ගුරුවරයා ශිෂ්‍යයාගෙන් කමටහන් ගනී

ධම්මදින්න හිමියන් හා උන්වහන්සේගේ ආචාර්යවරයන් වහන්සේ වන උස්වැල්ලේ මහානාග හිමියන් අතර ඇති වූ සංවාදයකි.

එනම් රහත් නොවී රහත් යන හැඟීමෙන් කටයුතු කළ සිය ආචාර්යවරයාගේ වැරැදි හැඟීම බැහැරකොට ධම්දින්න හිමියන් විසින් කමටහන් ලබා දී උන්වහන්සේට රහත් වන්නට අවශ්‍ය පසුබිම සකස් කිරීම පිළිබඳ කතාවයි. එය ඇතුළත් වන්නේ මනෝරථපූරණී නම් අංගුත්තර නිකාය අටුවාවෙහි ය.

ලක්දිව තලගුරු විහාරවාසී ධම්මදින්න මහ තෙරුන් වහන්සේගේ ආචාර්යවරයන් වහන්සේ උස්වැල්ලේ මහානාග මහතෙරුන් වහන්සේ ය. ධම්මදින්න තෙරණුවෝ සිව්පිළිසිඹියාපත් රහතන් වහන්සේ නමකි. දිනක් උන්වහන්සේ දවල් දානයෙන් පසුව, තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වන උස්වැල්ලේ මහානාග තෙරුන්ගේ ශ්‍රමණ කෘත්‍යය මස්තකප්‍රාප්ත වී දැයි දිවැසින් බැලූ සේක.

එතෙක් උන්වහන්සේ පුහුදුන් ව සිටින බවත්, එහෙත් උන්වහන්සේ තමන් රහත් යැයි වැරැදි මතයකින් සිටින බවත් දැන එම වැරැදි මතය නිවැරැදි කරනු පිණිස එකෙනෙහි ම සෘද්ධියෙන් අහසට නැගී ගොස් ආචාර්යවරයාට වැඳ, වත් දක්වා එකත් පසෙක වැඩ හුන් සේක. එකත්පසෙක හුන් ධම්මදින්න මහ තෙරුන්ගෙන් උස්වැල්ලේ මහානාග මහා තෙරුන්වහන්සේ කුමක් හෙයින් අවේලාවෙහි මෙහි පැමිණියේ දැයි විමසූහ.

ධම්මදින්න හිමියන් “ස්වාමීනි, ප්‍රශ්නයක් විමසීමට” යැයි කී ය. එවිට මහානාග හිමියෝ “ඇවැත්නි , දන්නා දෙයක් නම් කිව හැකි ය. ඔබේ ප්‍රශ්නය අසන්න” යනුවෙන් පැවසූ හ. එවිට ධම්මදින්න තෙරුණුවෝ ප්‍රශ්න දහසක් විමසූහ. ඒ සියල්ලටම මහා නාග හිමියෝ පිළිතුරු දුන්හ.

මෙයින් අතිශය ප්‍රසාදයට පත් ධම්මදින්න හිමියෝ ස්වාමීනි, ඔබ වහන්සේගේ නුවණ ඉතා සියුම් බව පෙනේ. ඔබ වහන්සේ කවර කලෙක මෙම ධර්මය අවබෝධ කළ සේක් ද?යනුවෙන් ස්වකීය ආචාර්යවරයන් වහන්සේගෙන් විමසූහ. එවිට මහානාග හිමියන් ඇවැත්නි, ධම්මදින්නයනි, මීට වර්ෂ හැටකට පමණ පෙරයැයි පැවසූහ. දෙදෙනා වහන්සේ අතර ඇති වූ සංවාදය මෙසේ ය.

“ස්වාමීනී , ඔබ වහන්සේ සෘද්ධිබල පෑමෙහි දක්ෂවන සේක් ද?

ඇවැත්නී එසේය,

“ස්වාමීනි එසේනම් විශාල සුදු ඇතෙකු මවන්න.”

මහානාග හිමියන් විශාල සුදු ඇතෙකු මැවී ය. එවිට “ස්වාමීනි” මේ ඇතා කෙළින් කළ කන් ඇති ව, දිග් කළ වලිගය ඇති ව, සොඬය කටේ රුවාගෙන, කුඤ්චනාද කරමින් වේගයෙන් ඉදිරියට එන සේ මැවුව මැනැවැයි’ කීහ.

මහානාග හිමියෝ එසේ මැවූ හ. එසේ මැවූ විට භයංකාර වේශයෙන් ඉදිරියට එන ඇතා දුටු මහානාග හිමි ඇතාට බිය වී අසුනෙන් නැගිට දුවන්නට සැරසුණේ ය. එව්ට ධම්මදින්න හිමියෝ මහානාග හිමියන්ගේ සිවුරු කොණින් අල්ලාගෙන ‘ස්වාමීනී, රහතුන්ට බිය උපදිත් දැයි’ විමසූහ.

තමා රහත් නො වන බව දැනගත් මහානාග තෙරණුවෝ ඇවැත් ධම්මදින්නයනි, මාහට පිහිටවනු මැනැවයි තම ශිෂ්‍යයා ඉදිරියේ උක්කුටුකයෙන් හිඳ ගත්හ. ඉන් පසු ධම්මදින්න තෙරණුවෝ සිය ආචාර්යවරයාට කමටහන් දුන්හ. මහානාග තෙරණුවෝ කමටහන්ගෙන සක්මන් මළුවට බැස හයවන පියවරේ දී ම උතුම් රහත්ඵලය ලැබූ හ.

රාජකීය පණ්ඩිත,

ශාස්ත්‍රපති

මහරැඹෑවැවේ පාලිත හිමි