ගූථඛාදක ප්‍රේති වස්තුව

තථාගතයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරමින් එක්තරා අසූචි කන්නා වූ ප්‍රේති යක් අරභයා මෙම දේශණාව වදාළා.

සැවැත් නුවරට නුදුරින් පිහිටි එක්තරා ගමක උපාසිකාවක් තම කුළුපග භික්‍ෂුවක් උදෙසා විහාරයක් කරවූවා. ඒ විහාරයේ නොයෙක් ජනපදවලින් බොහෝ භික්ෂූන් වහන්සේලා පැමිණ වාසය කළා. මිනිස්සු භික්ෂූන් වහන්සේ ලා හැම නමකටම පැහැදුණු සිතින් යුතුව ප්‍රණීත වූ ආහාරපානාදියෙන් උපස්ථාන කළා.

උපාසිකාවගේ හිතවත් භික්‍ෂුව එය ඉවසුවේ නෑ. ඊර්ෂ්‍යා කළා. උපාසිකාවට ඒ භික්ෂූන්ගේ දොස් කියමින් ඇය ලවාද දොස් කියවූවා. එවිට ඒ උපාසිකාව ආගන්තුක භික්ෂූන්ට වගේම හිතවත් භික්ෂුවටත් අපහාස කළා.කළෙකදී ඔහුන් මියගියා. ඒ භික්‍ෂුව මියගොස් ඒ විහාරයේම වැසිකිළියක ප්‍රේතයකු වී උපන්නා. උපාසිකාව මියගොස් ඒ ප්‍රේතයාගේ හිස මත ප්රේතියක උපන්නා.ආයුෂ්මත් මුගලන් මහරහතන් වහන්සේ මේ ප්‍රේතිය දැක මෙසේ පවසා සිටියා.අසූචි වලෙන් ගොඩට ඇවිදින් දීන විදිහට ඉන්න ඔබ කවුද ? මොනවගේ පාප කර්මයක්ද ඔබ කළේ ? මම කොහොමද සැකයක් නැතිව ඔබව හඳුනාගන්නේ.” අනේ ස්වාමීනී, මම පෙරේතියක්. දුකට පත් වෙලයි ඉන්නේ. පෙරේත ලෝකෙ ඉපදිලයි ඉන්නේ. පව්කම් කරලා පෙරේත ලෝකෙට ඇවිදිල්ලා ඉන්නේ.”ඔබ විසින් කයෙන්, වචනයෙන්, මනසින් මොන වගේ පවක් ද කර ගත්තේ. මොනවගේ කර්ම විපාකයක් නිසාද මේ වගේ දුකකට පත් වුණේ.

මගේ ගෙදර ආවාසයේ භික්ෂුවක් හිටියා. හරිම ඊර්ෂ්යායි. දායක පවුල්වලට මසුරුයි.මගේ ගෙදර ගැනමයි හිත බැසගෙන තියෙන්නේ. කෑදරයි. සිල්වතුන්ට ගරහනවා.මම ඇහුවේ ඒ භික්ෂුවගේ වදන්. මම සිල්වත් භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කළා. අන්න ඒ කර්මයේ විපාකයෙන් තමා එහෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවේ.මිතුරෙකුගේ වේශයෙන් ඔබත් එක්ක කුළුපග වෙලා හිටපු ඒ භික්‍ෂුව කය බිඳුනට පස්සේ පර ලොව ගියේ මොනවගේ උපතකට ද ?ඒ පව් කළ ශ්‍රමණ පෙරේතයාගේ ඔළුව උඩ තමා මම ඉන්නේ. ඒ තැනැත්තා දැන් පෙරේත ලෝකයේ ජීවත් වෙන්නේ මගේ ගෝලයෙක් හැටියට යි.ස්වාමීනී, මගේ භෝජනය මේකයි. අනෙක් උදවිය වැසිකිළි කරද්දී ඒ අසූචි මම කනවා. මම වැසිකිළි කරද්දී මගේ අසූචි තමයි ඒ ශ්‍රමණ පෙරේතයා කන්නේ.

මුගලන් මහරහතන් වහන්සේ ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට සැලකර සිටියා. උන් වහන්සේ ඒ කරුණ මුල් කරගෙන ද්වේෂයෙන් යුතුව දොස් කීමෙහි ආදීනව දක්වා පැමිණි පිරිසට මෙම ධර්මය දේශණා කොට වදාළා.මොහු නමින් ජම්බුක ආජීවකයා ය. මොහු දැන තේරෙන වයසේ සිට ආහාර ලෙස අනුභව කරනුයේ අසූචි ය. වෙන කිසිවක් නොක යි. මේ නිසා දෙමව්පියෝ ආජීවකයන්ට භාර දුනි. එහිදී ආජීවකයෝ තල් ඇටයක් ගෙන මොහුගේ කෙස් එක එක උඟුලා දමා මොහු මහණ කළේ ය. මොහු දැන තේරෙන වියේ පටන් නිර්වස්ත්රව සිටිති. වස්ත්ර නො අඳිති, ඇඳක නො සැතපෙති, බිම ම නිදති.

දිනක් සුගතයන් වහන්සේ මොහු සිටින තැනට වැඩ එහි එක් තැනක නවාතැන් ගෙන මොහු දමනය කළ සේක. එහිදී ඔහුට මෙසේ වීමට කළ පූර්ව කර්මය ද වදාළ සේක. පෙර මොහු කාශ්යප බුදු සසුනේ පැවිදිව සිටිය දී දායකයන් කෙරෙහි බොහොම කුළුපගව විසී ය. ආගන්තුකව වැඩි රහත් නමකට දායකයන් පැහැදී දන් දී සිවුරකට සළුවක් ද පුදා පසුව කෙස් රැුවුල් බෑමට කරණවෑමියෙක් හා නිදන්නට ඇඳක් ද ලබා දුනි. නේවාසික භික්ෂුව මෙයට හිත රිදවාගෙන ආගන්තුකව වැඩි රහත් හිමිට බැණ වැදුණේ ය. ”ඇවැත්නි ආගන්තුකය, නුඹට සුදුසු කෙළෙඹියා ගේ බත නොව අසූචි කෑමටය, කරණවෑමියා ලවා කෙස් රැවුල් බෑවීම නොව තල් ඇටයක් ගෙන කෙස් රැවුල් ගලවා දැමීම ය, දායකයන් දුන් රෙදි ඇඳීමට වඩා නග්නව ඇවිඳීම වටින්නේ ය, ඇඳෙහි නිදීමට වඩා බිම හිඳීම කල යුතු වේ” යනාදී ලෙස ගර්හා කළේ ය. රහතන් වහන්සේ මොහු තමන් නිසා පව් කරගන්නා බැවින් නො කියා ම වැඩි සේක. එදා මේ කරගත් අකුසලය නිසා මැරී අවීචි මහ නිරයෙහි ඉපිද, අප බුද්ධ ශාසන කාලය වනතුරු බුද්ධාන්තරයක් ම එහි මහත් දුක් වින්දේ ය. එයින් චුතව දැන් මේ මිනිස්ව ඉපිද පනස්පස් වසරක් අසූචි කා, ජීවත් වීමට සිදු වූවා යැ යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

ඔහු පෙර ජීවිතයේ රහතන් වහන්සේට කළ ආක්රෝෂ හතරම මොහුට විපාක දෙන ලදි. පසුව මේ ජම්බුක ආජීවකයා බණ අසා සිව්පිළිසිඹියාලාභී මහ රහතන් වහන්සේ නමක් විය. බලන්න පින්වතුනි, අවුරුදු 20000ක් පිරූ ශ්රමණ ධර්මයෙහි කුසලයටවත් ඔහු කළ අකුසලය යට කරගන්න බැරි විය. අපායේ ඉපිද දුක් විඳ, අසූචි කා නග්නව ජීවත් වන්නෙකු විය. පසුව අවුරුදු 20000ක් තුළ පැවිදිව පිරූ පාරමී මතුවී රහත් බව ද ලබා දුන්නා. මේ නිසා කර්ම බලය මනාව තේරුම්ගෙන කල්පනාකාරීව ජීවත්වීමට පෙළඹෙත්වා!