ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය


මධ්‍යම ප්‍රතිපදාවේ අංග අට ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ලෙස විස්තර කෙරේ. දුක්ඛ නිරෝධගාමිණි පටිපදාව නම් සිවු වන ආර්ය සත්‍යය යි. මෙය ප්‍රධාන සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කළ යුතු වැඩ පිළිවෙලකි. මෙහි ප්‍රධාන වන්නේ ප්‍රඥාව වේ, පහත දැක්වෙන ලෙස සම්මා දිට්ඨි, සඞ්කප්ප අයත් වන්නේ ප්‍රඥාව යටතටයි. ඉන් පසු පිළිවලින් ශිල , සමාධි ලෙස දැක්වේ. සිද්ධාර්ථයන් බුද්ධත්වයට උපකාරී වුයේ ප්‍රඥාව මුල්කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිම තුලිනි. එනමුදු ශ්‍රාවකයා නිර්වාණය අවබෝධය සදහා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතු වන්නේ ශීල,සමාධි,ප්‍රඥා යන කොටස් අනුපිළිවෙලට වේ.

(ලෞකික)

  • Ÿ සම්මා දිට්ඨි  – නිවැරදි දෘෂ්ටිය
  • Ÿ සම්මා සඞ්කප්ප (නෙක්ඛම්ම , අව්‍යාපාද , අවිහිංසා)  – නිවැරදි අදහස්
  • Ÿ සම්මා වාචා  – නිවැරදි වචන
  • Ÿ සම්මා කම්මන්ත – නිවැරදි ක්‍රියාවන්
  • Ÿ සම්මා ආජීව – නිවැරදි දිවි පෙවත
  • Ÿ සම්මා වායාම – නිවැරදි උත්සාහයන්
  • Ÿ සම්මා සති – නිවැරදි සිහිය
  • Ÿ සම්මා සමාධි – නිවැරදි  සමාධිය

සම්මාදිට්ඨි – නිවැරදි දෘෂ්ටිය 

ආර්ය මාර්ගයේ පළමු අංගය සම්මා දිට්ඨියයි. එනම් නිවැරදි දැකීමයි. අපි නිවැරදි දැකීම් මොනවාදැයි හදුනා ගැනීමට නම් වැරදි දැකීම් මොනවාදැයි හදුනා ගැනීම වැදගත්ය. යමෙකුට මෙවැනි වූ දෘෂ්ඨින් තිබිය හැකිය. “ දෙවියන් වහන්සේ සතුන් මවා ඇත්තේ මිනිසුන්ගේ ප්‍රයෝජනය සදහා වන අතර මස් මිනිස සතුන් මැරීම වරදක් නොවේ. “ මෙය වැරදි දෘෂ්ඨියකි. “ සෑම සතෙක්ම මරණයට බිය වෙති, ජීවත් වීමට කැමති වෙති, එම නිසා සතුන් මැරීම වැරදි ක්‍රියාවකි. එය පාපයකි. “ මෙය නිවැරදි දැකීමක් ලෙස දැක්විය හැකිය.

සම්මා දිට්ඨියද විවිධ ප්‍රභේද වලට බෙදා ඇත. කම්මස්සකථාසම්මාදිට්ඨිය, චතුසච්චසම්මාදිට්ඨිය යනු එම කොටස් දෙකයි. කම්මස්සකථා සම්මා දිට්ඨිය නම් තමා විසින් සිදු කරනු ලබන හොද හෝ නරක ක්‍රියාවන්ට විපාක දීමේදී එහි වගකීම අන් අයට නොව තමාටම පැවරෙන බව ණුවණින් දැකීමයි. චතුසච්ච සම්මා දිට්ඨි නම් ආර්ය සත්‍ය පිළිබද නිවැරදිව අවබෝධ කර ගැනීමයි.

චත්තාරිසක සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය සාස්‍රව හා අනාස්‍රව වශයෙන් දෙපරිදි ය. සාස්‍රව සම්මා දිට්ඨිය වන්නේ දුන්දෙයෙහි විපාක ඇත. පූජාවෙහි විපාක ඇත. හොඳ නරක ක්‍රියාවන්ගේ විපාක ඇත. මෙලොව පරලොව ඇත. මව පියා ඇත. ඕපපාතික සත්වයෝ ඇත. දහම් මග පිළිපන් ශ්‍රමණ බමුණන් ඇත යන පිළිගැනීමයි. එම පුද්ගලයන්ට සුගතිගාමී වීමට හැකි අතර නැවත උපතකින් මිදීමට නොහැකිය. අනාස්‍රව සම්මා දිට්ඨිය වන්නේ ලෝකය ඇති සැටියෙන් ලෝකෝත්තර ලෙස දැකීමයි. එනම් චතුරාර්ය සත්‍ය ධර්මය දක්නා නුවණයි. මෙය විදර්ශනා ප්‍රඥාවයි. මෙමඟින් භවයෙන් මිදීම සිදුවේ.

1 තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව 

2 පටිච්ච සමුප්පන්න උපතක් ඇති බව පිළිගැනීම 

3 අම්මා තාත්තා දෙදෙනා පිළිබඳ විශ්වාසය

4 දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිශංස තිබෙයි කියා විශ්වාසය

5 ඕපපාතික සත්වයන් උපදිනවා කියා විශ්වාසය

6 අතීතයේ රහතන් වහන්සේලා සිටියා කියන විශ්වාසය (අධිගම ලාභීන්)

7 කර්ම කර්ම ඵල විශ්වාසය 

සම්යග්දෘෂ්ටිය  (දීර්ඝවිස්තරය)

දැනීම වනාහි වැරදි දැනීම ය, නිවැරදි දැනීම ය යි දෙවැදෑරුම් වේ. වීදුරු කැබැල්ලක් මැණිකක් ය කියා හෝ මැණිකක් ම වීදුරු කැබැල්ලක් ය කියා හෝ සිතන්නහු ගේ දැනීම බඳු දැනීම් වලට වැරදි දැනීම යයි කියනු ලැබේ. සියල්ල නො දන්නා වූ තැනැත්තන් තුළ නොයෙක් විට නොයෙක් කරුණු පිළිබඳ වැරදි දැනීම් හෙවත් වැරදි හැඟීම් ඇති වේ. ඒ වැරදි හැඟීම් අතර එය එසේ ම යයි පිළිගෙන සිටින්නා වූ සත්ත්වයා මරණින් මතු අපායට පමුණුවන්නා වූ ද, ඔහුට 

ස්වර්ග මාර්ගය හා මෝක්ෂ මාර්ගය ආවරණය කරන්නා වූ ද, වැරදි දැනීම් කොටසක් ඇත්තේ ය. ඒ කොටස ආගම ධර්මයෙහි මිථ්යාදෘෂ්ටිය යන නමින් හඳුන්වනු ලැබේ.

පින් ය, පව් ය කියා දෙයක් නැත – ඒවා ලොව රවටා ලාභ ලැබීමට ඇතමුන් කියන දේවල් ය, දන් දීමෙන් වස්තු හීනවීම මිස මතු ලබන ඵලයක් නැත. ප්‍රාණඝාතාදියෙන් වැළකීම මෙලොව කරදර වීම හැර මතු වන ශුභ සිද්ධියක් නැත, අපායක් කියා හෝ දෙව්ලොව බඹලොවක් කියා තැනක් නැත, මරණින් මතු නැවත ඉපදීමකුත් නැත. බුදුවරුය, රහතුන්ය කියා විශේෂ පුද්ගල කොටසක් නැත යනාදි වැරදි දැනීම් මිථ්‍යා වලින් සමහරෙකි.

ඒ ඒ දේවල් පිළිබඳව ඇති සැටියට ම ඇතිවන්නා වූ දැනීමට නිවැරදි දැනීම යයි කියනු ලැබේ. ඒ නිවැරදි දැනීම් අතර ද මිථ්‍යා දෘෂ්ටි යයි කියන ලද වැරදි දැනීම දුරු කරන්නා වූ ද, සත්ත්වයා හට අපා දුකින් මිදී සුගතියෙහි ඉපදීමට උපකාර වන්නා වූ ද, සසර දුකින් මිදී නිවනට පැමිණීමට උපකාර වන්නා වූ ද, විශිෂ්ඨ දැනීම් කොටසක් ඇත්තේ ය. ඒ කොටසට සම්‍යග් දෘෂ්ටිය යි කියනු ලැබේ. පින් පව් ඇති බව දැනීම, පින් පව් වල ඵල ඇති බව දැනීම, මරණින් මතු ඉපදීමක් ඇති බව දැනීම යනාදිය ඒ කොටසට අයත් දැනීම්වලින් සමහරෙකි.

සම්මාදිට්ඨිසම්යග්දෘෂ්ටි යන වචන වල තේරුම නම් නිවැරදි දැනීම ය හෙවත් නුවණ ය යනුයි. සම්‍යග් දෘෂ්ටිය එකක් වුව ද දැනගනු ලබන කාරණයන්ගේ වශයෙන් අනේක ප්‍රභේද වන්නේ ය. එබැවින් නොයෙක් සූත්‍ර‍ ධර්මයන්හි නොයෙක් ආකාරයෙන් සම්‍යග් දෘෂ්ටිය දක්වා තිබේ. කෙටි ක්‍ර‍මයකින් කියතහොත් –

  • Ÿ දශවස්තුකසම්‍යග්දෘෂ්ටිය
  • Ÿ චතුස්සත්‍යසම්‍යග්දෘෂ්ටිය ය යි

සම්‍යග් දෙවැදෑරුම් වන බව කිය යුතු ය. එහි දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය යනු කරුණු දසයක් සම්බන්ධයෙන් පවත්නා වූ සම්‍යග්දෘෂ්ටියයි.

දශවස්තුකසම්යග්දෘෂ්ටිය

සම්මාදිට්ඨිඛොහොතිඅවිපරීතදස්සනො, අත්ථිදීන්නං, අත්තියිට්ඨං, අත්ථිහුතං, අත්ථිසුකටදුක්කටානංකම්මානංඵලංවිපාකො, අත්ථිඅයංලොකො, අත්ථිපරොලොකො, අත්ථිමාතා, අත්ථිපිතා, අත්ථිසත්තාඕපපාතිකා, අත්ථිලොකෙසමණබ්‍රාහ්මණාසමග්ගතාසම්මාපටිපන්නායෙඉමඤ්චලොකංපරඤ්චලොකංසයංඅභිඤ්ඤාසච්ඡිකත්වාපවෙදෙන්තී”ති

යනුවෙන් දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය ප්‍ර‍කාශිතය. මෙයින් දන්දීමේ විපාක ඇති 

බවය, පූජා කිරීමේ විපාක ඇති බවය, ගුණවතුන්ට පුද පඬුරු යැවීමේ විපාක ඇති බවය, කරන හොඳ නරක ක්‍රියාවල විපාක ඇති බවය, පරලොව සිටින්නන් නැවත මෙලොව ඉපදීම් වශයෙන් පැමිණෙන බවය, මෙලොව සිටින්නන් ඉපදීම් වශයෙන් පරලොවට පැමිණෙන බවය, මවට කරන හොඳ නරක දෙක්හි විපාක ඇති බවය, පියාට කරන හොඳ නරක දෙක්හි විපාක ඇති බවය, මරණින් මතු නැවත උපදින සත්ත්වයන් ඇති බවය, යහපත් මාර්ගයෙහි ගියා වූ යහපත් පිළිවෙත්හි පිළිපන්නා වූ මෙලොව පරලොව දෙක තෙමේ ම ප්‍ර‍ඥාවෙන් ප්‍ර‍ත්‍යක්ෂ කරගෙන මෙලොව පරලොව දෙක ලොවට ප්‍ර‍කාශ කරන්නා වූ ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ඇති බවය යන කරුණු දසය පිළිබඳ නිවැරදි දැනීම සම්‍යග්දෘෂ්ටිය බව දක්වන ලදි.

1. අත්ථිදින්නං

ශ්‍ර‍මණබ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට පින් සලකා පූජා වශයෙන් හෝ අනුග්‍ර‍හ වශයෙන් හෝ ආහාර පාන වස්ත්‍රාදි වස්තූන් පරිත්‍යාග කිරීමෙන් එසේ කරන්නා වූ තැනැත්තා හට අනාගතයෙහි බොහෝ සැප සම්පත් ලැබෙන බව ස්වශක්තියෙන් ම හෝ අන්‍යයන්ගෙන් ඇසීමෙන් හෝ දැන ඒ බව විශ්වාස කිරීම අත්ථිදින්නං යනුවෙන් දැක්වෙන්නා වූ සම්‍යග්දෘෂ්ටිය යි. දන් දීමෙන් දෙන තැනැත්තාගේ වස්තුව නැතිවීම මිස එයින් මතු ලැබෙන ඵලයක් නැතය යි වරදවා පිළිගැනීම මිථ්‍යා දෘෂ්ටියකි.

2. අත්ථියිට්ඨං

“යිට්ඨ” යනු මහා පූජා මහා දානයන්ට නමෙකි. බොහෝ මල් පහන් ආහාර පාන වස්ත්‍රාදිය ගෙන පවත්වන්නා වූ මහා පූජාවන්ගෙන් ද සිය ගණන් දහස් ගණන් ප්‍ර‍තිග්‍රාහකයන් විෂයෙහි පවත්වන්නා වූ මහා දානයන්ගෙන් ද ඒවා කරන්නවුන්ට මතු දිව්‍ය මනුෂ්‍ය ලෝක දෙක්හි බොහෝ සම්පත් ලැබෙන බව දැනගැනීම පිළිගැනීම අත්ථියිට්ඨ යනුවෙන් දැක්වෙන සම්‍යග් දෘෂ්ටිය යි. ඇතැම්හු බොහෝ මල් පිදීමෙන් වනුයේ විහාරවල කසළ ගොඩ වීම පමණකැයි ද, බොහෝ පහන් පිදීමෙන් වනුයේ තෙල් විනාශ වීම පමණකැයි ද, විහාරවලට චෛත්‍යවලට ආහාරපාන පිදීමෙන් වනුයේ ආහාරපාන රාශියක් විනාශවීම පමණකැයි ද, මහා දන් දීමෙන් වනුයේ වස්තු රාශියක් විනාශ වීම පමණකැයි ද, ඒවායින් පූජා කරන්නවුන්ට මතු වන වැඩෙක් නැතැයි ද වරදවා පිළිගනිති. එය මිථ්‍යාදෘෂ්ටියකි.

3. අත්ථිහුතං

පින් සලකා ගුණවතුන් වෙත ආහාර පානාදි වස්තූන් පඬුරු කොට යැවීම මරණින් මතු ඉෂ්ට ඵල විපාක ගෙන දෙන්නා වූ පුණ්‍ය කර්මයක් බව පිළිගැනීම අත්ථිහුතං යනුවෙන් දැක්වෙන සම්‍යග් දෘෂ්ටිය යි. එයින් මතු ලැබෙන ඵලයක් නැතැ යි ගැනීම මිථ්‍යා දෘෂ්ටියකි.

4. අත්ථිසුකටදුක්කටානංකම්මානංඵලංවිපාකො

යහපත් ක්‍රියාවෝ ය යි කියනු ලබන විහාර දාගැබ් දහම් හල් පොත්ගුල් කිරීම කරවීම පින් සලකා අන්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස ළිං පොකුණු අම්බලම් කිරීම, කරවීම, අන්‍යයන් ගේ ප්‍රයෝජනය පිණිස මල් ඵල හට ගන්නා ගස් වැල් රෝපණය කිරීම, කරවීම, ගිලනුන්ට, දුබලයන්ට, මහල්ලන්ට, දිළිඳුන්ට උපකාර කිරීම, බණ කීම, බණ කියවීම, බණ ඇසීම, ඇස්වීම, පන්සිල් රැකීම, පොහොය අටසිල් රැකීම, දසසිල් රැකීම, පැවිදිවීම, භාවනා කිරීම යනාදියෙන් ඒවා කරන්නවුන්ට මතු භවයන්හි ලැබෙන්නා වූ ඉෂ්ට විපාකයන් ඒකාන්තයෙන් ඇත්තේ ය. එසේ ම නො මනා ක්‍රියාවෝ යයි කියනු ලබන ප්‍රාණඝාතාදි කර්මයන්ගෙන් ද, ඒවා කරන්නවුන්ට ඒවායින් මතු භවයන්හි ලැබෙන අනිෂ්ට විපාකයන් ද ඒකාන්තයෙන් ඇත්තේ ය. මෙසේ යහපත් වූ ද, අයහපත් වූ ද, කර්මයන්ගෙන් මතු ලබන ඵල-විපාක ඇති බව දැන ගැනීම විශ්වාස කිරීම අත්ථිසුකටදුක්කටානංකම්මානංඵලංවිපාකො යනුවෙන් දැක්වෙන සම්‍යක්දෘෂ්ටිය යි. මෙලොව දී කුමක් කළත් ඒවායින් මරණින් මතු පරලොව දී ලබන ඵල-විපාකයක් නැත ය යන පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය කි.

5. අත්ථිඅයංලොකො

අප වාසය කරන්නා වූ මේ ලෝකය හැර අපේ ලෝකයට සම වූ සැප දුක් ඇත්තා වූ අපේ ලෝකයට බොහෝ වෙනස් වූ සැප දුක් ඇත්තා වූ, තවත් බොහෝ ලෝකයෝ ඇත්තාහු ය. ලෝකවල වෙසෙන සත්ත්වයෝ වනාහි සෑම කල්හි ම එක ලෝකයක ම වාසය කරන්නෝ නොවෙති. ඔවුහු නොයෙක් වර තම තමා සිටින ලෝකවලින් චුත ව තමා වසන ලෝකයෙන් ඉතා දුර පිහිටි ලෝකයන්ට ද පැමිණෙන්නාහු ය. එබැවින් අපේ ලෝකයෙන් පිටත අන්‍ය ලෝකයන්හි වෙසෙන්නා වූ සත්ත්වයෝ ඒ ලෝකවලින් චුතව අප වාසය කරන්නා වූ මේ ලෝකයට එන්නාහු ය. එසේ අපේ ලෝකයෙන් ඈත ලෝකයෙහි සිටින සත්ත්වයන් හට ඉපදීම් වශයෙන් පැමිණීමට අපේ ලෝකය ද ඇති බව කියනු ලැබේ. එය එසේ දැන ගැනීම, පිළිගැනීම, අත්ථිඅයංලෝකෝ යනුවෙන් දැක්වෙන සම්‍යග් දෘෂ්ටිය යි. එක ලෝකයක සිටින සත්ත්වයෙක් තවත් ලෝකයකට නො යන්නේ ය. අපේ ලෝකයෙන් පිටත ලෝකවල සත්ත්වයෝ ඒ ඒ ලෝකවලට ම වාසය කරන්නාහු මිස මේ ලෝකයට නො එන්නාහු ය යි ගැනීම මිථ්‍යාදෘෂ්ටියකි.

6. අත්ථිපරොලොකො

මෙලොව වාසය කරන්නා වූ සත්ත්වයා ද මෙලොවින් චුතව මේ ලෝකයට ඉතා දුරින් පිහිටි අපාය ලෝකාදි අන්‍ය ලෝකයන්ට ඉපදීම් වශයෙන් පැමිණෙන්නේ ය. එබැවින් මෙලොව සිටින්නා වූ සත්ත්වයාට ද ඉපදීම් වශයෙන් පැමිණෙන්නට පරලොවක් ඒකාන්තයෙන් ඇති බව අත්ථිපරොලොකො යනුවෙන් දැක්වෙන සම්‍යග්දෘෂ්ටියයි. ඇතැම්හු මෙලොව සිටින්නා වූ සත්ත්වයෝ මෙලොව ම උපදනාහු නමුත් මේ ලෝකයෙන් අන්‍ය ලෝකයකට නො යන්නාහු ය. එසේ ඉපදීම් වශයෙන් පැමිණීමට මෙලොවින් පිටත තවත් ලෝකයක් නැත. අපායත් 

මේ ලෝකයේ ම ය, දෙව්ලොවත් මේ ලෝකයේ ම ය, බඹලොවත් මේ ලෝකයේ ම යයි වරදවා පිළිගනිති. එය මිථ්‍යාදෘෂ්ටියකි.

7. අත්ථිමාතා

මව්වරුන්ට කරන්නා වූ උපකාරාපකාරයන් නිසා දරුවන්ට අනාගතයෙහි ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද විපාක කොටසක් ඒකාන්තයෙන් ලැබෙන්නේ ය. ඒ බව එසේ ම දැන ගැනීම පිළිගැනීම අත්ථිමාතා යනුවෙන් දැක්වෙන සම්‍යක් දෘෂ්ටියයි. මව්වරුන්ට කරන දේවලට ඵල-විපාකයක් නැත ය යි ගැනීම මිථ්‍යා දෘෂ්ටියකි.

8. අත්ථිපිතා

පියවරුන්ට කරන උපකාරාපකාරයන් නිසා මතු භවයන්හි දරුවන්ට ලැබෙන්නා වූ ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද, ඵල-විපාකයන් ඇති බව පිළිගැනීම අත්ථිපිතා යනුවෙන් දැක්වෙන සම්‍යක් දෘෂ්ටියයි. පියවරුන්ට කරන උපකාරාපකාරයන්ට ලැබෙන ඵල විපාකයන් නැතය යි ගැනීම මිථ්‍යාදෘෂ්ටියකි.

9. අත්ථිසත්තාඕපපාතිකා

මැරෙන සත්ත්වයන් එයින් කෙළවර නො වී තෘෂ්ණාව ප්‍ර‍හාණය කරන තුරු කර්මානුරූපව සසර නැවත නැවතත් උපදනා බව පිළිගැනීම අත්ථිසත්තාඕපපාතිකා යනුවෙන් දැක්වෙන සම්‍යග් දෘෂ්ටිය යි. තවත් ක්‍ර‍මයකින් කියත හොත් ලෝකයෙහි මවක පියකු නොමැතිව කර්ම ශක්තියෙන් සර්වාංග ප්‍ර‍ත්‍යංග පරිපූර්ණත්වයෙන් පහළවීම් වශයෙන් උපදනා වූ සත්ත්ව කොටසක් ඇත්තේ ය. ඔවුන්ට ඕපපාතික සත්ත්වයෝ යයි කියනු ලැබේ. නරකයන්හි හා දිව්‍යලෝක බ්‍ර‍හ්ම ලෝකයන්හි ඇත්තේ ඒ වර්ගයට අයත් සත්ත්වයෝ ය. ඕපපාතික නම් වූ එබඳු කොටසක් ඇති බව දැන ගැනීම පිළිගැනීම සම්‍යක් දෘෂ්ටිය යි.

“ඇතැම්හු දෙවියෝ ය, බ්‍ර‍හ්මයෝ ය කියා සත්ත්ව කොටසක් සත්‍ය වශයෙන් නැත. ඔවුහු මනුෂ්‍යයන් විසින් සිතින් මවා, ඇති සේ ප්‍ර‍කාශ කරනු ලබන සත්ත්ව කොටසක් ය. ඔවුන් ඇත්තේ මෝඩ මිනිසුන්ගේ සිත්වල පමණක් ය යි කියමින් ද, තවත් සමහරු දිව්‍ය බ්‍ර‍හ්මයෝ නම් පෙර ඒ නම් වලින් විසුවා වූ මනුෂ්‍යයෝ ම ය, මනුෂ්‍යයන් හැර අමුතු ලෝකයක වෙසෙන දිව්‍ය බ්‍ර‍හ්මාදීහු ය යි කියනු ලබන අමුතු ආනුභාවයක් ඇති මිනිසුන්ට නො පෙනෙන අමුතු සත්ත්ව කොටසක් නැත ය යි කියමින් ද ඕපපාතික සත්ත්වයන් නැත” ය යි වරදවා පිළිගනිති. එය මිථ්‍යාදෘෂ්ටියකි.

10. අත්ථිලොකෙසමණබ්‍රාහ්මණාසමග්ගතාසම්මාපටිපන්නායෙඉමඤ්චලොකංපරඤ්චලෝකංචසයංඅභිඤ්ඤාසච්ඡිකත්වාපවෙදෙන්ති.

සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ සිහිනුවණට වඩා විශිෂ්ට වූ සිහි නුවණ හා ‍කොතරම් අමාරු දෙයකට වුවත් නො පසුබස්නා වීර්‍ය්‍යය ද කොතරම් දුකක් වුවත් ඉවසන්නා 

වූ ස්වභාවය ද, උත්පත්තියෙන් ම පිහිටන්නා වූ උත්තම පුරුෂයෝ ලෝකයෙහි කලාතුරකින් උපදනාහු ය. එබඳු උත්තම පුරුෂයන්ගෙන් සමහර කෙනෙක් පැවිදිව මහත් වූ උත්සාහයෙන් ධ්‍යාන වඩා සාමාන්‍ය මනුෂ්‍යයන් විසින් ඇසේ උපකාරයෙන් දක්නා දේවල් ඇසේ උපකාරය නොමැතිව දැකිය හැකි වන්නා වූ ද, සාමාන්‍ය මනුෂ්‍යයන් විසින් කනින් අසා දැන ගන්නා වූ දේවල් කනින් නො අසා ම දත හැකි වන්නා වූ ද, පෙර ජාති වල දී පවා සිටි සැටි හා කළ කී දේ සිහි කළ හැකි වන්නා වූ ද, මැරෙන්නා වූ සත්ත්වයන්ගේ ඒ ඒ තැන්වල ඉපදීව කිය හැකි වන්නා වූ ද අභිඥාව ය යි කියනු ලබන විශිෂ්ට ඥානය උපදවා ගනිති.

ඒ ඥානය උපදවා ගත්තා වූ මහෝත්තමයෝ එයින් මිනිසුන්ගේ ප්‍ර‍කෘති ඇසින් නො දැකිය හැකි සූක්ෂ්ම ශරීර ඇත්තා වූ දිව්‍ය බ්‍ර‍හ්මාදි සත්ත්වයන් ඇසින් දක්නාක් මෙන් ම දක්නාහු ය. අපගේ ලෝකයට ඉතා දුරින් පිහිටි අපාය ලෝක හා දිව්‍ය ලෝක බ්‍ර‍හ්ම ලෝක ද ඒ තැන්වලට පැමිණ බලන්නකු විසින් දක්නා පරිද්දෙන් පිරිසිදුව දක්නාහු ය. නොයෙක් ආකාර සැප දුක් ඇති ඒ ඒ ලෝකවල ඉපිද සිටින සත්ත්වයන්ගේ උත්පත්තියට හේතු වූ කර්ම ද දක්නාහු ය. එසේ දක්නා වූ ඒ මහෝත්තමයෝ තමාගේ දැකීම පරිදි දිව්‍ය බ්‍ර‍හ්මයන් ඇති බව ද ප්‍රේතයන් හා නේරයික සත්ත්වයන් ඇති බව ද ඔවුන්ගේ සැටි හා ඔවුන් විඳිනා සැප දුක් ද ඔවුන්ගේ වාසස්ථාන වූ ලෝක ද ප්‍ර‍කාශ කරන්නා හ. පින් පව් ඇති බව ද පින් පව්වල ඵල-විපාක ඇති බව ද ප්‍ර‍කාශ කරන්නාහු ය.

ලෝකයෙහි ඉතා දීර්ඝ කාලයකින් පහළ වන්නා වූ සමහර උත්තම පුද්ගලයෝ ඒ අභිඥා සංඛ්‍යාත ඥානය අර්හත්වයත් සමග සියල්ල දක්නා ඥානයත් සමග ද උපදවා ගන්නාහු ය. එබඳු පුද්ගලයන්ට බුදුවරයෝ ය යි කියනු ලැබේ. බුදුවරයෝ වනාහි අභිඥාව පමණක් උපදවා ගත්තවුන්ට නො පෙනෙන්නා වූ ඉතා දුර පිහිටි ලෝකයන් හා නිර්වාණයත් නිර්වාණ මාර්ගයත් සියල්ල දැන විශිෂ්ට වූ ධර්මයක් දේශනා කරන්නාහු ය. ඒ විශිෂ්ට ඥානය ඇති කරගෙන සිටින්නා වූ මහෝත්තමයන්ට එබඳු ඥානයක් ඇති බව පිළිගැනීම ද, උන් වහන්සේලා විසින් පවසන පරිදි තවත් ලෝක ඇති බව පිළිගැනීම ද, දිව්‍ය බ්‍ර‍හ්මාදි වූ මිනිස් ඇසින් දැකිය නොහෙන ඕපපාතික සත්ත්වයන් ඇති බව පිළිගැනීම ද සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත නවලෝකෝත්තර ධර්මය ඇති බව පිළිගැනීම ද නිර්වාණයට පැමිණිය හැකි ප්‍ර‍තිපත්ති හා ඒ ප්‍ර‍තිපත්තියෙන් නිවනට පැමිණිය හැකි බව පිළිගැනීම ද අත්ථිලොකෙසමණබ්රාහ්මණාපෙපවෙදෙන්ති යනුවෙන් දැක්වෙන සම්‍යක් දෘෂ්ටිය යි.

අත්ථිදින්නංඅත්තියිට්ඨං යනාදීන් දක්වන ලද පූර්ව සම්‍යක් දෘෂ්ටි නවය ද අත්ථිලොකෙසමණබ්‍රාහ්මණා යනාදීන් දක්වන මේ දසවන සම්‍යග්දෘෂ්ඨයට ඇතුළත් වේ. එබැවින් මේ අන්තිම සම්‍යක් දෘෂ්ඨය කියන ලද සම්‍යග්දෘෂ්ඨ වශයෙන් ප්‍ර‍ධාන සම්‍යග්දෘෂ්ඨය වන්නේය. පින් පව් හා ඒවායේ ඵල විපාක ඇති බව ද මතු ඉපදීමක් ඇති බව ද, අපාය හා දිව්‍ය බ්‍ර‍හ්ම ලෝක ඇති බව ද, උගන්වන්නා වූ ඇතැම් අන්‍යාගම්වල ද මේ දශවස්තුක සම්‍යග් දෘෂ්ටිය ඇත්තේ ය. එහෙත් බුද්ධාගමෙහි තිබෙන දශවස්තුක සම්‍යග් දෘෂ්ඨය සේ අන්‍යාගම්වල තිබෙන ඒ සම්‍යග්දෘෂ්ඨය පිරිසිදු ද නැත. සම්පූර්ණ ද නැත. බුදුසස්නෙන් පිටත 

පවත්නා වූ ඒ සම්‍යග් දෘෂ්ඨය ස්වර්ගයට පැමිණීමට මිස නිවනට පැමිණීමට උපකාරක නො වේ. ඒ ආගම්වල නිවනක් නො දක්වන බැවිනි. බුද්ධාගම වනාහි දිව්‍ය ලෝක බ්‍ර‍හ්ම ලෝකයන් හා නිර්වාණය ද දක්වන්නා වූ ධර්මයක් බැවින් බුද්ධාගමෙහි ඇති දශවස්තුක සම්‍යග් දෘෂ්ඨය ස්වර්ග මෝක්ෂ දෙක ම ලබා ගැනීමට උපකාර වන්නේ ය.

දුක්ඛනිරෝධගාමිනීප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යය යි කියන ලද ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවන අංගය වූ සම්‍යග් දෘෂ්ඨය මේ දශවස්තුක සම්‍යග් දෘෂ්ඨය නො වේ. එයට චතුස්සත්‍යයසම්‍යග්දෘෂ්ටිය යි කියනු ලැබේ. එය මේ දස වස්තුක සම්‍යග් දෘෂ්ටියට වඩා බොහෝ උසස් සම්‍යග් දෘෂ්ඨයකි. දශ වස්තුක සම්‍යග් දෘෂ්ඨය මෙහි දක්වන ලදුයේ පළමුව එහි නො පිහිටා චතුස්සත්‍යය සම්‍යග් දෘෂ්ඨය උපදවා ගන්නට හෝ නිවනට පැමිණෙන්නට ද නුපුළුවන් බැවින් එය ද වුවමනා බැවිනි. සසර දුකින් මිදී නිවනට පැමිණෙනු කැමති තැනැත්තන් විසින් පළමු කොට ශාසනික දශ වස්තුක සම්‍යග් දෘෂ්ඨයෙහි පිහිටිය යුතු ය. බුද්ධාගමට එන්නා වූ තැනැත්තන් පළමුකොට ම තිසරණයෙහි පිහිටුවන්නේ ඔවුනට තිසරණය සමාදන් කරවන්නේ ඔවුන් මේ ශාසනික දශ වස්තුක සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටුවීම පිණිස ය. යමෙක් ත්‍රිවිධ රත්නය සරණ යෑමෙන් දශ වස්තුක සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටියේ නම් එයට බැස ගන්නේ වේ නම් එය නිර්වාණ ගාමිනී මාර්ගයට පළමුපියවර තැබීම වන්නේ ය.

පළමුව දශ වස්තුක සම්‍යග් දෘෂ්ඨයෙහි නො පිහිටා මාර්ග ඵලාධිගමනය කොට නිවන් ගිය කෙනෙක් නැත්තේ ය. යමෙක් පෙර සසර දුකින් මිදී නිවනට පැමිණියාහු නම් ඒ සියල්ලෙන් ම නිවනට පැමිණියේ පළමු දශවස්තුක සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා පිළිවෙත් පිරීමෙන් ය. අනාගතයෙහි යමකුට නිවනට පැමිණිය හැකි වන්නේ නම් එසේ හැකි වන්නේ ද මේ සම්‍යග් දෘෂ්ඨයෙහි පිහිටා පිළිවෙත් පිරීමෙන් ය. එබැවින් සසර දුකින් මිදෙනු කැමති සෑම දෙනා විසින් ම සම්‍යග් දෘෂ්ඨය පිරිසිදු කර ගත යුතුය. අපායක් නැත, දෙව්ලොවක් නැත යනාදීන් ඇතමුන් පවසන මිථ්‍යා මතවලට මුළා නොවිය යුතුය. යම් යම් කරුණක් ගැන සැක ඇති වුවහොත් එය සිඳීමට තරම් බණ දහම් දැනුම ඇති නියම සම්‍යග් දෘෂ්ඨයෙහි පිහිටා සිටින උතුමකු වෙත එළඹ කරුණු විචාරා සැක දුරු කර ගෙන දෘෂ්ටිය පිරිසිදු කරගත යුතු ය. මෙකල ගිහියන් අතර පමණක් නොව බෞද්ධ භික්ෂූන් අතරද මිථ්‍යා මත ධාරීන් නැත්තේම නොවේ. ඔවුන්ගෙන් පරිස්සම් වෙත්වා අපාය භයින් මිදීමට ස්වර්ග මෝක්ෂ සම්පත් ලබා ගැනීමට සම්‍යග් දෘෂ්ටිය සේ උපකාරක අන්‍ය ධර්මයක් නැත.

“නාහංභික්ඛවෙ! අඤ්ඤං එක ධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා භීය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති. යථයිදං භික්ඛවෙ සම්මා දිට්ඨි. සම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ! අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති; උප්පන්නා ච කුශලා ධම්මා භීය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති”

“මහණෙනි, සම්‍යග් දෘෂ්ඨය පමණ නූපන්නා වූ කුශල ධර්මයන් ඉපදීමට 

හේතුවන්නා වූ ද උපන් කුශල ධර්මයන් වැඩීමට හේතු වන්නා වූ ද අන් ධර්මයක් නො දනිමි. මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයා හට නූපන් කුශලයෝ ද උපදනාහ. උපන් කුශලයෝ ද වැඩෙන්නාහු ය” යනු මෙහි තේරුමයි.

චතුස්සත්‍ය සම්‍යක්දෘෂ්ටිය

“තත්ථ කතමා සම්මාදිට්ඨි? දුක්ඛෙඤාණං, දුක්ඛ සමුදයෙ ඤාණං, දුක්ඛ නිරොධෙ ඤාණං, දුක්ඛ නිරොධ ගාමිනි යාපටිපදාය ඤාණං, අයං වුච්චති සම්මා දිට්ඨි”

මේ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය විස්තර කර තිබෙන්නා වූ සිය ගණනක් සූත්‍ර‍ ධර්මවල හා අභිධර්ම පිටකයෙහිත් මාර්ග සත්‍යයට අයත් සම්මාදිට්ඨිය දේශනා කර තිබෙන ආකාරයයි. දුක්ඛ සත්‍ය දන්නා ඥානය, සමුදය සත්‍ය දන්නා ඥානය, නිරෝධ සත්‍ය දන්නා ඥානය, මාර්ග සත්‍ය දන්නා ඥානය යන මේ සතර, සම්‍යග් දෘෂ්ටියයි මෙයින් දක්වන ලදි. චතුස්සත්‍ය සම්බන්ධයෙන් පවත්වා බැවින් මේ ඥානයට චතුස්සත්‍ය සම්‍යග්දෘෂ්ටියයි කියනු ලැබේ.

මෙයට පළමුවෙන් දැක් වූ දශ වස්තුක සම්‍යග් දෘෂ්ටිය වනාහි බුද්ධාගමෙන් අන්‍ය වූ ආගම් වල ද ඇත්තේ ය. මේ චතුස්සත්‍ය සම්‍යක් දෘෂ්ටිය වනාහි බුද්ධාගමෙහි ම මිස අන් කිසි ම ආගමක නැත්තේ ය. බුද්ධෝත්පාද කාලවලදී මිස අබුද්ධෝත්පාද කාලවලදී මෙය ලෝකයෙහි නැත්තේ ය. එබැවින් මෙය දුර්ලභ වූ සම්‍යක් දෘෂ්ටියෙකි. අනේකාකාර සම්‍යක් දෘෂ්ටීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ සම්‍යක් දෘෂ්ටිය ද මෙය ම ය. මේ ශ්‍රේෂ්ඨ සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම සඳහා චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය මැනවින් උගත යුතු ය. මෙය කියවන්නා වූ සමහරුන්ට “පෙර කී දශ වස්තුක සම්‍යක් දෘෂ්ටිය ඕනෑ නැත. චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය දැන උගෙන චතුස්සත්‍ය සම්‍යක් දෘෂ්ටිය පමණක් ඇති කර ගත්තාම ඇත” යයි සිතෙන්නට පුළුවන. එසේ සිතුන හොත් එය වැරදීමකි.

මේ චතුස්සත්‍ය සම්‍යක් දෘෂ්ටිය ඉතා පුළුල් සම්‍යග් දෘෂ්ටියකි. දශ වස්තුක සම්‍යග් දෘෂ්ටිය ද මෙයට ඇතුළත් වේ. චතුස්සත්‍ය දත් තැනැත්තෙක් වුවහොත් හෙතෙම ඒකාන්තයෙන් පින් පව් ඇති බව, පින් පව් වල ඵල විපාක ඇති බව, පරලොව ඇති බව යනාදිය පිළිගන්නෙක් වේ. ඒවා නො පිළිගන්නකු වුවහොත් ඔහු චතුරාර්‍ය්‍ය සත්‍ය දත් තැනැත්තෙක් හෙවත් චතුස්සත්‍ය සම්‍යග් දෘෂ්ටියෙන් සම්‍යග් දෘෂ්ටික වූවෙක් නො වන්නේ ය. එහෙත් දශ වස්තුක සම්‍යග් දෘෂ්ටියෙන් සම්‍යග් දෘෂ්ටික වූ පමණින් චතුස්සත්‍ය සම්‍යග් දෘෂ්ටියෙන් සම්‍යග් දෘෂ්ටික නො වන්නේ ය.

මේ චතුස්සත්‍ය සම්‍යග් දෘෂ්ටිය සාමාන්‍යයෙන් එකක් කොට කියනු ලබන නමුත් දුක්ඛසත්සම්යග්දෘෂ්ටිය, සමුදයසත්සම්යග්දෘෂ්ටිය, නිරෝධසත්සම්යග්දෘෂ්ටිය, මාර්ගසත්සම්යග්දෘෂ්ටිය යි සත්‍යයන්ගේ වශයෙන් සතරක් වේ.

එයින් දුඃඛ සත්‍ය සම්‍යග් දෘෂ්ටිය ඇති වූ කල්හි පඤ්චස්කන්ධය දුක් රැසක් මිස සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නො වන බව පෙනීමෙන් සත්කායදෘෂ්ටිය දුරුවේ. සමුදය සත්‍ය සම්‍යග් දෘෂ්ටිය ඇති වූ කල්හි තෘෂ්ණා හේතුවෙන් සත්ත්වයා මතු භවයෙහි උපදවන බව දැකීමෙන් මරණින් මතු ඉපදීමක් නැතය යන උච්ඡේද දෘෂ්ටිය දුරු වේ. නිරෝධ සත්‍ය සම්‍යග් දෘෂ්ටිය ඇති වූ කල්හි හේතු ධර්මයන්ගේ නිරෝධයෙන් ඵල ධර්මයන්ගේ නිරෝධය වන බව දැකීමෙන් ආත්මය නිත්‍යය යි ගන්නා වූ ශාශ්වතදෘෂ්ටිය දුරු වේ. මාර්ග සත්‍ය සම්‍යග් දෘෂ්ටිය ඇති වූ කල්හි ප්‍ර‍තිපත්තිය කරණ කොට ගෙන නිවනට පැමිණෙන බව අවබෝධ වීමෙන් සත්ත්වයන්ගේ ඒ ඒ ජාතිවල ඉපදීම හා විශුද්ධියට පැමිණීම, ඉබේම සිදුවනවා මිස තමා විසින් කරන්නා වූ හෝ ශ්‍ර‍මණ බ්‍රාහ්මණාදි අනිකකු විසින් කරන්නා වූ හෝ ක්‍රියාවකින් ප්‍ර‍තිපත්තියකින් සිදු නො වේය යන නත්ථිඅත්තකාරොනත්ථිපරකාරෙනත්ථිපුරිසකාරෙ යනාදීන් දැක්වෙන අක්රියදෘෂ්ටිය ද කිසි ම හේතුවක් ප්‍ර‍ත්‍යයක් නැතිව ඉබේ ම සත්ත්වයන්ගේ කෙලෙසීම හා පිරිසිදු වීමත් සිදු වන්නේ ය යන අහේතුකදෘෂ්ටිය ද දුරු වේ.

තවද දුඃඛ සත්‍යය දැනීම හේතු කොට ගෙන සමුදය සත්‍යයාගේ ඵලය වූ නිත්සුභසුඛආත්ම ස්වභාවයන්ගෙන් විරහිත වූ පංචස්කන්ධය සම්බන්ධයෙන් පවත්නා වූ පංචස්කන්ධය නිත්‍යය, යහපත් ය, සුවයක් ය, ආත්මයක්ය යන වැරදි හැඟීම් දුරුවන්නේ ය. සමුදය සත්‍යය තත්ත්වාකාරයෙන් නො දැනීම හේතු කොට ගෙන ලොව විසූ නොයෙක් ශාස්තෘවරයන් විසින් ඇති කරන ලද දෘෂ්ටි බොහෝ ය.

(1) සර්වබලධාරී වූ යම්කිසි දෙවියෙක් හෝ බ්‍ර‍හ්මයෙක් හෝ මේ ලෝකය ද මවන්නේ ය. මවා ඔහුගේ කැමැත්ත පරිදි ලෝකය පවත්වන්නේ ය, විනාශ කරන්නේ ය යනු එක් දෘෂ්ටියකි. එයට ඊශ්වරනිර්මාණවාදය යයි කියනු ලැබේ.

(2) ප්‍ර‍කෘතිය යි කියන ලද අව්‍යක්ත හේතුවක් ඇත්තේ ය. ලෝකයත් ලොව ඇති සියල්ලත් එයින් හට ගන්නේය: සත්ත්වයෝ ද එයින් ම පහළ වන්නෝය: විනාශය පැමිණි කල්හි නැවත සියල්ල ම ඒ ප්‍ර‍කෘති ස්වභාවයට පැමිණ සැඟවෙන්නේ ය: ලොව මවන්නා වූ, මවා පාලනය කරන්නා වූ, ප්‍ර‍කෘති ස්වභාවයෙන් අන්‍ය වූ ඊශ්වරාදි කිසිවෙක් නැත යනු එක් දෘෂ්ටියෙකි. එයට ප්ධානවාදය යි ද ප්කෘතිවාදය යි ද කියනු ලැබේ.

(3) දිව්‍ය බ්‍ර‍හ්මාදි කිසි ම කෙනකුගේ බලයකින් නොව කාලය හේතු කොට ම ලෝකයේ ද සත්ත්වයන් ගේ පහළ වීමත් විනාශයක් වන්නේ ය: ලොව මවන්නාත් නසන්නාත් කාලය ම ය යනු එක් දෘෂ්ටියකි. එයට “කාලවාදය” යි කියනු ලැබේ.

(4) උල් කරන්නා වූ කෙනකු නො මැති ව ගස්වල කටු උල් වීම ය, වට කරන්නකු නොමැතිව බෙලි දිවුල් ආදි ගෙඩි වටවීම ය, විසිතුරු කොට සරසන කෙනකු නොමැතිව මෘග පාක්ෂීන්ගේ ශරීර නොයෙක් වර්ණවලීන් සැරසීම ය යනාදිය ස්වභාව ශක්තියෙන් ම සිදුවන්නාක් මෙන්, ස්වභාව ශක්තියෙන් ම ලෝකය මැවී 

ස්වභාව ශක්තියෙන් ම ලෝකය නැසේ ය යනු එක් දෘෂ්ටියකි. එයට ස්වභාවවාදය යි කියනු ලැබේ.

සමුදය සත්‍යය නො දැකීමෙන් නැගී තිබෙන්නා වූ තවත් මෙබඳු මිථ්‍යාවාද සියල්ල ම සමුදය සත්‍යය අවබෝධ කරන්නා වූ තැනැත්තාට සම්‍යග්දෘෂ්ටිය නිසා දුරු වන්නේ ය. ඇතැමෙක් සත්‍ය වූ නිර්වාණය නො දැනීම නිසා අසංඥතල අරූපතලාදි ස්ථානයන් නිර්වාණයයි වරදවා ගෙන ඒවාට පැමිණෙනු සඳහා උත්සාහ කරන්නාහු ය. නිරෝධ සත්‍යාවබෝධක ඥානය එබඳු හැඟීම් දුරු කරන්නේ ය. මාර්ග සත්‍යාවබෝධක ඥානය කාමසුඛල්ලිකානුයෝග අත්තකිලමථානුයෝගාදි වූ අවිශුද්ධ මාර්ගයන් විශුද්ධි මාර්ගය යි වරදවා ගෙන පිළිපදින්නවුන්ගේ ඒ වැරදි හැඟීම් දුරු කරන්නේ ය.

මේ සම්‍යග් දෘෂ්ටි සංඛ්‍යාත මාර්ගාංගය ස්වසන්තානයෙහි උපදවනු කැමතියන් විසින් ලබනු කැමතියන් විසින් දුඃඛාදි ආර්‍ය්‍ය සත්‍යයන් වෙන වෙන ම ගුරුන් වෙතින් උගෙන නැවත නැවත පුරුදු පුහුණු කළ යුතු ය. එසේ කරන කල්හි ඒ ඒ සත්‍යයන් දන්නා වූ සම්‍යග් දෘෂ්ටිය ඔවුන් තුළ පහළ වන්නේ ය. ඒ ඥානය ලෞකික ය. එය දියුණු කර ගෙන යන කල්හි යම් කිසි දිනයක දී ආර්‍ය්‍ය සත්‍ය සතර ම එක් වර දැක කෙලෙසුන් නසා නිවනට පමුණුවන්නා වූ ලෝකෝත්තර සම්‍යග් දෘෂ්ටිය මාර්ග චිත්තයන් සමග පහළ වන්නේ ය.

සම්මාසංකප්පනිවැරදිඅදහස්

දුකෙන් නිදහස් වීමට නම් හොද කල්පනාවක්, නිවැරදි කල්පනාවක් පුද්ගලයෙකුට තිබිය යුතුය. එබැවින් ආර්ය මාර්ගයේ දෙවැනි අංගය ලෙස සම්මා සම්කප්පය දැක්වා ඇත. අධීක කාමයන්ගෙන් යුක්ත වූ අය , මෛත්‍රියක් නොමැති අය, හිංසන චේතනාවන් ආදී වූ දෙයින් යුක්ත වූ පුද්ගලයන්ට විමුක්තියට පත් වීමේ හැකියාවක් නොමැත. එබැවින් පහත සදහන් කල්පනාවෙන්ගෙන් යුක්ත විය යුතුය.

නෙක්ඛම්ම – ඉදුරන් පිනවීමෙන් වෙන් වීමේ කල්පනාව(ලෝභ ද්වේෂ මෝහ අත්හැරීම අලෝභ අදෝෂ අමෝහ තුලට තුලටම.

අව්යාපාද – සැමටම යහපතක් වේවා යන මෛත්‍රීය කල්පනාව.

අවිහිංසා – කිසිවෙකුට හිංසා ,ද්වේශය නොකිරීමේ කල්පනාව.

*එය ලෝකෝත්තර මාර්ගාංගයක් බවට පත්වන්නේ එම යහපත් කල්පනා කෙරෙහි සිත පිහිටුවීමක් විශේෂයෙන් පිහිටුවීමත් සමඟය. සරලව පැවසුවහොත් එම සංකල්ප පිළිබඳ අරමුණ සිතට වහා නංවන සුළු විතර්කයයි.

සම්යක්සංකල්පය  (දීර්ඝවිස්තරය)

අන්ධකාරයෙහි සිට තමා අවට තිබෙන දේවල් අතගා බලා දැනගන්නා කෙනකුට දත හැකි වන්නේ තමා අවට තිබෙන දේවල් අතුරෙන් යම් යම් දෙයකට තමාගේ අත පැමිණියේ නම් ඒ ඒ දේවල් පමණකි. යමකට අත නො පැමිණියේ නම් ඒ 

දේවල් ඇති බව ඔහුට නො දැනෙන්නේ ය. එමෙන් යම් යම් අරමුණකට සිත පැමිණියේ නම් ඒ සිත පැමිණියා වූ දේවල් පමණක් අපට දැනෙන්නේ ය. සිත නො පැමිණි දේවල් නො දැනෙන්නේ ය. සිත ඉබේට ම පැමිණෙන්නේ චක්ෂුරාදි ඉන්ද්‍රියයන් හා ගැටීමට පැමිණියා වූ රූප-ශබ්ද-ගන්ධ-රස-ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් කරා පමණෙකි. ඉතිරි සියලු ම අරමුණු කරා සිත උත්සාහයෙන් පමුණුවා ගත යුතු ය. නො පැමිණියා වූ අරමුණු කරා සිත පැමිණවීමට හෙවත් නො දත් දෙය දෙසට සිත යොමු කිරීමට – යැවීමට කල්පනා කිරීම යයි කියනු ලැබේ. නො පැමිණියා වූ අරමුණු කරා සිත යොමු කරනුයේ සිත හා උපදනා එක්තරා චෛතසික ධර්මයකින් ය. එයට විතර්ක චෛතසික ය යි ද සංකප්ප ය යි ද කියනු ලැබේ. මේ චෛතසික ධර්මයට බොහෝ සෙයින් කියනු ලබන්නේ කල්පනා කිරීම ය කියා ය.

කල්පනාවන් අතර ද තමා හට හා ලෝකයා හට ද අහිත පිණිස අනර්ථය පිණිස පවත්නා වූ කල්පනාවෝ ද ඇත්තාහු ය. යහපත පිණිස පවත්නා වූ කල්පනාවෝ ද ඇත්තාහු ය. එයින් අයහපත පිණිස පවත්නා වූ කල්පනාවන්ට මිථ්යාකල්පනාය යි ද යහපත පිණිස පවත්නා කල්පනාවන්ට සම්යක්කල්පනාය යි ද කියනු ලැබේ. මෙයින් සම්යක්සංකල්පය යි කියනු ලබනුයේ ඒ යහපත් කල්පනාවන්ට ය. යහපත් කල්පනාවෝ බොහෝ වන්නාහ. එයින් මේ මාර්ග සත්‍යයෙහි ගනු ලබන්නේ තුනෙකි. එබැවින් මෙහි අදහස් කරන සම්‍යක් සංකල්පය දක්වනු පිණිස-

තත්ථකතමොසම්මාසංකප්පො? නෙක්ඛම්මසංකප්පො, අව්යාපාදසංකප්පො, අවිහිංසාසංකප්පො, අයංවුච්චතිසම්මාසංකප්පො.”

යනු වදාරන ලදි. නෛෂ්ක්ම්සංකල්පය, අව්යාපාදසංකල්පය, අවිහිංසාසංකල්පය යන මේ තුන මෙහි අදහස් කරන සම්‍යග් සංකල්පය බව මෙයින් දක්වන ලදි.

නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය

යමකින් නික්මීමට-පිටවීමට-මිදීමට-අස්වීමට නෛෂ්ක්‍ර‍ම්‍ය ය යි කියනු ලැබේ. සත්ත්වයෝ වනාහි ඉෂ්ට රූප-ශබ්ද-ගන්ධ-රස-ස්ප්‍ර‍ෂ්ටව්‍ය සංඛ්‍යාත පඤ්ච කාමයෙහි ඇලී සිටින්නෝ ය, ගැලී සිටින්නෝ ය, බැඳී සිටින්නෝ ය. පඤ්චකාමයෙහි බැඳී සිටින්නා වූ සත්ත්වයන්ගේ පඤ්චකාමයෙන් මිදී ඉන් බැහැරට යාමට, පඤ්චකාම සංඛ්‍යාත සිරගෙයින් පිට වී යාමට මෙහි නෛෂ්ක්‍ර‍ම්‍ය ය යි කියනු ලැබේ. යම් කල්පනාවකින් සත්ත්වයෝ පඤ්චකාමය හැර ඉන් බැහැරට යෙත් ද හෙවත් පඤ්චකාමයෙහි බැඳී තිබෙන්නා වූ සත්ත්වයාගේ සිත ඉන් බැහැරට යේ ද, ඒ කල්පනාවට මෙහි නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය යි කියනු ලැබේ. පඤ්චකාමයට සිත පමුණුවන්නා වූ තෘෂ්ණා සහගත කල්පනාව කාම සංකල්ප නමි. නෛෂ්ක්ම්සංකල්පයකාමසංකල්පයටවිරුද්ධධර්මයකි. එය කාම සංකල්පයාගේ උත්පත්ති හේතුව නසමින් උපදනේ ය.

මෙය පූර්ව භාගයෙහි පෙහෙවස් විසීම ය, පැවිදි වීම ය, ධූතාංග පිරීම ය, සමථ විදර්ශනා භාවනාවන්හි යෙදීම ය යන මේවායින් ලෞකික චිත්තයෙහි උපදවා ගත යුතු ය. පොහොය සිල් සමාදන් වීම ද එක්තරා ප්‍ර‍මාණයකින් කාමයන් හැර දැමීමකි. එබැවින් එය ද නෛෂ්ක්‍ර‍ම්‍යයකි. පැවිදිවීම ධූතාංග රක්ෂා කිරීම හා භාවනාවෙහි යෙදීම ද බොහෝ කාමයන්ගෙන් නික්මීමකි. මේ සඳහා කාම විතර්කයාගේ දොස් මෙනෙහි කිරීම ද මැනවි. මෙසේ කරගෙන යන්නා වූ තැනැත්තා තුළ තදංග වශයෙන් කාම විතර්කයන් ප්‍ර‍හාණය කරන්නා වූ ලෞකික නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය උපදී. විදර්ශනා වැඩීමෙන් මෙය දියුණු තියුණු වීමෙන් මාර්ග චිත්තය පහළ වන්නේ ය. ඒ සමයෙහි මෙය ලෝකෝත්තර බවට පැමිණ මතු නූපදනාකාරයෙන් කාම විතර්කයාගේ උත්පත්ති හේතු නසමින් මාර්ග චිත්තය සමග උපදනේ ය.

අව්‍යාපාද සංකල්පය

මනුෂ්‍ය තිරශ්චීනාදි අන්‍ය සත්ත්වයන් හට යහපතක් සැපතක් වනු කැමති බව වූ ද, සැපයක් සලසනු කැමති බව වූ ද, මෛත්‍රිය හා යුක්ත වූ කල්පනාව අව්‍යාපාද සංකල්ප නමි. මෙය අනුනට නපුරක් වනු කැමති බව වූ ද, නපුරක් කරන බව වූ ද ද්වේෂයෙන් යුක්ත කල්පනාව වූ ව්‍යාපාද සංකල්පයට විරුද්ධ වූ ධර්මයකි. ව්‍යාපාද විතර්කයාගේ ආදීනව සැලකීමෙන් ද මෛත්‍රිය වැඩීමෙන් ද අව්‍යාපාද සංකල්පය, මාර්ගයට පූර්වයෙහි ලෞකික වශයෙන් ඇති කරමින් දියුණු කළ යුතු ය. දියුණු වූ කල්හි මාර්ග චිත්තය සමග ලෝකෝත්තර භාවයට පැමිණ ඉපිද ව්‍යාපාද විතර්කයාගේ උත්පත්ති හේතූන් සමුච්ඡේද වශයෙන් නසන්නේ ය.

අවිහිංසා සංකල්පය

දුඃඛිත සත්ත්වයන් දුකින් මුදවනු කැමති බව වූ කරුණාව හා යුක්ත වූ කල්පනාව අවිහිංසා සංකල්ප නමි. මෙය අන්‍ය සත්ත්ව පුද්ගලයන්ට හිංසා කරන ස්වභාවය වූ ද්වේෂය හා යුක්ත වූ විහිංසා විතර්කයට ප්‍ර‍තිවිරුද්ධ වූවකි. මෙය උපදනා කල්හි තදංග වශයෙන් හෝ සමුච්ඡේද වශයෙන් හෝ විහිංසා විතර්කයාගේ හේතුව නසමින් උපදනේ ය. මෙය දුඃඛිතයනට උපකාර කිරීම ය, කරුණා භාවනාවෙහි යෙදීම ය, විහිංසාවෙහි ආදීනව සැලකීම ය යනාදියෙන් සන්තානයෙහි නැවත නැවත උපදවා දියුණු කොට ලෝකෝත්තරත්වයට පමුණුවා ගත යුතු ය.

නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය යන මේ තුන ලෞකික අවස්ථාවෙහි වෙන් වෙන් වූ සිත් සමඟ, වෙන් වෙන් වූ කෘත්‍ය තුනක් සිදු කරමින් වෙන් වෙන් වූ අවස්ථාවල ධර්ම තුනක් වශයෙන් උපදින නමුත් මාර්ගක්ෂණයෙහි ලෝකෝත්තර භාවයට පැමිණ උපදිනුයේ සම්‍යක් සංකල්පය නමැති එක ම ධර්මයක් වීමෙනි. එයින් නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පාදි සංකල්ප තුනෙන් ම සිදුවන්නා වූ කෘත්‍යයෝ සිදු වන්නාහ. එබැවින් මාර්ග චිත්ත සම්ප්‍ර‍යුක්ත වූ එකක් ම වූ සම්‍යක් සංකල්පය ධර්ම තුනක් සේ වර්ණනා කරනු ලැබේ.

සම්මාවාචානිවැරදිවචන

ආර්ය මාර්ගයේ මීලග අංගය නම් සම්මා වාචාය. එනම් නිවැරදි වචන භාවිතයයි. රළු වචන කතා කිරීම, කේලාම් කීම, බොරු කියන තැනැත්තාට දුක කෙළවර කර ගැනීමට නොහැකිය. ඒ සදහා සම්මා වාචාවෙන් යුක්ත විය යුතුය. එනම්,

  • Ÿ බොරු නොකීම
  • Ÿ කේළාම් නොකීම
  • Ÿ රළු වචන කතා නොකිරීම
  • Ÿ හිස් වචන කතා නොකිරීම

ආදියෙන් වැළකී සත්‍ය වචන, සමගිය වඩන වචන, ප්‍රිය වචන. අර්ථ සම්පන්න වචන කතා කරන විට සම්මා වාචාවෙන් යුක්ත පුද්ගලයෙකු බවට පත් වේ.

*මෙය ලෝකෝත්තර මාර්ගාංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන විට බව ම. නි. මහචත්තාරිසක සූත්‍රයේ සඳහන් කරයි.

සම්යග්වචනය (දීර්ඝවිස්තරය)

ලෝකයෙහි අර්ථ ධර්ම ප්‍ර‍තිසංයුක්ත වූ නිරවද්‍ය වචනයට සම්‍යග් වචනය යි ද, සම්මාවාචා ය යි ද කියනු ලැබේ. මාර්ග සත්‍යයට අයත් වූ සම්‍යක් වචනය වනාහි එය නො වේ. මාර්ග සත්‍යයට ගනු ලබන සම්‍යක් වචනය-

තත්ථකතමාසම්මාවාචා? මුසාවාදාවෙරමණී, පිසුණාවාචාවෙරමණී, ඵරුසවාචාවෙරමණී, සම්ඵප්පලාපාවෙරමණීඅයංවුච්චතිසම්මාවාචා” යි විභංගපාළියෙහි වදාරා තිබේ. “එහි සම්මා වාචා නම් කවරීද යත්? මුසාවාදයෙන් වැළකීම ය, පිසුණාවාචයෙන් වැළකීම ය, ඵරුසාවාචයෙන් වැළකීම ය, සම්ඵප්‍ර‍ලාපයෙන් වැළකීම ය යන මෙය සම්මාවාචා නම් වේ ය යනු එහි තේරුම යි.

“මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනාදීන් සිකපද සමාදන් වන්නා වූ ද, සිකපද සමාදානයක් නො කොට “මෘෂාවාදාදියෙන් වළකිමි” යි ඉටන්නා වූ ද මුසාවාදාදි වූ නො මනා වචන කියයුතු අවස්ථා පැමිණි කල්හි ඒවා කීමෙන් වැළකී යහපත් වචන කියන්නා වූ ද, තැනැත්තා ගේ ඒ ක්‍රියා සිදුකිරීම් වශයෙන් උපන්නා වූ සිත්වල මෘෂාවාදාදියෙන් වලක්නා වූ එක්තරා ශක්ති විශේෂයක් ඇත්තේ ය. එය දෙපණස් චෛතසික ධර්මයන්ට අයත් වූ සම්මාවාචා නම් වූ චෛතසිකය යි. ඒ චෛතසික ධර්මය බොරු කීමෙන් වළක්නා ආකාරයෙන් ද, කේලාම් කීමෙන් වළක්නා ආකාරයෙන් ද, ඵරුෂ වචන කීමෙන් වළක්නා ආකාරයෙන් ද, සම්ඵප්‍ර‍ලාපයෙන් වළක්නා ආකාරයෙන් ද පවත්නේ ය. මුසාවාදයෙන් වැළකීම් ආදි කරුණු සතර සම්මාවාචා ය යි දක්වන ලද්දේ එහෙයිනි.

සසර දුකින් මිදෙනු කැමති සත්පුරුෂයන් විසින් බොරු ආදිය කීමෙහි ආදීනව මෙනෙහි කිරීමෙන් ද මහාසුතසෝමරාජචරිතය, සානුසාමණේරචරිතාදිය මෙනෙහි කිරීමෙන් ද, සත්‍යයෙහි අගය සැලකීමෙන් ද, බොරු කීමෙන් වැළකී සත්‍යය කීමෙන් ද, කේලාම් නමැති ඔවුනොවුන් බිඳුවන වචන නො කියා එයින් වැළකී අන්‍යයන්ගේ සමගිය දියුණු වන වචන කීමෙන් ද, පරුෂ වචන නම් වූ අනුන්ගේ සිත් රිදවන නපුරු වචන නො කියා, තමහට එබඳු වචනයෙන් අන්‍යයන් බණින කල්හි පවා මෘදු යහපත් වචන කීමෙන් ද, සම්ඵප්‍ර‍ලාප නම් වූ තමාගේ හා අන්‍යයන්ගේ ද දෙලොව වැඩ නසන නිෂ්ඵල වචන කීමෙන් වැළකී සෑම කල්හි ම අර්ථ ධර්ම ප්‍ර‍තිසංයුක්ත වූ යහපත් වචන ම කීමෙන් ද සම්මාවාචාව පුරුදු පුහුණු කළ යුතු ය. වැඩිය යුතු ය.

මෙසේ සම්‍යග් වචනය නමැති මාර්ගාංගය පුරුදු පුහුණු කරන්නවුන්ගේ සිත් සතන්හි මෘෂාවාදාදියෙන් වළකින අවස්ථාවන්හි උපදනා වූ සම්මා වාචාව වනාහි ලෞකික ය. එය මෘෂාවාදාදියට කරුණු වන පුද්ගලයන් හා වස්තූන් අරමුණු කොට පවත්නේය. මෘෂාවාදයෙන් වැළකීම් වශයෙන් සත්‍යය කියන කල්හි එය මෘෂාවාදය ප්‍ර‍හාණය කිරීම් වශයෙන් පවත්නේය. කේළාම් කීමෙන් වැළකීම් වශයෙන් යහපත් වචන කියන කල්හි පිසුණාවාචය ප්‍ර‍හාණය කිරීම් වශයෙන් පවත්නේය. පරුෂ වචනයෙන් හා සම්ඵප්‍ර‍ලාපයෙන් වැළකීම් වශයෙන් යහපත් වචන කියන කල්හි ඵරුෂාවාචය හා සම්ඵප්‍ර‍ලාපය ප්‍ර‍හාණය කිරීම් වශයෙන් පවත්නේය.

සම්‍යග් වචනය පුරුදු පුහුණු කරමින් දුශ්චරිතයෙන් වැළකී සිටින්නා වූ තැනැත්තා හට යම් කලෙක විදර්ශනා වැඩීමෙන් මාර්ග චිත්තය උපදී ද, එ කල්හි ලෞකික වශයෙන් පුරුදු පුහුණු කළ සම්මා වාචාව මාර්ගයාගේ එක් අවයවයක් ව ලෝකෝත්තරත්වයෙන් පහළ වන්නේය. ලෝකෝත්තර වූ ඒ සම්මා වාචාව ලෞකික චිත්තයන්හි වූ සම්මාවාචාව මෙන් මෘෂාවාදාදියට කරුණු වන වස්තු හා පුද්ගලයන් නොව නිර්වාණය අරමුණු කොට පවත්නේය. එයින් එක් එක් වාග් දුශ්චරිතයක් බැගින් නොව වාග් දුශ්චරිත සතර ම සමුච්ඡේද ප්‍ර‍හාණයෙන් එකවර ම ප්‍ර‍හාණය කරනු ලබන්නේ ය.

සම්මාකම්මන්තනිවැරදික්රියාවන්

සිව්වන අංගය නම් සම්මා කම්මන්තයයි .එනම් නිවැරදි ක්‍රියාවයි. නිවැරදි ක්‍රියාව යනුවෙන් හදුන්වනු ලබන්නේ නිවැරදි ලෙස රැකියා කටයුතු සිදු කිරීමයි.

  • Ÿ ජීවිත විනාශ කිරීමෙන් වැලකීම
  • Ÿ සොරකම් කිරීමෙන් වැළකීම
  • Ÿ කාම මිච්චාචාරයෙන් වැළකීම සම්මා කම්මන්තය ලෙස හදුන්වනු ලබයි. දුකින් මිදීමට නම් මේ ලක්ෂණය පුද්ගලයා තුළ ඇති විය යුතුමයි.

*මෙය ලෝකෝත්තර මාර්ගංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන පුද්ගලයාගේ කායදුශ්චරිතයෙන් වෙන්වීමක් නැවැත්මක් ඇද්ද එම ස්වභාවයෙන් වැඩෙන විටයි. එය භව පැවැත්ම පිණිස හේතු නොවේ.

සම්‍යක්කර්මාන්තය (දීර්ඝ විස්තරය)

ආත්මාර්ථ සාධක වූ ද, පරාර්ථ සාධක වූ ද, උභයාර්ථ සාධක වූ ද, නිරවද්‍ය කායික ක්‍රියාවන්ට ලෝකයෙහි සම්‍යක් කර්මාන්තය යි කියනු ලැබේ. මේ මාර්ග සත්‍යයෙහි සම්මාකම්මන්ත යනුවෙන් දක්වන සම්‍යක් කර්මාන්තය වනාහි අනිකකි. එය :-

තත්ථකතමොසම්මාකම්මන්තො? පාණාතිපාතාවෙරමණී, අදින්නාදානාවෙරමණී, කාමෙසුමිච්ඡාචාරාවෙරමණී, අයංවුච්චතිසම්මාකම්මන්තො” ය-

විභංගපාළියෙහි වදාරා තිබේ. “එහි සම්මා කම්මන්තය නම් කවරේද? ප්‍රාණඝාතයෙන් වෙන්වීම ය, අදත්තාදානයෙන් වෙන් වීම ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වීම ය යන මෙය සම්මා කම්මන්ත නම් වේ” ය යනු එහි තේරුම යි.

ප්‍රාණඝාතාදි පාපයන්ගෙන් වළක්නා අදහසින් “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනාදීන් සිකපද සමාදන් වන්නා වූ ද, ප්‍රාණඝාතාදිය නො කිරීමට ඉටන්නා වූ ද, ප්‍රාණඝාතාදිය කිරීමට අවස්ථාව පැමිණි කල්හි ආදීනව සලකා ඒවා අත්හරින්නා වූ ද තැනැත්තන්ගේ සිත්හි එසේ කරන්නා වූ අවස්ථාවන්හි ප්‍රාණඝාතාදියෙන් වළකින්නා වූ ප්‍රාණඝාතාදිය දුරු කරන්නා වූ ප්‍රාණඝාතාදියට විරුද්ධ වූ එක්තරා ශක්ති විශේෂයක් හට ගන්නේ ය. මේ මාර්ග සත්‍යයෙහි සම්‍යක් කර්මාන්ත යයි කියනු ලබන්නේ ඒ ශක්ති විශේෂයට ය. එය දෙපනස් චෛතසිකයන් අතුරෙන් සම්මාකම්මන්ත නම් වූ චෛතසිකය යි.

එය ප්‍රාණඝාතාදි අකුශල කාය කර්ම තුනෙන් වළක්නා ආකාරයෙන් පවත්නා බැවින් බුදුරජාණන් වහන්සේ විසින් පාණාතිපාතාවේරමණී යනාදීන් ප්‍රාණඝාතාදියෙන් වැළකීම ය, අදත්තාදානයෙන් වැළකීම ය, පරදාරසේවනයෙන් වැළකීම ය යන මේ තුන සම්‍යක් කර්මාන්තය යි වදාරන ලදි. එය ප්‍රාණඝාතාදීන්ගේ ආදීනව සලකා ඒවායින් වැළකීමෙන් පුරුදු කළ යුතු ය. එසේ පුරුදු කළ තැනැත්තාට ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වන අවස්ථාවෙහි දී ලෝකෝත්තරත්වයට පැමිණ මාර්ගයාගේ අංගයක් ව පහළ වන්නේ ය. එයින් කායික දුශ්චරිත තුන සමුච්ඡේද ප්‍ර‍හාණයෙන් ඒකක්ෂණයෙහි ම ප්‍ර‍හාණය කරනු ලැබේ.

සම්මා ආජීව – නිවැරදි දිවි පෙවත

පස්වන අංගය නම් සම්මා ආජීවයයි. එනම් වැරදි ජීවන ක්‍රමයන්ගෙන් වෙන්ව නිවැරදි ජීවන ක්‍රම මගින් තම ජීවිතය පවත්වාගෙන යාමයි. ගිහි බෞද්ධයෙකු 

විසින් නොකල යුතු යැයි සම්මත වෙළදාම් පහෙන් වැළකීමත්, එවැනි වෙනත් රැකියාවන්ගෙන් වැළකීමත් සම්මා ආජීවවයි. එසේම ලාභ ප්‍රයෝජන සදහා තමා ලග නැති නැති ගුන පෙන්වීම වැනි කුහක ක්‍රියාවන්ගෙන් වෙන්වී දැහැමි ලෙස ජීවත් වීම සම්මා ආජීවය ලෙස දැක්විය හැකිය.

*මෙය ලෝකෝත්තර මාර්ගංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන පුද්ගලයාගේ කායදුස්චරිතයෙන් වෙන්වීමක් නැවැත්මක් ඇද්ද එම ස්වභාවයෙන් වැඩෙන විටයි. එය භව පැවැත්ම පිණිස හේතු නොවේ.

සම්‍යගාජීවය (දීර්ඝ විස්තරය)

තත්ථකතමොසම්මාආජීවො? ඉධඅරියසාවකොමිච්ඡාආජීවංපහායසම්මාආජීවෙනජීවිකංකප්පෙති, අයංවුච්චතිසම්මාආජීවො.”

“මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්‍යගාජීවය නම් කවරේද යත්? මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවක තෙමේ මිථ්‍යා ආජීවය අත්හැර සම්‍යගාජීවයෙන් ජීවත් වේ ද, මෙය සම්‍යගාජීවය යි කියනු ලැබේ” ය යනු එහි තේරුමයි.

ප්‍රාණඝාතාදි කාය වාක් දුශ්චරිතයෝ වනාහි ඇතමකු විසින් විනෝදය පිණිස කරනු ලැබෙත්. ඇතමකු විසින් ක්‍රෝධ ඊර්‍ෂ්‍යාදිය නිසා කරනු ලැබෙත්. ඇතමකු විසින් දිවි පැවැත්ම සඳහා කරනු ලැබෙත්. මෙසේ නොයෙක් හේතූන් නිසා කරන්නා වූ දුශ්චරිතයන් අතුරෙන් දිවි පවත්වා ගැනීම වූ හේතුවෙන් අන්‍ය හේතූන් නිසා කරන්නා වූ ප්‍රාණඝාතාදි කාය දුශ්චරිතයන්ගෙන් වෙන් වන්නා වූ ස්වභාවය, ඒ දුශ්චරිතයන් අත්හරින්නා වූ ස්වභාවය, යට කී සම්යක්කර්මාන්ත නම් වූ මාර්ගාංගය යි. දිවි පවත්වා ගැනීම වූ හේතුවෙන් අන්‍ය හේතූන් උදෙසා කරන්නා වූ මෘෂාවාදාදි වාග් දුශ්චරිතයන්ගෙන් වෙන් වන්නා වූ ස්වභාවය, ඒවා අත්හරින්නා වූ ස්වභාවය යට දැක් වූ සම්යක්වචනය නම් වූ මාර්ගාංගයයි. දිවි පැවැත්මට ආධාර කර ගනු පිණිස කරන්නා වූ කාය වාග් දුශ්චරිතයන්ගෙන් වෙන් වන්නා වූ ස්වභාවය ඒවා අත් හරින්නා වූ ස්වභාවය සම්යගාජීවය නම් වූ මාර්ගාංගයයි.

නිවන් පසක් කරනු පිණිස පූර්වභාගයෙහි ම ආජීවපාරිශුද්ධිය ද වුවමනා ය. ආජීව පාරිශුද්ධිය ඇති කරගනු සඳහා ගිහියන් විසින් දිවි පැවැත්ම සඳහා කරන ප්‍රාණඝාතාදි කාය වාග් දුශ්චරිතයන් හා ගිහියන් විසින් නො කළ යුතු ය යි දක්වා තිබෙන ආයුධවෙළඳාමය, වහල්වෙළඳාමය, මස්වෙළඳාමය, මත්පැන්වෙළඳාමය, විෂවෙළඳාමය යන අධාර්මික වෙළඳාම් පසින් ද වැළකී ගොවිකම් වෙළඳාම් ආදි ධාර්මික දෙයකින් දිවි පැවැත්ම කළ යුතුය. ගොවිකම් වෙළඳාම් ආදියෙන් ජීවත්වන කල්හි ගෘහස්ථ ජීවිතය ධාර්මික වුව ද ප්‍ර‍ව්‍ර‍ජිත ජීවිතය ධාර්මික නො වේ. එබැවින් ආජීව පාරිශුද්ධිය පිණිස පැවිද්දන් ගොවිකම් වෙළඳාම් ආදිය ද හැර විනයෙහි නියමිත පරිදි ජීවත් විය යුතු ය. මාර්ගයට පැමිණීමට ප්‍ර‍ථමයෙන් ආජීව පාරිශුද්ධිය සඳහා ප්‍රාණඝාතාදි ආජීවය කරන්නා වූ කරුණු දුරු කරන්නා වූ තැනැත්තන්ට ඒ ඒ අවස්ථාවල දී මේ සම්‍යගාජීවය 

ලෞකික වශයෙන් ඇති වේ. ආජීව පාරිශුද්ධියෙහි පිහිටා විදර්ශනා වඩන්නා වූ යෝගාවචරයා හට මාර්ග චිත්තය උපදනා කල්හි මෙය ලෝකෝත්තර මාර්ගයා ගේ අංගයක් වන්නේ ය.

සම්මා වායාම  – නිවැරදි උත්සාහයන්

මීලග අංගය නම් නිවැරදි වෑයමයි. එනම් උත්සාහයයි. ඕනෑම ක්‍රියාවක් සිදු කාරීම සදහා උත්සහ දැරීම සම්මා වායාමය නොවේ. අකුසල් වලින් ඈත් වීමටත් කුසල් වඩවා ගැනීමටත් උත්සහ කිරීම සම්මා වායාමය ලෙස දක්වයි. එහි ලක්ෂණ හතරක් පහත ආකාරයට දැක්විය හැකිය.

  • Ÿ නූපන් අකුසල් නොයිපදීමට උත්සහ දැරීම
  • Ÿ උපන් අකුසල් නැති කිරීමට උත්සහ දැරීම
  • Ÿ නුපන් කුසල් උපදවා ගැනීමට උත්සහ දැරීම
  • Ÿ උපන් කුසල් රැක ගැනීම හා දියුණු කර ගැනීමට උත්සහ දැරිම

සම්යග්ව්යායාමය (දීර්ඝවිස්තරය)

තත්ථකතමොසම්මාවායාමො? ඉධභික්ඛුඅනුප්පන්නානංපාපකානංඅකුසලානංධම්මානංඅනුප්පාදායඡන්දංජනෙති, වායමති, විරියආරභති, චිත්තංපග්ගණ්හාති, පදහති. උප්පන්නානංපාපකානංඅකුසලානංධම්මානංපහානායඡන්දංජනෙති, වායමති, වීරියංආරභති, චිත්තංපග්ගණ්හාති, පදහති, අනුප්පන්නානංකුසලානංධම්මානංඋප්පාදායඡන්දංජනෙති. වායමති, වීරියංආරභති, චිත්තංපග්ගණ්හාති, පදහති, උප්පන්නානංකුසලානංධම්මානංඨිතියාඅසම්මොසායභීය්යෝභාවායවේපුල්ලායභාවනායපාරිපූරියාඡන්දංජනෙති, වායමති, විරියංආරභති, චිත්තංපග්ගණ්හාති, පදහතිඅයංවුච්චතිසම්මාවායාමො

“එහි සම්‍යග් ව්‍යායාමය නම් කවරේද? මේ ශාසනයෙහි මහණ තෙම එම ජාතියෙහි දී තමා අතින් නො කෙරුණා වූ ලාමක වූ අකුශල ධර්මයන් තමා අතින් නො කෙරෙනු පිණිස ඕනෑකම ඇති කර ගනී ද, උත්සාහ කෙරේ ද? සිත කය දෙකින් වීර්ය කෙරේද? සිත ඔසවා තබා ද, මහත් කොට වීර්ය කෙරේ ද? තමා අතින් කැරුණා වූ ලාමක වූ අකුශල ධර්මයන් දුරු කරනු පිණිස ඕනෑකම ඇති කර ගනී ද, උත්සාහ කෙරේ ද, සිත කය දෙකින් ම වීර්ය කෙරේ ද, සිත ඔසවා තබා ද, මහත් කොට වීර්ය කෙරේ ද: තමා විසින් නො කළා වූ කුශල ධර්මයන් උපදනු පිණිස ඕනෑකම ඇතිකර ගනී ද, උත්සාහ කෙරේ ද, සිත කය දෙකින් ම වීර්ය කෙරේ ද, සිත ඔසවා තබා ද, මහත් කොට වීර්ය කෙරේ ද: උපන් කුශල ධර්මයන් පවත්නා පිණිස නො නස්නා පිණිස වැඩිවනු පිණිස වැඩෙනු පිණිස බෝවනු පිණිස පිරෙනු පිණිස ඕනෑකම ඇති කෙරේ ද, උත්සාහ කෙරේ ද, සිත කය දෙකින් වීර්ය කෙරේ ද සිත ඔසවා තබා ද මහත් කොට වීර්ය කෙරේ ද මෙය සම්‍යග් ව්‍යායාමය යි කියනු ලැබේ ය” යනු එහි තේරුම යි.

එම ජාතියෙහි ස්වසන්තානයෙහි නූපන්නා වූ හෙවත් තම අතින් සිදු නො වූ අකුශලයන් සිදු නො වීම පිණිස කරන්නා වූ වීර්‍ය්‍යය, ස්වසන්තානයෙහි උපන්නා වූ අකුශලයන් නැති කරනු පිණිස කරන්නා වූ වීර්‍ය්‍යය, තමා විසින් පෙර නො කළා වූ කුශල් උපදවා ගනු පිණිස කරන්නා වූ වීර්‍ය්‍යය, කළ කුසල් දියුණු කරනු සඳහා කරන්නා වූ වීර්‍ය්‍යය යන මේ වීර්‍ය්‍ය සතර සම්යග්ව්යායාමය යන මාර්ගාංගය බව මෙයින් ප්‍ර‍කාශිත ය.

සිත කය වචනය යන ද්වාරත්‍ර‍ය ආරක්ෂා කර නො ගෙන ප්‍ර‍මාදව වාසය කරන්නා වූ පෘථග්ජන සත්ත්වයාගේ සන්තානයෙහි නූපදිය හැකි අකුශලයක් නැත්තේ ය.

ඒ තාක් තමා විසින් නො කළා වූ අනාගතයෙහි සිදු වන්නට ඉඩ තිබෙන්නා වූ අකුශල ධර්ම සමූහයට ස්වසන්තානයෙහි උපදින්නට අවකාශ නො තබන අටියෙන් ශීල පරිපූර්ණයෙහි හා ශමත විදර්ශනා භාවනාවන්හි ද යෙදෙන්නට වූ සත් පුරුෂයා නූපන් අකුශල් සිදු නොවීම පිණිස, දුරු කිරීම පිණිස, වීර්ය කිරීමය යි කියන ලද ප්ථමසම්යග්ව්යායාමය වඩන්නේ ය.

වර්තමාන භවයෙහි ස්වසන්තානයෙහි යම් අකුශලයක් උපන්නේ ද හෙවත් තමා අතින් යම් අකුශලයක් කැරුණේ ද තමාගේ සන්තානයෙහි එබඳු අකුශල් මතු සිදු වීමට ඉඩ නො තබමිය යන අදහසින් සිල් පිරිසිදු කිරීමෙහි හා භාවනාවෙහි යෙදෙන තැනැත්තේ උපන් අකුශල් දුරු කිරීමට වීර්ය කිරීමය යි කියනු ලබන දෙවෙනිසම්යග්ව්යායාමය වඩන්නේ ය.

අකුසල් සිත් අනායාසයෙන් ඇති වන මුත් කුශල චේතනා එසේ ඉබේ ඇති වන්නේ නොවේ. ඒවා ආයාසයෙන් කුශලයන්හි යෙදීමෙන් ඇති කර ගත යුතුය. අකුසලයන්ට මතුවන්නට ඉඩ නො තබා දාන ශීලාදියෙහි හා සමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමෙන් නූපන් කුසල් ඇති කර ගැනීමට වීර්‍ය්‍ය කිරීමය යි කියන ලද තුන්වනසම්යක්ව්යායාමය වඩන්නේ ය.

පෘථග්ජන පුද්ගලයාගේ පඤ්චශීල ආජිවාෂ්ටමක ශීලාදි ශීලයෝ බිදෙන සුළුය හ. සමහර විට අද සිල්වතෙක් ව සිටින්නා වූ පෘථග්ජන පුද්ගලයා හෙට දුශ්ශීලයෙක් වන්නේ ය. ඔහුගේ සමාධි ප්‍ර‍ඥාවෝ ද නැසෙන සුළුය හ. යම් කිසිවෙක් තමාගේ සන්තානයෙහි ඇති කරගෙන තිබෙන ශීලාදි ධර්මයන්, මාර්ගයට ඵලයට පැමිණ නිවනට පැමිණීම දක්වා නො නස්නා ස්වභාවයට පමුණුවු ගනු පිණිස මාර්ග භාවනා කරන්නේ වේ නම් හෙතෙමේ උපදවා ගත් කුශලයන් දියුණු කිරීමට වීර්ය කිරීම ය” යි කියන ලද සතරවනසම්යග්ව්යායාමය වඩන්නේ ය.

මෙසේ සම්‍යග් ව්‍යායාමය වඩන්නවුන් තුළ ඒ ඒ අවස්ථාවන්හි උපදනා වූ සම්‍යග්ව්‍යායාමය ලෞකික ය. මාර්ග භාවනාව කරන්නා වූ තැනැත්තන් තුළ පූර්ව භාගයෙහි මෙසේ නොයෙක් අවස්ථාවල දී ඒ ඒ කෘත්‍යයන් සිදු කරමින් උපදනා සම්‍යග්ව්‍යායාමය මාර්ග චිත්තය පහළ වන කල්හි කියන ලද කෘත්‍යයන් සතර ම එකවර සිදු කරමින් ලොකෝත්තරත්වයෙන් උපදනේ ය.

සම්මා සති – නිවැරදිසිහිය

නිවැරදි සිහිය නම් සතර සතිපට්ඨානයෙන් යුක්ත වීමයි. ශරීරයේ ක්‍රියාකාරීත්වය හා ස්වාභාවය පිළිබදවත්, වේදනාවන්ගේ ස්වාභාවය පිළිබදවත්, සිතේ හා සිතට හසුවන අරමුණු ආදියේ ස්වාභාවය පිළිබදවත්  සිහිය පවත්වා ගැනීම සම්මා සතියයි.

සම්යක්ස්මෘතිය (දීර්ඝවිස්තරය)

තත්ථකතමාසම්මාසති? ඉධභික්ඛුකායෙකායානුපස්සීවිහරතිආතාපිසම්පජානොසතිමාවිනෙය්ලොකෙඅභිජ්ඣාදොමනස්සං, වෙදනාසුවෙදනානුපස්සීවිහරතිආතාපිසම්පජානොසතිමාවිනෙය්ලොකෙඅභිජ්ඣාදොමනස්සං, චිත්තෙචිත්තානුපස්සීවිහරතිආතාපිසම්පජානොසතිමාවිනෙය්ලොකෙඅභිජ්ඣාදොමනස්සං, ධම්මේසුධම්මානුපස්සීවිහරතිආතාපිසම්පජානොසතිමාවිනෙය්ලොකෙඅභිජ්ඣාදොමනස්සං, අයංවුච්චතිසම්මාසති

“එහි සම්‍යග් ස්මෘතිය කවරී ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූයේ සම්‍යක් ප්‍ර‍ඥාවෙන් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ මේ මහා භූත කයෙහි කය අනුව අනිත්‍යාදි වශයෙන් බලමින් වෙසේ ද? පඤ්චෝපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි ඇලෙන්නා වූ ලෝභය හා දෞර්මනස්‍යය දුරු කෙරේ ද, කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූයේ සම්‍යග් ප්‍ර‍ඥාවෙන් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ ත්‍රිවිධ වේදනාවන්හි වේදනාව අනුව අනිත්‍යාදි වශයෙන් බලා ද උපාදාන ස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි ඇල්ම හා දෞර්මනස්‍යය දුරු කෙරේ ද කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූයේ මනා නුවණින් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ සරාගාදි චිත්තයෙහි සිතට අනුව අනිත්‍යාදි වශයෙන් බලා ද උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි ඇල්ම හා දෞර්මනස්‍ය දුරු කෙරේ ද, කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූයේ මනා නුවණින් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ නීවරණාදි ධර්ම විෂයෙහි ඒ ධර්මයන්ට අනුව අනිත්‍යාදි වශයෙන් බලා ද උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි ඇල්ම හා දෞර්මනස්‍යය දුරු කෙරේ ද මෙය සම්යක්ස්මෘතිය යි කියනු ලැබේ.” ය යනු මෙහි තේරුම යි.

නිවන් පසක් කරනු පිණිස භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයාගේ සිත භාවනාවට අරමුණු වන කාය, වේදනා, චිත්ත, ධර්ම යන මේවායින් බැහැරට පැන යන්නට නො දී ඒවායේ ම නැවත නැවත පවත්වන්නා වූ බැඳ තබන්නා වූ යහපත් සිහිය මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්‍යග් ස්මෘතිය බව මේ දේශනාවෙන් දක්වන ලදි. ස්වකීය සිතට අරමුණෙන් අරමුණට පැන යන්නට නොදී තමා කැමති අරමුණක බොහෝ වේලාවක් රඳවා ගත හැකි වන පරිදි සිත සකස් කරගෙන නැත්තා වූ පුද්ගලයාගේ සිත වනාහි වහ වහා අරමුණෙන් අරමුණට යන වික්ෂිප්ත සිතකි. එබඳු සිතින් මාර්ගයකට ඵලයකට 

පැමිණෙන්නට නුපුළුවන. එබැවින් නිවනට පැමිණෙනු කැමති තැනැත්තා විසින් කාය කොට්ඨාසාදි යම් කිසි අරමුණක් ගෙන එහි ම සිත පිහිටවා භාවනාවෙහි නැවත නැවත යෙදීමෙන් එක අරමුණක බොහෝ වේලා තැබිය හැකි වන සේ සිත සකස් කිරීමේ දී ඒ සිත සමග උපදනා වූ සිහිය ලෞකිකසම්යක්ස්මෘතියයි. එය ම එසේ භාවනාවෙහි යෙදෙන්නා වූ 

සම්මා සමාධි  – නිවැරදිසමාධිය

අවසාන අංගය නම් සම්මා සමාධියයි. එනම් සිතේ මනා එකග බවයි. මනා එකග කම ලෙස දැක්වෙන්නේ පංචනීවරණ (කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා) යටපත් වී “ ධ්‍යාන” නමින් හැදින්වෙන තත්වයට සිත සන්සුන් වීමයි. විසිරී ගිය සිත දුබලය. එවැනි සිතකට ප්‍රඥාව නොවැඩේ. ප්‍රඥාව වැඩීමෙන් තොරව දුන් මිදීමට නොහැකිය.

සම්මා සමාධි පිළිබඳ ම. නි. මහචත්තාරිසක සුත්‍ර දේශනාවේ දී සඳහන් කරන්නේ මෙසේය. සම්මා දිට්ඨිය ආදී කොට ඇති මුල් අංග සතින් සිතේ යම් එකඟ බවක්, පරිවාර බවක් වේද මහණෙනි එය සම්‍යග් සමාධි ප්‍රත්‍ය සහිත යැයි ද, පරිවාර සහිත යැයිද කියනු ලැබේ යනුවෙනි. සම්මා සමාධිය දක්වා ඇති අංග අට සේඛ ප්‍රතිපදාව ලෙස නම් කරයි. එනම් ප්‍රතිපදාවෙන් නික්මෙන අවස්ථාවක් ලෙසයි. එසේනම් සම්මාඤාණ, සම්මා විමුක්ති යන අංග දෙක පරිපූර්ණවීමෙන් ප්‍රඥාව උදාවේ. මෙම අංග දෙක සම්බන්ධ වන්නේ ප්‍රඥා ඉන්ද්‍රියට හා සමාධි ඉන්ද්‍රියට බව මෙයින් සිහිපත් කළ යුතු වේ.

සම්යක්සමාධිය (දීර්ඝවිස්තරය)

තත්ථකතමාසම්මාසමාධි? ඉධභික්ඛුවිචිච්චෙවකාමෙහිවිවිච්චඅකුසලෙහිධම්මෙහිසවිතක්කංසවිචාරංවිවෙකජංපිතිසුඛංපඨමජ්ඣානංඋපසම්පජ්ජවිහරති, විතක්කවිචාරානංවූපසමාඅජ්ඣත්තංසම්පසාදනංචෙතසොඑකොදිභාවංඅවිතක්කංඅවිචාරංසමාධිජංපීතිසුඛංදුතියජ්ඣානංඋපසම්පජ්ජවිහරති, පීතියාචවිරාගාඋපෙක්ඛකොවවිහරතිසතොවසම්පජානො. සුඛංචකායෙනපටිසංවෙදෙතියංතංඅරියාආචික්ඛන්තිඋපෙක්ඛකොසතිමාසුඛවිහාරිතිතතියජ්ඣානංඋපසම්පජ්ජවිහරති, සුඛස්සපහාණාදුක්ඛස්සපහාණාපුබ්බේචසොමනස්සදොමනස්සානංඅත්තංගමාඅදුක්ඛමසුඛංඋපෙක්ඛාසතිපාරිසුද්ධිංචතුත්ථජ්ඣානංඋපසම්පජ්ජවිහරති, අයංවුච්චතිසම්මාසමාධි.”

මෙයින්ප්ථමධ්යානසමාධිය, ද්විතීයධ්යානසමාධිය, තෘතීයධ්යානසමාධිය, චතුර්ථධ්යානසමාධියයනසමාධිසතරසම්යක්සමාධියයි ප්‍ර‍කාශිත ය. වික්ෂිප්ත නො වන පරිද්දෙන් නො සැලෙන පරිද්දෙන් සිත මනා කොට ස්ථිර වශයෙන් ආරම්මණයෙහි පිහිටවමින් සිත හා බැඳී පවත්නා වූ එක්තරා ස්වභාව ධර්මයකට සමාධිය යි කියනු ලැබේ.

දශ කසිණය, දශ අශුභය, කේශාදි ශාරීරික කොට්ඨාසයෝය, ආශ්වාස ප්‍ර‍ශ්වාසය, 

මෛත්‍රි කරුණා මුදිතා යන බ්‍ර‍හ්ම විහාරයන්ට අරමුණු වන සත්ත්වයෝ ය යන මේ පස් විසි කමටහන් අරමුණු අතුරෙන් යම්කිසි අරමුණක් ගෙන භාවනාවෙහි යෙදීමෙන් පළමු කොට උපදවා ගත හැකි රූපාවචර සමාධිය ප්ථමධ්යානසමාධි නමි. සමථ විදර්ශනා භාවනාවන්හි යෙදෙන්නවුන්ගේ පූර්ව භාග කාමාවචර සමාධිය ද මේ ප්‍ර‍ථමධ්‍යාන සමාධියට ම ඇතුළත් වන්නේ ය.

කසිනදශය, ආශ්වාසප්ශ්වාසය, මෛත්රිකරුණාමුදිතායනබ්හ්මවිහාරයන්ටඅරමුණුවනසත්ත්වප්ඥප්තීහු යන මේ තුදුස් අරමුණු අතුරෙන් යම් කිසි අරමුණක භාවනාවෙහි යෙදීමෙන් දෙවෙනි වර ලබන්නා වූ රූපාවචර ධ්‍යාන සමාධිය ද්විතීයධ්යානසමාධි නමි. ඒ අරමුණුවල ම භාවනාවෙහි යෙදීමෙන් තුන්වන වර ලබන්නා වූ රූපාවචර ධ්‍යාන සමාධිය තෘතීයධ්යානසමාධි නමි.

කසින දශය, ආශ්වාස ප්‍ර‍ශ්වාසය, උපේක්ෂා බ්‍ර‍හ්ම විහාරයට අරමුණු වන සත්ත්ව ප්‍ර‍ඥප්තිය යන මේ අරමුණු දොළස අතුරෙන් යම්කිසි අරමුණක් ගෙන භාවනාවෙහි යෙදී සතරවනුව ලබන්නා වූ රූපාවචර සමාධිය චතුර්ධ්යානසමාධි නමි.

මේ සමාධීහු ලෞකිකයෝ ය. මාර්ග භාවනාව කර ගෙන යන්නා වූ තැනැත්තා හට යම් කලෙක ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වන්නේ ද එකල්හි පූර්ව භාගයෙහි පුරුදු කරන ලද මේ ලෞකික සමාධීන් අතුරෙන් යම් කිසි එක් සමාධියක් මාර්ගයාගේ අංගයක්ව මාර්ග චිත්තය හා තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් නිර්වාණ සංඛ්‍යාත ආරම්මණයෙහි මනා කොට පිහිටුවමින් ලෝකෝත්තරත්වයෙන් පහළ වන්නේ ය. එය ලෝකෝත්තරසම්යක්සමාධිය වූ මාර්ගාංගය වන්නේ ය.

*ඉහත සඳහන් කරේ ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මාර්ග ඵල හත මෙහිදී අපට ලැබෙන්නේ භාවයේ සැප පමණයි. නමුත් ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණිය හොත් ලෝකෝත්තර සමාධිගත ඇරැඹෙනවා එවිට මාර්ගඵල ලැබෙනවා සියලු දේම අනිත්‍යයයි කියල නුවණින් දකින්න ඕනේ 

උදා-   බුදුන් වහන්සේ අනිත්‍යය කියා සිතීම. 

           ශීලය තුළින් රැස්වන පින් අනිත්‍ය යැයි කියා සිතීම.

මාර්ගාංගයෝඅටදෙනස්කන්ධවශයෙන්බෙදෙනආකාරය

මෙහි සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව යන මාර්ගාංග තුන ශීලස්කන්ධයයි. මේ අංග තුනෙන් ගැනෙනුයේ ආජීවාෂ්ටමකශීලයයි. ආජීවාෂ්ටමක ශීලය නම් කාය දුශ්චරිත තුනෙන් ද, වාග් දුශ්චරිත සතරෙන් ද, මිථ්‍යා ජීවිකාවෙන් ද වෙන් වීමයි. සම්යක්කර්මාන්තය පිරීම පිණිස කාය දුශ්චරිත හළ යුතුය. සම්යක්වචනය පිරීම පිණිස වාග් දුශ්චරිත සතර හළ යුතුය. 

සම්යක්ආජීවය පිරීම පිණිස මිථ්‍යා ජීවිකාවෙන් වෙන්විය යුතුය. එසේ කරන කල්හි ආජීවාෂ්ටමක ශීලය සම්පූර්ණ වේ.

ආජීවාෂ්ටමක ශීලය රකිමිය කියා, කාය දුශ්චරිතයන්ගෙන් වෙන් වීමෙන් සම්‍යක් කර්මාන්ත මාර්ගාංගය පිරේ. වාග් දුශ්චරිතයන්ගෙන් වෙන් වීමෙන් සම්‍යක් වචනය නමැති මාර්ගාංගය පිරේ. මිථ්‍යා ජීවිකාවෙන් වෙන් වීමෙන් සම්‍යගාජීවය නමැති මාර්ගාංගය පිරේ. එබැවින් සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව යන තුන ශීලස්කන්ධය යි කියනු ලැබේ. සම්යක්ව්යායාමය, සම්යක්ස්මෘතිය, සම්යක්සමාධියයන තුන සමාධිස්කන්ධයයි. සම්මාදිට්ඨිසම්මාසංකප්ප යන දෙ ප්ඥාස්කන්ධයයි. මෙසේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්ඥාස්කන්ධය යි ස්කන්ධය යි ස්කන්ධ තුනක් වන්නේ ය.

ලෝකෝත්තරමාර්ගයලබාගතහැකිආකාරය

*ඉහත සඳහන් කරේ ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මාර්ග ඵල හත මෙහිදී අපට ලැබෙන්නේ භාවයේ සැප පමණයි. නමුත් ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණිය හොත් ලෝකෝත්තර සමාධිගත ඇරැඹෙනවා එවිට මාර්ගඵල ලැබෙනවා සියලු දේම අනිත්‍යයයි කියල නුවණින් දකින්න ඕනේ 

උදා-   බුදුන් වහන්සේ අනිත්‍යය කියා සිතීම. 

           ශීලය තුළින් රැස්වන පින් අනිත්‍ය යැයි කියා සිතීම.

ලෝකෝත්තරමාර්ගයලබාගතහැකිආකාරය (දීර්ඝවිස්තරය)

ලෝකයෙහි මිනිසුන් විසින් කරන්නට තිබෙන වැඩ අතුරෙන් ලෝකෝත්තර මාර්ගය ස්වසන්තානයෙහි උපදවා ගැනුම ඉතා දුෂ්කර වැඩෙකි. මෙය ලෙහෙසි දෙයකැයි වරදවා ගෙන කටයුත්ත සැහැල්ලු කොට ගෙන මාර්ගභාවනාවෙහි යෙදෙන්නා හට කිසි කලෙක ලැබිය හැකි නො වේ. යම් කිසිවෙක් කොතෙක් උත්සාහ කළත් නියම ක්‍ර‍මයට නො ගොස් වරදවා පිළිපැද්දහොත් ඔහුට ද කිසි කලෙක, මාර්ගයට ඵලයට පැමිණෙන්නට නො ලැබේ. එබැවින් පිළිපැදිය යුතු ක්‍ර‍මය ද නො වරදවා දැනගෙන කළ යුතුය.

මේ මාර්ග භාවනාව කරන්නට යන තැනැත්තා විසින් පළමුකොට ම විදර්ශනා බිම සකස් කර ගත යුතුය. පඤ්චස්කන්ධය, ද්වාදශායතනය, අටළොස් ධාතුය, දෙවිසි ඉන්ද්‍රියයෝ ය, චතුරාර්‍ය්‍ය සත්‍යය, ප්‍ර‍තීත්‍යසමුත්පාදය යන මේ ධර්මයෝ විදර්ශනාවට බිම වන්නා වූ ධර්මයෝ ය. ඒ ධර්මයන් ගැන මනා දැනුමක් ඇති කර ගැනීම බිම සකස් කර ගැනීම ය. ඉක්බිති විදර්ශනා භාවනාව කළ යුතු ආකාරය ද මැනවින් ඉගෙන සිල් පිරිසිදු කර ගෙන යථාවකාශ පරිද්දෙන් හෝ අන් සියල්ල ම හැර දමා විදර්ශනා කිරීමෙහි ම යෙදීම් වශයෙන් හෝ නාම රූප ධර්මයන් අනිත්‍යාදි වශයෙන් ක්‍ර‍මානුකූලව විදර්ශනා කරන්නට පටන් ගත යුතුය.

එසේ විදර්ශනා කරන්නා වූ තැනැත්තා හට විදර්ශනා භාවනාවට අනුව සම්මා දිට්ඨිය ද වැඩෙන්නේ ය. සම්මා සංකප්පය ද වැඩෙන්නේ ය. සම්මා වාචාව ද වැඩෙන්නේ ය. සම්මා කම්මන්තය ද වැඩෙන්නේ ය. සම්මා ආජීවය ද වැඩෙන්නේ ය. සම්මා සතිය ද වැඩෙන්නේ ය. සම්මා සමාධිය ද වැඩෙන්නේ ය. මේ වැඩීමට භාවනාවෙහි යෙදීම හැර කරන්නට අන් දෙයක් නැත්තේය. ක්‍ර‍මානුකූලව භාවනාවෙහි යෙදෙන්නාගේ විදර්ශනා ඥානය දියුණු තියුණු වත් ම ක්ලේශයෝ ද තුනී වන්නාහ. විදර්ශනා ඥානය මැනවින් දියුණු වී සංස්කාරයන් කෙරෙහි කලකිරී සිත සංස්කාරක්ෂය වූ නිවනට නැමී නිවනට බර වී පවත්නා අවස්ථාවකදී, මේ සම්මා දිට්ඨි ආදි අංග අට වැඩී බලවත් වී ලෝකෝත්තරත්වයට පැමිණ දෘෂ්ටිවිචිකිත්සා සංඛ්‍යාත ක්ලේශද්වය මතු නූපදනා ආකාරයෙන් නසමින් අපාය දුඃඛය හා ජාති සතකින් මත්තට ලබන්නට වන සංසාර දුඃඛය නසමින් නිර්වාණය අරමුණු කරමින් පහළ වන්නේ ය.

ප්‍ර‍ථමයෙන් පහළ වන්නා වූ ඒ ලෝකෝත්තර මාර්ගයට සෝවාන්මාර්ගයයි කියනු ලැබේ. සෝවාන් මාර්ගයට පැමිණි පසු ඒ පුද්ගලයා ලාමක වූ පෘථග්ජන භූමියෙන් මිදී ආර්ය පුද්ගලයෙක් වන්නේ ය. ඔහු කිසි කලෙක නැවත පෘථග්ජන භාවයට නො පැමිණෙන්නේ ය. ඔහුට මතු ලබන්නට ඉතිරිව තිබෙන සංසාර දුඃඛය ඉතා ස්වල්පය. ඔහුට ඉතිරිව තිබෙන දුඃඛයාගේ ස්වල්පත්වය හා නිරුද්ධ වූ දුඃඛයාගේ විශාලත්වය සූත්‍ර‍ ධර්මයන්හි නොයෙක් උපමාවලින් ප්‍ර‍කාශ කර තිබේ. සෝවාන් මාර්ගයට පැමිණියා වූ තැනැත්තාහට ඉතිරිව තිබෙන කෙලෙස් හා දුක් නැසීමට ඔහු විසින් නැවතත් පෙර සේම විදර්ශනා භාවනාව ම කළ යුතුය. එසේ කරන කල්හි සම්‍යග් දෘෂ්ට්‍යාදි මාර්ගාංග තව තවත් වැඩීමට පැමිණ මතු ද තුන් වාරයක් ඉතිරි ක්ලේශයන් හා දුඃඛයන් නසමින් ඒ මාර්ගාංගයෝ ලෝකෝත්තරත්වයෙන් ඔහුගේ සන්තානයෙහි පහළ වන්නාහු ය.

දෙවන වාරයෙහි එසේ පහළවන්නා වූ මාර්ගයට සකෘදාගාමි මාර්ගය යි ද තෙවන වර පහළ වන්නා වූ මාර්ගයට අනාගාමිමාර්ගය යි ද, සිව්වන වර පහළ වන්නා වූ මාර්ගයට අර්හත්මාර්ගය යි ද කියනු ලැබේ. අර්හත් මාර්ගයට පැමිණීමෙන් පසු ඉතිරිවන්නා වූ කිසි ක්ලේශයක් නැත්තේ ය. ඉන් පසු ඔහුට ඇත්තේ අතීත හේතූන් ගෙන් හට ගත්තා වූ වර්තමාන ස්කන්ධ පඤ්චකය පමණකි. පරිනිර්වාණයෙන් පසු එයින් ද ඔහු මිදී අනුපාදිශේෂනිර්වාණධාතුවට පැමිණෙන්නේ ය. මේ මාර්ගය හැර නිර්වාණයට පැමිණීමට අන් කිසි ධර්මයක් අන් කිසි මාර්ගයක් කොතැනකවත් නැත්තේය. ලෝකෝත්තර මාර්ගය උපනහොත් එයින් ඒ මෝක්ෂය ලබා නොදීමක් ද කිසි කලෙක නො වන්නේය. ඒකාන්තයෙන් ලබා දෙන්නේ ය. එබැවින් ඒ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය දුකින් මිදීමේ සත්‍ය වූ නොවරදින්නා වූ උපාය වන්නේ ය. එබැවින් එයට සත්‍යවේදී වූ තථාගතයන් වහන්සේ දුඃඛනිරෝධගාමිනීප්තිපදාආර්ය්සත්යය යි වදාළ සේක.

පහත සියලු සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙනුයේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළය 

01 සතර සතිපට්ටාන වීර්ය වඩන මාර්ගය 

02 සතර සම්‍යක් ප්‍රධාන වීර්ය 

  • Ÿ නූපන් අකුසල් නොයිපදීමට උත්සහ දැරීම
  • Ÿ උපන් අකුසල් නැති කිරීමට උත්සහ දැරීම
  • Ÿ නුපන් කුසල් උපදවා ගැනීමට උත්සහ දැරීම
  • Ÿ උපන් කුසල් රැක ගැනීම හා දියුණු කර ගැනීමට උත්සහ දැරිම

03 සතර ඉර්දිපාද 

       (ඡන්ද,චිත්ත, විරිය, වීමංසා)

04 පංච ඉන්ද්‍රිය ධර්ම 

      (ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා) 

05 පංච බල ධර්ම 

       (ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා) 

06 සප්ත බොජ්ජංග 

      (සති සම්බොජ්ඣංගය , ධර්ම විජය සම්බොඡ්ඣංගය, විලියම් බොජ්ඣංගය,  සමාධි බොජ්ජංගය,ප්‍රීති බොජ්ඣංගය, පස්සද්ධි බොජ්ජංගය, සැප සමාධි බොජ්ජංගය)

යම්කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා නම් එය මාර්ග තුළ ඉහත සඳහන් කළ බෝධි පාක්ෂික ධර්ම 37 වැඩෙනවා