කපොත ජාතකය

තවද එක් සමයෙක්හි ආර්ය වාදී තිලෝගුරු වූ බුදු රජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් එක්තරා ලොල් වූ භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරඹයා මේ ජාතකය වදාළ සේක.
[උන් වහන්සේගේ ලොල් බව නම් නව වැනි නිපාතයෙහි කපි ජාතකයෙහි මතු පහල වන්නේය.]
එසමයෙහි භික්ෂූන් වහන්සේ ස්වාමීනි මේ මහණ ඉතා ලොල් මහණෙකයි සර්වඥයන් වහන්සේට දැන්වූ සේක. එකල සර්වඡයන් වහන්සේ “සැබැද මහණ? තෝ පෙරත් ලොබියෙහිය. ලොබි බැවින් ජීවිතක්ෂයට පැමිණියෙහිය. නුඹ වහන්සේ කා නිසා තමන් වසන තැනින් පිරිහුනෝ වේදැ”යි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජකෙනෙකුන් රාජ්‍ය කරන කල්හි අප මහා බෝසතානෝ පාරාපත යෝනියෙහි උපන්නාහුය. එකල බරණැස් නුවර වැස්සෝ කුසක් පැවැති බැවින් ඒ ඒ තැන පක්ෂීන් ගේ සැපසේ විසීම නිසා තොපෙට්ටි එල්වා තිබෙති. බරණැස් නුවර සිටානන්ගේ අරක්කැමියා තමන්ගේ මුළු තැන්ගේ තොපෙට්ටියක් එල්වා තිබූයේය. බෝධි සත්වයෝ එහි වාසය කෙරෙති.

එකල්හි ඒ බෝ සතානෝ උදෑසනම නික්ම ගොදුරු සොයා අනුභව කොට සවස් වේලෙහි අවුත් වාසය කරමින් දවස් යවතී. ඉක්බිත්තෙන් එක් දවසක් එක් කපුටුවෙක් මුළු තැන්ගේ මත්තෙන් යන්නෙහි ඇඹුල් නියඹලා මත්ස්‍ය මාංශ දවා සුවඳ කැවු ගන්ධ ආග්‍රහණය කොට එහි ලොබ උපදවා කවරක් වූ නිසා මේ මත්ස්‍යය මාංශ ලබන්දෝ හෝයි මුළු තැන්ගෙට නුදුරු තැනක හිඳ පරික්ෂා කෙරෙන්නේ සවස බෝධිසත්වයන් අවුත් මුළු තැන් ගෙට වඩනා දැක “මේ පරවියා නිසා මත්ස්‍ය මාංශ ලබමි’යි සිතා  දෙවැනි දවස් උදෑසනම අවුත් බෝධිසත්වයන්ගේ පෙට්ටියෙන් නික්ම ගොදුරු පිණිස යන වේලෙහි පසුපස්සේ නික්මුනේය.

එකල මහ බෝසතානෝ ඕහට “කවර කාරණයකින් අප හා සමග සබඳ තෝ ඇවිදිනෙහිදැ?”යි කිවුය.
“ස්වාමීනි නුඹ වහන්සේගේ ක්‍රියාවට මට ඉතා රිසියෙයි එසේ හෙයින් මම මෙතැන් පටන් නුඹවහන්සේට උපස්ථාන කෙරෙමි”යි කිය.
එබස් ඇසූ මහබෝසතානෝ කියන්නේ “යහළු තොපි අන් ගොචාවරයක් අනුභව කරව. අපි අන්ගෝචරයක් අනුභව කරම්හ, තොප විසින් අපට උපස්ථාන කරන්නට නොපිළිවන් වේදැ”යි කිවුය.
“ස්වාමීනි නුඹ වහන්සේ ගොදුරු කනකල මමත් ගොදුරුකා නුඹ වහන්සේ හා සමඟ යන්නෙමි වේදැ”යි කීය.
“යහපත උදක් තොප විසින් අප්‍රමාදවිය යුතුය”යි මෙසේ මහබෝසතානෝ කපුටුවාට අවවාදකොට ගොදුරු කරන්නාහු කණ බිජු අනුභව කෙරෙති. බෝධිසත්වයන් ගොදුරු අනුභව කරණ වේලෙහි කපුටුවා ගොස් ගොම පිඬක් පෙරලා පණුවන් අවුලාකා බඩ පුරාගෙණ බෝධිසත්වයන් සමීපයට අවුත් “ස්වාමීනි! නුඹ වහන්සේ ඉතා බොහෝ වේලක් ගොදුරු අනුභව කරණ සේක. බොහෝ කොට කෑම යහපත් නොවන්නේ වේදැ”යි කියා බෝධි සත්වයන් හා සමග ඇවිද ගොදුරු අනුභවකොට පචස්වේලේ අවුත් මුළු තැන්ගෙයි වෙසෙයි.

ඉත්බිත්තෙන් එක් දවසක් සිටානන්ට බොහෝ මත්ස්‍ය මාංශ ගෙණාවාහුය. අරක්කැමියා ඒ මත්‍යමාංශ ඇරගෙණ මුළුතැන්ගෙයි ඒ ඒ තැන එල්වා තිබුයේ කපුටුවා ඒ දැක ලොභ උපදවා සෙට ගොදුරු බිමට නොගොස් මා විසින් මේ මත්ස්‍යාමංශ කෑ යුතුයයි ඉටා ගෙන හුන්නේය.

පසුදා බෝධිසත්වයන් කියන්නේ, ” තොපිත් ගොදුරු කන්නට එව!” කපුටා “ඊයේ මා කෑ ගොදුරු අජීරණයට හුන් හෙයින් මම නොඑමි. ස්වාමිනි නුඹ වහන්සේ යන්නේ නම් යහපතැ”යි කීය. අරක්කැමි දඩ මස් විශේෂ කොට  පිස නිවෙන්නට මුඩම්වල ලා තිබු. හේ සිය දාහය නිවන්නට දොරට ගිය නියායෙන් කපුටා මුඩුම මතුපිටට හුන් කල මුඩුම, කිරින් යන ශබ්ද නැංවී. අරක්කැමි ඒ ශබ්දය අසා මුළු තැන්ගෙට වැද බැලුකල කවුඩා මුඩුම පිට උන්නා දැක උන් අල්ලා ශරීරයේ ලොම් උදුරා මුදුනේ කුඩුම්බියක් තබා ශරීරයේ, මිරිස් ලුණු, දුරු , සිධි ගුරු ආදීවූ දාහි දෙය ගල්වා කිලෝ ගෙන ගල කැබිලිත්තක් විද කර බැඳ එල්වා සාල්ලට දැමීය.

බෝධිසත්වයෝ සවස්වේලේ අවුත් ඒ ව්‍යසනයට පැමිණ තැනැත්තවුන් දැක “ලොල්වූ කපුටුව මා කීවා නොකෙට තාගේ ලෝභය නිසා මහත් වූ දුකට පැමිණියෙහි වේදැයි කියා දැන් මාත් මේ තැන  වසන්ට නොපිළිවනැ”යි මහබෝසතානෝ අනික් තැනකට ගියෝය.  කපුටුවා එතැන්හිම ජිවිතක්ෂයට පැමිණියේය. එකල්හි අරක්කැමියා ඔහු සැනින් ගෙණ කසල ගොඩට දැමිය

ශාස්තෘවූ බුදුරජානන් වහන්සේගේ මහණ මහණ තෝ ලොල්වුයේ දැන් මතු නොවෙයි. පෙරත් ලොල්වූයෙහිය. තාගේ ලොල් බව නිසා නුවණැත්තෝ තමන් වසන තැනින් පිරීහී ගියේ වේදැයි මේ ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට වදාළ සේක. චතුස්සත්‍යයාගේ කෙළවර ඒ ලොල් මහණ අනාගාමී පෙළෙහි පිහිටි යේය.

සර්වඥයන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා මේ කපොත ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි කපුටුවා නම් දැන් මේ ලොල්වූ භික්ෂූහුය. එසමයෙහි පරෙවිව උපන්නෙම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවූ මම ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.