ඛේමා තෙරණිය පිළිබඳ වූ කථා පුවත

ගම්භීරපඤ්ඤං මෙධාවිං, මග්ගාමග්ගස්ස කොවිදං, උත්තමත්ථමනුප්පත්තං, තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

ගැඹුරුවූ ප්‍රඥා ඇති, ප්‍රඥාවත්වූ, මඟ නොමග දෙක්හි දක්‍ෂවූ රහත්ඵලයයි කියනලද උත්තමාර්ථයට පැමිණියාවූ ඒ ක්‍ෂීණාශ්‍රවයා මම බ්‍රාහ්මණයයි කියමි.

“ගම්භීර පඤ්ඤාං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ගිජුකුළු පර්වතයේ වැඩසිටිය දී ඛේමා භික්ෂුණිය නිමිති කරගෙන දේශනා කළහ. 

විදසුන් නැණ සමග , කඳ පිළිබඳ නුවණ, ගැඹුරින් ඇති රහත් නම, උතුම් බමුණෙක් වේ මැයි. 

ප්‍රඥාවන්ත වූ ගැඹුරු නුවණ ඇති. මග නොම දැනුමෙහි සමත් රහත්ඵලයට පත් තැනැත්තා මම බ්‍රාහ්මණ යයි පවසමි. 

එහි ගම්භීර පඤ්ඤන්ති – ගැඹුරුවූ ස්ඛන්ධ ආදීන්හි ප්‍රඥාවෙන් යුතුවූ ප්‍රඥාව ඇති ධර්මෝජ ප්‍රඥාවෙන් යුත් මෙධාවිං මෙය දුගතියයි. මෙය සුගතියයි. මෙය නිර්වාණ මාර්ගයයි. මෙය නොමගයි ආදී වශයෙන් මගෙහිද නොමගෙහිද දක්ෂ වූ බැවින්, මග්ගා මස්ස කොවිදං. අරහත්භාවයට උත්තමත්ථං අනුපප්තතං තමහං බ්‍රාහ්මණං පැමිණි ඔහු බ්‍රාහ්මණ යයි මම කියමි. 

මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි මෙලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ලෝකවාසීන්ට දහම් දෙසමින් වැඩසිටින කල්හි මෝ තොමෝ හංසවතී නුවර මහත් යසඉසුරු ඇති සිටු කුලයක උපන්නාය.

දිනක් භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා මහත්සේ පැහැදුණු ඕ තොමෝ මව්පියන්ගේද අවසරය ඇතිව බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට සත් දිනක් පුරා මහදන් දුන්නාය. සත්දවස ඉක්මවී ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මෙහෙණක මහා නුවණැත්තන් අතරෙහි අග්‍රස්ථානයෙහි තබනු දුටු සිටු කුමරිය “මමද එක්තරා බුදු කෙනෙකුන්ගෙන් එම තනතුර බලන්නෙමි” යි ප්‍රාර්ථනා කළාය.

භාග්‍යවතුන් වහන්සේද “තොපගේ ප්‍රාර්ථනාව සිද්ධවේවා”යි විවරණ දුන් සේක. (මෝ තොමෝ පදුමුත්තර බුදුන් දවස දුගී දාසියකව ඉපිද සිටි බවත්, එම බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක සුජාත නම් තෙරුන් වහන්සේට තමාගේ කේස කලාපය කපා විකුණා ලැබූ මුදලින් දනක් දී අනාගතයෙහි මහා ප්‍රඥාවන්ත බුද්ධ ශ්‍රාවිකාවක් වේවායි ප්‍රාර්ථනා කළ බවත් ඇතැම් අටුවාවල දක්වා ඇත.)

ඕ තොමෝ වෙනත් බොහෝ පින්කම් ද කොට දෙව්ලොව ඉපිද ඒ ඒ දෙවිවරුන්ට භාර්යා තනතුරද, මිනිස්ලොව ඉපිද සක්විති රජවරුන්ට භාර්යාවන් බවටද පත්ව බොහෝ සැප සම්පත් අනුභව කරමින් සිට මෙයින් අනූ එක් කල්පයකට පෙර ලොව පහළ වූ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මිනිස්ලොව ඉපිද බුදුන් හමුව බණ අසා පැහැදී සසුන්ගතව දස දහසක් අවුරුදු මහණදම් පිරූහ.

එයින් චුතව නැවත වරක් දෙව් මිනිස් ලොව ඉපිද බොහෝ වූ සැප සම්පත් අනුභව කොට මේ භද්‍ර කල්පයෙහි කකුසඳ, කෝණාගමන බුදුවරුන් දවස මිනිස් ලොව ඉපිද ඒ බුදුවරුන්ගෙන් බණ අසා බොහෝ පින් කොට තව්තිසා දෙව්ලොව උපන්නීය. ඕ තොමෝ නැවත කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බරණැස් නුවර කිකී නම් රජුගේ වැඩිමහල් දූ වූ සමණී නමින් ප්‍රසිද්ධව උපන්නාය.

ඇයට සමණ ගුත්තා, භික්ඛුනී, භික්ඛුදාසිකා, ධම්මා, සුධම්මා, සංඝදාසී නමින් බාල සොහොයුරියෝ සය දෙනෙක් වූහ. එයින් සමණී නම් දුවණිය පසු කාලයේදී ඛේමා නමින්ද සමණ ගුත්තා උප්පලවණ්ණා නමින්ද, භික්ඛුනී පටාචාරා නමින්ද, භික්ඛුදාසිකා කුණ්ඩලකේසි නමින්ද, ධම්මා කිසාගෝතමී නමින්ද, සුධම්මා ධම්මදින්නා නමින්ද, සංඝදාසී විශාඛා නමින්ද ගෞතම බුද්ධ ශාසනයෙහි ප්‍රසිද්ධව උපන්නාහුය.

සමණී නම් වූ වැඩිමහලු කුමරිය අනිකුත් සොහොයුරියන් සමඟ බුදුන්ගෙන් බණ අසා පැහැදී බුදුරජාණන් වහන්සේට මනහර විහාරයක් කොට පූජා කළාය. මෙසේ නොයෙක් පින්කම් කොට දෙව්ලොව ඉපිද අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මගධ රට සාගල නුවර රජකුලයෙහි උපන්හ. ඕ තොමෝ ඛේමා නමින් ප්‍රසිද්ධ වූවා. රන්වන් ශරීර ශෝභාවෙන් දෙවඟනක් පරදවන රූපශ්‍රීයෙන් යුක්ත වූහ. අනතුරුව වියපත්ව බිම්බිසාර රජුගේ අග මෙහෙසිය බවටද පත්වූවාය.

ඛේමාවෝ රූප මදයෙන් මත්ව “බුදුහු රූපය හෙළා දකිතැ”යි අසා දැන කිසිම දිනක බුදුරජාණන් වහන්සේ හමුවීමට විහාරයට නොගියාය. බිම්බිසාර රජුට එය තදබල කනස්සල්ලට හේතුවක් විය. ඇය උපායෙන් බුදුන් හමුවට යැවීමට ඉටා ගත් රජතුමා දක්ෂ කවීන් හා සංගීතඥයන් ලවා වේළුවනාරාමයෙහි මනස්කාන්ත පරිසරය ගැබ්කොට කාව්‍ය රචනා කොට ගායකයන් ලවා බිසවට ඇසෙන සේ ගායනා කරවීය.

ගායකයන්ගේ මනහර ගීතිකා ඇසූ ඛේමා බිසව වේළුවන උයනෙහි සිරි බැලීමට තද කැමැත්තක් ඇතිවිය. ඒ බව රජුට දැන්වූ කල්හි තමන්ගේ උපාය සාර්ථක වූ බව දැන මහත් සේ සතුටුව සහපිරිවරින් දේවිය උයනට යැවීය. දේවිය උයනට ගොස් වන සිරිය බලමින් අතිශයින් සොම්නස්ව ඇවිදින විට එක්තරා තරුණ භික්ෂුවක් රුකක් මුල භාවනානුයෝගීව සිටිනු දුටුවාය. මෙබඳු රූසපුවකින් හෙබි යෞවන යෝගාවචරයාගේ ධ්‍යානය දුටු රාජ මෙහෙසිය පුදුමයට පත්වූවාය.

බුදුන් නොදැකම ආපසු පැමිණීමට සූදානම් වූ මුත් බිම්බිසාර රජුගේ අණ ලබා සිටි රාජ පුරුෂයෝ ඇගේ ගමන වළකා බුදුන් වෙත බලහත්කාරයෙන්ම රැගෙන ආවාහුය. බුදුරජාණන් වහන්සේ ඇය තමන් වහන්සේ වෙතට රැගෙන ආ ඛේමා මෙහෙසියට පෙනෙන පරිදි ඍද්ධියෙන් නව යෞවන කාන්තා රුවක් මැවූ සේක. නැවතත් ඍද්ධියෙන් එකී කාන්තා රුව ක්‍රමයෙන් හැඩිදැඩිව, මහලුව, දිරාපත්ව දුර්වලව කෙළින් සිටීමට නො හැකිව බිම ඇදවැටෙන අයුරු පෙනෙන පරිදි මැවූ සේක.මේ දෙස විමසිල්ලෙන් බලා සිටි ඛේමාවගේ රූපමදය කෙමෙන් තුනී විය. රූපය වනාහි වහා වෙනස්වන සුලු, අනිත්‍ය ස්වභාවයට යන නිසරු තත්ත්වයක් බව ඇයට වැටහිණ. මගේ රූපයටද මෙබඳු ඉරණමක් අත්වීම නො වැළැක්විය හැකි යයි” සිතූ ඈ බුදුන් වැඳ සිටියා ය.

එකල්හි බුදුරජාණන් වහන්සේ ඇය අමතා මෙසේ වදාළ සේක.ඛේමාවෙනි, රෝගාදියෙන් ආතුර වූ, දෙතිස් කුණපයෙන් අපවිත්‍ර වූ, කුණු වූ, මේ ශරීරය දෙස බලව. ශරීරය ගැන ඇති ඡන්දය දුරු කරව, අසුභානුපස්සනාව වඩව“ යනුවෙන් වදාරා මහානිදාන සූත්‍රය වදාළ සේක. ඒ අසා ඕ තොමෝ සෝවන් ඵලයට පැමිණ “ස්වාමීනි, මා මෙතෙක් දවස් රූප මදයෙන් මත්ව ඔබවහන්සේ රූපය හෙලා දකින බව අසා ඔබවහන්සේ හමුවීමට නො පැමිණියෙමි. දැන් මම සත්‍යය අවබෝධ කර ගතිමි.මා අතින් යම් වරදක් වී නම් ඊට සමාවුව මැනව“ යි කීහ. බුදුහු “තොප අත වරද නැතැ” යි වදාළ සේක. ඛේමාවෝ අනතුරුව බුදුන් වැඳ ප්‍රදක්‍ෂිණා කොට රජ ගෙදරට ගොස් බිම්බිසාර රජුට මෙසේ කීහ. ස්වාමීනි, රජතුමනි, ඔබ යෙදූ උපාය සාර්ථක විය.

මම බුදුන් දැක බණ අසා ජීවිතය ගැන මහත් සේ කළ කිරීමට පත්වීමි. මහරජ, ඔබ අවසර දෙන්නේ නම් මම බුදු සසුනෙහි පැවිදි වෙමි.” බිම්බිසාර රජ තෙම ඇයට පැවිදිවීමට අවසර දුන්නේය. ඕ තොමෝ විහාරයට ගොස් පැවිදිව අඩ මසක් ඇවෑමෙන් පහනක් දැල්වීමත්, නිවීමත් දැක ඒ ගැන මෙනෙහි කරමින් සිට රහත් භාවයට පත්වූවාය.බුදුරජාණන් වහන්සේ භික්ෂුණීන්ට අග්‍රස්ථාන දෙන කල්හි මහා ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතර අග්‍රස්ථානයෙහි තබා වදාළ සේක. ඉක්බිති එක්දිනක් එක්තරා ගසක් මුල ධ්‍යාන සුවයෙන් වාසය කරන කල්හි පාපී වූ මාරයා ඛේමා මෙහෙණියගේ සමීපයට තරුණ රුවක් මවාගෙන පැමිණ මෙසේ කීය. “ඛේමාවෙනි, ඔබ භද්‍ර යෞවනයෙහි සිටින්නීය. මම ද එබඳු තරුණයෙක්මි. අප දෙදෙන මියුරු පසඟතුරු නදින් සංගීතවත් වූ මේ වනයෙහි කාම ක්‍රීඩාවෙහි යෙදෙමු.” ඒ වදන් ඇසූ භික්ෂුණිය මාරයාට නිග්‍රහ කෙරෙමින් පලවා හැරියාය.

දේශනය අවසානයේ බොහෝ දෙන සෝතාපන්න ඵල ආදියට පත්වුවාය.