දස කසිණ

ආපෝ කසිණය

යෝගී විසින් සුවසේ හිඳැ ගෙනැ සකස් කැරැ ග්ත හෝ ප්‍ර‍කෘතියෙන් පිහිටි හෝ ජලයෙහි නිමිත්තග්‍ර‍හණය කළ යුතු. මේ ආදි වශයෙන් මෙහි ද මත්තෙහි ද සියල්ල මෙසේ විස්තර කරනු. මෙසේ මතු මෙ පමණකු දු නො දක්වා විශේෂයක් ඇතහොත් එම දක්වන බව දත යුතු. 

පූර්‍වයෙහි ආපෝකසිණ භාවනා කළ පින්වතුනට චුල්ලසීව තෙරුන්ට මෙන් ප්‍ර‍කෘතියෙන් පිහිටි ජලයෙහි – එනම් පොකුණෙක හෝ විලෙක හෝ කලපුවෙක හෝ මුහුදෙහි හෝ නිමිත්ත උපදින්නේ ය. ලාභසත්කාර නො තකා විවික්ත වැ වසමි යි මාවටුයෙහි (මහාතීර්‍ථයෙහි) නැව් නැඟී දඹදිව වඩනා උන්වහන්සේට අතර මගදී මහමුහුද බලත් ම ඒ හා සමාන කසිණ නිමිත්ත පහළ විය. පෙර අභියෝග නො කළ පින්වතුන් විසින් සතර කිසුණු දොස් හැරැ පියා නීල-පීත-ලෝහිත-ඔදාත යන සිව් පැහැ ඇති ජලය අතුරෙන් කිසියම් ජලයක් නො ගෙනැ බිම නො වැටුණු තාක් ශුද්ධ වස්ත්‍රයෙන් පෙරාගත් අහස් දියෙන් හෝ එබඳු වූ ම අන්‍ය පිරිසිදු ජලයකින් හෝ පාත්‍ර‍යක් වත් සැළියක් වත් මුවවිට දක්වා පුරා ගෙනැ විහාර කෙළවර යට කී සේ පිළිසන් තැනෙක තබා ගෙනැ සුවසේ හිඳැ අම්බු, උදක, වාරි, සලිල ආදි ජලවාචක නම් අතුරෙන් ප්‍ර‍සිද්ධ නම වශයෙන් ගෙනැ “ආපො-ආපො” යි භාවනා කළ යුතු. එහි වර්‍ණය නො සැලකිය යුතු. ද්‍ර‍ව ලක්ෂණය මෙනෙහි නො කට යුතු. වර්‍ණය තමහට ආශ්‍ර‍ය වූ ජලය හා සමානගතික කොටැ උත්සන්න වශයෙන් ප්‍ර‍ඥප්ති ධර්‍මයෙහි සිත මෙහෙයා භාවනා කළ යුතු. (උත්සන්න වශයෙන් ප්‍ර‍ඥප්ති ධර්‍මයෙහි සිත මෙහෙයීම නම් ආපෝධාතුයේ උත්සන්නභාවයෙන් – ශක්ති හෙයින් – අධික බැවින් සසම්භාර ආපයෙහි ආපය යන මේ ලෝක ව්‍යවහාරයෙක් ඇත් ද ඒ උපාදාන ප්‍ර‍ඥප්තියෙහි සිත පිහිටුවීම යි. මෙසේ භාවනා කරත් ම ඔහුට පිළිවෙළින් පෙර කීසේ උද්ග්‍ර‍හ – ප්‍ර‍තිභාග නිමිති උපදින්නේ ය. එහි උද්ග්‍ර‍හනිමිත්ත සැලෙන්නා සේ වැටහෙයි. ඉදින් ඒ ජලය පෙණ බුබුලින් මිශ්‍ර‍ නම් එසේ පෙණ බුබුලින් මිශ්‍ර‍ වැ මැ වැටහෙයි. රැළ නැඟීම් පෙණ මුසු බැව් කසිණ දෝස පෙනේ. ප්‍ර‍තිභාගනිමිත්ත වනාහි නො සැලෙන අහස තුබූ මිණි තල්වැටක් සේ ද මිණිමුවා කැටපත් තලයක් සේ ද වැටහෙයි. එසේ වැටහෙන්නා හා ම ඒ යොගාවචර උපචාර ධ්‍යානයට ද පෙර කී සේ චතුෂ්ක – පඤ්චකධ්‍යානයන්ට ද පැමිණෙන්නේ ය.

තේජෝ කසිණය

තේජෝ කසිණය වඩනු කැමැත්තහු විසින් තේජසෙහි නිමිත්ත ගත යුතු. පූර්‍ව කෘත අභියෝග ඇති පින්වතුනට චිත්තගුත්ත තෙරුන්ට මෙන් ප්‍ර‍කෘති තේජසෙහි නිමිති ගනුත් පහන් සිල්ලෙහි හෝ උදුනෙහි හෝ පාත්‍ර‍ පිසින තැන හෝ ලැව් ගින්නෙහි හෝ යම් කිසි තැනෙක ගිනිසිලු බලත් නිමිත්ත උපදින්නේ ය. චිත්තගුත්ත තෙරුන්ට වනාහි ධර්‍ම ශ්‍රවණ දවසෙහි පොහෝ ගෙට පිවිසැ පහන් සියල්ල බලත් ම ඒ නිමිත්ත උපන්නේ ය. පූර්‍වයෙහි කෘතාභියෝග නැත්තහු විසින් තේජෝ කසිණය පිළියෙළ කරගත යුතු ය. එය පිළියෙළ කර ගන්නා ක්‍ර‍මය මෙසේ ය. සිනිඳු වූ හර ඇති දර පලා වියලා ගෙනැ එය කැබැලි කොටැ සුදුසු රුක් මුලකට හෝ මණ්ඩපයකට හෝ ගොස් පාත්‍ර‍ පිසින ආකාරයෙන් රැස්කොටැ ගිනි දැල්විය යුතු ය. ඉක්බිති හුණ පැදුරෙක හෝ සමෙක හෝ වස්ත්‍රයෙක හෝ එක් වියත් සතරඟුල් පමණ කොටැ සිදුරක් කරගත යුතු ය. එය අර දැල්වෙන ගින්න අභිමුඛයේ තබා ගෙනැ යට දැක් වූ සේ හිඳැ ගෙනැ යට තණ – දර හෝ මතු දුම් සිල්ල හෝ මෙනෙහි නො කොටැ මැද විරල නො වැ ඝන වැ පවත්නා ගිලිදැල්ලෙහි නිමිත්ත ගත යුතු යි. නීල-පිතාදි වශයෙන් එහි පැහැය නො සිතිය යුතු ය. උෂ්ණත්‍ව වශයෙන් ලක්ෂණ මෙනෙහි නො කළ යුතු. වර්‍ණය ද නිශ්‍ර‍ය ගතික කොටැ උත්සන්න වශයෙන් ප්‍ර‍ඥප්ති ධර්‍මයෙහි සිත මෙහෙයා “පාචක, කණ්භවත්තනි, ජාත වෙද, හුතාසනාදි අග්නි වාචක නම් අතරෙන් ප්‍ර‍කට නම වශයෙන් ම “තෙජො – තෙජො” යි භාවනා කටයුතුයි. මෙසේ භාවනා කරත්ම ඔහුට පිළිවෙළින් උද්ග්‍ර‍හ-ප්‍ර‍තිභාගනිමිති උපදිනේ ය. එයින් උද්ග්‍ර‍හ නිමිත්ත ගිනි දැල් කැඩි කැඩී වැටෙන්නා සේ වැටහෙයි. ප්‍ර‍කෘති තේජසෙහි නිමිති ගනුන් කසිණ දොස පෙනේ. පෙනහෙලි කැබලි හෝ අඟරු පිද්‍ධු හෝ හළු හෝ දුම් හෝ වැටහෙයි. ප්‍ර‍තිභාග නිමිත්ත වනාහි අහස්හි තුබූ රත් කම්බිලි කඩක් සේ ද, රන් තල් වැටක් සේ ද රන් ටැඹක් සේ ද නිශ්චල වැ වැටහෙයි. එසේ වැටහෙන්නා හා ම ඒ යෝගාවචර උපචාර ධ්‍යානයට ද, යට කී සේ චතුෂ්ක-පඤ්චක ධ්‍යානයන්ට ද පැමිණෙන්නේ ය.

වායෝ කසිණය.

වායෝ කසිණය වඩනු කැමැති යෝගී විසින් වායුයෙහි නිමිත්ත ගත යුතු. ඒ ගැන්ම ද සැලෙන තැන් බැලීමෙන් හෝ ඇඟ ස්පර්‍ශයෙන් හෝ විය යුතු. අර්‍ථ කථායෙහි ඒ මෙසේ දක්වති. “වායො කසිණං උග්ගණ්හන්තො වායුස්මිං නිමිත්තං ගණ්හාති උච්ඡග්ගං වා එරිතං සමෙරිතං උපලක්ඛෙති වෙළග්ගං වා -පෙ- රුක්ඛග්ගං වා කෙසග්ගං වා එරිතං සමෙරිතං උපලක්ඛෙති කායස්මිං වා ඵුට්ඨා උපලක්ඛෙති” යි ‘වායු කසිණය උගන්නේ වායුවෙහි නිමිත්ත ගනී. සැලෙන උග්ගස් අගක් හෝ හුණගස් අගක් හෝ රුක් අගක් හෝ කෙසගක් හෝ නිමිත්ත කොටැ බලයි. ශරීරයෙහි වැදගත් වාතය හෝ නිමිත්ත කොට බලයි’ යනු එහි අර්‍ථ යි. අටුවාහි එසේ කී බැවින් මුදුනෙහි පත්‍ර‍ විසින් සම වූ හිස් ඇති වැ සිටි ඝන පත්‍ර‍ ඇති උගක්හෝ උණක් හෝ රුකක් හෝ සතරඟුල් ප්‍ර‍මාණ ඝන කෙස් ඇති පුරුෂයක්හු ගේ හිසක් හෝ වාතයෙන් සැලෙන්නා දැකැ මේ වාතය මෙතැන වදනේන යයි සිහි එළවා. එසේ ම කවුළු දොරින් හෝ භිත්ති සිදුරින් හෝ තම ඇඟ හැපෙන වාතයෙක් වේ නම් එහි හෝ සිහි එළවා. වාත, මාළුත, අනිලාදි සුළං වාචක නම් වලින් ප්‍ර‍කට වූ නම වශයෙන් ‘වාතො-වාතො’ යි භාවනා කටයුතු. මෙහි උද්ග්‍ර‍හ නිමිත්ත උදුනින් බා ගත් ඇසිල්ලේ කිරිබතක උණුසුම් වැටියක් බඳු වැ චල වැ වැටහේ. පටිභාග නිමිත්ත එ ම සන්සුන් වැ නිශ්චල වැ වැටහේ. සෙස්ස යට කී සේ දත යුතු යි.

නීල කසිණය 

“නීල කසිණං උග්ගණ්හන්තො නීලකස්මිං නිමිත්තං ගණ්හාති පුප්ඵස්මි වා වත්‍ථස්මිං වා වණ්ණධාතුයා වා” ‘නීලකසිණය උගන්නේ නීල වර්‍ණයෙහි නිමිත්ත ගනී. මලෙක හෝ වස්ත්‍රයෙක හෝ වර්‍ණ ධාතුවෙහි හෝ, යි කී හෙයින් කෘතාධිකාර පින්වතුනට අවිරල වැ පිපුණු නීල් මලින් ගැවසී ගත් මල් ගසක් හෝ පූජා ස්ථානයෙහි මල් අතිරියක් හෝ නිල්පිළි නිල්මිණි අතුරෙන් කිසිවක් හෝ දැක්මෙන් ම නිමිත්ත උපදී. අකෘතාධිකාර විසින් නිලුපුල් නිල්කටරොළු ආදි මල් ගෙනැ රේණු හෝ නැටි හෝ නො පෙනෙන පරිද්දෙන් චඞ්ගොටකයක්, තුඩා පෙට්ටියක් හෝ කරඬුපටලයක් හෝ ඒ මල් පෙතියෙන් මුවවිට තාක් පුරා ඇතිරිය යුතු. නිල්වන් පිළියෙන් පොදියක් බැඳැ එයින් හෝ පිරවිය යුතු. එහි මුවවිට බෙර ඇසක් මෙන් හෝ බැන්ද යුතු. ලොහොමලනිල් කොළනිල් අඳුන්නිල් අතුරෙන් යම් කිසිවකින් පඨවි කසිණයෙහි කී සේ ගෙනැ යා හැකි කොටැ හෝ භිත්තියෙක හෝ කසිණ මණ්ඩලයක් කොටැ වෙනස් වර්‍ණයකින් අවට පරිච්ඡේද කටයුතු. ඉක්බිති පඨවි කසිණයෙහි කී පරිදි “නීලං-නීලං” යි මනස්කාර කළ යුතු. මෙහි දු උද්ග්‍ර‍හ නිමිත්තයෙහි කසිණ දෝස පෙනෙන්නේ ය. රේණු නැටි පෙති අතර ආදිය වැටහෙන්නේ ය. ප්‍ර‍තිභාග නිමිත්ත කසිණ මණ්ඩලයෙන් මිදී අහස මිණි තල් වැටක් සේ වැටහෙන්නේ ය. සෙස්ස යට දැක්වුණු සේ දත යුතු.

පීත කසිණය.

පීත කසිණයෙහි දු විධි කී නියා ය. කීයේ මැ යි “පීත කසිණ උග්ගණ්හන්තො පීතකස්මිං නිමිත්තං ගණ්හාති පුප්ඵස්මිං වා වත්‍ථස්මිං වා වණ්ණධාතුයා වා” යි මෙහි දු කෘතාධිකාර පින්වතුන්ට අවිරල වැ පුපුණු කහ පෑ මලින් ගැවසී ගත් මල් ගසක් හෝ මල් ඇතිරියක් හෝ කහ පිළී කසා පැහැ ධාතු අතරින් කිසිවක් හෝ දැක්මෙන් චිත්තගුත්ත තෙරුන්ට මෙන් නිමිත්ත උපදී. උන්වහන්සේට වනාහි සිතුල්පව්වෙහි පතහි මලින් කළ ආසන පූජාව බලන්නා හා ම ඒ ආසන ප්‍ර‍මාණ නිමිත්ත උපන්නේ ය. අකෘතාධිකාර විසින් කිණිහිරි මල් ආදිනේ හෝ කසාවන් පිළියෙන් හෝ කසාවර්‍ණ ධාතුවකින් හෝ නීල කසිණයෙහි කී සේ කසිණ මණ්ඩලය කොටැ “පීතකං-පීතකං” යි මනස්කාර පැවැත්විය යුතු. සෙස්ස එබඳු මැයි.

ලෝහිත කසිණය

ලෝහිත කසිණයෙහිදු විධි යට කී නියා යැ. කී යේ මැ යි “ලෝහිත කසිණං උග්ගණ්හන්තො ලොහිතකස්මිං නිමිත්තං ගණ්හාති පුප්ඵස්මිං වා වත්‍ථස්මිං වා වණ්ණධාතුයා වා” යි. 

මෙහිදු කෘතාධිකාර පින්වතුන්ට බඳුවල ආදි අවරල රත් මලින් ගැවසී ගත් මල් ගසක් හෝ, මල් ඇතිරියක් හෝ රතුපිළී රතුමැණික් රතුධාතු අතුරෙන් කිසිවක් හෝ දැක්මෙන් ම නිමිත්ත උපදනේ ය. අකෘතාධිකාර විසින් ජයසුමන වද රත් කරඬු ආදි මලින් හෝ රත් පිළියෙන් හෝ සුවගුරු, දැහිඟුල් ආදි රක්ත වර්‍ණ ධාතුවෙන් හෝ නීල කසිණයෙහි කී සේ ම කසිණ මණ්ඩලය කොට “ලෝහිතකං-ලෝහිතකං” යි මෙනෙහි කළ යුතු. සෙස්ස යට කී නියා මැ යි

ඕදාත කසිණය

ඕදාත කසිණයෙහිදු “ඔදාත කසිණං උග්ගණ්හන්තො ඔදාතස්මිං නිමිත්තං ගණ්හාති පුප්ඵස්මිං වා වත්‍ථස්මිං වා වණ්ණධාතුයා වා” යි කී හෙයින් කෘතාධිකාර පින්වතුනට අවිරල සුදු මලින් ගැවසීගත් මල් ගසක් හෝ ඉද්ද දෑසමන් ආදි මල් ඇතිරියක් හෝ හෙළැඹුලු හෙළපියුම් රැසක් හෝ සුදුපිළී මකුළු ආදි ධාතුන්ගෙන් කිසිවක් හෝ දැක්මෙන් ම නිමිත්ත උපදනේ ය. ඊයම්මඬුලු රිදීමඬුලු සඳමඬුලුයෙහිදු එසේම නිමිති උපදිය හැකි ය. අකෘතාධිකාර විසින් යට දැක්වුණු පරිදි සුදුමලින් හෝ සුදුපිළියෙන් හෝ සුදුධාතුවකින් හෝ නීල කසිණයෙහි කී සේ කසිණ මණ්ඩලය කොටැ “ඔදාත-ඔදාත” යි මෙනෙහි කට යුතු. සෙස්ස යට කී නියා මැ යි.

ආලෝක කසිණය

ආලෝක කසිණයෙහි වනාහි “ආලොකං උග්ගණ්හන්තො ආලොකස්මිං නිමිත්තං ගණ්හාති භිත්තිච්ඡිද්දෙ වා තාලච්ඡිද්දෙ වා වාතපානන්තරිකාය වා” ‘ආලෝක කසිණය උගන්නේ ආලෝකයෙහි එනම් භිත්ති සිදුරෙහි හෝ කෙසි සිදුරෙහි හෝ කවුළු අතරින් හෝ නිමිත්ත ගන්නේ ය’ කී හෙයින් කෘතාධිකාර පින්වතුනට භිත්ති සිදුරු ආදීන් අතරෙන් කිසිවකින් හිරු එළිය හෝ සඳපහන හෝ වැදී භිත්තියෙහි හෝ භූමියෙහි හෝ නැඟෙන මණ්ඩලය දැක්මෙන් නිමිත්ත උපදනේ ය. අකෘතාධිකාර විසිනු ද එබඳු වූ ම ආලෝක මණ්ඩලය “ඔහාසො ඔහාසො” යි හෝ “ආලොකො – ආලොකො” යි හෝ භාවනා කට යුතු. එසේ නිමිත්ත උපදවා ගන්නට නො හැකි අය විසින් කළයෙක පහනක් දල්වා එහි කට වසා එහි පසෙක සිදුරක් කොටැ භිත්තියට අභිමුඛ කොටැ තැබිය යුතු. ඒ සිදුරින් පහන් එළිය නික්මැ භිත්තියෙහි මණ්ඩලයක් කෙරෙයි. ඒ බලා “ආලෝකො-ආලෝකො”යි භාවනා කළ යුතු. මේ වනාහි මුල දැක්වුණු නිමිත්තයනට වඩා චිරස්ථායී ය. මෙහි උද්ග්‍ර‍හනිමිත්ත භිත්තියෙහි හෝ භූමියෙහි හෝ නැඟුනු මණ්ඩලය බඳු ය. ප්‍ර‍තිභාග නිමිත්ත ඝන ප්‍ර‍සන්න ආලෝක පුඤ්ජයක් බඳු යි. සෙස්ස යට කී නියා මැ යි.

ආකාස කසිණය

පරිච්ඡින්නාකාස කසිණයෙහිදු “ආකාසකසිණං උග්ගණ්හන්තො ආකාසස්මිං නිමිත්තං ගණ්හාති භිත්තිච්ඡිද්දෙ වා තාලච්ඡිද්දෙ වා වාතපානන්තරිකාය වා”යි කී හෙයින් කෘතාධිකාර පින්වතුනට භිත්ති සිදුරු ආදිය අතුරෙන් කිසිවක් දැක්මෙන් ම නිමිත්ත උපදනේ ය. අකෘතාධිකාර විසින් ඝන කොටැ සෙවූ මඩුවෙක හෝ සම් – හුණුපැදුරු ආදින් අතුරෙන් කිසිවෙක හෝ එක් වියත් සතරඟුල් සා සිදුරක් කොටැ ඒ භිත්ති සිදුරු ආදි සිදුර “ආකාසො-ආකාසො”යි වැඩිය යුතු. මෙහි උද්ග්‍ර‍හනිමිත්ත භිත්ති පරියන්ත කඩතැන් පැළුණු තැන් සමග සිදුර සමාන ම ය. වඩනු ලබන්නේ ද නො වැඩෙන්නේ ය. ප්‍ර‍තිභාග නිමිත්ත ආකාශමණ්ඩලය ම වැ වැටහෙන්නේ ය. වඩනු ලබන කල්හි වැඩෙන්නේ ය. සෙස්ස පඨවි කසිණයෙහි කී නියාමැයි.