දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය

සසර පැවැත්මට විරුද්ධ වූ අරමුණ නිරෝධ නම් වේ. තෘෂ්ණාව නැති කිරීමෙන් ලබන ශාන්ත තත්ත්වය නිරෝධ නම් වේ. ‘නි’ යන්නෙන් නැති යන තේරුම දෙයි. රෝධ යන්ගෙන් සිරගෙය යන අර්ථය දෙයි. මෙය එකතු වූ විට දුක් නමැති සිරගෙය නැති කරන යන අදහස වේ. දුක හිරගෙයකි. කාම, භව, රූප භව – අරූප භව යන භවත්‍රයය දුක නමැති සිර ගෙයි බිත්ති වේ

තත්ථි කතමං දුක්ඛ නිරෝධං අරිය සච්චං යෝ තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධෝ වාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයො

ඒ තෘෂ්ණාවන්ගේ අශේෂ විරාග නිරෝධයක් වේ ද යම් දුරු කිරීමක් බැහැර කිරීමක් මිදීමක් නො ඇල්මක් වේද ඒ තෘෂ්ණානිරෝධ සංඛ්‍යාත නිර්වාණය දුක්ඛ නිරෝධාය¸ සත්‍ය නම් වේ.

මෙසේ තෘෂ්ණාව නමැති හැකිල්ලෙන් බඳිනු ලැබූ සත්වයා දුක් නමැති හිරගෙයි නොයෙක් ආකාර දුක් පීඩාවලට ගොදුරු වෙයි. එම තෘෂ්ණාව යම් තැනක නොමැති නම් එතැන දුක් නමැති හිර ගෙයක් නැත. එමනිසා නිරෝධ යනුවෙන් ප්‍රකාශ කරනු ලැබේ.

එසේම නිවන අවබෝධ කර ගැනීම හේතු කරගෙන තෘෂ්ණාව නැති කිරීම ද, බැහැර කිරීම ද, මිදීමද, නො ඇලීම ද වන හෙයින් චාග පටිනිස්සග්ග – මුත්ති – අනාලය යන මේ නම් නිරෝධ නම් වූ නිවනට ව්‍යවහාර කෙරේ. නිවන පෘථග්ජන ලෝකයා විසින් දැනගත යුත්තේ අනුබෝධ ඥානයෙනි. නිවනෙහි නියම තත්ත්වය දැනගත හැකිවන්නේ අවබෝධ ඥානයෙනි. මේ අනුව අනුමානයෙන් හා ප්‍රත්‍යක්ෂය යන දෙයාකාරයෙන් නිවන දත හැකි වෙයි. ශ්‍රැතමය ඥානය නිවනෙහි ස්වභාවය අසා දැනගෙන ගුණ දම් සපුරාලීමෙන් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් නිවන අවබෝධ කර ගත හැකි ය.

ලෞකික සැප සියල්ලම තාවකාලිකය. අස්ථිරය. ජාති, ජරා, ව්‍යාධි, මරණාදී අනන්ත දුක්වලට බඳුන් වෙයි. එහෙත් නිවන් සුවය ස්ථිර සදාකාලික සැපයෙකි. එහි ජරාවක්, ව්‍යාධියක්, මරණයක්, ශෝකයක් නැත. එය කිසි කලෙක වෙනස් නොවන පරම සුඛ ස්වභාවයෙනි. තුන් ලොවම ඉක්ම පැවැති හෙයින් ලෝකෝත්තර ධර්මයෙකි. නිවන පිහිටි තැනක් නැත. ලෝකයෙහි ගිනි පවතී. 

එහෙත් ඒවා පවත්නා තැනක් නොමැත. අවශ්‍ය උපකරණ ද්‍රව්‍ය යෙදූ විට ගිනි උපදවා ගත හැකිය. එසේම ශීල, සමාධි, ප්‍රඥා ආදි ධර්මයන් ඇති කල්හි විද්‍යමාන වූ නිර්වාණය පිහිටි තැනක් නැති හෙයින් එය ශුන්‍ය ධර්මයක් වශයෙන් නොසැලකිය යුතුය. එය සතර මාර්ග ඥානයන්ට අරමුණු වන්නා වූ ලෝකෝත්තර ධර්මයකි. ඇස් ඇත්තවුන් විසින් ඇසින් චන්ද්‍ර මණ්ඩලය දක්නා සේ ආර්යයන් මාර්ග ඥනයෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරනු ලැබේ. ජාත්‍යන්ධයට සඳ මඬල නොදැක්ක හැකිය. එහෙත් සඳ මඬල නැතැයි කිව නොහැක. එය තර්කයට ගොදුරු වන්නක් නොවේ. එහෙයින් නිවන ‘අතක්කාවචරය’ එය තමාගේ නුවණැසින් ම දැන ගත යුතු ය. තම තමන්ගේ නිර්වාණය ඇත්තේ තමා තුළම ය. “සංඥා සහිත වූ සිත සහිත වූ බඹයක් පමණ වූ මේ ශරීරයෙහි ම ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් පනවමි”යි බුදුරජාණන්වහන්සේ දේශනා කළේ ඒ නිසාය. ඒ අනුව නිවන කොතැනක පිහිටා තිබේද කුමක් ඇසුරු කොට පවතින්නේ දැයි යන ප්‍රශ්න නිරාකරණය වේ.

ආගම සිද්ධිය, න්‍යාය සිද්ධිය, අනුමාන සිද්ධිය, ප්‍රත්‍යක්ෂ සිද්ධිය යන සතර ආකාරයට නිවන් ඇති බව දත හැකිය.

ආගම සිද්ධිය,

නිවන් දුටු බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාගේ ඒ වචනය විශ්වාස කරන්නවුන්ට නිවනක් ඇති බව ආගම සිද්ධිය වේ.

න්‍යාය සිද්ධිය

නිවනක් නැත්නම් නිවන් අරමුණු කොට උපදනා මාර්ග ඵල සිත් නැත්නම් මාර්ගඵල ලාභීහුද නොවෙති. මාර්ගඵල ලාභීන් සිටින බවට අපේ ධර්ම ග්‍රන්ථ සාක්ෂි දරයි.

අනුමාන සිද්ධිය

ප්‍රත්‍යක්ෂ දෙයට සමානව කොට අප්‍රත්‍යක් දෙස බැලිය යුතුය. (“යථාපි දුක්ඛෙ විජ්ජන්ති සුඛං තාංපි විජ්ජති) ලෝකයේ දුකක් ඇත්නම් ඊට විරුද්ධ සැපයකුත් ඇත. එසේම ඉපදීමක් ඇත්නම් නිවනකුත් තිබිය යුතුය. මෙසේ ප්‍රත්‍යක්ෂ සිද්ධින් අනුව ද නිවන ඇතැයි අනුමාන වශයෙන් දැනගත යුතුය.

ප්‍රත්‍යක්ෂ සිද්ධිය

බුදුරජාණන්වහන්සේ ආදි ආය¸ උතුමනට නිවන ප්‍රත්‍යක්ෂ සිද්ධියකි.මෙසේ සතර ආකාරයට නිවන් ඇති බව දැනගත හැකිය.

නිස්සරණට්ඨ – විවේකට්ඨ – අසංඛ්‍යට්ඨ – අමතට්ඨ යන සතර දුක්ඛ 

නිරෝධාය¸ සත්‍යයේ ස්වභාව ලක්ෂණ වේ.

නිස්සරණට්ඨ

සියලු ක්ලේශයන්ගෙන් හා සියලු දුක්ඛයන්ගෙන් තොර වීම නිස්සරණට්ඨ වේ. නිවනට පැමිණි සියලු දෙනාම සසර දුකින් හා කෙලෙසුන්ගෙන් වෙන් වී ශාන්ත සැපය විඳී.

 විවේකට්ඨ

නිවනට පැමිණි තැනැත්තන්ට සසර බියක් නැත. නැවත දුකකට පැමිණීමක් හෝ කෙලෙස් මල ඇති වීමක් නැත. සියලු කෙලෙස් දුරු කළ බැවින් විවේක නම් වූ නිවන් සුවය විඳියි.

 අසංකතට්ඨ

කර්මාදී ප්‍රත්‍යන්ගෙන් හට නොගත් බව අසංකතට්ඨ වේ. සියලු ධර්මයෝ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තාහු වන්නේය. එම ධර්මයෝ අනිත්‍ය – දුක්ඛ – අනාත්ම යන ත්‍රි ලක්ෂණයෙන් යුක්ත ය. එහෙත් නිවන අසංක්‍ය සංස්කාරයන්ගේ සංසිඳීම හා තොරවීම අසංකතට්ඨ වේ.

අමතට්ඨ

මරණ රහිත බව – නොමැරෙන බව අමතට්ඨ නම් වේ. ලෝකයේ ඇති සියලු සජීවී – අජීවී වස්තු ධර්මයෝ සියල්ලම අනිත්‍යය. විනාශ වන ස්වභාවයෙන් යුක්තය. නිවනේ එසේ වෙනස් වන ස්වභාවයක් හෝ බිඳෙන ස්වභාවයක් හෝ නැත. නොබිඳෙන, නො නැසෙන, නොමැරෙන ස්වභාවය නිර්වාණයෙහි ඇති බැවින් අමතට්ඨ නම් වේ.මේ ආකාරයෙන් නිරෝධ සත්‍යය සාක්ෂාත් කළ යුතුය. (සච්ඡිකාතබ්බං) මේ ආකාරයෙන් සාක්ෂාත් කළ අය මාර්ග සත්‍යය වැඩිය යුතුය. (භාවෙතබ්බං) එවිට උතුම් නිවනට පැමිණිය හැකිය.