කරුණා භාවනාව
තමාට දුක් ඇතිවීම නො ඉවසන්නාක් මෙන් අනුන්ට දුක් ඇතිවීමත් නො ඉවසන ස්වභාවය, දුඃඛිතයන් දුකින් මුදවනු කැමති ස්වභාවය, අනුන්ගේ දුක් ගැන කම්පා වන ස්වභාවය කරුණාව ය. කරුණා සහගත සිත් නැවත නැවත පැවැත්වීම කරුණා භාවනාව ය.
එය කරනු කැමති යෝගාවචරයා විසින් පළමුවෙන් අත්පා කැඩීමක් නිසා හෝ සුව නො වන රෝගයක් නිසා හෝ කිසි රැකියාවක් කර ගත නො හෙන, අනුන්ගෙන් යමක් ඉල්ලා කා ජීවත්වන පරම දුඃඛියකු සොයා ඔහුගේ දුක නුවණින් සලකා “මහා දුකට පැමිණ සිටින මේ අසරණයා දුකින් මිදේවා! මිදේවා!” යි ඔහු කෙරෙහි කරුණාව පැවැත්විය යුතු ය. ඉක්බිති දුකට පත් තමාගේ ප්‍රිය පුද්ගලයන් කෙරෙහි ද මධ්‍යස්ථයන් කෙරෙහි ද සතුරන් කෙරෙහි ද කරුණාව පැවැත්විය යුතු ය. තමා ගැනත් තමාගේ හිතවතුන් ගැනත් මධ්‍යස්ථයන් ගැනත් සතුරන් ගැනත් සම කරුණාව ඇති කර ගෙන භාවනාවෙහි යෙදෙන්නවුන්ට දුඃඛිත සත්වයන් අරමුණු කොට කරුණා ධ්‍යානය උපදී.
සාමාන්‍යයෙන් කරුණා භාවනාව කරන්නවුන් විසින් ඒ ඒ සත්වයන්ගේ දුක් නුවණින් සලකා “මේ සත්වයෝ මේ දුක්වලින් මිදෙත්වා!” යි කරුණාභාවනාව කළ යුතු ය. කරුණාවට ලක් කර ගත නො හෙන සත්වයෙක් නැත. සුඛිතයන් වශයෙන් සලකන සත්වයන්ට ද බොහෝ දුක් නැත්තේ ය. නොයෙක් පව් කම් කරමින් පස්කම්සැප විඳිමින් ප්‍රීති වන ජනයා සැප විඳින්නන් සේ පෙනෙතත් මරණින් මතු ඔවුහු මහ දුකට පත්වන්නාහ. ඒ බව සලකා ඔවුන් කෙරෙහි කරුණාව පැවැත්විය හැකිය. මහත් සම්පත්තියෙන් කල් යවන සිටුවරු රජවරු ද කලක දී මැරී ඒ සම්පත්තියෙන් පිරිහෙන්නාහු ය. දහස් ගණන් දෙවඟනන් පිරිවරාගෙන සිත්කලු විමන්වල හා නන්දනාදි උයන්වල කම් සැපයෙන් ප්‍රීති වන දෙවිවරු ද, මහ ගිනිකඳන් සේ දිලෙන කල්ප ගණන් ආයු ඇති බ්‍රහ්ම රාජයෝ ද පින් කෙළවර වීමෙන් ඇද වැටෙන්නාහ. මෙසේ නුවණින් සලකා සැම දෙනා කෙරෙහි ම “මේ සත්වයෝ දුකින් මිදෙත්වා” යි කරුණාව පැවැත්විය යුතු ය.
මුදිතා භාවනාව
සුඛිත පුද්ගලයන් ගැන සතුටුවන ස්වභාවය මුදිතා භාවනාව ය. ධ්‍යාන ලැබීම සඳහා එය කරනු කැමති යෝගාවචරයා විසින් ප්‍රිය මනාප දූ දරුවන් ඇතිව යහපත් නෑ මිතුරන් ඇතිව, සුන්දර ගෘහ-යාන-වාහන-වස්ත්රාභරණ-ආහාර-පාන ඇතිව, නිරෝගීව, කාය චිත්ත, සුඛයෙන් වෙසෙන ප්‍රිය පුද්ගලයකු අරමුණට ගෙන “මොහු කිසිවකින් අඩු පාඩුවක් නැතුව, කිසි කාය චිත්ත, පීඩාවක් නැතිව, සුවසේ වාසය කරනවා. අනේ හොඳා! අනේ හොඳා!!” යි මුදිතා භාවනාව කළ යුතුය. මෙසේ එක් කෙනෙකුගෙන් පටන් ගෙන ක්‍රමයෙන් මුදිතාව මහත් කළ යුතු ය. මොහු නිසා මොහුගේ අඹු දරුවෝ සැපසේ වෙසෙන්නාහ යි සලකා ඔවුන් කෙරෙහි මුදිතාව පැවැත්විය යුතු ය. මොහු නිසා මොහුගේ නෑ මිතුරෝ අසල්වැසියෝ සුවසේ වෙසෙන්නාහ යි ඔවුන් කෙරෙහි මුදිතාව පැවැත්විය යුතු ය. මෙසේ ක්‍රම ක්‍රමයෙන් තමාගේ හිතවතුන් කෙරෙහි ද, මධ්‍යස්ථයන් කෙරෙහි ද සතුරන් කෙරෙහි ද මුදිතාව පැවැත්විය යුතු ය. සෑම දෙනා කෙරෙහි ම මුදිතාව සමව පැවැත් විය හැකි තත්ත්වයකට පැමිණීමෙන් පසු මුදිතා ධ්‍යානය ලැබිය හැකි ය.
සාමාන්‍ය ක්‍රමයට මුදිතාව වඩනු කැමැතියන් විසින් සත්වයන්ගේ සුඛිත භාවය කල්පනා කර “මේ සත්ත්වයෝ සුවසේ වෙසෙන්නාහ. අනේ හොඳය: අනේ හොඳය” කියා මුදිතාව පැවැත්විය යුතු ය. සුඛිතයකු වශයෙන් නො සැලකිය හැකි සත්වයෙක් ද නැත. බ්‍රහ්ම ලෝකයෙහි මහානුභාව සම්පන්න බ්‍රහ්ම රාජයෝ ප්‍රීතිය ම ආහාර කොට ඉතා සුවසේ කල්ප දහස් ගණන් ජීවත් වන්නාහ. චාතුර්මහාරාජිකාදි දිව්‍ය ලෝකයන්හි බොහෝ දෙවිවරු රත්නයන් ගෙන් බබලන පරම සුන්දර විමානයන්හි අප්සරාවන් පිරිවරා ඉන්ද්රියයන් පිනවමින් සුවසේ වෙසෙන්නාහ. මිනිස් ලොව රජවරු සිටුවරු හා සාමාන්‍ය ධනවත්හු ද හොඳින් කා බී ඇඳ පැළඳ ස්වකීය ඥාති මිත්‍රයන් හා ප්‍රීතියෙන් වෙසෙන්නාහ. දුප්පත් ජනයා ද කෙසේ හෝ ඔවුන්ට උවමනා ආහාර පානාදිය ලබා ගෙන ප්‍රීති වන්නාහ. ආපායික සත්ත්වයෝ ද කවදා හෝ ඒ දුකින් මිදී ප්‍රීති වන්නාහ. මෙසේ ඒ ඒ සත්ත්වයන්ගේ සුඛිතත්වය නුවණින් සලකා සියල්ලන් ගැන ම මුදිතාව වැඩිය හැකිය.
උපේක්ෂා භාවනාව
සත්ත්වයන් ගැන පවත්වන මධ්‍යස්ථතාව උපේක්ෂාව ය. උපේක්ෂා භාවනාවෙන් ලැබිය හැක්කේ පඤ්චම ධ්‍යානය පමණෙකි. උපේක්ෂාව වඩා පඤ්චම ධ්‍යානය ලැබිය හැක්කේ ද කලින් අන් භාවනාවකින් ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යානයන් ලබා ඇති යෝගාවචරයනට පමණෙකි.
උපේක්ෂාව වඩනු කැමතියන් විසින් ලෝක තත්ත්වය නුවණින් සලකා සත්වයන් ගැන මධ්‍යස්ථ විය යුතු ය. ලාභාලාභාදි ලෝක ධර්ම අට සැම සත්ත්වයන්ට ම පැමිණෙන්නේ ය. ලෝකස්වභාවය කෙනකුගේ කැමැත්තේ සැටියට වෙනස් නොවන්නේ ය. “සැම දෙනා ම ලෝක ධර්මයට යටත් වන්නාහ. ලෝකයා තමාගේ කැමැත්තේ සැටියට පැවැත්වීමට සමතෙක් නැත. මේ සත්ත්වයෝ තම තමන්ගේ කර්මානුරූපව සුව දුක් ලබන්නෝ ය. නො මග යාමෙන් සත්වයෝ දුකට පත් වන්නාහ. සුමග ගමන් කිරීමෙන් සැපතට පත් වන්නාහ. කෙනකු විසින් සුවපත් වෙත්වා යි පැතීමෙන් ඔවුහු සුවපත් නො වන්නාහ. දුකින් මිදෙත්වා යි පැතීමෙන් දුකින් නො මිදෙන්නාහ. එබැවින් ලෝක විචාරණය පලක් නැති මහන්සි වීමකි: මෙසේ ලෝක තත්ත්වය සලකා “මේ සත්ත්වයෝ තම තමන්ගේ කර්මය පරිදි සුව දුක් ලබන්නාහ” යි උපේක්ෂාව වැඩිය යුතු ය.
Leave a Review