අනුන් කරන හොඳ දේ ගැන සතුටු වෙන්න

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් අයට අමුතු විදිහේ ආශාවන් ඇතිවෙනවා. ලස්සනට දන් පැන් දෙන්න හිතෙනවා. චෛත්‍ය සරසන්න හිතෙනවා. බෝ මළු සරසන්න හිතෙනවා. තරඟෙට වගේ පින්කම් කරන අය ඉන්නවා. හැබැයි ඒ හැමදේකින්ම රැස් වෙන්නේ පින ම යි.

කොසොල් රජතුමාත්, රටවැසියනුත් එවැනි තරඟයකට බැස්සා. ඒක වුණේ මෙහෙමයි.

එක් කාලයක අපගේ බුදුරජාණන් වහන්සේ පන්සියයක් භික්ෂූන් පිරිවරාගෙන චාරිකාවේ වැඩියා. ඒ අතරේ සැවැත් නුවර ජේතවනාරාමයටත් වැඩියා. රජතුමා විහාරයට ගිහින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දනට ඇරයුම් කළා. උන්වහන්සේලාට සූදානම් කළේ ආගන්තුක දානයක්. නගරවාසීන්ටත් දන් දෙන අපූරුව ඇවිදින් බලන්න කිව්වා. දානමය පිංකමට නගරවාසීන් ආවා. ඔවුන්ට හරී සතුටුයි. පසුවදා දානයට බුදුන් ප්‍රමුඛ සංඝයාට ආරාධනා කළේ නගරවාසීන් විසිනුයි.

“දේවයන් වහන්ස, හෙට අපි දන් දෙනවා. අපේ දානයත් බලන්ට වඩින සේක්වා!”

රජතුමා ඒ දානෙට පැමිණියා. හරී පුදුමයි. රජතුමා දෙනවටත් වඩා ලස්සනට නගරවාසීන් දන් දුන්නා.

“මං දන් දෙනවටත් වඩා ලස්සනට නෙව මෙවුන් දන් දෙන්නේ…. හරි… මං තව දානයක් දෙනවා…”

මේ විදිහට දවසක් රජතුමා දානෙ දෙනවා. තව දවසක් නගරවැසියන් දානෙ දෙනවා. රජතුමා දෙනවට වඩා ඉහලින් නගරවාසීනුත් කොහොමහරි දානෙ දෙනවා.

දවසක් නගරවාසීන් ඉතාම අලංකාර අයුරින් දානයක් පූජා කළා. එවැනි දානයක් එකපාරටම රජතුමාටවත් කරගන්න බෑ. රජතුමා ඒ දානය දැකලා ලැජ්ජා වුණා.

‘අනේ මං කොච්චර දන් දුන්නත් මෙවුන්ගේ දානයට වඩා ඉහළින් දානයක් පූජා කරගන්න බෑ නෙව… ජීවත් වෙලා නම් පලක් නෑ’ කියලා කල්පනා කර කර සිරියහන් ගබඩාවේ වැතිරිලා හිටියා. ඒ වෙලාවෙ මල්ලිකා දේවිය එතනට පැමිණියා.

“රජ්ජුරුවන් වහන්ස, මක් වුණාද? මොකෝ මේ වැතිරිලා ඉන්නේ….? මළානික වෙලා… කලන්තෙ හැදිල වගේ…”

“දේවිය… නුඹට මේ ගැන තේරෙන්නෙ නැද්ද?”

“ඇයි රජ්ජුරුවන් වහන්ස, මට තේරෙන්නේ නෑනේ මේ මොකක්ද කියලා…?”

එතකොට කොසොල් රජතුමා සියලු විස්තරය පැවසුවා. මල්ලිකා බිසවට හිනා ගියා.

“දේවයන් වහන්ස, ඔය තරම් හිතන්න දෙයක්ද? ඔබවහන්සේ පෘථුවීශ්වර රජු නෙව. නගරවාසීන්ට පැරදුණු බවක් අහලාවත් තියෙනවාද? දැකලාවත් තියෙනවාද? …. හරි…! දානෙ සංවිධානය කරන හැටි මං කියා දෙන්නම්…” කියලා අසදෘශ දානයක් සංවිධානය කරන ආකාරය සැලසුම් කළා.

“මහරජ, මෙහෙමයි කළ යුත්තේ… අලංකාර සාල වෘක්ෂයන්ගෙන් සැදුම් ලත් වට රවුමින් යුතු නිසීදන මණ්ඩප පන්සීයක් කරවන්න. ඒ නිසීදන මණ්ඩපයේ පිටතින් තමයි භික්ෂූන් වැඩඉන්නේ. ඊට ඉහළින් සුදු මුතු කුඩ පන්සීයක් කරවන්න. හැබැයි ඒවා ඔසොවාගෙන සිටිය යුත්තේ පන්සීයක් හස්තිරාජයන් විසිනුයි. රන් රිදී මුතු මැණිකෙන් කළ නැව් අටක් – දහයක් තනවන්න. ඒවා අර මණ්ඩප මැදින් තියන්න. භික්ෂූන් වහන්සේලා දෙනමක් අතර රාජකුමාරිකාවන් වාඩි කරවන්න. ඔවුන්ට සුවඳ සඳුන් අඹරන්න සළස්වන්න. එක් එක් රාජකුමාරිකාවක් වටාපතකින් පවන් සලන්න සලස්වන්න. තවත් රාජකුමාරිකාවරු කළ යුත්තේ අර අඹරන සුවඳ වර්ග නැවට දැමීමයි. තවත් රාජකුමාරිකාවරු කළ යුත්තේ ඒ නැව්වල දැමූ සුවඳ පිණි දියෙන් කළතා, නිල් මහනෙල් මල් මිටි වලින් ගෙන ඉසීමයි.

රජතුමනි, නගරවාසීන්ට රාජකුමාරිකාවො කොහෙන්ද? සුදු කුඩ කොහෙන්ද? හස්තීන් කොහෙන්ද? මේ සැලැස්මට නම් නගරවාසීන් පරදිනවා….”

“දේවිය, අදහස නම් යසයි. ඔබ කියූ විස්තරය නම් හරියට හරි” කියලා රජතුමා ඒ අයුරින්ම දානය සංවිධානය කළා.

එදා දානෙ දවසේ එක භික්ෂූන් වහන්සේ නමකට මුතුකුඩය අල්ලන්න ඇතෙක් මදි වුණා. රජතුමා මල්ලිකා දේවියගෙන් ඇහුවා.

“සොඳුරී, හරි වැඬේ නෙව. එක ඇතෙක් අඩුයි. ඒකට මොකද කරන්නේ?”

“දේවයන් වහන්ස, ඇත්තු පන්සීයක් නැද්ද හැබෑට…?”

“ඉන්නවා සොඳුරියේ… ඉන්නවා… නමුත් දමනය වෙච්චි ඇතුන් ඉන්නේ ඔච්චරයි. අනිත් එවුන් එච්චර හීලෑ නෑ නෙව. දැන් මොකද කරන්නේ? ඉන්න ඇත්තු හරී සැඩ පරුෂයි. සංඝයාව දැක්කාම වේරම්බ වාතයට කැළඹුණා වගේ කැළඹුණොත්…..?”

“නැහැ දේවයන් වහන්ස, ඕකට හොඳ උපායක් තියෙනවා. එක දරුණු ඇතෙකුට කුඩයක් දීලා තියන්න ඕන තැන මම දන්නවා.”

“ඈ….! ඒකා කොහෙද තියන්නේ….?”

“වෙන කොහෙද ඉතින්…. අපගේ ආර්ය වූ අංගුලිමාලයන් වහන්සේ සමීපයෙන් නොවැ….”

රජතුමාත් ඒ විදිහටම කෙරෙව්වා. කුඩය සොඬින් ගත්තු ඇත් රජා වලිගය කළවා අස්සේ ගහගත්තා. කන් දෙක පහතට අකුලා ගත්තා. ඇස් දෙක වහගත්තා. නිසොල්මනේ හිටියා. මහාජනයාට හරී පුදුමයි. ඔවුන් ඇවිත් ඇවිත් බලන්නේ මේ චණ්ඩ හස්තියා දමනය වෙලා ඉන්න ආකාරයයි.

රජතුමාට හරී සතුටුයි. බුදුන් ප්‍රමුඛ සංඝයාට වන්දනා කළා.

“ස්වාමීනී, මෙම දානයෙහි කැප අකැප යම් බඩු භාණ්ඩ ඇද්ද, ඒ සියල්ලම නුඹවහන්සේට පූජා වේවා!” කියලා පූජා කළා.

මේ දානයේදී එක දවසකට කෝටි දාහතරක් වියදම් කළා. බුදුරජාණන් වහන්සේ වෙත පැණවූ මුතු කුඩයත්, වාඩිවෙන ආසනයත්, මේසයත්, පා පුටුවත් යන මේ භාණ්ඩ හතරත් ගොඩාක් වටිනවා. මෙවැනි දානයක් බුදුරජාණන් වහන්සේ නමකට ලැබෙන්නේ එක් වරයි. මේ දානය සම්පූර්ණයෙන්ම සංවිධානය කළේ කාන්තාවක් විසිනුයි. මේ දානය ප්‍රසිද්ධ වුණා ‘අසදිසි දානය’ කියලා.

කොසොල් රජතුමාට ඇමතිවරු දෙන්නෙක් හිටියා. එයින් ‘කාල’ කියන ඇමතියා මෙහෙම හිතුවා.

‘විනාසයි! විනාසයි! ආණ්ඩුව විනාසයි! රජ පවුලත් විනාසයි! දවසකට කෝටි දාහතරක් වියදම් වුණා! මේ භික්ෂූන් කරන්නේ හොඳට දානෙ වළඳලා නිදියන එක නෙව.’

‘ජුණ්හ’ කියන ඇමතියා මෙහෙම හිතුවා.

‘හරී පුදුම දානයක්… රජකම් නොකරන කෙනෙකුට නම් මෙබඳු දානයක් කිසිසේත් දෙන්න ලැබෙන්නේ නෑ. හැම සත්වයන්ටම ප්‍රාප්ති දානය නොදීමක් නෑ නෙව. එනිසා මං මේ දානය අනුමෝදන් වෙනවා.’

භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අවසානයේ රජතුමාට අනුමෝදනා බණ දෙසීම පිණිස පාත්‍රය අතට ගත්තා. මෙහෙම කල්පනා කළා. ‘දැන් මේ රජ්ජුරුවෝ මහා ඕඝයක් වගේ මහා දානයක් දුන්නා. මෙය මහාජනයාගේ චිත්තප්‍රසාදය පිණිස හේතු වුණාද? නැද්ද?’ කියලා බැලුවා.

එතකොට කාල නම් ඇමතියාගේ අමනාප චිත්ත ධාරාව භාග්‍යවතුන් වහන්සේ දැක්කා. යම් හෙයකින් අනුමෝදනා බණ දේශනා කළොත් ඔහුගේ හිස සත් කඩකට පැලෙන බවත් දැක්කා. ජුණ්හ ඇමතියා සෝවාන් ඵලයට පත්වෙන බවත් දැක්කා. නමුත් කාල ඇමතියා කෙරෙහි අනුකම්පාවෙන්ම මෙබඳු වූ මහා දානයක් පූජා කළ අවස්ථාවේදී සතර පද ගාථාවක් පමණක් වදාළා. ආසනයෙන් නැගිට විහාරයට වැඩියා.

එදා හවස් වරුවේ භික්ෂූන් වහන්සේලා අංගුලිමාල ස්වාමීන් වහන්සේගෙන් මෙහෙම විමසුවා.

“ඇත්තෙන්ම ආයුෂ්මතුනි, අර සැඩ ඇත් රජා මුතු කුඩෙත් දරාගෙන ළඟ හිටිය වෙලාවේ භය හිතුණේ නැද්ද?”

“ආයුෂ්මතුන් වහන්ස, මොනවට භය වෙන්නද?”

එතකොට ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් පැවසුවේ අංගුලිමාලයන් වහන්සේ අරහත්වයට පත් වී සිටින බව ප්‍රකාශ කළ බවයි. එයට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්නා.

“පින්වත් මහණෙනි, අංගුලිමාලට භය හිතෙන්නේ නෑ. වෘෂභ රාජයන් අතර සිටින ජ්‍යෙෂ්ඨ වෘෂභයෙකු බඳු මාගේ පුත්‍ර වූ ක්ෂීණාශ්‍රව භික්ෂූන් භය වෙන්නේ නෑ.”

එදා රජතුමාට කිසි සතුටක් ඇතිවුණේ නෑ. දුකෙන් හිටියේ. ‘මං මෙබඳු උතුම් සඟ පිරිසකට දානයක් පූජා කරගත්තු අවස්ථාවේ ඊට ගැලපෙන අනුමෝදනා බණක් වදාළේ නැහැ නෙව. එක ගාථාවක් පමණයිනේ වදාළේ. විහාරයට වැඩියා නෙව.’ මගේ අතින් නුසුදුසු විදිහේ දානයක් දුන්නා වත් ද? කැප වූ දෙයක් නොදී අකැප වූ දෙයක් දුන්නා වත් ද? ශාස්තෘන් වහන්සේට මා කෙරෙහි අපැහැදීමක් ඇතිවුණා වත් ද? මෙවැනි අසදිස දානයක් දුන්නු වේලෙහි එයට අනුරූප අනුමෝදනාවක් සිදුවුණා නම් කොතරම් වටිනවාද?’

මෙසේ කල්පනා කරමින් සිටි රජතුමා සවස් වරුවේ භාග්‍යවතුන් වහන්සේ මුණගැහෙන්න ගියා. වන්දනා කළා. එකත්පස්ව වාඩිවුණා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම අද පූජා කරගත්තේ නොදිය යුතු දෙයක්ද? දානයට නොගැලපෙන දේවල් දුන්නා වත් ද? කැප සරුප් දේවල් නොදුන්නා වත් ද?”ඇයි මහරජ එහෙම කියන්නේ?”

“අනේ ස්වාමීනී, නුඹවහන්සේ අනුමෝදනා බණ වදාළේ නැති එක ගැනයි මම මේ කල්පනා කරන්නේ”

“මහරජ, ඉතා අනුකූල වූ දානයක් මයි ඔබ දුන්නේ. මේ දානයට කියන්නේ අසදිස දානය කියල නෙව. එක බුදුවරයෙකුට මෙවැනි දාන එකයි ලැබෙන්නේ. මෙබඳු දානයක් පූජා කිරීම ලේසි නෑ.”

“එහෙම නම් ස්වාමීනී, මෙබඳු දානයකට අනුරූප වූ අනුමෝදනා බණක් නොවදාළේ ඇයි?”

“පින්වත් මහරජ, පිරිස අපිරිසිදු නිසයි.”

“ස්වාමීනී, මේ දන් දුන් පිරිස තුළ තිබුණේ කවර අපිරිසිදු කමක් ද?”

එතකොට භාග්‍යවතුන් වහන්සේ ඇමතිවරුන් දෙදෙනා දෙවිදිහකට කල්පනා කළ ආකාරය විස්තර කළා. කාල ඇමතියාට අනුකම්පාවෙන් අනුමෝදනා බණ නොවදාළ බවත් පැහැදිලි කළා. රජතුමා කාල ඇමතියා ගෙන් මේ කාරණය ඇහුවා. ඔහුත් එසේ කල්පනා කළ බව පිළිගත්තා.

“එම්බල ඇමතිය, නුඹ සතු දේවල් ද මං දුන්නේ? මම අඹු දරුවන් සමඟ මා සතු දෙයක් පූජා කරද්දී නුඹ මේ ගැන පීඩාවට පත්වන්නේ මොකද? භවත, නුඹ මාගේ විජිතයෙන් යා යුතුයි. නුඹට මා යමක් දුන්නාද, එය තවදුරටත් නුඹ සතු වේවා!” කියලා ඔහුව රාජ්‍යයෙන් නෙරපා දැමුවා.

ජුණ්හ ඇමතියා කැඳවා ඔහුගෙනුත් විමසුවා. ඔහු කල්පනා කළ ආකාරය කියා දුන්නා.

“ඉතා හොඳයි! ඔබ කල්පනා කළ අයුරු ඉතා හොඳයි. මං දුන්නා වගේම හත් දවසක් දානෙ දෙන්න” කියලා රජතුමා රාජ බලය පවරලා ශාස්තෘන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, මං ඉතා ශ්‍රද්ධාවෙන් දුන්නු දානයටත් දුෂ්ට පුද්ගලයාගෙන් පහර වැදුණා නෙව.”

“පින්වත් රජතුමනි, දුෂ්ට පුද්ගලයන් අනුන්ගේ දානයට වත් සතුටු වෙන්නේ නෑ. පරලොවත් අපාගත වෙනවා. නමුත් සත්පුරුෂ නුවණැත්තන් එහෙම නොවෙයි. අනුන්ගේ දානය පවා සතුටින් අනුමෝදන් වෙනවා. සුගතියේ යන්නේ එබඳු අය තමයි.”

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉතා රමණීය ලෙස මෙම ගාථාරත්නය වදාළා.

න වේ කදරියා දේවලෝකං වජන්ති – බාලා හවේ නප්පසංසන්ති දානං

ධීරෝ ච දානං අනුමෝදමානෝ – තේනේව සෝ හෝති සුඛී පරත්ථ

සැබැවින් මේ ලොවේ යමෙක් – ලෝභකමෙන් කල් ගෙවත් ද

ඒ අය කිසිදා පරලොව – දෙව්ලොව ගමනක නොයත් ය

අසත්පුරුෂ අය කිසිදා – දානය පැසසුම් නොකරති

දානය අනුමෝදන් වන – නුවණැති යහපත් මිනිසා

ඒ තුළින්ම සැපවත් වී – පරලොව සුගතියටම යයි

පින්වතුනේ, පින්වත් දරුවනේ, අනුන්ගේ දානයකට වත් සතුටු වෙන්න අපට පුළුවන් වෙන්න ඕන. සමහර අයට හොඳට ශ්‍රද්ධාව තියෙනවා. එතකොට ඒ අය තමන්ගේ ධනය සතුටින් පූජා කරනවා. ඉතා හොඳින් දන් පැන් දෙනවා. එතකොට අපි ඒ ගැන සතුටු විය යුතුයි. තව සමහරු බොහෝ වෙහෙස මහන්සි වෙලා කැපවෙලා දන් දෙනවා. ඒ ගැනත් සතුටු විය යුතුයි. අනුමෝදනාව යනු එයයි.