චූල්ලසෙට්ඨි ප්‍රේතයාගේ කතා වස්තුව

තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේදී වැඩ වාසය කරන කාලයේදී “චූල්ලසෙට්ඨි” නම් ප්‍රේතයෙකු අරභයා මෙම ප්‍රේත වස්තුව දේශනා කළ සේක.බරණැස් නුවර එක් පුද්ගලයෙක් ජීවත් වුණා. ඔහු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැත්තෙක්. දැඩි මසුරුයි. පිනට කිසිදු කැමැත්තක් නැහැ. පින් කරන අයද පිනෙන් වළක්වනවා. නිතරම පවට බර සිතින් ජීවත්වුණා. දාන, සීල, භාවනාවන් හුරු නො කරගෙනම ඔහු මිය ගියා.මියගිය ඔහු ප්‍රේතයන් අතර උපන්නා. ඔහුගේ සිරුර මසින් හෝ ලෙයින් තොරවයි තිබුණේ. ඇට මස් නහර පමණයි ඒ ප්‍රේත ශරීරයේ තිබුණේ. හිස මුඩුයි. නිරුවත්.ඔහුගේ දියණිය අනුලායි. ඇය විවාහ වී සැමියාගේ නිවසේ ජීවත් වුණා.

ශ්‍රද්ධාසම්පන්නව පින් පව් අදහාගෙන තම මියගිය පියාට පින් පිණිස බ්‍රාහ්මණයන් උදෙසා දානයක් පිළියෙල කළා. ප්‍රේතයා මේ පින්කම දැක බොහෝ සතුටුවී එය අනුමෝදන් වීම පිණිස රජගහ නුවරට අහසින් යමින් සිටියා.මේ කාලයේදී අජාසත් රජු පියා මරවා පසුව ඒ ගැන සංතාප වී පසුතැවිල්ලෙන් සිටි කාලයයි. රජතුමාට නින්දක් ලැබුණේ නැහැ. ඔහු රජ මාලිගයෙහි උඩුමහලට ගොස් එහා මෙහා ඇවිදිමින් සිටියා. ඒ වෙලාවෙහි අර ප්‍රේතයා අහසින් යනවා දැකපු රජතුමා අසනවා,” ඔබ ඉන්නේ නිර්වස්තරයෙන්. ඇඟපත කටු ගැහිලා. ඔබ පැවිද්දෙක් නේද? මේ රෑ තිස්සේ කොහෙද යන්නේ? මොන කාරණාවකටද? මට ඒ කාරණාව කියන්න. මට පුළුවන් දෙයක් නම් මම ඔබට හැම දෙයින්ම වස්තුව දෙන්නම්.

මහරජතුමනි, ලෝකයේ ප්‍රසිද්ධ නගරයක් තියෙනවා. ඒ තමයි බරණැස් නුවර. මම එහේ ධනවත් ගෘහපතියෙක් වෙලා හිටියා. හැබැයි මට තිබුණේ දීන ගති. මම මේ කාමසම්පත්වලට ගිජුවෙලා හිටියා. දන් දුන් කෙනෙක් නම් නොවෙයි. දුස්සීලබව නිසා මම මේ පෙරේත ලෝකේ ඉපදුනා.ඒ මම කරගත්තු පව නිසාම බඩගින්නෙන් පෙලෙනවා. මගේ කය ඉදිකටුවලින් විදිනවා වගේ. බ්‍රාහ්මණයන් ගෙන්නවලා ඒ උදවියට කෑම බීමවලින් සලකනවා. මමත් මොනව හරි අනුභව කරන්නට හිතාගෙන අන්ධකවින්දයට යනවා.එතකොට ඒ රජ්ජුරුවෝ පෙරේතයාට මෙහෙම කියනවා.ඔබ ගිහින් ඉක්මනට එන්න. මමත් ඔබට පූජාවක් කරන්නම්. ඔබට යම්කිසි අවබෝධයක් තියෙනවා නම් මට කියන්න. මම ඒ ඇදහිය යුතු ලෙස කරුණු සහිතව කියන දේ අහනවා.එහෙමයි කියලා ඒ පෙරේතයා දානෙ දෙන තැනට ගියා. බමුණු පිරිස ඒ දානේ පිළිඅරගෙන අනුභව කළා. මාර්ගඵලලාභී ආර්යය ශ්‍රාවකයන් වහන්සේලා ඒ දානෙට වැඩියේ නැහැ. ඒ ප්‍රේතයාට මහත්ඵල ලෙස පින අනුමෝදන් වුනේ නැහැ. ඒ ප්‍රේතයා ආයෙත් රජගහ නුවරට ආවා. අජාසත් රජ්ජුරුවන් ඉදිරියෙහි පහළ වුණා.රජ්ජුරුවෝ නැවත ඒ පෙරේතයාව දැක්කා. දැකලා මෙහෙම කිව්වා. මම ඔබට මොනවද දෙන්නේ? ඔබට යම්කිසි දෙයක් අවශ්‍ය නම් මට කියන්න. මම ඔබට බොහෝ කාලයක් සතුටෙන් පිනා යන්න ඕන කරන දේවල් දෙන්නම්.රජ්ජුරුවන් වහන්ස, මේ ලෝකයට පහළ වෙලා ඉන්නවා අසිරිමත් මනුස්ස රත්නයක්. ඒ බුදුරජාණන් වහන්සේටත් ආර්ය සංඝරත්නයටත් දානමය ආදියෙන් උපස්ථාන කරනු මැනව. සිවුරුත් පූජා කළ මැනැව. මගේ යහපත උදෙසා මට ඒ පින අනුමෝදන් කළ මැනැව. එතකොට මට බොහෝ කලක් සතුටෙන් පිනා යන්න පුළුවනි.අජාසත් රජතුමා එය පිළිගත්තා. ඒ වෙලාවෙහි ප්‍රසාදයෙන් නික්මුණා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා දානයක් සූදානම් කළා. පිරිකර සූදානම් කළා. තමන්ගේ අතින්ම ඒ දානය පූජා කරගත්තා. තථාගතයන් වහන්සේට මේ සියලුම විස්තරය කියා සිටියා. ඒ ප්‍රේතයාට රජතුමා කර ගත් පින ලබා දුන්නා.මේ විදිහට පිනෙන් පුදනු ලැබූ ඒ ප්‍රේතයා රජ්ජුරුවන් ඉදිරියේ නැවත පහල වුණේ දිව්‍ය සෝබාවෙන් අතිශයින්ම බැබලි බැබලී. මම දැන් පුදුමාකාර සැපයකට පත්වුණා. දෙවියෙක් ලෙසින් පෙනී සිටියා.මගේ සැප සම්පත්වලට සමාන කරන්නට පුළුවන් සැප සම්පත් ඇති මිනිසුන් නැහැ. මගේ මේ පුන්‍යානුභාවය බලනු මැන. ඔබතුමා විසින් මට උපකාර කළා. ආර්ය සංඝරත්නය උදෙසා මහා දානයක් පූජා කළා. දැන් හැම තිස්සේම මම තෘප්තිමත් වෙලයි ඉන්නේ. නර දේවය ඒ මම දැන් සුවපත් වෙලා ඉන්නේ.