තපස්ස භල්ලික

උපාසක පාළි‍යෙහි පළමුවැන්නෙහි පඨමං සරණං ගච්ඡන්තානං යන්නෙන් සියල්ලන්ට පළමුව සරණයන්නවුන් අතුරින් තපස්ස ද භල්ලික ද යන මේ වෙළෙඳු දෙදෙන අග්‍රයහයි දැක්වෙයි.

මොවුහු වනාහි පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන මෑතකාලයෙහි භාග්‍යවතුන්වහන්සේගේ ධර්‍මදේශනය අසන්නාහු උපාසකවරුන් දෙදෙනෙකු පළමුව සරණයන්නවුන් අතුරින් අගතන්හි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාහුය.

ඔවුහු කල්පලක්‍ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා අපගේ බෝසතුන් සර්‍වඥතාඥානයට පත්වීමට පෙරාතුවම අසිතඤ්ජනනගරයෙහි කෙළෙමියකුගේ ගෙහි උපන්නාහුය. දෙටු සොහොයුරා තපස්ස නම් වූයේය. කනිටු සොහොයුරා භල්ලික නම් විය. ඔවුහු මෑතකාලයෙහි ගිහි ගෙහි වසන්නාහු කලින් කලට පන්සියයක් ගැල් යොදවා වෙළඳාම් කරමින් හැසිරෙති.

එකල්හි අපගේ බෝසත්තෙමේ සර්‍වඥතාඥානයට පැමිණ සත්සතියක් බෝමැඩ වැස අටවැනි සතියෙහි රාජයතන මූලයෙහි හුන්නේය. එකල්හි ඒ වෙළෙන්දෝ පන්සියයක් පමණවූ ගැල්වලින් එතැනට එළැඹියාහු වෙත්. ඔවුන්ගේ අනතුරු අත්බවෙහි මව ඒ පෙදෙසෙහි දේවතාවාවී උපන්නාය. ඕතොමෝ (මෙසේ සිතුවාය: ‘දැන් බුදුරජාණන්වහන්සේට ආහාරයක් ලැබීමට වටීයි. මින්මතු නිරාහාරයෙන් යැපීමට නොහැකිය. මේ මගේ පුත්තු දෙදෙනාද මෙතැනින් යති. මොවුන්ලවා අද බුදුරදුන්ට පිණ්ඩපාතයක් දෙවීමට වටීයි’ මෙසේ සිතා පන්සියයක් ගැල්වල යෙදූ ගොනුන්ගේ ගමන් වැළැක්ම කළාය.

ඔවුහු මේ නම් කුමක්දැයි නොයෙක් ආකාර නිමිති බලත් ඉක්බිති ඔවුන් වෙහෙසෙන බව දැන එක් පුරුෂයකුගේ සිරුරෙහි පිවිස ‘කුමක් හෙයින් වෙහෙසෙවුද? නුඹලාට යක්‍ෂාවේශයක් හෝ භූතාවෙශයක් හෝ නාගාවෙශයක් හෝ නැත. මම වනාහි නුඹලාගේ ඉකුත් අත්බවෙහි මවය. මෙතැන්හි භූම්‍යස්ථාදේවතාවාවී උපන්නා වෙමි. මේ භාග්‍යවතුන්වහන්සේ රාජායතන මූලයෙහි වැඩහුන්සේක. උන්වහන්සේට පළමු පිණ්ඩපාතය දෙවුයි කීවාය. ඔවුහු ඇයගේ කථාව අසා සතුටු සිත් ඇත්තෝව අත්සුණුද මීපිඬුද රන්තලියකින් ගෙන ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් ‘ස්වාමිනි, මේ භොජනය පිළිගනුමැනවැයි කීවාහුය. ශාස්තෘන්වහන්සේ අතීත බුදුවරුන්ගේ පුරුද්ද බැලූ සේක. ඉක්බිති උන්වහන්සේට සතර (වරම්) මහරජවරු සෙල්මුවා පාත්‍රයක් පිළිගැන්වූහ. ශාසතෘන්වහන්සේ ඔවුන්ට මහත්ඵල වේවායි පාත්‍ර සතරම එකම පාත්‍රයක් වේවායි අදිටන් කළසේක. එකෙණෙහි ඒ වෙළෙන්දෝ තථාගතයන්වහන්සේගේ පාත්‍රයෙහි අත්සුණුද මීපිඬුද පිහිටුවා වැළඳූ කල්හි දිය පිළිගන්වා බත්කිස අවසන්හි ශාස්තෘන්වහන්සේට වැඳ එකත්පසෙක හුන්නාහුය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඔවුන්ට දහම් දෙසූසේක. දෙසුම අවසන්හි දෙදෙනාම දෙවවාචික සරණයෙහි පිහිටා ශාස්තෘන්වහන්සේට වැඳ තමන්ගේ නුවරට යනු කැමැත්තාහු ‘ස්වාමීනි, අපට ආවතේව සඳහා පිදිය යුතු දෙයක් දෙනු මැනවැ’යි කීවාහුය. ශාස්තෘන්වහන්සේ දකුණු අතින් හිස පිරිමැඳ දෙදෙනාටම කේසධාතුමිට අටක් දුන්සේක. ඒ දෙදෙනාම ඒ ධාතු රන්සුමුගක තබා තමන්ගේ නුවරට පමුණුවා අසිතඤජන නුවර දොරටුවෙහි ජීව කේශධාතුන්ගෙන් චෛත්‍යයක් පිහිටෙව්වාහුය. පොහෝදිනයක්, පාසා චෛත්‍යයෙන් නිල් රැස් විහිදෙයි. මෙසේ මේ කථාවස්තුව නිමියේයි. ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි ජේතවනයෙහි වැඩහිඳ පිළිවෙළින් උපාසකවරුන් තනතුරුවල තබනසේක් මේ දෙදෙනා පළමුව සරණ යන්නවුන් අතුරින් අගතනතුරෙහි තැබූසේක