කල්‍යාණ මිත්තතා

චත්තාරො මෙ ගහපති පුත්ත ධම්මා කුලපුත්තස්ස දිට්ඨධම්ම හිතාය සංවත්තන්ති. දිට්ඨධම්ම සුඛාය. කතමේ චත්තාරො? උට්ඨාන සම්පළා, ආරක්ඛට සම්පදා, කල්‍යාණ මිත්තතා සමජීවිකතා”

ගෘහපති පුත‍්‍රය මෙලොව හිත සුව පිණිස පවතින ධර්ම සතරකි. ඒ කවරේ ද යත් උත්සාහය, වස්තුව රැක ගැනීම, කල්‍යාණ මිතුරු ඇසුර, වස්තුවෙහි පමණ දැන සමව දිවි ගෙවීම.

ඉහත සඳහන් වන්නේ දීඝජානු කෝලිය ගෘහපතියාහට බුදු රජාණන් වහන්සේ ගිහියෙකු වශයෙන් සමාජයේ ජීවත් වීමේදී මෙලොව ජීවිතය දියුණු කර ගැනීම සඳහා උපයෝගී කරගත හැකි කාරණා සතරක් දේශනා කිරීමේ ව්‍යග්ඝපජ්ජ සූත‍්‍රයේදී මෙසේ බුදු රජාණන් වහන්සේ මිනිසුන්ගේ මෙලොව ජීවිතය සැපවත් කර ගැනීමෙන් පරලොව ජීවිතය සැපවත් කර ගන්නා ආකාරය ඉහත සඳහන් ආකාරයෙන් දේශනා කළ සේක.

ව්‍යග්ඝපජ්ජය කල්‍යාණ මිත‍්‍රත්වය යනු කවරේද? මේ ලෝකයේ කුල පුත‍්‍රයෙක් යම් ගමක හෝ නියම් ගමක හෝ එහි ගෘහපතියෙක් හෝ ගෘහපති ප්‍රත‍්‍රයෙක් හෝ තරුණ වූ මහලු වූ හෝ ශ්‍රද්ධා සම්පන්න, ශීල සම්පන්න, ත්‍යාග සම්පන්න, පඤා සම්පන්න අය සමග එක්ව සිටී කථා කරයි. සාකච්ඡා කරයි. ශ්‍රද්ධා සම්පන්නයන් අනුව ශ්‍රද්ධා සම්පත්තිය අනුව හික්මෙයි. ශීල සම්පන්නයන් අනුව ශීල සම්පත්තිය අනුව හික්මෙයි. ත්‍යාග සම්පන්නයන් අනුව ත්‍යාග සම්පත්තිය අනුව හික්මෙයි. ප්‍රඥා සම්පන්නයන් අනුව ප්‍රඥා සම්පත්තිය අනුව හික්මෙයි.

මේ අනුව බුදු රජාණන් වහන්සේ ව්‍යග්ඝපජ්ජ සූත‍්‍රය තුළ කළ්‍යාණ මිත‍්‍රත්වයෙහි ලක්‍ෂණ මෙසේ ගෙනහැර වදාරා ඇත. මිනිසෙකුගේ මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතයේ දියුණුව සඳහා යහපත් කල්‍යාණ මිත‍්‍ර ඇසුරක් අවශ්‍ය බව බුද්ධ දේශනයයි. අමාරුවෙන් ධනයක් සොයා ගත්තත් එම ධනය හොඳින් රැකගත්තද කල්‍යාණ මිත‍්‍රයෙකු නැති වුවහොත් එම ධනයෙන් හා ජීවිතයෙන් නියම ප්‍රයෝජන ලබා ගත නොහැකි බව සිගාලෝවාද සූත‍්‍රයේ දී බුදුන් වහන්සේ දේශනා කළ සේක. කලන මිතුරු ඇසුරක් ලබා ගැනීමට වර්තමාන සමාජය තුලින් බොහෝ අපහසුය. මිත‍්‍ර වේශයෙන් හිඳිමින් මිනිසුන්ට වල කපන්නන් බහුලව අද සමාජයේ දක්නට ලැබේ.

සිගාලෝවාද සූත‍්‍රයේ බුදුන් වහන්සේ ඔවුන්ව හඳුන්වන්නේ මිත‍්‍ර ප්‍රතිරූපකයෝ හෙවත් පාප මිත‍්‍රයන් වශයෙන්.

අඤ්ඤදත්ථුහරෙ, මිත්තො – ශෝ ච මිත්තෝ චම්පරෝ

අනුප්පියංචයෝ ආහ – අපායෙ සුච යෝ සඛා අඤ්ඤදත්ථුහරෙ – මෙම මිත‍්‍ර ප්‍රතිරූපකයා මිත‍්‍රයාගෙන් යමක් ගැනීමට පමණක් ඇසුරු කරයි. ආත්මාර්ථය සඳහාම වැඩ කරණ ඔහු ටිකක් දී වැඩි යමක් ගැනීමට සිතයි.

වචීපරම – මෙම මිත‍්‍ර ප්‍රතිරූපකයා උදව්ව වචනයට පමණක් සීමා කරයි. කිසියම් අවශ්‍යතාවයක් ගැන මතක් කළ විට කලින් කීවානම් කරන්න තිබුණා යයි කියා මග හරියි. වචනයෙන් පමණක් උදව් කිරීම ඔහුගේ ලක්‍ෂණයයි.

අනුප්පියභාණී මිත‍්‍රයා ඉදිරිපිට ගුණ කියන අතර නැති තැන අගුණ කියන මිත‍්‍ර ප්‍රතිරූපකයා මිත‍්‍රයා විසින් කරණු ලබන හොඳ වැඩත් නරක වැඩත් දෙකම අනුමත කරයි.

අපායසහායක මිත‍්‍රයා හැම විටම තම මිතුරාගේ වැරැදි වැඩවලට පමණක් සහාය වෙයි. පිරිහීමට හේතු වන සුරාපානය වැනි අයහපත් ක්‍රියා වලට පොළඹවයි. එමෙන්ම දුසිරිතට හේතුවන ආර්ථික පරිහානියට හේතුවන සූදුවට සහාය වෙයි.

ඉහත සඳහන් මිත‍්‍ර ප්‍රතිරූපකයන් දෙස බලන කල යම්කිසි කෙනෙකු එවැනි වූ මිතුරන් ඇසුරු කරන්නේ නම් ඔහුගේ පරිහානිය මෙන්ම ජීවිතයේ විනාශය පවා සිදුවිය හැකි බව ඉහත සඳහන් ලක්‍ෂණ දෙස බැලීමේදී හොඳින් පෙනී යයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කෙළේ කිසියම් පුද්ගලයෙකුට මෙලොව ජීවිතය වාසනාවන්ත කර ගැනීමට නම් මිත‍්‍ර ප්‍රතිරූපකයන්ගේ ඇසුර අතහැර කල්‍යාණ මිත‍්‍ර සම්පත්තියක් හෙවත් යහපත් මිනිස් ආශ්‍රයක් කෙනෙකුගේ ඹ්ෂතයේ දියුණුව සඳහා අවශ්‍ය වන බවයි.

ව්‍යග්ඝපජ්ජ සූත‍්‍රයට අනුව බුදුරදුන් දේශනා කෙළේ කෙනෙකුගේ මෙලොව ජීවිතය දියුණු කර ගැනීමෙන් පරලොව ජීවිතය සැපවත් කර ගැනීමට නම් කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියක් අවශ්‍ය වන බවයි. සමාජය තුල ජීවත් වීමේදී යහපත් කළණ මිතුරන් හඳුනා ගැනීමට හා යහපත් කල්‍යාණ මිත‍්‍රයන් කොටස් හතරක් සිගාලෝවාද සූත‍්‍රයේදී බුදුරජාණන් වහන්සේ පහත සදහන් ආකාරයෙන් දේශනාකර ඇත.

උපකාරක මිත‍්‍රයා – මෙම කලණ මිතුරා හැමවිටම තම මිතුරාට උදව්වක්ම කරයි. මිතුරාගේ සම්පත් දේපල ආරක්ෂාවන ලෙස කටයුතු කරමින් කරදරයක් ඇති වූ හැම විටම ඉතා ඕනෑකමින් ඒවා ඉටුකරයි.

සමාන සුඛ දුක්ඛ මිත‍්‍රයා – දුක සැප දෙකේදීම එකසේ තම මිතුරා ඇසුරු කරමින් මිතුරාගේ යම් රහසක් ඇතොත් එය කිසිවෙකුටත් නොකියා ආරක්ෂා කරන අතර තමාගේ රහසක් ඇතොත් එය මිතුරාට කියයි. නිරන්තරයෙන් ආත්ම පරිත්‍යාගයෙන් යුතුව පිහිට වේ.

අත්තක්ඛායි මිතුරා – තම මිතුරාගේ යහපත හා අභිවෘද්ධිය සඳහා ම උපකාර කරයි. පාපකයන් හා වරදින් වළක්වා ගන්නා අතර යහපත් වැඩවල යෙදීමට අනුබල දෙයි. මිතුරා නොඇසු යම් යහපත් කරුණක් ඇතොත් ඇසීමට සලස්වා නිවන් මඟටද යොමු කරයි.

අනුකම්පක මිතුරා – සානුකම්පිතව සුහද හැඟීමෙන් යුතුව තම මිතුරා සමඟ කටයුතු කරයි. මිත‍්‍රයාගේ ජයග්‍රහණයේදී සතුටු වන අතර විපතේදී අවංකවම දුක්වෙයි. නිරන්තරයෙන් කරුණු පැහැදිලි කරදී තම මිත‍්‍රයා නිදොස් කිරීමට ක්‍රියා කරයි.

වර්තමාන සමාජය දෙස බැලීමේදී කෙනෙකු ආශ්‍රය කිරීමට යාම අතිභයානක තත්ත්වයකි. “උඩින් ඔපේ, යටින් හපේ” යන පිරුළ සනාතවන අවස්ථාවක් ලෙස මෙම මිතුරු සංකල්පය පෙන්වා දීමට පුළුවන. එනම් හිත හොඳින් කතාබහ කළද බොහෝ දෙනාගේ යටිසිත ක්‍රියාත්මක වීමේදී බොහෝවිට මතුවන්නේ පාපමිත‍්‍ර, අසත් පුරුෂ ගතිගුණ බව වර්තමාන සමාජය තුළළින් මනාව සපල වන කාරණයකි. මිත‍්‍ර වේශයෙන් සිටිමින් බොහෝ විට අකටයුතුකම් කරන හා තිරිසන් ගති ඉස්මතුවන සමාජයක ජීවත්වීමට ලැබීමෙන් බොහෝ දෙනෙකුට තමාගේ මෙලොව ජීවිත සැපවත් කර ගැනීමට නොහැකිවන අවස්ථා එමටය. සමාජවිද්‍යාවේද උගන්වන්නේ මිනිසා සහ සමාජය යනු ගසට පොත්තත් පොත්තට ගසත්” ලෙස එකට බැදීපවතින දෙයක් බවයි. ඒ අනුව මිනිසාට සමාජයෙන් යහපත් ඇසුරක් නොලැබෙන විට ගොඩනඟා ගත යුතු සම්බන්ධතා බිදී ගොස් ජීවිත වල විනාශය හා පරිහානියට ලක්වන අවස්ථා දක්නට ඇති අතර අයහපත් මිත‍්‍ර ඇසුර තුලින් තමා, තම පවුල, තම ධනය විනාශවී ගොස් දුකට පත්වීයන අවස්ථා අද සමාජයෙන් දැකගත හැකි දෙයකි.

සිගාලෝවාද සූත‍්‍රය තුලදී උතුරු දිශාව වෙන් කරමින් කල්‍යාණ මිත‍්‍රයන් ඇසුරු කළ යුතු බවත් පවිටු මිත‍්‍රයන්ගෙන් ඈත් විය යුතු බවත් බුදුරදුන් දේශනාකල සේක. බුදුරදුන්ගේ ජීවමාන කාලයේදී ආලවක, අංගුලිමාල, දේවදත්ත වැනි පවිටු ගති තිබූ මිනිසුන්ගේ ඇසුර බුදුරදුන්ට විදීමට සිදුවුවද උත්තරීතර මනුෂයකු වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ මිනිසුන් තුල තිබු පවිටු අදහස් හා ගති පැවතුම් නැති කිරීමට යථාර්ථවත් වූ ධර්ම අවවාද ඉදිරිපත් කරමින් ඔවුන්ව යහපත් ආශ‍්‍රයට ගත් අවස්ථා බුද්ධ චරිතයේත් ශාසන ඉතිහාසයේත් සඳහන් වෙයි. ඒ තුලින් අප තේරුම් ගත යුත්තේ අයහපත් ගති පැවතුම්වලින් යුතු අපට හිතවත් යැයි සම්මත පිරිස් හඳුනා ගනිමින් ඔවුන්ගේ ජීවිතයේ ඇති වැරැදි අඩුපාඩුකම් නිවැරැදි කරමින් ඔවුන්ගේ ජීවිතවල දියුණුවත් අපගේ ජීවිතවල දියුණුවත් සකස්කර ගැනීමට කටයුතු කිරීමයි. එසේ නොවුවහොත් මේ මිනිස් සමාජයේ බොහෝ දෙනෙකුට මෙලොව ජීවිතය යහපත් කර ගැනීමට නොහැකිවන අතර පරලොව ජීවිතවලටද දුක්ඛදායි බව පසක් වන නියතය.

මෙම කරුණු ගැන අධ්‍යයනය කරමින් සම්බුද්ධ දේශනාවට සමීප වෙමින් අප තේරුම් ගත යුතු කරුණක් ඇත. එනම් අපගේ මෙලොව ජීවිතය යහපත් කර ගැනීමට අනිවාර්යයෙන් හේතුවන කරුණක් ලෙස කල්‍යාණ මිත‍්‍ර සම්පත්තිය හේතු වන බවත් හැකිතාක් දුරට මිනිසුන්ගේ ගති ගුණ හඳුනා ගනිමින් මිත‍්‍ර ප්‍රතිරූපකයන් වශයෙන් කටයුතු කරන්නට උත්සාහ කරන පිරිස් අපගේ ජීවිතවලින් ඈත්කර අපගේ මෙලොව ජීවිත වාසනාවන්ත තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු සලසා ගැනීමයි. ඒ අනුව සම්බුද්ධ දේශනය තුල උගන්වා වදාළ පරිදි මෙලොව ජීවිතය දියුණුවට අනිවාර්යයෙන් හේතුවන කරුණක් වශයෙන් කල්‍යාණ මිත‍්‍ර සේවනය හේතුවන බවය.

උපකාරක මිත්‍ර‍යාය, සමාන සුඛදුඃඛ මිත්‍ර‍යාය, අර්ථඛ්‍යායි මිත්‍ර‍යාය, අනුකම්පක මිත්‍ර‍යාය යි කල්‍යාණ මිත්‍රයෝ සතර දෙනෙක් වෙති.

(1) උපකාර වුවමනා තැන දී අවංකව මෛත්‍රී සහගත සිතින් මිතුරන්ට උපකාර කරන තැනැත්තා උපකාරක මිත්‍ර‍යා ය, ආරක්ෂා කළ යුතු අවස්ථාවල දී මිතුරා ආරක්‍ෂා කිරීම ය, මිතුරාගේ වස්තුව ආරක්‍ෂා කිරීම ය, විපතේ දී පිහිට වීම ය, කරුණක් පැමිණි කල්හි ධනය දීමෙන් උපකාර කිරීමය යන මේවා උපකාරක මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.

(2) මිතුරාට වන සුව දුක් තමාට වන සුව දුක් සේ සලකන මිත්‍ර‍යා සමාන සුඛදුඃඛ මිත්‍ර‍යා ය. තමා ගේ රහස් මිතුරාට කීම ය, මිතුරාගේ රහස් අනෙකකුට නො දැන ගන්නට ආරක්‍ෂා කිරීම ය, විපතේ දී හැර නො යෑමය ය, මිතුරා වෙනුවෙන් ජීවිතය වුව ද පරිත්‍යාග කිරීමට කැමති බව ය යන මේවා සමාන සුඛදුඃඛ මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.

(3) දෙලොව යහපත සිදු කර ගැනීමේ මග පෙන්වන්නා වූ සත්පුරුෂයා අර්ථඛ්‍යායි මිත්‍ර‍යා ය. පාපයෙන් වැළැක්වීම ය, යහපතෙහි පිහිටවීම ය, නො දත් දෑ කියා දීමය, ස්වර්ගයට මඟ කියා දීමය යන මේවා අර්ථඛ්‍යායි මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.

(4) සිය මිතුරාට මවක මෙන් අනුකම්පා කරන්නා වූ තැනැත්තා අනුකම්පක මිත්‍ර‍යා ය. මිතුරාගේ පිරිහීම ගැන කණගාටුවීම ය, දියුණුව ගැන සතුටුවීම ය, දොස් කීම් වැළැක්වීම ය, ගුණ කියන්නවුන්ට පැසසීම ය යන මේවා අනුකම්පක මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.

කල්‍යාණ මිත්‍ර‍ සම්පත්තිය තථාගතයන් වහන්සේ විසින් ඉතා උසස් කොට වර්ණනා කරන ලද්දකික. සියලු දුකින් මිදීමට හා ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සකල සම්පත්තීන් ම ලැබීම ද කල්‍යාණ මිත්‍ර‍ සේවනය බලවත් හේතුවකි. කල්‍යාණ මිත්‍ර‍ සේවනයෙන් තොරව උසස් සම්පත් ලැබීමට දුෂ්කර ය. එබැවින් සකලාර්ථ සිද්ධියට හේතු වන්නා වූ මේ කල්‍යාණ මිත්‍ර‍යන් හැඳින දරුවකු විසින් මවක සේවනය කරන්නාක් මෙන් ආදරයෙන් ඔවුන් සේවනය කළ යුතුය යි තථාගතයන් වහන්සේ වදාළ සේක. කල්‍යාණ මිත්‍ර‍යන් සේවනය කොට සියල්ලෝ ම සියලු දුකින් මිදී පරම සුන්දර අමෘත මහා නිර්වාන සම්පත්තියට පැමිණෙත්වා! තථාගතයන් වහන්සේගේ ධර්මය ලෙව්හි බැබලේවා!