දුක්ඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යය

දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය යි කියන ලද තෘෂ්ණාව ආර්‍ය්‍ය මාර්ග ඥානයෙන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය නො කරන ලදුව, සත්ව සන්තානයෙහි යම්තාක් කල් පවතී ද එතෙක් ඒ තෘෂ්ණාව එක භවයකට අයත් වූ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛය නිරුද්ධ වනු සමග ම අභිනව භවයක ස්කන්ධයන් උපදවන්නේ ය. දුඃඛ පරම්පරාව සිඳී යන්නට ඉඩ නො දෙන්නේ ය. එබැවින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදි දුඃඛයන්ගේ උත්පත්ති ස්ථානය වූ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛය නො සිඳී පවත්නේ ය.

ලෝකයෙහි අඳුරට විරුද්ධ වූ එලියක් ද, උෂ්ණයට විරුද්ධ වූ ශීතලක් ද, රෝගයට විරුද්ධ වූ බෙහෙතක් ද, අධර්මයට විරුද්ධ වූ ධර්මයක් ද යනාදි වශයෙන් සෑම දෙයකට ම විරුද්ධ දෙයක් තිබෙන බැවින් මේ සංසාර දුඃඛ සංඛ්‍යාත මහා දුක්ඛයට ද විරුද්ධ දෙයක් ඇත්තේය. ඒ විරුද්ධ දෙය නම් දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය යි කියන ලද නිර්වාණය යි. ඒ නිර්වාණ ධාතුව සෑම කල්හි ම පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයෙන් වැසී තිබෙන බැවින් ඒ සුඛය සත්ත්වයන් හට ස්පර්ශ නො කළ හැකි ව පවත්නේ ය. පඤචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයන් නැවත නැවත ගෙන දෙන්නා වූ තෘෂ්ණාව නැති වුවහොත් ඒ හා සමග එයට අනුව ම දුක්ඛයෝ ද නිරුද්ධ වන්නාහ. නිර්වාණ සුඛය වසාගෙන සිටින්නා වූ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුක්ඛය නිරුද්ධ වනු සමග ම වැසී තිබුණා වූ නිර්වාණ ධාතුව සත්වයා හට මතු වන්නේ ය. එය මතු වූ කල්හි සත්ත්වයා නිවනට පැමිණියේ ය යි ද කියනු ලැබේ.

සත්වයා හට නිවනට පැමිණිය හැකි වීමට නම් නිවන ලැබිය හැකි වීමට නම් නිර්වාණ සුඛය වසා ගෙන සිටින්නා වූ පඤ්චස්කන්ධය නැති විය යුතු ය. පඤ්චස්කන්ධය නැතිවන්නට නම් නැවත නැවත පඤ්චස්කන්ධය නිපදවන්නා වූ තෘෂ්ණාව නැති කළ යුතු ය. තෘෂ්ණාව නැති කිරීමෙන් ම මිස අන් කිසි ම ක්‍ර‍මයකින් කිසි ම උත්සාහයකින් පඤ්චස්කන්ධය නමැති දුක්ඛය නැති කළ නොහේ. එබැවින් තෘෂ්ණාව නසන්නා වූ යම් ක්‍ර‍මයක් වේ නම් ඒ ක්‍ර‍මය, තෘෂ්ණාව මූලෝත්පාඨනයෙන් නසන්නා වූ යම් ධර්මයක් වේ නම් ඒ ධර්මය, දුඃඛ නිරෝධ සංඛ්‍යාත නිර්වාණයට පැමිණීමේ මාර්ගය වන්නේ ය. ඒ ක්‍ර‍මයට ඒ මාර්ගයට “දුඃඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යය” යි ද “මාර්ග සත්‍යය” යි ද කියනු ලැබේ.

දැන් දතයුත්තේ ඒ තෘෂ්ණාව නසන්නා වූ ක්‍ර‍මය තෘෂ්ණාව නැසීමට සමර්ථ වූ ධර්මය කුමක් ද කියා ය. තෘෂ්ණාව ද කිසි හේතුවක් නැතිව ඉබේ ම හටගන්නා දෙයක් නොවේ. නිවන සේ හටගැනීමක් නැතිව ඇති දෙයක් ද නො වේ. එය යම්කිසි හේතුවකින් හටගන්නා දෙයකි. උත්පාදක හේතුව වූ තෘෂ්ණාව නැති කිරීමෙන් මිස අන් අයුරකින් දුක්ඛය නැති කළ නො හැකිවාක් මෙන් ම යම් හේතුවකින් තෘෂ්ණාව උපදී නම් ඒ හේතුව සොයා ඒ හේතුව නැසීමෙන් මිස අන් කිසි ම ක්‍ර‍මයකින් තෘෂ්ණාව නැසිය නොහේ. එබැවින් තෘෂ්ණාව නසනු කැමති තැනැත්තා විසින් එහි උත්පත්ති හේතුව සොයා එය ම නැති කළ යුතු ය. එය නැති කිරීම සඳහා ම ක්‍රියා කළ යුතුය. එය නැති කර ගැනීම සඳහා ම ක්‍රියා කිරීමටත් තෘෂ්ණාවේ උත්පත්ති හේතුව සොයා ගත යුතු ය.

කොටින් කියහොත් තෘෂ්ණාවේ උත්පත්ති හේතුව, නො දැනීම හෙවත් මෝහය ය යි කිය යුතු ය. කිසිම දෙවියකුගේ හෝ බ්‍ර‍හ්මයකුගේ හෝ අන් කිසිවකුගේ උත්සාහයකින් නොව ඒ ඒ ධර්මයාගේ උත්පත්තියට නිසි හේතූන් ගේ රැස්වීමෙන් ම හටගන්නා වූ හට ගැනීමෙන් පසු ද කිසි ම කෙනකුගේ කැමැත්තේ හැටියට මොහොතකුදු නො පවත්නා වූ ඇසි පිය වරක් හෙලීමට ගත වන කාලයෙන් පංගුවකුදු නො පැවතී උපන් හැටියේ ම විදුලියක් සේ බිඳී අතුරුදහන් වන්නා වූ සත්ව පුද්ගල භාවයක් නැත්තා වූ ස්වභාව ධර්ම වූ පඤ්චස්කන්ධය නාම රූප ධර්ම සමූහයක් සැටියට නො පෙනීම හේතු කොට ස්පර්ශ වේදනාදි නාම රූප ධර්මයන් වෙන් කර ගත නො හැකි වීම හේතු කොට ඒ නාම රූප සමූහය නාම රූප ධර්ම සමූහයක් සැටියට නො වැටහීම හේතුකොට ගෙන ඒ නාම රූප ධර්ම සමූහය මම ය කියා ද මනුෂ්‍ය – දිව්‍යාදි අන්‍ය සත්ත්වයෝ ය කියා ද ගන්නා වූ වැරදි හැඟීම් පහළ වේ. ඒ වැරදි හැඟීමට නැතහොත් වරදවා ගැනීමට සත්කාය දෘෂ්ටිය යි ද කියනු ලැබේ.

තව ද විදුලියක් සේ දියෙහි ඇඳි ඉරක් සේ සැණෙකින් බිඳී යන්නා වූ ඒ නාම රූප ධර්මයන්ගේ සැණෙකින් බිඳී යන ස්වභාවය වූ අනිත්‍ය ලක්ෂණය නො පෙනීම හේතු කොට නාම රූප ධර්මයන් කලක් පවත්නා වූ හෝ සෑම කල්හි ම පවත්නා වූ හෝ දේවල් ය යන වැරදි හැඟීම ද, ජාති – ජරා – මරණාදි දුඃඛයන්ට වස්තු වන බැවින් ද, බිඳි බිඳී යාමෙන් ඇලුම් කරන්නා නිරතුරුව ම පෙළන බැවින් ද ඒකාන්තයෙන් දුක් රැසක් වූ නාම රූප ධර්ම සමූහය හෙවත් ස්කන්ධ පඤ්චකය ඒ බව නො දැනීම හේතු කොට හොඳ දෙයක් ය සැපයක් ය යන වැරදි හැඟීම ද ඇතිවේ.

පඤ්චස්කන්ධය සත්ත්ව පුද්ගල භාවයෙන් තොර වූ ධාතු කොටසක් හැටියට නොව මම ය කියා ද සත්ත්වයෝ ය පුද්ගලයෝ ය කියා ද ගන්නා වූ වැරදි හැඟීම ය,

පඤ්චස්කන්ධය නිත්‍ය දෙයක් ය කියා හෝ කලක් පවත්නා දෙයක් ය කියා හෝ ගන්නා වැරදි හැඟීම ය,

පඤ්චස්කන්ධය හොඳ දෙයක් ය සැපයක් ය, කියා ගන්නා වූ වැරදි හැඟීම ය

යන මේ තුන නිසා මම ය යි ගන්නා ලද ස්වකීය ස්කන්ධ පඤ්චකය කෙරෙහි මහත් වූ තෘෂ්ණාවක් ඇති වන්නේ ය. මාගේ භාර්‍ය්‍යාවය මාගේ දරුවෝ ය මාගේ නෑයෝ ය මාගේ මිතුරෝ ය යනාදීන් අන්‍ය සත්‍යයන් ගැන ද තෘෂ්ණාව ඇති වේ. මාගේ ගෙය ය, මාගේ වත්ත ය, මාගේ කුඹුර ය, මාගේ මිල මුදල් ය යනාදි වශයෙන් ද මේ මේ දේ මට ඕනෑ ය යනාදි වශයෙන් ද තෘෂ්ණාව හටගන්නේ ය. එබැවින් පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් පවත්නා වූ කියන ලද වැරදි හැඟීම් තුන තෘෂ්ණාවේ උත්පත්ති හේතු බව දත යුතු ය.

යම්තාක් සත්ත්වයා තුළ කියන ලද වැරදි හැඟීම් තුන පවත්නේ ද එතෙක් ඔහු තුළ තෘෂ්ණාව ද නැවත නැවත ඇති වන්නේ ය. තෘෂ්ණාව නැති කිරීම සඳහා කළ යුත්තේ මේ වැරදි හැඟීම් තුන දුරු කිරීම ය. යම් කිසිවකු තුළ පඤ්චස්කන්ධය මම ය යන හැඟීම සම්පූර්ණයෙන් ම නැත්තේ නම් ඔහුට ස්වකීය ස්කන්ධ පඤ්චකය පස් ගොඩකට දරකඩකට කසළ ගොඩකට වෙනස්ව නො පෙනෙන්නේ ය. ස්කන්ධ පඤ්චකය පුද්ගලයකු වශයෙන් නොව පස් ගොඩකට දරකඩකට කසළ ගොඩකට නො වෙනස්ව පෙනෙන තැනැත්තා හට කෙසේ නම් ස්කන්ධ පඤ්චකය කෙරෙහි ඇල්මක් ඇති නො වේ ම ය. කිසි ම සංස්කාරයක් මම ය කියා නො ගන්නා වූ තැනැත්තාට මමත් නැති කල්හි මාගේ ය කියා ද මට ඕනෑ ය කියා ද ගන්නට දෙයක් ඇති නො වේ ම ය. කරුණු මෙසේ හෙයින් පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් පවත්නා වූ වැරදි හැඟීම් දුරුවීම සමග ම තෘෂ්ණාවත් දුරු වන බව දත යුතු ය.

ඒ වැරදි හැඟීම් තුන දුරුකර ගත හැකි වනුයේ පඤ්ච-ස්කන්ධයට අයත් වූ චිත්ත චෛතසික රූප ධර්මයන් හා ඒවායේ අනිත්‍ය-දුක්ඛ-අනාත්ම යන ලක්ෂණ තුන ද, තත්වාකාරයෙන් දැකිය හැකි ඥානය ඇති කර ගැනීමෙනි. ඥානය ඇති කර ගැනීමෙන් ම මිස අන්කිසි ක්‍ර‍මයකින් ඒ වැරදි හැඟීම් තුන දුරු කළ නොහේ. ඒ වැරදි හැඟීම් තුන දුරුකිරීමෙන් මිස අන් කිසි ම ක්‍ර‍මයකින් තෘෂ්ණාව සහමුලින් නැසිය හැක්කේ ද නොවේ. දන් දීමෙන් තෘෂ්ණාව නැසිය හැකි ය යි සමහරුන් සිතතත් එසේ සිතනුයේ තෘෂ්ණාව නැති කර ගත හැකි ආකාරය තත්වාකාරයෙන් නො දැනීමෙනි. දන් දීමෙන් ලෝභය දුරු වන්නේ ය. ඒ දුරු වන්නේ දෙන දෙය ගැන තිබුණු ලෝභය යි. දෙන වස්තූන් කෙරෙහි පැවති ලෝභය දුරු වුව ද තෘෂ්ණා මූලය එසේ ම තිබෙන බැවින් නැවත නැවත වෙනත් දේවල් ගැන තෘෂ්ණාව උපදනේ ම ය.

දන් දීමෙන් මඳකට ලෝභය දුරු වුවත් දානයාගේ විපාක වශයෙන් මතු සම්පත් ලැබෙන කල්හි, ගසක අත්තක් කපා දැමූ කල්හි එතැනින් පසුව අතු හත අටක් ලියලා එන්නාක් මෙන් දානයාගේ විපාක වශයෙන් ලැබෙන සම්පත් අරමුණු කොට පසුව ඔහු තුළ බොහෝ තෘෂ්ණා හටගන්නාහු ය. එබැවින් ලෞකික සම්පත් පතා දන් දෙන්නවුන්ට දීමෙන් තවත් තෘෂ්ණාව වැඩෙන බව දත යුතු ය. ලෞකික සම්පත් නොව නිවන් පතා දන් දෙන්නවුන්ට වනාහි එයින් ලෝභය තුනී වේ. නමුත් කොපමණ දන් දුන්නත් එයන් ලෝභය මතු නූපදනාකාරයෙන් නම් දුරු නො වේ. සසර වසන තෙක් සත්ත්වයාට ලෞකික සැප වුවමනා නිසා ද ඥානය වර්ධනය කර ගැනීමට සුගතියෙහි උපදින්නට වුවමනා නිසා ද දන් දීම කළ යුතුය. දන් දීම නිෂ්ඵල දෙයකැ යි වරදවා නො ගත යුතු ය. එහෙත් එයින් ම තෘෂ්ණාව නැසීමටත් නිවන් දැකීමටත් බලාපොරොත්තු වුවහොත් එය වැරදීමක් බව ද දත යුතු ය. ද්විවිධ වූ ඥානය

ඥානය ද, අනුමාන ඥානය, ප්‍ර‍ත්‍යක්ෂ ඥානය යි දෙ වැදෑරුම් වේ. දිය සැලෙනු දැක දියෙහි මසකු ඇති බව දැනීම වැනි දැනුම අනුමාන ඥාන නමි. දිය සෙලවූ සත්ත්වයා දියෙන් ගොඩ ගෙන බැලූ තැනැත්තාට ඒ සත්ත්වයා පිළිබඳව ඇති වන දැනීම වැනි කිසි ම සැකයක් ඉතිරි නො වන සේ දැන ගන්නා දැනීම ප්‍ර‍ත්‍යක්ෂ ඥාන නමි. මේ ඥාන දෙකින් අනුමාන ඥානය දුර්වල ඥානයකි. බලවත් ඥානය වනුයේ ප්‍ර‍ත්‍යක්ෂ ඥානය යි. එයට ප්‍ර‍තිවේධ ඥානය යි ද කියනු ලැබේ. පඤ්චස්කන්ධයට අයත් නාම රූප සමූහය හා ඒවායේ අනිත්‍යාදි ලක්ෂණ තුන ද දැනීමෙන්, වැරදි හැඟීම් තුන හා තෘෂ්ණාව ද දුරු වේ ය යි කියන ලද නමුත් ඒවා පිළිබඳ අනුමාන ඥානය ඇති වූ පමණින් ද, ඒ වැරදි හැඟීම් හා තෘෂ්ණාව දුරු නො වේ. ඒ වැරදි හැඟීම් හා තෘෂ්ණාව දුරු කිරීමට සමත් වනුයේ ප්‍ර‍ත්‍යක්ෂ ඥානය යි.

පඤ්චස්කන්ධයට අයත් නාම රූප ධර්මයන් හා ඔවුන්ගේ අනිත්‍යාදි ලක්ෂණ ගැන ද දැනීමක් ඒ ධර්ම පිළිබඳ බණ අසන්නා වූ ද, බණ පොත් කියවන්නා වූ ද, ගුරුන්ගෙන් උගෙන ගන්නා වූ ද, තැනැත්තන් හට ද ඇති වේ. එය අනුමාන වශයෙන් දැනීම ය. ඒ අනුමාන ඥානය ස්කන්ධ පඤ්චකය සම්බන්ධව පවත්නා වූ වැරදි හැඟීම් තුන තුනී කරන්නට මුත් දුරු කිරීමට සමර්ථ නොවේ.

බණ ඇසීම් ආදියෙන් ඒ ධර්මයන් දැනගත් තැනැත්තා විසින් යම්කිසි විවේක ස්ථානයකට එළඹ තමා දැන සිටින පරිද්දෙන් පඤ්චස්කන්ධය හා පඤ්චස්කන්ධයා ගේ අනිත්‍යාදි ලක්ෂණ ද නැවත නැවත නුවණින් විමසන්නට පටන් ගත යුතු ය. එසේ නැවත නැවත විමසීමට විදර්ශනා භාවනාව ය යි කියනු ලැබේ. (විදර්ශනා භාවනාව නියම වශයෙන් ම උගෙනීමට නම් සම්බුද්ධ ජයන්ති ධර්ම පුස්තක පන්තියේ දෙවන පොත වන “විදර්ශනා භාවනා ක්‍ර‍මය” බැලිය යුතු ය.) එසේ කරන කල්හි ඒ තැනැත්තාගේ ඒ ධර්මයන් විෂයෙහි පවත්නා ඥානය, දිනෙන් දිනට, මසින් මසට, වර්ෂයෙන් වර්ෂයට, ජාතියෙන් ජාතියට මඳින් මඳ දියුණු වන්නේ ය. ඥානය දියුණු වන්නට දියුණු වන්නට අනිත්‍යාදි ලක්ෂණ වඩ වඩා ප්‍ර‍කටව පෙනෙන්නට වන්නේ ය. කල් යෑමෙන් පඤ්චස්කන්ධය හා එහි අනිත්‍යාදි ලක්ෂණ තුන ද ඇසට පෙනෙන්නාක් මෙන් ඉතා හොඳින් ප්‍ර‍කට ව පෙනෙන්නට වන්නේ ය. එසේ ප්‍ර‍කටව පෙනෙන පරිදි ඇති වන්නා වූ ඥානය ප්‍ර‍ත්‍යක්ෂ ඥානය යි. ඒ ප්‍ර‍ත්‍යක්ෂ ඥානය පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් පවත්නා වූ වැරදි හැඟීම් තුන දුරලීමට සමර්ථ වන්නේ ය.

විදර්ශනා භාවනාව කරමින් ඥානය දියුණු කරමින් වාසය කරන්නා වූ යෝගාවචරයා හට යම් අවස්ථාවකදී වැරදි හැඟීම් තුන දුරු වන පමණට පඤ්චස්කන්ධයාගේ අනිත්‍යාදි ලක්ෂණ තුන ප්‍ර‍කට ව පෙනෙන ඥානය ඇති වූයේ නම්, එකල්හි ඉන් පෙර කිසි කලෙක නොදුටු විරූ පරම ශාන්ත සුඛ ස්වරූප ලෝකෝත්තර නිර්වාණ ධාතුව ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැක අනාදිමත් සංසාරයෙහි අති දීර්ඝ කාලයක පටන් ඒ පුද්ගලයාගේ සන්තානයෙහි නැවත නැවත ඉපිද, නැවත නැවත පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛය ගෙන දෙමින් පැවතියා වූ තෘෂ්ණාවෙහි ඖදාරික කොටස, මතු නූපදනාකාරයෙන් සහමුලින් නසන්නා වූ ලෝකෝත්තර ඥානයක් පහළ වන්නේ ය. එකල්හි පුද්ගලයා සෝවාන් වූයේ ය යි ද නිවන් දුටුවේ ය යිද කියනු ලැබේ. ඒ ඥානයට සෝවාන් මාර්ග ඥානය යි කියනු ලැබේ.

සෝවාන් වූ ඒ පුද්ගලයාගේ සන්තානයෙහි සූක්ෂම තෘෂ්ණාව ඉතිරි ව ඇත්තේ ය. එබැවින් එය දුරුකරනු පිණිස ඔහු විසින් නැවතත් පෙර සේ ම විදර්ශනා භාවනාවෙහි යෙදිය යුතු ය. භාවනා කරගෙන යන කල්හි නැවතත් පඤ්චස්කන්ධයාගේ අනිත්‍යාදි ලක්ෂණත්‍ර‍ය පළමු වාරයේ දී ප්‍ර‍කට වූවාට ද වඩා හොඳින් ප්‍ර‍කට වන පරිදි විදර්ශනා ඥානය දියුණු තියුණුව පහළ වූ විටෙක නැවත ද නිර්වාණ ධාතුව ප්‍ර‍ත්‍යක්ෂව පෙනී ඉතිරිව තිබෙන තෘෂ්ණාවෙහි ඖදාරික කොටසත් මතු නූපදනාකාරයෙන් දුරු කරන්නා වූ ලෝකෝත්තර ඥානයක් පහළ වන්නේ ය. ඒ ඥානයට සකෘදාගාමි මාර්ග ඥානය ය යි කියනු ලැබේ. සකෘදාගාමි මාර්ග ඥානය පහළ වීමෙන් ද තෘෂ්ණාව අවසන් වූයේ නො වේ. එබැවින් ඉතිරි තෘෂ්ණා දුරු කරනු පිණිස සකෘදාගාමි පුද්ගලයා නැවතත් පඤ්චස්කන්ධයාගේ අනිත්‍යාදි ලක්ෂණ නුවණින් විමසන්නේ ය. එසේ නැවත නැවත නුවණින් විමසමින් සිටින කල්හි විදර්ශනා ඥානය වඩාත් දියුණු තියුණු ව පහළ වූ විටෙක නැවතත් නිර්වාණය ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැක කාම – රාග වශයෙන් පවත්නා වූ තෘෂ්ණාව මතු නූපදනාකාරයෙන් නසන්නා වූ ලෝකෝත්තර ඥානයක් පහළ වන්නේ ය. එයට අනාගාමී මාර්ග ඥානය යි කියනු ලැබේ.

අනාගාමී වූ පසු ද රූප රාග – අරූප රාග වශයෙන් පවත්නා වූ තෘෂ්ණාව පවත්නේ ය. එබැවින් එය දුරු කරනු පිණිස අනාගාමි පුද්ගලයා නැවත ස්කන්ධයන් ගේ අනිත්‍යාදි ලක්ෂණත්‍ර‍ය ම විමසන්නට පටන් ගන්නේ ය. එසේ විමසමින් සිටිනා කල්හි ඒ ඥානය අතිශයින් දියුණු තියුණු ව පහළ වූ විටෙක දී නැවත නිර්වාණය ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැක රූප රාග-අරූප රාග වශයෙන් ම පැවතියා වූ තෘෂ්ණා ස්වල්පය ද මතු නූපදනාකාරයෙන් දුරු කොට තෘෂ්ණාව සම්පූර්ණයෙන් අවසන් කරන්නා වූ පරමෝත්කෘෂ්ට ලෝකෝත්තර ඥානයක් පහළ වන්නේ ය. එයට අර්හත් මාර්ග ඥානය යි කියනු ලැබේ. ඉන් පසු ඒ පුද්ගලයා හට ද රහතන් වහන්සේ කෙනෙකැ යි කියනු ලැබේ.

මෙසේ ස්කන්ධයාගේ අනිත්‍යාදි ලක්ෂණ ප්‍ර‍ත්‍යක්ෂ කර ගත හැකි වන පරිදි නුවණ දියුණු කරගෙන යන්නා වූ යෝගාවචරයන් කෙරෙහි ඒ ඥානය දියුණුවට පැමිණීමෙන් සතර වාරයක දී නිවන් දැක නසන්නා වූ යම් ලෝකෝත්තර ඥානයක් වේ නම් එයම තෘෂ්ණාව නසන ධර්මය වන්නේ ය. දුක්ඛ නිරෝධ සංඛ්‍යාත නිර්වාණයට පැමිණිය හැක්කේ ඒ දුක්ඛෝත්පාදක තෘෂ්ණාව නැසීමෙන් ම බැවින් එය දුඃඛ නිරෝධයට නිර්වාණයට පමුණුවන්නා වූ, නිර්වාණය ලබා දෙන්නා වූ ධර්මය ද වන්නේ ය. එබැවින් එයට දුක්ඛ නිරෝධයට පැමිණෙන්නා වූ මාර්ගයයි ද, දුක්ඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යයයි ද, මාර්ග සත්‍යයයි ද කියනු ලැබේ.