යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් වහන්සේ රාජ්‍යය කරණ සමයෙහි එක්තරා ඉඹුල්වනයක ගුරුළු රජ්ජුරු කෙණෙක් වාසය කරන්නාහ. ඒ ගුරුලා මහත්වූ ශරීරයක් ඇතිව සමුද්‍රජලය දෙබෑ කොට නාගභවනයට වැද මහත්වූ නාගරාජයෙකු ඩෑගෙණ පිටත්ව ආකාශයෙන් යන කලට නාගයා මහත් වෘක්ෂයෙක් වෙලාගත ගසත් උදුරා ඇරගෙණ ගුරුළු රජ්ජුරුවෝ තමන්ගේ වෘක්ෂයේ ඉඳ නාගයා ඉස මොල ආදීවූ දෙය අනුභය කොට නාගයාත් වෘක්ෂයත් එලීය. වැටෙන වෘක්ෂය සමුද්‍රයෙහි වැටෙන්නට වන වෘක්ෂයේ උන් පක්ෂියෙක් ඒ ගසින් පිටත්ව ගුරුළු රජ්ජුරුවන් උන් වෘක්ෂයේ ගොසින් උන්නේය. ඒ වෘක්ෂයේ උන් දේවතාවා භයින් ත්‍රස්තව වෙවුලන්නට වන, එවිට ගුරුළු රජ්ජුරුවෝ දේවතාවා දැක ඇයි තොප මා වැනි කෙණෙකුත් මහත්වූ ශරීරයක් ඇති නාගරාජයෙකුත් ඇවිත් උන් ගමනේ නොවෙව්ලාදැන් වෙවුලන්නට කාරණා කිම්දැයි විචාළේය. දේවතාවා කියන්නේ මේ පක්ෂියා අනුභව කරන්නේ නුග දිඹුල් ආදි වූ ඵලජාතිය. මාගේ ගස ඉඳ ගස් බිලයෙක වර්චස් කෙළේ නම් නුග ගසෙක් හෝ යම් ගසෙක් ඇතිවි නම් මාගේ විමානය නසින්නේය. එසේ හෙයින් ඉදිරියේ වන උපද්‍රව දැක භයින් වෙවුලාගියෙමි කී සේයයි වදාරා මේ කොටිසිඹලි ජාතකය නිමවා වදාළ සේක.එසමයෙහි ගුරුලා නම් ශාරිපුත්ත ස්ථවිරය. එසමයෙහි දේවතාවා නම් බුදුවූ මම්මයයි වදාළ සේක. |