ඉති කුමරියගේ කතාව

මීට බොහෝ කාළයකට උඩදී දීපංකර බුදුහාමුදුරුවෝ මී අඹ ගහක් යට භාවනායෝගිව වැඩ උන්නා. උන්නාන්සේ භාවනායෝගිව හිටියට උන්නාන්සේට දානවේල් ගණනාවක් ලැබුනේ නෑ. නිරාහාරව තමා භාවනා කලේ.. ඔන්න එක දවසක් උන්නාන්සේ භාවනා කරපු මී අඹ ගහේ අඹයක් කන්න ලේනියක් ආවා.

මේ ලේනිය මී අඹයක් දැකලා ඒ අඹය හිමි හිමිහිට කන්න පටන් ගත්තා. ලේනිය මී අඹය බරු ගහනකොට ඒ මී අඹයෙන් පැණි වෑස්සෙන්ඩ පටන් ගත්තා.මේ වෑස්සෙන පැණි වලින් අපේ දීපංකර බුදු හාමුදුරුවෝ සිය කුස ගින්න නිවාගත්තා. ඒ විතරක් නෙමේ උන්නාන්නේ ප්‍රාර්ථනාවකුත් කළා ‘මගේ කුසගින්න නිවපු මේ ලේනියගේ ඊලඟ භවය, මනුස්ස ආත්ම භවයක් වේවා’ යි කියලා.

 කාළයක් ගතවෙනකොට මේ ලේනිය මියෑදෙනවා.

දීපංකර බුදු හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව නිසා මේ ලේනිය සිටු පවුලක සිටු දියණියක්ව උපදිනවා. සිටු දෙමව්පියන් අළුත උපන් මේ සිටු දියණියට නම තබන්න බමුණන්ව සිටු මැදුරට ගෙන්වනවා. බමුණන් මේ සිටු දියණිය දිහා බලලා සිටු දියනියට “ඉති” කියලා නමක් යෝජනා කරනවා.

ඒ වගේම මේ බමුණෝ සිටු දියණිය ගන අනාවැකියක් පවසනවා. ඒ අනාවැකිය තමා මේ දියණිය පිණට දහමට කැපවෙන කෙනෙක් වෙනවා ය. ඒත් කවදාහරි මේ දියණිය රටින් පිටවෙලා යන්න සිද්ධ වෙනවාය කියන එක. රටින් පිටවෙලා යනවාය කියන අනාවැකිය නිසා සිටු දෙමාපියන්ගේ හිත් වල දුකකුත් හට ගන්නවා.

කොහොමින් කොහොමහරි කල් ගතවෙනකොට මේ සිටු දියණිය රූප සම්පත්තියෙන් අගතැන්පත් සිටු දියණියක් වෙනවා. දුටු දුටුවන් සිත් පැහැරගන්න රූප සම්පත්තියක් තමයි මේ සිටු දියණියට තියෙන්නේ.

මේ සිටු දියණිය රූප සම්පත්තියෙන් අගතැන්පත් කෙනෙක් වාගේම දානමාන කටයුතු වලටත් බොහොම කැමති කෙනෙක්. දුගී මගි සියළු දෙනාව තමන්ගේ සිටු මැදුරට ගෙන්වලා දාන දෙන්නත් මේ ඉති කුමාරි මැලිවෙන්නේ නෑ.

 ඒ වගේම මේ ඉති කුමාරිය අබ තෙල් හින්දවලා ඒ තෙල් හිමිනමක් සිටු මැදුරට වැඩියහම පූජා කරනවා.

ඔන්න දවසක් මේ සිටු මැදුරට දීපංකර බුදු හාමුදුරුවන්ගේ සිසු සාමණේර නමක් වඩිනවා. මේ සිටු කුමාරිය උන්නාන්සේටත් අබතෙල් පූජා කරලා උන්නාන්සේට වැඳ නමස්කාර කරලා ප්‍රශ්නයක් අහනවා.

ඒ ප්‍රශ්නය තමයි,

“මං මේ විදිහට වෙහෙර විහාර ආලෝකමත් කරන්න අබ තෙල් පූජා කලහම මට අත්වෙන පින කුමක්ද ? ” කියලා.

ඉති කුමාරියගේ ප්‍රශ්නයට මේ සාමණේරයන් වහන්සේ ලඟ උත්තරයක් තිබුනේ නෑ. ඉතිං මේ සාමණේරයන් වහන්සේ,

“නැගණිය, ඔබගේ ප්‍රශ්නයට දෙන්න මා ලඟ පිලිතුරක් නෑ. මම අපේ දීපංකර බුදු හාමුදුරුවන්ගෙන් අහල ඔබට පිලිතුරක් දෙන්නම්.” කියලා ඉති කුමාරියට කියනවා.

පස්සේ දවසක ඉති කුමාරියගේ ප්‍රශ්නයට පිලිතුරක් අරගෙන එන බලාපොරොත්තුවෙන් මේ සාමණේරයන් වහන්සේ ආපසු වෙහෙරට වඩිනවා.

මේ සාමණේර නම විහාරයට වැඩියට පස්සේ දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් මේ ගැන විමසලා පිලිතුරක් ලබා ගන්නවා.

ඉති කුමාරියගේ ප්‍රශ්නයට පිලිතුරු ලබා ගත්තට පස්සේ උන්නාන්සේ ආයෙම සිටු මැදුරට වඩිනවා. ඉන් පස්සේ ඉති කුමාරියට පිලිතුර ලබා දෙනවා.

මෙන්න මේකයි පිලිතුර,

 මේ වාගේම දන් පුදන්න. පින් දහම් කරන්න. එතකොට සූ විසි කල්පයක් ගිය තැන බුදු බව ලබාගන්න පුලුවන් කියලා තමයි උන්නාන්සේගේ පිලිතුර වෙන්නේ. මොකද ඉතිං බුදු බව ලබනවයි කියන එක ලේසි පාසු දෙයක් යෑ.. කල්ප කාලාන්තරයක් පෙරුම් පුරන්ඩ එපා ය.

මේ පිලිතුර ගැන ඉති කුමාරිය පැහැදෙනවා ඒ වගේම කුමාරිගේ හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒ විතරක් නෙමේ මේ කුමාරිය පහුවදාම දානයත් අරගෙන දීපංකර බුදුහාමුදුරුවෝ වැඩ හිඳින විහාරයට යනවා. ගිහින් දන් පුදලා, වැඳ නමස්කාර කරලා උන්නාන්සෙගෙන් තව දුරටත් ප්‍රශ්න අහනවා.

“අබතෙල් පූජා කරලා තියෙනවට අමතරව මම ගොඩක් පින් දහම් කරලා තියෙනවා. ඒ නිසා මට මේ භවයේදී බුදු බව හිමි වේවිද ?” කියලත් අහනවා.

නමුත් බුදු හාමුදුරුවන්ගේ උත්තරය වෙන්නේ ඔබතුමිය කරපු පින් මදි බුදු බව ලබන්න. ඒ නිසා මේ වාගේම දිගටම පින් දහම්වල නියැලෙන්න. එතකොට මතු ආත්මෙකදි බුදුබව ලැබේවි කියලා. බුදු බව ලබන්න බැරිවෙන නිසා ඉති කුමරියගේ හිතේ ශෝකයක් හට ගන්නවා. බුදු වෙන්න බැරි නම් ජීවත් වෙලා වැඩක් නෑයි කියලා හිතලා මේ කුමරිය බුදු හාමුදුරුවෝ ඉදිරිපිටදිම අබ තෙල් හලාගෙන ඇඟට ගිනි තියාගන්නවා.

නමුත් උන්නාන්සේ ඇයට මැරෙන්න දෙන්නේ නෑ. උන්නාන්සේගේ මෙත් බලයෙන් මේ ගින්න නිවා දමනවා.

ඊට පස්සේ  ඉති කුමාරිය,

“වන ගත වෙලා තවුස් දම් රැකලා බණ භාවනා කරන්න මට පිරිමි ආත්ම භවයක් ලබා දෙන්න. ඊට පස්සේ මට පුලුවනි බුදු බව ලබන්න” කියලා උන්නාන්සේගෙන් ඉල්ලීමක් කරනවා.

ඊට පස්සේ උන්නාන්සේ ඉති කුමාරියට “ඔබට පිරිමි ආත්මයක් ලබා දෙන්න මට පුලුවන් කමක් නෑ. ඔබගේ ස්වාමිපුරුෂයාගේ කටින්ම ඔබට පිරිමි ආත්මයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කලොත් ඊලඟ ආත්මභවය පිරිමි ආත්මයක් ලැබේවි.” කියලා කියනවා.

නමුත් දන්නවනේ ඉති කුමාරි මේ වෙනකොටත් අස්වාමිකයි කියලා. ඒ කියන්නේ ස්වාමිපුරුෂයෙක් නෑ කියලා.

ඉතිං මේ ඉති කුමාරිය,

 “බුදු හාමුදුරුවනේ මට තාම ස්වාමි පුරුෂයෙක් නෑ.. මගේ ස්වාමි පුරුෂයා ඉන්නේ කොහේද කියලා පවසන්න.” කියලා ඉති කුමාරිය බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

උන්නාන්සේ ඉති කුමාරිය දිහාවට හැරිලා,

“කුමරිය, අබ නැලියක් අරගෙන ගවුවට එක අබ ඇටය ගානේ දම දමා යන්න. ඔබ අන්තිම අබ ඇටය දමන තැන තියෙන නිවසට යන්න. ඒ නිවසේදි ඔබට ඔබේ ස්වාමි පුරුෂයා හමුවේවි ” කියලා ප්‍රකාශ කරනවා.

බුදු හාමුදුරුවෝ වදාලපු විදිහට ඉති කුමාරිය අබ නැලියක් දෝතින් අරගෙන දෙමව්පිය දුක් සුසුම් මැද්දේ ගෙදරින් පිට වෙලා යනවා. මේත් එක්කම බමුණෝ එදා කුමරියගේ නම් තැබීමේ උත්සවේදි කියපු අනාවැකිය සපථ වෙනවා.

ගෙදරින් පිට වෙච්ච කුමාරිය දිවා රෑ වෙහෙස මහන්සිය අමතක කරලා ගවුවට එක ගානේ අබ ඇටය ඇටය හල හල ඇවිදිනවා. කොච්චර ඇවිද්දත් අබ නැලිය එහෙම් පිටින්ම ඉතුරුයි. ඒත් මේ කුමාරිය නෙමේ සැලුනේ… ! තව තවත් ධෛර්යවන්ත වෙලා ඇවිදිගෙන ඉදිරියටම යනවා.

 මේ විදිහට දින ගණන් ගෙවෙනෙවා. සති ගණන් ගෙවෙනවා… මාස ගණනුත් ගෙවෙනවා.

 ඔහොම ගිහින් ගිහින් අන්තිමේදි එක අබ ඇටයක් ඇරෙන්ඩ අබ නැලියේ සේරම අබ ඉවර උනා !

කුමාරිය ඉතුරු ගවුවක දුරත් ගිහින් ඒ අබ ඇටය විසි කලා. ඒත්තෙක්ක්ම මේ කුමාරියට සෑහෙන මහන්සියි. ඒ වගේම තෙහෙට්ටුයි. කුමාරිය ළඟම තියෙන පැල්පතට ඇතුල් වෙනවා. ඒ පැල්පත අයිති වෙලා තිබ්බේ ගම්බිර සිටුවරයගේ හරක් බලාගන්න ගොපල්ලට !

ඉති කුමාරිය පැල ඇතුලට ගිහින් බලනකොට කවුරුත් මේ පැල්පතේ උන්නේ නෑ. ඒ වෙනකොට මේ ගොපල්ලා ගම්බිර සිටුවරයගේ හරක් බලාගන්න ගිහින්. කුස්සියට ඇතුළු වෙනකොටම ඉති කුමාරිය දකිනවා මුට්ටියක වී ටිකක් තියෙනවා. මේ කුමාරිය වී කොටලා හාල් අරගෙන බතක් ලිප තියනවා. ඊට පස්සේ මාළුවකුත් ලිප තියලා පස්සේ ලොකු හැලියකට වතුර එහෙකුත් ලිප තියනවා.

මේ සේරමත් කරලා ගෙවල් දොරවලුත් අස් පස් කරලා කුමාරිය එළියට වෙලා බලාගෙන ඉන්නවා තමන්ගේ ස්වාමිපුරුෂයා එනකන්. දන්නවනේ මේ වෙනකන් ඉති කුමාරිය මේ ගොපල්ලව දැකලා නෑයි කියලා.

ඕං ටික වෙලාවකින් වැස්සට තෙමීගෙන ගොපල්ලා ගෙට ගොඩ උනා. එතකොටම දකින්නේ ලස්සන කුමාරිකාවක් ! ගොපල්ලට ඇස් අදහා ගන්ඩත් බැරුව යනවා !

ගෙට ගොඩ වෙච්ච ගොපල්ලව එක්කගෙන ගිහින් රත් වෙන්ඩ දාපු වතුරෙන් නාවනවා.නාවලා ඉවරවෙලා තමන් උයාපු බත කන්ඩ දීලා,

“ඔබ තමයි මගේ ආදරණීය ස්වාමිපුරුෂයා.. මම ඔබව ආදරෙන් බලා ගනිමි. ! දෙවියෙකුට වාගේ සලකමි !” කියලා කියනවා.

ආදරණීය බිරින්දෑ කෙනෙකු ලැබුනු මේ ගොපල්ලා පහුවදාම ගම්බිර සිටුවරයගේ සිටු මැදුරට යනවා. සිටුවරයා ඉදිරියට ගිහින් කියනවා මට අද ඉදන් සිටු මැදුරෙන් කෑම එපා ය. මට බිරින්දෑ කෙනෙකු ලැබුනා ය. ඒ නිසා මට මගේ වැටුප දෙන්ඩෙයි කියලා. මේ කතාව අහපු සිටුවරයට හොඳටෝම කෙන්ති යනවා.

කේන්ති ගියපු සිටුවරයා, මේ ගොපල්ලව සේවයෙන් නෙරපලා සිටු මැදුරෙනුත් එලියට දානවා. රස්සාව නැති වෙච්ච දුකෙන් ගෙදර එන මේ ගොපල්ලා ඉති කුමාරිය දකිනවා. ගොපල්ලා තමන්ට වෙච්ච හැමදේම ඉති කුමාරියත්තෙක්ක කියනවා.

ඊට පස්සේ ඉති කුමාරිය මේ ගොපල්ලගේ හිත සනසලා පුරන් වෙච්ච කුඹුරු ලියැද්දක් හොයාගන්න කියලා ගොපල්ලට කියනවා. ගමේ මිනිස්සුන්ගේ සේරම හරක් ඒ ලියැද්දේ බඳින්ඩ කියලා ගමේ මිනිස්සුන්ට කියන්ඩ කියලා ඉල්ලීමකුත් කරනවා. අර පුරන් වෙච්ච කුඹුරේ හරක් බැන්දට පස්සේ හරකුන්ට පෑගිලා ඒ ලියැදි කෑල්ල කුඹුරක් වාගේම මඩ වෙනවා.

පස්සේ මේ ගොපල්ලා කුඹුර හානවා.හාලා ඉවර වෙලා ඉහින්ඩ බිත්තර වී තිබුනේ නෑ. කුමාරියගේ ඉල්ලීම හන්දම බොල් වී ගෙනල්ලා කුඹුරේ ඉහිනවා.ඒ බොල් වී අතරේ තියෙන හොඳ වී ඇට ටික පැලවෙලා සරු සාර කරල් ඇති වෙනවා. ගොයම් පාගන කාලේ ආවහම කමතේ ගොයම් කොළයක් ගහන්ඩ කියලා ඉති කුමාරිය මේ ගොපල්ලට කියනවා.

ගොපල්ලා ගොයම් කොළය ගැහුවට පස්සේ  ඉති කුමාරිය තමන්ගේ දෙපා තියලා ගොයම් ටික පාගනවා. ඉති කුමාරියගේ තිබ්බ පින් මහිමය නිසාම ඒ ගොයම් කොළය පාගන සැරයක් සැරයක් ගානේ කමතෙන් මුතු මතු වෙන්න ගන්නවා. කුමාරියගේ පින හන්දා මුතු වෙච්ච මුතු දීලා සිටුවරුන්ගේ කුඹුරු වල වී ගන්නවා.

කොච්චරවත් වී වලට මුතු හුවමාරු කර ගත්තත් ඉති කුමාරියගේ මුතු ගොඩ ඉවර වෙන්නේ නෑ..අන්තිමේදි සිටුවරුන්ගේ සේරම වී ටික ඉවර වෙනවා.

වී මිලදී ගත්තු සිටු කුමාරිය ඊට පස්සේ ලස්සන මාලිගාවකුත් තනා ගන්නවා. ඊට පස්සේ ටික කාළයකින් ඒ රටේ රජතුමා මියෑදෙනවා. රජතුමා මියෑදුනායින් පස්සේ ඒ රටේ රජකම මේ ගොපල්ලට හිමි වෙනවා. !!

ඔන්න ඊට පස්සේ තමා ගොපල්ලගේ පව පල දෙන්ඩ ගන්නේ.

ගොපල්ලා තව බිරින්දෑ කෙනෙක්ව තමන්ගේ අඹුකමට ගන්නවා.ඉන්පස්සේ ඉති කුමාරියට බැන වදිනවා. දොස් නගනවා…. !

තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වෙලා හිටපු ගොපල්ලා බනිනකොට මේ ඉති කුමාරියට දුක හිතෙනවා. ඒවගේම බනින වාරයක් වාරයක් පාසා කුමාරියගේ හිත නොසෑහෙන්ඩ රිදෙනවා.

 ඒ විතරක් නෙමේ කුමාරියගේ පින් මහිමය නිසා මතු වෙච්ච ධන නිධාන වස්තු මාන්‍යාදිය සේරම ටික නැතිවේගෙන නැතිවේගෙන යනවා. 

සේරම වස්තු මාන්‍යාදිය නැති උනාට පස්සේ ගොපල්ලට තේරුනා වැඩේ වැරදුනාය කියලා. ගොපල්ලා තමන්ගේ ආදරණීය බිරිඳ, ඒ කියන්නේ ඉති කුමාරිය ගාවට ඇවිදින්,

“මම දුක් විඳපු කාළෙදි ඔබ ඔබේ යුතුකම් මං වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කළා. නමුත් මම ඔබට නොසෑහෙන්ඩ දුක් දුන්නා. ඔබ මට මේ යුතුකම් ඉටු කරපු පිනෙන් මතු භවයෙදි පිරිමියෙක් වෙලා උපදින්ඩ ඕනේ. !!! ” කියලා ප්‍රාර්ථනාවක් පතනවා. 

මේ ප්‍රාර්තනාව ඇහුනට පස්සේ ඉති කුමරියගේ හිත පස්වනක් ප්‍රීතියෙන් ඉපිලී යනවා. මේ සතුටත් එක්කම ගොපල්ලාට නැති වෙච්ච සැප සම්පත් වස්තුමාන්‍යාදිය ආයෙමත් පහල වෙනවා. පස්සේ කාලෙක ඉති කුමාරිය මියෑදෙනවා.

මියෑදුනායින් පස්සේ පිරිමි ආත්මයක් ලබලා උපදිනවා.

ඔහොම කල්ප කාලාන්තරයක් ගියාට පස්සේ අපේ ගෞතම බුදු හාමුදුරුවෝ වෙලා බුදු බව අත් කරගන්නවා !