්නේය. මෙය ගර්භපරිහරණ මූලක දුඃඛය යි. ගැබ් මුළා වූ මවට අතිශයින් මෘදු වූ ස්ථානයන්හි වෙදුන් විසින් සැත්කම් කිරීම් ආදියෙන් වන්නා වූ මහත් වූ රිදීම ගර්භ විපත්තිමූලක දුඃඛය යි.

දරුවා බිහිවන කල්හි මව් කුස තුළ ම හටගන්නා වූ කර්මජ වාතයෙන් ළදරුවාගේ ශරීරය හිස යටිකුරු කොට යෝනි මුඛයට වැටෙන සේ පෙරළෙන කල්හි දරුවාට පර්වතයකින් හෙළනු ලැබූවකුට මෙන් මහත් දුකක් වන්නේය. අති සම්බාධ වූ යෝනි මුඛයෙන් නික්මෙන කල්හි සංඝාත නරකයෙහි පෙරළෙන පර්වත දෙක අතරට අසු වූ නිරි සතුන්ට වන්නා වූ දුකට බඳු මහත් දුකෙක් වන්නේය. මෙය විජායන මූලක දුඃඛය යි. 

මව්කුසින් බිහි වූ ළදරුවා හට එකෙණෙහි ම නාවා පිරිසිදු කරන කල්හි අලුත හට ගත් වණයකට ලුණු ලා කොස්සකින් උලන කල්හි මෙන් මහත් වූ දුකෙක් වන්නේය. මෙය බහිර් නිෂ්ක්‍ර‍මණ මූලක දුඃඛය යි. හෙවත් පිටවීම හේතු කොට වන දුකය.

ඉපද වැඩිවිය පැමිණීමේන පසු සිය දිවි නසා ගන්නවුන්ට ද, ක්‍රෝධය නිසා හෝ ලෝභය නිසා හෝ ආහාර වර්ජනය කරන්නවුන්ට ද, මිථ්‍යාව්‍ර‍ත සමාදානයෙන් අව්වෙහි සිටීම් කටු ඇතිරිවල හිඳීම් ආදිය කරන්නවුන්ට ද උපදනා දුඃඛය ආත්මෝපක්‍ර‍ම මූලක දුඃඛ නමි. 

තැළීම්, කැපීම්, බැඳීම් ආදියෙන් අනුන් විසින් උපදවන්නා වූ යම් දුකක් වේ නම් එය පරෝපක්‍ර‍ම මූලක දුඃඛ නමි. මේ සියලු ම දුඃඛයන්ට ජාතිය හෙවත් ඉපදීම හේතුවන බැවින් ජාතිය දුකෙකි.

2. ජරා දුඃඛය

උපන් සත්ත්වයාගේ ස්කන්ධ පරණවීම දිරීම ජරා නමි. ආත්මභාවය පරණ වූ කල්හි කෙස් ලොම් පැසෙන්නේය. දත් සැලෙන්නේය. ඇඟ රැලි වැටෙන්නේය. දුර්වර්ණ වන්නේය. තල කැළල් හට ගන්නේය. කොරළ පිපෙන්නේය. ඇට නහර ඉල්පෙන්නේය. කුදු වන්නේය. ඇස් පෙනුම අඩු වන්නේය. අන්ධ හෝ වන්නේය. කන් බිහිරි වන්නේය. දිවට රස දැනීම මඳ වන්නේය. කළ දෑ කරන්නට තිබෙන දෑ නොයෙක් විට අමතක වන්නේය. නුවණ මඳ වන්නේය. නොයෙක් විට ඔහු රැවටෙන්නේය. වැරදීම් බහුල වන්නේය. ශරීර ශක්තිය අතිශයින් හීන වන්නේය. අත් පා වෙව්ලන්නට වන්නේය. දරුවන්ට පවා අප්‍රිය වන්නේය. ජරාව ස්වභාවයෙන් දුකක් හෙවත් රිදීමක් නොවන නමුත් මේවා නිසා දිරූ තැනැත්තාට කායික වූ ද මානසික වූ ද බොහෝ දුඃඛ වේදනාවෝ වන්නාහු ය. ඒ සියලු දුඃඛ වේදනාවන්ට හේතුව ජරාව ම බැවින් ජරාව ද මහත් වූ දුකක් වන්නේය.

මහලුව දුබලව සිටින්නා හට නිදා සිටි තැනින් නැගිට හිඳ ගැනීම ද හිඳගෙන සිටින තැනින් නැගිටීම ද දුකෙකි. යන කල්හි මඳ දුරක් යෑමෙන් ම වෙහෙසට පත් ව ඔහුට බොහෝ ශාරීරික වේදනා හට ගන්නේ ය. ගමන් කරන්නා වූ දුබල මහල්ලා ඉදිරියට තබන පය බලාපොරොත්තු වූ තැනට නො පැමිණීමෙන් ද ගල් මුල් ආදියෙහි සැපීමෙන් ද නොයෙක් විට බිම ඇද වැටෙන්නේ ය. එසේ වැටුණු අවස්ථාවල දී අත් පා බිඳීම් ආදියෙන් ඔහුට බොහෝ දුක් වන්නේ ය. තමහට වුවමනා දෑ ලබා ගනු පිණිස රැකී රක්ෂාවක් කරන්නට නුපුළුවන් බව ද ඔහුට මහත් දුකෙකි. ආහාරයක් ලද ද ඔහුට රිසි සේ වළඳන්නට නුපුළුවන් බව ද දුකෙකි. තමහට තිබෙන දෑ සොරුන්ගෙන් සතුරන්ගෙන් ආරක්ෂා කරන්නට නුපුළුවන් බව ද දුකෙකි. අමාරුවෙන් සිටින කල්හි අන්‍යයන් විසින් විසුළු කරනු ලැබීම ද දුකෙකි. ආදරයෙන් පෝෂණය කරනු ලැබූ අඹුදරුවන් අකීකරු වීමත්, ඔවුන් විසින් නො සලකා හැරීමත් මහත් දුකෙකි. මේ ආදි ජරාව හේතු කොට ඇත්තා වූ දුක් මහත් රාශියකි.

3. මරණ දුඃඛය

මරණය වනාහි ක්ෂණික මරණය, සංවෘත මරණය යයි දෙ වැදෑරුම් වේ. ක්ෂණයක් පාසා සිදුවන නාම රූපයන්ගේ බිඳීම ක්ෂණික මරණය නමි. පරම්පරා වශයෙන් පැවත එන ස්කන්ධ සමූහයක හෙවත් සත්ත්වයකුගේ ජීවිතේන්ද්‍රියය සිඳී යාම සංවෘත මරණය නමි. ලෝකයේ “මිනිසා මළේය, ළමයා මළේය, ගොනා මළේය,” යනාදීන් කියනු ලබනුයේ ඒ සංවෘත මරණය යි. මේ මරණ දෙක ම දුක් ම වන නමුත් මේ ආර්‍ය්‍ය සත්‍ය කථාවෙහි අදහස් කරනුයේ සංවෘත මරණය යි.

එය ද ආයුක්ෂය මරණය, කර්මක්ෂය මරණය, උභයක්ෂය මරණය, උපච්ඡේදක මරණය යි සිව් වැදෑරුම් වේ. ඒ ඒ ජාතිවලට අයත් සත්ත්වයන් හට ජීවත් විය හැකි කාල ප්‍ර‍මාණයක් ඇත්තේය. ඒ කාල ප්‍ර‍මාණයට ආයුෂයයි කියනු ලැබේ. ඒ කාලය ගෙවෙත් ම ශරීරය දිරා යාමෙන් ඉන් ඔබ්බට ජීවත් විය නො හැකි ව සත්ත්වයෝ මිය යති. ඔවුන්ගේ ඒ මරණයට ආයුක්ෂය මරණය යයි කියනු ලැබේ. අතීත කර්මය ද සත්ත්වයාගේ ජීවත්වීමට එක හේතුවකි. බලවත් වූ කර්මයෙහි සත්ත්වයා බොහෝ කල්හි ජීවත් කරවන ශක්තියක් ඇත්තේ ය. දුර්වල කර්මයන් කෙරෙහි බොහෝ කල් ජීවත් කරවන ශක්තියක් නැත්තේ ය. එබැවින් දුර්වල කර්මවලින් උපන් සත්ත්වයෝ පහන් වැටිය නිරුපද්‍රිතව තිබියදී, වැසි සුළං ආදී බාහිර උපද්‍ර‍වයකුදු නැතිව, තෙල් ඉවර වීම නිසා නිවී යන්නා වූ පහන් මෙන් ආයුෂය ඉදිරියට තිබියදීම කර්ම ශක්තිය ගෙවීමෙන් මිය යෙති. ඒ මරණය කර්මක්ෂය මරණය නමි. ඇතැමෙක් ආයුෂය හා කර්ම ශක්තිය එකවර ගෙවී යාමෙන් මිය යෙති. එය උභයක්ෂය මරණය නමි. ඇතැමෙක් ආයුෂය කර්මය යන දෙක ම තිබිය දී හදිසියෙන් පැමිණෙන්නා වූ රෝගාදි යම්කිසි හේතුවකින් මිය යෙති. එය උපච්ඡේදක මරණ නමි.

ජීවිතේන්ද්‍රියයාගේ සිඳීම් මාත්‍ර‍ය රිදුමක් නො වෙතත් මේ සතර ආකාරය අතුරෙන් කවර ආකාරයකින් වුව ද මැරෙන්නා වූ සත්ත්වයා හට මරණය වනුයේ ඔහුගේ සිත කය දෙක ම මහත් රිදුම් රාශියක් ඇතිකොට අන්තිමේදී ය. එබැවින් මරණය මහත් වූ දුකෙකි. මරණය ළං වූ කල්හි මැරෙන සත්ත්වයාගේ ශරීරයෙහි වාතාදි දෝෂයන් නයින් සේ කිපී පොලු වලින් තලන්නාක් මෙන් ද, පිහිය වලින් පලන්නාක් මෙන් ද, හුල් වලින් අනින්නාක් මෙන් ද, ශරීරය ඒ මේ අත පෙරළ පෙරළා පොඩි කරන්නාක් මෙන් ද, ගින්නේ දවන්නාක් මෙන් ද, අත් පා ගලවන්නාක් මෙන් ද, ඇඟ මස් ගලවන්නාක් මෙන් ද, ශරීරය පෙළන්නට වන්නාහු ය. මරණය ළංවත් ම විශේෂයෙන් ම ඝන වූ සෙම නැගී අවුත් ළය තද කරන්නේ ය. ආශ්වාස ප්‍ර‍ශ්වාස මාර්ගය අවුරන්නේය. එයින් මැරෙන්නා වූ තැනැත්තා හට ආශ්වාස ප්‍ර‍ශ්වාස කිරීම ඉතා අමාරු වන්නේය. මේ තද වීම නිසා ඔහුට ඉතා මහන්සියෙන් ආශ්වාස ප්‍ර‍ශ්වාස කරන්නට සිදුවන්නේය. භයානක හඬක් නංවමින් ඉතා අමාරුවෙන් ඒ අවස්ථාවේ දී කරන ආශ්වාස ප්‍ර‍ශ්වාසයට පණ ඇදීමය යි කියති. සෙම නැගී අවුත් ආශ්වාස ප්‍ර‍ශ්වාස මාර්ගය ආවරණය කළ කල්හි සත්ත්වයාහට වන්නා වූ වේදනාව ඉතා මහත් වූවකි.

අනේපිඬු මහ සිටාණන් මරණ මඤ්චකයෙහි සැතපෙන අවස්ථාවෙහි එතුමන් දක්නට ආනන්ද ස්ථවිරයන් වහන්සේ හා ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වහන්සේ ද වැඩි සේක. ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වහන්සේ සිටාණන් ගෙන් සුවදුක් විචාළහ. එකල්හි සිටාණෝ “ස්වාමීනි ශාරිපුත්‍ර‍යන් වහන්ස, බලවත් පුරුෂයකු විසින් මිටියකින් ගසන්නාක් මෙන් මාගේ හිස වාතයෙන් පෙළන්නේය. බලවත් පුරුෂයකු විසින් වරපටකින් තද කොට වෙළන්නාක් මෙන් මාගේ හිස වාතයෙන් තද වන්නේය. දක්ෂ වූ ගව ඝාතකයන් විසින් ගෙරි මස් කපන තියුණු සැතකින් කපන්නාක් මෙන් මාගේ කුසය රිදෙන්නේය. බලවත් පුරුෂයන් දෙදෙනකු විසින් දුර්වල පුරුෂයකු දෑතින් අල්වා ගෙන ගිනි අඟුරු වළෙක ලා පෙරළා තවන්නාක් මෙන් දැවෙන්නේය” යි කීහ. අනේ පිඬු මහ සිටාණන් වැනි පින්වතුන් හට මරණ දුක්ඛය මෙපමණ මහත්ව යන කල්හි සෙස්සන්ට මරණාසන්නයේ දී මහත් වූ දුකක් වීම ගැන කියනුම කිම?

අපමණ ශාරීරික වේදනාවලින් පෙළෙන්නා වූ සත්ත්වයා හට මේ අවස්ථාවෙහි දී මරණය ගැන මහත් වූ භයක් ද හට ගන්නේය. ඒ භය තරම් විශාල වූ අන් භයක් නැත්තේය. අති රෞද්‍ර‍ වූ ඒ මරණය ගිනි කඳක් හෘදයට වැද යන කලෙක මෙන් සත්ත්වයාගේ සිත දවන්නේය. ශාරීරික දුඃඛ වේදනාවලින් අතිශයින් තැවෙමින් දෙවියන් සිහිවී සිටින සත්ත්වයා පව් කළ කෙනෙක් වී නම්, මේ අවස්ථාවෙහි ඔහුට තවත් මහත් වූ බියක් එළඹෙන්නේ ය. මේ අවස්ථාවෙහි දී ඔහුට කර්මය විසින් ම නරකය දක්වනු ලබන්නේය. ඔහුට මහා ගිනි ජාලාවක් තමන් වැළඳ ගැනීමට තමා දෙසට බුර බුරා නැග එන්නාක් මෙන් පෙනෙන්නේය. රෞද්‍ර‍ වූ යම රකුසන් තමා ඇදගෙන යන්නට එන්නාක් මෙන් පෙනෙන්නේය. මේවා දක්නා කල්හි භයින් තැති ගන්නා වූ ඒ සත්ත්වයා හට මල මුත්‍ර‍ පවා පහ වන්නේය.

සුගති දුර්ගති දෙක්හි ම උපදින සත්ත්වයන්ට මේ අවස්ථාවෙහි දී ඇතිවන තවත් මහත් දුකක් නම් ප්‍රිය වස්තූන්ගෙන් හා ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වීමෙන් වන ශෝකයයි. මැරෙන්නා වූ සත්ත්වයා හට මරණයෙන් තමා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ආදරයෙන් ආරක්ෂා කරගෙන සිටියා වූ මිල මුදල් ගෙවල් දොරවල් ආදියෙන් වෙන් වන්නට, ප්‍රිය වූ අඹුදරුවන් ගෙන් නෑයන්ගෙන් මිතුරන්ගෙන් වෙන් වන්නට සිදුවේ. මෙය ද ඔහුට ඉවසිය නො හෙන දුකකි. තමාගේ අඹු දරු ආදීන්ගෙන් එක් කෙනකු නැති වූ විට ද, දවස් ගණනක් හඬන්නා වූ මාස ගණනක් අවුරුදු ගණනක් ශෝක කරන්නා වූ පුද්ගලයකුට සියල්ලෙන් ම වෙන් වීම කෙසේ නම් ඉවසිය හැකි වන්නේද? නො වන්නේ ම ය. මේ වෙන් වීම ගැන මරණාසන්න සත්ත්වයාට වන චිත්තසන්තාපය ළය තුළට මහ ගිනි කඳක් වැද දවන කලක් වුවහොත් එබඳු කලෙක වන දුක හා සමාන වන්නේ ය. මෙසේ සිත කය දෙකට ම මහත් වූ දුක් රාශියක් ගෙන දෙන බැවින් ජීවිතේන්ද්‍රියය සිඳීම වූ මරණය සත්ත්වයා හට අන් සියල්ලට ම මහත් වූ දුක වන්නේ ය. එබැවින් සත්ත්වයෝ අන් හැම දෙයට ම වඩා මරණයට බිය වන්නාහු ය. මරණයෙන් ගැලවීම සඳහා අන් සියල්ල ම පරිත්‍යාග කරන්නාහු ය.

4. ශෝක දුඃඛය

රන් රිදී මුතු මැණික් මිල මුදල් ගේ වතු කුඹුරු ආදි ප්‍රිය වස්තූන්ගෙන් විනාශයෙන් ද, අන්‍යයන් විසින් පැහැර ගැනීමෙන් ද, අඹු දරු ආදි ප්‍රිය පුද්ගලයන්ගේ විනාශයෙන් ද, ඔවුනට වූ හානි වලින් ද, තමහට වන රෝගාදි අන්තරායන්ගෙන් ද, වන්නා වූ සිත දැවීම ශෝක නම් වේ. මෙය ද සසර සැරිසරන සත්ත්වයා හට නොයෙක් විට පැමිණෙන්නා වූ දුකෙකි. එය විනාශ වන වස්තුවෙහි ප්‍රියත්වය වැඩි පමණට මහත් ව ඇති වන්නා වූ දුකෙකි. අතිශයින් ම ප්‍රිය වස්තුවක් හෝ අතිශයින් ප්‍රිය පුද්ගලයකු හෝ විනාශ වූ කල්හි එය ගිනියම් වූ යහුලක් පපුවට ප්‍රවේශ කළ අවස්ථාවක මෙන් ද මහ ගිනි කඳක් පපුවට වැදුන අවස්ථාවක මෙන් ද සිත කය දෙක ම අතිශයින් දවන්නේය. දැවීමේ වේගය කොතරම් ද කියතහොත්, ශෝක ගින්නෙන් ලේ හුණු වී සමහරකුට හුණු ලේ වමනය වන්නේය. සමහර කෙනකුට හුණු ලේ විරේචනය වන්නේ ය. සමහරෙක් උමතු වන්නාහ. සමහර කෙනකුට තවත් නොයෙක් රෝග හට ගන්නේය. සමහරෙක් බෙල්ලේ වැලලා මිය යන්නාහ. සමහරෙක් බෙලි කපා ගෙන මිය යන්නාහ. සමහරෙක් දුම්රියට බෙල්ල තබා මිය යන්නාහ. සමහරෙක් දියට පැන මිය යන්නාහ. සමහරෙක් ගින්නට වැද මිය යන්නාහ. සත්ත්වයන්ට හැම කල්හි ම මුණ ගැසෙනුයේ එක එක ප්‍රිය වස්තුවක විනාශය පමණක් නොවේ. සමහර විටෙක එකවර ම බොහෝ ප්‍රිය වස්තූන්ගේ විනාශය ද පැමිණෙන්නේ ය. බොහෝ ප්‍රිය පුද්ගලයන්ගේ විනාශය ද පැමිණෙන්නේ ය. එක වස්තුවක හෝ එක ප්‍රිය පුද්ගලයකුගේ විනාශයෙන් හට ගන්නා ශෝකය සිය දිවිනසා ගැනුමට තරම් කරුණක් වන කල්හි වස්තු බොහෝ ගණනක හෝ පුද්ගලයන් බොහෝ ගණනක හෝ විනාශයෙන් වන්නා වූ ශෝක දුඃඛයේ මහත්ත්වය කෙසේ කිය හැකි වන්නේ ද?

5. පරිදේව දුඃඛය

ඥාති ව්‍යසනාදිය සිදු වූ කල්හි ශෝකයෙන් “අනේ, පුතේ නුඹ කොහි ගියෙහි ද? අනේ දුවේ නුඹ කොහි ගියෙහි ද? නුඹ නැතුව අප සිටින්නේ කෙසේද?” යනාදීන් ඒ ඒ පුද්ගලයන් ගැන කියමින් හෝ ඔවුන්ගේ ගුණ කියමින් හෝ නැති වූ වස්තු ගැන කියමින් හෝ ඒ වස්තූන් නැති පාඩුව කියමින් හෝ නන් දෙඩීම ද, සුසුම් ලමින් කඳුළු සලමින් කෙළ පෙරමින් ශබ්ද පැවැත්වීම ද පරිදේව නම් වේ. හැඬීමය යනු ද මීට නමෙකි. හැඬීම ම දුකක් නො වෙතත් හඬන්නා වූ තැනැත්තා හට හිසට ගසා ගැනීම් බිත්තිවල කණුවල හිස ගසා ගැනීම් බිම හැපීම් බිම පෙරළීම් ආදියෙන් බොහෝ දුඃඛ වේදනා වන බැවින් “පරිදේවය දුඃඛයකැ” යි තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දේය.

6. දුඃඛ දුඃඛය

ශරීරයෙහි හට ගන්නා වූ අනේකප්‍ර‍කාර වූ රිදුම් දැවීම් ආදි වූ දුඃඛයෝ දුඃඛ දුඃඛ නම් වෙති. ජාත්‍යාදි දුඃඛයෝයයි කියන ලද්දේ ඒවා දුකට හෙවත් රිදීමට හේතුවන බැවිනි. කයෙහි හට ගන්නා දුඃඛ වේදනාව වනාහි තවත් කායික මානසික දුඃඛ වේදනාවන්ට හේතු ද වෙයි. තොමෝ ද ඒකාන්ත දුඃඛයක් වෙයි. එබැවින් එය දුඃඛ දුඃඛ යයි කියනු ලැබේ. අතිශයින් මහත් වූ දුකය යනු එහි තේරුමයි. සත්ත්වයන්ගේ ශරීරයන්හි ආභ්‍යන්තරික ධාතූන්ගේ කෝපයෙන් හට ගන්නා වූ ද, බාහිර උපද්‍ර‍වයන්ගෙන් හට ගන්නා වූ ද, දුඃඛ වේදනා ඉතා බොහෝය. වාතාදීන්ගේ කෝපයෙන් හිසෙහි දුඃඛ වේදනා හට ගන්නේය. ඇස් වල ද කන් වල හා දත් වල ද ඉවසීමට ඉතා දුෂ්කර වූ ඉතා මහත් වූ දුඃඛ වේදනා හට ගන්නේ ය. දිවෙහි ද උගුරෙහි ද පපුවෙහි ද පිටෙහි ද උරහිස්හි ද ඇලපත්හි ද තුනටියෙහි ද අත් පා වල ද සන්ධිස්ථානයන්හි ද ඇට වල ද මස්වල ද නහර වල ද නොයේක විට වාතාදීන් ගේ කෝපයෙන් බොහෝ දුඃඛ වේදනා හට ගන්නේය. මල මුත්‍ර‍ නිකුත් වන මාර්ගයන් වැසුණු කල්හි මල මුත්‍ර‍ පිට නො වීමෙන් ඉතා රෞද්‍ර‍ වූ, පණ යන තරම් ම මහත් වූ දුඃඛ වේදනා හට ගන්නේ ය. ස්ත්‍රීන් හට දරුවන් ප්‍ර‍සූත කිරීමෙහි දී මහත් දුඃඛ වේදනා හට ගන්නේ ය. කුෂ්ඨ වණ ගෙඩි සෑදුණු කල්හි ඒවායේ ද මහත් දුඃඛ වේදනා හට ගන්නේ ය. වණ වල පණුවන් සෑදී කන කල්හි මහත් වූ දුඃඛ වේදනා වන්නේය. මේවා අභ්‍යන්තරයෙන් ම හට ගන්නා වේදනාවෝ ය.

පිටතින් පැමිණෙන උපද්‍ර‍වයන් නිසා ශරීරයෙහි වන්නා වූ දුඃඛයෝ ද ඉතා බොහෝ ය. සත්ත්වයා හට නොයෙක් විට අව්වෙහි සිටින්නට වීමෙන් ද දුක් හට ගන්නේ ය. ගින්නෙන් දැවීමෙන් ද දුක් හට ගන්නේ ය. ගල් මුල් වල සැපීමෙන් ද දුක් හට ගන්නේ ය. ඇඟ පිට ගෙඩි කඩා වැටීමෙන් අතු කඩා වැටීමේන ගස් කඩා වැටීමෙන් ගෙවල් කඩා වැටීමෙන් රථවාහන හැපීමෙන් බොහෝ වේදනා වන්නේ ය. ගල් පහරවල් වැදීමෙන් පොලු පහර පිහියා පහර වෑ පහර පොරෝ පහර උදලු පහර කඩු පහර හී පහර වෙඩි පහර වැදීමෙන් ද බොහෝ වේදනා වන්නේය. පත්තෑයන් ගෝනුස්සන් සර්පයන් බල්ලන් සිංහයන් ව්‍යාඝ්‍ර‍න් විසින් කෑමෙන් ද බොහෝ දුක් වන්නේයෙ. එළුවන් විසින් ගවයන් විසින් ඇනීමෙන් ද, ඇතුන් විසින් පාගා දැමීමෙන් ද, ගවයන් විසින් අසුන් විසින් පා පහර දීමෙන් ද බොහෝ වේදනා වන්නේ ය. උකුණන් මකුණන් මැක්කන් මදුරුවන් විසින් කෑමෙන් ද බොහෝ වේදනා වන්නේ ය. සොරකම් ආදි වරද කොට අසුවීමෙන් හා තමන් නො කළ වරද වලට නිකම් අසුවීමෙන් සිරකොට තබනු ලැබීමෙන් ද, සිරගෙයි දී වැඩ කරනු ලැබීමෙන් ද, කසයෙන් තළනු ලැබීමෙන් ද කෝටුවලින් පොලුවලින් තළනු ලැබීමෙන් ද, අත් කැපීම් කන් කැපීම් නාස් කැපීම් හිස සිඳීම් පිළිස්සීම් ආදිය කරනු ලැබීමෙන් ද බොහෝ දුඃඛ වේදනා වන්නේය. සොරුන් විසින් අල්වා ගෙන ධනය සඟවා තිබෙන තැන් අස අසා තළනු ලැබීමෙන් ද, කටු වලින් පිහියා වලින් හුල් වලින් මඳින් මඳ කපනු ලැබීමෙන් ද, වන්නා වූ වේදනාවෝ ඉතා බොහෝ ය. මේ දක්වන ලදුයේ මනුෂ්‍ය ලෝකයෙහි මනුෂ්‍යයකුට ඇතිවිය හැකි දුඃඛ වේදනාවන්ගෙන් ස්වල්පයකි. තවත් බොහෝ දුක් ඇත්තේය. මනුෂ්‍යයා හට හැම කල්හි ම මෙසේ සිටින්නට ලැබෙන්නේ නො වේ. පව් කරන්නා වූ ඔහුට අපායට පැමිණෙන්නට සිදුවන්නේ ය. අපායෙහි දී විඳින්නට වන්නේ මීට වඩා සිය දහස් ගුණයෙන් මහත් වූ දුකෙකි. එය ද සලකා ගත යුතු. දීර්ඝ වන බැවින් මෙහි නො දක්වනු ලැබේ.

7. දෞර්මනස්‍යය

සිතෙහි හටගන්නා දුක දෞර්මනස්‍ය නම් වේ. තමා විසින් බොහෝ දුකින් පෝෂණය කරන දරුවන් අකීකරු වීම, මහලු කල්හි දරුවන් විසින් නො සැලකීම, දුකින් ධනය සපයා පෝෂණය කරන භාර්‍ය්‍යාව අන් පුරුෂයන් පතනු දැකීම, අකීකරු වීම, අනුන් විසින් අවමන් කරනු ලැබීම, දරුවන් දුකට පත්ව සිටිනු දැකීම, පාඩම් විභාග වලින් අසමර්ථ වීම, රූපය අවලක්ෂණ වීම, කටහඬ නරක් වීම, දිළිඳු වීම, අනුන් කරන දෑ තමහට නො කළ හැකි වීම යනාදි දහස් ගණන් කරුණු වලින් මේ දෞර්මනස්‍යය මිනිසුන්ට නිතර ඇති වන්නේය. ධනවත් ව සිට පසුව දිළිඳුව අනාථව අම්බලමක සිටින්නට වූ විටෙක පෙර තමා හා එක්ව හැසිරුණු නෑයන් මිත්‍ර‍යන් යස ඉසුරෙන් රථ වාහනාදියෙන් තමන් දෙසවත් නො බලා යනු දක්නා කල්හි මහත් වූ දොම්නස් ඇති වන්නේ ය. එක් ජාතියක දී ම එක් පුද්ගලයකුට ඇති වන දොම්නස්වල ප්‍ර‍මාණයක් නැත්තේ ය. දුප්පත් පොහොසත් කාටත් නොයෙක් විට මේ දොම්නස ඇති වන්නේය.

8. උපායාසය

ඥාති ව්‍යසනාදිය හේතු කොට සිතට වන්නා වූ බලවත් වෙහෙස උපායාස නමි. උපායාසයෙන් යුක්ත වූයේ ව්‍යසනයට පත් පුද්ගලයාගේ ගුණ කීම් හැඬීම් ආදි කිසිවක් නො කොට සුසුම් ලමින් බලා සිටී. සමහර විට කෑම්-බීම් ආදි තමාගේ කටයුතු නො කර සිටී. එය බලවත් වූ කල්හි මුර්ඡා ද වෙයි. සමහර විට ළය වියළී මරණයට ද පැමිණෙයි. ඒ සිත වෙහෙසීම් මාත්‍ර‍ය ම දුකෙක් නො වෙතුදු එය බොහෝ කායික මානසික දුඃඛයන්ට හේතුවන බැවින් තථාගතයන් වහන්සේ උපායාසය ද දුකකැයි වදාළ සේක.

9. අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය

අප්‍රිය වස්තූන් හා අප්‍රිය පුද්ගලයන් මුණ ගැසීම් අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය යි. කුණු කසන සෙම් සොටු මල මුත්‍රාදි දැකීමට අප්‍රිය වූ වස්තූහු ද, අමිහිරි වූ ඇසීමට අප්‍රිය වූ ශබ්දයෝ ද, කුණු ගඳ ආදි ආඝ්‍රාණයට අප්‍රිය ගන්ධයෝ ද, තිත්තාදි අප්‍රිය රසයෝ ද, ශරීරය හා ස්පර්ශ වූ කල්හි දුක් උපදින අනිෂ්ට ස්පර්ශයෝ ද යන මොවුහු අප්‍රිය වස්තූහු ය. මේවා ස්වභාවයෙන් දුක් නො වෙතත්, මේ අනිෂ්ට වස්තූන් දැකීමේ දී ඇසීමෙහි දී ආඝ්‍රාණය කිරීමේ දී ආශ්වාදනය කිරීමේ දී සිතට ද, ස්පර්ශ වීමේ දී කයට ද දුක් උපදින බැවින් අප්‍රිය වස්තු සම්මුඛ වීම දුකෙකි. අප්‍රිය පුද්ගලයෝ නම් තමා හට සතුරු වූ ද, සතුරු නො වූවත් තමා කැමති නොවන කථා හා ක්‍රියා ඇත්තා වූ පුද්ගලයෝ ය. එබඳු පුද්ගලයන් හා එක්ව වාසය කරන්නට හා එක්ව වැඩ කරන්නට සිදුවීම අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය යි. අප්‍රිය පුද්ගලයන් හා සම්ප්‍රයෝග මාත්‍ර‍ය දුකක් නො වෙතුදු එය අප්‍ර‍මාණ කායික මානසික දුඃඛයන්ට හේතුවන බැවින් දුකකැයි කියන ලදි. සසර සැරිසරන සත්ත්වයන්ට මෙය නිතර මුණ ගැසෙන දුකෙකි. රජකුට වත් මෙයින් මිදී විසිය හැකි නො වේ.

10. ප්‍රිය විප්‍රයෝග දුඃඛය

ආදරයෙන් රැස් කොට ආරක්ෂා කරගෙන සිටින ධනයෙන් හා පුත්‍ර‍ භාර්‍ය්‍යාදි පුද්ගලයන්ගෙන් ද වෙන් වීම ප්‍රිය විප්‍රයෝග දුඃඛය යි. ධනය වනාහි වියදම් වීමෙන් ද සොරුන් විසින් රජුන් විසින් පැහැර ගැනීමෙන් ද ගිනි දිය ආදියට අසුවීමෙන් ද හිමියාගෙන් වෙන් වෙන දෙයකි. හිමියා වෙත යම් ධනයක් ඉතිරි වුව ද මරණයට පැමිණීමෙන් ඔහු එයින් ඒකාන්තයෙන් වෙන් වන්නේය. පුත්‍ර‍ කලාත්‍රාදි ප්‍රිය පුද්ගලයන් හා වාසය කරන තැනැත්තාට තමාට ඔවුන් හැර අන් පෙදෙසකට යන්නට සිදුවීමෙන් ද ඔවුන් තමා හැර යාමෙන් ද, මරණයට පැමිණීමෙන් ද ඔවුන්ගෙන් වෙන් වන්නට සිදු වේ. තමාගේ මරණයෙන් හෝ වෙන් වන්නට සිදුවේ. එබැවින් ප්‍රිය විප්‍රයෝගය ද සසර සැරිසරණ පුද්ගලයා හට ජාතියක් පාසා ම සිදු වන දෙයකි. එය ම ඒකාන්තයෙන් දුකක් නො වතුදු බොහෝ කායික මානසික දුඃඛයන්ට හේතුවන බැවින් එය දුකකි. එහි උග්‍ර‍තාවය කොතෙක් ද කියතහොත් සමහරු රෝගී වෙති. සමහරු මිය යති. සමහරු සිය දිවි නසා ගනිති.

11. කැමති දෑ නො ලැබීමේ දුක

මේ සත්ත්වයන් විසින් කැමති වන්නා වූ ලැබීමට බලාපොරොත්තු වන්නා වූ දේවල් ඉතා බොහෝ ය. දිරන ස්වභාවය ඇති සත්ත්වයෝ නො දිරීමට හෙවත් මහලු නො වීමට බලාපොරොත්තු වෙති. රෝගී වන ස්වභාවය ඇති සත්ත්වයෝ නිරෝගීව සිටීමට බලාපොරොත්තු වෙති. නූගත්තු උගතුන් වීමට බලාපොරොත්තු වෙති. මෝඩයෝ නුවණැතියන් වීමට බලාපොරොත්තු වෙති. දුප්පත්තු පොහොසත් වීමට බලාපොරොත්තු වෙති. තනතුරු නැත්තෝ තනතුරු ලැබීමට බලාපොරොත්තු වෙති. සාමාන්‍ය වැසියෝ රජ වීමට බලාපොරොත්තු වෙති. තවත් නොයෙක් දේවල් නැත්තෝ නැත්තා වූ ඒ ඒ දේවල් ලැබීමට ද, ඇත්තෝ වැඩි වැඩිය ලැබීමට ද බලාපොරොත්තු වෙති. මෙසේ ලැබීමට බලාපොරොත්තු වන දේවල් බොහෝ ඇත. ඒවායින් දහසෙන් පංගුවකුදු ඔවුන්ට නො ලැබෙන්නේ ය. මේ නො ලැබීම දුකක් නො වෙතත් එය බොහෝ කායික මානසික දුක් ඇති කරන්නක් බැවින් කැමති දෑ නො ලැබීම ද මේ සත්ත්වයන්ට මහත් දුඃඛයක් වන්නේය. 

12. පඤ්චෝපාදානස්කන්ධ දුඃඛය

ජාති ජරා මරණාදි මේ දුක් සමූහය ඇතිවන්නේ අන් තැනක නොව මේ උපාදානස්කන්ධ පඤ්චකයෙහි ම ය. උපාදානස්කන්ධ පඤ්චකය සියලු ම දුක්වල උත්පත්ති ස්ථානය යි. එබැවින් උපාදානස්කන්ධ පඤ්චකය ද දුකෙකැයි තථාගතයන් වහන්සේ වදාළ සේක.

ලෝකයෙහි සත්ත්වයා උපදින්නේ ද දුකෙනි. උපන් තැන් පටන් ම ඔහුගේ ශරීරය දිරන්නේ ය. එ ද ඔහුට දුකෙකි. දිරන්නා වූ ඔහු මොහොතක් පාසා ම යන්නේ මරණය කරා ය. මරණය ද ඔහුට මහත් දුකෙකි. ඉපදීමටත් මරණයටත් අතරදී නොයෙක් වර ඔහුට ශෝක කරන්නට ද හඬන්නට ද, බලවත් සිත් වෙහෙසට පැමිණෙන්නට ද සිදු වන්නේ ය. නොයෙක් වර අප්‍රිය සම්ප්‍රයෝගයෙන් කැමති දෑ නො ලැබී දුකින් ඔහු නො මිදෙන්නේ ය. මෙතෙක් දුඃඛයන් ඇත්තා වූ මේ සත්ත්වයාගේ ස්කන්ධ පඤ්චකය ම දුකෙකි. ස්කන්ධ පඤ්චකය හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත්තේය. එබැවින් මේ සත්ත්ව ලෝකය ම දුක් ගොඩෙකි. උපදින්නේත් දුක ම ය. නිරුද්ධ වන්නේත් දුක ම ය. මෙහි සත්‍ය වශයෙන් සැපයක් නැත. මේ විභංගපාළියෙහි දුඃඛ සත්‍යය දැක්වීම ය.

සත්වයාගේ හටගැනීම ලෙස සළකන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ස්ඵර්ශ ආයතනයන්ගේ පහළවීම ය. ජීවත්වීම යනු මේ ස්ඵර්ශ ආයතනයන්ගේ පැවැත්මය. මරණය යනු මෙම ස්පර්ශ ආයතනයන්ගේ නැතිවීමය. ඒ අනුව ස්පර්ශ ආයතනයන්ගේ ඇතිවීම, පැවතීම, නැතිවීම තුළ රඳාපවතින සත්වයාට දුක් නොවේ’යැයි පැවසිය නොහැක. මක්නිසා ද ස්ඵර්ශ ආයතනයන් තුළ දුක රඳා පවතින නිසාය. බුදුන් වහන්සේ වරෙක භික්ෂූන්ට දේශනා කරන්නේ “මහණෙනි, මේ ස්පර්ශ ආයතන හම නැති එළදෙනක් දේ සළකන ලෙසය.” හම නැති එළදෙන කිනම් හෝ ඉරියව්වකින් සිටියත් ඌට මහ වේදනාවක් ඇති වේ. එසේම මේ ස්පර්ශ ආයතනයන්ගේ පැවැත්මම දුකක් ලෙස උන්වහන්සේ දේශනා කොට ඇත. එයට හේතු සමුදායක් ද පවතින්නේ ය. යම් කුෂ්ඨ රෝගියෙක් කැසීම තුළත් සැපයක් බලාපොරොත්තු වේ නම් ඔහුට එයම මහ දුකක් වේ. එයින් වන්නේ රෝගය තවතවත් උත්සන්න වීම පමණි. ඒ 

ලොව පහළ වූ ශාස්තෘන් අතුරෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වනුයේ අකාලික දහමක් දේශනා කළ නිසාය. චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය, කර්මය, පුනර්භවය වැනි ගැඹුරු ධර්ම සිද්ධාන්තයන් තුළින් උන්වහන්සේ පැහැදිලි කරන ලද්දේ පුද්ගලයා සසරෙහි ඇදබැඳ ගන්නා ආකාරයත් ඉන් මිදී නිර්වාණාවබෝධය ලබාගන්නා ආකාරයත්ය. මෙයින් බුදු දහමේ සාරය ලෙස සැළකෙන චතුරාර්ය සත්‍යය උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේ දී ම එනම් දම්සක් පැවතුම් සූත්‍රය තුළින් පළමුව ලොවට දේශනා කරන ලදහ. චතු+අරිය+සච්ච යනු උතුම් සත්‍යය හතර යන්නයි.

එනම් දුක්ඛාර්ය සත්‍යයය, දුක්ඛ සමුදයාර්යය සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය, මෙම ලිපියෙන් අදහස් කරනුයේ දුක්ඛ සත්‍ය පිළිබඳව පෙළ දහම ඇසුරෙන් සරල විග්‍රහයක් ඉදිරිපත් කිරීමයි. දුකෙහි විරුද්ධාර්ථ පදය සැපය යන්නයි. සැප විඳීමට පුහුදුන් මිනිසුන් තුළ ඇත්තේ අපරිමිත ආශාවකි. ලොව ජීවත්වන සෑම පුද්ගලයෙකුම සැප විඳීම සඳහා දුක් සහගත දේවල් ළඟා කරගනී. මක්නිසාද ? දුක පිරිසිඳ දකින නුවණක් පුහුදුන් සත්වයාට නොමැති නිසාවෙන්ය. බුදුන් වහන්සේලා ලොව පහළ වන්නේ මේ දුක් සහගත ස්වභාවයෙන් සත්වයා මුදවාලන්නට ය. බුදුරජාණන් වහන්සේලාගේ ලොව පහළ වීම දුර්ලභ ලෙස දේශනා කොට වදාරන ලද්දේ එනිසාවෙනි. (දුල්ලභො බුද්ධුත්පාදෝ ලෝකස්මිං)

නිසාවෙන්ම අප සැප යැයි කියන සෑම දෙයක්ම දුක් සහගත ස්වභාවයෙන් යුක්ත යැයි උන්වහන්සේගේ දේශනාවන්හි දක්නට ලැබේ.

බුදුන්වහන්සේ අවබෝධ කරගත්තේ ලෙඩවෙන, මහලුවෙන, මැරෙන, නින්දා අපහාස ලැබෙන මැසි මදුරු, අව්වැසි ආදීන්ගෙන් දුක් විඳින කයක් හදාගෙන එබඳු කයට ලැබෙන මේ සැපය සැපයක් නොවන ලෙසය. වරෙක බුදුන් වහන්සේ අනඳ හිමියන්ට පවසන්නේ “දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතො” ලෝකය දුකමත රඳා පවතින බවයි. ඒ බව උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයේ දී ගැඹුරුව දේශනා කොට ඇත. එම විග්‍රහයට අනුව “ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා, “මහණෙනි, ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණයට පත්වීම, අප්‍රිය පුද්ගලයන්ගේ එක්වීම, ප්‍රිය පුද්ගලයන්ගේ වෙන්වීම, තමන් කැමති කැමති දෑ නොලැබීම හා සහමුලින්ම පඤ්චස්ඛන්ධයම දුකක් ලෙසය. මේ වනාහි දුක්ඛ ආර්ය සත්‍යයයි.” මෙහි අර්ථ විග්‍රහ කිරීමේ දී කොටස් තුනක් යටතේ කරුණු අවබෝධ කරගත හැකිය. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ,

දුක්ඛ දුක්ඛ යනු මෙලොව දී ඇතිවන කායික හා මානසික වේදනාවන්ය.

විපරිණාම දුක්ඛ යනු සංස්කාරයන්ගෙන් හටගත් සියලු සජීවී හා අජීවී වස්තුන්ගේ වෙනස්වීම නිසා ඇතිවන දුක් සහගත ස්වභාවයයි.

සංඛාර දුක යනු එක් රැස් කරලීම තුළින් ලබනා දුකකි.

බුදුන් වහන්සේ සරලව දුක විග්‍රහ කොට උන්වහන්සේ පඤ්චස්කන්ධයම මහා දුකක් ලෙස අවසානයට පෙන්වා දෙයි. මෙහි දී දත යුත්තේ පඤ්චස්කන්ධ කෙසේ නම් සත්වයාට දුකක් වන්නේ ද යන්නය. සතර මහා භූතයන්ගේ එකතුව වූ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධ පහ සත්ව යන සම්මුතිය ලෙස බුදුන් වහන්සේ පෙන්වා දෙයි. ඇස, කන, නාසයය, දිව, ශරීරය යන පඤ්ච ඉන්ද්‍රියන් තුළින් ලබා ගන්නා අරමුණු හේතුවෙන් ඉහත දක්වන ලද ස්කන්ධයන් ආස්‍රවයන් දක්වා වර්ධනය වීම සිදුවන අතර “චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තාග්ගාහී හෝතී” ආදී ලෙසින් ඉන්ද්‍රිය සංවරය ඇතිකොට ගත යුත්තේ යැයි දක්වා ඇත. පුහුදුන් සත්වයා තුළ ඇත්තේ මේ සියලු දේ මමය, මගේය ආදී ලෙසින් ආත්මීය වශයෙන් අල්ලා ගැනීමය. එය දහමේ විස්තර වන්නේ උපාදානය ලෙසය. උන් වහන්සේ සංයුත්ත නිකායේ ථේණපිණ්ඩූපම සූත්‍රයේ දී

ථේණපිණ්ඩූපමо රූපо – වේදනා බුබ්බුලූපමා

මරිචි කුපමා සඥඥා – සංඛා කදලූපමා

චමායුපමඤ් විඤ්ඤාණං – දොසිතා උඝඛ බන්ධුතා”

යනුවෙන් දේශනා කරන්නේ රූපය-පෙණ පිඬක් ලෙස ගත යුතු අතර වේදනාව-දිය බුබුලක් හා සමානව ද සඥඥා-මිරිඟුවක් මෙන් ද සංස්කාරයෝ-කෙසෙල් කඳක් වැනි යැයි ද විඤ්ඤාණය-මායාවක් ලෙස ද ප්‍රත්‍යක්ෂ කටයුතු බවයි.

මෙහි දී පුහුදුන් මනසට ප්‍රත්‍යක්ෂ නොවුව ද ධර්මය කෙරෙහි අවබෝධයෙන්ම මේ උපමාවන් දතයුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සැකෙවින් කියතොත් මෙයින් කියැවෙන්නේ අවබෝධාත්මකව පඤ්චස්කන්ධයදෙස බැලිය යුතු බවයි. එනම් “යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා යදනත්තා තං නේතං මම” “ලෙසින් ත්‍රිලක්ෂණයට අනුව යමක් අනිත්‍ය වේද එය දුක් පිණිස පවතින්නේ ය. යමක් දුක් පිණිස පවතින්නේ ද එය අනාත්ම ස්වභාවයෙන් යුක්ත වේ. එසේ නම් මම ය මාගේය කියා ගතයුතු කිසිවක් නැත්තේය.” ආදී වශයෙන් අවබෝධ කර ගැනීමයි.

ත්‍රිලක්ෂණ

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ අකුරු අටකි පද තුනකි යනුවෙනි. මෙම අකුරු අට නැතිනම් වචන තුන තුළ මුළු බුදු දහම ම සාරාංශ වී ඇති බව පැහැදිලිව දැක ගත හැකිය. අප දන්නා අයුරින් කියතොත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු එම වචන තුනයි. මෙම පද තුන මේ සා විශාල ඇගයීමට ලක් වූ මෙම පද තුනෙන් දැක්වෙන්නේ තුන් වැදෑරුම් ලක්ෂණයි. නැතහොත් ත්‍රිලක්ෂණයි.

යම් දෙයක ස්වාභාවය ලක්ෂණය යැයි කියනු ලැබේ. ලක්ෂණය යන්නට ගතිය යන නාමය ද භාවිතා කරනු ලැබේ. උදාහරණ වශයෙන් ආපෝ ධාතුවේ ස්වාභාවය වැගිරෙන ගතිය හා සම්බන්ධ ගතියයි. පඨවි ධාතුවේ ලක්ෂණය තද ගතියයි. ඇතැම් විටකදී අප යම් කෙනෙක් හදුන්වා දෙන විට ඔහුගේ/ඇයගේ ගතිය, ඔහුගේ/ඇයගේ ලක්ෂණය, ස්වාභාවය ආදී වශයෙන් වයවහාර කරනු ලබයි. ඒ අනුව ලක්ෂණය යන්නෙහි අදහස තේරුම යම් තාක් දුරට මෙමගින් තේරුම් ගත හැකිය.  

සබ්බේ සංඛාරා අනිච්චා  – සියළු සංස්කාර අනිත්‍යයි

සබ්බේ සංඛාරා දුක්ඛා – සියළු සංස්කාර දුකයි

සබ්බේ ධම්මා අනත්තා. – සියළු ධර්ම අනාත්මයි

යනුවෙන් බුදු දහමේ සදහන් කර ඇත. මෙහි සංස්කාර යනුවෙන් හදුන්වන්නේ හේතු ප්‍රතන්ගෙන් හටගත් දේය.ඇළදොළ, ගහකොළ, සතුන් සිවුපාවුන්, මිනිසුන්, දෙවියන්, බඹුන් ආදී මේ සියල්ලම සංස්කාරය.මේ සියල්ල කවරෙකු හෝ විසින් මවන ලද්දක් නොවේ.යම් යම් හේතූන් නිසා හටගත් දේය.

අනිත්‍ය

ඉහත සදහන් කරන ලද සියල්ලටම එසේ නැති නම් හේතුවක් නිසා හට ගන්නා සියල්ලටම පොදු වූ කාරණයක් ඇත. එය නම් අනිත්‍යතාවයි. අනිත්‍ය තාවය නම් ස්ථිර නැති අස්ථිර ස්වාභාවයයි. අනිත්‍ය යන වචනය සෑදී තිබෙන්නේ න + නිත්‍ය යන දෙකෙහි එකතුවෙනි. නිත්‍ය යන්නෙන් ස්ථිර බවක් අදහස් කරනු ලබන අතර න + නිත්‍ය යන්නෙන් අස්ථිර, ස්ථිරත්වයක් නැති ස්වාභාවය අදහස් කරනු ලබයි. අස්ථිර බව යනු එක ආකාරයට සියල්ල සදාකාලිකව නොපවතින බවයි. වෙනස් වන ස්වාභාවයෙන් යුක්ත බවයි.

අනිච්චාවත සංඛාරා  – උප්පාද වය ධම්මිනො

යන ගාථා කොටසින් අනිත්‍යතාවය පැහැදිළිව දක්වා ඇත. භික්ෂූන් වහන්සේලා අවමංගල අවස්ථාවක දී මෙම ගාථාව සජ්ඣායනය කරනු ලැබේ. “ඇති වීම නැති වීමේ ස්වාභාවයෙන් යුක්ත නිසා ඒකාන්තයෙන්ම සංස්කාර අනිත්‍යය” යන්න එහි තේරුමයි. ඒ අනුව සංස්කාර අනිත්‍ය වන්නේ ඇති වීම නැති වීමේ ස්වාභාවයෙන් යුක්ත නිසාය. ධර්මානුකූලව හා බුද්ධිමත්ව සිතා බැලුව විට පැහැදිලි වන දෙයක් නම් හට ගැනීමේ ස්වාභාවයෙන් යුක්ත සියල්ල මොහොතින් මොහොත වෙනස් වන බවයි.

සංඛත නම් සකස් වූ දේයි. ඒ සංඛත ධර්මයන්ගේ ලක්ෂණ ලෙස සදහන් කෙරෙන්නේ පහත ලක්ෂණ තුනය.

උප්පාද , වය , ඨීතස්සඤ්ඤථත්ත

ඨීතස්සඅඤ්ඤථත්ත නම් ඒ සංඛත ධර්මයන්ගේ හට ගැනීමත් අවසානයේ විනාශයට පත් වීමත් අතර පවතින කාලය තුළදී ඇති වන වෙනස් කම්ය.යමක අවසානය එක් වරම සිදු වන්නක් නොවේ. ක්‍රමක් ක්‍රමයෙන් වෙනස් වී ‍ගොස් එම අවසානය සිදුවේ. යම් වස්තුවක වෙනස් වීම ඇති වන්නේ හට ගැනීමත් සමගය. පැසීම, ඉදීම, මේරීම, දිරායාම, මහළු වීම ආදී වචන වලින් දැක්වෙන්නේ එම වෙනස් වීමයි. අප වයසට යාම ආරම්භ වූයේ කවදා ද? යනුවෙන් යම් කෙනෙක් ප්‍රශ්ණයක් නැගුවහොත් අපට ලබා දීමට ඇති පිළිතුර වන්නේ අප උපන් මොහොතේ සිටමය යන්නයි. ඉහත සදහන් කළ උප්පාද , වය , ඨීතස්සඅඤ්ඤථත්ත  ලක්ෂණ  තුනෙන්ම පැහැදිලි වන්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වාභාවයයි.

දුක්ඛ

සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි. ජාති, ජරා, මරණ වලින් ගම්‍ය වන දේ දුක යැයි බුදුන් වහන්සේ දේශනා කොට තිබේ. මව්කුසින් බිහිවීම (ජාතිපි දුක්ඛා) දුකක් වශයෙන් හැඳින්වීම විපරීතයකි. බෞද්ධ දර්ශනයට අනුව දුකෙහි උපත මමත්වයේ උපතයි. ජරා යන්නෙන් බුදුන් වහන්සේ වදාළේ කායික වශයෙන් මහළු බවට පත් වීම නොව, මමත්වය නිසා මනසෙහි හටගන්නා විපරීතයකටය. මරණය දුකක් වන්නේ කායික වශයෙන් පණ යෑමට නොව, පඤ්ච උපාදානස්කන්ධයෙන් මමය මගේ යැයි අල්ලා ගෙන සිටින ලෝකය පණයන මොහොතේ දී අත හැරීමට තිබෙන අකමැත්ත නිසා මරණය දුකක් වේ. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ කායික වශයෙන් නොව මනෝ විද්‍යාත්මක වශයෙනි. නාම – රූප ධර්මතාවන්ගේ නිරන්තර වෙනස්වීම බුදුරදුන්ට නතර කළ නොහැකි ය. බුදුවරුන් පහළ වූවත් නොවූවත් නාම රූප ධර්ම විෂයෙහි ක්‍රියාත්මක වන ඇති වෙමින්, නැතිවෙමින් පැවතීම ස්වභාවික ලෝකයේ ලක්‍ෂණයකි.

බුදුන් වහන්සේ මේ දුක් බැහැර කළේ බුදු වූ අවස්ථාවේ දී ය. පන්සාලිස් වසක් මමත්වයෙන් තොරව (නිෂ්පුද්ගල) ජීවත් වූ බුදුන් වහන්සේට ස්වීය සන්තානයෙහි විපරිණාමයක් හෝ පරිහානියක් නොවී ය. ජාති, ජරා මරණ නමැති දුක්, උපාදානය බැහැර කළ ආර්ය උත්තමයින්ට නැත. ආර්ය උත්තමයින් මරණයට පත්වන්නේ ද නැත. අවසානයේ දී සිදුවන්නේ කය අත හැරීමය. මරණයට පත්වන්නේ පුහුදුන් අයයි. නුවණින් අවබෝධයෙන් සොයා දැනගෙන ස්වකීය ජීවිතය ඇප කැප කිරීමෙන් මමත්වය බැහැර කර අජරාමර තත්ත්වයට පත්වීමට අපකාටත් පුළුවන.

අනාත්ම

අනාත්ම (අනත්ත) නිත්‍යත්ව සංඛ්‍යාත ආත්මය ස්කන්ධ පඤ්චකය තුළ හෝ ආයතන දොළොස තුළ හෝ ධාතු අටලොස තුළ හෝ නොමැති බැවින්, ආත්ම දෘෂ්ටිය ආධ්‍යාත්මික සංවර්ධනයට අහිතකර වූ විපරීතයකි. ආත්ම දෘෂ්ටියෙන් ශ්‍රාවකයා මුදා ගැනීම පිණිස ආත්ම කොටගත් නිත්‍ය වූ පදාර්ථයක් නොමැති බව මතු කොට දැක්වීම පිණිස අනාත්ම වශයෙන් ප්‍රකට වූ ධර්මය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මේ අනුව අනාත්මය යනු සක්කාය දිට්ඨිය බැහැර කොට ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටියට ගැනීමට ඇති ප්‍රායෝගික දේශනාවකි.

පුහුදුන් මිනිසුන් දුක නැති කිරීමට උත්සාහ කරන්නේ දුක් සහගත දේවල් තුළම ගැලී සිටීමෙනි. උපන් සැම කෙනෙක්ම වෙහෙස වන්නේ සැප විඳීමටය. නමුත් මෙම සැපයම දුකක් ලෙස පිරිසිඳ දැනීමට නුවණක් පුහුදුන් මනසට නොවේ. සත්වයා ගෙවල් දොරවල්, යාන වාහන ලබාගෙන බලාපොරොත්තු වන්නේ දුක නැති කිරීමට ය. නමුත් මේ හරහා සිදුවන්නේ නැවත නැවත දුකටම පත්වීමකි. බුදුන් වහන්සේ දුක ඇති වීමේ හේතුව සිඳලීමට ලෝකයාට උපදෙස් දුන්හ. හේතුඵල දහමමත රඳා පවතින බුදු දහම අනුව දුක ඇතිවීමට හේතුව වනුයේ ක්ලේශන්ය. මෙහි දී දුක අවබෝධ කටයුතු අතර කෙලෙස් ප්‍රහාණයට බුදුන් වහන්සේ උපදෙස් දුන්හ. වරෙක උන්වහන්සේ “දුක්ඛ සත්‍යය” තමන් තුළින්ම දතයුතු බව පෙන්වා දෙන්නේ ද එ නිසාවෙනි.

නිවැරැදි බෞද්ධයන් දුක නැති කිරීම සඳහා ගෙවල් දොරවල් ඉදි කළේ නැත. රැකී රක්ෂා කළේ ද නැත. ඔවුන් ජීවිතය ජීවත් කිරීම සඳහා යුතුකම් ඉටු කිරීම සඳහා ගෙවල් දොරවල් රැකී රක්ෂා කළහ. සසර දුක ඇති කරන නිවන් මඟ අහුරන මේ දුක් සහගත ලෝකය පිළිබඳව බුදුන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂ ඥානයන් දේශනා කොට වදාළ දුක්ඛාර්ය සත්‍යය සැබවින්ම සාක්ෂාත් කොට දත යුතුය.