අකීර්ති තාපස වත

මහා බෝධි සත්වයන් වහන්සේලා විසින් දාන  පාරමිතාව  පාරමී, උප පාරමී ,පරමත්ථ පාරමී ලෙස තෙ ආකාරයකින් සම්පූර්ණ කරනු ලබයි. ඉන් දාන පරමත්ථ පාරමිතාව පූර්ණ කළ අවස්ථා  දෙකක් ලෙස වෙසතුරු වත හා අකීර්ති තාපස වත සැලකිය හැක.

අප මහා බෝධි සත්වයන් වහන්සේ බෝධි සම්භාර පූර්ණය කරමින් පැමිණෙන කාලයේ කාශ්‍යප බුදු සසුන ත් අප ගෞතම බුදු සසුනත් අතර කාලයේදී බරණැස මහා සම්පත් ඇති සිටු ගෙදරක උපන්නා.  මේ පින්වත් සිටු කුමාරයාට අකීර්ති පණ්ඩිත ලෙස නම් තැබුවා. කුමාරයාගේ නැගනියට යසවතී ලෙස නම් තැබුවා. 

පරම්පරාවෙන් උරුම වූ මහා ධනස්කන්දයක් මේ දරුවන් දෙන්නාට හිමි උනා.  පාරමී පුරාගෙන ආ මහා පුන්‍යවන්තයෝ වූ බැවින් තරුණ  වියට එලඹෙත්ම දෙදෙනාටම මෙවැනි සිතිවිල්ලක් පහල උනා.” අපේ මුතුන් මිත්තෝ සියල්ලම මෙවන් ධනස්කන්දයක් ඉතිරි කොට හිස් අතින්ම පරලොව ගියා.මේ ධනස්කන්දය ආරක්ෂා කරගෙන සිටියොත් අපට සිදුවන්නේ ත් හිස් අතින්ම පරලොව යෑමට යි.

මේ නගරයේ අනන්ත අප්‍රමාණ දුගී මගී යාචකයන් වෙසෙන වා. රජතුමාගෙන් අවසර ගෙන මේ සියලුම ධනය ඔවුන් ට දන් දී මව්පියන්ට ද පින් අනුමෝදන් කර සසර දුකින් එතෙර වීම පිණිස පාරමී පිරීමට යමු”යි  කතිකා කර ගත්තා. 

ඒ අනූව අකීර්ති පණ්ඩිත යන් හා යසවතී කුමරිය  තමන් සතු සියලු ධනස්කන්දය රටවැසියා ට දන් දී තවුස් ප්රවෘජාවෙන් පැවිදි ව වනගතව වාසය කලා. දහස් ගනන් ජනයා ඔවුන් සමීපයේ පැවිදි උනා. අකීර්ති තාපසතුමා ඒ සියල්ලට ම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර තනිවම දූපතකට වැඩම කර ධ්‍යාන අභිඣා උපදවා ගත්තා. 

බොහෝ පිරිස් එතුමාව සොයාගෙන ඒ දූපතට ද   පැමිණියා. ඉන් නික්මී අකීර්ති තාපසතුමා තම පහසු විහරණය සදහා  ලංකාවේ උතුරු පලාතේ තෘණ ශාක ගහණ කුඩා දිවයිනක ට වැඩම කොට තෘණ වර්ග අහාරය ට ගෙන ජීවිකාව පවත්වා ගනිමින් එහි කුඩා කුටියක් ඉදිකරගෙන ධ්‍යාන සුවයෙන් කල් ගතකලා.

එක් දිනක තෘණ වර්ග වලින් ආහාරයක් පිලියෙල කරමින් සිටියදි අකීර්ති තාපසතුමාට මෙවැනි සිතිවිල්ලක් ඇති උනා. 

” මම කෝටි ගනන් ධනස්කන්දයක් දන් දීලයි වනගත උනේ.යම් හෙයකින් කවුරුන් හෝ මේ අහාරය ඉල්ලන් ආවොත් මම ඒකාන්තයෙන් ම දන් දෙනවා. එදා දුන් දානයටත් වඩා අද මේ දෙන දානය මහාත්පලයි. එ බැවින්  කවුරුන් හෝ මේ දානය ලබා ගැනීමට පැමිණෙත්වා” යි  ප්‍රාර්ථනා කලා.  

මේ ආරාධනය ශක්‍ර දෙවියන්ට දැණුනා. කුසගිනි වූ මිනිසෙකුගේ වේශයෙන් එකෙනෙහිම තාපසතුමාගේ කුටිය සමීපයේ පහල උනා. මේ මිනිසා දුටු අකීර්ති තාපසතුමා මහත් සේ සතුටට පත්ව ගරු බුහුමන් දක්වා ලොව්තුරා බුදු බව පතා මේ දානය උතුම් පාරමිතාවක්ම වේවායි පතා ඒ ආහාරය සතුටින් දන් දී වදාලා. එදා අකීර්ති තාපසතුමා නිරාහාරව උවත්  මහත් සොම්නසින් යුතුව ධ්‍යාන සුවෙයන්ම ගත කලා.

මේ ලෙසට දින තුනක් කුසගින්නේ සිටිමින් නොකඩවා තම අහාරය දන් දුන්නා. හතරවෙනි දිනයේදී ශක්‍ර දේවේන්ද්‍රයා  දිව්‍ය වේශයෙන්ම අහසේ පෙනී සිට තාපසතුමා අමතා ” තාපසයන් වහන්ස ඔබවහන්සේ දින තුනක් නිරාහාරව නේද? මෙහෙමත් දන් දී ජීවත් විය හැකිදැයි ” විචාළා. 

එවිට තාපසතුමා ”  සක්දෙවිඳු නි යමෙක් මගේ ආහාරය ඉල්ලා ගෙන පැමිණියොත් දවසක් දෙකක් නොවේ, ලොව්තුරා බුදු බව පතා මාස ගනණක් වුව දන් දෙමියි” ප්‍රකාශ කලා. කෝටි ගනන් වටිනා මහා ධනස්කන්දයක් දන් දී නෑදෑ හිතවතුන් හැර දමා මිනිස් හඩක් නැති මේ තෘණ කැලෑවට වෙලා ඔබතුමා තවුස්දම් පුරන්නේ මතු කවර අරමුණක් උදෙසා ද කියා සක්දෙවිඳු ඇසුවා 

එවිට තාපසතුමා . ” පුන පුනා නැවත ඉපදෙන්නට සිදුවීම දුකක්. උපනූපන් තැන කෙලෙස් සහිතව මරණයට පත්වීම ද දුකක්. එබැවින් ඉපදීමත් මරණය ත්‍යන දෙකම නැති අජාති අජර අවයාධී අසෝක අනුපායාසී නිර්වාණ ධාතුවක් අරමුණු කරගෙනයි මම තවුස් දම් පුරන්නේ කියා පිලිතුරු දුන්නා.

සක්දෙවිඳු න් මහත් සේ සතුටට පත්ව ” ලෞකික අරමුණු වලින් බැහැරව උතුම් ලෝකෝත්තර අරමුණක් උදෙසා තවුස්දම් පුරන ඔබ වන් ශ්‍රේෂ්ඨ අයෙකුට උපකාර කිරීම පවා භාග්‍යක් යැයි ප්‍රකාශ කොට කැමැති වරයක් ඉල්ලන ලෙසට තාපසතුමා ට ආරාධනා කලා.

එවිට තාපසතුමා සක්දෙවිඳු න් අමතා ”  සක්දෙවිඳු නි, මට වරයක් දෙන්නේ නම් මෙවැන්නක් දෙනු මැනව.  රන් රිදී මුතු මැණික් යානවාහන ඉඩකඩම් කෙත්වතු ආදී කිසිදු වස්තුවක ට ස්වල්පවූද තන්හාවක් ආශාවක් නොමැතිව නෙලුම්පතක ජලය නොරැඳෙන්නේ යම් සේද එලෙස ම  නිර්ලෝභිවම ලොව්තුරා බුදු බව පතා දන් දීම පිණිස හේතු වාසනා වේවායි කියා වරම් දෙනු මැනවි යි ඉල්ලා සිටියා.

ඉතාමත් ප්‍රසාදයට පත් වූ සක්දෙවිඳු තාපසතුමා ට වරම් දී තවත් වරයක් ඉල්ලන ලෙසට ආරාධනා කලා. එවිට තාපසතුමා සක්දෙවිඳු න් අමතා ”  සක්දෙවිඳු නි, මට වරයක් දෙන්නේ නම් මෙවැන්නක් දෙනු මැනව රන් රිදී මුතු මැණික් යානවාහන ඉඩකඩම් කෙත්වතු ආදී වස්තු පමණක් නොව ආයු වර්ණ සැප බල පවා පිරිහීමට හේතුවන වෛරය  වයාපාදය ඊර්ෂ්‍යාව ආදී  අකුසල ධර්ම කිසිදිනෙක සිතේ නොවැඩී පිපුණු පියුමක සුවද විහිදෙන්නාක් මෙන් මෛත්‍රී සිත් ඇති ව ලොව්තුරා බුදු බව පතා දන් දීම පිණිස හේතු වාසනා වේවායි කියා වරම් දෙනු මැනවි යි ඉල්ලා සිටියා.

සක්දෙවිඳු න් මහත් සේ සතුටට පත්ව එකී පැතුම එලෙසෙම වේවායි වරම් දී තවත් වරයක් ඉල්ලන ලෙසට ආරාධනා කලා. එවිට තාපසතුමා සක්දෙවිඳු න් අමතා ”  සක්දෙවිඳු නි, මට වරයක් දෙන්නේ නම් මෙවැන්නක් දෙනු මැන  පස්පව් දස අකුසලයන්හි යෙදෙන අපාගාමී මාර්ගයේ යන අන්ධ බාල පිරිස් කිසිකලෙකදී හමුවීමටත් ඇසුරු කිරීමට ත් හේතු නොවේවා යිවරම් දෙනු මැනවි යි ඉල්ලා සිටියා. එම පැතුම ද අනුමත කල සක්දෙවිඳු න් තවත් වරයක් ඉල්ලන ලෙසට තාපසතුමාගෙන් ඉල්ලා සිටියා .

සක්දෙවිඳු නි, මට වරයක් දෙන්නේ නම් මෙවැන්නක් දෙනු මැන  පස්පව් දස අකුසලයන්ගෙන් වැළකුණා වූ  සිල්වත් ගුණ වත්  මාර්ගයේ යන කළණ  මිතුරෝ   නිරතුරු හමුවීමටත් ඇසුරු කිරීමට ත් හේතු වේවා යිවරම් දෙනු මැනවි යි ඉල්ලා සිටියා. එම පැතුම ද අනුමත කල සක්දෙවිඳු න් තවත් වරයක් ඉල්ලන ලෙසට තාපසතුමාගෙන් ඉල්ලා සිටියා .

එවිට තාපසතුමා ” රාත්‍රියේ  ඝන අන්ධකාරය පහව ගොස් හිරු උදාවත් සමඟ ම දන් දීම සදහා දිව්‍යමය අහාරපාන වස්තු පහළ වෙත්වා..සීලවන්ත ප්‍රතිග්‍රාහකයන් ලැබේ වා..

දන් දීමේදී මගේ දාන වස්තුව අවසන් නොවේවා.. දන් දීමෙන් කිසි දිනක මම පසු නොතැවෙම්වා..

දන් දීමෙන් වඩා වඩාත් මගේ සිත පැහැදේවා..” යනුවෙන් ශක්‍ර දෙවියන්ගෙන් වරම් ඉල්ලා සිටියා 

සක්දෙවිඳු න් විශ්මයට පත්වී තාපසතුමා ට නැවතත් වරයක් ලබාදුන්නා. නැවත මෙහි නොපැමිණෙන ලෙස තාපසතුමා සක්දෙවිඳු ගෙන් ඉල්ලා සිටියා .සක්දෙවිඳු තිගැස්සුනා. ලෝකයේ ම සත්වයා ශක්‍ර දේවේන්ද්‍රයා ගේ පැමිණිම අපේක්ෂා වෙන් නොයෙකුත් පුද පූජා වල යෙදේද්දී  අකීර්ති තාපසතුමාගේ උතුම් ගුණයන්ට පැහැදී උපකාරය පිණිස පැමිණි තමන්ගේ  පැමිණිම ප්‍ර්තික්ෂේප කරන්නේ මන්දැයි සක්දෙවිඳු තාපසතුමාගෙන්  ඇසුවා.

  දෙදෙව් ලොවට  අධිපති සක්දෙවිඳුගේ පැමිණිම හා උපකාර තමන්වහන්සේගේ ධ්‍යාන සමාපත්තියට ප්‍රමාදයක් බවත් නිතර දෙවියන් දැකීම තුලින් ඒ කෙරෙහි සිත පැහැදී නිස්සාරණධ්‍යාශයෙන් බැහැර විය හැකි බැවින්  බාධාවක් බවත් තාපසතුමා  කියා සිටියා .

බෝධි සත්ව ගුණෝපේත අකීර්ති තාපසතුමාගේ අදහා ගත නොහැකි ගුණයන්ට අප්‍රමාණ  පැහැදීමට පත් සක්දෙවිඳු සිදු වූ වරදට සමාව ගෙන, තාපසතුමාගේ සුඛ විහරණය සදහා ඒ දිවයින පලතුරු අහාරපාන අදියෙන්  සශ්‍රික කොට මනුෂ්‍ය ,අමනුෂ්‍ය , විෂඝෝර සතුන්ගෙන් පවා සියලු ආරක්ෂා ව සලසා  නික්මී ගියා.

එදවස අකීර්ති තාපසතුමාගේ  දෙමව්පියන් වූයේ මෙකල  සුද්ධෝදන මහාමායා යුවල බවත්, යසවතී මෙකල උප්පලවණ්ණා තෙරණිය බවත්, සියලු උපකාර කල සක්දෙවිඳු මෙකල අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් බවත්   නිස්සාරණධ්‍යාශයෙන් යුතුව  මහදන් දුන් අකීර්ති තාපසතුමා තමන්වහන්සේ බවත් ඒ භාගවන්තුන් වහන්සේ  භික්ෂු සංඝයා ට අකීර්ති තාපස වත ගෙනහැර පාමින් දේශනා කොට වදාලා .

අතිපූජනීය නා උයනේ අරියධම්ම මහ නා හිමියන්ගේ දේශනාවක් ඇසුරිනි.