අනාථපිණ්ඩික

දෙවැන්නෙහි දායකානං යන්නෙන් දීමෙහි ඇලුනවුන් අතුරින් සුදත්තගෘහපති අනාථපිණ්ඩික තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්සේ ධර්‍මකථාව අසමින් එක් උපාසකයකු දෙන්නවුන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය.

හෙතෙම කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි සැවතෙහි සුමන සිටුගේ ගෙහි උපන්නේය. ඔහුට සුදත්තයයි ‍නම් කළාහුය. හෙතෙම පසුකල්හි ගෘහවාසයෙහි පිහිටියේ දන්දෙන දානපතියෙක්වී ඒ ගුණයෙන්ම පතළාවූ නම් ඇත්තේ අනාථපිණ්ඩික නම් වූයේය.

හෙතෙම ගැල් පන්සියයකින් බඩු රැගෙන රජගහනුවර තමන්ගේ හිතවත් යහළු සිටු කෙනකුගේ ගෙදර ගොස් එහිදී භාග්‍යවත්වූ බුදුරජාණන්වහන්සේ උපන්බව අසා බෙහෙවින් උදෑසන කාලයෙහි දේවතානුභාවයෙන් විවරවූ දොරටුවෙන් ශාස්තෘන්වහන්සේ වෙත එළඹ දහම් අසා සෝවාන් පෙලෙහි පිහිටා දෙවෙනි දිනයෙහි බුදුපාමොක් සඟනට මහදන්දී සැවතට පැමිණීම සඳහා ශාස්තෘන්වහන්සේගෙන් පිළිණගෙන අතරමග පන්සාළිස් යොදුන් මගෙහි ලක්‍ෂය ලක්‍ෂය බැගින් දී යොදුනෙන් යොදුනවූ විහාරයන් කරවා ජේතවනය කෝටිගණන් ඇතිරීමෙන් අටළොස් කෙළකින් මිලදී ගෙන අටළොස් කෙළකින් විහාරය කරවා නිමවූ කල්හි සිවුපිරිසට පෙරබතෙහි හා පසුබතෙහි කැමති පරිදි දන් දෙමින් අටළොස් කෙළකින් විහාර පූජාව නිම කරවූයේය. විහාරපූජාව නවමසකින් නිමාවට ගියේය. පස් මසකිනැයි ඇතැම්හු කියත්. තෙමසෙහි වනාහි සියලු ආචාර්‍ය්‍යවරුන්ගේ විවාදයක් නැත.

මෙසේ සිවුපණස් කෙළක් ධනය විසඳ නිබඳවම ගෙහි මෙබඳු දන් පැවැත්වීය. දිනපතා සලාක බත් පන්සියයක් වෙයි. පක්‍ෂයකට අයත්වන බත් පන්සියයකි. සලාක කැඳදීම් පන්සියයකි. පක්‍ෂයකට අයත්වන කැඳදීම් පන්සියයකි. නිතිබත් පන්සියයකි. ආගන්තුක බත් පන්සියයකි. ගමිකබත් පන්සියයකි. ගිලානුපස්ථායක බත් පන්සියයකි. පන්සියයක් අසුන් නිවසෙහි නිබඳ පනවන ලද්දේම වෙයි.

ඉක්බිති පසුකාලයෙහි භාග්‍යවතුන්වහන්සේ ජේතවනයෙහි වැඩවස සේක් උවසුවන් පිළිවෙළින් තනතුරුවල තබමින් ඔහු දායකයන් අතුරින් අගතැන්හි තැබූසේක.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඩු සිටුතුමාගේ ආරාමයේ.
එදා අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා රැය පහන් වන වේලාවේ සෝභා සම්පන්න සිරුරකින් යුතුව මුලු මහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළගට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටිය අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.
” මේ ජේතවන අසපුවේ ඉසිවරයන් වහන්සේලා, පිරීඉතිරී වැඩඉන්නවා දැක්කහම, ධර්මරාජයන් වහන්සේත් වැඩඉන්නවා දැක්කහම මා තුළ පුදුම ප්‍රීතියක් ඇතිවෙනවා. 
ක්‍රියාකලාපයත්, අවබෝධඥාණයත්, ධර්මයත්, උතුම් සිල්වත් ජීවිතයත් කියන මෙයින් තමයි සත්වයන් පිරිසිදු වෙන්නේ. උපන් කුලයෙන්වත්, ධනයෙන්වත්, සත්වයන් පිරිසිදු වෙන්නේ නැහැ.
ඒ නිසා නුවණැති පුද්ගලයා තමන්ගේ යහපත කැමති නම්, නුවණින් යුක්තව ශ්‍රී සද්ධර්මය විමසා බලන්න ඕන. එතකොට තමයි කෙනෙක් පිරිසිදු වෙන්නේ. 
ප්‍රඥාවෙනුත්, සීලයෙනුත්, සංසිදීමෙනුත්, උතුම් වන්නේ මේ සැරියුත් තෙරුන් වහන්සේමයි.  සසරෙන් එතෙරට වැඩි යම් භික්ෂුවක් වේ නම්, උන්වහන්සේලා අතුරින් සාරිපුත්තයන් වහන්සේම ශ්‍රේෂ්ඨයි.”
අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා මෙසේ පැවසුවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා.එතනම නොපෙනී ගියා.
” පින්වත් මහණෙනි, මේ රාත්‍රියේ සුන්දර පෙනුම තියෙන එක්තරා දෙවියෙක් රැය පහන්වන වේලාවේ මුළු ජේතවනයම බබුලුවාගෙන, මං ළගට ආවා. ඇවිදින් මට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පින්වත් මහණෙනි, පැත්තකින් හිටගත්තු ඒ දිව්‍ය පුත්‍රයා මා අසලදී මේ ගාථාවන් පැවසුවා.
‘මේ ජේතවන අසපුවේ ඉසිවරයන් වහන්සේලා, පිරීඉතිරී වැඩඉන්නවා දැක්කහම, ධර්මරාජයන් වහන්සේත් වැඩඉන්නවා දැක්කහම මා තුළ පුදුම ප්‍රීතියක් ඇතිවෙනවා. 
ක්‍රියාකලාපයත්, අවබෝධඥාණයත්, ධර්මයත්, උතුම් සිල්වත් ජීවිතයත් කියන මෙයින් තමයි සත්වයන් පිරිසිදු වෙන්නේ. උපන් කුලයෙන්වත්, ධනයෙන්වත්, සත්වයන් පිරිසිදු වෙන්නේ නැහැ.
ඒ නිසා නුවණැති පුද්ගලයා තමන්ගේ යහපත කැමති නම්, නුවණින් යුක්තව ශ්‍රී සද්ධර්මය විමසා බලන්න ඕන. එතකොට තමයි කෙනෙක් පිරිසිදු වෙන්නේ. 
ප්‍රඥාවෙනුත්, සීලයෙනුත්, සංසිදීමෙනුත්, උතුම් වන්නේ මේ සැරියුත් තෙරුන් වහන්සේමයි.  සසරෙන් එතෙරට වැඩි යම් භික්ෂුවක් වේ නම්, උන්වහන්සේලා අතුරින් සාරිපුත්තයන් වහන්සේම ශ්‍රේෂ්ඨයි’ කියලා.
ඒ දිව්‍ය පුත්‍රයා ඔය කරුණු පැවසුවා. ඊට පස්සේ මට වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. එතනම නොපෙනී ගියා.
එතකොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
” ස්වාමීනී, ඔය දෙවියා නම් අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයාම වෙන්න ඕන. අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා ආයුෂමත් සාරිපුත්තයන් වහන්සේ ගැන ගොඩාක් පැහැදීමකින් තමයි හිටියේ.”
” සාදු! සාදු! පින්වත් ආනන්ද, යම්තාක් තර්කයෙන් දැනගත යුතු නම්, ඔබ ඒ තාක් දැනගත්තා නේද?  පින්වත් ආනන්ද, ඔහු අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයාම තමයි.”